අර්ථකථා ටීකාවන්හි “අරහං”යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. “අරහං”යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහිදී ඒ සෑම සුදුසු කමක්ම අදහස් කරනු නො ලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනීමටත් පිළිගැන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වන්නාහ. එහෙයින්ම දක්ෂිණාව පිළිගැන්වීමට ද සුදුසු වන්නාහ.
දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයෙහි ලෞකිකවූ ද ලෝකෝත්තර වූ ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරන්නාවූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දීමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරන්නවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරදීමට සමර්ථ ය. ප්‍රත්‍යය පූජා කළවුන්ට ඵල ලබාදීම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණමහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ “අරහං” නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති නම් ඒ ගුණය අරහං ගුණය ය.
දක්ෂිණාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ “දක්ඛිණෙය්‍යා” යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය ය. “දක්ඛිණෙය්‍යා” යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යනු යි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ගදක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරු ද අර්හත්වයට පැමිණීමෙන් සකලක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවකවූ රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොවුතුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නො යොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවක සංඝයාගෙන් අන්‍යවූ උපාසකෝපාසිකාදීන්ට දන් දීමෙහි ද ඵල ඇත්තේ වී නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන “ආහුණ්‍යෙය” යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි.
“අරහං - දක්ඛිණෙය්‍ය” යන පදවලින් කියැවෙන දක්ෂිණාර්හ පුද්ගලයන්ගේ නානත්ත්වය වේලාම සූත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදී බඩු රිදී මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රිදී තැටි ද, සත්රුවන් පිරවූ ලොහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දැල්වලින් සැරසූ ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාඝ්‍ර සම් කම්බිවලින් සරසන ලද්දාවූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධ්වජ සහිතවූ රන් දැල් සහිතවූ රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදී බඳුන් ද මිණිකොඬලින් සැරසූ කන්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමට බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :-
“යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිට්ඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං”
යනාදීන් අනේපිඬු මහා සිටාණන්හට දක්ෂිණාර්හයන්ගේ තතු පහදා වදාරණසේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුද්ගලයකුට දෙන දානය මහත්ඵල වන බව ද, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමීන් සියයකට දෙන දනට වඩා එක් අනාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමීන් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත්ඵල වන බව ද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත්ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොවුතුරා බුදුකෙනකුට දෙන දානය මහත්ඵල වන බවද වදාළ සේක. වේලාම සූත්‍රයේ එන මේ දානවිභාගය අනුව සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවෙලින් එක් එක් පුද්ගලයකුට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්හභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොවුතුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවය ඉතා උසස් වන බැවින් බුද්ධගුණ කථනයේදී ඒ උසස් දක්ෂිණාර්හභාවය දැක්වීම සඳහා “අරහං” යන ගුණපදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණපද ව්‍යවහාර කරනු ලැබේ.
දක්ෂිණාර්හභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තුනී කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්හයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්හයෝ ය. ලොවුතුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේගේ පාරිශුද්ධිය රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොවුතුරා බුදුහු අග්‍රදක්ෂිණාර්හයන්ට වැඩි දක්ෂිණාර්හයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්හ භාවය යි. තණ, වල්පැළෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙලෙසුන්ගෙන් පවිත්‍ර සන්තානයක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව - උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබේය යන මේ කරුණ තේරුම් ගැනීමට දුෂ්කර, ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. මෙබඳු කරුණුවලදී ශ්‍රද්ධාව ම පිහිටකර ගත යුතු ය. අතීතයේ ඇතැම් සැදැහැවතුන් සාමාන්‍ය කෙනකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් දී තිබේ. එබඳු දුෂ්කර දානයන් බෙහෙවින් දී ඇත්තේ කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දීමනාවන් කළ බොහෝ දෙනකුන් ලක්දිව විසූ බව කතාපුවත්වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනීම, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂූන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත්වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය.