යස්ස ජිතං නාවජීයති ජිතමස්ස නො යාති කොචි ලොකෙ
තම්බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ.
යමක්හු විසින් දිනන ලද රාගාදි ක්ලේශජාතය (නැවත නොඋපදනා බැවින්) නපුරු කොට දිනන ලද්දේ නම් නො වේ ද (හෙවත් නො දිනුවා නම් නො වේ ද), ඒ බුදුහු විසින් (ඒ ඒ මගින් දිනන ලද) ඒ ක්ලේශජාතය ලොවෙහි එක ද ක්ලේශයෙක් ලුහුබැඳ නො යේ ද, (අනන්‍තාලම්බන වූ සර්‍වඥතාඥාන වශයෙන්) අපර්‍ය්‍යන්ත වූ ගෝචර ඇති (තුන් භවයෙහි පරිභ්‍රමණයට කාරණ වූ රාගපදාදීන් අතුරෙන්) එක ද පදයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (කවර කරුණෙකින්) ගෙණ යවු ද? (තොප වශයට පමුණුවවු ද?)
යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්‍ථි කුහිඤ්චි නෙතවෙ
තං බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ.
(හිවන වළඳනා අරුතින් දැලක් බඳු වන බැවින්) ජාලිනී නම් වූ, (රූපාදි පංචාලම්බනයෙහි ආසක්ත විෂක්ත වන හෙයින්) විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙක් යමකු කිසි භවයකට පමුණුවන්නට නැත්තේ ද, (සර්‍වඥතාඥාන වශයෙන්) අනන්ත ආලම්බන ඇති භවයෙහි ගමනට කාරණ වූ රාගාදි කිසි ද පයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (වශයට) පමුණුවවු ද?
මාගන්දිය නම් බමුණෙක් එකල කුරුරට විසී ය. ඔහුට එක් ම දුවක් වූ ය. ඕ ද නමින් මාගන්දියා නම් වූවා ය. රූසපුවෙන් හා හැඩහුරුකමින් උසස් තැනට නැගී සිටි ඕ තොමෝ එරට ගෙවල වැසි අන් තරුණ ගෑණුන් අබිබැ වූ ය. ගමනින් බිණුමෙන් බැලුමෙන් සිනාවෙන් රූසපුවෙන් හැඩහුරුකමින් දුටුදුටුවන්ගේ මනනුවන් පැහැරගත් මැය ඉල්ලා මාගන්දිය බමුණු වෙත පැමිණි ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ තරුණයන්ගේ ගණන ටික නො වේ. එසේ ම දිනපතා ඒ පිණිස ලැබුනු ලියුම්වල හා පණිවිඩකරුවන්ගේ ද ගණන අඩු නැත.
මාගන්දිය බමුණු තෙමේ දූ නිසා උදම් ව සිටියේ වෙත පැමිණි හැම කැත් කුමරුන් හා බමුණු කුමරුන් තෙපි එකෙකුත් මාගේ දුවට තරම් නො වහු යි බතින් බුලතින් සංග්‍රහ කොට පෙරළා යැවී ය.
මාගන්දිය බමුණු, දූ නිසා මෙසේ දැපෙමින් සිටි අවදියේ දවසක මාගේ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරණුවෝ මාගන්දිය බමුණු දුටු සේක. එවිට වන්නේ කිමැ යි විමසනුවෝ මාගන්දිය බමුණා හා ඔහු බිරිය තුන්මගපල ලබනු දුටහ.
මේ බමුණු, ගමින් පිටත පිහිටි දෙවොලකට ගිනි දෙවියන් පුදන්නට නිතර යන්නේ ය. බුදුරජානන් වහන්සේ දවසක් ඔහු ගිනි දෙවියන් පුදන වේලෙහි උදෑසන ම පාසිවුරු ගෙණ එහි වැඩි සේක. බමුණු බුදුරජුන්ගේ රූසිරි බලා “හා! හරි, මේ මාගේ දුවට නිසි මිනිහෙක්, යස පිරිමියා, මම සොයමින් සිටියෙම් මෙ වැනි පිරිමියකු, එය දැන් ඉබේට ම හරි ගියා, දුවගේ පිණ, මෙ වැන්නෙක් මාගේ ජීවිතයෙහි මෙයට කලින් දක්නා ලද්දේ නැත, මොහුට ම දුව දෙමි” යි සිතා බුදුරජුන් වෙතට එළැඹ “මහණ! මට එක් දුවක් සිටි යි, ඈ තරම් රූසපුවෙන් හා අඟ පසඟින් හෙබි කෙල්ලක් මේ රටේ කොතැනකත් නැත, ඇය ඉල්ලුම්කරුවෝ ඇය පතා මා වෙත ආවෝ ඉතා බොහෝ ය, ලැබුනු ලියුම් පණිවිඩ කෙළවරක් නැත, ඒ ආවුන් මම පන්නා හැරියෙමි, ඒ එකෙකුත් මාගේ දුවට කිසිවකින් ලං නො වී ය, ඔබ නම් ඇයට ගැළපෙන බව පෙනේ, එහෙයින් මම ඇය ඔබට දෙන්නට කැමැත්තෙමි, මෙය පිණෙකින් සිදු වූවෙකි, මද වේලාවක් ඔතැන නැවතී සිටින්න, මා ගෙට ගොස් ඇය කැඳවා ගෙණෙනතුරු යි වහා ගෙට ගොස් බැමිණිය අමතා “සොදුර! අප බලාපොරොත්තුව සිදු වි ය, මම මගේ දුවට සරිලන පිරිමියකු සොයා ගතිමි, ඔහු මගේ දුවට සරිලන එක් ම පිරිමි යා ය, ඔහුට දුව දියයුතු ම ය, කල් හරිණු නො සුදුසු ය” යි ඇඳුම් ආයිත්තම් ලා දූ සරසා ගෙණ බැමිණිය ද සමග බුදුරජුන් වැඩ සිටි තැනට ගියේ ය. රටවැස්සෝ ද මෙය අසා දැක පුදුමයට පැමිණ එය බලන්නට එහි ගියහ. බුදුරජානන් වහන්සේ පළමු සිටි තැන නො සිට එහි පදසලකුණු දක්වා මදක් ඈත් ව අන් තැනක වැඩ සිට ගත්හ. බුදුරජුන්ගේ පා ලකුණු වනාහි “මෙය අසවලාට ම පෙණේවා” යි ඉටා තැබූ තැනෙහි ම දක්නා ලැබේ. එසේ ඉටා තැබු පාසටහන අනෙකකුට දකින්නට නො ලැබේ. “කොහි ඔයා කියන ඒ හොඳ පිරිමියා” යි බැමිණිය ඇසූ කල්හි “මේ මෙතැන සිටුව යි මම ඔහුට කිමි” යි බමුණු වට පිට බලනුයේ පාලකුණු දැක “මේ ඔහුගේ පාසටහනැ” යි බැමිණියට පාසටහන් පෙන්වී ය.
