මෙයට පළමු (එකොළොස් වැනි නිර්‍දෙශයෙහි) කියා නිම වූ ඒ සමාධි භාවනාව “ලෞකික අභිඥා ආනිසංස කොට ඇත්තීය”යි කියන ලද්දේ ඒ අභිඥා සම්පාදනයට චතුර්ථ ධ්‍යානලාභියා උත්සාහවත් කරවනු සඳහා ය.
එහි විශේෂ ප්‍රයෝජන දැක්වීම පිණිස මෙසේ “ඒ පඤ්චාභිඥාවන් සම්පාදනය කර ගත් යෝගාවචර මහණහුගේ ඒ සමාධි භාවනාව ලබන ලද අනුසස් ඇත්තී ද මනා සේ තහවුරු වූවා ද වෙයි. හෙතෙමේ එබඳු ඒ සමාධි භාවනාවෙන් යුක්ත වූයේ සුවසේ මැ ප්‍රඥා භාවනා සිද්ධ කෙරේ යැ”යි කියන ලදී. එහෙයින් පළමුකොට අභිඥා කථාව පටන් ගන්නෙමු.
භාග්‍යවතුන් වහන්සේ චතුර්ථ ධ්‍යාන ලාභී කුලපුත්‍රයන් ගේ සමාධිභාවනානිසංස දක්වනු පිණිස ද, මතු මත්තෙහි ප්‍රණීත ධර්‍මදේශනාව පිණිස ද,
“සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඉද්ධිවිධාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙක විහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්‍වා බහුධාහොති”[1]
“ඒ යෝගාවචර මහණ තෙමේ සිත එකඟ වැ, පිරිසිදු වැ, සර්‍වප්‍රකාරයෙන් පාප ධර්‍මයන්ගෙන් මිදී, කෙලෙසුන් කෙරෙන් දුරු වැ, උපක්ලේශයෙන් පහ වැ මොළොක් වැ, සෘද්ධිවිධ කර්‍මයට සුදුසු වැ, කෙලෙසුන් නිසා නො සැලෙන බවට පැමිණි කල්හි ඉද්ධිවිධ ඤාණය පිණිස සිත මෙහෙයයි. හෙතෙමේ අනේකාකාර වූ සෘද්ධිවිධ ඥානය ලබයි. තෙමේ එකෙක්ව ද බොහෝ වේ යැ”යි. මේ ආදීන්
1. සෘද්ධිවිධ ඥානය
2. දිව්‍යශ්‍රොත ඥානය
3. පරචිත්තවිජානන ඥානය
4. පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය
5. සත්ත්‍වයන්ගේ චුතූපපාත ඥානය යි.
මේ පඤ්චවිධ ලෞකික අභිඥාවන් වදාළ සේක.
විස්තර :- “මෙසේ එකෙක්ව ද, බොහෝ වෙයි” යනාදීන් දැක් වූ සෘද්ධිවිකුර්‍වණය කරනු කැමති ආදිකර්මික යෝගාවචරයා විසින් පඨවි කසිණයේ සිට ඕදාත කසිණය තෙක් ඇති අෂ්ට කසිණයන්හි ලෞකික සමාපත්ති අට අට උපදවා -
(1) කසිණානුලෝමය
(2) කසිණ පටිලෝමය
(3) කසිණානුලොම පටිලෝමය
(4) ධ්‍යානානුලෝමය
(5) ධ්‍යාන පටිලෝමය
(6) ධ්‍යානානුලොම පටිලෝමය
(7) ධ්‍යාන උල්ලඞ්ඝනය
(8) කසිණ උල්ලඞ්ඝනය
(9) ධ්‍යාන කසිණ උල්ලඞ්ඝනය
(10) අඞ්ග සඞ්කන්තිකය
(11) ආලම්බන සඞ්කන්තිකය
(12) අඞ්ග ආලම්බන සඞ්කන්තිකය
(13) අඞ්ග ව්‍යවස්ථාපනය
(14) ආලම්බන ව්‍යවස්ථාපනය
යන මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කළ යුතු.
