විකුර්වණ සෘද්ධිය

star_outline

ඤාණෙන අධිට්ඨාහන්තො = නුවණින් අධිෂ්ඨාන කරනුයේ, ඒ යෝගාවචර තෙමේ සෘද්‍ධිය පිළිබඳ මූලධර්‍ම මෙසේ සම්පාදනය කොට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද එයින් නැගී සියයක් වනු කැමති නම් “සියයක් වෙමි”යි කාමාවචර සිතින් මෙනෙහි කිරීමෙන් පරිකර්‍ම කොට නැවත ආවර්‍ජනා කොට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද එයින් නැගී “සියයක් වෙමි”යි ඉටයි ඒ අධිඨාන චිත්තය සමග සියයෙක් වේ. “දහසෙක් වෙමි”යි යනාදීන්හි ද, පරිකර්‍මාදිය මෙසේ මැයි.

මෙසේ අභිමතාර්ථසිද්‍ධිය නො වී නම් නැවත ද පිරියම් කොට දෙවෙනි තුන්වැනි ආදි වශයෙන් සිද්ධවනතාක් ඉටන්නේ ය.

මතභේද:- සංයුත් අටුවායෙහි වනාහි “එක්වරක් දෙවරක් සමවැදිය යුතු”ය යි කියන ලදී. ඒ අටුවාහි “පාදක ධ්‍යාන චිත්තය ප්‍ර‍තිභාග නිමිත්ත නම් වූ කසිණාලෝකය අරමුණු කෙරේය යි ද, පරිකර්‍ම චිත්තයන් සිය දෙනෙකුන් හෝ දහස් දෙනෙකුන් හෝ අරමුණුකර පවතී ය යි ද යෙති. ඒ පරිකර්‍ම සිත් ද තමන් විසින් කල්පනා කරන ලද වර්‍ණ වශයෙන් මැ උපදී. දිව්‍ය මනුෂ්‍යාදි ප්‍ර‍ඥප්ති වශයෙන් නොවේමැයි. අධිඨාන චිත්තය ද එසේ ම සියයක් හෝ අදහසක් අරමුණු කරන්නේ ය හෙද පෙර කී අර්පණා චිත්තය මෙන් ගෝත්‍ර‍භු චිත්තයට අනතුරු වැ චතුර්ථධ්‍යානික එක ම සිතක් උපදනේ”යැ යි කියනු ලැබේ. එහෙත් - ප්‍ර‍තිසම්භිදායෙහි:-

“පකතියා එකො බහුකං ආවජ්ජෙති. සතංවා සහස්සංවා සතසහස්සං වා ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. බහුකො හොමීති බහුකො හොති. යථා ආයස්මතො චූලපන්‍ථකස්ස.[1]

‘ස්වභාවයෙන් එකකු වැ සියයක් හෝ දහසක් හෝ පක්‍ෂයක් හෝ වෙමි යි ආවර්‍ජනාකොට ඤාණයෙන් ඉටන්නේ ය. එසේ කල ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙන් බොහෝ දෙනෙක් වෙති.’

මේ ප්‍ර‍තිසම්භිදායෙහි ද ‘ආවර්‍ජනා කොට නුවණින් ඉටාය’යි කීයේ පරිකර්‍ම සිතින් ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් අධිඨාන කිරීම සඳහා මැයි.

විස්තර:- එහෙයින් මැ “බොහෝ වෙමි”යි ආවර්‍ජනා කෙරේ. අනතුරු වැ ඒ පරිකර්‍ම චිත්තයා ගේ කෙළවර චතුර්ථධ්‍යානයට සමවදනේ යි. ඒ සමවතින් නැගිට නැවත ‘බොහෝ වෙමි’යි ආවර්‍ජනා කොට ඉන් මතු පැවති පරිකර්‍ම-උපචාර-අනුලොම-ගෝත්‍ර‍භු යන සතර පූර්‍වභාග චිත්තයට හෝ උපචාර-අනුලොම-ගොත්‍ර‍භු යන ත්‍රිවිධ පූර්‍වභාග චිත්තයට හෝ අනතුරු වැ නිෂ්පාදන වශයෙන් අධිඨාන නම් වූ එක මැ අභිඥා ඥානයෙන් “අධිඨාන කෙරේ” යයි දත යුතු යි. ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙනැ යි බොහෝ ප්‍ර‍කාර බවට කාය සාක්‍ෂි පිණිස කියන ලදී.

ඒ මෙසේ යි :-ඒ දෙබෑයෝ පන්‍ථයෙහි (මාර්‍ගයෙහි) උපන් බැවින් පන්‍ථක නම් වූවාහු ය. වැඩිමහලු මහාපන්‍ථක තෙමේ පැවිදි වැ සිවුපිළිසිඹියාපත් රහත් වී චූලපන්‍ථක ද පැවිදි කරවා

“පදුමං යථා කොකනදං සුගන්‍ධං

පාතො සියා ඵුල්ලමවීත ගන්‍ධං,

අඞ්ගීරසං පස්ස විරොචමානං

තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”[2]

“උදේ පිපි මනා සුවඳ ඇති බොහෝ පෙති ඇති හෙළ පියුම සුගන්‍ධයෙන් වියෝ නො වී පවතී ද? (එබඳු) හෙළ පියුමකට බඳු ශරීර සුගන්‍ධයෙන් හා තේජසින් යුතු අහසෙහි බබළන සූර්‍ය්‍යයා වැනි අඞ්ගීරස නම් සර්‍වඥයන් වහන්සේ බලව” යි මේ ගාථාව දුන්නේ ය.

චුල්ලපන්‍ථක ස්ථවිරයන් සාරමසකින් මේ ගාථාව ඉගෙනීමට අසමර්ථ වූ හෙයින් මහාපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි! ‘මේ ශාසනයෙහි තා අභව්‍යයෙකැ’යි වෙහෙරින් බැහැර කර වූ සේක.

එකල භත්තුදේදසක තනතුරක් ලත් මහාපත්‍ථක ස්ථවිරයන් වෙත ජීවකයා පැමිණ ‘හෙටට භික්‍ෂුහු කෙතෙක් දැ’යි විචාළ කල චූලපත්‍ථක (තෙරුන්) හැර අනෙක් බුදුපාමොක් සඞ්ඝයාට ආරාධනා පිළිගත් හෙයින් තමා ගැන වැඩිමහලු සොහොයුරා කළකිරුණු බව නියම වශයෙන් දැන ‘මට දැන් මේ පැවිද්දෙන් කම් නැතැ’යි පසුදා උදෑසන මැ සිවුරු හැර යාමට පිටත්ව ගියේ ය.

ඒ බව දත් බුදුහු එයට පෙරාතුව වැඩ දොරටුව සමීපයෙහි සක්මන් කරමින් සිටිනු දැක උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිට චූලපන්‍ථක තෙරුන් අතින් ‘මේ කොහි යන්නේහිදැ’යි විචාර ඒ තතු කී කල චූලපන්‍ථක! ‘මේ ශාසනය මහාපන්‍ථකයා ගේ නොව මාගේ ය’ සොහොයුරා එසේ කී කල මා වෙත නො පැමිණියේ කිම් ද ‘යන්නට එව’ යි කැඳවා ගෙන ගොස් ගඳකිළි දොරටුවෙහි ඉර දෙස බලා සිටින සේ හිඳුවා සෘද්‍ධියෙන් මැවූ රෙදි කඩක් දී ‘මේ පිරිමදිමින් “රජොහරණං” යි කියව’යි වදාළහ.

උන්වහන්සේ එය නැවත නැවත පිරිමැදීමේ දී තමා අත වූ ඩහදිය ගෑවීමෙන් කිලුටු වූ බව දැක ‘මේ පිරිසිදු රෙදිකඩ මා ශරීරය නිසා කිලුටු විය.’

‘මේ ශරීරයේ දෝෂ යැ’ යි පඤචස්කන්‍ධය පිළිබඳ දොස් දැකීමේ නුවණ උපදවා විදර්‍ශනාවට සිත තමා පිළිවෙළින් අනුලොම-ගෝත්‍ර‍භු ඤාණය සමීපයට සිත පැමිණ වූ කල බුදුහු බුදුරැස් විහිදුවා අභිමුඛයෙහි වැඩ සිටිනා සේ පෙනී

“රාගො රජො නචපන රෙණුවුච්චති

රාගස්සෙතං අධිවචනං රජොති,

එතං රජං විප්පජහිත්‍ව පණ්ඩිතා

විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”[3]

“රාගය රජස ය මේ අර්‍ය්‍ය විනයෙහි දූලි රජසැ යි නො කියයි. රාගයට රජස යැ යි විශිෂ්ට නමෙකි. සිත කිලුටු කරන හෙයින් මේ රාග රජස ආර්‍ය්‍ය මාර්‍ගඥානයෙන් පහකොට ආර්‍ය්‍යයන් වහන්සේලා වීතරජස්ක සර්‍වඥ ශාසනයෙහි සිත් අල්වා වෙසෙති” ද්වේෂ මෝහයෝ ද එසේ මැ රජස් වෙති.

මේ ගාථා කෙළවර චූලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා හා ෂඩභිඥාලාභීව අර්‍හත්‍වයට පැමිණි සේක. බුදුහු (දෙවන දවස්) සංඝයා පිරිවරා ජීවකයාගේ ගෘහයට වැඩි සේක් ජීවකයා වඩා හිඳුවා දක්‍ෂිණොදකය පිරිනැමූ කල අතින් පාත්‍ර‍ය වැසූ හ.

ඒ කිම්දැ යි විචාළ කල උපාසකය! ‘විහාරයෙහි භික්‍ෂුවක් ඇතැ’යි වදාළහ. ජීවකයා ‘විහාරයෙහි වූ භික්‍ෂුව කැඳවා එව’යි පුරුෂයකු යැවී ය. බුදුන් විහාරයෙන් වැඩි පසු චූලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ තමා වැනි දහසක් අභිඥා පාදක සිතින් මවාගෙන ඒ සිත්කලු අඹ වෙනෙහි කල් දන්වන තෙක් වැඩ සිටි සේක. ඒ විහාරයට පැමිණි පුරුෂයා කාෂාය වස්ත්‍රයෙන් බබලන විහාරය දැක පෙරලා අවුත් ඒ බව් කියා ‘ඒ භික්‍ෂුව කවරෙක්දැ යි නො දනිමි”යි කීය. එකල බුදුහු තෝ නැවත විහාරයට ගොස් පළමු දුටු භික්‍ෂුව ගේ සිවුරු කොණ අල්වා ‘බුදුන් ඔබ වහන්සේ ඇමතූහ යි කියව’යි වදාළ හ. හේ වෙහෙරට ගොස් එසේ කළ කල සියල්ලෝ අතුරුදහන් වූ හ. තෙරුන් වහන්සේ ඔහු යවා මුව දෙවුම් ආදිය නිමවා ඔහුට පෙරාතුව වැඩ තමාට පැමිණි අසුන්හි වැඩ සිටි සේක.