දේහලක්‍ෂණ විද්‍යාවෙහි දක්‍ෂ වූ බැමිණී තොමෝ “මේ පාසටහන කාමසේවනය කරන්නකුගේ නො වේ” යි කිවූ ය. “සොදුර! තී දියසැළක කිඹුලකු දක්නකුවැනියෙහි, මහණ! මම තට මාගේ දුව අඹු කොට දෙමි, යි කී කල්හි ද ඔහු කිසිත් නො බැණ එය ඉවසා සිටියේ ය, කට පියාගෙන මා හා එව” යි කීයේ ය. “තමුසේ කෙසේ කී වද, මේ පාසටහන පහ කළ කෙලෙස් ඇත්තකුගේ ම ය” යි බැමිණිය තමන් උගත් දේහලක්‍ෂණ විද්‍යානුසාරයෙන් කරුණු ගෙන හැර දැක් වූ ය. මේ ඒ ලකුණු මදක්:
“අයිරා රා ඇති - මිනිස් පා මැද උස් වේ,
අයිරා දොසින් මැඩුනහු - පියග එබුනේ නො ද සැක.
අයිරා මොහැති දන - පා මුලට ඇදුනේ වේ,
මේ පා කෙලෙස් සෙවණැලි - පා කළ එකකුගේ වැනි”
ඉක්බිති බමුණු තෙමේ “සොඳුර! කතා නැති ව නිහඬ ව මෙහි එන්නැ” යි බැමිණිය ද ගෙණ මදක් ඉදිරියට යන්නේ බුදු රජුන් දැක “මේ ඒ තරුණයා මෙහි සිටි” යි බැමිණියට පෙන්වා බුදුරජුන් වෙත ගොස් “මහණ! මේ මාගේ දූ, ඔබට ම කැපෙන බිරිඳ, බාර ගණුව” යි කී ය. බුදුරජානන් වහන්සේ කිසිත් නො බැණ “බමුණ! මම ඔබට එකක් කියන්නට කැමැත්තෙමි, එය අසහි දැ” යි අසා වදාළ සේක. “ඔවු! අසමි” යි කී කල්හි සිය රද මැදුරෙන් නික්මීමෙහි පටන් සියලු තොරතුරු ගෙනහැර දැක් වූ සේක;
බෝධිසත්ත්‍ව වූ මම අතට පත් සක්විති රජ සිරි හැර කන්‍ථක අසු පිට නැගී ඡන්න ද ගෙණ පහයෙන් නික්මීමි, ඒ වේලෙහි මාගේ ගමන් වළකනු පිණිස මරු නුවරදොර අවුරා සිටියේ ය, එසේ සිටි මරු, සිද්ධාර්‍ත්‍ථ! කොහි යන්නෙහි කොතැනකත් යනු නො යෙදෙ යි, ගමන් හැරදමා ගෙට යව, අදින් සත්වන දා ඔබට සත් රුවන් පහළ වන්නේ ය යි මට කියේ ය, මාරය! මම එය දනිමි, මට එයින් වැඩෙක් නැතැ යි කීමි, එසේ නම් කුමක් බලාපොරොත්තු වෙහි දැ යි ඇසූ විට මම බුදුබව බලාපොරොත්තු වෙමි, යි කීමි, එකල්හි මරු හා! හොඳයි වේවා, අද සිට කාම විතර්‍කාදීන් අතුරෙන් යම් කිසි විතර්‍කයක් ගැන සිත යොමු කෙළෙහි නම්, දැන ගත හැකිය, යි මට තර්‍ජනය කෙළේ ය, එ මතු ද, එදා සිට මරු මාගේ සිදුරු සොයමින් හැම මොහොතෙහි ම මා පසු පස එළවා ගියේ ය, මම ද බුදුබව පිණිස සාවුරුද්දක් අනෙකකුට කරණු තබා සිතන විටත් ලොමු ඩැහ ගන්වන දුෂ්කර ක්‍රියා කොට ආද්ධ්‍යාත්මික පුරුෂධෛර්‍ය්‍යය නිසා බුදුබව ලබා ගතිමි, එයින් පස් වන සතියෙහි විමුක්තිසුඛ වළඳමින් අජපල්නුග රුක්මුල හුන්නෙමි, එදවසැ මරු, මම මෙතෙක් අවුරුදු ගණනක් සිදුරු සොයමින් මුන් පස්සේ ලුහු බැඳ ගියෙමි, එහෙත් මුන්ගේ අබැටක් තරම් වූත් කිසි දොසක් නො දුටුවෙමි, සිද්ධාර්‍ත්‍ථ මාගේ විෂය ඉක්මවා ගියේ වනැ, යි බලවත් සිත්තැවිලියට පැමිණ මහමග බිමැ ඉරි ඇඳ ඇඳ වාඩිවී හුන්නේ ය,
එ වේලෙහි ඔහුගේ දූවරු තිදෙන තණ්හා - රති - රගා පියා දක්නට නැත, කොහි ගියේ වනැ යි සොයා බැලූහ, ඈ ලා මහමග බිම ඉරි අඳිමින් හුන් මරහු දැක “පියේ! කිම දුක් ඇති ව නො සතුටු මුහුණින් ඔතැන ඉන්නෙහි” යි ඇසූහ, එවිට මරු ඈ ලාට මා පිළිබඳ සියලු තොරතුරු දැන් වී ය, සිද්ධාර්‍ත්‍ථගේ තොරතුරු ඔබඳු නම්, එය මහකජ්ජෙක් ද? ඒ ගැන නො සිතුව මැනැවි, ඔහු අප දුටු සැටියේ අපගේ වසයට අපගේ යටතට එනු ඒකාන්ත ය, එහෙයින් කණගාටු නො වන්නැයි මරඟනෝ කීහ, එය අසා “දුවනියෙනි! එය