සඞ්ඝ උපෝසථය කිරීමේ ක්‍රමය

ආරාධනය කිරීම.

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මන්තං (තිස්සං) පාතිමොක්ඛුද්දෙසං අජ්ඣෙසෙය්‍යං.” මෙසේ සම්මුතිය ලබා ගෙන මතු දැක්වෙන වාක්‍යය තුන් වරක් කියා ආරාධනය කළ යුතු.

සඞ්ඝො භන්තෙ! ආයස්මන්තං (තිස්සං) පාතිමොක්ඛුද්දෙසං අජ්ඣෙසති. උද්දිසතු ආයස්මා (තිස්සො) පාතිමොක්ඛං.

පිළිවදන් දීම

ආම උද්දිසිස්සාමහං ආවුසො.

විනය පුච්ඡක සම්මුතිය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. අහං ආයස්මන්තං (දත්තං) විනයං පුච්ඡෙය්‍යං.

විස්සජ්ජක සම්මුතිය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. අහං ආයස්මතා (තිස්සෙන) විනයං පුට්ඨො විස්සජ්ජෙය්‍යං.

විනය විචාරීම

“සම්මජ්ජනී පදිපො ච

උදකං ආසනෙන ච

උපොසථස්ස එතානි

පුබ්බකරණන්ති වුච්චති”

යනුවෙන් දැක්වෙන උපෝසථාගාරයට සඞ්ඝයා රැස්වීමට කලින් කළ යුතු වන උපෝසථාගාරය හැමදීමය, පහන් දැල්වීමය, පැන් තැබීමය, අසුන් පැනවීමය යන සතර කිස කොට නිමවීද?

පිළිතුර:- දැනට සූර්යාලෝකය ඇති බැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජන නැත. සෙසු වත් තුන කොට නිමවී ය.

“ඡන්දපාරිසුද්ධි උතුක්ඛානං

භික්ඛු ගණනා ච ඔවාදො

උපොසථස්ස එතානි

පුබ්බකිච්චන්ති වුච්චති”

යනුවෙන් දැක්වෙන පූර්වකෘත්‍යයන් සම්පූර්ණ වනු පිණිස ගෙනෙන ලද ඡන්දපාරිසුද්ධීන් සඞ්ඝයාහට ආරෝචනය කොට නිමවී ද?

පිළිතුර:- සීමස්ථක සියලු භික්ෂූන් වහන්සේ ම මෙහි රැස්වී ඇති බැවින් ගෙනෙන ලද ඡන්දපාරිසුද්ධියක් නැත්තේ ය.

ප්‍රශ්නය:- සෘතුව වනාහි හේමන්තය, ගිම්හානය, වස්සානය යි තුන් වැදෑරුම් වේ. එයින් දැනට පැමිණ ඇති සෘතුව කවරේ ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- එක් එක් සෘතුවක පක්ෂ අට බැගින් ඇත්තේ ය. පැමිණ ඇත්තා වූ මේ සෘතුවෙහි ඉක්ම ගිය පක්ෂ කෙතෙක් ද? ඉදිරියට ඇති පක්ෂ කෙතෙක් ද? මේ පැමිණ තිබෙන පක්ෂය කීවෙනි පක්ෂය ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- දැනට මේ සීමාවෙහි රැස්ව ඉන්නා භික්ෂූන් වහන්සේලා කොතෙක් වන්නාහු ද?

ගණන කියනු.

ප්‍රශ්නය:- අවවාද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් විසින් කර ඇති ආයාචනය සඞ්ඝයාහට සැල කොට නිමවී ද?

පිළිතුර:- මෙකල භික්ෂුණීන් නැති බැවින් එබඳු ආයාචනයක් නැත්තේ ය.

ප්‍රශ්නය:- මේ සතර, සඞ්ඝයා සීමාවට රැස් වූ පසු පාමොක් උදෙසීමට පළමුවෙන් කළ යුතු බැවින් පූර්ව කෘත්‍යය ය යි කියනු ලැබේ.

