මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළවී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසූකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.
දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.
එකෙණෙහි තථාගතයන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං නිසභො”යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.
උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියෙනි, සෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා”යි සැළ කලේය.
“උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති”යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහු ද? “උපාසකය, සැටඅටදහසක් ය”යි වදාළසේක. “ස්වාමීනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නො කොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ භික්ෂාව පිළිගන්නා සේක්වා”යි උපාසක කී ය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත්බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.
තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමීපයෙහි හුන්නේය.
ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ වීදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ “ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹවහන්සේ ද මේ ගෙට වඩිනු මැනව”යි කීය. “උපාසක, නොවටනේය”යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපයෙහි හිඳ “ස්වාමීනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති යි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමීනි, කිමෙක්ද? ඒ තෙරුන් වහන්සේ නුඹවහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ”යි විචාළේ ය.
බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, “එසේ ය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අභ්‍යවකාශයෙහි ම වෙසෙන්නේය”යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාළ සේක.
මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී “මට අන් සැපතක් කුමටද? මම ද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි”යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත්දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශාස්තෲන්වහන්සේ ගේ පාමුල වැදහෙව “ස්වාමීනි, සත්දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර - බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදුකෙනකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වේවා”යි පැතී ය.
එකල්හි තථාගතයන් වහන්සේ “මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේ දෝ”යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, “උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛ්‍යයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය”යි වදාළ සේක. එය අසා උපාසකතෙමේ බුදුවරුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රීතියට පැමිණියේ ය. හෙතමේ ඉන් පසු ද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන.
අරහං ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජාසත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේකප්‍රකාර සැප සම්පත් ලබා, මෙයින් අනූඑක්වන කප විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්ධුමතී නගරය උපනිඃශ්‍රය කොට වැඩවෙසෙන කල්හි දෙව්ලොවින් ච්‍යුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේ ය.
එකල්හි විපස්සී බුදුන්වහන්සේ සත්වසරකට වර බැගින් ධර්මදේශනා පවත්වන සේක. දහම් දෙසන දිනය ළං වන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලෙහි පතළ කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසීමට යාම සඳහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇති වෙයි. ඒ ආරංචිය බ්‍රාහ්මණයාට ද ඇසිණ. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැඳීමට තුබුණේ එක් වස්ත්‍රයක් පමණෙකි. ඒ නිසා ඔහුට ඒකශාටක බ්‍රාහ්මණය යි ද කියති. ඔහුගේ බිරියට හැඳීමට තිබුණේ ද එක ම වස්ත්‍රයෙකි. මේ දෙදෙනාටම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබිණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටත යා නො හැකි විය. බමුණා පිටත යන කල්හි බැමිණිය ගෙයි රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙයි රැඳෙයි.
ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කථා කොට “සොඳුර, තී දහම් ඇසීමට යන්නේ රාත්‍රියෙහි ද නැතහොත් දවාලෙහි දැ”යි කී ය. “හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි ය”යි බමුණා ගෙදර නවතා ඕ තොමෝ ඒ වස්ත්‍රය පොරොවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියා ය. ඇය දහම් අසා පැමිණි කල්හි රාත්‍රි කාලයේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය.
එසමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩ හිඳ අතිමධුරවූ බ්‍රහ්මස්වරයෙන් අසනුවන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් ඇසුවාවූ ඒකශාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමයේදීම ඉමහත් ප්‍රීතියක් ඇති විය.
ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුළා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකෙණෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපණ. “අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන හොත් අපට ගෙයිම සිටින්ට වෙති”යි ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේය. මධ්‍යම යාමේදී ද ඔහුට ශරීරය පවා පිණායන බලවත් ප්‍රීතිය උපණ. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙර සේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිතා නොදෙන්නට සිතා ගත්තේය. පශ්චිම යාමයේදී ද ඔහුට මහත්වූ ප්‍රීතිය උපණ. “පසු කුමක් වුවත් මේ අත්‍යුත්තම ධර්මයෙන් මා පිණවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි”යි වස්ත්‍රය හකුළා ශාස්තෲන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇති විය. ඒ ප්‍රීතියෙන් අත්පොළසන් දිණ. “මා දිනුවා! මා දිනුවා!! ”යි ඔහුගේ මුවින් මහහඬින් ඉබේම කියවිණ.
බන්ධුම රජතුමා ද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඬ බිය සැක ඇති කරන්නෙක. එය ඔවුන්ට අප්‍රිය හඬකි. එබැවින් රජතුමා “ඔහු කුමක් කියන්නේ දැ”යි විමසීමට පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ගොස් ඇසූ කල්හි, ඒකශාටක බ්‍රාහ්මණ කියනුයේ “අන්‍යයෝ කඩු දුනු ආදිය ගෙන යුද කොට පරසේනාවන් දිනාගන්නාහ, එය ආශ්චර්‍ය්‍යක් නොවේ, මම වනාහි පස්සෙන් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරු සිත මැඩ, පොරවා සිටි සළුව දශබලධාරීන් වහන්සේට පිදුවෙමිය, මම ඒ මසුරුකම දිනිමි”යි කීය.
