යෙ ඣානපසුතා ධිරා නෙක්ඛම්මූපසමෙ රතා
දෙවා’පි තෙසං පිහයන්ති සම්බුද්ධානං සතීමතං.
යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්. (අපිත්) බුදු වූවෝ නම් යෙහෙකැ සි බුදු බව කැමැති වන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
රජගහ නුවර සිටු තෙමේ, දිය කෙළනා ගඟෙහි, දියමතු පිට හා දිය යට, දැල් බන්දවා දිය කෙළි කෙළියි. එසේ කරණුයේ, පිටතින් එන උවදුරු වළකන්නට හා තමන් නො දැන ඇඟෙන් ගැලවී වැටෙන අබරණ රැකගනු සඳහා ය. දවසෙක සිටු, දිය කෙළනා අතර ඉතා මට සිලිටි වූ දියසෙවෙල් බැඳුනු කළගෙඩියක් තරම් වූ සඳුන් ගැටයක් දියෙහි පාවී අවුත් දිය කෙළනා තැන බැඳ තුබූ දැලෙහි ලැගුනේ ය. සිටු තෙමේ එය ගෙන්වා කුමැයි දැන ගන්නට මෙහෙකරුවකු ලවා වෑකෙටියෙකින් සැස්වූයේ ය. ඒ වේලෙහි එය රත්සඳුන් ගැටයෙකැ යි දන්නා ලද්දේ ය. සිටු තෙමේ සම්දිටු හෝ මිසදිටු ගත්තෙක් නො වී ය. මැදහත් විචාරකයෙක් විය. “මේ මාගේ ගෙයි රත්සඳුන් බොහෝ ය, මට මෙයින් වැඩෙක් නැත, මේ රටේ අපි රහතුම්හ, අපි රහතුම්හ, යි කියා ගන්නෝ ද බොහෝ ය, මම රහතුන් නො හඳුනමි, රහත්හු කවුරු දැයි නො දනිමි, එහෙයින් මේ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියවා පැසෙක බහා සැටරියන් පමණ දිගැති හුණලී කීපයක් එක එක දිගට තබා බැඳ, පොළොව කැණ සිටුවා එහි මුදුන පාත්‍රය තබා මේ රටෙහි රහත්හු වෙත් නම්, අහසින් අවුත් මෙය ගණිත්වා යි ප්‍රසිද්ධ කරන්නෙමි, යමකු අවුත් පාත්‍රය ගත්තොත් මම අඹු දරුවනුත් සමග ඔහු සරණ යමි” යි සිතූ සිටු තෙමේ ලියන වඩුවන් ගෙන්වා ඔවුන් ලවා සඳුගැටයෙන් පාත්‍රයක් ලියවා හුණගස මුදුන එල්වා “රහත්හු වෙත් නම්, අහසින් අවුත් මේ සඳුන් පාත්‍රය ගන්නා සේක්වා” යි දැන්වීම් පළ කොට හැරියේ ය.
එකල්හි පූරණකාශ්‍යපාදිශාස්තෘහු සදෙන “මේ පය සුදුසු අපට ය, අනෙකෙක් මෙය දැරීමට සුදුසු නො වේ, එහෙයින් අපි වෙහෙසට පත් නො කොට, මේ පය අපට දෙන්නැ” යි කියා යැවුහ. සිටු තෙමේ “මේ පය එසේ දෙනු නො හැකි ය, යමෙක් එය අපට සුදුසුය යි කියා නම්, ඔහු අහසින් අවුත් එය ගත යුතු ය” යි දන්වා යැවී ය. පස් දවසක් මෙසේ ඉක්ම ගියේ ය. සවනදා නිර්ග්‍රන්‍ථඥාත පුත්‍ර තෙමේ අතවැස්සන් ගෙන්වා “තමුසේලා ගොස් මේ පය සුදුසු අපගේ ගුරුතුමාට ය, මේ කුඩා සඳුන්ගැටයක් නිසා උන්වහන්සේ අහසින් ගෙන්වීම නො සුදුසු ය, ටිකදෙයක් නිසා මහත්ගුණයක් පෙන්වීම උන්වහන්සේට තරම් නො වේ, එසේ නො කළ මැනැව, උන්වහන්සේට මෙය දුන මැනවැ යි කියවු” යි සිසුන් අත දන්වා යැවී ය. ඔවුහු සිටු වෙතට ගොස් එසේ කීහ. “එසේ දෙනු නො හැකි ය, එය බලාපොරොත්තු වන්නකු අහසින් අවුත් අප බලා සිටිය දී ගත යුතු ය, එයට වඩා අන්ලෙසක් කරනු නො හැකි ය” යි සිට ඔවුනට කී ය.
එකල්හි ඥාතපුත්‍ර තෙමේ එය ගණු කැමැති ව, අතවැස්සන්ට කතා කොට “ඕය්! මම හුණගස ලඟට ගොස් එක් අතක් එක් පයක් ඔසොවා අහසට නගින ලෙසක් කරන්නෙමි, එවිට තමුසේලා සේරම හා! හා! මේ මොන පුදුමයෙක් ද, මේ කිසිත් වැදගැම්මකට නැති දඬු කඩක් නිසා සැඟවී ඇති රහත්ගුණය නොද පෙන්වනු මැනවැ යි කීයා, මාගේ අතපය ඇඟ එල්බ ගණිවු” යි ඔවුනට කියා සිටු වෙතට ගොස් “මහසිට! මේ පය සුදුසු අපට ම ය, අප හැර අන්‍යයනට මෙය සුදුසු නො වේ. එහෙයින් එය අපට දුන මැනැව, සුලු දෙයක් නිසා අප අහසට නංවනු නො මැනැව, මේ වැදගැම්මකට නැති දෙයක් නිසා, අපගේ රහත්ගුණය ලොවට පෙන්වනු ද නො මැනැව, එහෙයින් මෙය අපට ම දෙන්නැ” යි තරයේ කියා සිටියේ ය. “තමුන්නාන්සේ කියන කතාව මට පිළිගත නො හැකි ය, මට එයට කැමැති වන්නට ද නො පිළිවන, මටත් අපගේ මේ රටේ රහත්හු සිටිත් දැ යි දැන ගන්නට අදහසෙක් උපන, එහෙයින් ඔබ වහන්සේලා කැමැත්තහු නම්, පාත්‍රයත් ඔබ වහන්සේලාට සුදුසු නම්, අහසින් ම අවුත් එය ගණු මැනැව, එයින් වරදෙක් වන්නේ නො වේ” යි සිටානන් කී කල්හි, ඥාත පුත්‍ර තෙමේ “හා! වේවා, මදක් ඈත් වවු” යි අතැවැස්සන් ඈත් කොට “අහසට නගිමි” යි එක් අතක් හා එක් පයක් උස්සා සිට ගත්තේ ය.
ඒ වේලෙහි අතවැස්සෝ දුව ඇවිත් “හිමියනේ! අපට ලෝකයා ලවා නින්දා නො කරවනු මැනැවි, ඔය කරණ වෑයම මොන පලයක් සඳහා ද, මළ දඬුමුවා පාකබලකට ඔබවහන්සේ තුළ සැඟවී ඇති මහත් වූ රහත්ගුණය පෙන්වීම සුදුසු ද එයට ඉඩ දෙනු නො හැකි ය” යි අතින් පයින් ඇද බිම හෙලූහ. නාතපුත්, සිටු අමතා “මහසිට! මූලා මට අහස නැගෙන්නට ඉඩ නො දෙති, මූලා, මා අදනා කල මම කුම් කරම් ද? මූලා කියන්නෙහි ද එක්තරා ඇත්තෙක් තිබේ, පාත්‍රය අපට ම දුන මැනැවැ” යි නැවැතත් ඉල්ලී ය. සිටු ද “මූලා කරන්නේ කපටි කමෙක, තක්කඩිකමෙකැ” යි දැන “වුවමනා නම් අහසින් ගොස් ගණුව” යි එවරත් කියා සිටියේ ය. පූරණකාශ්‍යපාදී වූ ෂඩ් ශාස්තෲහු සදවසක් නොයෙක් ලෙසින් වෑයම් කළෝ ද පාත්‍රය ලබා ගැණිමෙහි අපොහොසත් වූහ.
ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ හා ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ මහාස්ථවිරයන් වහන්සේ රජගහ නුවර පිඬු සිඟා යන්නට සිතා ගොස් එක් ගල්තලාවක් උඩ සිට සිවුරු ගැටවටු කළහ. ඒ අසල සිටි ධූර්‍තයෝ උන්වහන්සේලා දැක “දන්නහු ද? මෙයින් සදවසකට උඩදී රජගහ සිටු සඳුන් ගැටයෙකින් පාත්‍රයක් ලියවා රහත්හු වෙත් නම් ගණිත්වා යි දිගට තබා බැඳි උණගසක් පොළොව කැණ සිටුවා ඒ මතෙහි පාත්‍රය තබවා අදට සත් දවසෙක් වී ය, එහෙත් ‘මම රාත්මි’ යි ඒ ගන්නට අහසට නැගි එකෙකුත් නැත, ලෝකයෙහි දැන් රහත්හූ නැත්තාහ, ‘මම රාත්මි, මම රාත්මි’ යි කියා හැසිරෙන්නෝ රාත්හු නො වෙති” යි හඬ නගා කීහ. මහාමෞද්ගල්‍යායන මහා ස්ථවිරයන් වහන්සේට මේ කතාව ඇසුනේ ය. උන්වහන්සේ, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් අමතා “ඇවැත්නි! අරුන් කළ කතාව තමුන්නාන්සේටත් ඇසුනේ ද? ඔවුහු, බුදුසසුනෙහි තතු දන්නවුන් සේ කතා කෙරෙති, තමුන්නාන්සේත් මහාඍද්ධි ඇති කෙනෙකි, මහත් අනුභාව ඇති කෙනෙකි, යන්න! අහසින් ගොස් ඒ පාත්‍රය ගෙණ එනු මැනැවැ” යි කීහ.
එකල්හි පිණ්ඩාල භාරද්වාජ සථවිරයන් වහන්සේ “ඇවැත්නි! මෞද්ගල්‍යායන ස්ථවිරතුමනි! ඇයි මට කියහු? ඔබවහන්සේ මේ සසුනෙහි ඍද්ධිමතුන්ට අග්‍රය යි නම් දරා සිටිත්, එහෙයින් පාත්‍රය. ගැණීමෙහි සුදුසු ඔබ වහන්සේ ය, එහෙයින් ලෝකය තව ම රහතුන්ගෙන් හිස් නො වවන බව හඟවා පත්‍රය ගෙණ එනු මැනැව, ඔබ වහන්සේ ඒ සඳහා නො යතොත් මට යෑ හැකි ය” යි කීහ. “හා! මැනැව, ගොස් පාත්‍රය ගෙණ එනු මැනැවැ” යි මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කී කල්හි පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ අභිඥා පාදක චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගී සිට තුන් ගවු පමණ දිග පළලට පැතිර තුබූ ගල්තලාව ඇඟිලිතුඩින් උපුටා ගත් පුලුන් පොදක් සේ අහසෙහි නගා තබා රජගහ නුවර මතුයෙහි අහසෙහි සත්වරක් අහස සිසාරා සක්මන් කළහ.