කළ හැක්කේ නො වේ, ඔහු කිසිවකුගේත් යටතට යන්නෙක් නො වේ” යි කී කල්හි නැවැතත් ඈලා “පියේ! එසේ නො කියනු මැනැවි, අපි ගෑණු, ගෑණියකට ඕනෑම පිරිමියකු වසයට යටතට ගත හැකි ය, අපට නො නැමෙන්නෙක් මිහිපිට සිටී ද, කොටි - වලස් - සී - ඇත් ඈ චණ්ඩ සත්ත්‍වයෝ, නුවණැත්තා වූ මිනිස්සු සඞ්ග්‍රාමශුරයෝ අප වෙත පරමදීනයෝ වෙත්, ඔවුන් සිනාසෙන විට අපිදු සිනාසෙන්නෙමු, හඬනවිට හඬන්නෙමු, චාටු බස් කියන්නෙමු, ප්‍රිය වූ බසින් උන් බැද ගන්නෙමු, තැනට ඔබින සේ හැසිරෙන්නෙමු, එසේ කොට බිලිය ගිලි මසකු සේ උන් කාමපාශයෙන් බැඳගෙන එන්නෙමු, කණගාටු නො වනු මැනැවි, ගෑණුන් සිතුවොත් ඕනෑ ම පිරිමියකු තම පාමුල නතු කරගන්නට පිළිවන, කාමයෙන් ඇස් වැසී ගිය තැනැත්තහු පණ ඇති නැති හැම වස්තුවක් ඉදිරියෙහි සාපිපාසයෙන් පෙළෙන හිඟන්නකු වැනි ය, යි කියා තිබෙනු නො දන්නහු ද, අප ගොස් වරක් දෙවරක් ඇස්කොණකින් බලා කට කොණකින් සිනාසී ඇඳිවත් උන උනා ඇඳ ඇඳ මොළොක් බවක් පෙම්මුහුණක් පෙන් වූ විට ඔයා අපට නැමී එනු අප පස්සේ එළවා එනු කාටත් වළකා ලනු බැරි ය, ඔයා අපගේ යටතට එනු පුදුමයක් නො වේ, අපගේ ක්‍රීඩා සකුන්තයකු වන බලනු මැනැවැ, යි කියා මා වෙත අවුත් “මහණ! අපි ඔබට අඹු වන්නෙමු, අපි ඔබට හැමදෙයක් කරන්නෙමු” යි කීහ, මම ඔවුන්ගේ ඒ කතාව සිහියට නො ගතිමි, කණට නො ගතිමි, ඔවුන් දෙස ඇස ඇර නො ද බැලීමි, එවිට ඔවුහු පිරිමින්ගේ අදහස් එක හැටි නො වේ, සමහරු කෙල්ලන්ට, සමහරු තරුණියන්ට, සමහරු දෙකඩ හරි වයසේ ගෑණුන්ට සමහරු මහලු ගෑණුන්ට, ප්‍රේම කරත්, එහෙයින් අපි ඒ ඒ වෙස් ගෙණ සිද්ධාර්‍ත්‍ථයා පොළොඹවා ගන්නෙමු, යි අත්බව් සියය සියය මවාගෙණ කෙල්ලන් ලෙසට නො වැදූ තරුණ ගෑණුන් ලෙසට වරක් වැදූ ගෑණුන් ලෙසට දෙවරක් වැදූ ගෑණුන් ලෙසට තෙවරක් වැදූ ගෑණුන් ලෙසට ගෙයි මහලු වූ ගෑණුන් ලෙසට දෙකඩ හරි වයසේ ගෑණුන් ලෙසට මැහැල්ලන් ලෙසට සවරක් මා ඉදිරියට අවුත් “මහණ! අපි ඔබගේ අඹුවම්හ” යි කීහ එ වේලෙහි මම යම් ලෙසකින් උපධීන්ගෙන් මිදුනෙම් ද, එලෙසින් කිසිත් නො බැණ සිටියෙමි, මට සතුටෙක් හෝ නො සතුටෙක් නො වී ය, එහෙත් ඔවුහු එතැනින් බැහැර නො ගියහ, එකල්හි මම “මෙතැනින් යවු, තෙපි කුමක් සිතා මෙසේ නන් දොඩහු ද, කුමක් නිසා මා පොළොඹවන්නට වෙහෙස දරහු ද, විතරාගීන් ඉදිරියෙහි තබා සරාගීන් ඉදිරියෙහි දු නො කියයුතු නො කියැකි මෙබඳු නො සැබි බස් කීවහු කුමට ය, තථාගත වූ මාගේ සියලු කෙලෙස් පහව ගියේ ය, තොපට මා වසයට යටතට නො ගත හැකිය, යි කීමි” යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
යස්ස ජිතං නාවජීයති ජිතමස්ස නො යාති කොචි ලොකෙ,
තම්බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ.
.
යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්‍ථි කුහිඤ්චි නෙතවෙ
තම්බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථාති.
යම් බුදුකෙනකුන් විසින් දිනූ කෙලෙස්, වැරදි ලෙසින් දිනනලද්දේ නො වේ ද, ලෝකයෙහි අන්කිසි ක්ලේශධර්‍මයෙක් ඒ බුදුන් විසින් දිනු කෙලෙසුන් ලුහු බැද නො යා ද, අපමණ ගොදුරු ඇති රාගාදි හේතු නැති ඒ බුදුන් කවර හේතුවෙකින් ගෙණ යවු ද.
