සෘද්ධිය හටගැනීමේ භූමි පාද පද මූල වසයෙන්

විස්තර මෙහිලා

1. සෘද්ධිය හටගැනීමට සුදුසු භූමි සතර ය.

2. පිහිටීමට සුදුසු පාද සතර ය.

3. හේතු වූ පද (කාරණ) අට ය.

4. මුල් සොළොස ය.

යන මෙතෙක් දෑ සම්පාදනය කොට නුවණින් අධිෂ්ඨාන කරන්නේ සිය දෙනෙක් දහස් දෙනෙක් වන්නේ ය.

1. මෙහි ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන සතර භූමි සතර ය. එම වදාළහ. දම් සෙනෙවි සැරියුත් ස්වාමීහු.

“ඉද්‍ධියා කතමා චතස්සො භූමියො. විවෙකජ භූමි පඨමජ්ඣානං පීති සුඛ භූමි දුතියජ්ඣානං, උපෙක්ඛා සුබ භූමි තතියජ්ඣානං, අදුක්ඛමසුඛ භූමි චතුත්‍ථජ්ඣාන, ඉද්‍ධියා ඉමාචතස්සො භූමියො.”[1]

‘පඤ්චනීවරණ විෂ්කම්භනයෙන් හටගත් හෙයින් ප්‍ර‍ථම ධ්‍යානය විවේකජ භූමි නම. පීති සුඛ සහජාත හෙයින් ද්විතීය ධ්‍යානය පීති සුඛ භූමි නම. උපෙක්ඛාසුඛ සහජාත හෙයින් තෘතීයධ්‍යානය උපෙක්ඛාසුඛ භූමි නම, හුදු උපෙක්ඛා සහජාත හෙයින් චතුර්ථධ්‍යානය අදුක්ඛමසුඛ භූමි නම, මේ සතර භූමිහුය.” (මොවුන් සෘද්ධි නමැති වෘක්‍ෂයන් සිටුවීමට තෝතැනි බඳු හෙයිනි.)

සෘද්ධි අධිගමය පිණිස ද, නැවත නැවත ලැබීම පිණිස ද, විවිධ රූප මැවීම් සඞ්ඛ්‍යාත විකුර්‍වණය පිණිස ද, නොයෙක් ආනිසංස පිණිස ද, වහා පැමිණීම් සඞ්ඛ්‍යාත වශී භාවය පිණිස ද, ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම දුරුකිරීමෙන් විසාරද බව පිණිස ද, මේ චතුර්ථධ්‍යාන පිහිට වන බැවින් භූමි නම් වේ.

විශේෂ :- ප්‍ර‍ථමධ්‍යානාදි තුන සෘද්ධියට සම්භාර භූමීහු ය. මේ තුන් ධ්‍යානයට සමවැදීමෙන් ක්‍ර‍මයෙන් සැප බවට හා සැහැල්ලු බවට පැමිණි නාමකාය රූපකාය අත්තහුගේ සිත හාත්පසින් දමනය වේ. චතුර්ථධ්‍යානය සුවසේ සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස පවතී. එහෙයින් චතුර්ථධ්‍යානය සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස ප්‍ර‍කෘති භූමිය යි.

2. පාද නම්

(i) සමෘද්ධ වේනුයි, හෝ

(ii) ‘මේ කරණකොටගෙන සත්ත්‍වයෝ උත්කර්‍ෂවත් බවට පැමිණෙත්නුයි’ හෝ සෘද්ධි නම් වේ.

(i) (ප්‍ර‍ථම අර්‍ථයෙන්) සෘද්ධිය ම පාද වූයේ සෘද්ධි පාද ය. සෘද්ධි කොට්ඨාසය යන අර්‍ථ ය.

(ii) සෘද්‍ධියට පාද වූයේ සෘද්ධි පාද නමි. සෘද්ධි අධිගමන උාය යන අර්‍ථ යි.

“ඉද්‍ධියා කතමෙ චත්තාරො පාදා ඉධ භික්ඛු ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්තාගතං ඉද්‍ධි පාදං භාවෙති. විරිය-චිත්ත-වීමංසා සමාධිපධානසඞ්ඛාර සමන්තාගතං ඉද්‍ධිපාදං භාවෙති. ඉද්‍ධියා ඉමෙ චත්තාරො පාදා -පෙ- ඉද්‍ධිවෙසාසාරජ්ජාය සංවත්තන්නි.”[2]

සතර පාදයෝ නම් සෘද්ධි පාදයෝ යි. එයින් වදාළ හ.