මේ සඳහා යැ ‘ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙනැ’යි කීයේ.

ඒ නිර්මිත භික්‍ෂූහු වර්‍ණ-ශරීරායවයව-පරිෂ්කාර-ක්‍රියා විශේෂයෙන් නියම නො කොට මැවූ හෙයින් සෘද්ධිමතුන් හා සමාන මැ වෙත්. යාම්-සිටීම් ආදි සෘද්ධිමතුන් කරන ක්‍රියාවම නිර්මිත භික්‍ෂූහු ද කෙරෙත් මැයි.

තවද වර්‍ණාදි වශයෙන් ද, ක්‍රියා විශේෂයෙන් ද, වයස් ආදීන් ද, නන් අයුරින් වෙනස් කරනු කැමැත්තේ නම්

කෙසේද යත්?

ඇතැම් කෙනෙකුන් ප්‍ර‍ථම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් මධ්‍යම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් පශ්චිම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් දික් කෙසේ ඇතියවුන් ද, ඇතැම් කෙනෙකුන් හිස මුඩුකළවුන් ද, ඇතැම් කෙනෙකුන් කළු කෙස් ඇතියවුන් ද, ඇතැම් කෙනෙකුන් මනාව රැඳූ සිවුරු ඇත්තවුන් ද, ඇතැම් කෙනෙකුන් මඳක් රැඳූ සිවුරු ඇත්තවුන් ද, ඇතැම් කෙනෙකුන් පද කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් අර්ථ කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් උස් ස්වරයෙන් කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පැන පුළුවුස්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පැන විසඳන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පඬු පිසනවුන් ද, පඬු පොවන්නවුන් ද, සිවුරු මසන්නවුන් ද යනාදි වශයෙනි.

ඒ භික්‍ෂුව පළමුවැ පාදකධ්‍යානයට සමවැද එයින් නැඟී ‘මෙතෙක් භික්‍ෂූන් මෙසේ මෙසේ වෙත්වා’යි පිරියම්කොට නැවත සමවතට සමවැදී එයින් නැඟී අධිඨාන කළ යුතු. අධිඨාන සිත සමග මැ කැමැති කැමැති ආකාර මැ වේ.

බොහෝ වැ එකකු වීමෙහි ද මෙසේ මැ යි. එහි විශේෂය මෙසේ යි.

මෙසේ බොහෝ කොට නිර්‍මමිත කළ භික්‍ෂුව එකකු වනු කැමැත්තේ නම් :- ‘එකකු වැ සක්මන් කරමැ’යි කියා හෝ ‘සජ්ඣායනා කර මැ’යි කියා හෝ ‘පැන විචාර මැ’යි කියා යි. ‘මේ භික්‍ෂූන් ස්වල්ප දෙනෙකුන් ඇති විහාරයකැ කෙසේ බොහෝ විඳ ඒකාන්තයෙන් මේ ආර්‍ය්‍යයන් වහන්සේ ගේ ආනුභාවයෙකැ යි කියා ‘මිනිසුන් මා ගැන දැනගනිතැයි අල්පේච්ඡ බැවින් හෝ එකෙක් වන්නෙමැ’යි කැමැත්තහු විසින් පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ‘එකෙක් වෙමි’යි පිරියම් කොට නැවත ධ්‍යානයට සමවැදී එයින් නැගී ‘එකෙක් වෙමි’යි අධිට්ඨාන කළයුතු. අධිට්ඨාන සිත හා සමග මැ එකෙක් වේ.

විශේෂ :- මෙසේ නො කරන්නේ පරිච්ඡින්න කාල වශයෙන් තෙමේම (ඉබේ ම) එකෙක් වේ.

ආවිභාවය, තිරොභාවය යන මෙහි අර්ථය නම් ‘ප්‍ර‍කට බව කිරීම ය, අප්‍ර‍කට බව කිරීම ය’ යනුයි.

මේ සඳහා මැ:-

“ආවිභාවන්ති, කෙනවි අනාවටං හොති අපටිච්ඡන්තං විවටං පාකටං” “තිරොභාවන්ති - කෙනවි ආවටං හොති පටිච්ඡන්නං පිහිතං පටිකුජ්ඡිතන්ති”[4]

ආවිභාව නම්, භිත්ති, පවුරු ආදි කිසිවකුන් මුවහ නොවූයේ, පිළිසන් නො වූයේ, විවෘත වූයේ, ප්‍ර‍කට වූයේ, යන අර්ථ යි.

තිරොභාව නම්, භිත්ති-පවුරු ආදි කිසිවකින් මුවහ වූයේ පිළිසන් වූයේ, වසන ලද්දේ, මුනින් වසන ලද්දේ යන අර්ථයි.

මෙහිලා සෘද්ධිමත් තෙමේ ප්‍ර‍කට කරනු කැමැත්තේ රාත්‍රි අන්‍ධකාරය හෝ ආලෝක කරයි. භිත්ති ආදීන් පිළිසන් වූවක් හෝ විවෘත කරයි. දුරුබව් ආදීන් හමු නො වූවක් හෝ හමු කරයි.

ඒ මෙසේ යි:- ඒ යෝගාවචර තෙමේ පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ‘මේ අඳුරු තැන ආලෝක වේවා’යි කියා හෝ ‘මේ මුවහ වූ දැය ප්‍ර‍කට වේවා’යි කියා හෝ ආවර්‍ජනා කොට පරිකර්‍ම භාවනා කර අධිඨාන කරයි. ඒ අධිට්ඨානයට අනතුරුව මැ එසේ වන්නේ යි.

දුර වූ දැය ලං කළ පරිදි මෙසේ යි.

බුදුරජාණන් වහන්සේ චූලසුභද්‍රාව ගේ ආරාධනයෙන් සැවැත් නුවර සිට සාකේත නුවරට වඩනට සූදානම් වූ කල සක්දෙව් රජුගේ නියමයෙන් විස්කම් දෙව්පුතු මැවූ කුළුගෙවල වැඩසිට සැවැත් නුවරින් සත් යොදුනක් ඈත වූ සාකේත නුවරට වඩනා සේක් සැවැත් නුවර වැස්සන් විසින් සාකේත නුවර වැස්සන් ද, සාකේත නුවර වැස්සන් විසින් සැවැත වැස්සන් ද ඔවුනොවුන් දක්නා සේ අධිෂ්ඨාන කළ සේක. සාකේත නුවර මධ්‍යයෙහි බැස පොළොව දෙබේකොට අවීචිමහ නිරය තෙක් දැක්වූ සේක. ආකාසය දෙබේකොට එහි වූ විමානයන් ද, බඹලොව තෙක් දැක්වූ සේක. දෙවෝරෝහණයෙහි ද මේ ප්‍ර‍කට වේ.

බුදුහු යමාමහ පෙළහර කොට අසූහාර දහසක් ප්‍රාණීන් නිවන් දක්වා පෙර බුදුවරු යමාමහ පෙළහර දවස්හි පෙළහර කොට ‘කොහි වැඩි සේක් දැ”යි ආවර්‍ජනා කරනුවෝ තවුතිසා භවනය බැව් දැන එක් පියවරක් පොළොවෙහි තබා දෙවන පියවර යුගඳුරු මුදුනෙහි තබා නැවත පළමු පියවර ගෙන මහමෙර මත තබා එහි වූ පඬුපුල්සලස්නෙහි වස් වැස රැස්වූ දස දහසක් සක්වළ දෙව් බඹුන්හට අභිධර්‍ම දේශනාව අරඹා පිඬු සිඟන වේලාවෙහි නිර්මිත බුදු කෙනෙකුන් මවා ‘ඒ බුදුහු මෙතෙක් දම් දෙසත්ව’යි අදිටන් කොට අනවතප්ත විලින් මුව දොවා උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වැඩ අනවතප්ත විල් ඉවුරෙහි සඳුන් වෙනෙහි වැඩහිඳ දන් වලඳති.

සැරියුත් මහ තෙරණුවන් එතනට වැඩ බුදුන් වැඳි කල බුදුහු ‘අද මෙතෙක් ධර්‍මය දෙසීමි’යි නය ක්‍ර‍මය උන්වහන්සේට වදාරති. සැරියුත් මහ තෙරනුවෝ ඒ අනු වැ අභිධර්‍මපිටකය වාවෝද්ගත කළ හ. තෙමසක් මුළුල්ලෙහි මෙසේ වදහළ ඒ මේ අභිධර්‍මපිටකය අසා අසූකෙළක් දෙවියෝ ධර්‍මාභිසමය කළ හ.

යමාමහ පෙළහරෙහි රැස් වූ දොළොස් යොදුනක් තැන රැස්ව හුන් පිරිස ‘බුදුන් නො දැක නො යම්හ’යි එහි මැ කඳවුරු බැඳ සිටියවුන්ට බත්-බුලත් ආදියෙන් අනේපිඬු සිටාණන් ගේ මළණු වූ චුල්ල අනේපිඬු සිටාණන් විසින් උපස්ථාන කරන ලදී.

මහාජනයා බුදුහු ‘කොහි වැඩියේ’දැ යි දැනගනු සඳහා දිවැස් අත්තවුනට අග තැන්පත් අනුරුද්ධ තෙරුන් වෙත ගොස් අයැදි සඳ තෙරුන් වහන්සේ ඔදාත කසිණයට සමවැද ආලෝකය පතුරුවා තවුතිසා දෙවුලොව වැඩ සිටින බුදුන් දැක ඒ බව් ඔවුනට දැන්වූ සේක.

ඉක්බිති ජනයා සෘද්ධිමතුනට අගතැන්පත් මුගලන් මහ තෙරණුවන් වෙත පැමිණ අපට වඳනා පිණිස ‘බුදුන් දක්වා ලනු මැනවැ’යි අයැදි සඳ උන්වහන්සේ ඒ පිරිස මැද මහපොළොව කිමිද මහාජනයාට පෙනෙන සේ මහාමේරු පර්‍වතය විනිවිද ගෙන බුදුන් පා වඳිමින් ම පාමුලින් නැඟී එපවත් සැලකළ සේක. බුදුහු ඒ තෙරුන්ට ‘මොග්ගල්ලානය! තොප දෙටු බෑ දම්සෙනෙවි සැරියුත් කොහිදැ’යි විචාරා සකස්පුරැ යි කී කල ‘මා දන්නා කැමැත්තෝ හෙට දවස් සකස්පුර දොරට රැස්වෙත්වා! එහි බස්නෙමි’යි වදාළ කල මුගලන් මහ තෙරණුවෝ ආ මගින් මැ පෙළා අවුත් මිනිසුන්හට ඒ බව් දැන්වූහ.