ජාලිනී නම් විසත්තිකා නම් තෘෂ්ණාව යම් බුදු කෙනෙකුන් කිසි උපතකට කිසිවකුගේ වසයට ගෙන යන්නට (සමර්‍ත්‍ථ) නො වේ ද, අපමණ ගොදුරු ඇති රාගාදි හේතු නැති ඒ බුදුන් කවරහේතුවක් කරණ කොට ගෙණ යවු ද.
යස්ස ජිතං නාවජීයති = යම් බුදු කෙනෙකුන් විසින් දිනූ කෙලෙස් රැස, නපුරු කොට දිනූයේ නම් නො වේ ද.
බුදුරජුන් විසින් ඒ ඒ මාර්‍ගයෙන් නැසූ වැනසූ කෙලෙස් රැස උන්වහන්සේ විසින් දිනුයේ නැවැත නො උපදනා ලෙසට ය. කෙලෙස් ටිකකුත් ඉතිරි නො කොට ය. කෙලෙසුන්ගේ මුල් නො තබා ය දිනුයේ එහෙයින් උන්වහන්සේගේ කෙලෙස් දිනුම කෙලෙස් නැසුම නපුරු දිනුමෙක් වැරදි නැසුමෙක් නො වේ. නින්දා කළයුතු දිනුමෙක් නො වේ. උන්වහන්සේ මුල් නො තබා ම කෙලෙස් දිනූ සේක. එහෙයින් උන්වහන්සේගේ කෙලෙස් දිනුම දිනුමෙක් ම ය. එහෙයින් කීහ අටුවායෙහි: “ යස්ස සම්මා සම්බුද්ධස්ස තෙන තෙන මග්ගෙන ජිතං රාගාදිකිලෙසජාතං පුන අසමුදාචරණතො නාවජීයති. දුජ්ජීතං නාම න හොති” යි.
පංචස්කන්‍ධලෝකයෙහි රාගාදී වූ කිසිත් ක්ලේශයෙක් බුදුරජුන් විසින් නැසූ වැනසූ කෙලෙස්කඳ ලුහුබැඳ නො යන්නේ ය. බුදුරජුන් විසින් නැසූ වැනසූ දිනූ රාගාදී වූ කෙලෙස් අතුරෙහි එක් ම ක්ලේශයකුදු නැවැත ලුහුබැඳ නො එන්නේය යි කියූ සේ ය. මෙහි ලෝකය යි ආයේ පංචස්කන්‍ධය යි. “යස්ස ජිතං කිලෙසජාතං රාගාදිසු කොචි එකො කිලෙසොපි ලොකෙ පච්ඡතොවත්තී නාම න හොති නානුබන්‍ධති” යනු අටුවා ය.
තං බුද්ධං = ඒ බුදුන්.
සංස්කාර - විකාර - ලක්‍ෂණ - නිර්‍වාණ - ප්‍රඥප්ති යි කියූ සකලඥෙය්‍යධර්‍ම විෂයයෙහි නො පැකිළ පවත්නා වූ දතයුතු හැම දෙයක නො හැනී පවත්නා වූ සර්‍වඥතාඥානයට නිමිත්ත වූ අර්‍හන්මාර්‍ගයාගේ අධිගමයෙන් පරිභාවිතවූ පුරුදු වූ වැඩුනු ස්කන්‍ධසන්තානය ඇසුරු කොට ගත් නම් ඇති විශේෂ සත්ත්‍වෝත්තම තෙමේ බුද්ධ නම් වේ. “ සබ්බධම්මෙසු අප්පටිහතනිමිත්තානුත්තරවිමොක්ඛාධිගමපරිභාවිතං ඛන්‍ධසන්තානමුපාදාය පණ්ණත්තිකො” යනු අටුවා ය.
සංස්කාර නම්: අටළොසක් වූ නිෂ්පන්නරූපධර්‍ම හා තෙපණසක් වූ චිත්තචෛතසිකධර්‍ම යන එක් සැත්තෑ ධර්‍මයෝ ය. විකාර නම්: කායවිඥප්ති - වාග්විඥප්ති ලඝුත්ව - මෘදුත්‍ව - කර්‍මණ්‍යත්‍වයන ධර්‍ම පස ය. ලක්‍ෂණ නම්: උපචය - සන්තති ජරතා යනධර්‍ම තුන ය. නිර්‍වාණ නම්: අසංස්කාරක ධාතු ය. ප්‍රඥප්ති නම්: ඒ ඒ පදාර්‍ත්‍ථ විෂයයෙහි නැගෙන පැණවීම් ය. සකලඥෙයමණ්ඩලය යි කියනුයේ මේ පස ය. මෙය දන්නා නුවණ සර්‍වඥතාඥානය යි කියනු ලැබේ. මෙයට තැන් වූ ස්කන්‍ධසන්තානය ඇසුරු කොට සිටි සත්ත්‍ව තෙමේ බුද්ධය යි කොටින් දත යුතු ය. “ බුද්ධො සබ්බඤ්ඤුතඤාණො” යනු මෙබැවිනි.
අනුත්තරවිමොක්ඛ නම්: රහත්මග නුවණ ය. කෙලෙසුන් ගෙන් මිදෙනුයේ ‘විමොක්ඛ’ නම්. එය සිවු අරීමග සඳහා ම කිය හැකි ය. රහත්මග ඒ අනෙක් ආර්‍ය්‍ය මාර්‍ගයන්ට වඩා ඉතා උසස් බැවින් ප්‍රණීත බැවින් ආර්‍ය්‍ය මාර්‍ගයන්ගේ මුදුන් පෙත්ත බැවින් ‘අනුත්තරවිමොක්ඛයි’ ගන්නේ ය. ඒ සමග එයට අනතුරුව ම අනන්තර - සමනන්තරාදිප්‍රත්‍යයය ලැබීමෙන් උපදනේ රහත් පලය යි. ඒ මේ රහත්පලය බුදුවරයන්ට උපදනේ සෙසු දෙනාට මෙන් නො වේ. උන්වහන්සේලාට සර්‍වඥතාඥානාදී වූ සියලු බුදු ගුණත් සමග උපදනේ ය. “බුද්ධානං හී අරහත්තඵල නිප්ඵජ්ජ මානං සබ්බඤ්ඤුතඤාණාදීහි සබ්බෙහි බුද්ධගුණෙහි සද්ධිංයෙව නිප්ඵජ්ජති” යනු ටීකා ය.
