දස වැදෑරුම් සෘද්ධිය

ඒ සෘද්ධිය දස වැදෑරුම් වේ.

1. අධිටට්ඨාන ඉද්ධිය

2. විකුබබ්බන ඉද්ධිය

3. මනොමය ඉද්ධිය

4. ඤාණ විප්ඵාර ඉද්ධිය

5. සමාධි විප්ඵාර ඉද්ධිය

6. අරිය ඉද්ධිය

7. කම්මවිපාකජ ඉද්ධිය

8. පුඤ්ඤචතො ඉද්ධිය

9. විජ්ජාමය ඉද්ධිය

10. සම්මාපයොගපච්චය ඉද්ධිය කියා යි.

1. “ස්වභාවයෙන් එකලා වූයේ සියයක් හෝ, දහසක් හෝ, දසදහසක් හෝ වෙමි යි” ආවර්‍ජනා කොට “බොහෝ වෙම්වා යි නුවණින් අධිෂ්ඨාන කරයි.” මෙසේ බෙදා දැක්වූ සෘද්ධිය අධිෂ්ඨාන කිරීම් වශයෙන් නිපදෙන හෙයින් අධිට්ඨා්න ඉද්ධි නම් වේ.

2. යම්කිසි ධ්‍යානලාභියෙක් තමා ප්‍ර‍කෘති වේශය හැරපියා කුමාර වේශයක හෝ නාග - සුපර්‍ණ-යක්‍ෂ-රාක්‍ෂසාදි වේශයක් හෝ නිර්‍මමිත කොට දක්වා නම්, එබඳු වූවහුගේ සෘද්ධිය ප්‍ර‍කෘති වර්‍ණය දුරුකරන විකාර විසින් පවත්නා බැවින් විකුබ්බන ඉද්ධි නම් වේ.

3. අභිඥාලාභී යම්කිසි මහණෙක් මේ ප්‍ර‍කෘති ශරීරයෙන් රූපී වූ අභිඥා සිතින් නිපදවන ලද අඞ්ග-ප්‍ර‍ත්‍යඞ්ග සම්පූර්‍ණ වූ අන්‍ය ශරීරයක් මවා නම් ඒ මනෝමය කාය නිර්‍මාණය කරන්නා වූ සෘද්ධි මනෝමය ඉද්ධි නම් වේ.

(සෙසු අධිෂ්ඨාන විකුර්‍වණයන්හි දු මෙම ක්‍ර‍මය වන හෙයින් මෙය මනෝමය ඉද්‍ධි නම් වනුයේ රූඨි හෙයිනි. ගමනාර්ථයෙන් සියලු සත්ත්‍වයින්ට සාධාරණ ‘ගො’ ශබ්දය මොල්ලි ආදිය ඇති ගෝ පිණ්ඩයෙහි මැ රූඪිවන්නා සේ යි. එසේ මැ සෘද්‍ධිමතුන් ගේ අභ්‍යන්තරයෙන් නිපන් ඔහු හා ඒකාන්තයෙන් සම වූ ඒ නිර්‍මාණය සිතින් මැ නිපද වූ බව ප්‍ර‍කට හෙයින් මෙනම් වී ඒ ව්‍යවහාරය අතිශයවත් හෙයිනි.

4. අර්‍හත් මාර්‍ගඥානලාභයට ප්‍ර‍ථම විදර්‍ශනා අවස්ථාවෙහි හෝ එයට පෙරැ පශ්චිම භවික සත්ත්‍වයා ගේ ප්‍ර‍තිසන්‍ධි ගැනීමෙහි සිට හෝ මාර්‍ගප්‍ර‍තිලාභයෙන් පසුව ස්කන්‍ධ පරිනිර්‍වාණය තෙක් හෝ අර්‍හත්මාර්‍ගඥානය ලබන කෙනෙහි හෝ ඒ ඥානානුභාවයෙන් ප්‍ර‍භාතව්‍ය ධර්‍මප්‍ර‍හාණය හා භාවිතව්‍ය ධර්‍ම භාවනාවෙහි සම්පූර්‍ණ කිරීම් වශයෙන් උපදනා විශේෂය ඤාණවිපඵාර ඉද්ධි නම් වේ.