මෙසේ මුගලන් මහතෙරුන් වහන්සේ නො දැක්ක හැකි සේ පිළිසන් වූ ඒ ගමන දක්නා පරිද්දෙන් අදිටන් කිරීමෙන් ආවිර්‍භාව ප්‍රාතිහාර්‍ය්‍යය පෑ සේක.

මෙසේ වැඩි මුගලන් තෙරුන් වහන්සේ එපවත් දන්වා මහජනයාට ‘දුරයයි නො සිතා පෙර බත් කිස නිමවා ම යව’යි වදාළ සේක.

බුදුන් ‘සෙට දවස මිනිස් ලොවට යම්හ’යි සක්දෙව් රජහට වදාළ කල ඔහු විස්කම් දෙව්පුතු දන්වා රන්-රිදී-මිණිමුවා හිණිපෙති තුනක් නිර්‍මමිත කරවී. බුදුහු දෙවෙනි දවස් මහමෙර මුදුනේ සිට පෙරදිග ලෝදා බලා වදාළකල එදෙස නොයෙක් දහස් ගණන් චක්‍රාවාටයෝ විවෘත වැ ඒකාඞ්ගණ වූ සේ ප්‍ර‍කාශ වූහ. එසේ මැ පැදුම්දිග ද, දකුණු දිග, උතුරුදිග ද, ලෝක ධාතූහු ප්‍ර‍කාශ වූහ. එසේ මැ යටින් අවීචිය තෙක් ද උඩින් අකනිටා බඹලොව තෙක් ද, පෙනී ගියේ ය. මෙසේ “ලොක විවරණ” නම් මහා ප්‍රාතිහාර්‍ය්‍යය පෑ සේක. එහි වූ දෙවියෝ බිම නො බලා මැ රිසි සේ මිනිසුන් දකිති. මිනිස්සු ද උඩ නො බලා ම රිසිසේ දෙවියන් දකිත්.

බුදුහු මැද මිණිමුවා හිණින් බස්නාහ.

දෙවියෝ වම්පස රන්මුවා හිණින් ද, සුද්ධාවාස දෙවියෝ ද, මහාබ්‍ර‍හ්මයෝ ද, දකුණුපස රිදීමුවා හිණින් බස්නාහ. සක්දෙව් රජ බුදුන් පාසිවුරු ගත. මහබඹ තුන්යොදුන් සේසත බුදුන් මුදුනට දැරී. සුයාම දෙව්රද වලවිදුනා ගෙන පවන් සැලී. ගන්‍ධර්‍වයෝ පන්සියක් දෙන තුන් යොදුන් බෙලුවපාණඩු වීණාව ගෙන බුදුන්ට වැයූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ම ආවිර්‍භව ප්‍රාතිහාර්‍ය්‍යය කළ සේක.

තව ද ලක්දිව තලගුරු විහාරවාසී ධම්මදින්න තෙරණුවෝ තිස්ස මහාවෙහෙර සෑ මලුවෙහි වැඩහිඳ අපණ්ණකපටිපදා සූත්‍ර‍ය[5] දෙසනුවෝ විජිනිපත යටිකුරුකළ කල අවීචය තෙක් ප්‍ර‍කාශ විය. උඩුකුරුකළ කල බඹලොව තෙක් ප්‍ර‍කාශ විය.

මෙසේ පව් කළවුන් විඳුනා දුක ද, පින්කළවුන් විඳුනා සැපද, දක්වා ධර්‍මදේශනා කළ කල එහි වූවෝ සෝවාන් ආදි මර්‍ගඵල ලැබූහ. මේ ආවිර්‍භව ප්‍රාතිහාර්‍ය්‍ය ය.

තිරෝභාවය (මුවහ) කරනු කැමති සෘද්‍ධිමත්හු නීලකසිණයට සමවැද අන්‍ධකාර කෙරෙති. පිළිසන් නොවුව පිළිසන් හෝ කෙරෙති. භිත්ති ආදීන් මුවහ නො වූවක් මුවහ කරත්.

මෙසේ කරනු කැමැත්තෝ පාදකදධ්‍යානයට සමවැද එයින් නැගී ‘මේ ආලෝකය අන්‍ධකාර වේ වා’යි යනාදීන් ආවර්‍ජනා කොට පරිකර්‍ම කොට පෙර කී සේ අධිඨාන කෙරෙති. අධිඨාන සිත හා සමගම එසේ සිදුවේ. එසේ වන්නා ළඟ සිටියා වූ නො දක්වනු කැමැත්තා නො දකී. තෙමේ ද නො දක්නා කැමැත්තහු නො දකී.

ඒ මෙසේයි:- භාග්‍යවතුන් වහන්සේ තමන් සමීපයෙහි සිටි යස කුලපුත්‍ර‍යා පියා විසින් නො දක්නා සේ අධිට්ඨාන කළ සේක. ඒ එසේ මැවිය. එසේ මැ එකසිය විසි යොදුනක් පෙර ගමන් කොට මහාකප්පින රජ අනාගාමී ඵලයෙහි ද, දහසක් අමාත්‍යයන් සෝවාන් ඵලයෙහි ද, පිහිටුවා ඔවුන් අනුවැ ගමන් කළ දහසක් ස්ත්‍රීන් පිරිවැරූ අනෝජා දේවිය සමීපයෙහි සිටියා වූ ද ඒ රාජාදි පිරිස නො දක්නා සේ අදිටන් කොට, ස්වාමීනි! රජු දුටුදැ යි විචාළවුන්ට කිම? තොපට රජු සෙවීම උතුම් ද, නැතහොත් තමා සෙවීම උතුම්දැ’යි විචාරා ‘තමා සෙවීම මැනවැ’යි කී කල එසේ දම් දෙසා ස්ත්‍රීන් සමග ඇය සෝවාන් පෙළෙහි ද, අමාත්‍යයන් අනාගාමි පෙළෙහි ද, රජු අරහත් පෙළෙහි ද, පිහිට වූ සේක.

තවද මිහිඳු මහතෙරුන් ලක්දිව වැඩි පළමු දිනයෙහි දෙවන පෑතිස් රජහට තමා කැටිව පැමිණයවුන් නො පැනෙන සේ අධිෂ්ඨාන කිරීම ද මේ ප්‍රාතිහාර්‍ය්‍යය මැයි.

විශේෂ :- ආවිර්‍භාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි බලාසිටිනවුනට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය ද, ප්‍රාතිහාර්‍ය්‍යය දක්වන්නා ද පැනෙයි. එය යමක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ප්‍ර‍කට වේ. ශ්‍රාවකයන් හා අසාධාරණ වූ ඒ ප්‍රාතිහාර්‍ය්‍යයෙහි දී උඩු කයින් ගිනිකඳක් හා යටිකයින් දිය කඳක් ද, පවත්නේ යි. මේ දෙක මැ වෙන වෙන මැ පැනේ.

තිරොභාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි වූ කිල සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය පැනෙයි. සෘද්ධිමත්හු නො පැනෙති. මෙය මහක[6] -බ්‍ර‍හ්මති-මන්තණික[7] සූත්‍ර‍යන් ගෙන් ප්‍ර‍කාශ වේ. එකත් පසෙක හුන් චිත්‍ර‍ගෘහපති තෙමේ ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට ස්වාමීනි! සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් දැක්වුවහොත් මැනවැ යි සැළකළ කල

එසේ නම් තෙපි නිසවත්තෙහි උතුරුසලුව අතුට ඒ මත තණ කැරැල්ලක් විසුරුව යි කීහ.

එසේ කළ කල මහක ස්ථවිරයන් වහන්සේ වෙහෙරට පිවිස කෙසි සිදුරෙන් ගිනි සිළු නික්ම අවුත් පිටත වූ තණ කැරැල්ල දවා උතුරු සළුව නොදවා ද එපරිද්දෙන් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් කළහ.

බ්‍ර‍හ්මනිමන්තණික සූත්‍රයෙහි ද, මහණෙනි! යම් සේ බක බ්‍ර‍හ්මයා ද, බ්‍ර‍හ්ම පිරිස ද, මා නො දකිද් ද, මාගේ ශබ්දය පමණක් අසද්ද එබඳු වූ සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළෙමි’යි වදාළහ.

බ්‍ර‍හ්ම ගණයා කෙරෙන් අතුරුදන්වනු කැමති බකබ්‍ර‍හ්මයාට අතුරුදන් විය නොහැකි සේ කොට, බුදුහු ඔවුනට අතුරුදහන්ව සිට ‘ශ්‍ර‍මණ භවත් ගෞතමයන් මෙහි ඇති බව හෝ නැති බව හෝ දැනගත නො හැකැ’යි කියන බ්‍ර‍හ්මයන්ට එයට අවකාශ නොවේව’යි අධිඨාන කොට මේ ගාථාව වදාළහ.

භවෙවාහං භයං දිස්වා - භවඤ්ච විභවෙසිනං

භවං නාභිවදිං කිඤ්චි - නන්‍දිඤ්ච උපාගමිං

‘මම මේ සංසාරයෙහි ජාති-ජරා-මරණ භය දැක මැ, විභව සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නෙම්! තෘෂ්ණා-දෘෂ්ටි වශයෙන් කිසි භවයක් ග්‍ර‍හණය නො කෙළෙමි. භව තෘෂ්ණාවට ද නො පැමිණියෙමි” යනු භාව යි.

ගෙවල බිත්තියෙන් පිටතට ද, ගෙවල් - නගර - ගම් ආදිය පිරිකෙව් කළ ප්‍රාකාරවල පරභාගයට ද, වෘක්‍ෂ - පර්‍වතාදීන් ගේ පරභාගයට ද අහසෙහි යන්නා සේ නො හැපෙමින් යයි. “තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරො පබ්බතං අසජ්ජමාතො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ”[8]

මේ කරනු කැමති යෝගියා විසින් ආකාස කසිණයට සමවැද, එයින් නැගී භිත්තියක් හෝ, පවුරක් හෝ, පර්‍වතයක් හෝ ආවර්‍ජනා කොට ‘කිසිතැනෙක නො ලැගෙමි’යි කළ පරිකර්‍ම භාවනා ඇතිව ‘අහස වේවා’යි ඉටිය යුතු. (එහි වූ අහස එක් තැන්වීමෙන්) ආකාශයක් (විවරයක්) සෑදේ. යට බසිනු කැමැත්තහුට හෝ උඩ නගිනු කැමැත්තහුට හෝ සිදුරෙක් වේ. ඒ සෘද්ධිමත් තෙමේ එහි නො හැපෙමින් යයි.