පුරුෂ තෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා “තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නො තේරුණේය, බමුණාට ඒ බව වැටහුණේය”යි සතුටු වී ඔහුට සළු යුවලක් යැවීය. බ්‍රාහ්මණ එය පිළිගෙන “මේ රජු කලින් තුෂ්ණීම්භූතව සිටි මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමටද? මේවාත් බුදුනටම පුදමි”යි ඒ වස්ත්‍ර ජෝඩුව ද බුදුන්ගේ පාමුල තැබීය.
රජතුමා “බ්‍රාහ්මණයා කුමක් කෙළේ දැයි ” විචාරා “ඒ වස්ත්‍ර ද ඔහු බුදු රජුන්ට ම පිරිනැමුවේය”යි අසා නැවතත් බමුණාට සළු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුනට පිදුවේ ය. ඒ බව අසා රජු නැවත ඔහුට සළු සතරක් යැවී ය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුන්ට පුදත් පුදත්ම රජු ද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යැවූ කල්හි බ්‍රාහ්මණ තෙමේ “මෙසේ වස්ත්‍ර පිදීම වැඩි වැඩි කොට ගැනීමක් වැනිය”යි තමාට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර ගෙන තිසක් බුදුනට පිදුවේය. එතැන් පටන් ඒකාශාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය.
දිනක් ඒකාශාටක බ්‍රාහ්මණ ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක, රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඔහුට දී “මෙතැන් පටන් මේ කම්බිලිය පොරවා ගෙන දහම් අසන්න ය”යි කීය. බ්‍රාහ්මණ තෙමේ “මේ වටනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදු රදුන්ටම පිදීම යහපතැ”යි සිතා ගඳකිළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇඳමත වියනක් කොට තබා ගියේ ය.
එක් දවසක් රජු විහාරයට ගොස් ගඳකිළිය තුළ බුදුරදුන් සමීපයෙහි හිඳගෙන සිටියේය. තථාගත ශරීරයෙන් නික්මෙන ෂට්වර්ණ රශ්මීන් වැදී ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිණ. රජු කම්බිලිය දැක හැඳින “ස්වාමීනි, මේ අපගේ ය, අප විසින් මෙය ඒකශාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේ ය”යි කීය. “මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේ ය, බ්‍රාහ්මණයා විසින් එය අපට පුදනු ලද්දේ ය”යි වදාළහ.
එකල්හි රජු “මේ බ්‍රාහ්මණයා යුතුකම් දන්නේය, අපි ඔහු මෙන් යුතුකම් නො දනිමුය”යි ඔහු කෙරෙහි පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජන සෑම දෙයකින්ම අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුර ද දුන්නේ ය.
කලින් කිසිවකුගේ සැලකිල්ලට භාජනය නො වී සිටි ඒ දුප්පත් බමුණාහට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහං ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජා කිරීමේ කුශල බලයෙනි. එබඳු ගුණ නැති අනිකකුට වස්ත්‍ර දහසක් වස්ත්‍ර දස දහසක් දුන ද එබඳු විපාකයක් නො ලැබෙන්නේ ය.
මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිවුසැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම් ද කොට ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්නේ ය.
සසර සැරිසරන්නාවූ ඒකශාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප යන දෙබුදුවරයන් වහන්සේට අතර කාලයේ බරණැස් නුවර කුල ගෙයක උපන්නේය. ඔහු එක් දිනක් වනයෙහි ඇවිදිනා වේලෙහි ගංතෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදු කෙනෙකුන් නුවාවකට රෙදි මඳ වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, “ස්වාමීනි, සිවුර හකුළන්නේ කුමක් නිසා දැ”යි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන් වහන්සේට පුදා “මේ පිනෙන් උපනුපන් භවයෙහි මට කිසිවකින් අඩුවක් නො වේවා”යි පැතීය.
එදින ඔහුගේ නිවසේ ඔහුගේ බිරිය හා නැගණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඬු සිඟා වැඩි සේක. එකල්හි නැගණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා “මේ නපුරු ගැහැණියගෙන් යොදුන් සියයකින් දුරුවේවා”යි පැතීය.
ඔහුගේ බිරිය මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා “මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළදන්නට නො දෙමි”යි සිතා පසේ බුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන පිණ්ඩපාතය විසි කර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුන්ට දුන්නා ය. අනිත් තැනැත්තී, එය දැක “මෝඩිය, වුවමනා නම් මට බණින්න, ගසන්න, මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා දීම යුතු නැතැ”යි කීවාය.
එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන මඩ ඉවත් කොට සෝදා පිරිසිදු කොට සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කොට “මේ පිණ්ඩපාතය සේ ම උපනුපන් තැන මාගේ ශරීරය ද අලෝකවත් වේවා”යි ප්‍රාර්ථනා කළා ය ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු ද දිවි ඇති තාක් පින් කොට දෙව්ලොව උපන්නෝය.
උපාසක තෙමේ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරියද ඒ කාලයේ එවැනිම සිටුගෙයක උපන්නා ය. වැඩිවිය පැමිණි කල්හි ඕ ඒ සිටුපුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනන ලද්දී ය. ඇයට එතෙක් විපාක නුදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියකින් මෙන් දුගඳ නික්මෙන්නට විය. සිටු ගෙය, වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගඳ ගසන්නට විය. “මේ ගඳ කොයින් එන්නේදැ”යි ඇසූ සිටුපුත්‍රයා හට “මේ අලුත් මනාලිය ගේ ගඳය”යි කී කල්හි ඔහු මනාලිය ආ යානයෙන් ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පවා දෙන ලදුව සත් තැනකින් ඒ ගඳ නිසා ආපසු එවන ලද්දී ය. සිය නිවසේ ඉන්නා කල්හි ඇයගේ ඒ දුගඳ නැත.
එසමයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේ පිරිනිවුණු සේක. උන්වහන්සේගේ ධාතූන් සඳහා රන් ගඩොලින් චෛත්‍යක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදූ “සත් තැනකින්ම ආපසු එවන ලද මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් දැ”යි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවූවාය. ඒ රන්ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ ද විය. ඝන සතරඟුලක් විය. ඕ ඒ රන්ගඩොලය හා හිරියල් මනෝසීල බදාම ද මානෙල් මල්මිටි අටක් ද ගෙන චෛත්‍යය කරන තැනට ගියා ය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වෙලාව විය. සිටුදුව එහි ගොස් “මේ ගඩොලය චෛත්‍යයෙහි තබා බඳින්න”යයි චෛත්‍යය බඳින්නාට කීවා ය. “මැණියෙනි, ඔබ ආයේ හොඳ වෙලාවකය. අප සිටියේ මේ ගඩොල් පෙල සම්පූර්ණ කිරීමට ගඩොලයක් නැතිවය. ඔබ අතින්ම ඔය ගඩොලය මෙහි තබන්නය”යි සෑය බඳින්නා කීය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැඳ “මේ පිනෙන් උපනුපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත් මුවෙන් මානෙල් මල් සුවඳත් සුවදත් විහිදේවා”යි පැතුවාය.
එකෙණහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයාහට ඇය සිහි විය. නගරයෙහි නැකැත් කෙළියක් ආරම්භ කරන ලද්දේ ය. සිටු පුත්‍රයා “එකල තමාට ගෙන ආ සිටුදූ කොහිදැ”යි සේවකයන්ගෙන් විචාළේය. “ඇගේ ගෙයිම ඇතය”යි සේවකයෝ කීහ. “නැකැත් ක්‍රීඩාව සඳහා ඇය නැවත ද ගෙන එව්” යයි සිටුපුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැඳ සිටි කල්හි “කුමට ආවහු දැ”යි ඕ විචාළා ය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. “දරුවෙනි, මාගේ ආභරණ සියල්ල චෛත්‍යට පූජා කෙළෙමි. දැන් මට පැළඳ යාමට ආභරණ නැතැය”යි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටුපුත්‍රයාට දැන්වූහ. එකල්හි සිටුපුත්‍රයා “පළඳනා ලැබිය හැකිය. ඇය ගෙන එන්නය”යි කීය. ඔවුහු කුමරිය කැඳවා ගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගෙයිම සඳුන් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. සිටුපුත්‍රයා පුදුම වී “පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණුගඳ විහිදුනේය. දැන් තිගේ කයින් සඳුන් සුවඳ නික්මෙන්නේ ය, මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන්නේ ය, මේ ආශ්චර්ය්‍යය කිමෙක් දැ”යි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටුපුත්‍රයාට කීවාය.
සිටුපුත් මේ බුදු සස්න නෛයර්යාණිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍යය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේ ය. ඔවුහු ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්හ.
සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇමති පවුලක උපන්නේය. සිටු දූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දුවව උපන්නීය. ඔවුන් වැඩිවිය පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකැත් කෙළියක් ඇරඹිණ. හෙතෙමේ නැකැත් කෙළියට සැරෙසෙනු සඳහා මවගෙන් සළුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසිදු කළ වස්ත්‍රයක් දුන්නාහ. “එය දළය”යි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මව් අනික් සළුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මවු “දරුව මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නැත ය”යි කීවා ය. “මෑණියෙනි, එසේ නම් මම ලැබෙන තැනකට යෙමි”යි කුමරු කීය. “දරුව මම නුඹට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි”යි මවු කීවා ය. “කීවාට මොහු කොහි යන්නේ ද? අතන මෙතැන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැ”යි මව සිතුවාය.