විශේෂ :- ආකාස කසිණයෙන් අරූපාවචර සමාපත්ති නො ලැබෙන හෙයින් ද, ආලෝක කසිණය අවදාත කසිණයෙහි ඇතුළත් වන හෙයින් ද, අට කසිණය යි කියන ලදී. තවද කසිණ පටිලෝමය දේශනා ක්‍රමයෙන් ද, ධ්‍යානානුලෝමය ප්‍රතිපත්ති වශයෙන් ද දත යුතු. සිත දමනය කිරීම මෙහිලා අභිමත හෙයින් ආකාශ නිර්‍මාණාදිය සඳහා කසිණානුලෝම ක්‍රමය හා කසිණපටිලෝම ක්‍රමය ද, කැමති විය යුතු.
(1) පළමුකොට පඨවි කසිණයෙන් ධ්‍යානයට සමවැදී දෙවනු වැ ආපෝ කසිණයෙන් ද, යනාදි පිළිවෙළින් අට කසිණයෙන් සිය වරක් හෝ දහස් වරක් ධ්‍යානයට සමවදනේ ය. මේ යැ කසිණානුලෝමය නම්.
(2) අටවෙන අවදාත කසිණයෙහි සිට ආපසු පඨවි කසිණය තෙක් ප්‍රතිලෝම වශයෙන් සිය දහස්වර ධ්‍යානයට සමවැදීම කසිණ පටිලෝමය යැ.
(3) පඨවි කසිණයේ සිට අවදාන කසිණය තෙක් ද, අවදාත කසිණයේ සිට පඨවි කසිණය තෙක් දැයි මෙසේ අනුලෝම - ප්‍රතිලෝම වශයෙන් නැවත නැවතව සිය දහස්වර ධ්‍යානයට සමවැදීම කසිණානුලෝම පටිලෝම යැ.
(4) ප්‍රථමධ්‍යානයේ සිට පිළිවෙළින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය තෙක් නැවත නැවත සිය දහස්වර සමවැදීම ධ්‍යානානුලෝමය යැ.
(5) නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ පටන් ප්‍රථමධ්‍යානය තෙක් ආපසු සමවැදීම ධ්‍යාන පටිලෝමය යැ.
(6) ප්‍රථම ධ්‍යානයේ පටන් නේවසඤ්ඤා - නාසඤ්ඤායතනය තෙක් ද නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ පටන් ප්‍රථමධ්‍යානය තෙක් ද, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් සමවැදීම ඣානානුලෝම - පටිලෝමය නම් වේ.
(7) පඨවි කසිණයෙන් ප්‍රථමධ්‍යාන - තෘතීයධ්‍යානයන්ට ද, එය උගුළුවා පඨවි කසිණයෙන් මැ උපදවන ලද අවකාශය අනන්ත වශයෙන් පතුරුවා එහි පරිකර්‍ම වඩා ආකාසානඤ්චායතනයට සමවැදීම ද, එයින් මැ ආකිඤ්චඤ්ඤායතනයට සම වැදීම දැ යි, මෙසේ කසිණය නො ඉක්ම ධ්‍යානය එකිනෙක ඉක්මවීමෙන් සමවැදීම ‘(ඣානුක්කන්තික) ධ්‍යාන උල්ලඞ්ඝනය’ නම් වේ.
(8) පඨවි කසිණයෙන් ප්‍රථමධ්‍යානයට සමවැද ආපෝ කසිණය හැර තේජෝ කසිණයෙන් ද, ප්‍රථම ධ්‍යානයට සමවැද මෙසේ කසිණ එකක් හැර එකක් අරමුණු කොට ගෙන එක මැ ධ්‍යානයට සමවැදීම (කසිණුක්කන්තික) කසිණ උල්ලඞ්ඝනය නම් වේ.
(9) පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැද (අපෝ කසිණය හැර) තේජෝ කසිණයෙන් (ද්‍විතීය ධ්‍යානය හැර) තෘතීයධ්‍යානයට සමවැද (වායො කසිණය හැර) නීල කසිණය උගුළුවා ලද අහස්හි ආකාසානඤ්චායතනයට ද, (පීත කසිණය හැර) ලෝහිත කසිණය ආවර්‍ජනා කිරීමෙන් අභිමුඛකොට එය උගුළුවා ලැබුණු (ආකාසය මෙනෙහි නො කිරීමෙන් එහි පෙර පැවති) විඤ්ඤාණයා ගේ අපගමනය අරමුණු කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට දැ යි මේ ක්‍රමයෙන් කසිණයන් හා ධ්‍යානයන් අතරතුර ඉක්මවීමෙන් සමවැදීම ධ්‍යාන කසිණ උල්ලඞ්ඝනය නම් වේ.