උදාහරණ :- සූර්‍ය්‍යයා උදාවන කල එය සිටි තැන හා අවට ආලෝක කිරීමට සමර්ථ වන්නා සේ යි. බක්කුල ස්ථවිර, සංකිච්ච ස්ථවිර, භූතපාලදාරකාදීන්ගේ[1] ප්‍ර‍වෘත්ති එයට නිදර්‍ශනයි.

ඔවුනතුරෙන් බක්කුලස්ථවිර ඉතා ළදරු වූයේ මැ නම් තබන මගුල් දිනයෙහි ගංගාවෙහි නාවද්දී කිරිමව ගේ ප්‍ර‍මාදයකින් ගඟේ වැටුණේය. ඔහු ගඟැ මත්ස්‍යයෙක් ගිල බරණැස් තොටට පැමිණියේ ය. එහි දී ඒ මත්ස්‍යයා දැල් දමන්නෙක් අල්ලා සිටු භාර්‍ය්‍යාවට විකිණියේ ය. ඇය මැ මත්ස්‍යයා කපද්දී කුස වූ රන් පිළිමයක් බඳු කුමරුවා දැක “මම පුතකු ලදිමි”යි තුටු පහටු වූවා ය. මෙසේ බක්කුල තෙරුන් මත්ස්‍යයාගේ කුසෙහි නීරෝගවීම පශ්චිම භවිකත්‍වය නිසා ඒ අත්බැව්හි ලැබිය යුතු අර්‍හත් මාර්‍ගඥානානුභාවයෙන් නිපන් හෙයින් ඥානවිෂ්ඵාර සෘද්ධි නමි.

සංකිච්ච සාමණෙරයන් මව් කුස වසද්දී මැ මව කළුරියකළා ය. මළසිරුර දරසෑයෙහි හුලින් ඇන දවද්දී හුල්කොණ ඇසෙහි ඇනී ළදරුවා ශබ්ද කෙළේ ය. අනතුරුව මව් කුස පලා ළදරුවා ගෙන මිත්තණියට දුන්නේ ය. ඇය පෝෂණය කරන ලදින් වැඩිවිය පැමිණ පැවිදි වැ සිවුපිළිසිඹියා පත් රහත් විය. මෙසේ චිතකයෙහි දැවෙද්දී දී නො මැරී ජීවත්වීම යට කී සේ ඥානවිෂ්ඵාර සෘද්ධි නමි.

භූතපාල දරුවා ගේ පියා රජගහනුවර දර වෙළෙන්දෙකි. හෙතෙමේ වනයෙන් ගැළින් දරගෙන සවස නුවරට එනුයේ පිටිනුවර ගැළ සමීපයෙහි ළදරුවා හිඳුවා ගොනුන් සොයනු පිණිස නුවර වන් කල සවස නුවර දොර වැසීය. ළදරුවා සැඩ පරුෂ යකුන්ගෙන් ගහන වූ පිටිනුවර හුදෙකලාව නිරුපද්‍රිතවැ ඒ රැයෙහි විසීම ඥානවිෂ්ඵාර සෘද්ධියෙන් වූයේ ය.

5. ප්‍ර‍ථමධ්‍යානාදි සමධිගමයෙන් පළමු උපචාර අවස්ථායෙහි හෝ ආවර්‍ජනාදි පඤ්චවිධ වශීතාවයන් පුරුදු කළ පසුව හෝ සමාධිය ලැබූ කෙණෙහි හෝ ඒ ඒ ධ්‍යාන තේජසින් වූ නීවරණ විෂ්කම්භනය විතර්‍කාදි ධ්‍යානාංග ඉක්මවීම ය. නිරෝධ සමාත්ති කාලයෙහි උපද්‍ර‍ව නො පැමිණීම ය යනාදි ආනුභාව විශේෂ සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ.