ඇමති පුත් අතීත කුශලයේ මෙහෙයීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් ගල් පුවරුවට වී හිස වසා පොරොවා නිදා ගත්තේ ය. එය බරණැස් රජු කළුරිය කළ සත්වන දිනය විය. අමාත්‍යයයෝ රජුගේ අවසාන කෘත්‍යය සිදු කොට රජ මිදුලෙහි රැස්ව “අප රජුට ඇත්තේ එක් දුවක් පමණය, පුත්‍රයකු නැත, රජකු නැතිව රාජ්‍යය පැවැත්වීම දුෂ්කරය, ඒ නිසා කෙනෙකු රජ කමට පත්විය යුතුය, රජ වන්නේ කවුරුන් දැ”යි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු “රජකමට කෙනෙකු තේරීමට කල් නො යැවිය යුතු ය. එයට පිනැතියෙකු සොයනු පිණිස ඵුස්සරථය යවමු”යයි කීය. සෑම දෙන එයට එකඟ වුහ.
ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්වේතච්ඡත්‍රය සහිත පඤ්ච රාජ භාණ්ඩ තබවා, කුමදුවන් අසුන් සිව්දෙනකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්ය්‍යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මඟුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු “පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යතිය” කියා නවත්තන්නට කථා කළහ. පුරෝහිත බමුණු එයට ඉඩ නුදුන්නේය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියෙලව සිට ගත. පුරෝහිත තෙමේ කුමරු ගේ පතුල් විවෘතකර බලා “මෙ තෙමේ දඹදිව පමණක් නොව සතරමහාද්වීපයට වුවද රජකමට සුදුසුය”යි කියා නැවත නැවත ද තෙවරක් තූර්ය්‍යවාදනය කරවී ය. කුමරු මුහුණු විවෘත කොට බලා මහ පිරිස දැක, “කුමට මෙහි අවු දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍යය පැමිණියේය”යි පුරෝහිත කීය. “රජතුමා කොහිදැ”යි කුමරු ඇසීය “සිවිරජතුමා ස්වර්ගස්ථ වීය.”යි පුරෝහිත කීය. “කොපමණ කල් ගතවී දැ”යි කුමරු ඇසීය. “සත්දිනකැ”යි පුරෝහිත කීය. “රජුට දූ පුතුන් නැති දැ”යි විචාළේය. “දේවයන් වහන්ස, දුවක් පමණක් ඇතැ”ය යි කීය. “එසේ නම් රජය කරමි”යි කුමරු කීය.
එකල්හි ඒ උයනහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කෙළේය. අභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටනා සළුවක් එළවූහ. එකල්හි කුමරු “මේ කුමක්දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, හැඳීමට සළුවෙකැ” කීහ. “මේ සළුව දළසළුවක් නොවේ ද? මෙයට සියුම් සළුවක් නැත්තේ දැ”යි කුමරු ඇසීය. “දේවයන් වහන්ස, මිනිස්ලොව නම් මෙයට වැඩි සියුම් සළු නැත”යි කීහ. “නුඹලාගේ රජ හැන්දේ මෙවැනි වස්ත්‍ර දැ”යි ඇසීය. “එසේය, දේවයනි”යි ඇමතියෝ කීය. “නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙති යි සිතිමි, රන් කෙණ්ඩියට පැන් ගෙනෙව්. වස්ත්‍ර ලබන්නෙමි”යි කුමරු කීය. රන් කෙණ්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන් ගෙන නැගෙනහිර දිගට ඉස්සේ ය. එකෙණෙහිම ඝන පොළොව බිඳ ගෙන කප්රුක් අටක් පැන නැංගේ ය. දකුණු බස්නාහිර උතුරුදිග්වලට ද පැන් ඉස්සේ ය. ඒ දිසාවල ද අට බැගින් කප්රුක් පැන නැංගේ ය. ඉක්බිති ඔහු එක් දිවසළුවක් හැඳ එකක් පොරවා මින් පසු “නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නො කටිත්වා යි බෙර හසුරුවව්”ය යි කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙට පිවිස මහත් සම්පත්තියෙන් විසුවේ ය. ඒ පසේ බුදුනට උතුරු සළුව පිදීමේ විපාකය ය.
නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජඹෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළඳමින්ම කල් යවන එතුමා ගැන කණගාටු වන ආකාරයක් දැක්වූවාය. “දේවියෙනි, මේ කිමෙක්දැ”යි රජු ඇසූ කල්හි දේවිය “දේවයන් වහන්ස, අතීතයෙහි පින් කළ නිසා දැන් ඔබගේ සම්පත්තිය ඉතා මහත් ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහුය”යි කීවාය. එකල්හි රජතුමා “දේවියනි, කාහට දන් දෙම් ද සිල්වත්හු නැතැ”යි කීය. “දේවයන් වහන්ස මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතුන් වහන්සේ සොයා දෙමි”යි දේවිය කීවා ය. පසු දින රජතුමා ප්‍රාචීනද්වාරයෙහි දන් පිළියෙළ කරවී ය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිස ලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙන සේක් නම් සෙට මෙහි වැඩ වදාරා අපගේ භික්ෂාව පිළිගන්නා සේක්වා”යි ආරාධනා කළා ය. එදිග රහතන් වහන්සේ නො වූහ. පිළියෙළ කළ සත්කාර දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසු දින දකුණු දොරටුවෙහි දන් පිළියෙළ කොට එසේ කළාය. එදින රහත්හු නො පැමිණියහ. තෙවන දිනයෙහි බස්නාහිර දොරටුවෙහි දන් පිළියෙළ කර ආරාධනා කළා ය. රහත්හු නොපැමිණියහ. සිවුවන දිනයෙහි උතුරු දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේ බුදුවරුන් අමතා “නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේ ය. ඔහුගේ ආරාධනාව ඉවසන්න”ය යි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසු දින අනෝතත් විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් “දේවයන් වහන්ස, පන්සියයක් පසේබුදුවරු වැඩම කළහ”යි රජුට කීහ.
රජතුමා දේවිය ද සමඟ එහි ගොස් වැඳ පසේබුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයෙහි තමන් ජීවත් වන තාක් එහිම වැඩ වෙසෙන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන් වහන්සේලා ආරාධනාව පිළිගත් කල්හි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවූහ.
රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝකාලයක් ගත වීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹීමක් ඇති විය. රජතුමාට එය සන්සිඳවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේබුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේ ය.
රජතුමා ගිය තැන් පටන් දේවිය පසේබුදුවරුන්ට සිරිත් පරිදි උපස්ථාන කළා ය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිඳවා පෙරළා පැමිණීමට කලින් පසේබුදුවරුන්ගේ ආයු ගෙවිණ. මහාපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලේහි ධ්‍යානසුඛයෙන් කල්යවා අරුණෝද්ගමනයේදී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තු වී සිට ගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරු ද එදින ඒ වේලාවෙහි පිරිනිවියාහු ය.
දේවිය පසුදින පසේ බුදුවරුන් වළදන තැන ගොම ගාවා මල් විසුරුවා සුවඳ දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා ය. පසේ බුදුහු නොපැමිණියහ. බොහෝ වේලා බලා සිට ද පසේබුදුවරුන් නො පැමිණෙන කල්හි “ආර්‍ය්‍යන් වහන්සේලාට යම්කිසි අපහසුවක් වී ඇති දැ යි බලා ගෙන එව”යි කියා පුරුෂයකු යැවී ය. ඔහු ගොස් මහාපදුම පසේබුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නො දැක සක්මනෙහි බැලූ කල්හි හේත්තු වී සිටිනු දැක සමීපයට ගොස් “ස්වාමීනි, රජගෙදරට වැඩමවීමට කාලය”යි කීයේ ය. පසේබුදුන් වහන්සේගෙන් පිළිතුරක් නො ලත් කල්හි නිදා සිටිති යි සිතා උන්වහන්සේගේ පිටිපතුල අත ගෑවේ ය. පිටිපතුල් සිසිල්ව තදව තුබුණෙන් පිරිනිවි බව දැන දෙවන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ද පිරිනිවී ඇති බව දැන තුන්වන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වී ය. දේවිය හඬමින් නුවරුන් හා එහි ගොස් පසේබුදුවරුන්ගේ සිරුරු අදාහන කරවා ධාතූන් ගෙන චෛත්‍යක් කරවී ය.
රජතුමා පසල්දනව්ව සන්සිඳවා පෙරලා එනුයේ පෙර ගමන් කළ දේවියගෙන් පසේබුදුවරුන්ගේ සුවදුක් විචාළේ ය. “දේවයන් වහන්ස, පසේබුදුවරයෝ පිරිනිවන් පා වදාළහ”යි කීවා ය. එකල්හි රජතුමා “මෙතරම් පණ්ඩිත පසේබුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපට ඉන් මිදීමක් කොයින් දැ”යි සිතා නැවත නගරයට නො ගොස්ම උයනට ගොස් දෙටු පුතා ගෙන්වා ඔහුට රජය භාර කොට තෙමේ එහිම පැවිදි විය. “දේවිය ද මොහු පැවිදි වූ කල්හි මම කුමක් කෙරෙම් දැ”යි සිතා ඕ ද පැවිදි වූවා ය. ඔවුන් දෙදෙනා ධ්‍යාන භාවනා කොට ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නෝ ය.