(10) පඨවි කසිණයෙන් ප්‍රථමධ්‍යානයට සමවැද එයින් ම ද්විතීයා දි සෙසු රූපාවචර ධ්‍යානයන්ට අඞ්ග පිළිවෙලින් සමවැදීම අඞ්ග සංකත්තිකය නම් වේ.
විශේෂ:- අරූපාවචර ධ්‍යානයෙහි අංග සංක්‍රමණයෙක් නැති.
(11) පඨවි කසිණයෙන් ප්‍රථමධ්‍යානයට සමවදනා සේ ආපො කසිණාදියෙනුදු ප්‍රථමධ්‍යානයට මැ සමවැදීම යැ යි මෙසේ සියලු කසිණයන්හි එක මැ ධ්‍යානයකට සමවැදීම ආලම්බන සංකන්තික නම් වේ.
(12) පඨවි කසිණයෙන් ප්‍රථමධ්‍යානයට ද, ආපෝ කසිණයෙන් ද්විතීය ධ්‍යානයට ද, තේජෝ කසිණයෙන් තෘතීය ධ්‍යානයට ද, වායෝ කසිණයෙන් චතුර්ථ ධ්‍යානයට ද, නීල කසිණය උගුළුවාලද අහස්හි ආකාසානඤ්චායතනයට ද, පීත කසිණයෙන් විඤ්ඤාණඤ්චායතනයට ද, ලෝහිත කසිණයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ද, අවදාත කසිණයෙන් නේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට දැ යි මෙසේ අඞ්ගයන්ගේ ද, ආලම්බනයන්ගේ ද, එකිනෙක පැන සමවැදීම අඞ්ග ආලම්බන සංකන්තික නම් වේ.
(13) ප්‍රථම ධ්‍යානය විතර්‍කාදි පඤ්චඞ්ඟිකයයි ද, ද්විතීය ධ්‍යානය තිවඞ්ඟිකයයි ද, තෘතීය ධ්‍යානය සුඛාදි දුවඞ්ඟිකයයි ද, චතුර්ථ ධ්‍යානය උපෙක්ඛාදි දුවඞ්ඟිකයයි ද, ආකාසානඤ්චායතනය එසේ ම දුවඞ්ඟිකයයි ද, විඤ්ඤාණඤ්චායතනාදිය ද එසේ ම අඞ්ග දෙකකින් යුක්තය යි ද, මෙසේ ධ්‍යානාඞ්ග මාත්‍රය මැ ව්‍යවස්ථාපනය කිරීම අඞ්ග ව්‍යවස්ථාපනය නම් වේ.
(14) මේ පඨවි කසිණය යැ -පෙ- මේ ඔදාත කසිණය යි මෙසේ ආලම්බන මාත්‍රය නියම කිරීම ආලම්බන ව්‍යවස්ථාපනය නම් වේ.
විශේෂ:- අඞ්ග ආලම්බනයන් ගේ ව්‍යවස්ථාපනය ද ඇතැම් ආවර්‍ය්‍ය කෙනෙක් කැමති වෙති. අටුවාවෙහි නො එන හෙයින් එය ඒකාන්ත භාවනා මුඛයෙක් නො වේ.
මේ තුදුස් ආකාරයෙන් සිත දමනය නො කොට පූර්‍ව ජන්මයෙහි ධ්‍යානාභිඥාවන්හි කරන ලද අධිකාර නැති ධ්‍යාන නො වැඩූ ආදිකර්‍මමික යොගාවචර තෙමේ විකුර්‍වණ සෘද්ධිය සම්පාදනය කරන්නේ ය, යන මේ කාරණය සිදු නො වේමය.