ඒ මෙසේ යි:- ‘ප්‍ර‍ථමධ්‍යානයෙන් නීවරණයන් ගේ ප්‍ර‍හාණාර්ථය සිදුකරන හෙයින් සමාධවිප්ඵාර ඉද්ධිය’ය යනාදි ක්‍ර‍මයෙන් - “නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව ගේ ප්‍ර‍හාණර්ථය සමෘද්‍ධවන අර්ථයන් සමාධිවිප්ඵාර ඉද්‍ධි නම් වේ. යනාදි ක්‍ර‍මයෙන් අෂ්ට සමාපත්තිම සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ.

(1) ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(2) ආයුෂ්මත් සඤ්ජීව ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(3) ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(4) උත්තරා උපාසිකාවගේ ද

(5) සාමාවතිය ගේ ද සමාධිවිප්ඵාර ඉද්ධිය ය.[2]

(1) ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ මහමුගලන් ස්ථවිරයන් වහන්සේ සමග ‘කාපොතකන්දරා’ නම් අරණ්‍යයෙහි අලුත කෙසේ බහන ලද හිසින් යුක්තව අභ්‍යවකාශයෙහි වැඩ වෙසෙන කල දුෂ්ට වූ යක්ෂයෙක් යහළු යකු වළකද්දී හිසට පහරක් ඇන්නේ ය. එය මහා මේඝ ගර්‍ජනාවක් සේ විය. ස්ථවිරයන් වහන්සේ එකෙණෙහි ධ්‍යානයට සමවැදුණු හෙයින් මැ ඒ පහරින් කිසි පීඩාවක් නො වීය. මෙය උන්වහන්සේ ගේ විශේෂ සමාධිවිප්ඵාර ඉද්ධියය යි.

(2) නිරෝධ සමාපත්තියට සමවැදුණු සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දැක කළුරිය කළහ’යි සිතා ගොපලු ආදීහු තණ රොඩු - ලී - ගොමරිටි ආදිය රැස් කොට ගිනි දැල්වූ නමුදු උන්වහන්සේ ගේ අනුපූර්‍ව සමාපත්ති වශයෙන් පැවති ශමථානුභාවයෙන් නිපන් හෙයින් සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

(3) ප්‍ර‍කෘතිමත් සමාපත්ති බහුල වූ ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ එක රැයෙක සමාධියට සමවැද හුන් සේක. පන්සියයක් සොරු බඩු සොරකම් කරගෙන යන ගමන් “දැන් අප ලුහුබඳනාහු නැතැ”යි ගිමන් හරිනු කැමැතිව බඩු බහා තබන්නාහු ‘කණුවකැ’යි සිතා තෙරුන්වහන්සේ ගේ මතුයෙහි සියලු බඩු පොදි දැමූහ. ගිමන් හැර යන්නට සූදානම් වූ ඔහු පළමු තුබූ බඩු ගන්නා කල පරිච්ඡේද වශයෙන් තෙරුන්වහන්සේ නැගිටි සේක. ඔහු තෙරුන්වහන්සේ සෙලවෙන කල ‘යකෙකැ’යි බිය වී කෑගැසූහ.

උපාසකවරුනි! භය නොවව්. “මම භික්‍ෂුවෙකිමි”යි කී කල ඔවුහු පැහැද තෙරුන් වහන්සේ වෙත පැවිදිව සිවුපිළිසිඹියාපත් රහත් වූහ.