ඔවුන් බ්‍රහ්මලෝකයේ වෙසෙන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩ වදාළ සේක. එකල්හි රජු බඹලොවින් ච්‍යුතව මගධරට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි උපන්නේය. ඔහු පිප්ඵලිමාණව නම් විය. දේවිය මදුරට සාගල නගරයේ කෝසියගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නාය. ඕ බද්දකාපිළානි නම් වූවාය.
පිප්ඵලිමාණව විසි අවුරුදු වයසටත් බද්දකාපිලානි සොළොස් අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්ඵලිමාණවගේ මාපියෝ “දරුව, දැන් ඔබ වැඩිවිය පැමිණ සිටින්නෙහිය, කුලපරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතුය. ඔබට දැන් කුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැ”යි කීය. පිප්ඵලිමාණව තෙමේ “මෑණියනි, පියාණෙනි, මට එබන්දක් නොකියනු මැනව, මම ඔබ දෙදෙනා ජීවත් වන තුරු ඔබ දෙපලට උපස්ථාන කර ඉන් පසු පැවිදි වන්නෙමි”යි කීහ. ඔවුහු දින කීපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවාය.
පිප්ඵලිමාණව තෙමේ උපායකින් මවුගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔප ලවා වස්ත්‍ර හඳවා නානාලංකාරයෙන් සරසවා මවු කැඳවා ඇයට රන්රුව දක්වා “මැණියනි, මෙබඳු කතක් ලද හොත් ගෙයි වෙසෙමි, නො ලද හොත් නො වෙසෙමි”යි කීය.
බැමිණිය පණ්ඩිත බැවින් “අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක, මොහු හා එක්ව පින් කළ කතක් ද සිටිය හැකි ය, ඇති නම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකි ය. ඇය සෙවිය යුතුය”යි සිතා බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා “මේ රූපයට සමාන රූ ඇති කාන්තාවක් අපට සෑහෙන පවුලක දුටහොත් එතැනට අත්තිකාරමක් වශයෙන් මේ රූපය දී එත්වා”යි කියා කාන්තාවක් සෙවීමට බමුණන් පිටත් කර යැව්වා ය.
“බමුණෝ කොහි යන්නෙම්දෝ ”යි සිතන්නාහු “මදු රට ලස්සන කතුන් උපදනා රටෙක, අපි පළමු කොට එහි යමු”ය යි සිතා එහි ගොස් සාගල පුරයට ඇතුළු වූහ. ඔවුහු එහි දී ගෙන ගිය රන්රුව එක් නානතොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රාකාපිළානිගේ කිරිමව ඇය නහවා සරසා සිරියහන්ගැබ හිඳුවා තොමෝ නෑමට එන්නී රන්රුව දැක “භද්‍රා”ය යි සිතා කිපී “මේ අවිනීත කෙල්ල කුමට මෙහි අවුත් ඉන්නී දැ”යි තර්ජනය කොට කන්මුලට අතුල්පහරක් දිණ. ඇගේ අත්ල කළුගලකට ගැසූ කලෙක මෙන් පුපුරු ගැසුවේය. ඕ පස්සට පැන “මේ රළු මහ බෙල්ලක් ඇත්තියට ස්වාමිදුව යි රැවටුණෙමි ය, මෑ අප ස්වාමිදුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුය”යි කීවා ය. එය ඇසූ බමුණෝ ඇය වටා සිට “තිගේ ස්වාමිදුව එසේ ම දැ”යි ඇසුවෝය. “මැගේ කිනම් ලස්සනක් ද මගේ ස්වාමි දූ මැයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලස්සනය, ඈ දොළොස්රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් වුවමනා නැත”ය යි ඈ කීවාය. “එසේ නම් අපි එහි යමු”ය යි රන්රුව රථයෙහි තබා ගෙන ඇය හා ගොස් කෝශිය ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගෘහද්වාරයෙහි සිට තමන්ගේ පැමිණීම දන්වා යැවූහ.
බ්‍රාහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට “කොහි සිට අවුදැ”යි විචාරා “මගධරට මාතොට නම් ගම කපිලබ්‍රාහ්මණගේ නිවසෙන් ය”යි කී කල්හි ආ කරුණ විචාළේය. ඔවුහු තමන් ආ කරුණ බමුණාට දැන්වූහ. එකල්හි බමුණා “යහපත දරුවෙනි, ඒ බ්‍රාහ්මණ පවුල අප හා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනක , දැරිය දෙන්නෙමි”යි කියා ඔවුන් ගෙන ගිය පඬුරු පිළිගත්තේය. දැරියක් සෙවීමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්ඵලීමාණවට දැන්වූහ.