ඒ එසේ ම ය:- ආදිකර්මිකයාට කසිණ පරිකර්‍මය පවා අතිශයින් බැරෑරුම් වේ. සෘද්ධි විකුර්‍වණය කළ හැකි බව් කියනුම කිම? කසිණ පරකර්‍ම වඩන සිය දහස් දෙනකුත් අතුරෙන් එකතු මැ එයට සමර්ථවන හෙයිනි.
(දොස් බැහැර කිරීමේ පටන් උග්ගහ නිමිත්ත උපදනා තෙක් කසිණ මණ්ඩලයෙහි පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය කසිණ පරිකර්‍මය යි.)
අනතුරු වැ ප්‍රතිභාග නිමිත්ත ඉපදවීම බැරෑරුම් වේ. සිය දහස් දෙනකුන්ගෙන් එකෙක් මැ ලබන්නේ ය. (පඨවි කසිණ නිර්දේශයෙන් මේ විස්තර සේ දත හැකි වේ)[2] ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි ද, උපචාර - අර්පණා ලැබීම දුෂ්කර වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ ලබන්නේ ය. අර්පණා ලාභියාට ද තුදුස් ආකාරයකින් සිත දමනය කිරීම දුෂ්කර යැ. සිය දහසෙකින් එකකුට මැ හැකි වේ. තුදුස් ආකාරයකින් සිත දමනය කිරීමෙහි පොහොසත් වූවහුට ද, සෘද්ධිය විකුර්‍වණය අතිශයින් බැරෑරුම් වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ සමර්ථ වේ. සෘද්ධි විකුර්‍වණය ඇත්තාහට ද ඛිප්ප නිසන්ති භාවය (වහා වහා ධ්‍යානයට සමවැදීමේ සමර්ථ භාවය) හෝ ධ්‍යාන ඇසින් පඨවි කසිණාදි ධ්‍යානාලම්බනය බැලීම දුෂ්කර වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ සමර්ථ වේ.
නිදර්‍ශන:- මිහින්තලා පව්වේ අම්බස්ථලයෙහි මහාරෝහණගුත්ත ස්ථවිරයන්ට ගිලන් උපස්ථානයට ආවා වූ තිස්දහසක් පමණ සෘද්ධිමත් භික්‍ෂුන් අතුරින් උපසම්පදාවෙන් අටවස් වූ බුද්ධරක්ඛිත තෙරුන් මෙනි. උන්වහන්සේ ගේ ආනුභාවය පඨවි කසිණ නිර්‍දෙශයෙහි කියන ලදි.[3] ඒ ස්ථවිරයන් වහන්සේ ගේ ආනුභාවය දැක රෝහණගුත්ත ස්ථවිරයන් වහන්සේ ඇවැත්ති! ‘අද අප ගේ සඞ්ඝ සභාවෙහි රක්ඛිත ස්ථවිර නම නො සිටියේ නම් නා රජු රැකගත නො හැක්කම්හ. අප හැමදෙනමෝ ගර්හාවට පත් වන්නමෝ ය’යි කීහ.
එහෙයින් ‘සතුරන් ජය ගැනීමට යුද්ධ කරන්නා වූ යෝධා ජීවයන් මල නැති කඩු තෝමරාදිය ගෙන හැසිරෙන්නා සේ භික්‍ෂුන් විසින් ද ක්ලේශ විජය පිණිස නිර්‍මල වූ ධ්‍යානාභිඥා වලඤ්ජනය කටයුතු යැ’යි ඒ භික්‍ෂූන්ට අවවාද කළහ. ඒ අවවාදයෙහි පිහිටා බොහෝ භික්‍ෂූහු ඛිප්පතිසන්ති වූහ.
වහා ධ්‍යානයට සමවැදීමට සමර්ථ වූයේ ද මෙරමාහට පැමිණි උපද්‍රවයේ දී ප්‍රතිෂ්ඨා වන බව අතිශයින් බැරෑරුම් වන්නේ ය. එබන්දන් සිය දහස් දෙනෙකුගෙන් එක් කෙනෙක් ම මෙරමාහට පැමිණි උපද්‍රවයක දී පිහිටවීමට පොහොසත් වන්නාහ. මෙරමා හට පැමිණි උපද්‍රවයෙහි දී පිහිටවීම අතිශයින් යුහුසුලු වැ කටයුතු හෙයින් හා දුකසේ ලැබිය යුතු හෙයින් ද, ක්‍ෂිප්‍රතිශාමයනටත් එය වඩා බැරෑරුම් වන්නේ ය.