මතභේදයක් :- ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ වදාළහ. ‘ඇවැත්නි! මෙතැන්හි ආකාස කසිණයට සමවැදීම අනවශ්‍ය ය. කිම හස්ති අශ්වාදීන් මැවීම පිණිස හස්ති අශ්වාදි කසිණයට සමවදී ද එහෙයින් පඨවි කසිණාද යම්කිසි කසිණයක් වැඩුව මනා ය. අෂ්ට සමාපත්ති වශීභාවය ම මෙහිලා පමණි යමක් යමක් කරනු කැමති නම් ඒ ඒ දැයම වේවා”යි කියා ය.

(පෘථිවියෙහි උම්මුජ්ජන - නිමුජ්ජනයෙහි ආපො කසිණයට සමවැදුම ද, උදකයෙහි ගමනාදියෙහි පෘථිවි නිර්‍මාණය සඳහා පඨවි කසිණයට සමවැදීම ද, කැමති වන්නවුනට එසේ නො විය යුතු බව් දැන්වීම සඳහා පෙර කී මතය දැක්වී.)

එහෙත් භික්‍ෂූහු මෙසේ වදාළහ. ස්වාමීනි! ‘පෙළෙහි මතු ආකාස කසිණය මැ දැක්වේ. එහෙයින් මෙහි ලා ආකාස කසිණයට මැ සමවැදුන මනාය’ කියායි.

ඒ මෙසේයි:- “පකතියා ආකාස කසිණ සමාපත්තියා ලාභි හොති, තිරොකුඩ්ඩං, නිරොපාකාරං, තිරොපබ්බතං, ආවජ්ජති, ආවජ්ජිත්‍වාඤාණෙන අධිට්ඨාති. ආකාසො හොතු’ති ආකාසොහොති. තිරොකුඩ්ඩං තිරොපාකාරං, තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති. යථා පක තියා මනුස්සා අනිද්‍ධිමන්තො කෙනවි අනාවාටෙ අපරික්ඛිත්තෙ අසජ්ජමානා ගච්ඡන්ති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති”[9]

“ස්වභාවයෙන් ආකාස කසිණ සමාපත්ති ලාභියෙක් වූයේ මැ භිත්තියෙන් පරභාගයට හෝ, ප්‍රාකාරයෙන් පරභාගයට හෝ, පර්‍වතයෙන් පරභාගයට හෝ, යාම් ආදි පෙළහර කරනු කැමැත්තේ අහස්කිසුණට ම සමවැද බිත්තියෙන් පරභාගය හෝ, ප්‍රාකාරයෙන් පරභාගය හෝ, පර්‍වතයෙන් පරභාගය හෝ, ආවර්‍ජනා කෙරෙයි. ආවර්‍ජනා කොට ‘ආකාශයෙක් වේවා’යි අභිඥා ඥානයෙන් ඉටයි. එකල්හි අහසෙක් වෙයි. ඒ සෘද්ධිමත් තෙමේ බිත්ති-ප්‍රාකාර-පර්‍වත-අපරභාගයන්ට නො ලැගී නො ගැටී යයි. සෘද්ධි නැති මනුෂ්‍යයන් ද, කිසිවකින් මුවහ නො කළ වට නො කළ තන්හි නො ගැටෙමින් යන්නාක් මෙනි” යනු මෙහි භාව යි.

කරුණු මෙසේ හෙයින් තිරොකුඩ්ඩාදි ගමන පාටිහාරිය කාරණයෙහි ආකාශ කසිණයට සමවැදීම අවශ්‍යයෙන් කිව යුතු ය.

විශේෂ :- “ආකාස කසිණ වසෙන පටිච්ඡන්තං විවට කරණං පඨවි කසිණ වසෙන එකොපිහුත්‍වා බහුධා හොතී’නි ආදිභාවො ආකාසෙවා උදකෙවා පඨවිං නිම්මිනිත්‍වා පදසා ගමනං ඉජ්ඣති[10] ප්‍ර‍තිච්ඡන්නය විවෘත කිරීම ආකාස කසිණ වසයෙන් ද, එකකු වැ බොහෝ වීම් ආදිය ද අහසෙහි හෝ ජලයෙහි හෝ පොළොව මවා පයින් යෑම, පඨවි කසිණ වසයෙන් ද, සමෘද්‍ධ වේ, යන ප්‍ර‍කීර්‍ණකයෙන් ද, එහෙයින් මැ සමර්ථනය වේ.

ප්‍ර‍ශ්නයෙකි :- අධිට්ඨානකොට යන්නා වූ ඒ භික්‍ෂුව අතුරෙහි පර්‍වතයක් හෝ, වෘක්‍ෂයක් හෝ නැංගේවි නම්! නැවත ධ්‍යානයට සමවැද අධිඨාන කළ යුත්තේ ද

පිළිතුර :- එසේ අධිට්ඨාන කළ ද දොසෙක් නැත්තේ යි. දෙවිටක් බඳනා ලද්ද දළ්හි කරණය වන බැවින් මනාව බඳනා ලද්දේ වෙයි. එහෙත් එයින් ප්‍රයෝජනයක් නැති.

කුමක් මෙන් ද ඒ වනාහි උපාධ්‍යායයන් ඉදිරියෙහි නිස සමාදන් වන්නාක් මෙනි. (උපාධ්‍යාය ග්‍ර‍හණයෙන් මැ නිස සමාදානය වන හෙයින් නිස සමාදන්වීම නිෂ්ඵල යැ.)

පළමු අධිට්ඨානයෙන් පර්‍වත වෘක්‍ෂාදිය අහස්වන හෙයින් නැවත සමවැද ඉටීමෙන් ප්‍රයෝජන නැති.

විශේෂ :- අන්‍ය සෘද්ධිමතකු ගේ නිර්‍මමිතයට වඩා පළමු නිර්‍මමිතය බලපවත්වන හෙයින් දෙවනු වැ සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය කරන්නහු විසින් පළමු සෘද්ධිමත් හට උඩින් හෝ, යටින් හෝ යා යුතුයි. “පඨවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරොති සෙය්‍යථාපි උදකෙ”[11] ‘ජලයෙහි මෙන් පොළොවෙහි ද, ඉල්පීම්-ගැලීම් කෙරේ.’

මෙසේ කරනු කැමැත්තෝ ආපෝ කසිනයට සමවැද එයින් නැඟී, ‘මෙතෙක් තන්හි පොළොව දිය වේවා’යි පිරිසිඳ පරිකර්‍ම කොට ඉටිය යුතු ජලය වෙයි. හෙතෙමේ ඒ ජලයෙහි ඉල්පීම්-ගැලීම් කෙරේ.

“පකතියා ආපෝකසිණ සමාපත්තියා ලාභි හොති. පඨවිං ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අට්ඨාති උදකං හොතු ති. උදකං හොති”1

‘ප්‍ර‍කෘතියෙන් (ස්වභාවයෙන්) ආපෝකසිණ සමාප්තති ලාභී සෘද්ධිමත් තෙමේ, පොළොව ආවර්‍ජනා කෙරෙයි. එයට අනතුරු වැ අභිඥා ඥානයෙන් පිරිසිඳ, මෙතෙක් තන්හි ජලය වේවා යි අධිට්ඨාන කරයි. ඒ අධිට්ඨානය සමග මැ ජලය වේ.’ සෘද්ධිමත් නො වූ මිනිසුන් ප්‍ර‍කෘතියෙන් දිය යට කිමිදීම, උඩ නැගීම කරන්නා සේ, ඒ සෘද්ධිමත් තෙමේ, පොළොව යට කිමිදීම හා උඩ මතුවීම කෙරේ. ප්‍ර‍කෘති ජලයෙහි ගැලීම - ඉල්පීම කරන්නාක් මෙනි.

(පිටත බලාසිටිනවුනට එහි පොළොව පැනෙතත්, සෘද්ධිමත් ධ්‍යානලාභියාට ජලය වේ.)

හුදෙක් ගිලීම් - ඉල්පීම් මතු නො වෙයි. නෑම - බීම - මුව දෙවීම - බඩු දෙවීම - ආදි කැමති යමක් කරයි. එසේ මැ, ජලය පමණක් නො ව, ආපො අධික ගිතෙල් - තෙල් - මී පැණි ආදීන් කැමැති දෙයක් මැ මෙතෙක් වේවා’යි පිරිසිඳින ලද පමණක් අධිට්ඨාන කල පරිදි වේ.

ඉන් අධිට්ඨානය සේ භාජනයකට ගන්නා ලද ගිතෙල්, ගිතෙල් මැ වෙ යි. තෙල් ආදිය මැ වෙයි. ජලය ජලය මැ වේ. එහි තෙමෙනු කැමැත්තේ මැ තෙමෙයි. නො තෙමෙනු කැමැත්තේ නො තෙමෙ යි. ඒ සෘද්‍ධිමත් හට මැ එය ජලය වෙයි. සෙස්සනට පොළොව මැ වෙයි. එහි මිනිස්සු පයින් හෝ, යාන වාහනාදීන් හෝ යති. කෘසිකර්‍මාදිය හෝ කෙරෙත්. ඒ සෘද්‍ධිමත් තෙමේ අන්‍යයන්ට ද, ‘ඒ ජලය වේවා’ යි කැමැති වේ නම් ඔවුන්ට ද ඒ ජලය වේ. පරිච්ඡෙද කළ කාලය හැර, ප්‍ර‍කෘතියෙන් ඒ පෙදෙසෙහි වූ ජලය තිබිය දී, සෙස්ස පොළොව වේ.

“උදකෙපි අභිජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි පඨවියං”

‘ජලයෙහි ද පොළොවෙහි මෙන් නො සැලෙමින් යයි’

මෙසේ යනු කැමති සෘද්ධිමත් තෙමේ, පඨවි කසිණයට සමවැද, එයින් නැඟී, මෙතෙක් තැන ජලය පොළොව වේවා’යි පරිච්ඡෙද කොට අධිට්ඨාන කළ යුතු. අධිට්ඨානය සමග මැ පිරිසිඳි ප්‍රදේශයේ ජලය පොළොව වේ. හෙතෙමේ එහි නො බිඳෙන සේ යයි.

“පකතියා පඨවි කසිණ සමාපත්තියා ලාභි හොති. උදකං ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. පඨවී හොතු’ති. පඨවි හොති. සො අභිජ්ජමානෙ උදකෙ ගච්ඡති.”1

‘ස්වභාවයෙන් පඨවී කසිණ සමාපත්ති ලාභියෙක් ජලය ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘පොළොව වේවා’යි අධිෂ්ඨාන කරයි. ඒ පිරිසිඳිනා ලද ප්‍රදේශයෙහි පොළොව වේ. හෙතෙමේ ඒ ජලයෙහි නො බිඳෙන සේ පොළොවෙහි ගමන් යයි. (සාමාන්‍ය මනුෂ්‍යයන් ප්‍ර‍කෘති පොළොවෙහි යන්නාක් මෙනි.)