‘මේ සසුනෙහි යෝගාවචර භික්‍ෂුතෙමේ ඡන්‍දය අධික කොට ඇති එකාග්‍ර‍තාව ප්‍ර‍ධානකොට පටන් ගන්නා සංස්කාරයෙන් යුක්ත වූ සෘද්ධිපාදය වඩන්නේ වෙයි. එබඳු වූ ම වීර්‍ය්‍ය, චිත්ත, ප්‍ර‍ඥා යන තුනින් එකක් එකක් ප්‍ර‍ධානකොට ඇති සංස්කාරයෙන් යුක්ත සෘද්ධිපාදය වඩන්නේ වෙයි ද? මොහු යැ සතර ඉද්ධිපාදයෝ නම් මොහු සෘද්ධි වෛශාරද්‍යය පිණිස පවතිත්.

පදයක් පාසා විස්තරාර්ථ මෙසේ යි.

ඡන්‍ද සමාධි = පූර්‍වභාගයෙහි පැවැති කත්තුකම්‍යතා ඡන්‍දය හේතුකොට ඇත්තා වූ ඒකාග්‍ර‍තාව ඡන්‍දසමාධි නමි.

පධාන සඞ්ඛාර = ප්‍ර‍ධාන වූ හේ ශ්‍රේෂ්ඨ වූ චතුර්විධ වීර්‍ය්‍යය ඒ ඒ කෘත්‍යය සිද්ධකරන හෙයින් පධාන සංඛාර නමි.

සමන්තාගතා = ඡන්‍ද සමාධියෙන් හා ප්‍ර‍ධාන සඞ්ඛාරයෙන් යුක්ත වූ;

ඉද්‍ධිපාදං = නිෂ්පත්තික්‍ර‍මයෙන් හෝ අභිමතාර්ථය සමෘද්ධ වන අර්ථයෙන් හෝ සෘද්ධි නම් වූ අභිඥා චිත්තයෙන් යෙදුණු ඡන්‍ද-සමාධි-ප්‍ර‍ධාන සංස්කාරයන්ට ආධාරාර්ථයෙන් ‘සෙසු චිත්ත-චෛතසික රාශිය පාදයක් වූයේනුයි. ඉද්‍ධිපාද නම් වේ. මෙසේ ඡන්‍දාදි ධර්‍මයන් ලබමින් සිටියහු ගේ වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණක්ඛන්‍ධ යන සතර නාම ස්කන්ධයේ සෘද්‍ධිපාද නම් වන්නාහ යි වදාරන ලදි.

තව ද අර්ථයෙකි = මේ කරණකොට සෘද්ධියට පැමිණේනුයි පාද නමි. සෘද්ධිහුගේ පාදය සෘද්ධි පාදය යි. ඡන්‍දාදීන්ට මේ නමෙකි.

එහෙයින් වදාළහ.

“ඡන්‍ද චෙ භික්ඛවෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං අයං වුච්චති ඡන්‍ද සමාධි. සො අනුප්පන්තානං පාපකානං අකුසලානං ධම්මානං -පෙ- පදහති. ඉමෙ වුච්චන්ති පධාන සඞ්ඛාරා ඉති අයඤ්ච ඡන්‍දො අයඤ්ච සමාධි ඉමෙච පධානසඞ්ඛාරා අයං වුච්චති භික්ඛවෙ ඡන්‍දසමාධිපධානසඞ්ඛාර සමන්නාගතො ඉද්‍ධිපාදොති.”[3]

‘ඒ භික්‍ෂුව ඡන්‍දය නිසා සමාධිය ලබන්නේ වේද චිත්තයාගේ එකඟ බව ලබන්නේ වේද එහෙයින් ඒ ධර්‍මය ඡන්‍ද-සමාධි නම් වේ. ඒ භික්‍ෂුව නූපන් අකුසල් නූපදීම පිණිස, උපන් අකුසල් ප්‍ර‍හාණය පිණිස, නූපන් කුසල් ඉපදීම පිණිස උපන් කුසල් වැඩීම පිණිස වෑයම් කරයි ද එහෙයින් ඒ ධර්‍ම යෝ ප්‍ර‍ධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්‍දය ද, මේ සමාධිය ද, මේ සඞ්ඛාරයෝ දැ යි මෙතෙක් ධර්‍මයන් ගේ සමුදාය ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්තගත ඉද්‍ධිපාදය යි කියනු ලැබේ. මෙසේ සෙසු ඉද්ධිපාදයන්ගේ ද අර්ථ අත යුතු.