නිදර්‍ශන:- ලක්දිව අවට යොදනක් තන්හි පහන් වැටින් පහන් තොරණින් එකාබද්ධකොට කළ ගිරිභණ්ඩවාහන නම් මහා ප්‍රදීප පූජායෙහි දී වසවර්‍තති මාරයා මහත් අඟුරු වැස්සක් මවා ඒ පූජාව හා මනුෂ්‍යයන් ද දවා අළුකරන්නට ආරම්භ කළ කල්හි එක්තරා අභිඥාලාබී මහා තෙර කෙනෙක් එක ම ගිනි පුපුරකුදු මිනිසුන් කරා පැමිණෙන්නට පෙර අහසෙහි පොළොවක් මවා අඟුරු වැස්ස නවතා ලූහ.
වසවත් මාර අඟුරු වැස්ස වස්වන බව කලින් නො දැනම එය අහසින් පහළට බස්නා බව දුටු කෙණෙහි ම ඇසිපිය හෙලීමටත් පෙර මඳ ඇසිල්ලකින් චතුර්‍ථ ධ්‍යානයෙන් විකුර්‍වණ සෘද්ධිය උපදවා පෘථිවියක් මවා අගුරු වැස්ස අහස්හි ම නවතාලීම ඉතා ආශ්චර්‍ය ය. මෙසේ මෙරමා උපද්‍රව නවතාලීමට පිහිටවීම අතිශයින් ම බැරෑරුම් වේ.
විශේෂ:- සෘද්ධිවිධඥානාදි ගුණධර්‍මයන්ට කාරණ වූ බලවත් පූර්‍ව ප්‍රාර්ථනා ඇති බුදු-පසේබුදු-අගසවු-සමසවුවනට මෙකී ක්‍රමයෙන් තොරව ද විදර්‍ශනා ක්‍රමයෙහි කියන ලද භාවනා පිළිවෙලින් අර්‍හත් ඵල ප්‍රතිලාභයෙන් මැ මේ සෘද්ධිවිකුර්‍වණය ද සෙසු ප්‍රතිසමභිදාඥානාදිය ආදි ශබ්දයෙන් ගත් ස්ථානාස්ථානාඥානාදි ප්‍රභේද ගත ගුණයෝ ද සමෘද්ධ වෙත්මය.
උපමාවෙකි:- පලඳනා විශේෂයක් කරනු කැමති රන් කරුවෙක් ගිනි පිඹිම් ආදීන් රන් මොළොක් කිරීමෙන් කර්‍මාන්තයට යෝග්‍යකොට පලඳනා විශේෂ කරන්නා සේ ද, ලාකඩ ශිල්පියෙක් ලක්‍ෂාරසාදිය පළමු වැ මොළොක් කොට ලාකඩ කර්‍මාන්ත කරන්නා සේ ද, ආදිකර්මික යෝගාවචරයා විසින් මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කොට (මට අභිඥා ඒකාන්තයෙන් මැ සමෘද්ධ වන්නේ යැ යි) ඡන්‍ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධි පාදයන් එකිනෙක පෙරටු කොට ගෙන ධ්‍යානයට සමවැදීම් වශයෙන් ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යන පස් ආකාරයෙන් වසඟ බවට පැමිණවීමෙන් මොළොක් කොට සෘද්ධිවිධ ඥානය ලබනු පිණිස භාවනා කළ යුතු ය.
පූර්‍ව හේතු සම්පන්නයා විසින් යම් ධ්‍යානයක් පාදකකොට අභිඥා ඉපදවිය යුතු නම් ඒ ධ්‍යානයෙහි ද පුරුදු කළ වාසීභාවය කැමති විය යුතු ය. එය මෙසේ වදාළහ.