“උපොසථො යාවතිකා ච භික්ඛු

කම්මප්පත්තා සභාගාපත්තියො ච

න විජ්ජන්ති වජ්ජනීයා ච පුග්ගලා

තස්මිං න හොන්ති පත්තකල්ලන්ති වුච්චති” යි

අර්ථකථාචාර්යයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි, උපෝසථකර්මයට සුදුසු කාලය චතුරඞ්ගයකින් යුක්ත විය යුතු ය. උපෝසථය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී-පණ්ණරසී-සාමග්ගීය’ යි දින වශයෙන් තුනක් ද, සඞ්ඝ-ගණ-පුග්ගලය’යි කාරක පුද්ගලයන් ගේ වශයෙන් තුනක් ද, සුත්තුද්දේස පාරිසුද්ධි අධිට්ඨානය’යි කර්තව්‍යාකාර වශයෙන් තුනක් ද වේ. එයින් මේ කරනු ලබන උපෝසථය දින වශයෙන් කිනම් උපෝසථයක් ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- කාරකපුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසථයක් ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- කර්තව්‍යාකාර වශයෙන් කිනම් උපෝසථයක් ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- සුත්තුද්දේස උපෝසථය යි කීයෙහි, එයට සතර නමකට නො අඩු භික්ෂු පිරිසක් එක් සීමාවෙක්හි අත්පස නොපිරිහෙළා වැඩසිටිය යුතු ය, එපමණ භික්ෂූහු මෙහි වැඩසිටින්නාහු ද?

“එසේය”යි පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- පැමිණ සිටින භික්ෂූහු වස්තුසභාගාපත්ති වලින් මිදුණාහු ද?

පිළිතුරු දෙනු.

ප්‍රශ්නය:- ගෘහස්ථාදි එක්විසි වර්ජනීය පුද්ගලයන් සඞ්ඝයාගේ අත්පසින් බැහැර කොට නිමවී ද?

“එසේය” යි පිළිතුරු දෙනු.

ඉක්බිති පාමොක් උදෙසන ස්ථවිරයන් විසින් මෙසේ කිය යුතු ය.

මේ චතුරඞ්ගයෙන් යුක්ත කර්මයට ‘පත්තකල්ලය’ යි කියනු ලැබේ. පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා දෙසිතාපත්තිකස්ස සමග්ගස්ස භික්ඛුසඞ්ඝස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දිසිතුං ආරාධනං කරොම.

මෙය කී කල්හි සඞ්ඝයා විසින් සාධුකාර දිය යුතු ය. ඉක්බිති ඤත්තිය කියා පාමොක් උදෙසිය යුතු ය.

විශේෂ කරුණක්

“පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා” - යනාදි පාඨය ප්‍රාතිමෝක්ෂයෙහි මිස, විනය පෙළෙහි හෝ අටුවාවෙහි දක්නට නැත. ප්‍රාතිමෝක්ෂය වර්ණනා කරන කඞ්ඛාවිතරණී අටුවාවෙහි ද ඒ පාඨය ගැන කිසිවක් සඳහන් කර නැත. එයින් සිතා ගන්නට තිබෙන්නේ ඒ පාඨය ප්‍රාතිමෝක්ෂයට පසු කාලයේදී ඇතුළු කරන ලද්දක්ය කියා ය. එහි මුල් කොටස ඒ ඒ පිටපත්වල “පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා” යි ද “සමාදපෙත්වා” යි ද දක්නා ලැබේ.

“පාතිමොක්ඛං උද්දිසිතුං ආරාධනං කරොම” යන මෙහි අර්ථය බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති. එය පාමොක් උදෙසීමට ආරාධනා කරන භික්ෂුව විසින් කියන්නක් නොව, පාමොක් උදෙසන ස්ථවිරයන් විසින් කියන්නකි. එබැවින් “ආරාධනං කරොම” යන්නෙහි අර්ථය පාමොක් උදෙසීමට ‘උත්සාහ කරමි’ ය කියා ගතයුතුය. ‘පාමොක් උදෙසන ලෙස ඉල්ලමු’ ය යි නො ගත යුතු ය. විනයාලංකාර ටීකාචාර්යයෝ ඒ පාඨයට නො කැමැත්තක් දක්වති. “පුබ්බකරණ පුබ්බකිච්චානි සම්මා නිට්ඨාපෙත්වා පත්තකල්ලඞ්ගෙ සමානීතෙ සඞ්ඝස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දිස්සාම” යි කිය යුතු බව විනයාලංකාර ටීකාචාර්යයෝ පවසති. මෙය කෙසේ කිව ද විනය කර්මයට හානියක් නො වන බව සැලකිය යුතු.