වර්ජනීය පුද්ගලයෝ.

ගිහියාය, භික්ෂුණියය, ශික්ෂමානාවය, සාමණේරයාය, සාමණේරියය, ශික්ෂාව ප්‍රතික්ෂේප කළ තැනැත්තාය, පරිජි ඇවතට පැමිණි තැනැත්තාය, ඇවත නො දැකීමෙන් උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය, ඇවතට පිළියම් නො කිරීමෙන් උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය, පාපදෘෂ්ටිය නො හැරීම නිසා උක්ෂේපනීය කර්මය කළ තැනැත්තාය, පණ්ඩකයා ය, ථෙය්‍යසංවාසකයාය, තිත්ථියපක්කන්තිකයාය, තිරච්ඡානගතයාය, මාතුඝාතකයාය, පිතුඝාතකයාය, අරහන්තඝාතකයාය, භික්ෂුණී දූෂකයාය, සඞ්ඝභේදකයාය, ලෝහිතුප්පාදකයාය, උභතෝබ්‍යඤ්ජනකයාය යන මේ විසිඑක්දෙන පොහෝ කිරීමේදී අත්පසින් බැහැර කළ යුත්තෝ ය.

‘අත්පසය’ යි කියනුයේ දෙරියන් හමාරය ය. පොහෝ කරන සඞ්ඝයාගේ අත්පසින් ඒ පුද්ගලයෝ බැහැර කළ යුත්තාහු ය. ඒ පුද්ගලයන් විසිඑක් දෙනාගෙන් උක්ඛිත්තකයන් තිදෙනා අත්පසෙහි සිටියදී පෝය කිරීමෙන් සියලුම භික්ෂූන්ට පචිති ඇවැත් වේ. සෙස්සන් සිටියදී පෝය කිරීමෙන් දුකුළා ඇවැත් වේ.