ඒ වේලෙහි ඒ ගල්තලාව තුන් ගවු පමණැති නුවර වසා සිටි පියන් පතක් සේ පෙණෙන්නට වන. නුවරවැස්සෝ “ගල්තලාව අප තළා මිරිකා ගෙණ වැටේ” යි බියපත් ව කුලුවට්ටි ඈ හිස තබා ඒ ඒ තැන සැඟවී ගත්හ. සත්වන වර ස්ථවිරයන් වහන්සේ ගල්තලාව කඩ කඩ කොට බිඳ මහාජනයාට තමන් වහන්සේ දැක්වූහ. මහාජන තෙමේ තෙරුන් දැක, “අනේ! හාමුදුරුවනේ! ඔය ගල බිම නො හෙලා තදින් අල්ලා ගන්න, අප නො නසනු මැනැවැ” යි මරහඩ දුන්නේ ය. එවිට ස්ථවිරයන් වහන්සේ එගල ඇඟිලිතුඩින් බැහැරට විසි කළහ. එය මුලින් තුබූ තැන ම වැටුනේ ය. නැවැත උන්වහන්සේ සිටු ගෙය මත්තෙහි අහසෙහි වැඩ සිටියාහු ය. සිටුතෙමේ තෙරුන් දැක බිම මුණින් තලා වැටී වැඳ “බසින්න, ස්වාමීනි! බසින්නැ” යි බිමට බස්වා ගෙණ වඩා හිඳුවා පාත්‍රය ගසින් බාවා ගෙන්වා චතුමධුර පුරවා තෙරුන්ට පිළිගැන්වී ය. ස්ථවිරයන් වහන්සේ පාත්‍රය ගෙණ වෙහෙරට වඩින්නට නික්මුනාහ. ඒ වේලෙහි වලට කුඹුරට ගොස් සිටි මිනිස්සු ඒ පෙළහර නො දුටහ. ඔවුහු පැමිණ “අනේ! හිමියනේ! අපටත් පෙළහර දක්වනු මැනැවැ” යි පසු පස්සේ එළවා ගියහ. උන්වහන්සේ ද උනුන්ට පෙළහර දක්ව දක්වා විහාරයට වැඩියාහ.
බුදුරජානන් වහන්සේ තෙරුන් පස්සේ එළවමින් “අපටත් පෙළහරක්, අපටත් පෙළහරක්, තෙපි පැත්තකට වවු, තෙපි පැත්තකට වවු” යි කෑ කෝ ගසමින් යන මිනිසුන්ගේ අරගලය අසා “ආනන්ද! කුමක් ද මේ අරගලය? කාගේ කෑ කෝ ගැසීමෙක් ද, ආනන්ද! මේ” යි විචාරා “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස! පිණ්ඩෝල භාරද්වාජ ස්ථවිරයන් රජගහනුවර සිටු අහස තැබු පාත්‍රය ගෙණ තිබේ, එය දුටු මිනිස්සු ඒ ස්ථවිරයන් පස්සේ යමින්, අපටත් පෙළහරක්, අපටත් පෙළහරක්, යි කෑ කෝ ගසති, ඒ මේ අරගලය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ දන්වා සිටි කල්හි භාරද්වාජ තෙරුන් කැඳවා “හැබෑ ද තමුසේ විසින් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙක් කරන ලදැ යි කියන්නෝ” යි අසා වදාළ සේක. “ස්වාමීනි! එසේය” යි පිළිතුරු දුන් කල්හි “කිම තමුසේ විසින් එසේ කරණ ලද්දේ” යි තෙරුන්ට තරවටු කොට පාත්‍රය ගෙන්වා “කඩ කඩ කරවා අඳුන් පිණිස අඹරවා ගන්නැ” යි භික්‍ෂූන්ට දෙවා ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය නො කරණ ලෙසට ආඥා පැණවූ සේක.
ඉක්බිති තීර්‍ත්‍ථකයෝ “ශ්‍රමණ ගෞතම පාත්‍රය කැබලි කැබලි වලට කඩවා බෙදා දී මින් පසු පෙළහර නො කරණ ලෙසට ආඥා පණවා තිබේ, ශ්‍රමණ ගෞතමගේ ශිෂ්‍යයෝ පණ ගියත් ඒ අණ කඩ නො කෙරෙති, ශ්‍රමණ ගෞතමත් ඒ ලෙසට ම පිළි පදින්නේ ය, මෙයින් අපට ලැබුනේ මහත් ලාබයෙකි, දැන් ඉතින් අප කැමැති ලෙසකින් පෙළහර කරුණු හැකි ය” යි කතා කොට “පසුගිය දා අපගේ ගුණ රැක ගැණීමෙහි අදහසින් දැව කඩක් නිසා පෙළහර නො දැක්වීමු, ශ්‍රමණ ගෞතමන්ගේ ශ්‍රාවකයෝ පාත්‍රය තරම් සුලුදෙයටත් පෙළහර පාමින් තම ගුණය මහාජනයා ඉදිරියෙහි කියා පෑහ, ශ්‍රමණ ගෞතම තමාගේ දනුමැති කම නිසා ඒ පාත්‍රය කැබලිතිවලට කඩවා ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය නො කළ යුතු ය යි ව්‍යවස්ථා ද පැණවූයේ ල, දැන් ඉතින් අපි ඔවුන් සමග කරට කර දී තරඟයට පෙළහර කරන්නෙමු” යි ගමක් ගොඩක් නුවරක් පාරක් තොටක් ගෙයක් දොරක් පැල්පතක් නො හැර යමින් කියන්නට වූහ.
බිම්සර රජ තෙමේ, මෙය අසා බුදුරජානන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක හුන්නේ ය.
බුදුරජානන් වහන්සේ |
:- |
මහරජ! දැන් මෙහි ආවහු කිම? |
බිම්සර රජතෙමේ |
:- |
ස්වාමීනි! ඔබවහන්සේ විසින් මින්පසු පෙළහර නො කරණ ලෙසට ශ්‍රාවකයන්ට අණ කරණ ලද්දේ සැබෑ ද? |
බුදුරජානන් වහන්සේ |
:- |
ඔව්! මහරජ! මාගේ ශ්‍රාවකයන්ට පෙළහර නො කරණ ලෙසට මම අණ කෙළෙමි. |
බිම්සර රජතෙමේ |
:- |
ඇයි, ස්වාමීනි! එසේ අණ කළහු? පෙළහර නො කරණ ලෙසට අණ කොට තිබිය දී ශ්‍රාවකයන් වහන්සේ කෙසේ පෙළහර කෙරෙත් ද? |
බුදුරජානන් වහන්සේ |
:- |
මහරජ! ඒ එසේ නො වේ. පෙළහර නො කරන්නට අණ කරණ ලද්දෝ මාගේ ශ්‍රාවකයෝ ය. මට එහි තහනමක් නැත. මට පෙළහර කරුණු හැකි ය. |
බිම්සර රජතෙමේ |
:- |
ස්වාමීනි! ඔබවහන්සේ හැර පැණවුනු අණ තිබේ ද? |
බුදුරජානන් වහන්සේ |
:- |
මහරජ! මම එය ඔබගෙන් ම අසමි. මේ ඔබගේ රටෙහි ඔබට අයත් අඹදඹ ආදිය වැවූ උයන් තිබේ ද? |
බිම්සර රජතෙමේ |
:- |
එහෙම යි, ස්වාමීනි! බොහෝ අඹදඹ වතු තිබේ. |
බුදුරජානන් වහන්සේ |
:- |
ඔබ ඒ අඹදඹ වතුවලින් අඹදඹ කඩා කන්නවුන්ට ඔබ කරන්නේ කුමක් ද? |
බිම්සර රජතෙමේ |
:- |
ස්වාමීනි! මම ඔවුන්ට දඬුවම් පමුණුවමි. |
බුදුරජානන් වහන්සේ |
:- |
හොඳයි, මහරජ! වේවා, ඒ අඹදඹ වතුවලින් ඔබ අඹදඹ කඩා කෑවිට ඔබටත් දඬුවම් පමුණුවා ද? |
බිම්සර රජතෙමේ |
:- |
ස්වාමීනි! මට එහිලා දඬුවමක් නැත. මා කන්නේ මට අයත් වතුවල අඹදඹ ය. එහෙයින් මට දඬුවම් පමුණුවන්නෙක් නැත. |
බුදුරජානන් වහන්සේ |
:- |
ඔබගේ අණ පවතින්නේ ඔබට අයත් තුන් සියයක් යොදුන් පමණ වූ මේ රටේ ය. මේ ඔබගේ රටෙහි ඇති වතුවල අඹදඹ කන ඔබට දඬුවම් නැත. අනුන් කෑ කල ඔවුන්ට දඬුවම් තිබේ. මහරජ! එමෙන් මාගේ අණ කෙළලක්‍ෂයක් සක්වළ පුරා පැතිර ඇත්තේ ය. මා පණවන අණ ද මට මුත් අනෙකකුට ඉක්මවන්නට නො හැකි ය. මා පිළිබඳ අණකිරීමෙක් නැත. මාගේ අණ අනුන්ට මුත් මට නො වේ. පෙළහර කරන්නට මට ඉඩ තිබේ. ඒ අණත් මට බාධාවක් නැත. ඔබගේ වතුවල අඹදඹ ඔබ කෑ කල ඔබට දඬුවම් නැත්තා සේ අනුන්ට නො කරන්නට අණකළ දෙය මා කළැ යි වරදක් නැත. |
තීර්‍ත්‍ථකයෝ මේ කතාව අසා බියපත් ව “අපි නටුම්හ, ඔලුව එසවීමෙක් අපට නො ලැබේ, ශ්‍රමණ ගෞතම විසින් පෙළහර නො කරණ ලෙසට අණ කරණ ලද්දෝ ශ්‍රාවකයෝ ල, ඒ අණ, ඔහු කෙරෙහි ක්‍රියාත්මක නො වේ ල, එහෙයින් ගෞතම පෙළහර කෙරේ ල, අපි මෙහිලා කුමක් කරමෝ දැ” යි එක්තැන් ව කතා. කරන්නට වූහ.
බිම්සර රජ තෙමේ මේ අතර දවසෙක බුදුරජුන් වෙත ගොස් “ස්වාමිනි! ඔබවහන්සේ කවදා තරමට පෙළහර කරන්නට බලාපොරොත්තු වන සේක් ද? කොතැනකදී එය කර වදාරණ සේක් ද?” යි ඇසී ය. “මහරජ! මෙයින් සාරමසක් ගිය තැන එන ඇසළ මස පුරපසළොස්වක් පෝයදා සැවැත්නුවර ඇසුරු කොට පෙළහර කරන්නට බලාපොරොත්තු වන්නෙමි” යි බුදුරජානන් වහන්සේ දන්වාලූ සේක. උන්වහන්සේ යමාමහ පෙළහර කිරීමට මෙසේ දුර තැනක් නියම කර ගත්තාහු එතැන තීර්‍ත්‍ථකමථනය පිණිස සියලු බුදුවරයන් පෙළහර කරණ තැන වීම හා මහාජනයා හට රැස්වීමට පහසුකම් සලසනු සඳහා ය.
බුදුරජානන් වහන්සේගේ මේ ප්‍රකාශය ඇසූ තීර්‍ත්‍ථකයෝ “මෙයින් සිවුමසක් ගිය තැන ශ්‍රමණ ගෞතම තෙමේ පෙළහර කරන්නේ ල, එහෙයින් දැන් සිට ම අපි ඔහු පස්සේ ඔහු නො හැර යමු, මහාජනයා එසේ ඔහු පස්සේ යන අප දැක මේ කිමැ, යි විචාළොත් “මහණ ගොයුම්හු හා තරඟයට පෙළහර කරමු” යි කිහිප දිනකට පෙර අප කී බව හා ඔහු දැන් එයට බියෙන් පලා යන බව හා ඒ නිසා අප ඔහු පස්සේ මෙසේ එළවා යන බව හා ඔවුනට කියමු” යි කතා කර ගත්හ.
බුදුරජානන් වහන්සේ රජගහ නුවර සිඟා වළඳා මගට බට සේක. තීර්‍ත්‍ථකයෝ ද උන්වහන්සේ පසුපස ගොස් උන්වහන්සේ වැළඳු තැන ලගිත්, රෑ ගෙවූ තැන හිඳ කෑම ගණිත්. මිනිසුන් මොවුන්ගේ මේ හා හැසිරීම දැක “මේ කිමැ” යි විචාළ කල්හි ඔවුහු මුල දී කතා කර ගත් සැටියෙන් කියත්. මහාජන තෙමේ ද “පෙළ හර බලමු” යි ඔවුන් ලුහු බැඳ යෙයි. බුදුරජානන් වහන්සේ දිග්මග ගෙවා සැවැත් නුවරට පිවිසි සේක. තීර්‍ත්‍ථකයෝ ද උන්වහන්සේ පස්සෙහි ම ගොස් තම දායකයන් සමාදන් කරවා මසු දහසක් ලබා ගෙණ කිහිරිලී කණුවෙන් මඩුවක් කරවා නිල් මානෙල් මලින් එය සොයවා “අපි ද පෙළහර මෙහිදී ම කරමු” යි හුන්හ.
ඒ අතර පසේනදි කොසොල් රජ තෙමේ බුදුරජුන් වෙත ගෝස් “ස්වාමීනි! තීර්‍ත්‍ථකයෝ මඩුවක් කරවා ගෙණ පෙළහර කරමු යි බලා හිදිත්, මමත් ඔබවහන්සේට මඩුවක් කරවා දීමට කැමැත්තෙමි” යි කී ය “මහරජ! මට මඩුවෙන් වැඩෙක් නැත, මට මේ සඳහා මඩුවක් කරවා දෙන්නෙක් ඇත්තේ ය” යි බුදුරජුන් වදාළ කල්හි “ඇයි ස්වාමිනි! එසේ වදාරණ සේක්, මා හැර අන් කවුරු මඩුවක් කරවා දීමෙහි පොහොසත් වෙත් දැ?” යි ඇසී ය. “සක්දෙවිඳු” යි උන්වහන්සේ වදාළ සේක. “ස්වාමීනි! පෙළහර කරණ සේක් කොතැන්හිදැ” යි නැවැත ඇසූයේ ය. “ගඬඹ රුක්මුල්හි ය” යි දැන්වූහ. තීර්‍ත්‍ථකයෝ “බුදුහු අඹගසක් මුලදී පෙළහර කරති” යි දැන තමන්ගේ දායකයන්ට දන්වා ගවු සතරක් ඇතුළත යටත් පිරිසෙයින් ඒ දවස හටගත් පැළෑටි පවා උදුරවා වනයෙහි දැම්ම වූහ.
බුදුරජානන් වහන්සේ ඇසළ මස පුරපසළොස්වක දවසෙහි නුවරතුළට සිඟා වැඩි සේක. රජුගේ ගණ්ඩ නම් උයන්පල් තෙමේ දිමිගොට්ටක් තුළ තුබූ පැසුනු ලොකු අඹ ගෙඩියක් දැක ඒ කඩා කන්නට පැමිණි කවුඩන් හඹවා කඩාගෙණ රජුට දෙන්නට යන්නේ අතරමගදී බුදුරජුන් දැක “රජ තෙමේ මේ අඹගෙඩිය අනුභව කොට ඕනෑ නම් මට වැඩි ම ගණනේ කහවණු අටක් හෝ සොළොසක් දෙන්නේ ය, ඒ දෙන කහවණු අට හෝ සොළොස මට දවස් කිහිපයකුත් දිවි ගෙවා ලෑමට තරම් නො වේ, මාගේ පිණේ හැටි ඔහොම, මම මෙය බුදුරජුන්ට පිදීම් නම්, එය මට ඒකාන්තයෙන් කිය නො හැකිතරම් කාලයක් හිත සැප පිණිස වන්නේ ය” යි ඒ අඹගෙඩිය බුදුරජුන්ට පිදී ය. එකෙණෙහි උන්වහන්සේ අනඳ තෙරුන්ගේ මුණ බැලූහ. අනඳ තෙරණුවෝ සිවු මහවරම් රජුන් විසින් පිදූ පාත්‍රය ගෙණ බුදුරජුන්ගේ ශ්‍රී හස්තයෙහි තැබූහ. උන්වහන්සේ පාත්‍රයෙන් අඹගෙඩිය පිළිගෙණ එහිදී ම එය වළඳනු කැමැතිබව හැඟ වූ කල්හි අනද තෙරණුවෝ සඟළ සිවුර පණවා වැඩ හිඳින්නට සැලසූහ. බුදුරජානන් වහන්සේ එහි වැඩ හුන්හ.
අනද තෙරුන් පැන් පෙරා ගෙණවුත් අඹගෙඩිය මිරිකා අඹපැන් පිළියෙල කොට පිළිගැන් වූ කල්හි එය වළඳා උයන්පල්ලාට කතා කොට “මේ අඹ ඇටය මෙහි ම පස් යට කරව” යි දුන් සේක. ඔහු ද එසේ කෙළේ ය. බුදුරජානන් වහන්සේ ඒ මතුපිට අත සේදූහ. එකෙණෙහි ම අඹකඳ නඟුලිසක් පමණින් උසින් පණස්රියන් පමණැති ව නැගී සිටියේ ය. සිවු දිගට ගිය අතු සතර හා මුදුන් අත්ත පණස්රියන් පණස්රියන් පමණ වී ය. අඹගස ඒ වේලෙහි ම මලින් පලින් සැදී සිටියේ ය. ගසෙහි එක එක තැන ඉදුනු රතුවුනු පැසුනු නො පැසුනු නොයෙක් තරා තිරමේ අඹවලු විය. පසු පස එන්නා වූ භික්‍ෂූන් වහන්සේලා අඹ වළඳා ම ඉදිරියට යන්නාහ. රජ තෙමේ මේ පුවත අසා අඹගස කපා නො දමන ලෙසට රැකවල් තැබී ය. ඒ ගස ගණ්ඩ නම් උයගොව්වා විසින් සිටු වන ලද බැවින් ‘ ගණ්ඩබ්බ රුක්ඛ’ යි ප්‍රසිද්ධ විය. එහි සිටි නොයෙක් ධුර්‍තයෝ ගස යට වැටෙන අඹ කා “බොල! දුෂ්ට නිවටුනි! ශ්‍රමණ ගෞතම තෙමේ ගඳඹරුක්මුලේ දී පෙළහර කරන්නේ ය යි අසා එය ඉවසනු නො හැකි ව එයට අවහිර කරන්නට යොදුනක් ඇතුළත තුබූ එදා ම හටගත් අඹපැල පවා තොප විසින් උදුරාපියන ලද්දේය, තොප කළේ කොතරම් පහත් වැඩෙක් ද, මේ, ඒ කියූ අඹගසැ” යි කියමින් අඹමස කා ඇටවලින් තීර්‍ත්‍ථකයන්ට පහර දුන්හ.
ඒ වේලෙහි සක්දෙව් රජ තෙමේ වාතවලාහක දෙව්පුතුන් ගෙන්වා “තීර්‍ත්‍ථකයන්ගේ මඩු කූඩාරම් සුළඟින් උපුටා කසළ ගොඩෙහි බහව” යි නියම කෙළේ ය. “හිරුරැස් සැඩබවට පමුණුවා උන් අව්වෙන් තවව” යි හිරු දෙවියන් හට අණ කෙළේ ය. වතාවලාහක දෙව්පුතුනට වා මඬුල්ලක් නංවන්නට ද නියම කෙළේ ය. සදෙවිඳුන්ගේ අණ ලැබූ මේ හැම කෙනෙක් අණ ලෙසින් ඒ සියල්ල කළහ. මේ හැම එකෙකින් වෙහෙසට පත් තීර්‍ත්‍ථකයෝ තඹ පැහැති තුඹස් වැනි වූහ. උන්ගේ සිරුරු දූවිල්ලෙන් වැසී ගියේ, ඒ වේලෙහි වට වැසිදියෙන් තිත් ගැසුනෝ ය. එයින් ඔවුහු කබරගොන් වැනි වූවෝ, හමු හමු වූ තැනින් හිස් ලූලූ අත දිවූහ.
තීර්‍ත්‍ථකයන් මෙසේ හිස් ලූලූ අත දුවන වේලේ පූරණ කාශ්‍යපගේ දායක වූ ගොවියෙක් “දැන් අපගේ රහතුන් වහන්සේ පෙළහර කරණ වේලා ය, පෙළහර බලන්නට යමි” යි ගොනුන් ලිහා හැර උදෑසන ගෙණ ආ කැඳකළබෙට්ට හා රැහැණ ද රැගෙණ එනුයේ පලා යන පූරණකාශ්‍යප දැක “ස්වාමීනි! පොඩ්ඩක්, මේ දුවන්නහු කොහි ද? මමත් සියලු වැඩ අත් හිටවා එන්නෙම් ඔබවහන්සේලාගේ පෙළහර බැලීමට” යි කී ය. “මොන පෙළහරෙක්, ඔය අතේ ඇති කැඳකළයත් රෑණත් මට,දෙව” යි ඉල්ලා ගෙණ, ගංඉවුරකට ගොස් කළගෙඩිය රෑණින් බැඳ බෙල්ල එල්ලා ගෙණ ගඟට පැන්නේ ය. ඒ වේලෙහි ම ගඟ දියබුබුලු නගමින් මැරී ගොස් අවීචිමහානරකයෙහි උපන.
සක්දෙවිරජ තෙමේ අහසෙහි රුවන්සක්මනක් මැවී ය. එහි එක් කොණක් නැගෙනහිර සක්වළ මුවවිටෙහි හැපී සිටියේ ය. එක් කොණෙක් බස්නාහිර සක්වළ මුවවිටෙහි හැපී සිටියේ ය. බුදුරජානන් වහන්සේ සතිස් යොදුන් පමණ තැන මහාජනයා රැස් ව සිටි කල්හි පස්වරු වේලේ “දැන් පෙළහර කරණ වේලා” යි ගඳකිළියෙන් නික්ම ඉදිරිපිට පිළෙහි වැඩ සිටි සේක.