රහත්පලය අනුත්තරවිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත වූ අර්‍හත් මාර්‍ගයට අනතුරුව ම ලැබෙන බැවින් ‘විමෝක්ඛන්ත’ යි හඳුන්වනු ලැබේ. ඒ මේ විමෝක්ඛන්තයාගේ ලැබීමෙන් ලැබිය යුතු වූයේ ‘විමොක්ඛන්තික’ නම් වේ. සර්‍වඥතාඥානය හා අන්‍ය වූ බුද්ධඥානත් ය ඒ. රහත්පල ලැබීමෙන් ලැබිය යුතු වූ සියලු දහම් ගොදුරු කොට ඇති සර්‍වඥතාඥානයට අනන්තර - සමනන්තර - උපනිඃශ්‍රයාදි වශයෙන් ස්ථාන වනුයේ අනුත්තරවිමෝක්‍ෂසඞ්ඛ්‍යාත අර්‍හන්මාර්‍ගයයි. එයින් සර්‍වඥතාඥානය සිදු වේ. සර්‍වඥතාඥානාදී වූ හැම බුදුගුණයෙක් ම කුළු ගැණෙනුයේ අර්‍හත්ඵලක්‍ෂණයෙහි ය. ඒ කීහ මෙසේ: “ විමොක්ඛො අරහත්තමග්ගො විමොක්ඛස්ස අන්තොඅරහත්ත ඵලං. තස්මිං විමොක්ඛන්තෙ භවං විමොක්ඛන්තිකං නාම, සබ්බඤ්ඤුතභාවො හි අරහත්තමග්ගෙන සිජ්ඣති. අරහත්තඵලොදයෙ සිද්ධං හොති. තස්මා සබ්බඤ්ඤුභාවො විමොක්ඛන්තෙ භවො හොති” යනු.
මේ පිණිස ඉතා දිගු කලක් බුදුකුරුදහම් පුරා සිටියෙක් ම පැරුම්දම් කුළු ගන්වා සිටියෙක් ම සුදුසු වන්නේ ය. මෙ කියු බුදුගුණ ලබන්නේ හේ ය. එහෙයින් ම හේ බුද්ධ නම් වේ.
යම් සිවු සස්දහම් දැනුමක් සර්‍වඥතාඥානය ලැබීමට අන් හේතුන්ට වඩා ඉතා ම ලඟ ඉතා ම හොඳ හේතුව වේ ද, ඒ මේ සිවුසස් දහම් දැනුම නිසා ලැබුනු නම් ඇති සත්ත්‍ව විශේෂය තෙමේ බුද්ධ නම් වේ. ඒ කීහ මෙසේ: “සබ්බඤ්ඤුතඤාණපදට්ඨානං වා සච්චාභි සමයමුපාදාය පණ්ණත්තිකො සත්තවිසෙසො බුද්ධො” යි.
චතුස්සත්‍යාවබෝධයෙහි තතත්ව විසින් බුද්ධ ශබ්දය චතුසච්වබුද්ධ - පච්චේකබුද්ධ - සම්මාසම්බුද්ධ යන පුද්ගලයන් තිදෙන කෙරෙහි වැටේ.
එහි යමෙක් අනුන්ගෙන් ලත් උපදෙස් ඇති ව බණ ඇසු මෙන් පරතෝඝෝෂ ප්‍රත්‍යයය ලබා, චතුස්සත්‍යාවබෝධය කළේ ද හේ චතුසච්චබුද්ධ නම්. සත්‍යාභිසමය කළ ශ්‍රාවක වූ රහතුන් වහන්සේ ය. උන්වහන්සේගේ සත්‍යඥානය ආසන්නකාරණ වනුයේ කොටසෙක වූ ශ්‍රාවකපාරමීඥානයට ම ය.
අසඞ්ඛ්‍යකල්ප දෙකක් හා මහාකල්පලක්‍ෂයක් පිරූ පැරුම් ඇතිව පරෝපදේශයෙන් හා පරතෝඝෝෂප්‍රත්‍යයයෙන් තොරව යෝනිසෝමනසිකාරයෙන් තමන්ට පමණක් සීමා වූ චතුස්සත්‍යාවබෝධය ඇත්තේ පච්චේකබුද්ධ නම්. තමන් අවබෝධ කරගත් නමුත් එය අන්හු ලවා අවබෝධ කරවීමෙහි අපොහොසත් වූ පසේබුදුරජ තෙමේ ය. මෙතෙමේ ආශයානුශය දන්නා නුවණින් තොර බැවින් සත්ත්‍වයන්ගේ චරිතාධිමුක්ති බලා දහම් දෙසීමෙහි අපොහොසත් ය. ඒ නිසා ම මුන්වහන්සේගේ සත්‍යාභිසමය අසම්පූර්‍ණ ය. සත්ත්‍වයන්ට දහම් අවබෝධ කරවිය නො හැක්කේ ද ඒ නිසා ම ය. උන්වහන්සේගේ සත්‍යාභිසමය ද ආසන්න කාරණ වනුයේ කොටසෙක වූ ප්‍රත්‍යෙකබෝධිඥානයටම ය.