මෙසේ බඩු පොදි පන්සියයකට යටවද පීඩාවක් නො වීම සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

(4) උත්තරා උපාසිකාවෝ පුණ්ණ සිටුහුගේ දියණියෝ ය. සිරිමා නම් ගණිකාව ඇය කෙරේ ඊර්‍ෂ්‍යාවෙන් කබලෙහි කකාල තෙල් හිසෙහි වත්කළාහ. උත්තරාවෝ එකෙණෙහි සමාධියට සමවැදුණා හ. පොකුරුපත දියත්තක් සේ තෙල් රූරා ගියේ ය. මේ ඇයගේ සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

(5) සාමාවතිය උදේන රජු ගේ අග මෙහෙසිය යැ. මාගන්‍දිය බමුණා තම දියණියට අග මෙහෙසුන් බව පතනුයේ රජුගේ වීණායෙහි නාගයකු බහා “මහරජ, සාමාවතිය ඔබ මරනු රිසියෙන් වීණායෙහි නයෙක් බහා ලද ලදැ”යි රජුට කීය. රජු ඒ දැක කිපී “සාමාවතිය මරමි”යි දුනුදිය නඟා විෂ පෙවූ හීයකින් විද්දේ ය. සාමාවතිය පිරිවර සහිත වැ රජු වෙත ඔදිස්සක වසයෙන් මෙත්තා සමාපත්තියට සමවැදුණාය.

රජු හීය විදින්නට හෝ බහන්නට හෝ නො හැකිවැ වෙවුලමින් සිටියේ ය. එකල දේවිය “මහරජ කිම? පෙළෙන්නෙහිදැ”යි විචාළා ය. එසේ ය පෙළෙමැ යි, රජු කීකල එසේ නම් “දුන්න වහා තබව”යි දේවිය කීවෙන් ඊය පාමුල හිණි. එකල දේවිය “නො කිපියහට නො කිපෙව”යි අවවාද කළා ය. මෙසේ රජුට ඊය විදිනු නොහැකි වීම සාමාවතිය ගේ සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

(6) පටික්කූලාදි අනිෂ්ට අරමුණෙහි අපටික්කූලතාදිය ඇතිවැ විසීම ආර්‍ය්‍ය සෘද්ධි නම.

අන්‍ය සත්ත්‍වයන්ට පළමුව පටිකූල අරමුණ අපටික්කූලව ද, අපටික්කූල අරමුණ පසුව පටික්කූලව ද වැටහේ. ක්‍ෂීණාශ්‍රාවයෝ කැමති සේ පටික්කූල සඤ්ඤිව හෝ අපටික්කූල සඤ්ඤීව හෝ වාසය කරන්නෝ වෙති.

විස්තර :- ආර්‍ය්‍ය සෘද්ධිය කවරේද? “මේ ශාසනයෙහි ක්‍ෂීණාශ්‍ර‍ව තෙමේ පටික්කූලයෙහි අපටික්කූල සඤ්ඤීවැ වෙසෙම් නම් මැනවැ යි සිතා ඒ ප්‍ර‍තිකූල අරමුණෙහි අප්‍ර‍තිකූල සඤ්ඤීවැ වෙසේ. එසේ ම ඒ ප්‍ර‍තිකූල - අප්‍ර‍තිකූල සියලු අරමුණෙහි ෂඩඞ්ගෙපේක්‍ෂාවෙන් යුක්ත වැ වාසය කරන්නේ ය.” මෙම චිත්ත වශී භාවය රහතුන්ට සම්භව වන හෙයින් ආර්‍ය්‍ය සෘද්ධි නම.

කථං පටික්කූලෙ අපටික්කූල සඤ්ඤී විහරති. අනිට්ඨස්මිං වත්‍ථුස්මිං මෙත්තාය වා ඵරති. ධාතුසො උපසංහරති.[3]

මේ ආර්‍ය්‍ය සෘද්ධියෙන් යුක්ත වූ ක්‍ෂීණාශ්‍ර‍ව තෙමේ නො කැමැති වූ සතුරු අරමුණෙහි මෛත්‍රිය පතුරුවා වාසය කෙරේ.