එකල්හි ඍද්ධි ඇති ඝරණී නම් අනාගාමී උපාසිකා තොමෝ බුදුරජුන් වෙත එළඹ “තිලෝගුරු හිමියෙනි! මා වැනි දුවක ඉන්ද දී ඔබවහන්සේ වෙහෙසෙනු මට නො රිස්නේ ය, මම පෙළහර කරමි” යි කිවූ ය, “ඝරණී! තී පෙළහර කරන සැටි මට කියව” යි වදාළ කල්හි “ම පියාන! මුළුසක්වළගැබ මහපොළොව දියකඳක් කොට මම දියකාවෙස් ගෙණ දියෙහි ගැලී නැගෙනහිර සක්වළ මුව විට හිස නගා තමන් දක්වමි, එසේ ම කිමිද ගොස් බස්නාහිර උතුරු දකුණු සක්වළ මුවවිට හිස නගාලමි, වටේ කිමිද මැදින් හිස නගමි, මැදින් ගැලී ගොස් වටින් හිස නගමි, ඒ කවුදැ යි විචාළවිට ඝරණී නම් අනාගාමී උපාසිකා යැ යි කියමි, ගැහණියකගේ ආනුභාවය මෙතරම් නම්, බුදුරජුන්ගේ ආනුභාවය කවර තරම් දැ යි තීර්‍ත්‍ථකයෝ ඔබ වහන්සේ නො දැක ම පැණ යති” යි කිවූ ය. “ඝරණි! තී එබඳු පෙළහර කරන්නට පොහොසත් බව දනිමි, එහෙත් මෙය තොප පිළිබඳ එකෙක් නො වේ” යි බුදුරජානන් වහන්සේ ඇය වැළකූ සේක. ඒ වේලෙහි ඕතොමෝ “බුදුරජානන් වහන්සේ මට මෙයට ඉඩ නො දෙති, මට වඩා උසස් ලෙසින් පෙළහර කිරීමෙහි සමතුන් සිටින බැවින් එසේ කරති” යි එකත් පසෙක සිටියා ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මොවුන්ගේ ගුණය මෙසේ ප්‍රකට වන්නේය” යි තිස් යොදුන් පමණ තැන පැතිර ගත් පිරිස මැද සිංහනාද කරන්නෝ යි අන්‍යයන් අතින් ද “තමුසේලා පෙළහර කරන්නහු කෙසේ දැ?” යි අසා වදාළ සේක. ඔවුහු “තිලෝගුරු හිමියනේ! අපි මෙසේ පෙළහර කරමු” යි බුදුරජුන් ඉදිරියෙහි සිට සිංහනාද කළහ.
ඔවුනතුරෙහි සුලුඅනේපිඬු සිටු තෙමේ “මා වැනි අනගැමි උවසු පුතක්හු ඉන්ද දී බුදුරජුන් වෙහෙසෙනු නො හොබනේ ය” යි බුදුරජුන් වෙත එළඹ “ස්වාමීනි! මම පෙළහර කරමි, එයට අවසර දී වදාරණු මැනැවැ” යි කී ය. ඒ වේලෙහි බුදුරජුන් විසින් විචාරණ ලද ඔහු “ස්වාමීනි! මම දොළොස් යොදුන් පමණ වූ බඹ අත්බවක් ගෙණ මේ මහාපිරිස මැද මේඝගර්‍ජනාවක් බඳු බ්‍රහ්ම ඝෝෂාවක් කරමි, අපොළොසන් ද දෙමි, එකල්හි මහාජන තෙමේ මේ කිනම් හඬක් දැ යි විචාර යි, ඒ බඹඅත්බවක් ගත් සුලු අනේපිඬු සිටුහුගේ අප්පුඩි ගැසීමෙකැ, යි කී කල්හි තීර්‍ත්‍ථයකයෝ ගැහැවිහුගේ මහත්කම මෙතරම් නම්, බුදුරජුන්ගේ මහත්කම කියනු කිමැ, යි ඔබවහන්සේ නො දැක ම පළායෙති” යි කීයේ ය. “සිට! ඒ එසේ ය, ඔබ එබඳු පෙළහරෙක සමතකු බව මම දනිමි” යි “කම් නැතැ” යි ඔහු ද වැළකු සේක.
ඉක්බිති සත් හැවිරිදි වූ පිළිසිඹියා පත් වීරා හෙරණිය බුදු රජුන් වෙත එළඹ “මපියේ! මම පෙළහර කරමි” යි කිවූ ය. “තී කරණ පෙළහර කෙබඳු දැ?” යි ඇසූ ඕතොමෝ “පියේ! මහමෙර, සක්වළගල, හිමාලය යන මෙතුණ ගෙණවුත් මෙහි පිළිවෙළින් තබා මම මෙහෙණ වෙස් හැරදමා හස්දෙනක වෙස් ගෙන එකෙණෙකින් පැන පැන එකෙක් වත් නො හැපෙමින් යමි, මහාජන තෙමේ මා දැක, මෝ කවුරු දැ, යි විචාරා වීරා හෙරණිය යි, දැන ගන්නේ ය, එවිට තීර්‍ත්‍ථකයෝ සත් හැවිරිදි කෙල්ල මෙතරම් මහත් නම්, අනුභාව ඇත්තී නම් මහණ ගොයුම්හුගේ තරම් කාට කිය හැකි දැයි ඔබ වහන්සේ නො දැක ම පැන යති” යි කීවා. බුදුරජානන් වහන්සේ “කම් නැතැ” යි ඇය ද වැළකූ සේක.
ඉක්බිති පිළිසිඹියා පත් මහරහත් චුන්‍ද හෙරණ තෙමේ බුදු රජුන් වැඳ, පෙළහර කිරීමට අවසර ඉල්ලී ය. එහි දී “තා කරණ පෙළහර කිමැ?” යි ඇසූ කල්හි “මාගුරුපියේ! මම දඹදිවට ජයක් සේ සිටි මහදඹගස කඳින් ගෙණැ සොලවා මහ දඹඉරු ගෙණවුත් මේ පිරිසට කවන්නෙමි, පරසතුමල් ගෙණ වූත් පුදා ඔබතුමන් වහන්සේට නැමී වඳිමි” යි කී ය. බුදුරජානන් වහන්සේ “කම් නැතැ” යි ඔහු ද වැළකු ස්ක.
ඉක්බිති මහරහත් උත්පලවර්‍ණා ස්ථවිරාවෝ බුදුරජුන් වැඳ, “මට දිවිදුන් මපියේ! පෙළහර කිරීමට මට අවසර දෙන සේක්වා, මම පෙළහර කරමි, හිමියනේ! මම ඔබවහන්සේගේ දූලා අතර ඍද්ධියෙන් අගතැන් ගතිමි, මට වඩා ඍද්ධියෙන් උසස් වූ දූ කෙනෙක් ඔබවහන්සේට වෙන නැත, මා තරම් දුවක ඉන්ද දී ඔබවහන්සේ වෙහෙසෙනු ඇයි? මම පෙළහර කරමි, මම මේ අවට දොළොස් යොදුන් පමණ තැන පැතිර සිටි පිරිසට මා පෙනෙන සේ වටින් සතිස් යොදුන් පමණ වූ පිරිස් ඇති සක්විත්තෙක් ව අවුත්, ඔබවහන්සේගේ පා වඳිමි, එවිට මහජන තෙමේ මා දැක විචාරන්නේ ය, විචාරා මා බව දැන ගන්නේ ය, තීර්‍ත්‍ථකයෝ බුදුරජුන්ගේ ශ්‍රාවිකා වූ ගෑණුත්, පෙළහර කිරීමෙහි මෙතරම් සමත් වෙත් නම්, බුදුහු කොතරම් දැ, යි ඔබවහන්සේගේ අසලට වත් නො පැමිණ පලායන්නාහ, එහෙයින් මට අවසර දුන මැනැවැ” යි අයැද සිටියහ. “දනිමි උත්පලවර්‍ණා! තොපගේ තරම, එහෙත් මේ පෙළහර මා අතින් ම විය යුත්තෙක, තොපි මෙයට නො ද සුදුස්සහ ය” යි වදාළවිට ඕ ද එකත් පසෙක සිට ගතු.
ඉක්බිති මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වැඳ, “ස්වාමීනි! මම පෙළහර කරමි, මට නම් අවසර ඕනෑ, මම මහාමෙර, බැදි උඳු ඇටක් සේ කමි, ආයෙත් දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝන වූ මේ මහපොළොව පැදුරක් සේ අකුළා ගෙණ ඇඟිලි අතර තබා ගණිමි, ආයෙත් මහාපොළොව කුඹල් සකක් සේ කරකවා අනික් පැත්ත ගසා යටපිට උඩපිට කොට පොළොවෙහි වූ රස ඕජාව රැස් ව සිටිනා හැම දෙනාට කවමි, ආයෙත් මේ දඹදිව මාගේ වමතට ගෙණ දඹදිව් වැසි මිනිසුන් දකුණතින් ගෙන අන් දිවයිනෙක තබමි, ආයෙත් කිම? මුගලන! මම ස්වාමීනි! මහාමෙර කුඩමිට කොට මහාපොළොව ඊමත්තෙහි කුඩරෙද්ද කොට තබා ඒ කුඩය අතට ගත් මහණකු සේ අහස ඇවිදිමි” යි අවසර ඉල්ලූහ. “මුගලන! ඒ හැම එකක් කළ හැකිය යි මම පිළිගනීමි, තමුසේ ඔය කියූ පෙළහරටත් වඩා, බැරෑරුම් පෙළහර කිරීමෙහි සමත්බව ද මම දනිමි, පෙළහර කිරීමෙහි තමුසේ තරම් සමතකු නැති බවත් මම දනිමි. එහෙත්, මේ වේලේ පෙළහර කිරීමට, තමුසේටත් ඉඩ දෙනු නො හැකි ය, මේ පෙළහර, මා ම කළ යුතු ව තිබේ” යි වදාළ විට “මේ පෙළහර, අප බලාපොරොත්තු වන තරමේ සුලු පටු පෙළහරක් නොවන බව පෙණේ, මෙතැනට වුවමනා මේ හැම පෙළහරකට ම වඩා ඉතා බලගතු පෙළහරෙකැ” යි මහාමුගලන් තෙරණුවෝ ද පසෙකට වූහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ මුගලන් තෙරුන් අමතා “මුගලන! මේ පෙළහර පැවැත්වීම මට ම අයත් වුවෙකි, එය තමුසේලා අයත් නො වේ, මේ මහා පිරිස මැද තමුසේලා කැඳවන ලද්දෝ, තමුසේලා ලවා සිංහනාද කරවනු පිණිස ය, ඒ මුත් පෙළහර කරවන්නට කළ කැඳ වීමෙක් නො වේ, මම මේ ලෝකයෙහි කවුරුන් හා සම නො වෙමි, මා පිට පැමිණි බර ඉසිලීමට මා ම මුත්, අනෙකෙක් සමත් නො වේ, මා උසුලන බර මේ ලෝකයෙහි කාටත් උසුලනු නො හැකි ය, මා දැන් උසුලන බර ඉසිලීමට කෙනකු නැතිබව පුදුමයෙකැ යි නො කියැකි ය, මේ බුදු වූ අවස්ථාවේ තබා තිරිසන් යෝනියෙහි උපන් අවස්ථා වේ ද මා තනි ව ඉසුලූ බර උසුලන්නට සමත් කෙනෙක් නො වූහ” යි වදාළ විට මුගලන් තෙරුන් විසින් “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔය වදාළ සිද්ධිය, කවදා කොතැනක දී කෙසේ වී දැ” යි විචාරණ ලද්දාහු;
“යම් යම් තැනෙක ගැල - බර වේ ද යම් තන්හි,
ගැඹුරැති මගෙක් වේ නම් - එ හැම තැන හැමවිටක ම.
