සඞ්ඝ උපෝසථය ගැන දතයුතු කරුණු

“න භික්ඛවෙ! සඞ්ඝමජ්ඣෙ අනජ්ඣිට්ඨෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. යො උද්දිසෙය්‍ය. ආපත්ති දුක්කටස්ස” යි වදාරා ඇති බැවින් සීමාවට සඞ්ඝයා රැස්වූ පසු පාමොක් උදෙසීම සඳහා, සම්මුතිය ලත් භික්ෂුවක් විසින් සඞ්ඝස්ථවිරයන් වහන්සේට හෝ අන්‍ය විනයධර තෙරනමකට හෝ ආරාධනය කළ යුතු ය. ආරාධනය ලැබූ තෙරුන් වහන්සේ විසින් පාමොක් උදෙසීමට කලින්, ආරාධනය කළ භික්ෂුවගෙන් විනය විචාළ යුතු ය. එසේ කළ යුත්තේ ද සම්මුතිය ලබා ගෙන ය. ආරාධනා කළ භික්ෂූන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසඳිය යුත්තේ ද සම්මුතිය ලබා ගෙන ය. ‘විනය පුච්ඡක සම්මුතිය හා විස්සජ්ජක සම්මුතිය’ තම තමා විසින් ම ද කර ගත හැකි ය. තමන් විසින් ම කර ගැනීම දැනට පවත්නා චාරිත්‍රය ය. ආරාධනාදිය කරන සැටි මතු දක්වනු ලැබේ. එහිදී තිස්ස, දත්ත යන නම් යොදා වාක්‍යවල් දක්වනු ලැබේ. පෝය කිරීමේදී ඒ තැන්වලට ඒ ඒ අයගේ නම් යොදා ගත යුතු ය.