අශුචි ආදි පිළිකුල් අරමුණෙහි ධාතුමනසිකාර විසින් අප්‍ර‍තිකූල වැ වෙසේ. එසේ මැ අප්‍ර‍තිකූල වූ ඥාතිමිත්‍රාදි ඉෂ්ට අරමුණෙහි දෙතිස් කුණප කොටස් වශයෙන් ගෙන අශුභ වශයෙන් හෝ බලමින් වෙසේ. අනිත්‍යාදි වශයෙන් පටික්කූල වශයෙන් හෝ මෙනෙහි කෙරේ. එසේ පටික්කූල-අපටික්කූල සියලු අරමුණෙහි මෛත්‍රී වශයෙන් හෝ ධාතු මනසිකාර වශයෙන් හෝ අප්‍ර‍තිකූල වශයෙන් බලන්නේ ය. තවද පටික්කූල - අපටික්කූල සියලු අරමුණෙහි අශුභ වශයෙන් හෝ අනිත්‍යාදි වශයෙන් හෝ බලමින් ප්‍ර‍තිකූල සංඥා ඇති වැ වසන්නේ ය.

ෂඩඞ්ගොපෙක්‍ෂාව “චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති”[4] යනාදීන් වදාළ පරිදි ‘චක්ඛුවිඤ්ඤාණයෙන් හෝ චක්ඛුප්පසාදයෙන් හෝ රූපාලම්බනයක් දැක ගේහසිත ප්‍රේම වශයෙන් සොම්නස් නො වැ ප්‍ර‍තිඝවශයෙන් දොම්නස් නො වැ ඉෂ්ටානිෂ්ට සියලු අරමුණෙහි පිරිසිදු ප්‍ර‍කෘතිය නො හැරීම් ලක්‍ෂණ වූ ෂඩ්ද්වාරයෙහි පැවැති ෂඩඞ්ගොපේක්‍ෂාව යැ යි කියන ලද තත්‍ර‍මධ්‍යස්ථායෙන් යුක්ත වැ හෝ වාසය කරන්නේ ය.’ මේ අනුභාවය චෙතො වසිප්පත්ත රහතන්ට මැ ලැබෙන හෙයින් අර්‍ය්‍ය සිද්ධි නම.

7. කර්‍මවිපාකජ සෘද්ධිය :- පක්‍ෂි ආදීන්ගේ අහසින් යාම් ආදිය කම්මවිපාකජ ඉද්ධි නම් වේ.

විස්තර :- සියලු පක්‍ෂීන්ගේ ද, සියලු දෙවියන්ගේ ද, ආදිකල්පිකාදි වශයෙන් දත යුතු ඇතැම් මනුෂ්‍යයන්ගේ ද, ඇතැම් විනිපාතිකයන්ගේ ද (කුශල කර්‍මයෙන් ඉපිද අකුශල විපාකයෙන් දුක් විඳිනා ප්‍රේත විශේෂය විනිපාතික නම් වෙයි) අහසින් යාම පිරිසිදු ඇස් ඇතිවීමාදිය කර්‍මවිපාකජ සෘද්ධි නම් වේ.

මේ ආදිය සඳහා ඉවහල් වූ අභිඥාපාදක ධ්‍යානයන් හෝ උද්වේග ප්‍රීති සහිත විදර්‍ශනාවක් හෝ නැතිවැ මොවුන් ගේ අහසින් ගමන වේ. එසේ මැ පියඞ්කරමාතා[5] උත්තරමාතා[6] පුනබ්බසුමාතාදි2 යකින්නන් ගේ හා වෙමානික ප්‍රෙතයන්ගේ ද අහසින් යාම දිවැසින් තොර වැ තියුණු ඇසින් බැලීම යනාදිය කර්‍මවිපාකජසෘද්ධි ය යි.

8. පුණ්‍යවත්හු ගේ සෘද්ධිය

“කතමා පුඤ්ඤවත්තො ඉද්‍ධි රාජාචක්කවත්ති වෙහාසං ගච්ඡති සද්‍ධිං චතුරඞ්ගිනියා සෙනාය අන්තමසො සද්‍ධි අස්සබන්‍ධ ගොබන්‍ධ පුරිසෙ උපාදාය.”[7]

‘සක්විති රජ සිවුරඟ සෙනඟ හා යටත් පිරිසෙයින් අස් ගොව්වන් ගොපල්ලන් ද ඇතුළු රජ පිරිස් සමග අහසින් යයි. මෙසේ සක්විති රජහු ගේ අහසින් යෑම පුණ්‍යවත්හු ගේ සෘද්ධිය බැවින් පුඤ්ඤවතො ඉද්ධි නම් වේ.