යොදතී කළුවහබ් - හේ ගැල්දූරය උසුලයි”
යන ලෙසින් කෘෂ්ණවෘෂභජාතකය වදාළ සේක.
නැවැත ද බුදුරජානන් වහන්සේ එය ම වෙසෙසා දක්වන සේක්:
“සිත් කලු බස් කියයි - කිසිදා නො සිත් කලු බස්,
නො කියයි මනවඩන බස් - කියන්නහුගේ බර වූ.
.
එ මහබර උදුළේ - ලබා දුන් දන බමුණුට,
එයින් තුටු සිත් ඇත්තේ - වී ය ඔහු බෙහෙවින් එහි”
යි නන්‍දිවිසාලජාතකය ද විස්තර සහිත ව වදාරා රුවන් සක්මනට බට සේක. එහි පෙර දිග - පැසුළු දිග - උතුරු දිග - දකුණු දිග දොළොස් යොදුන දොළොස් යොදුන මහා පිරිස් වූ හ. එක් කොට ගත් කල්හි සූවිසි යොදුන් පමණ වූ ඒ පිරිස් මැද ස්වාමි දරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ තේජෝකසිණයට සමවැද එයින් නැගී සිටි සේක්, නැබින් උඩ සිරුරෙන් ගිනිකඳ, ආපො කසිණයට සමවැද එයින් නැගී සිටි සේක්, නැබින් යට සිරුරෙන් දියකඳ, යට සිරුරෙන් ගිනිකඳ, උඩ සිරුරෙන් දියකඳ, ඉදිරි පස සිරුරෙන් ගිනිකඳ, පිටිපස සිරුරෙන් දියකඳ, පිටිපසින් ගිනිකඳ, ඉදිරිපසින් දියකඳ, දකුණු ඇසින් ගිනිකඳ, වම් ඇසින් දියකඳ, වම් ඇසින් ගිනිකඳ, දකුණු ඇසින් දියකද, දකුණු කන් සිදුරෙන් ගිනිකඳ, වම් කන් සිදුරෙන් දියකඳ, වම් කන් සිදුරෙන් ගිනිකඳ, දකුණු කන් සිදුරෙන් දියකඳ, දකුණු නාස් සිදුරෙන් ගිනිකඳ, වම් නාස් සිදුරෙන් දියකඳ, වම් නාස් සිදුරෙන් ගිනි කඳ, දකුණු නාස් සිදුරෙන් දියකඳ, දකුණු උරයෙන් ගිනිකඳ, වම් උරයෙන් දියකඳ, වම් උරයෙන් ගිනිකඳ, දකුණු උරයෙන් දියකඳ, දකුණු අතින් ගිනිකඳ, වම් අතින් දියකඳ, වම් අතින් ගිනිකඳ, දකුණු අතින් දියකඳ, දකුණැලයෙන් ගිනිකඳ, වමැලයෙන් දියකඳ, වමැලයෙන් ගිනිකඳ, දකුණැලයෙන් දියකඳ, දකුණු පයින් ගිනිකඳ, වම් පයින් දියකඳ, වම් පයින් ගිනිකඳ, දකුණු පයින් දියකඳ, අතැඟිලිදසයෙන් හා පයැඟිලිදසයෙන් හා විසි ඇඟිල්ලෙන් ගිනිකඳ දසයක් හා දියකඳ දසයක්, අතැඟිලි අතරින් හා පයැඟිලි අතරින් හා ගිනිකඳ අටක් හා දියකඳ අටක්, එකි එකී ලොම් අගින් ගිනිකඳ, එකි එකී ලොම් අගින් දියකඳ පවත්වමින්, සවණක් රැස් විහිදුවමින්, මේ පෙළහරෙහි මවාලු බුදුරජුන් සිටිනා කල්හි හිඳිනා කල්හි වැද හෝනා කල්හි රුවන් සක්මනැ සක්මන් කරමින් මවාලු බුදුරජුන් සිටිනා ඉරියවු හැර අනික් තුන් ඉරියව්වෙන් කල් යවන කල්හි වැඩ සිටිමින්, මවාලු බුදුරජුන් හඳුනා ඉරියවු හැර අනෙක් තුන් ඉරියව්වෙන් කල් යවන කල්හි වැඩ හිඳිමින්, මවාලු බුදුරජුන් වැද හෝනා ඉරියවු හැර අනෙක් තුන් ඉරියවුවෙන් කල් යවන කල්හි වැදහෙවමින් ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමාමහ පෙළහර කළ සේක. මේ වනාහි බුදුරජානන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යයඥානය යි.
මේ පෙළහර කර වදාළ බුදුරජානන් වහන්සේ එය සක්මන් කරමින් කර වදාළ සේක. ගිනිකඳ, දියකඳ හා කිසිවිටෙකත් මිශ්‍ර නො වූයේ ය. දියකඳ, ගිනිකඳ හා ද මිශ්‍ර නො වූයේ ය. ගිනිකඳ හා දියකඳ හා දෙක ම බඹලොව දක්වා නැග සක්වළ මුව විට වැගිරේ. ඒ දෙක සිරුරෙන් නික්මෙන සවණක් රැස් ද කළයෙන් ඉසිනු ලබන රන්දියක් සේ ද කරාමයෙන් නිකුත් වන දිය දහරක් සේ ද එක් සක්වළගැබකින් උඩට නැග බඹලොව හැපී පෙරළා අවුත් සක්වළ මුවවිට ම පැතිර ගණියි. එක් සක්වළ ගැබෙක් එක් ගොනැස්සක් ඇති බෝගෙයක් සේ එකාලෝක වෙයි. මෙසේ පෙළහර කරමිනුදු, බුදුරජානන් වහන්සේ අතර තුර මහාජනයාට බණ ද වදාරණ සේක. බණ වදාරණ සේක්, මහාජනයා කුසීතයන් නො කොට ඔවුනට අවසර දි දී ම වදාරණ සේක. එකෙණහි මහාජන තෙමේ සාධුකාර දෙයි. ඔවුන් සාධුකාර දෙන කල්හි ඒ සා මහත් පිරිසෙහි සිත්හසර බලා එකි එකී දෙනාගේ සිත සොළොස් සොළොස් අයුරකින් දැන ගන්නා සේක. බුදුවරුන්ගේ සිත් ලුහු ව පෙරළෙන්නේ ය. යම් යම් කෙනෙක් යම් යම් ධර්‍මයෙක යම් යම් පෙළහරෙක පහදිත් නම්, උන් උන්ගේ අදහස් ලෙසට බණත් වදාරණ සේක. පෙළහරත් කරණ සේක. මෙසේ බණ වදාරත්, මෙසේ පෙළහර කරත් බොහෝ දෙනාට ධර්‍මාවබෝධය විය. බොහෝ දෙන නිවන් දුටහ.
බුදුරජානන් වහන්සේ මේ සමාගමයෙහි තමන් වහන්සේගේ අදහස් ලෙසට ප්‍රශ්න විචාරීමෙහි පොහොසත් වූ අනෙකකු නො දැක බුදුකෙනකුන් මවාලූ සේක. මවාලූ බුදුරජුන් විචාළ ප්‍රශ්න තමන් වහන්සේ විසඳන සේක. අපගේ බුදුරජුන් සක්මන් කරණ කල්හි, මවාලු බුදුරජහු හිඳීම් සිටීම් ආදීන් අතුරෙහි එක්තරා ඉරියව්වෙකින් කල් යවන සේක. මෙසේ කර වදාරන්නා වූ බුදුරජුගේ පෙළහර ද බලා බණ ද අසා එම සමාගමයෙහි විසිකෙළක් දෙන නිවන් දුටහ.
බුදුරජානන් වහන්සේ පෙළහර කරමින් ම “පෙර දවස බුදුවරයෝ මේ පෙළහර කොට කොතැනෙක වස් එළඹියෝ දැ” යි බලා, “තාවතිංසභවනයෙහි වස් එළඹ මාතෘදිව්‍යපුත්‍ර ප්‍රමුඛ දෙවගණයාට අභිධර්‍මය දෙසූහ” යි දැක දක්‍ෂිණ ශ්‍රීපාදය නගා යුගඳුරු මුදුනෙහි තබා වාමශ්‍රීපාදය නගා මහමෙර මුදුනහි තැබූ සේක. රුවන් සක්මන පටන් අට සැට ලක්‍ෂයක් යොදුන් පමණ වූ මේ සා මහත් අවකාශය තුන් පියවරකින් ගෙවා තව්තිසා දෙව්ලොවට වැඩි සේක. එහි පා අතුරු දෙකෙක් ම විය.
මෙහිලා ‘බුදුරජුන් පා දිගු කොට යුගඳුරු මුදුනෙහි පා තැබූ හ’ යි නො ගන්න. උන්වහන්සේ පා නගත් ම, ඒ පර්‍වතයෝ පා මුලට අවුත් පා පිළිගත්හ. නැවැත බුදුරජුන් ඇක්මුනු කල්හි තුබූ තැන ම සිට ගත්හ. සක්දෙව්රජ තෙමේ බුදුරජුන් දැක බුදුරජානන් වහන්සේ මේ වර පඬු ඇඹුල් සලස්නෙහි වස් එළඹ වැඩ හිඳිනා බව පෙණේ, එසේ නම්, එය බොහෝ දෙවියන්ට මහත් උපකාරයෙක් වන්නේ ය, බුදුරජුන් මෙහි වස් එළඹි කල්හි, අනෙකකුට මෙහි හිඳුනු තබා අත තබන්නට ද ඉඩෙක් නො ලැබෙන්නේ ය, මේ සලස්නත් දිගින් සැට යොත්නෙක, මහතින් පණස් යොත්නෙක, පළලින් පසළොස් යොත්නෙක, එහෙයින් බුදුරජුන් වැඩ හුන් කල්හි ද මෙය හිස් වූවක් සේ වන්නේ ය” යි සිතී ය. බුදුරජානන් වහන්සේ ඔහුගේ අදහස් දැන තමන් වහන්සේගේ සඟළ සිවුර ගල්තලය වැසෙන සේ බහාලූ සේක. සක්දෙව් “සිවුරෙන් ගල්තලය වැසුන ද තමන් වහන්සේ මඳ තැනෙක ම වැඩ හිඳිනු ඇතැ” යි සිතී ය. ඒ ද දත් බුදුරජානන් වහන්සේ කුඩා පුටුවක් වසා හිඳිනා මහා පංසුකූලිකයකු සේ ඒ සලස්න සිවුර තුළ ම කොට වැඩ හුන් සේක. මහාජන තෙමේ රුවන්සක්මන මතුයෙහි බුදුරජුන් නො දැක සංවේගයට පැමිණියේ ය. සඳ හිරු බැස ගිය කලක් සේ දසදහසක් සක්වළ එකපැහැර අඳුරු විය. එකල්හි මහා ජන තෙමේ;
“ගියෝ දෝ? සිතුකුළ - නැත, කෙලෙස් තුළ යුගඳුරු,
නො දකිමු අපි නරදෙටු - සම්බුදු අනේ! ලෝ දෙටු”
යනු කියමින් හඬන්නට වන.