චතුරසඞ්ඛ්‍යකල්පලක්‍ෂයක් හෝ ඉනුත් වැඩිකලක් පැරුම්දම් පුරා අනුන්ගෙන් ලත් කිසිත් උපදේශයක් නැති ව අනුනටත් අවබෝධ කරවිය හැකි සේ කිසිම අඩුබවක් නැති ව හැම ලෙසකින් පරිපූර්‍ණ කොට දතයුතු සියලු දහම් දැන සිටියේ සම්මාසම්බුද්ධ නම්. මාගේ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ය. මුන්වහන්සේ පසේබුදුරජහු මෙන් නො ව ආශයානුශය ඥානයෙන් ඥානවත් ය. එහෙයින් සත්ත්‍වයන්ගේ චරිතාධිමුක්ති බලා තමන් අවබෝධ කර ගත් ධර්‍මය අනුනටත් අවබෝධ කරවීමෙහි පොහොසත් ය. මුන්වහන්සේගේ සත්‍යාභිසමය ආසන්නකාරණ වනුයේ සකල බුද්ධඥානයට ම ය. “තං බුද්ධමනන්තගොචරං” යන මෙහි ආවෝ මුන්වහන්සේ ය. මුන්වහන්සේගේ ධර්‍මාවබෝධය පසේබුදුරජුන්ගේ ධර්‍මාවබෝධය සේ එක් කොටසක් පිළිබඳ කොට නො ව ඇති තාක් දත යුතු දහම් පිළිබඳ කොට ඇතිබව සම්මා යන්නෙන් කියන්නේ ය. ශ්‍රාවකයන්ගේ අවබෝධය මෙන් පරොපදේශයෙකින් නො ව තම නුවණින් ම අනුන්ගෙන් ලත් කිසිදු උපදේශයක් පිහිටක් නැති ව සියලු දහම් දැන ගත් බව සං යන්නෙන් කියන්නේ ය. ඒ එසේ ම ය. කිසි ද ශ්‍රාවකයෙක් අනුන්ගෙන් බණ නො අසා සත්‍යාභිසමය නො කරන්නේ ය.
සර්‍වඥතාඥානාදි අපරිමිතගුණයන්ට ස්ථාන වූ ස්කන්‍ධසන්තානය බුද්ධ නම් වේ යනු ඉතා කෙටි කතා ය. “ සබ්බඤ්ඤුතාදිඅපරිමෙය්‍යගුණගණාධාරො ඛන්‍ධසන්තානො බුද්ධො” යනු අටුවා.
නිර්දේශයෙහි ව්‍යඤජනාර්‍ත්‍ථ විසින් බුද්ධ ශබ්දයෙහි අර්‍ත්‍ථවිවරණය මෙසේ ආයේ ය.
“ බුජ්ඣිතා සච්චානීති = බුද්ධො” චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන් අවබෝධ කළේ බුද්ධ නම් කොටින්.
“ බොධෙතා පජායාති = බුද්ධො” හේතුසම්පත් ඇති සත්ත්‍වයනට තමන් දත් චතුස්සත්‍යධර්‍මය අවබෝධ කරවනුයේ බුද්ධ නම් කොටින්.
“සබ්බඤ්ඤුතාය = බුද්ධො” දතයුතු දහම් දැනීමෙහි පොහොසත් නුවණ ඇති බැවින් බුද්ධ නම් කොටින්.
“විසිට්ඨා බුද්ධි අස්ස අත්‍ථිති = බුද්ධො” චතුස්සත්‍යාවබෝධයෙහි විශිෂ්ට බුද්ධියක් මොහුට ඇත්තේ බුද්ධ නම් කොටින්.
“සබ්බදස්සාවිතාය බුද්ධො” සියලු දහම් නුවණැසින් දක්නා ලද බැවින් බුද්ධ නම් කොටින්.
“අනඤ්ඤනෙය්‍යතාය = බුද්ධො” අන්හු විසින් අවබෝධ නො කරවන ලද්දේ තමන් විසින් ම අවබෝධ කර ගත් බැවින් බුද්ධ නම් කොටින්
“විසවිතාය = බුද්ධො” නන් වැදෑරුම් ගුණසුවඳ විහිදුවන බැවින් පිපි පියුමක් සේ විකශනාර්‍ත්‍ථයෙන් බුද්ධ නම් කොටින්. “නානා ගුණවිසවනතො පදුමමිව විකාසනත්‍ථෙන බුද්ධො” යනු අටුවා.
“ඛීණාසවසඞ්ඛාතෙන = බුද්ධො” ආශ්‍රවධර්‍මයන් ක්‍ෂය කිරීමෙන් නිදි හැර සිට පුරුෂයකු සේ සියලු කෙලෙස්නිදි නසාලීමෙන් පිබිදියේ බුද්ධ නම් කොටින්. “චිත්තසංකොචකරධම්මප්පහානෙන නිද්දාක්ඛයවිබුද්ධො පුරිසො විය සබ්බකිලෙසනිද්දාක්ඛය විබුධත්තා බුද්ධො” යනු අටුවා.
“නිරුපක්කිලෙසසඞ්ඛාතෙන = බුද්ධො” උපක්ලේශරහිත බැවින් බුද්ධ නම් කොටින්.
“එකන්තවීතරාගොති = බුද්ධො” එකතින් පහ වූ රාග ඇත්තේ බුද්ධ නම් කොටින්.
“ එකන්තවීතදොසොති = බුද්ධො” එකතින් පහ වූ ද්වේෂ ඇත්තේ බුද්ධ නම් කොටින්.
“එකන්තවීතමොහොති = බුද්ධො” එකතින් පහ වූ මෝහ ඇත්තේ බුද්ධ නම් කොටින්.
“එකන්තතික්කිලොසොති = බුද්ධො” එකතින් පහකළ කෙලෙස් ඇත්තේ බුද්ධ නම් කොටින්.
“එකායනමග්ගං ගතොති = බුද්ධො” නිවනට යන එක් ම මගට පැමිණියේ බුද්ධ නම් කොටින්.
“එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති = බුද්ධො” පරෝපදේශ රහිත ව තමන් ම සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේ බුද්ධ නම් කොටින්.
“අබුද්ධිවිහතත්තා බුද්ධිපට්ලාභාති = බුද්ධො” මෝහය නැසූ බැවින් බුද්ධිය පිළිලැබූ බැවින් බුද්ධ නම් කොටින්. “බුද්ධි - බුද්ධං බොධොති පරියායවචනමෙතං” යනු අටුවා. නීලරක්තගුණ යෝගයෙන් ගුණි වූ වස්ත්‍ර ද නීලවස්ත්‍රය රක්තවස්ත්‍රය යි නීලරක්තාදිව්‍යවහාරය ලබන්නා සේ බුද්ධගුණයෝගයෙන් එකී ගුණීහු ද බුද්ධ නම් වෙත්. “යථා නීලරත්තාදිගුණයොගා නීලො පටො රත්තො පටොති වුච්චති එවං බුද්ධ ගුණයොගා බුද්ධො” යනු අටුවා.