යාම පමණක් නොව, ඊම්-සිටීම්-නිදීම් ආදි කැමැති හැම ඉරියව්වක් ම පවත්වයි. හුදෙක් පඨවිය පමණක් නොව, මැණික්-රන්-පර්‍වත-වෘක්‍ෂ ආදීන් අතුරින්, කරනු කැමති යමක් යමක් ඉටානම් ඒ සියල්ලක් වේ. සෙස්සන්ට වූකලි ජලය මැවෙයි. මස් - කැසුබු - දියකා ආදී ජලවර සත්ත්‍වයෝ ද, කැමති සේ හැසිරෙති. ඒ සෘද්ධිමත් තෙමේ සෙසු ජනයාටත් එය පොළොවක් කරනු කැමැත්තේ නම් පොළොවක් ම කරයි. පරිච්ඡින්න කාලය අවසානයෙහි පෙරසේ ම ජලය වේ.

“ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛීසකුණො”

‘අහසෙහි ද සර්‍ය්‍යඞ්කයෙන් යන්නේ වේ. පියාපත් ඇති පක්‍ෂියකු මෙනි.’

මෙසේ කරනු කැමැති සෘද්ධිමත් තෙමේ පඨවි කසිණයට සමවැදී එයින් නැගී, (කුරුල්ලකු සේ) හිඳගෙන මැ යනු කැමැත්තේ නම්, පර්‍ය්‍යඞ්කයක් පමණ තැන පිරිසිඳ පරිකර්‍ම කොට පෙර සේ අධිට්ඨාන කළ යුතු. (එසේ වෙයි) වැදහෙව යනු කැමැත්තේ නම්, ඇඳක් පමණ තැන පිරිසිඳ පරිකර්‍ම කළ යුතු. පයින් යනු කැමැත්තේ මාර්‍ග ප්‍ර‍මාණ ප්‍ර‍දේශයක් පරිච්ඡෙද කොට අධිට්ඨාන කළ යුතු. අධිට්ඨානය සමග පොළොවම වේ.

‘ස්වභාවයෙන් පෘථිවි කසිණ සමාපත්තිලාභී තෙමේ, ආකාසය ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘පෘථිවිය වේවා’යි අධිට්ඨාන කෙරේ. එහි අහස පොළොව වේ. ප්‍ර‍කෘති පොළොවෙහි සාමාන්‍ය මිනිසුන් සේ, ඒ සෘද්ධිමත් තෙමේ ආකාශයෙහි සක්මන් කරයි. හිඳියි, සිටියි, ශයනය ද කෙරේ.’

විශේෂ :- මෙසේ අහසින් යන්නහු ප්‍ර‍ථමයෙන් දිවැස් ඇත්තකු ද වුව මැනව. කුමක් හෙයින් ද යත් :- ඒ අහසින් යා යුතු මාර්‍ගය අතරතුර ප්‍ර‍කෘතියෙන් හටගත් වෘක්‍ෂාදිය හෝ වෙයි. දිව්‍ය-නාග-සුපර්‍ණාදීහු ඊර්‍ෂ්‍යාපරවශවැ මවන්නාහු හෝ වෙති. එබඳු උපද්‍ර‍වාදිය දක්නා පිණිස ය. එසේ වෘක්‍ෂාදියක් වුව පාදක ධ්‍යානයට සමවැද, එයින් නැගිට ‘ආකාශයක් වේවා’යි පරිකර්‍ම කොට අදිට්ඨාන කළ යුතු.

මතභේදයකි :- “එසේ අතරතුර සමවතට සමවදනේ කවර හෙයින් ද මොනවට සිත එකඟ කරන ලද හෙයින් ඒ ධ්‍යානලාභියා විසින් ‘ආකාශය වේවා’යි ඉටන ලද තැන ආකාශය මැ වන්නේ නො වේ දැ”යි ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ වදාළහ. සැබව, එහෙත් තිරොකුඩ්ඩ ප්‍රාතිහාර්‍ය්‍යයෙහි කී පරිදි පිළිපැදිය යුතුය.

තවද අවකාශ ඇති තැනෙක බැසීම සඳහා මේ ධ්‍යානලාභියා විසින් දිව්‍යචක්‍ෂුරභි ඥානය ලැබිය යුතු ය. මොහු නහන තොට ගම්දොර ආදි මහාජනාකීර්‍ණ ස්ථානයෙක බැස්සේ වී නම් මහජනයාට ප්‍ර‍කට වන හෙයිනි.

“ඉමෙපි චන්‍දිම සුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති. පරිමජ්ජති”[12]

මේසා මහත් සෘද්‍ධි ඇති මේසා මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් අල්වයි පිරිමදි යි.”

මහිද්ධිකො = දෙසාලිස් දහසක් යොදුන් මත්තෙහි හැසිරීමෙන් මහත් සෘද්ධි ඇති

මහානුභාවෙ = එකවිට තුන් දිවයිනකට ආලෝක කිරීමෙන් මහානුභාව ඇති

පරිමසති = එක් ප්‍රදේශයක් හෝ, හාත්පසින් හෝ අල්වයි.

පරිමජ්ජති = කැටපත් තලයක් සේ පිරිමදියි.

(මෙසේ මත්තෙහි හැසිරීමෙන් හා, ආලෝක කිරීම් වශයෙන් මහත් සෘද්‍ධි ඇති, එහෙයින් මැ මහත් අනුභාව ඇති සඳ-හිරු දෙදෙනා ය.)

විස්තර :- මේ සෘද්‍ධිමත්හු ගේ ධ්‍යානය අභිඥා පාදක වශයෙන් සමෘද්ධ වන්නේ ය. කසිණ සමාපත්ති වසයෙන් නියම නැති.

“ඉමෙ චන්‍දිම සුරියෙ - පරිමජ්ජතී’ති. ඉධ සො ඉද්‍ධිමා චෙතොවසිප්පත්තො චන්‍දිම සුරියෙ ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. හත්‍ථපාසෙ හොතූ‘ති හත්‍ථපාසෙ හොති. සො නිසින්නකොවා’ නිපන්නකොවා’ චන්‍දිම සුරියෙ ආමසති. පරාමසති. පරිමජ්ජති.”[13] ‘මේ සස්නෙහි සෘද්ධිමත්වූ, චිත්ත වසගයට පැමිණ වූ ධ්‍යාන ලාභී තෙමේ, සඳ හිරු ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘චන්‍ද්‍ර‍ සූර්‍ය්‍යයන් අත්පසෙහි වෙත්ව’යි අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨානය සමග මැ අත්පසෙහි වෙති.

ඉක්බිති හෙතෙමේ හිඳ හෝ, හෙව හෝ, සඳ-හිරු අතින් අල්වයි. ඔබ-මොබ අත යවා පිරිමදි යි. සෘද්ධි නැති සාමාන්‍ය මනුෂ්‍යයකු ස්වභාවයෙන් අත් පස වූ රූපාදියක් අතින් අල්වන්නාක් මෙනි.

හෙතෙමේ සඳ-හිරු වෙතට ගොස් අල්වනු කැමැත්තේ නම් එසේත් කරන්නේ ය. මෙහි ම සිට අල්වනු කැමැත්තේ නම් ‘අත්පස වේව’යි ඉටා අධිට්ඨාන බලයෙන් තුවටුයෙන් ගිලිහුනු තල් ගෙඩියක් මෙන්, වෙතට පැමිණි සඳ-හිරු පරාමර්‍ශනය කෙරේ. තමා සිටි තැනැ මැ සිට, සඳ හිරු එහි මැ තිබිය දී අත දික්කොට හෝ, පරාමර්‍ශනය කෙරේ.

ප්‍ර‍ශ්නයෙකි :- එසේ කල උපාදින්නකය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මමායනය කරන ලද ප්‍ර‍කෘති හස්තය) වැඩේ ද නැතහොත් අනුපාදින්නකය (ධ්‍යාන බලයෙන් පහළ වූ හස්තය) වැඩේ ද

පිළිතුර :- උපාදින්නකය නිසා අනුපාදින්නකය වැඩෙයි.

ත්‍රිපිටක චූලනාග ස්ථවිර මතය :- ධ්‍යානලාභී මහණ කෙසී සිදුරු ආදියෙන් නික්මෙන කල උපාදින්නක ශරීරය කුඩාවන්නේ නොවේ ද මුගලන් මහතෙරුන් මෙන් ආත්මභාවය මහත් කරනු කැමැත්තේ නම් උපාදින්නකය මහත් වන්නේ නො වේ ද යනුයි. මින් ශරීරය කුඩා කිරීමේදී උපාදින්නකය කුඩා වන බව හා, මහත් කිරීමේදී ද එසේම උපාදින්නකය මහත් වන බව ද මේ ස්ථවිර වාදයෙන් කරුණු ගෙන පා සමර්‍ථනය කෙරේ.

මුගලන් මහතෙරුන් නන්‍දොපනන්‍දයා දැමූ පරිදි එයට සාධක යැ.

‘එක් දිනෙක බුදුහු පන්සියයක් භික්ෂූන් කැටිව තව්තිසා දෙව්ලොව වඩනාසේක්, මහාමේරු නිතම්බයෙහි නා රජුන්ගේ විමාන මතුයෙන් වැඩියහ. එදින නන්‍දොපනන්‍ද නා රජුන්ගේ ආපාන භූමියෙකි. නා නා රසමසවුලෙන් සැරසූ ආපාන මණ්ඩපයෙහි දිව්‍ය රත්න පර්‍ය්‍යඞ්කයෙහි දිව්‍ය ශ්වේතචඡත්‍ර‍ය යට කාන්තා-යුවති-කන්‍යා යන ත්‍රිවිධ නාටිකාවන් හා නාගපිරිස පිරිවරා දිව්‍ය භෝජ එළවා උපස්ථාන කරන සේ බල බලා සිටියේ ය. එකල භික්‍ෂූන් කැටිව තම විමන් මතුයෙහි වඩනා බුදුන් දැක, ‘මේ මුඩු මහණහු ‘අපගේ භවන මතුයෙන් දෙව්ලොව යම්හයි නික්මියාහු ය, මොවුනට ‘අප මස්තකයෙහි පා ධූලි විසුරුවමින් යා නො දෙම්හ යි’ මහමෙර පතුළට ගොස් මහා නාග වේශය මවා ගෙන, මහමෙර සත්වරක් දරණ වැලින් වෙළා මුදුනෙහි පෙණය තබා තව්තිසා භවනය යටිකුරු කොට පෙණයෙන් වසා නො පෙනෙන සේ කෙළේය. එකල රට්ඨපාල තෙරුහු ස්වාමීනි! පෙර මෙහි ‘මහමෙර පැනෙයි’ ‘මහමෙර බඳ පැනෙයි’ ‘තව්තිසා භාවනය පැනෙයි’ ‘වෛජයන්ත ප්‍රාසාදය පැනෙයි’ යනාදීන් එහි පැනෙන දැ කියා, ‘අද ඒ කිසිවක් නො පැනෙනුයේ කිමිදැ’යි බුදුන් විචාළහ. රට්ඨපාලය! ‘අද නන්‍දො පනන්දයා තොපට කිපී, මහමෙර වෙළා ඒ මතුයෙහි පෙණය තබා අන්‍ධකාර කොට සිටිතැ’යි වදාළහ.

