අරහං යන පදයෙන් විශේෂ කොට කියන ලොවුතුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්හ භාවය, පසේ බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දක්ෂිණාර්හ භාවයට බොහෝ උසස් ය. එය දක්ඛිණෙය්‍ය යන වචනයෙන් නො කියා අරහං යි විශේෂ වචනයකින් කියන්නේ ඒ නිසා ය. ඒ අරහං ගුණය සාමාන්‍ය මනුෂ්‍ය දිව්‍ය සම්පත් පමණක් නොව පූජා සත්කාර කරනුවන්ට ලොවුතුරා බුදුබව පසේ බුදුබව අග්‍රශ්‍රාවක බව මහා ශ්‍රාවක බව මහරහත් බව බුද්ධශ්‍රාවකයන් අතර ඒ ඒ කරුණෙන් අග්‍රබව යන මේවා ද ලබා දීමට සමත් ය.
ලොවුතුරා බුදුබව ලැබීමට නම් ජීවමාන ලොවුතුරා බුදුකෙනෙකුන්ට පූජා සත්කාර කොට ජීවමාන බුදු කෙනෙකුන් හමුවේම ඒ උත්තම තත්ත්වය පැතිය යුතු ය. බුදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍යයන් සමීපයේ හෝ බෝධි සමීපයේ හෝ බුද්ධ ප්‍රතිමා සමීපයේ හෝ ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් හමුවේ හෝ පතා බුදුබව නො ලද හැකි ය.
“සචෙ ජීවමානක බුද්ධස්සෙ’ව සන්තිකෙ පත්ථෙති පත්ථනා සමිජ්ඣති, පරිබ්බුතෙ භගවති චේතිය සත්තිකෙ වා බොධිරුක්ඛමූලෙ වා පටිමාය වා පච්චේකබුද්ධ බුද්ධසාවකානං වා සන්තිකෙ පත්ථනා න සමිජ්ඣති.”
(බුද්ධවංසට්ඨකථා 75)
චෛත්‍යාදියට පූජා පවත්වා ලොවුතුරා බුදුබව පැතීම නිෂ්ඵලය යි ද නො කිය යුතු ය. ඒ පින් ද ලොවුතුරා බුදුබව ලැබීමට උපනිඃශ්‍රය වේ. ඉහත දැක්වූ පාඨයෙන් දක්වන්නේ ලොවුතුරා බුදුවරුන් හමුවෙහි ප්‍රර්ථනාවක් නැතිව චෛත්‍යාදියෙහි පූජා පවත්වා කරන ප්‍රාර්ථනාවෙන් ම බුදුබව නො ලද හැකි බව ය. ජීවමාන ලොවුතුරා බුදුකෙනෙකුන්ට පූජාවක් කොට බුදුබව පතා නියත විවරණය ලබාගත් පින්වතාට ඔහු කරන සියලුම පින් ලොවුතුරා බුදුබව ලැබීමට උපනිඃශ්‍රය වේ.
සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනු පිණිස මඩගොහොරුවක හෙව තමන්ගේ ශරීරය ඒදණ්ඩක් කොට පුදා ඒ බුදුරදුන් හමුවෙහි ලොවුතුරා බුදුබව පැතූහ. ලොවුතුරා බුදු කෙනකුන් හමුවෙහි වුව ද බුදුබව පතන සැම දෙනාටම ප්‍රර්ථනාව සිදුවන්නේ නො වේ. එය සිදුවන්නේ කරුණු අටක් සම්පූර්ණ වුවහොත් ය. සුමේධ පණ්ඩිතයන්ට එදා ඒ කරුණු අට සම්පූර්ණව තිබිණ. එබැවින් එතුමන්ගේ ඒ පූජාව ඒකාන්තයෙන්ම ලොවුතුරා බුදුබව ලබාදීමට සමත් පිනක් විය. ලොවුතුරා බුදුවරයෝ යමකු තමන් වහන්සේ ඉදිරියේ බුදුබව පතා සිටියහොත් ඔහුට එය සිදුවන්නේ දැ යි අනාගතංශඥානයෙන් බලා වදාරා ඉදින් සිදුවන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන සේක. සුමේධ තාපසයන්ගේ ප්‍රාර්ථනාව සිදුවන බව දුටු දිවකුරු බුදුරජාණන් වහන්සේ:-
“පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ - බුද්ධො ලොකෙ භවිස්සති”
(බුද්ධවංස)
යනුවෙන් බුදුබව පතා සිටින මේ තවුසා අනාගතයෙහි බුදුකෙනෙක් වන්නේය යි ප්‍රකාශ කළ සේක. ලොවුතුරා බුදුකෙනෙකුන් විසින් එය ප්‍රකාශ කිරීමට, විවරණ දීමය යි කියනු ලැබේ. ලොවුතුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලැබූ මතු ඒකාන්තයෙන් බුදුවන්නාවූ උත්තම පුද්ගලයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධිසත්ත යන වචනය තේරුම් කර ඇත්තේ මෙසේ ය.
“බොධීති ඤාණං, බොධියා සත්තො බොධිසත්තො, ඤාණා වා පඤ්ඤා වා පණ්ඩිතො ති අත්ථො, පුරිමබුද්ධානං හි පාදමුලෙ අභිනීහාරතො පට්ඨාය පණ්ඩිතො’ව සො සත්තො න අන්ධබාලොති බොධිසත්තො, යථා වා උදකතො උග්ගන්ත්වා ඨීතං පරිපාකගතං පදුමං සූරියරස්මි සම්ඵස්සේන අවස්සං බුජඣිස්සති ති බුජ්ඣනක පදුමන්ති වුච්චති, එවං බුද්ධානං සන්තිකෙ බ්‍යාකරණස්ස ලද්ධත්තා අවස්සං අනන්තරායෙන පාරමියො පූරෙත්වා බුජ්ඣිස්සතීති බුජ්ඣනක සත්තොති පි බොධිසත්තො.”
(සංයුත්තනිකායට්ඨ කථා දු. භා. 16)
මේ අටුවා පාඨයෙන් කියැවෙන්නේ ද ලොවුතුරා බුදුකෙනෙකුන්ගෙන් නියත විවරණය ලබා ඇති මතු ඒකාන්තයෙන් පෙරුම් පුරා බුදුබව ලබන තැනැත්තා බෝධිසත්ත්ව නම් වන බව ය. බෝධිසත්ත, බෝසත් යන මේ අත්‍යුත්තම නාමය සම්බෝධියට පැමිණීමෙහි නියත බවක් නැති සාමාන්‍ය පුද්ගලයන්ට ආරූඪ කිරීමත්, ඒ නම සාමාන්‍ය පුද්ගලයන් විසින් තමාට ආරූඪකර ගැනීමත් ඒ උත්තම නාමය කිළිටි කිරීමක් නො වේ දැයි සිතා බැලිය යුතු ය.
පසේ බුදුවරුන් හමුවෙහි රහතුන් හමුවෙහි ප්‍රාර්ථනා කොට ද පසේ බුදුබව ලැබිය හැකි බව කියා තිබේ. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බව බුදු පසේබුදු, රහතන් හමුවෙහි ප්‍රාර්ථනා නොකළද ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමය, බලවත් ඕනෑකමය යන මේ දෙක ඇති කල්හි ලැබිය හැකි බව කියා තිබේ. එහෙත් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන්ගේ චරිත කථා වලින් පෙනෙන්නේ උන්වහන්සේලා ද ලොවුතුරා බුදුවරුන්ට පූජා සත්කාර කොට ලොවුතුරා බුදුවරුන් හමුවේම ප්‍රර්ථනා කොට ඒ තත්ත්වවලට පැමිණි බව ය.