තවද එහි සිටි අන් කෙනෙක් “බුදුරජානන් වහන්සේ ප්‍රකර්‍ෂ වූ කායචිත්ත විවේකයෙහි ඇලුනු සේක, උන්වහන්සේ මෙබඳු පිරිසක මහත් පෙළහරෙක් මා විසින් කරන්න ලදැ යි ලජ්ජාවෙන්, අන් නුවරකට හෝ දනව්වකට හෝ වැඩිසේක් වනැ” යි
“එකලාබවැ ඇලුනු - නුවණැති මුනිඳු මෙලොවට,
පෙරළා නො එති නො දකිමු - ලෝදෙටු බුදුහු නරදෙටු”
යි හඬා හඬා මෙසේ විලාප කියන්නට වූහ. මෙසේ හඬමින් වැලපෙමින් “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ කොතැන වැඩිසේක් දැ” යි ඔවුහු මුගලන් තෙරුන් වෙත ගොස් ඇසූහ. උන්වහන්සේ බුදුරජුන් වැඩි තැන් දන්නාහු නමුත් අනුන්ගේ ගුණ ප්‍රසිද්ධ වුවමනා ය, යන අදහසින් “අනුරුද්ධ තෙරුන් අතින් විචාරවු” යි කීහ. එකල්හි ඔවුහු “බුදුහු කොහි දැ” යි අනුරුද්ධ තෙරුන් විචාළාහු ය. “තව්තිසා දෙව්ලොව වස් වසා පඬු ඇඹුල් සලස්නෙහි වැඩ හිඳ මාතෘ දිව්‍යපුත්‍රයාහට අභිධර්‍මය දේශනා කරණු පිණිස වැඩි සේකැ” යි තෙරුන් වදාළ විට, “පෙරළා කවදා වඩිනාහු දැ” යි ඇසූහ. “උපාසකයෙනි! බුදුරජානන් වහන්සේ තුන් මසක්, එහි වස් වසා වැඩ වසන සේක, වස් අවසන් කොට මහාපවාරණ දිනයෙහි පෙරළා මෙහි වඩිනු ඇතැ” යි උන්වහන්සේ කීහ. එවිට ඒ මිනිස්සු “බුදුරජුන් නො දැක නම් පෙරළා ගෙවලට නො යමු” යි කඳවුරු බැඳ ගත්හ. ඔවුනට හිස් අහස ම පියස්ස විය. එතෙක් මහාපිරිසෙහි උනුන්ගේ සිරුරු ගැටීමෙක් නො ද වී ය. පොළොව විවර ව ගියේ ය. පොළෝතලය සැම තැන පිරිසිදු විය. මල මු වැකුණු පසෙක් එහි නො වී ය. බුදුරජානන් වහන්සේ මහාමුගලන් තෙරුන් අමතා “මුගලන! මේ කාලය මුළුල්ලෙහි සුලු අනේපිඬු සිටු මේ මහා පිරිසට කෑම බීම දෙනු ඇත, එහෙයින් තමුසේ මොවුනට බණ කියන්න” යි නියම කළහ. සුලු අනේපිඬු සිටු තෙමේ ඒ තුන් මස මුළුල්ලෙහි ඒ හැමදෙනක් හට ම යැපෙන පමණට කැඳ බත් කැවිලි පෙවෙලි බුලත් දුම්කොළ ගඳමල් හා පළඳනා ද දුන්නේ ය. මහාමුගලන් තෙරණුවෝ දහම් දෙසූහ. පෙළහර බලනු පිණිස පැමිණි මිනිසුන් ඇසූ හැම ප්‍රශ්නයක් ම උන්වහන්සේ විසඳූහ. දසදහස් සක්වළ වැසි දෙවියෝ අභිධර්‍මය දෙසන්නට පඬු ඇඹුල් සලස්නෙහි වැඩ හුන් බුදුරජුන් පිරිවරා ගත්හ. ඒ කීහ මෙසේ:
“තව්තිසා දෙව්ලොව - එ පරසතුරුක් මුල්හි
පඬු ඇඹුල් සලසුනමත - හුන්නෝ බුදුහු ලෝතුම්.
.
දෙවියෝ දස දහස් - ලෝදාහි එක් රැස් වී,
නබ මුදුන විසූ සම්බුදු - ලං වී සෙත් පුද දී.
.
කිසි දෙවියෙක් එහි - සම්බුදුරජුට සිරිමත්,
පැහැයෙන් නො සම වේ ම ය - සම්බුදුරජු ම බබලා,
සවණක් රැසින් එහි වූ - සියලු දෙවියන් මැඩගෙණ” යි
ඉක්බිති මාතෘ දිව්‍යපුත්‍ර තෙමේ තුසිතභවනයෙන් අවුත් තමන් වහන්සේගේ ශරීර ප්‍රභායෙන් සියලු දෙවියන් මැඩගෙණ එහි වැඩහුන් බුදුරජුන්ගේ දකුණු පසෙහි හුන්නේ ය. ඉන්‍ද්‍රක දිව්‍ය පුත්‍ර අවුත් දකුණු පසෙහි ම හිඳ ගත්තේ ය. අඞ්කුර දිව්‍යපුත්‍ර අවුත් වම් පසෙහි වාඩිලා ගත්තේ ය. එහෙත් ඔහු මහේශාක්‍ය වූ දෙවියන් එත් එත් පසු බැස ගොස් බුදුරජුනට දොළොස් යොදුනෙකින් ඈත්හි සිට ගත්තේ ය. බුදුරජානන් වහන්සේ එ වේ ලෙහි ඉන්‍ද්‍රක - අඞ්කුර දෙදෙනා දැක මෙසේ අසා වදාළ සේක.
බුදුරජ :- “අඞ්කුර! තා විසින් - දසදහස් හවුරුදු තුළ,
දොළොස් ගොන්නක් පමණැති - තැනෙහි ලිප් බඳවා බෝ
දෙනලද ද දන් බෝ - මවෙතත් මෙලෙසින් දැන්,
දොළොස් යොත්නක් මාගෙන් - කම් කිම ඈත හුන්නෙහි?
මේ වදාළ බස මහපොළොව සිටි මිනිසුනට ද ඇසුනේ ය.
අඞ්කුර :- “ හිමියෙනි! තිලෝගුරු - එදා මාදුන් දන් ඒ,
දීමට තැනක් සුදුසු - නො ලබා අනේ සිස් වී.
මේ ඉන්දකයකු - දුන් දන් ඉතා මද වේ,
එහෙත් හේ අප මැඩගෙණ - තරු මැදසදෙව් බැබලේ”
අඞ්කුර මෙසේ කී කල්හි නැවැත බුදුරජානන් වහන්සේ “ඉන්දක! තෙපි මාගේ දකුණු පස්හි හුන්නහු කුමක් හෙයින් ඔතැනින් නැගිට නො ගොස් ඉන්නහු දැ?” යි විචාළ සේක. එවිට ඉන්දක තෙමේ “ස්වාමීනි! ඒ මම මහාසරු කෙතක බිජුවට, ඉතා ටිකක් වපුළ ගොවියකු සේ දක්‍ෂිණාර්‍හ සම්පත්තිය ලැබීමි” යි දක්‍ෂිණාර්‍හයන් දක්වන්නට මෙසේ කීය:
“රළු නිසරු කෙත්හී - වපුළෙ ද බොහෝ බිජුවට,
නො ද මහත්පල වේ එය - ගොවිහු ද සතුටු නො කෙරේ.
එමෙන් බෝ දන්වත් - දුසිල්හට දුන් මා ඒ,
මහත්පල දෙනු නො ද වේ - දුන්නහු ද තුටු නො කෙරේ.
.
සරුකෙතක වැපුරූ - මඳ බිජුවට ද මැනැවින්,
වැසිදිය ලබා වැඩුමෙන් - ගොවිහු තුටු කරණාසේ
ගුණවත් එකසැටි - සිල්වතුන් වෙත දුන් දන්,
මඳ වුව ද පලදීමෙන් - ඒ පින් මහත් පලැති” යි.
මෙහිලා ඉන්දක කළ පෙරකම් කිම යත්: ඔහු පිඬු සිඟා වැඩිය අනුරුද්ධ මහතෙරුන්ට, තමන්ට දෙන්නට ගෙණ ආ බත්සැන්දක් දෙවී ය. ඔහුගේ ඒ දන අවුරුදු දස දහසක්, දොළොස් යොදුන් තැන ලිප බඳවා දුන් දනට වඩා ඉතා මහත් විය.
ඉන්දක මෙසේ කී කල්හි බුදුරජානන් වහන්සේ අඞ්කුර අමතා “අඞ්කුර! දන් දෙන විට පිරික්සා දිය යුතු ය, එවිටය සරු කෙතක වපුළ බිජුවට සේ දන් මහත්පල වනුයේ, තෙපි එසේ නො කළහු ය, එහෙයින් තාගේ දානය මහත්පල ඇත්තේ නො වී ය” යි වදාරා, නැවැත;
“කො තැනෙක්හි දුන් දන් - මහත්පල ඇත්තේ දැ යි,
දිය යුතුය දන් විමසා - දෙන්නෝ සගලොවට යෙත්.
.
පිරික්සා දෙන දන් - මුනිඳුන් පසස්නා ලද,
මෙලොව දන් පිළිගැණුමට - සුදුස්සන් වෙත දුන් දන්.
.
සරු කෙතක වැපුරූ - බිජුවට පලැති වන සේ
මහත් පල ඇති වනුයේ - පිරික්සා දෙනු එබැවින්”
යි දන් මහත්පල වන පරිදි වදාළ සේක. ඒ පිණිස ම උන්වහන්සේ;
“තිණ දො සින් යුතු කෙත් - රා දොසින් යුතු මේ සත්,
පහ කළ රා ඇත්තනට - දුන් දෙය මහපලැති ඉන්.
.
තිණ දොසින් යුතු කෙත්දො - දොස්දොසින් යුතු මේ සත්,
පහ කළ දෙසැත්නන්හට - දුන් දෙය මහපලැති ඉන්.
.
තිණ දොසින් යුතු කෙර - මෝ දොසින් යුතු මේ සත්,
පහ කළ මොහැත්තන්හට - දුන් දෙය මහපලැති ඉන්.
.
තිණ දොසින් යුතු කෙත් - ඉස දොසින් යුතු මේ සත්,
පහ කළ ඉසැත්තන්හට - දුන් දෙය මහපලැති ඉන්”
යනු වදාළ සේක. මේ දෙසුම් අවසන්හි ඉන්දක - අඞ්කුර දෙදෙන සෝවන් වූහ. මහාජනයාට ද මේ දේශනාව වැඩ සහිත වූ ය.