ස්වාමීනි! ‘ඔහු දමනය කරමැ’යි කීහ. බුදුහු නො අනුදත්හ. අනතුරු වැ භද්දිය, රාහුලාදි පිළිවෙළින් සියලු භික්‍ෂුහු විචාළහ. බුදුහු නො අනුදත්හ. අවසන්හි මුගලන් මහාතෙරුන්, ස්වාමීනි! ඔහු දමනය කරමැ යි විචාළ කල මුගලන! ‘දමනය කරව’යි අනුදත්හ. මුගලන් මහතෙරහු අත්බැව හැර මහා නාග වේශයක් මවා ගෙන මහමෙර පතුළට ගොස්, නාගයා මතුයෙහි තුදුස් වරක් දරණ වැලින් වෙළා ඔහු පෙණය මතුයෙහි තම පෙණය තබා ගෙන මහමෙරට තදකොට සිටියහ. නාරජු දුමන්නට වන. තෙරහු ද දුම් නැගුහ. නා රජුගේ දුම තෙරුන් නොපෙළා එහෙත් තෙරුන්ගේ දුම නා රජු පෙළයි. නැවත නා රජ ගිනි ගත තෙරහු ද ගිනි ගත්හ. නා රජු ගිනි තෙරුන් නො දවා තෙරුන් ගේ ගිනි නා රජ දවයි.

අනතුරු වැ නා රජ ‘මේ තෙමේ මා මහමෙර හා පෙළා-දුමා දවයි’ ‘මේ කවරෙක්දැ’යි සිතා, පින්වත! ‘තෝ කවරෙහිදැ’යි විචාළේය. ‘මම වන්නා නන්‍දය! මුගලන් නම් වෙමි’යි වදාළහ. ස්වාමීනි! තමා ‘භික්‍ෂු වශයෙන් සිටිනු මැනවැ’යි කී. තෙරහු භික්‍ෂු වේශය ගෙන ඔහුගේ දකුණු කනින් ඇතුළු වැ වම් කනින් නික්මෙති. වම් කනින් ඇතුළු වැ දකුණු කනින් පිටවෙති. දකුණු නාසා සිදුරින් ඇතුළු වැ වම් නාසා සිදුරින් පිටවෙති. වම් නාසා සිදුරින් ඇතුළු වැ දකුණු නාසා සිදුරින් පිටවෙත්. අනතුරු වැ නයා මුව විවර කෙළේ ය. එකල තෙරහු මුවින් කුසට ඇතුළු වැ කුස තුළ නැගෙනහිරින් දිගට සක්මන් කෙරෙත්.

එකල බුදුහු මොග්ගල්ලානය! සිහි ඇත්තේ වව. ‘නාගයා මහා අනුභාව ඇත්තේය’යි වදාළහ. එකල තෙරහු ස්වාමීනි! ‘මවිසින් සතර සෘද්‍ධිපාදයෝ වඩන ලදහ. නැවත නැවත වඩන ලදහ. ගමනට යානාවක් මෙන් ද, සිටීමට වාස්තුවක් මෙන් ද කරන ලදහ. නැවත නැවත පිහිටුවන ලදහ. පුරුදු කරන ලදහ. මොනවට ආරම්භ කරන ලදහ. “ස්වාමීනි! මේ එක නාගයෙක් සිටීවා! මෙබඳු නාගයන් සියයක් හෝ, දහසක් හෝ දමනය කරමි”යි වදාළහ.

එකල නා රජ පළමුවෙන් ඇතුළත වදනා මොහු නො දක්නා ලදහ. දැන් පිටත නික්මෙත්ම ‘දළ ඇතුළට ගෙන සඟවා කමි’යි සිතා, ස්වාමීනි! ‘පිටත නික්මෙව, මෙසේ මා නො පෙළාවා’යි කී. ඉක්බිති තෙරහු පිටත නික්ම සිටියහ. එකල නාගයා කසාවත යැවී ය. තෙරුන් වහන්සේ චතුර්‍ථධ්‍යානයට සමවැදුණු සේක. රෝමකූපයකුදු දැවීමට නො හැකි විය.

(විශේෂ:- භද්දිය ස්ථවිරයෝ මේ තාක් සියල්ල කිරීමෙහි සමර්‍ථයහ. එහෙත් මේ ස්ථානයට පැමිණ හෙව. මේ නාසා වාතයෙන් නො පෙළීම සඳහා ඛිප්පනිසන්ති භාවනා යි කියන ලද වහා ධ්‍යානයට සමවැදීමෙන් අභිමතාර්‍ථ සාධනයට අසමර්‍ථයහ. එහෙයින් බුදුහු ඔවුනට අවසර නුදුන්හ.)

අනතුරු වැ මේ තෙරිඳු මහත් අනුභාව ඇත්තෙක. එහෙයින් මාගේ නාසා වාතයෙන් රෝමකූපයෙකුදු සොළවා ලිය නො හැකිවීය’යි සිතී. මහතෙරහු මිනිසත් බව පියා, මහත් ගුරුළු වෙසක් මවා යුගාන්ත වාතය බඳු ගුරුළු වාතය දනවා, නාන රජු ලුහුබැන්දහ. නා රජ නාගාත්මය පියා මාණවක වෙසක් මවාගෙන “ස්වාමීනි! නුඹ වහන්සේ සරණ යෙමි, මා ගැත්තහුට සරණවනු මැනව’යි” තෙරුන් වැන්දේ ය. මහතෙරහු එම්බා නා රජ! බුදුහු වැඩියහ. මෙසේ එව,’ උන්වහන්සේ වෙත යම්හ යි’ නා රජ දමා බුදුන් වෙත පැමිණ වූහ. නා රජ බුදුන් වැඳ උන්වහන්සේ සරණ යෙමි’යි කී.

බුදුහු “සුවපත්වා නා රජ” යි වදාළහ. ඉක්බිති භික්‍ෂූන් පිරිවරා අනේපිඬු සිටාණන් ගෙට වැඩියහ. ‘ස්වාමීනි! ඉතා දවල් වූයේ කිමැ’යි විචාළ සිටාණන්ට මුගලන් තෙරුන් හා නන්‍දොපනන්‍දයා අතරේ යුද්ධයක් වීය යි වදාළහ. ස්වාමීනි! ජය පරාජය කවුරුන්ට වීදැ’යි විචාළහුට මුගලන් තෙරුන්ට ජාය ය. නන්‍දොපනන්‍දයාට පරාජය වීය යි වදාළහ. ස්වාමීනි! එසේ වන්නා සතියක් තෙරුන් වහන්සේ ගේ ‘ජය පූජා පවත්වමි’යි, සතියක් මාගේ ආරාධනය පිළිගත මැනව’යි සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් පන්සියක් සඟනට මහත් පූජා සත්කාර කෙළේ ය.

මෙසේ මහත් වූ නන්‍දෝපනන්‍ද නාග දමනයෙහි ලා මුගලන් තෙරහු මහත් වූ ආත්ම භාවය මැවීම සඳහා ම “සෘද්ධිමත් භික්‍ෂුව උපදින්තක ශරීරය ඇසුරු කොට අනුපාදින්තක ශරීරය වඩනේය”යි කී බව් දතමනා ය. මේය මෙහි යුක්තිය නම්.

ඒ සෘද්‍ධිමත් තෙමේ සඳහිරු පරාමර්‍ශනය කිරීම පමණක් නොව කැමැත්තේ නම්! සඳ හිරු පා පුටුවක් හෝ කොට පා තබා. පුටුවක් කොට හෝ හිඳී. ඇඳක් කොට හෝ හොවී. එල්ලෙන පුටුවක් කොට එල්බ ගනී.

එක් භික්‍ෂුවක් පමණක් නොව, සිය දහස් ගණන් භික්‍ෂූහු එසේ කරතුදු ඒ ඒ භික්‍ෂුවට එකී සියල්ල සමෘද්ධ වේ. එසේ මැ සඳ හිරු දෙදෙනා ගේ ගමනාගමනාදිය ද සිදු වේ.

නිදර්‍ශනයෙකි:- තලි දහසෙක්හි දිය පුරවා තුබූ කල හැම තලියක ම සඳමඬල වෙන වෙන ම පැනේ. සඳේ පියවි ගමන ද, එළිය පැතිරීම ද, එසේ ම සිදුවේ. මෙහි ප්‍රාතිහාර්‍ය්‍යය ද එසේම ය. “යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙති”[14] ‘ඒ සෘද්ධිමත් තෙමේ බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වයි’ හුදෙක් මින් බඹලොව පමණක් අදහස් නො කෙරේ. අනෙක් ස්ථාන පිළිබඳව ද එසේම ය. ඉතා දුර දැක්වීම පිණිස බ්‍ර‍හ්මලෝකය මෙහි දැක් වී. ඒ චිත්ත වසයට පැමිණි සෘද්ධිමත් යෝගී තෙමේ බඹලොව යනු කැමැත්තේ නම්! දුර පවත්නා වස්තූහු ‘ළං වෙත්වා’යි ඉටයි. ඒ හා සමග මැ සමීප වෙයි. ‘සමීපයෙහි වස්තු දුර වේවා’යි දුරු කොට ඉටා නම් ඒ සමග ම දුරු වෙයි. බොහෝ වස්තු ‘ස්වල්ප වේවා යි’ ඉටා න්ම ඒ සමග මැ ස්වල්ප වෙයි. ස්වල්ප දෙය ‘බොහෝ වේවා යි’ ඉටා න්ම ඒ සමග මැ බොහෝ වෙයි. දිවැසින් ඒ බඹුන් ගේ රූප දක්නා කැමැත්තේ නම් රූප දකියි. ශබ්ද අසනු කැමැත්තේ නම් ශබ්ද අසයි. චේතෝ පරිය ඤාණයෙන් සිත් බලනු කැමැත්තේ නම් සිත් බලයි. හෙතෙමේ දෘශ්‍යමාන කායයෙන් බඹලොව යනු කැමැත්තේ නම් ශරීරයා ගේ වශයෙන් සිත පිරිනමා, ශරීරයා ගේ වශයෙන් සිත අධිෂ්ඨාන කොට සුඛ සංඥාවට ද, ලඝු සංඥාවට ද, වැද දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යයි.