3. පද අට නම් = සෘද්ධියට හේතු වූ ඡන්‍දාදි පද අට මැ යි.

එයින් වදාළහ

“ඉද්‍ධියා කතමානි අට්ඨපදානි ඡන්‍දඤ්චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං. ඡන්‍දො න සමාධි, සමාධි න ඡන්‍දො, අඤ්ඤො ඡන්‍දො අඤ්ඤො සමාධි, විරියං චෙ භික්ඛු -පෙ- චිත්තඤ්චෙ - භික්ඛු වීමංසංචෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං. විමංසා න සමාධි, සමාධි න විමංසා. අඤ්ඤා වීමංසා. අඤ්ඤො සමාධි. ඉද්‍ධියා ඉමානි අට්ඨපදානි පටිලාභාය -පෙ- ඉද්‍ධිවෙසාරජ්ජාය සංවත්තන්ති”[4]

‘මේ ශාසනයෙහි යෝගාවචර භික්‍ෂුතෙම ඡන්‍දය නිඃශ්‍ර‍ය කොට (සමාධිය) චිත්තයා ගේ එකඟ බව ලබන්නේ වේ ද ඒ ඡන්‍දය සමාධි නම් නො වේ. සමාධිය ද ඡන්‍දය නො වේ. ඡන්‍දය අනිකෙක. සමාධිය අනිකෙක. එසේ ම වීර්‍ය්‍යය ද, චිත්තය ද, ප්‍ර‍ඥාව ද, නිශ්‍ර‍ය කොට (සමාධිය) චිත්තයාගේ එකඟ බව ලබන්නේ වේ ද ඒ වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ, සමාධි නම් නො වෙති. සමාධීහු ද වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ නො වෙති. වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ අනෙක් ධර්‍ම කෙනෙක. සමාධීහු අන්‍ය ධර්‍මයෝ යැ. මොහු අට දෙන සෘද්‍ධිහුගේ පදයෝ යි.’

ඡන්‍දාදි සතර තන්හි වූ සමාධිය සමාධිහුම ය. එහෙත් සෘද්ධිය උපදවනු කැමති ඡන්‍දාදිය සහිත වූ සමාධිය සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස හේතු වේ. හුදෙකලා වූයේ හේතු නොවේ. මෙසේ ඡන්‍දාදි සහිත වූ මේ සතර සමාධිය ද ඡන්‍දාදි සතර දැ යි අටදෙන “මොවුන් කරණකොට සෘද්ධියට පැමිණෙත්නු යි” හෝ “තුමූ සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස පවතිත්නු යි” හෝ ඉද්ධිපදය යි කියනු ලැබෙත්.

විස්තර :- ඡන්‍දාදි සතර හා ඒ සතරෙහි යෙදුණු ඒකාග්‍ර‍තා සතර ද යන අට ඉද්ධිපද නම් වේ. ඡන්‍දය සමාධියෙන් වෙන් ව, සමාධිය ඡන්‍දයෙන් වෙන්ව ද, ඉද්ධිය නිපදවීමට අසමර්ථ හෙයින් ඉද්ධිපද නො වේ. එහෙයින් මෙසේ එක්ව උපදනා ඡන්‍දාදි සතර හා ඒකාග්‍ර‍තා සඞ්ඛ්‍යාත සමාධිය ද සෘද්ධිප්‍ර‍තිලාභයට සමර්ථ හෙයින් ඉද්ධිපද නම් වෙති.

  1. ප:ම: ඉද්ධි කථා 383 (බුරුම)

  2. පටි:ම: ඉද්ධි කථා 383 (බුරුම)

  3. වි:ප: ඉද්‍ධි පාද විභඞ්ග 166 පිට

  4. පටි:ම: ඉද්ධි කථා 383 පිට (බුරුම)