4. සොළසමූල[1] නම් ධ්‍යාන චිත්තය නො සැලෙන සේ පවත්නා සොළොස් ධර්‍මයෝ යි.
(1) වීර්‍ය්‍යයෙන් වඩනා ලද සිත කුසීතභාවයෙන් නො නැමුණු හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(2) සන්සුන් වූසිත ඖද්ධත්‍යයෙන් උඩට නො නගන ලද හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(3) අරමුණෙහි නො ඇලුණු සිත රාගයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(4) ක්‍රෝධයෙන් දූෂණය නො වූ සිත ව්‍යාපාදයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(5) දෘෂ්ටියෙන් අල්වා නො ගන්නා ලද සිත මිථ්‍යාදෘෂ්ටියෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(6) ඡන්‍ද රාගයෙන් නො බැඳුණු සිත ඡන්‍දරාගයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(7) කාමරාගයෙන් මිදුණු සිත කාමරාග නිමිත්තෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(8) සතර යෝගයන්ගෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිත්තෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(9) ස්වල්ප වූ කෙලෙස් කොටසින් නො සැලෙන සිත කෙලෙස් සීමාවෙන් අකම්ප්‍ය හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(10) එකඟ බවට පැමිණි සිත නොයෙක් කෙලෙසුන්ගෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(11) ශ්‍රද්ධාවෙන් රුකුල් දෙන ලද සිත අශ්‍රද්ධාවෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(12) වීර්‍ය්‍යයෙන් රුකුල් දෙන ලද සිත කුසීත බැවින් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(13) ස්මෘතියෙන් රුකුල් දෙන ලද සිත ප්‍රමාදයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(14) සමාධියෙන් රුකුල් දෙන ලද සිත ඖද්‍ධත්‍යයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(15) ප්‍රඥාවෙන් රුකුල් දෙන ලද සිත දුර්‍වල අවිද්‍යාවෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
(16) ඔභාසගත හිත (බලවත් අවිද්‍යාවෙන්) අවිද්‍යාන්‍ධකාරයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ. යන මේ ධර්‍මයෝ සෘද්ධි මූලයෝ යි. මේ ධර්‍මයෝ සෙළොස් (16) දෙන සෘද්ධිහුගේ නො සැලීම පිණිස පවත්නාහ.
විශෙෂ :- රාගය ආලය වශයෙන් බාහිරාලම්බනයෙහි උපදී
ඡන්‍දරාගය - සම්බන්ධ විසින් සත්ත්‍වයන් කෙරෙහි උපදනේ යි.
කාමරාගය - මෛථුන රාගය ය. මේ අර්ථය පෙර “එවං සමාහිතෙ චිත්තෙ” යනාදි පාඨයෙහි “ආනෙඤ්ජප්පත්තෙ” යන්නෙන් සිද්ධ නමුදු ප්‍රථමධ්‍යානාදීන් ගේ සෘද්‍ධියට “භූමි පාද-පද-මූල” භාවයන් දක්වනු දක්වනු පිණිස නැවත කියන ලද බැව් දත යුතු.
(2) තවද “ශ්‍රද්ධාදීන් පරිගෘහීත බැවින්” යනාදීන් පෙර කී සයාකාරයෙන් දැධ්වූ ක්‍රමය සූත්‍රයෙහි ආ පිළිවෙළ දක්වනු පිණිස කියනලදී. මේ සොළොස් (16) ක්‍රමය ප්‍රතිසම්භිදා මාර්‍ගයෙහි ආ ක්‍රමය දැක්වීම පිණිස කියන ලදී. එහෙයින් සූත්‍ර-ප්‍රතිසම්භිදා දෙක්හි මුළා නො වීම පිණිස නැවත කියන ලද බව දතයුතු
-
පටි:ම: ඉද්ධි කථා 383 පිට (බුරුම) ↑