“පාරමිතාපරිභාවිතාය පඤ්ඤාය සබ්බම්පි ඤෙය්‍යං අබුජ්ඣිති = බුද්ධො” පාරමිතාවන්ගෙන් වැඩුනු පුරුදු වූ සුවඳ කැවුනක් බඳු වූ ප්‍රඥායෙන් දතයුතු සියලු දහම් දත්තේ බුද්ධ නම් කොටින්.
“සම්මා සම්මාසම්බුද්ධොති වත සො භගවාති අධිගතගුණවිසෙසෙහි ඛීණාසවෙහි බුජ්ඣිතබ්බොති = බුද්ධො” ලැබූ ගුණ විශේෂ ඇති ක්‍ෂීණාශ්‍රවයන් විසින් ඒ භාග්‍යවත් තෙමේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධය යි දත යුත්තේ බුද්ධ නම් කොටින්.
“අපරිමිකප්පොචිතපාරමිතාසම්භූතාය පඤ්ඤාය සබ්බෙ සඞ්කතාසඞ්ඛතෙධම්මෙ අබුජ්ඣි බුජ්ඣිති බුජ්ඣිතිස්සතීති = බුද්ධො” ප්‍රමාණ රහිත වූ කල්පයහි රැස් කළ පාරමිතා බලයෙන් මහත් ව නැගුනු ප්‍රඥාවෙන් සියලු සඞ්ඛත-අසඞ්ඛත ධර්‍මයන් දත්තේ හෝ දනී හෝ දන්නේ හෝ බුද්ධ නම් කොටින්.
“දෙව වටටමුලානි අනඤ්ඤුද්ධධරාපිතො හුත්‍වා ඛන්‍ධසන්තානතො සයමෙව මහාසමුද්දතො වාලිකුද්ධරණං විය උද්ධරතීති = බුද්ධො” අනෙකකු විසින් නො උදුරණලදු ව තෙමේ ම මහමුහුදින් වැලි නගා ගන්නා සේ ස්කන්‍ධසන්තානයෙන් ද්විධ වෘත්තමූලයන් උදුරා නු යි බුද්ධ නම් කොටින්.
“දෙව දිට්ඨධම්මිකසම්පරායිකසඞ්ඛාතෙ අත්‍ථෙ උද්ධරිත්‍වා ධාරෙතීති = බුද්ධො” ද්වීධ වූ ඓහික පාරත්‍රිකාර්‍ත්‍ථයන් නගා දරා සිටී නු යි බුද්ධ නම් කොටින්.
“බාලසඞ්ඛාතෙ පුථුජ්ජනෙ වට්ටදුක්ඛතො උද්ධරතීති = බුද්ධො” බාලැයි කියූ පුහුදුන් සසර දුකින් නගා ගණී නු යි බුද්ධ නම් කොටින්.
“චතුන්නං අරියසච්චානං අවිපරීතං සයම්භූඤාණෙන බුද්ධත්තා පටිබුද්දත්තා බුද්ධො” චතුර්විධ ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ අවිපරීතාර්‍ත්‍ථයන් පරෝපදේශ රහිත ව ස්වයම්භූඥානයෙන් අවබෝධ කළ බැවින් බුද්ධ නම් කොටින්.
“සබ්බස්සාපි ඤෙය්‍යස්ස සබ්බප්පකාරෙන සයම්භූඤාණෙන බුද්ධත්තා බුද්ධො” දතයුතු සියලු දහම් ඉතිරි නො කොට හැමතින් මුළුමනින් ස්වයම්භූඥානයෙන් දත් බැවින් බුද්ධ නම් කොටින්.
සම්මා සම්බුදු රජුන් කෙරෙහි නැගි ඒ මේ බුද්ධ නාමය මව විසින් පියා විසින් සොහොයුරකු විසින් සොහොයුරියක විසින් මිතුරකු විසින් ඇමැතියකු විසින් නෑයකු විසින් සහලේ නෑයකු විසින් මහණකු විසින් බමුණකු විසින් සක්දෙවිඳු විසින් බඹකු විසින් නො ද කැරුණේ ය. අර්‍ත්‍ථයක් නො ගෙණ අර්‍ත්‍ථයක් ඇසුරු නො කොට නො ද කැරුණේ ය. ඒ නම් රහත් පලයාගේ කෙළවර සර්‍වඥතාඥානය සමධිගමය හා සමධිගත විමොක්ඛන්තික නාමයෙක් වේ. මහබෝ මුල්හි පස් මරුන් බිඳ පිළිවෙළින් ගොස් රහත් මග නුවණ ලබා එහි අන්තය වූ රහත්පලය ලැබීම සමග ම පහළ වූ සර්‍වඥතාඥානය නිමිති කොට පැණවුනේ ය. “බුද්ධොති නෙතං මාතරා කතං. න පිතරා කතං. න භාතරා කතං. න භගිනියා කතං. න මිත්තාමච්චෙහි කතං. න ඤාතිසාලොහිතෙහි කතං. න සමණබ්‍රාහ්මණෙහි කතං. න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලේ සහ සබඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධොති” යනු නිර්‍දෙශවචන යි.
එහි සච්ඡිකා පඤ්ඤත්ති නම්, රහත්පලය පසක් කිරීමෙන් හෝ දතයුතු දහම් එකකුත් නො හැර හැම ලෙසින් දත් බැවින් හෝ එය නිමිති කොට අනුරුත් විසින් ලත් නාම යි. “සච්ඡිකා පඤ්ඤත්තීති අරහත්තඵලසච්ඡිකිරියාය හා සබ්බධම්මසචඡිකිරියාය වා ජාති පඤ්ඤත්ති” යනු අටුවා.
