උපෝසථ නවය.

චාතුද්දසී උපෝසථයය, පණ්ණරසී උපෝසථයය, සාමග්ගි උපෝසථය යයි දිනයන්ගේ වශයෙන් උපෝසථ තුනෙකි.

සඞ්ඝ උපෝසථයය, ගණඋපෝසථයය, පුග්ගල උපෝසථයය යි කාරක පුද්ගලයන් ගේ වශයෙන් උපෝසථ තුනෙකි.

සුත්තුද්දේස උපෝසථය ය, පාරිසුද්ධි උපෝසථයය, අධිට්ඨාන උපෝසථය යයි කර්තව්‍යාකාරයෙන් උපෝසථ තුනෙකි. මෙසේ උපෝසථ නවයක් වේ.

නව වැදෑරුම් උපෝසථයන් අතුරෙන් “චාතුද්දසී උපෝසථය” යනු පක්ෂයේ තුදුස් වන දිනයේ කරන උපෝසථය ය. එය කරනුයේ (පසළොස් දිනයක් නැති) සෘතුවල තුන්වන, සත්වන, පක්ෂවල ය. ‘පණ්ණරසී උපෝසථය’ යනු පක්ෂයේ පසළොස් වන දිනයෙහි කරන උපෝසථය ය. ‘සාමග්ගි උපෝසථය’ යනු භේද වී සිටි සඞ්ඝයා සමගි කළ දිනයෙහි ඒ සමගිය නිමිත්තෙන් කරන පොහොය ය. ‘සඞ්ඝඋපෝසථය’ යනු සතරනමක් හෝ සතර නමකට වැඩි ගණනක් වූ හෝ භික්ෂූන් විසින් කරන පොහොය ය. ‘ගණ උපෝසථය’ යනු තුන්නමක් විසින් කරන පෝය ය. ‘පුග්ගල උපෝසථය’ යනු දෙනමක් හෝ එක් නමක් විසින් කරන පෝය ය. ‘සුත්තුද්දේස උපෝසථය’ යනු පාමොක් උදෙසීම් වශයෙන් කරන පෝය ය. ‘පාරිසුද්ධි උපෝසථය’ යනු පාරිශුද්ධිය ආරෝචනය කිරීම් වශයෙන් කරන පෝය ය.