“සො එවං සමාහිතො චිත්තෙ පරිසුද්‍ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතුපක්කිලෙසෙ මුදුභුතෙ කම්මනියෙ ඨිතෙ ආනඤ්ජප්පත්තෙ ඉද්ධිවිධා චිත්තං අභිනීහරති”[4]
(මේ දේශනා පාළියෙහි පදයක් පාසා අර්ථ විවරණය මෙසේ යි.)
සො = ඒ අධිගමනය කළ චතුර්ථධ්‍යාන ඇති යෝගී තෙමේ
එවං = ප්‍රථමධ්‍යානාදි ක්‍රමයෙන් මෙසේ (චතුර්ථධ්‍යානය ලැබ)
චිත්තේ = (රූපාවචර) චිත්තය
සමාහිතෙ = (චතුර්ථධ්‍යාන සමාධීන්) සමාධිමත් වූ කල්හි;
පරිසුද්‍ධෙ = (උපෙක්ඛා සති පාරිසුද්‍ධියෙන්) පිරිසිදු වූ කල්හි;
පරියොදාතෙ = පිරිසිදු හෙයින් ම ප්‍රභාස්වර කල්හි;
අනඞ්ගනෙ* (පහ වූ රාගාදි) අඞ්ගණ ඇති කල්හි;
විගතූපක්කිලෙසෙ = (අනඞ්ගණ හෙයින් මැ) පහවූ උපක්ලේශ ඇති කල්හි)
මුදුභූතෙ = මනාකොට වඩනා ලද කල්හි; (වසී භෘවයට පැමිණියේ යයි කී නියා යි)
කම්මනියෙ ඨිතෙ = (මෘදු හෙයින් මැ) සෘද්‍ධිවිධඥාන කර්‍මයට යෝග්‍ය වැ සිටි කල්හි නොහොත් ;
කම්මනියෙ = (සෘද්ධිවිධඥාන කර්‍මයට) යෝග්‍ය කල්හි;
ඨිතෙ = (මේ පිරිසිදු බව් ආදියෙහි පිහිටි හෙයින්) සිටි කල්හි
ආනෙඤ්ජප්පත්තෙ = (ශ්‍රද්ධාදීන් පරිගෘහිත වන බැවින්) නිශ්චල බවට පැමිණි කල්හි;
විශේෂ :- මෘදු වූ සිත මනාව පිඹ තවාගන්නා ලද සුවර්‍ණයක් සේ කර්‍මණ්‍ය වෙයි. මනාකොට වඩන ලද හෙයිනි.
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමිං. යං එවං භාවිතං බහුලීකතං මුදුඤ්චෙව හොති. කම්මනියඤ්ච යථයිදං භික්ඛවෙ චිත්තං”[5]
‘මනාකොට මඩනා ලද සිත සේ මෘදු වූ කර්‍මණ්‍ය වූ අන්‍ය එක ම ධර්‍මයක් සර්‍වඥතාඥානයෙනුදු නොම දකිමි’යි එහෙයින් වදාළහ.
1. ශ්‍රද්ධා පරිගෘහීත වූයේ අශ්‍රද්ධායෙන් නො සැලේ.
2. වීර්‍ය්‍ය පරිගෘහීත වූයේ කුසීත බැවින් නො සැලේ.
3. ස්මෘති පරිගෘහීත වූයේ ප්‍රමාදයෙන් නො සැලේ.
4. සමාධි පරිගෘහීත වූයේ උද්ධච්චයෙන් නො සැලේ.
5. ප්‍රඥා පරිගෘහීත වූයේ අවිද්‍යාවෙන් නො සැලේ.
6. ප්‍රඥාලෝකයෙන් පරිගෘහීත වූයේ ක්ලේශාන්‍ධකාරයෙන් නො සැලේ.
මේ ධර්‍ම සයෙන් (යුක්ත වූ) රුකුල් දෙන ලද සිත නිශ්චල බවට පැමිණියේ වෙයි.
යට කී අඞ්ග අටින් යුක්ත වූ චතුර්ථධ්‍යාන චිත්තය සෘද්‍ධිවිධාදි අභිඥාවනට නැමීමට හා එයට අභිමුඛ කිරීමට යෝග්‍ය වේ.
තවද ක්‍රමයෙකි.
1. චතුර්ථධ්‍යාන සමාධීන් සමාහිත වීම ය.