නො පැනී බඹලොව යනු කැමැත්තේ නම් චිත්ත වශයෙහි කය පිහිටුවා චිත්ත වශයෙහි කය අධිෂ්ඨාන කොට සුඛ සංඥාවට ද, ලඝු සංඥාවට ද, වැද නො පැනෙන කයින් බඹලොව යයි. ඒ සෘද්ධිමත් තෙමේ බ්‍ර‍හ්මයන් ඉදිරියෙහි මනෝමය වූ සියලු අඞ්ග - ප්‍ර‍ත්‍යඞ්ගයෙන් සම්පූර්‍ණ වූ නො පිරිහුණු ඉඳුරන් ඇති රූපයක් නිර්මිත කරන්නේ ය. ඒ සෘද්ධිමත් තෙමේ සක්මන් කෙරේ නම් නිර්මිත රූපය ද සක්මන් කෙරේ. ඒ සෘද්ධිමත් තෙමේ සිටී නම්-හිඳී නම්, හොවී නම් නිර්මිත රූපය ද සිටී, හිඳී, හොවී, ඒ සෘද්ධිමත් තෙමේ දුමා නම්, දිළිහේ නම්, බණ කියා නම්, පැන විචාරා නම්, පැන විසඳා නම් නිර්මිත රූපය ද දුමයි, දිළිසෙයි, බණ කියයි, පැන විචාරයි, පැන විසඳයි.

ඒ සෘද්ධිමත් තෙමේ ඒ බ්‍ර‍හ්මයා සමග සිටී නම්, කථා කෙරේ නම්, - සාකච්ඡා කෙරේ නම්, -යමක් යමක් කෙරේ නම් නිර්මිතයා ද ඒ සියල්ල කෙරේ.

දුර වූ දෙය ද සමීපයෙහි වන සේ අධිට්ඨාන කෙරේ.

පාදකධ්‍යානයෙන් නැගී දුර පිහිටි බ්‍ර‍හ්ම ලෝක-දිව්‍ය ලෝකාදියක් ‘ලඟ වේවා’යි ආවර්‍ජනා කොට, අනතුරුවැ පිරියම් කොට නැවත එම ධ්‍යානයට සමවැදී ‘ළං වේවා’යි අභිඥා ඥානයෙන් ඉටයි. ඒ සමග ම සමීපයෙහි වේ.

(මෙහි “අපි” යනු සමුච්චයාර්‍ථයෙහි වන හෙයින් මෙහි නොකී අධිෂ්ඨාන සෘද්ධියෙන් නිපදවිය යුතු, සියල්ල සංග්‍ර‍හ වේ. සෙසු පදයෙහි ද මේ ක්‍ර‍මය මැයි.

දුර වූ දැය ළං කෙළේ මෙසේ යි:- බුදුහු යමක ප්‍රාතිහාර්‍ය්‍යාවසානයෙහි දෙව් ලොව වඩනා සේක්, මහමෙර ද, යුගන්‍ධරය ද, සමීපයෙහි කොට පෘථිවි තලයෙන් එක් පයක් යුගන්‍ධරයෙහි තබා දෙවෙනි පස මහමෙර මතුයෙහි තුබූ සේක. දෙවෝරෝහණයේ දී මුගලන් මහතෙර සැවැත් නුවරින් දවල් බත් කා පිටත් වූ දොළොස් යොදුනක් පැතිරි සිටි පිරිස, තිස් යොදුනක් දුර වූ සකස් පුර මඟ ළඟට ක්‍ෂණයකින් පැමිණ වී.

ලක්දිව චුලසමුද්ද නම් තෙරුන් වහන්සේ දුර්භික්‍ෂ කාලයෙහි උදය තමා වෙත පැමිණි සත් සියයක් භික්‍ෂූන්ට, ලක්දිවින් පිණ්ඩපාතය නොලැබිය හැකි බව ද, දඹදිව පැළලුප් නුවරින් ලැබෙන බව් ද, දිවැසින් දැක පා සිවුරු ගන්වා ‘ඇවැත්නි! පිඬු සිඟා වඩිමු යැ’යි අමතා පොළොව හකුළා පැළලුප් නුවර වැඩි සේක.

භික්‍ෂූහු - ස්වාමීනි! මේ කිනම් නගරයක් ද

මහතෙර - ඇවැත්නි! පැළලුප් නුවර ය.

භික්‍ෂූහු - පැළලුප් නුවර දුර නො වේද

මහතෙර - ඇවැත්නි! මහලු තෙරහු දුර වූ දැය ද ළං කෙරෙති.

භික්‍ෂූහු - මහ මුහුද කොහි ද

මහතෙර - අතර ඉක්ම වූ ඒ නිල් කුඩා ඇල ය.

භික්‍ෂූහු - මුහුද මහත් නො වේද

මහතෙර - මහලු තෙරහු මහත් දැය කුඩා ද කෙරෙති

තිස්සදත්ත තෙරණුවෝ ද සවස දිය නා උතුරු සඟල පොරවා සිටියෝ, මහා බෝධිය වඳින කැමැත්තෝ දුරවූව ළං කළහ.

ළංවූ දැය දුරු කිරීම, බුදුහු තමා ගේ හා අංගුලිමාලයා ගේ අතර ළංවුවද දුරු කළ සේක.

බොහෝ දැය ටික කිරීම, එක් දිනක් මහසුප් මහතෙරුන් වහන්සේ බුදුන් කැටිව වඩනා කල රජගහනුවර කුමාරිකාවෝ පන්සියයක් නැකැත් දිනයෙක චන්‍ද්‍ර‍ පූපයන් ගෙන නැකැත් කෙළි පිණිස යන්නෝ බුදුහු දැක එය නුදුන්හ. පසුව වඩනා මහසුප් තෙරුන් දැක අපගේ ආර්‍ය්‍යයන් වහන්සේ වඩනා සේක. ‘කැවුම් පුදමුයැ’යි සියලු කැවුම් ගෙන එළඹුණාහ. තෙරුන් වහන්සේ පාත්‍ර‍ය මෑත් කොට සියල්ල එක පාත්‍ර‍යක් පිරෙන පමණ කළ සේක. බුදුහු තෙරුන් වඩනා පෙරමඟ බලමින් වැඩහුන් සේක. තෙරහු ගෙනවුත් බුදුනට පිරි නැමූහ.

ඉල්ලීස සිටු වස්තුවෙහි ද, බොහෝ දැය ටික කෙළේ ය. මහසුප් මහා ස්ථවිරයෝ ටික දැය බොහෝ කළහ.

කාකවලිය වස්තුවෙහි මහසුප් තෙරුන් වහන්සේ සත් දවසක් සමවත් සුවෙන් වැස එයින් නැගී දිළින්දන්ට සංග්‍ර‍හ කරනු පිණිස කාකවලිය නම් දුගියා ගේ ගෙදොර වැඩ සිටියහ. ඔහු අඹුව තෙරුන් දැක හිමියාට පිළියෙළ කළ ලුණු නැති ඇඹුල් කැඳ පාත්‍රයෙහි බහා ලූහ. තෙරුන් වහන්සේ එය ගෙන බුදුන් අත තැබූ සේක. බුදුහු එය මහා භික්‍ෂු සංඝයාට පොහෝනා සේ ඉටූහ. ඒ සියල්ල පොහෝනා පමණ විය. කාකවලිය තෙමේ ද, සත්වන දින සිටු තනතුරු ලැබී.

එපමණක් නොව මිහිරි දෑ නො මිහිරි කිරීම්, නො මිහිරි දෑ මිහිරි කිරීම්, ඈ රිසියෙන තාක් කෙරෙති. මහා අනුල ස්ථවිරයෝ බොහෝ භික්‍ෂූන් පිඬු සිඟා වියළි බත් මැ ලැබ ගංතෙර හිඳ වළඳන්නවූවන් දැක ‘ගඟ දිය ගිතෙල් බඳුනක් වේවා’යි ඉටා හෙරණුන්ට හැඟවූහ. ඔහු ඒවා බඳුනින් ගෙනවුත් භික්‍ෂූන්ට පිළිගැන්වූහ. සියලු භික්‍ෂූහු මිහිරි ගිතෙල් හා බත් වැළඳූහ. දිබ්බෙන චක්ඛුනා, මෙහි මැ සිට කසිණාලෝකය වඩා, ඒ බ්‍ර‍හ්මයා ගේ රූපය දකී. මෙහි ම සිට ඒ බ්‍ර‍හ්මයාගේ සියලු ශබ්දය අසයි. සිත ද පිරිසිඳ දනී.

කාය වසෙන චිත්තං පරිණාමෙති1 ශරීරයා ගේ වශයෙන් සිත පිරිනමන්නේ ය යනු චාතුර්භෞතික රූපකායයා ගේ වශයෙන් සිත පිරිනමන්නේ මෙසේ ය. පාදකධ්‍යාන චිත්තය ගෙන ශරීරයෙහි ආරෝපණය කොට ‘මේ සිත කය අනුව ලැසි වැ යන්නාක් වේවා’යි චිත්ත ගතිය වූ ශීඝ්‍ර‍ ගමන වලකා, කාය ගතිය වූ ලැසි ගමන පිහිටුවයි.

“උපේක්‍ෂාව ශාන්ත බැවින් සුඛය යි” කියනු ලැබේ. උපෙක්ඛා සහගත චතුර්‍ථධ්‍යාන සම්ප්‍ර‍යුක්ත වූ සංඥාව බර වූ නීවරණයන් ගෙන් ද, ඖදාරික වූ විතර්‍කාදියෙන් ද, විශේෂයෙන් මිදුණු හෙයින් ලඝු සංඥාය යි කියනු ලැබේ. ඒ සුඛ සංඥාවට හා ලඝු සංඥාවට බටුවා වූ මේ ධ්‍යාන ලාභියා ගේ චාතුර්භෞතික වූ ශරීරය පුළුන් පොදක් මෙන් සැහැල්ලු වේ. එහෙයින් සුළඟෙහි ලූ පුළුන් පෙඳක් සේ සැහැල්ලු වැ, පෙනෙන සිරුරින් යුතු වැ බඹ ලොවට යයි. මෙසේ යනුයේ, රිසියේ නම් පඨවි කසිණ වසයෙන් අහසෙහි මඟක් නිර්මිත කොට ගෙන එහි පයින් ම යයි. ඉදින් රිසියේ නම් වායො කසිණයට සමවැද වාතයක් නිර්මිත කොට ගෙන පුළුන් පෙඳක් සේ වාතයෙන් යයි.

විශේෂ :- මෙහි වූ කලි ‘යනු කැමැත්ත මැ’ පමණි. යනු කැමැත්ත ඇති කල මෙසේ කළ චිත්තාධිට්ඨාන ඇතියේ ඒ අධිට්ඨාන වේගයෙන් මැ උඩට නගන ලද්දේ, දුන්නෙන් නගන ලද ඊතලයක් සේ දෘශ්‍යමානව මැ යන්නේ ය.