තවද - ජෝතිය, ජටිල, ඝෝසිත, මෙණ්ඩක ගෘහපති[8] යන මොවුන්ගේ හා මහපිණැතියන් පස්දෙනා4 ගේ සෘද්ධිය පුණ්‍යවත් සෘද්ධිය යි. මුහුකුරා ගිය පුණ්‍යසම්භාර ඇති කල්හි සමෘද්ධ වන්නා වූ අනුභාව විශේෂය සංක්‍ෂේපයෙන් පුණ්‍යවත් සෘද්ධි නම් වෙයි.

ඉන් ජෝතිය ගෘහපතියාට මාණික්‍යමය ප්‍රාසාදය හා සූසැටක් කලපවෘක්‍ෂ පොළොව පළාගෙන නැගීම යැ.

ජටිල ගෘහපතියාට කොතෙක් ගත ද නො ගෙවෙන අසූරියන් පමණ ඝන රන් පර්‍වතයක් පැන නැගීම යැ.

ඝෝසිත මරනු පිණිස සත් තැනෙක දමා උපක්‍ර‍ම යෙදුව ද, කිසි දුකකට නො පැමිණීම ය.

මෙණ්ඩක සිටුහට එක් කිරියක් පමණ තැන සත්රුවන් මුවා එළුවන් පැනනැගීම යැ යන මෙතෙක් දෑ පුණ්‍යවත් සෘද්ධිය යි.

මහ පිනැති පස්දෙනා නම්

මෙණ්ඩක සිටු ය, ඔහු භාර්‍ය්‍යා චන්‍ද්‍ර‍පද්මශ්‍රීදේවිය ය, පුත්‍ර‍ ධනඤ්ජය සිටු ය, ලෙහෙලී සුමනා දේවිය, දාස පූර්‍ණය යන මොහු ය.

ඔවුනතුරින් සිටුතෙමේ ඉස්සෝධා නහා අහස බැලූ කල අහසින් බට රත්හැල් දොළොස් දහස් පන්සියයක් කොටුගුල් පුරවා ලයි.

භාර්‍ය්‍යාව සහල් නැලියකින් පිසූ බත් ගෙන සියලු දඹදිව වැස්සන් අනුභව කරවුව ද, නිමාවට නොයේ,

පුත්‍ර‍යා දහසින් බැඳි පියල්ලක් ගෙන සියලු දඹදිව් වැස්සනට දුන ද, නිමාවට නො යේ.

ලෙහෙලිය එක් වී තිඹක් ගෙන සියලු දඹදිව් වැස්සනට දුන ද නො නිමේ.

දාසයා එක් නගුලක් ගෙන සෑ කල ඔබින් සතෙක මොබින් සතෙකැ යි සීවැල් තුදුසක් (14) පැනේ, මේ පුණ්‍යවතුන් පස්දෙනාගේ සෘද්ධිය යි.

9. විද්‍යාමය සෘද්ධිය

“කතමා විජ්ජාමයා ඉද්ධි විජ්ජාධරා විජ්ජං පරිජපිත්‍වා වෙහාසං ගච්ඡන්ති ආකාසෙ හත්‍ථිම්පි දස්සෙන්ති. -පෙ- විවිධම්පි සෙනාබ්‍යුහං දස්සෙන්ති”[9]

“විද්‍යාධරාදීන් ගේ මන්ත්‍ර‍ බලයෙන් අහසින් යාම් ආදිය විජ්ජාමය ඉද්ධිය යි. විද්‍යාධරයෝ ගන්‍ධාරි විද්‍යාදි විද්‍යා ජපකොට මන්ත්‍ර‍ කියා ඒ අනුභාවයෙන් අහසින් යෙති. අහස්හි අතුන් අසුන් ආදි සිවුරඟ සෙනඟ දක්වති.”