එකල්හි පිප්ඵලි මාණවක තෙමේ “මම එබඳු දැරියක් නො ලබති යි සිතීමි. ලදුම්හ යි මොහු කියති, මෙය නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි”යි සිතා “භද්‍රාවෙනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමට ය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නො වී තමාට සුදුසු සැමියකු ලබා ගන්න ය”යි රහසින් හස්නක් ලීවේ ය. භද්‍රා කුමරිය ද තමා සැමියකුට පාවා දෙන්නට යන බව අසා පිප්ඵලීමාණවට රහසින් හස්නක් ලීවා ය. එය ලීවේ ද තමා පැවිදිවන බලාපොරොත්තුවෙන් සිටින නිසා පිප්ඵලී මාණවකහට අන් බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහා ය. ඔවුන් දෙදෙනාගේම හසුන් සේවකයන් අත යැවූහ. අතරමග එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරා දමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදෙනාටම යැවූහ. වැඩිහිටියන්ගේ වුවමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදෙනාගේ ම සමාගමය සිදු විය.
එදින පිප්ඵලී ද මල් දමක් ගොතවා ගත්තේ ය. භද්‍රා ද මල් දමක් ගොතවා ගත්තාය. රාත්‍රී භෝජනයෙන් පසු සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා “යමෙකුගේ පැත්තේ මල්දම් මලානික වුවහොත් ඔහුට රාගසිත් ඇතිවූ බව දත යුතුය” කියා එකිනෙකාගේ කයෙහි නො ගැටෙන සේ ඉතා පරෙස්සමින් නිදි නො ලබා රාත්‍රිය ගත කළෝය. එක යහනෙහි ඔවුනොවුන් නො ගැටී ශයනය කරන්නා වූ ඔවුහු දවල් කාලයේ ද ඔවුනොවුන් මුහුණ බලා රාග සිතින් සිනාසීමකුදු නො කරන්නාහ.
ඔවුහු මාපියන් ජීවත්වනතාක් ධනපරිහරණයෙන් ද තොරව විසූහ. මාපියන් ඇවෑමෙන් ඔවුනට එය කරන්නට සිදු විය. පිප්ඵලී මාණවකට සත් අසූකෝටියක් ධනය හිමිව තිබිණි. ඔහුගේ කරමාන්ත ප්‍රදේශය දොළොස් යොදුනක් විය. ඔහුට යන්ත්‍ර යෙදූ වැව් සැටක් විය, අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇණි තුදුසක් ද, අස් ඇණි තුදුසක් ද, රිය ඇණි තුදුසක් ද වූහ.
දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවරන ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසෑ තැන්වලින් පණුවන් මතුකොට කාකාදීන් විසින් කනු දැක, “මොවුහු කුමක් කත් දැ”යි අසා “ආර්‍ය්‍ය, පණුවන් කති”යි කී කල්හි “මොවුන් කරන මේ පව හිමිවන්නේ කාට දැ”යි ඇසීය. “ආර්‍ය්‍යෙනි, ඒ පාපය හිමිවන්නේ ඔබටය”යි ජනයෝ කීහ. එකල්හි පිප්ඵලී මාණවක තෙමේ “මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි”යි සිතා ගත්තේ ය.
එදින භද්‍රා ද ඇතුළු මිදුලෙහි තලසැළි තුනක් වනා කිරිමවුන් හා සිටින්නී කවුඩන් විසින් තල පණුවන් කනු දැක “මොවුන් කුමක් කත් දැ”යි අසා “තල පණුවන් ය”යි කී කල්හි “මෙහි පාපය වන්නේ කවරකුට දැ”යි ඇසීය. කිරිමවුහු “ඔබට ය”යි කිවූය. “මෙතෙක් සතුන් කරන පාපය හිමි වන්නේ මට නම් ජාති දහසකිනුදු මට සංසාරයෙන් ගොඩ නැඟෙන්නට නො පිළිවන්නේ ය, මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා සතර රියන් වස්ත්‍රයක් හා බත් නැළියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට භාර දී පැවිදිවන්නෙමි”යි භද්‍රා සිතුවා ය.
මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදයට නැග මහඟු පලඟෙහි හිඳ ගත්තේ ය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි බොජුනක් එළවූහ. දෙදෙනාම ආහාර ගෙන සේවකයන් බැහැරවූ කල්හි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා “සොඳුර, ඔබ මේ ගෙට එන කල්හි කොතෙක් ධනය ගෙන ආවෙහි දැ”යි කීය. “හිමියෙනි, ගැල් පනස් පන් දහසකැ”යි භද්‍රා කීවා ය. “ඒ සියල්ලත් මේ ගෙයි ඇති සත් අසූ කෝටියක් ධනයත් සියලු ගම් බිමුත් ඔබටම පවරමි”යි මානවක කීය. “ඔබ කොහි යන්නට දැ”යි භද්‍රා ඇසුවා ය. “මම පැවිදි වන්නෙමි”යි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නී “මමත් පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරු සිටියෙමි”යි කීවා ය.
