පොහෝ කිරීම

හේමන්තය, ගිම්හානය, වස්සානය’ යි එක් වර්ෂයක සෘතු තුනක් ඇත්තේ ය. එක් එක් සෘතුවකට මාස සතර බැගින් ඇත්තේ ය. එක් මාසයකට දින තිසක් ඇත්තේ ය. ඇතැම් මාසයකට ඇත්තේ දින විසි නවයෙකි. පුරය අවය කියා මසකට පක්ෂ දෙක බැගින් ඇත්තේ ය. එක් එක් පක්ෂයකට දින පසළොස බැගින් ඇත්තේ ය. දින තුදුස ඇති පක්ෂ ද ඇත්තේ ය. ඉල්මස ය, උඳුවප් මසය, දුරුතු මසය, නවම් මසය, මැදින් මසය, බක් මසය, වෙසක් මසය, පොසොන් මසය, ඇසළ මසය, නිකිණි මසය, බිනර මසය, වප් මසය යි වර්ෂයකට මාස දොළසක් ඇත්තේ ය. එක් එක් මසකට පෝය දෙක බැගින් ඇත්තේ ය. ‘පෝය’ යයි කියනුයේ පක්ෂයේ අවසාන දිනයට ය. මාස දොළොස සෘතුවලට බෙදෙන සැටි මෙසේ ය.

“කන්තිකස්ස ච කාලම්හා

යාව එග්ගුණපුණ්ණමා

හෙමන්තකාලො විඤ්ඤෙය්‍යො

අට්ඨ හොන්ති උපොසථා.”

ඉල්මස අව පෑළවිය පටන් මැදින්මස පුර පසළොස්වක දක්වා ඇති සාරමස හේමන්ත සෘතුව ය. එහි පොහෝ දින අටෙකි.

“එග්ගණස්ස ච කාලම්හා

යාව ආසළ්හපුණ්ණමා

ගිම්හකාලොති විඤ්ඤෙය්‍යො

අට්ඨ හොන්ති උපොසථා”

මැදින් මස අව පෑළවියෙහි පටන් ඇසළමස පසළොස්වක දක්වා ඇති කාලය ගිම්හාන සෘතුව ය, එහි පොහෝ දින අටෙකි.

“ආසළ්හස්ස ච කාලම්හා

යාව කත්තිකපුණ්ණමා

වස්සකාලොති විඤ්ඤෙය්‍යො

අට්ඨ හොන්ති උපොසථා.”

ඇසළ මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති සිවු මස වස්සාන සෘතුව ය. එහි පොහෝ දින අටෙකි.

“උතූනං පන තිණ්ණං

පක්ඛෙ තතිය සත්තමෙ

චාතුද්දසොති පාතිමොක්ඛං

උද්දිසන්ති නයඤ්ඤුතො.”

තුන් සෘතුවෙහි ම තුන්වන සත්වන පෝයවල් චාතුද්දසීහුය. වර්ෂයකට ඇති පොහෝදින සූවිස්සෙන් සයක් චාතුද්දසීහු ය. අටළොසක් පණ්ණරසීහු ය.

‘පොහෝ කිරීමය’ යනු පොහෝ දිනයෙහි භික්ෂූන් විසින් කළ යුක්ත කිරීම ය. එනම්:- සතර නමක් හෝ සතරනමකට වැඩි ගණනක් හෝ භික්ෂූන් රැස්වුව හොත් පාමොක් උදෙසීමත්, තුන්නමක් හෝ දෙනමක් වුව හොත් පාරිශුද්ධිය ආරෝචනය කිරීමත්, එක් නමක් වුව හොත් “අද පොහෝ දිනය ය” යි ඉටා ගැනීමත් ය.