පාරිසුද්ධි උපෝසථය.

ඉහත කී සඞ්ඝ උපෝසථය හෙවත් සුත්තුද්දේස උපෝසථය කිරීමට සෑහෙන පමණ භික්ෂූන් සීමාවට රැස් නො වී, තෙනමක් හෝ දෙනමක් සීමාවට රැස්වූ අවස්ථාවලදී කරන උපෝසථය පාරිසුද්ධි උපෝසථය ය. සීමාවට තෙනමක් රැස්වුව හොත් පූර්වකරණ පූර්වකෘත්‍යයන් කොට, එක් භික්ෂුවක් විසින් “සුණන්තු මෙ ආයස්මන්තා අජ්ජුපොසථො (පණ්ණරසො, චාතුද්දිසො) යදායස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පාරිසුද්ධි උපොසථං කරෙය්‍යාම” යි ඤත්තිය තබා, පළමු කොට ස්ථවිර භික්ෂුව විසින් ඒකාංස කොට සිවුර පෙරවා උක්කුටිකව හිඳ වැඳ ගෙන “පරිසුද්ධො අහං ආවුසො පරිසුද්ධොති මං ධාරෙථ” යි තුන්වරක් කිව යුතු ය. ඉතිරි දෙනම විසින් ද එසේ ම- “පරිසුද්ධො අහං භන්තෙ පරිසුද්ධොති මං ධාරෙථ” යි තුන්වරක් කිය යුතු ය.

සීමාවට රැස් වූ භික්ෂූන් දෙනමක් වෙත් නම් පූර්ව කෘත්‍ය සියල්ල සම්පාදනය කොට ඤත්තිය නො තබා, කියන ලද පරිදි පාරිසුද්ධිය ඔවුනොවුන්ට ආරෝචනය කළ යුතු ය.

තවද, මහාපවාරණ දිනයෙහි පෙර වස් විසූ භික්ෂූන් වහන්සේලා පවාරණය කරන කල්හි, පසු වස් විසූ භික්ෂූන් විසින් හා වස් නො වැසූ භික්ෂූන් විසින් ද, වස් බිඳුණු භික්ෂූන් විසින් ද කායසාමාග්‍රිය දීම් වශයෙන් පවාරණ කර්මයට සහභාගී වී, “පරිසුද්ධො අහං භන්තෙ පරිසුද්ධොති මං ධාරෙථ” යි කියා පාරිශුද්ධිය ආරෝචනය කළ යුතු ය. පසු වස් විසූ භික්ෂූන් පවාරණය කරන කල්හි පෙර වස් විසූවන් හා වස් නො විසූවන් විසින් ද වස් බිඳුනවුන් විසින් ද කියන ලද පරිදි පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. පාමොක් උදෙසා අවසන් වූ පසු ඒ භික්ෂූන් සීමාවෙන් බැහැර යන්නට පෙර පැමිණි භික්ෂූන් විසින් ද, සුත්තුද්දේස උපෝසථය කළ භික්ෂූන්ට පාරිශුද්ධිය ආරෝචනය කළ යුතු ය.