අනතුරු ව බුදුරජානන් වහන්සේ මාතෘදිව්‍යපුත්‍රයන් අබිමුව හිඳුවා “ කුසලා ධම්මා අකුසලා ධම්මා” යි අභිධර්‍මදේශනාව ඇරඹු සේක. පිඩු සිඟා යන වේලෙහි තමන් වහන්සේ පෙරළා එනතුරු දහම් දෙසන්නට අන් බුදුරුවක් මවා තබා හිමවතට වැඩ නාලිය දැහැටි වළඳා අනුතත්දහතළාවෙහි මුව සෝදා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙණවුත් මහා සාලමාලකයෙහි වැඩ හිඳ වළඳන සේක. සැරියුත් මහාතෙරණුවෝ එහි ගොස් බුදුරජුන්ට වත් කෙරෙති. බත් කිස නිම කළ බුදුරජානන් වහන්සේ “සැරියුත්! අද මම මෙතෙක් දහම් දෙසීමි, තමුසේ, තමුසේගේ කුඩා නමලාට ඒ දහම් උගන්වන්නැ” යි නියම කළ සේක.
යමාමහ පෙළහර දැක සතුටට පත් පන්සියයක් නැණවත් මිනිස්සු සැරියුත් මහතෙරුන් වෙත පැවිදි වූහ. බුදුරජහු මෙසේ වදාළේ ඔවුන් සඳහා ය. නැවැත බුදුරජානන් වහන්සේ දෙව්ලොවට වැඩමවාලු බුදුරජුන් වදාළ තැන් පටන් දහම් දෙසති. සැරියුත් මහාතෙරණුවෝ ද එහි ගොස් බුදුරජුන් වදාළ දහම් දැන පෙරළා අවුත් ඒ දහම් ඒ භික්‍ෂූන්ට උගන්වත්. ඒ භික්ෂූහු බුදුරජුන් දෙව්ලොව වැඩ වසනා කල්හි ම ප්‍රකරණ සතකින් පරිමිත වූ ඒ ධර්‍මය දරා ගත්හ. ඒ පන්සිය දෙන කසුප් බුදුරජුන් දවස කිරිවවුල් ව ඉපද එක් ගල්තල්ලක එල්බ සිටියෝ ඒ ගල්ලෙන වසන තෙරුන් දෙනමක් සක්මන් කරමින් විජම්දහම් පිරිවානා හඬ අසා ඒ හඬෙහි නිමිති ගෙණ එය ඇසූහ. “මොවුහු ස්කන්‍ධයෝ ය, මොවුහු ධාතුහු ය” යන ඈ ලෙසින් තොරතුරු නො දැන ම පිරිවානා හඬෙහි නිමිති ගත් සැටියේ ම කිරිවවුලු බවෙන් මිදී දෙව්ලොව උපන්හ. එහි බුද්ධාන්තරයක් දිවසැප වැළඳූ ඔවුහු සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩුනෝ යමාමහ පෙළහර දැක පැහැද තෙරුන් වෙත පැවිදි ව සියල්ලන්ට පළමුව සප්තප්‍රකරණය දරා ගත්හ. බුදුරජානන් වහන්සේ එපිළිවෙළින් තෙමසක් මුළුල්ලෙහි විජම්දහම් දෙසූ සේක. දේශනාවසානයෙහි අසූකෙළක් දෙවියෝ නිවන් දුටහ. මාතෘ දිව්‍යපුත්‍ර සොවන් වී ය.
සතිස් යොදුන් තැන පැතිර සිටි මහාපිරිස “දැන් සත්වනදා පවාරණය” යි මහා මුගලන් තෙරුන් වෙත ගොස් “ස්වාමීනි! බුදුරජුන් දෙව්ලොවින් බස්නා දිනය දැන ගන්නට වුවමනා ය, අපේ උන්වහන්සේ නො දැක ගම්රට බලා නො යමු” යි කී කල්හි මුගලන් තෙරණුවෝ “වේවා, උපාසකයෙනි” යි එහි ම පොළොව ගැලී “මහාමෙර මුදුනට නගින මා, මහාජන තෙමේ දකීවා” යි ඉටා මැණික් ඇවුණු නිල්පලස් හුයක් සේ පැණෙනුවෝ මහාමෙර මුදුනට නැගි සේක. රැස් ව හුන් මිනිස්සු “එක් යොත්නක් නැංගාහ, දෙ යොත්නක්, තුන් යොත්නක් නැංගාහ” යි කියමින් බලා සිටියහ. තෙරණුවෝ බුදුරජුන්ගේ සිරිපා හිසින් ඔසවන්නා සේ මහාමෙර මුදුනට නැග වැඳ “ස්වාමීනි! එදා රැස් වූ මහාජනකාය තෙමේ බුදුරජානන් වහන්සේ දැක ම යමු” යි නතරවී සිටියි, එහෙයින් මිනිස් ලොවට බැස වදාරන්නෝ කවදා දැයි ඇසූහ. “මුගලන! තමුසේගේ වැඩිමහල් සොහොයුරු සැරියුත් මෙ දවස කොහි වෙසේ දැ” යි බුදුරජුන් අසා වදාළ කල්හි “ස්වාමිනි, උන්වහන්සේ සඞ්කස්ස නුවර වස් එළඹ වැඩ සිටිති” යි කීහ. “මුගලන! එසේ නම්, මම තව සත් දිනකින් එන මහා පවාරණ දිනයෙහි සඞ්කස්ස නුවර දොරට බසින්නෙමි, මා දකිනු කැමැති හැම කෙනකුන් එහි පැමිණිය යුතු ය, ඔවුනට එහි පැමිණෙන්නැ” යි කියන්න, සැවැත් නුවර සිට සඞ්කස්ස නුවරට ඇත්තේ තිස් යොත්නෙක, මෙතෙක් තැන් යෑමෙහි දී කිසිවකුටත් බත් පිණිස හාල් ලුනු මිරිස් ඈ කිසිවක් වුවමනා නැත, පෙහෙවස් ගෙණ අසල වෙහෙරකට බණ අසන්නට යන්නන් සේ යන්නට කියවු” යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. උන්වහන්සේ ද “එසේය, ස්වාමීනි!” යි බුදුරජුන් වැඳ පෙරළා ගොස් ඒ මහාපිරිසට එය දැන් වූහ.
බුදුරජානන් වහන්සේ වස් පවරා සක්දෙවිඳුන් අමතා “මහරජ! මිනිස්ලොවට යෑමට දැන් කාලය යි, එහෙයින් මම මිනිස් ලොවට යමි” යි දැන් වූ සේක. එකල්හි සක්දෙව් තෙමේ බුදු රජුන්ට මිනිස් ලොවට බැසීමට රනින් මිණියෙන් රිදියෙන් ඉණිමං තුනක් මවා, ඉණිපා සඞ්කස්ස නුවර දොරටුවෙහි පිහිටුවා ලී ය. මුදුන් කොත් මහාමෙර මුදුනෙහි තැබ්බ වී ය. එහි දකුණු පස වූ රන්මුවා ඉණිමග දෙවියන්ට බැසීම සඳහා ය. වම් පස වූ රිදීමුවා ඉණිමග බඹුන්ට බැසීම සඳහා ය. මැද තුබූ මිණිමුවා ඉණිමග බුදුරජුන්ට බැසීම සඳහා ය. බුදුරජානන් වහන්සේ මහාමෙර මුදුනෙහි සිට දේවෝරෝහණ පෙළහර කොට උඩ බලා වදාළ සේක. එකෙණෙහි බඹලෝ නවය එක් මිදුලෙක් විය. යට බලා වදාළ සේක. එකෙණෙහි නොයෙක් ලක්‍ෂ ගණන් චක්‍රවාටයෝ එක් මිදුලක් ඇත්තෝ වූහ. දෙවියෝ මිනිසුන් දුටහ. මිනිස්සු දෙවියන් දුටහ. බුදුරජානන් වහන්සේ සවණක් රැස් විහිදූහ. එදා සතිස් යොදුන් පමණ වූ ඒ පිරිසෙහි බුදුසිරි බලා පැහැද බුදුබව නො පැතූවෙක් නො වී ය. හැම දෙන ම බුදුබව පැතූහ. රන්ඉණිමගින් දෙවියෝ බටහ. රිදීඉණිමගින් මහබඹහු බටහ. බුදුරජානන් වහන්සේ මිණිහිනෙන් බට සේක. පංචසිඛ ගන්‍ධර්‍වපුත්‍ර, දකුණු පස සිට බෙලුවපණ්ඩු වීණාව වයමින් බුදුරජුන් පුදමින් බටුයේ ය. මාතලී සඞ්ග්‍රාහක, වම් පසින් දිවගඳමල් ගෙන වඳිමින් පුදමින් බටුයේ ය. මහබඹු, කුඩසේසත් දැරී ය. සුයාම, වල්විදුනා සැලී ය. බුදුරජානන් වහන්සේ මොවුන් හා බැස සකස් නුවර දොර පිහිටා ගත් සේක. සැරියුත් මහාතෙරණුවෝ බුදුරජුන් ඉදිරියට පැමිණ බුදුරජුන් වැඳ සිටියහ. සැරියුත් තෙරුන් විසින් මෙයට පෙර මෙබඳු මහත් බුදුසිරියෙන් යුක්ත ව බසිනා බුදු රජානන් වහන්සේ නො දන්නා ලද සේක් ද, එහෙයින් උන් වහන්සේ;
“මෙබන්දෙක් මින් පෙර – මවිසින් නො දක්නා ලද,
යලි නො ද අසන ලද - කිසිවකු අතින් කිසිදා.
.
මිහිරිබස් තෙපලන - සිවුගණැති සම්බුදුරද,
පිළිසඳ විසින් වැඩියෝ - මෙලොවට තුසී පුරයෙන්”
යි තමන් වහන්සේගේ ප්‍රීතිය මෙසේ ප්‍රකාශ කළහ.
නැවැත ද සැරියුත් මහාතෙරණුවෝ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! සියලු දෙව් මිනිස්සු ඔබ වහන්සේට ප්‍රිය කරති, ඔබ වහන්සේ ම පතති” යි ද කීහ. “සැරියුත්! ඒ එසේ ය, ඒ කියයුතු නො වේ, මෙබඳු මහත් ගුණ ඇති බුදුවරු සියලු දෙව් මිනිසුන්ට ප්‍රිය වෙත්, යනු කිය යුතු නො වේ” යනු වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යෙ ඣානපසුතා ධීරා නෙක්ඛම්මූපසමෙ රතා,
දෙවාපි තෙසං පිහයන්ති සම්බුද්ධානං සතිමතන්ති.
යම් නුවණැති කෙනෙක් ධ්‍යානයෙහි ඇලුනාහු ද, නිවනෙහි ඇලුනාහු ද, සිහි ඇත්තා වූ ඒ සම්බුදුවරයන්ට දෙවියෝ ද කැමැති වෙත්.
යෙ ඣානපසුතා ධීරා = යම් නුවණැති කෙනෙක් ධ්‍යානයෙහි ඇලුනාහු ද,
යම් කෙනෙක්, ආලම්බනෝපනිද්ධ්‍යාන - ලක්‍ෂණෝපනිද්ධ්‍යාන යන දෙවැරුම් ධ්‍යානයෙහි, ආවජ්ජනාදි වසීතාවන්ගේ වසයෙන් ඇලී සිටියෝ ද ඔවුහු ය ඣානපසුත. මෙහිලා බුදුවරයෝ ගැණෙති. [1]
නෙක්ඛම්මුපසමෙ රතා = නිවනෙහි ඇලුනාහු ද.