10. සම්මා පයොග පච්චය ඉද්ධිය

ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝගයෙන් කැමති දැය සමෘද්ධ වීම (ඒ ඒ කටයුත්තෙහි මනාව යෙදීමට හේතුවන හෙයින්) සෘද්ධි නම් වේ.

“නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දස්ස පහානට්ඨො ඉජ්ඣතීති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣණඨෙන ඉද්‍ධි -පෙ- අරහත්ත මග්ගෙන සබ්බ කිලෙසානං පහනඨො ඉජ්ඣතී ති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනඨෙන ඉද්‍ධි.”1

“නෙක්ඛම්ම සඞ්ඛ්‍යාත ප්‍ර‍ථමධ්‍යානයෙන් කාමච්ඡන්‍ද නීවරණ ප්‍ර‍හාණ කිරීම් සඞ්ඛ්‍යාත අර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. යනාදීන් ඒ ඒ කටයුත්තෙහි ක්‍ර‍මානුකූල වැ යෙදීමෙන් ඒ ඒ අර්ථය සමෘද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. -පෙ-රහත් මගින් සියලු කෙලෙසුන් ගේ ප්‍ර‍හාණාර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ යැයි, දතයුතු.

මේ දසවන සෘද්ධියෙහි සම්‍යක් උපාය යෙදීම යැ යි කියන ලද න්‍යායානුගත ප්‍ර‍තිපත්තියෙන් සමෘද්ධ වන හෙයින් සෘද්ධි නමැ යි කීවා වේ.

විශේෂ :- ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍කාශ කිරීම් වශයෙන් පෙරැ සමාධි විප්ඵාර ඉද්ධි ආදීන්ගේ නිර්‍දෙශයට සමාන වැ පෙළ ආයේය. එහෙත් අටුවායෙහි[10] ශකට රචනාදි වශයෙන් යම්කිසි ශිල්පයක් හෝ ත්‍රිපිටකය ඉගෙනීමක් හෝ වෛද්‍ය කර්මාදියක් හෝ ත්‍රිවේදය ඉගෙනීමක් හෝ යටත් පිරිසෙයින් සීසෑම්-වැපිරීම් ආදිය පටන් ඒ ඒ කර්‍මාන්ත කොට හටගත් විශේෂය ඒ ඒ කටයුත්තෙහි සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍ත්‍යයයෙන් සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධිය යි ආයේ ය.

මෙසේ මේ දශවිධ සෘද්ධීන් අතුරින් “ඉද්‍ධිවිධාය,” යන මේ පදයෙහි අධිඨාන ඉද්ධිය මැ ආයේ ය. මෙහිලා විකුර්‍වණ මනොමය සෘද්ධීන් ද කැමති විය යුතු.

“සො අනෙක විහිතං ඉද්‍ධිවිධං පච්චනුහොති. එකොපි හුත්‍වා බහුධා හොති”[11] මෙසේ සිත් නැමූ යෝගී තෙමේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨා්සය නාමකයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කරයි. කෙසේද යත්:- තෙමේ පෙර හුදෙකලා වැ සිට පසු වැ බොහෝ වෙයි, මේ මෙසේ වන්නේ කෙසේදයත්:-

  1. පටී:වි: අඨකථා 491-494

  2. පටි:ම: අඨකථා 494-500

  3. ප:ම: ඉද්ධි කථා 390 (බුරුම)

  4. ප:ම: ඉද්ධි කථා 390 (බුරුම)

  5. සං:නි: යක්ඛසං : 131 පිට

  6. පෙ:ව: 140

  7. පටි:ම: ඉද්ධි කථා

  8. පටි:ම: අඨකතා 502-509

  9. පටි:ම: ඉද්ධි කථා 391 (බුරුම)

  10. පටී:ම: අඨකථා 510 පිට

  11. දී:නි: සීලක්ඛන්‍ධවග්ග 159 පිට