2. නීවරණ විෂ්කම්භනයෙන් ප්‍රථමධ්‍යාන සමධිගමය වන හෙයින් පිරිසිදු බව ය.
3. විතර්‍කාදි ඖදාරිකාඞ්ග ප්‍රහාණයෙහි ද්විතීය ධ්‍යානාදිය වන හෙයින් ප්‍රභාස්වර බව ය.
4. ධ්‍යාන ප්‍රතිලාභය නිසා වන ඉච්ඡා විඝාතාදීන් ගේ අභාවයෙන් අනඞ්ගණ බව ය.
5. අභිධ්‍යා මායාදීන් ගේ අභාවයෙන් පහ වූ උපක්ලේශ ඇති බව ය. (මෙකී අනඞ්ගණ විගතූපක්කීලෙස භාවය අනඞ්ගණ සූත්‍ර[6] වත්‍ථ සූත්‍රාදීන්[7] දන්නේයි.)
6. පඤ්චප්‍රකාර වසී භාවයට පැමිණීමෙන් මෘදු බව ය.
7. සෘද්ධිපාද භාවයට ආසන්න බවට පැමිණීමෙන් කර්‍මණ්‍ය බව ය.
8. භාවනා පරිපූර්‍ණ බවට පැමිණීමෙන් ස්ථිර බව යැ යි මෙසේ තව ද ක්‍රම අටකින් යුක්ත වූ කල්හි චතුර්ථධ්‍යාන චිත්තය අභීනීහාරක්‍ෂම වේ.
අභිඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මය අභිඥා ප්‍රත්‍යක්‍ෂ කරණය පිණිස ද පාදක ආසන්න කාරණ වේ.
ඉද්‍ධිවිධාය = සෘද්‍ධිවිධ ඥානය ලබනු පිණිස;
චිත්තං = පරිකර්‍ම චිත්තය;
අභිනීහරති = එළවයි;
අභිනින්තාමෙති = නමයි;
කසිණාලම්බනයෙන් ධ්‍යාන සිත වෙන් කොට සෘද්‍ධිවිධය පිණිස අභිමුඛ කොට ඉපදවිය යුතු සෘද්‍ධියට නැඹුරු කරන්නේය යනු භාව යි.
විශේෂ :- අභිමතාර්ථය නිපදවන අර්ථයෙන් ද, ලැබීම් අර්ථයෙන් ද, සෘද්‍ධි නම් වේ.
“කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති”[8] පඤ්ච කාමය කැමතිවන්නා හට ඒ ලැබීමෙන් සමෘද්‍ධ වේ. යන තන්හි නිපදවීම් අර්ථයෙන් සෘද්ධි නමි.
“නෙක්ඛම්මං ඉජඣතීති ඉද්ධි” යන තන්හි ලැබීම් අර්ථයෙන් සෘද්ධි නමි.
තවද ක්‍රමයෙකි:- උපායසම්පත්ති අර්ථයෙන් සෘද්ධි නම් වේ. ඒ එසේමැ යි:- උපාය සම්පත්තිය අදහස් කරන ලද ඵලය ප්‍රසව කරන හෙයින් සෘද්ධි නම් වේ.
ප්‍රව්‍රජ්‍යා - මාර්‍ග - ඵල ධර්‍ම අවසන්කොට ඇති නෙක්ඛම්මය ලබානුයි සෘද්ධි නම.
අර්‍හත් මාර්‍ග - ඵල ලැබීම අර්ථයෙන් ද, සෘද්ධි නමි.
“ඉජ්ඣිස්සති සීලවතො චෙතො පණිධි විසුද්‍ධත්තා”[9]
‘සීලවන්තයා ගේ චිත්තප්‍රණිධිය සමෘද්‍ධ වේ. පිරිසිදු හෙයිනි’
එතාය සත්තා ඉජ්ඣනතීති ඉද්‍ධි. “මෙයින් සත්ත්‍වයෝ වැඩෙත්නු යි” සෘද්ධි නම් වේ. මෙහි වැඩීම් අර්ථයෙන් සෘද්ධි නමි. මේ ඉද්‍ධි ශබ්දයාගේ අර්ථ විවරණය යි.