අනන්තගොචරං = කෙළවර නො දත හැකි අරමුණු ඇති. සකලඥෙයමණ්ඩලයාගේ වශයෙන් බොහෝ අරමුණු ඇති.
බුද්ධං යනු විසෙසා සිටියේ ය. සර්‍වඥතාඥානය ඥෙයමණ්ඩලයාගේ වශයෙන් අනන්තාලම්බනිකය යි මෙයින් වදාළ සේක.
අපදං = හේතු රහිත වූ.
පද නම්, හේතු ය. රාගාදික්ලේශයෝ සත්ත්‍වයන්ට අනුන්ගේ වශයට යෑමට ද සසර ඉපැත්මට ද හේතු වෙති. රාගාදික්ලේශ පදැයි කියන ලද්දේ එහෙයිනි. සත්ත්‍වයන්ට අනුනට යටත් වන්නට සසර පුන පුනා ඉපදීමට කරුණු වනුයේ කෙලෙස් ය. එබඳු කෙලෙස් හේතු නැත්තේ අපද නමි. බුද්ධං යනු වෙසෙසයි.
කෙන පදෙන නෙස්සථ = කිනම් හේතුවෙකින් ගෙණ යවු ද?
යමක්හට සසර ඉපැත්ම දෙන රාගාදීහේතූන් අතුරෙහි එක් හේතුවකුත් ඇත් නම්, ඒ හේතු ඇති පුද්ගලයා ඒ හේතු බලයෙන් තොපට තොප කැමැති කොතැනකට වුව ද ගෙණ යා හැකි ය. බුදුරජුන්ට වනාහි සසර උපත දෙන අනුන් යටතට පමුණුවන එක් ම හේතුවෙකුත් නැත්තේ ය. එහෙයින් හේතු නැති බුදුරජුන් කිනම් හේතුවකින් තෙපි ගෙණ යහු දැ යි කී සේ ය. “යස්ස හි රාගපදාදිසු එකපදම්පි අත්‍ථි, තං තුම්හෙ තෙන පදෙන නෙස්සථ, බුද්ධස්ස පන එකපදම්පි නත්‍ථි, තං අපදං බුද්ධං තුම්හෙ කෙන පදෙන නෙස්සථ” යනු අටුවා.
යස්ස ජාලිනී විසතතිකා තණ්හා නත්‍ථි කුහිං චි නෙතවෙ = යම් බුදු කෙනකු කිසි භවයකට හෝ කිසිවකුගේ යටතට හෝ පමුණු වන්නට ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණාවක් නැත් ද.
උත්පත්ති විසින් යම් කිසි භවයකට හෝ කෙලෙස් රැහණින් බැඳ කෙලෙස් විසින් කිසිවකුගේ යටතට හෝ හේතු වූ ජාලිනී විසත්තිකා යන නම් වලිනුදු ප්‍රසිද්ධ තෘෂ්ණාව බුදුරජානන් වහන්සේට මඳකුත් නැත.
තං බුධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ = සකල ඥෙයමණ්ඩලයාගේ වශයෙන් බොහෝ අරමුණු ඇති හේතුරහිත වූ ඒ බුදුරජුන් කවර හේතුවෙකින් ගෙණ යහු ද.
සව්නේ දත් නුවණට අරමුණු වන ඉමක් මිම්මක් නැති නන්වැදෑරුම් වූ අරමුණු ඇතත් සසර පුන පුනා ඉපැත්මට කරුණු වන රාගාදී වූ හේතු එකෙකුත් නැති ඒ බුදුන්, තෙපි කිනම් හේතුවක් බලා කිනම් හේතුවකින් ගෙණ යහු ද, තොපගේ යටතට ගණිහු ද, තොප කොයි ලෙසින් සිතුව ද, තැත් කළ ද ඒ නම් කළ නො හැක්කේ ම ය.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දේවතාවුන්ට ධර්‍මාවබෝධය වී ය. මරඟනෝ එහි ම නො පෙණි ගියහ, යි මේ දේශනාවගෙන හැර දක්වා “මාගන්දිය! එදා මා ඉදිරියෙහි නොයෙක් කෙළි සෙල්ලම් කළ රාගික වචන කියූ ඒ මරඟනෝ සෙම් සොටු ඈ කිසිත් අපවිත්‍රයෙකින් නො දැවටුනු රන්කඳන් වැනි දැකුම් කලු සිරුරු ඇත්තෝ වූහ, එහෙත් උන්ගේ අත් ගැණුමෙක්හි පවා සිතෙක් කැමැත්තෙක් මොනලෙසකිනුත් මට නො උපන්නේ ය. තමුසේගේ දුවගේ මේ සිරුර දෙතිස් කුණපයෙන් පිරුණු කුණු ගොඩෙක, ඇසින් කඳුළු කබ, නැහැයෙන් සෙම් සොටු, කටින් කෙළ කැහි, කණින් කන්කඳුරු, සිරුරෙන් ඩහදිය මලමූ ඈ කුණු කොටස් දවරෑ දෙක්හි අතර නො තබා වෑහෙන්නේ ය, තාගේ දුවගේ සිරුර පිටත පිරියම් කළ ගූථඝටයක් වැන්න, බමුණ! වැඩි කතා කුමට ය, යම් ලෙසකින් මගේ පයෙහි අසුචි වැකුණි නම්, මෝ පාපිස්නා දඬුකඩක් සේ සිටියා ද, මම අසුචි පිස දමන්නට කියා වත් මැගේ සිරුර මාගේ පයින් නො ද පහස්නෙමි, යි වදාරා;
“තණ්හා රති රගා - දැක මෙවුන්දම් සෙවුමෙහි,
නො ද විය සඳෙක් මා සිත - එ මට තා දුව කුමට ය?
මලමූ දෙකින් පිරී - නිතර ම දුගඳ වහනා
තා දූ පයින් පමණත් - පහසනු නො ඉස්නේ වෙමි”
යි මෙසේ ද වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි මාගන්දිය අඹු සැමි දෙපොල අනාගාමීඵලයෙහි පිහිටා ගත්හ .
මාරදුහිතෘ වස්තුව නිමි.