චිත්ත වසෙන කායං පරිණාමෙති[15] “කය ගෙන සිතෙහි නංවයි.

ඒ මෙසේ යි:- කය ගෙන සිතෙහි නැංවීමෙන්, සිත අනු වැ කය සීඝ්‍ර‍ව ගෙන ගමන් කරවයි. සිතෙහි ගමන සීඝ්‍ර‍ හෙයිනි. පෙර කී සේ රූප කායාලම්බනික ව උපන් සෘද්ධි චිත්තය හා සම්ප්‍ර‍යුක්ත වූ සුබ සංඥාවට ද, ලඝු සංඥාවට ද, බසී. හේ චිත්ත ගතිත මැ වේ.

මෙසේ සිත අනු වැ නො පෙනෙන සිරුරින් යනුයේ වෙයි.

ප්‍ර‍ශ්නයෙකි :- එසේ යනුයේ ඒ අධිට්ඨාන චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි යා ද, නොහොත් ස්ථිතික්‍ෂණයෙහි හෝ භඞ්ගක්‍ෂණයෙහි හෝ යා ද,

පිළිතුර :- ඒ ක්‍ෂණත්‍රයෙහි මැ යා යැයි එක් අටුවා ඇදුරු කෙනෙක් කියති. මේ වූ කලි ගමනාරම්භය සඳහා කියන ලදි. ගමනාවසානය නො වේ.

විස්තර:- කාය වශයෙන් සිත පැවැත්වීමේදී ලැසි වැ පවත්නා කය අනුව සීඝ්‍ර‍ව පවත්නා සිත සියලු තන්හි එසේ නො පවතී. ‘මේ සිත මේ කය සේ පවතීවා’ යි අධිට්ඨානයෙන් ඒ කයට අනුවර්‍තක වැ ඒ අධිට්ඨාන කළ ස්ථානයට පැමිණෙනතාක් කාය ගතියට අනුකුල වැ චිත්ත පරම්පරා වශයෙන් පැවතීම හේතු කොට සිත කාය ගතියට පිරිනැමීම වේ.

‘මේ කය මේ සිත මෙන් පවතීවා’ යි අධිට්ඨානයෙන් පළමු කොට පෙර කී සේ සුඛ-ලඝු සංඥාවන් සම්පාදනය කළ හෙයින් නො වැඩූ ඉද්ධිපාද ඇතියවුනට සේ ලැසිවැ නො පවතී. චිත්ත වාර කීපයකින් වහා අභිමත ස්ථානයට යම් සේ පැමිණේ ද, එසේ පවත්නා කය චිත්ත ගතියට පමුණුවන ලද්දේ ද වෙයි. එක් චිත්තක්‍ෂණයෙකින් කැමති තැනට පැමිණීම නොවේ.

එහෙයින් මැ “ශක්තිමත් පුරුෂයෙකු වහා වක් කළ අතක් දික් කරන්නා සේ, දික් කළ අතක් වක් කරන්නා සේ දැ”යි මේ උපමා දැක්වීම නිෂ්පර්‍ය්‍යාය වශයෙනි. (ටීකායෙහි මේ පිළිබඳ විස්තරයෙක් වේ.[16])

මේ කීමේ ගමන සඳහා යැ ඉදීම්, සිටීම් ආදිය ද මෙසේ මැ යි.

විශේෂ:- නිර්මිත රූපයෙහි වූ කලි ප්‍ර‍සාද රූප-භාව රූපාදිය නැති සෘද්ධිමත් තෙමේ සක්මන් කරනුයේ වී නම්, නිර්මිත ද සක්මන් කර යි’ යනු ශ්‍රාවක නිර්මිතය සඳහා යැ. බුද්ධ නිර්මිත වූකලි භාග්‍යවතුන් වහන්සේ යමක් යමක් කෙරෙත් නම් ඒ ඒ දැය ද, උන්වහන්සේ යමක් යමක් කරනු කැමැත්තෝ නම් ඒ ඒ දැය ද කෙරේ.

ඒ ‘සෘද්ධිමත් තෙමේ මිනිස් ලොව සිට දිවැසින් රූප දක්නේ ය, දිව කනින් ශබ්ද අසන්නේ ය’ ‘චෙතොපරියඤාණයෙන් සිත දැනගන්නේ ය’ මෙ පමණෙකින් කයින් වසයෙහි පවත්නේ නො වේයි. එසේ මැ ‘ඒ යෝගාවචරයා මිනිස් ලොව සිට, ඒ බ්‍ර‍හ්මයා සමඟ සිටියි කථා කරයි. සාකච්ඡා කරයි.’ යන මෙ පමණකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. එසේ මැ ‘ඒ යෝගි තෙමේ දුර වූයේ ද ළං කොට අධිට්ඨාන කරයි’ යනාදීන් දැක්වූ පරිදි අධිට්ඨාන කිරීමෙක් වෙයි ද, එපමණකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. ‘ඒ යෝගී තෙමේ දක්නා ලැබෙන කයින් බඹලොව යයි ද එ පමණෙකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. හෙතෙමේ ඒ බ්‍ර‍හ්මයා ඉදිරියෙහි රූප නිර්මිත කෙරේ. යනාදීන් කී ආකාරයට පැමිණේ ද, එ පමණෙකින් කයින් වසයෙහි පවත්වාය’යි කියනු ලැබේ.

‘මේ සෘද්ධිමතා ය, මේ නිර්මිතයා යැ’යි දත නො හැකි පමණට සමත්‍වය නිසා ඇතැම් බ්‍ර‍හ්මයින්ට සැක උපදවන හෙයින් එපමණෙකින්න ම මනෝමය අධිට්ඨානය නම් වේ.

පෙර කී සියල්ල එයට පූර්‍වභාග වශයෙන් කියන ලදී. මේ ය අධිට්ඨාන සෘද්ධි නම්.

විකුර්‍වණ සෘද්ධිය කරන පරිදි :- “සො පකති වණ්ණං විජහිත්‍වා කුමාරවණ්ණංවා දස්සෙති, නාගවණ්ණංවා දස්සෙති. සුපණ්ණවණ්ණංවා දස්සෙති. අසුරවණ්ණංවා දස්සෙති. ඉන්‍දවණ්ණංවා, දෙවවණ්ණංවා, බ්‍ර‍හ්මවණ්ණංවා, සමුද්දවණ්ණංවා, පබ්බතවණ්ණංවා, සීහවණ්ණංවා, ව්‍යග්ඝවණ්ණංවා, දීපිවණ්ණංවා, දස්සෙති. හත්‍ථිමපි දස්සෙති. අස්සම්පි රථම්පී, පත්තිම්පි, විවිධම්පි සෙනාව්‍යුහං දස්සෙති.”[17] ‘ඒ සෘද්ධිමත් තෙමේ තමා ගේ ප්‍ර‍කෘති වේශය හැර කුමාර වේශයක් දක්වයි. නාග වේශයක් හෝ ගුරුළු වේශයක් හෝ, අසුර වේශයක් හෝ, ශක්‍ර‍ වේශයක් හෝ, දිව්‍ය වේශයක් හෝ, බ්‍ර‍හ්ම වේශයක් හෝ, සමුද්‍ර‍ වේශයක් හෝ, පර්‍වත වේශයක් හෝ, සිංහ වේශයක් හෝ, ව්‍යාඝ්‍ර‍ වේශයක් හෝ, දීපි වේශයක් හෝ මවා දක්වයි. තමා ඇතකු කොට හෝ, අන් ඇතකු මවා දක්වයි. තමා අශ්වයකු කොට හෝ, අන්‍ය අශ්වයකු මවා දක්වයි. රථ සෙනඟක් හෝ මවා දක්වයි. පාබල සෙනඟක් හෝ මවා දක්වයි. නානාවිධ සේනා සන්නිවේස හෝ මවා දක්වයි.’

මේ කුමාර වේශාදීන් අතුරෙන් යමක් යමක් මවනු කැමැත්තේ නම් ඒ ඒ දැය අධිට්ඨාන කිරීමෙන් එසේ කළ යුතු ය. මෙසේ අධිට්ඨාන කරනුයේ ද, පඨවි කසිණාදීන් අතුරින් යම් කිසි ආරම්මණයකින් අභිඥාපාදක ධ්‍යානයට සමවැද, එයින් නැඟී තමා කුමාර වේශයක් ආවර්‍ජනා කළ යුතු ය. එසේ ආවර්‍ජනා කොට පරිකර්‍මාවසානයෙහි නැවත සමවතට සමවැද එයින් නැගී ‘මෙබඳු කුමාරයෙක් වෙමි’යි අධිට්ඨාන කළ යුතු ය. ඒ අධිට්ඨාන සිත හා සමග කුමාරයෙක් වේ.

නිදර්‍ශන :- දෙව්දත් තෙර අජාසත් කුමරු පහදවා ගැනීමට මවාපාන ලද කුමාර වේශය මෙනි[18] අන් සියලු තන්හි ද මෙසේ ය.

විශෙෂ :- “ඇතකු දක්වයි” යනාදිය තමා ඇතකු කොට දැක්වීම ද, පිටත ඇතකු මවා දැක්වීම ද සඳහා කියන ලදී. එහිලා ඇතෙක් වෙමි’යි නො ඉටා ඇතෙක් වේවා යි ඉටිය යුතු. අශ්වාදීන්හි ද එසේමය.

මේයැ විකුර්වණ සෘද්ධි නම්.

  1. පටි:ම: ඉද්ධි කථා 385 පිට

  2. සං:නි: කොසල සංයුත්ත 49 පිට

  3. පටි:ම: අඨ කථා 424 පිට

  4. පටි:ම: ඉද්ධි කථා 386 බුරුම

  5. අ:නි: තිකනිපාත 68 පිට

  6. සං:නි: චිත්ත සං: 734 68 පිට

  7. ම:නි: මූලපණ්ණාසක 324

  8. පටි:ම: ඉද්ධිවිධි 386 බුරුම

  9. පටි:ම: ඉද්ධිකථා 386 පිට බුරුම

  10. වි:ම: ටීකා 392 පිට

  11. පටි:ම: ඉද්ධි කථා 386 පිට

  12. පටි:ම: ඉද්ධිකථා 387 පිට

  13. පටි:ම: ඉද්ධිකථා 387 පිට

  14. ‍පටි:ම: ඉද්ධිකථා 387 පිට

  15. වී:ම: ටීකා 397 පිට

  16. වී:ම: ටීකා 397 පිට

  17. පටි:ම: ඉද්ධිකථා 388 පිට

  18. වූ.ව: සංඝභෙදක්ඛන්‍ධකය 266