මෙයිනුදු ගැණෙන්නෝ බුරජානන් වහන්සේ ය.
නෙක්ඛම්ම ශබ්දය, පඨමජ්ඣාන - පබ්බජ්ජා - විමුත්ති - විපස්සනා - නිස්සෙසකුසල යන මෙතැන්හි වැටේ.
“නෙක්ඛම්මං පඨමජ්ඣානෙ පබ්බජ්ජායං විමුත්තියං,
විපස්සනායං නිස්සෙසකුසලස්මිං ච දිස්සති”
යනු කෝෂවචන යි. ‘ නෙක්ඛම්මාභිරතානං පරමවොදානප්පත්තානං’ යනාදී තන්හි ප්‍රථමද්ධ්‍යානයෙහි, ‘ නෙක්ඛම්ම සඞ්කප්පො’ යනාදී තන්හි ප්‍රව්‍රජ්‍යාවෙහි, ‘ නෙක්ඛම්මූපසමෙ’ යනාදී තන්හි විමුක්තියෙහි, ‘ නෙක්ඛම්මසඤ්ඤා’ යනාදී තන්හි විදර්‍ශනාවෙහි, ‘කාමච්ඡන්‍දො නෙක්ඛම්මං’ යනාදී තන්හි නිඃශේෂ කුශලයෙහි වැටුනේ ය. නෙක්ඛම්ම යන මෙයින් අනාගාමී මාර්‍ගය ද කිය වේ. කාමයන්ගෙන් වෙන් ව සිටි බැවිනි ඒ. “ කාමෙහි නික්ඛන්තත්තා නෙක්ඛම්මං අනාගාමිමග්ගො වා” යනු අටුවා ය.
නෙක්ඛම්ම ශබ්දය සේ ම උපසම ශබ්දය ද නිවන කියන්නේ ය. එකාර්‍ත්‍ථවත් ඒ දෙ සද ම මෙහි යෙදී සිටියි. එක් අරුතක් සඳහා එක් අරුතක් ඇති පද දෙකක් යෙදී සිටියේ සකලක්ලේශයන්ගේ අත්‍යන්තව්‍යප්පසමය නිවනෙන් ම වන බව දැක්වීමට ය. සියලු කෙලෙස් පහව යෑමෙන් ම සන්සිඳීම වන බව දන්වනු ව හෝ නිවන ‘නෙක්ඛම්මූපසම’ යි කියන ලද ය. කෙලෙස් සන්සිඳීමැ යි කියන නිවන හෝ කෙලෙසුන් සන්සිඳුවන නිවන හෝ යි අරුත් ගත ද වරද නැත.
දෙවාපි තෙසං පිහයන්ති = දෙවියෝ ද කැමති වෙත්.
අපි ශබ්දය මනුෂ්‍යාදීන්ගේ ගැණිම සඳහා ය. එහෙයින් කැමැති වන්නෝ දෙවියෝ ම පමණක් නො වෙති. මනුෂ්‍යාදී වූ අන්‍ය සත්ත්‍වයෝ ද කැමැති වෙත්. ‘තෙසං’ යන්න ‘සම්බුද්ධානං’ යනු බලා සිටියේ ය.
සම්බුද්ධානං සතීමතං = ස්මෘතිමත් වූ සම්බුදුවරයන්ට. [2]
ආලම්බනෝපනිද්ධ්‍යාන - ලක්‍ෂණෝපනිද්ධ්‍යානයන්හි ඇලී සිටි කෙලෙස් සන්සිඳවන නිවනෙහි ඇලුනු සිහි ඇත්තා වූ සම්බුදු වරුන්ට එකී ගුණ කරණ කොට දිව්‍යමනුෂ්‍යාදී වූ හැම කෙනෙක් කැමැති වෙති. මෙබඳු මහත් ගුණ ඇති බුදුවරුන් දැක “අහෝ! අපිදු බුදු වන්නමෝ නම් යෙහෙකැ” යි බුදුබව පතමින් කැමැති වෙත්.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි තිස් කෙළක් පමණ දෙනාට නිවන් ලැබින. සැරියුත් මහාතෙරුන්ගේ අතවැසි පන්සියය දෙනා රහත් වූ හ. යමාමහ පෙළහර කොට දෙව්ලොව වස් එළඹ සකස් නුවර දොරකඩට බැසීම සියලු බුදුවරුන් විසින් අත් නොහළ ක්‍රියාවකි. එහි දකුණු සිරිපා පිහිටි තැන අචලචෛත්‍යස්ථාන නම් වී ය. බුදුරජානන් වහන්සේ එහි වැඩ සිට පුහුදුනට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඔවුන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයන්ට පිළිතුරු දුන්හ. සෝතාපන්නහු පිළිබඳ ප්‍රශ්නයන්ට පිළිතුරු දීමෙහි ඔවුහු අපොහොසත් වූහ. එසේ ම සෝතාපන්නයෝ සකෘදාගාමීන්ට විෂය වූ ප්‍රශ්නයන්ට පිළිතුරු දීමෙහි අසමර්‍ත්‍ථ වූහ. සැරියුත් තෙරුන් වහන්සේට විෂය වූවෙහි මුගලන් තෙරණුවෝ ද, බුදුරජානන් වහන්සේට විෂය වූවෙහි සැරියුත් තෙරණුවෝ ද, එසේ ම අසමර්‍ත්‍ථ වූහ. එහි ලා අසමර්‍ත්‍ථ වූ සැරියුත් තෙරුන් වහන්සේ නැගෙනහිර දෙස පටන් කොට සියලු දිගුන් බැලූහ. සියලු තැන එක මිදුලෙක් ඇත්තේ ම වී ය. අට දිසාවෙහි දෙවියෝ, මිනිස්සු, උඩ සිටි බඹලෝ වැස්සෝ නාගයෝ ගුරුළෝ ඈ හැම කෙනෙක් ඇඳිලි බැඳ “ස්වාමීනි! මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පොහොසතෙක් මෙහි නැත, ඔතැන්හි ම සොයනු මැනැව” යි කීහ. මේ අතර බුදුරජානන් වහන්සේ, “සැරියුත් වෙහෙසෙ යි, ඒ තැන;
“යෙසං සඞ්ඛතධම්මා යෙ ච සෙඛා පුථු ඉධ,
තෙසං මෙ නිපකො ඉරියා පුට්ඨො පබ්‍රෑහි මාරිස”
යන මේ බුද්ධ විෂයක ප්‍රශ්නය අසා සෙඛා සෙඛයන්ගේ ආගමන ප්‍රතිපදාව මා අතින් විචාරා යි ප්‍රශ්නයෙහි නිසැක ව ස්කන්‍ධාදීන් කෙරෙහි කිනම් මුඛයකින් මේ ප්‍රතිපදාව කියන්නෙම්, මම බුදුරජුන්ගේ අදහස් ගන්නට නො හැකි වෙම් දැ යි මාගේ අදහසෙහි සැකෙරෙයි, එහෙයින් ඒ තැනට මා ඒ පිණිස නය නො දෙන ලද නම්, ඒ තැන ඒ කිමෙහි අපෝසත් ය, ඒ නිසා නය දෙමි” යි නය දෙන සේක් “භූතමිදන්ති සාරිපුත්ත සමනුපස්සසි” යනු වදාළසේක. නැවැත උන්වහන්සේට “සැරියුත් තෙමේ මාගේ අදහස් ගෙණ අදහස් දැන කියනුයේ ස්කන්‍ධවශයෙන් කියන්නේ ය” යි ද අදහස් වූයේ ය. තෙරුන්ට නය දීම හා ඒ ප්‍රශ්නය නය සියයකින් නය දහසකින් වැටහී ගියේ ය. සැරියුත් තෙරණුවෝ බුදුරජුන් දුන් නයයෙහි සිට ඒ පැණ විසඳූහ.
සම්බුදු රජානන් වහන්සේ හැර, සැරියුත් තෙරුගෙන් ප්‍රශ්න අසන්නට සමතෙක් ලොව නැත්තේ ය. එහෙයින් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් ඉදිරියෙහි සිට “ස්වාමිනි! මම මුළු කපක් ම වැසි වට කල්හි මෙතෙක් දියබිඳු මහමුහුදෙහි ද මෙතෙක් දිය බිදු පොළොවෙහි ද මෙතෙක් දියබිදු කදු මුදුන්හි ද වැටුනැ යි ගණන් කොට ලක් තැබීමට සමර්‍ත්‍ථ වෙමි” යි අභීතනාද කළහ. “සැරියුත්! ඒ එසේ ය, තමුසේ එසේ ගණින්නට පොහොසත් බව මම දනිමි” යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. සැරියුත් තෙරුන්ගේ නුවණට උපමා කළ හැක්කෙක් නම් නැත්තේ ය. එහෙයින් කීහ;
“ම නුවණට ලක් වී - ගෙවේ ගඟ නම් ගඟවැලි,
ගෙවේ මුහුදෙහි දියකඳ - මිහිතලමැටිකඳ ගෙවේ” යනු.
“ස්වාමීනි! ලෝකනාථයන් වහන්ස! මා එක් ප්‍රශ්නයක් විසඳු කල්හි ඒ පිණිස වැලි ඇටක් එක් දිය බිඳක් පස් ටිකක් ගණන් වශයෙන් නො තබා ප්‍රශ්න සිය ගණනින් හෝ විසඳන්නේ සමූහ ව සිටි ප්‍රශ්නයන්ට වැලිවලින් එක් වැලි ඇටක් දියකදින් එක් දියබිඳක් පස් කඳින් එවැවැලි ඇටක් තරම් පස් ටිකක් පසෙක තබම් නම්, වහා ම ගඞ්ගාදී තන්හි වූ ඒ වැලි පස් ගෙවී යන්නේ ය, එහෙත් මාගේ ප්‍රශ්න විසඳීම නම් නො ගෙවෙන්නේ ය” යි කීහ.
මෙබඳු මහත්ගුණ ඇති මහතෙරුන් වහන්සේත් බුද්ධ විෂයයෙහිලා ඇසූ ප්‍රශ්නයෙහි අගමුල නො දැක බුදුරජුන් දුන් නයයෙහි ම සිට ප්‍රශ්න විසඳූහ. ඒ අසා භික්‍ෂූන්ගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ නම් කිසිවකුටත් එයට පිළිතුරු දෙනු බැරිවි ය. දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ එකලා ව ම එය විසඳුහ යි කතාවක් පැන නැගින. බුදුරජානන් වහන්සේ ඒ අසා “සැරියුත් තෙමේ, මහාජනයාට, විසඳනු බැරි ප්‍රශ්න විසඳුයේ අද ඊයේ නො වේ, පෙරත් විසඳූයේ ය” යි වදාරා ඒ දක්වනු පිණිස;
“දහසකට වැඩි වු - නුවණ නැති එහි රැස් වූ,
ඔවුහු හවුරුදු සියයක් - හඬනෝ යමෙක් දමරුත,
දන්නේ නුවණැති - එකලා වූ ම එ පුරිස්,
දෙට ද සෙට මෙ ලොවේ - යට කොට ඔවුන් සැම දෙන”
යි මේ ජාතකය වදාළ සේක.
යමක ප්‍රාතිහාර්‍ය්‍ය වස්තුව නිමි.