ඔවුනට භවත්‍රය ගිනිගත් ගෙයක් සේ වැටහිණ. ඔව්හු වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍ර ගෙන්වා ගෙන ඔවුනොවුන්ම හිසකේ ඉවත් කර ගෙන “ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසා ය”යි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැස ගියෝ ය. ගෙයි විසූ කිසිවෙක් ඔවුන් නො හැඳින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාසකර්මකාර ග්‍රාමද්වාර වලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඬමින් පාමුල වැඳ වැටී “අප කුමට අනාථ කළෝ දැ”යි කිවූහ. “දරුවෙනි, අපි භවත්‍රය ගිනිගත් ගෙයක් සේ පෙනී පැවිදි වීමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක් ද මඳවන්නේ ය. දැන් තෙපි ම තොපගේ හිස් සෝදා ගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජීවත් වවු ”ය යි කියා ඔවුන් හඬද්දී ම තාපස යුවළ නික්ම ගියහ.
පිප්ඵලි මාණවකහට පැවිදි වීමෙන් පසු ව්‍යවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමය ය. මඟට පිළිපන් තාපසතුමා සිතනුයේ “මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රීරත්නයක් එන්නී ය. මෙසේ යන අප දන්නා සමහරුන් “පැවිදිවීත් මොහුනට වෙන් විය නොහැකැයි සිතනු ඇත. පැවිදි වී මොහු අකටයුත්තක් කෙරෙතියි අප කෙරෙහි සිත් දූෂ්‍යකර ගෙන ඇතමුන් අපායට ද යනු ඇත. එබැවින් මා විසින් මැය හැර යා යුතුය”යි සිතී ය.
ස්ථවිරතුමා යනුයේ දෙමන්සලකට පැමිණ එහි නැවතිණ. භද්‍රා ද පැමිණ ස්ථවිරයන් වැඳ සිටියා ය. එකල්හි ස්ථවිරතුමා කියනුයේ “සොදුර, තී වැනි ශෝභන ස්ත්‍රීයක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ “පැවිදි වීත් මොවුනට වෙන් විය නොහෙති”යි අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ගෙන අපායට යන්නාහ. එබැවින් මේ දෙමඟින් තී එක් මඟක් ගනුව, මම අනික් මඟ ගනිමි”යි කීය.
එකල්හි භද්‍රා කාපිළානි කියන්නී “එසේ ය ආර්‍ය්‍යන් වහන්ස, මාගම පැවිද්දන්ට කිලුටෙක, මොවුහු පැවිදිවීත් වෙන් නොවෙති යි දොස් දකිති. නුඹ වහන්සේ එක් මඟක් ගනු මැනව, අප වෙන්වෙන්නෙමු”යි තුන්යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැඟට ඇඳිලි බැඳ “කල්ප ලක්ෂයක් පැවති මිත්‍රසන්ථවය අද කෙළවර වන්නේ ය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේ ය. මම වමින් ඉන්නා ජාතියේ ය. එබැවින් නුඹ වහන්සේට දකුණු මඟ සුදුසු ය. අපට වම් මඟ සුදුසුය”යි කියා වම් මඟට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන් වෙන කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය. අහස ගිගුරුවේ ය. සක්වළගල මහ හඬ නැංවී ය.
මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩ වෙසෙන සේක් පොළොව සැලෙන හඬ ඇසී කවරකු නිසා පොළොව කම්පා වේදැ”යි බලන සේක් පිප්ඵලි මාණවක භද්‍රාකාපිළානි යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැක, “මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාණ ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින් ද ඔවුනට සංග්‍රහ කිරීම වටනේය”යි ගඳකිළියෙන් නික්ම කිසිවකු නො අමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පා සිවුරු ගෙන තුන් ගව්වක් දුර පෙර ගමන් කොට රජගහ නුවරට හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුක යට පර්යංකය බැඳ වැඩ හුන් සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දකු මෙන් නො හිඳ ඔවුන්ට හැඳින ගත හැකි වනු පිණිස අසූ රියන් තැන් ගන බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ හුන් සේක.
එකල්හි ඒ වනය කුඩ පමණවූ ද රියසක් පමණවූද ගෙවල් පමණවූද බුද්ධරශ්මි පුඤ්ජයන් ඔබ මොබ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳ දහසක් පෑවූ කලෙක මෙන් ආලෝකවත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන් ද, මොනොවට පිපුණු සුදු රත් නෙළුම්මලින් ගැවසුණු ජලතලයක් මෙන් ද, වනය බැබලිණ. නුගරුකෙහි කඳ සුදු ය, පත් නිල්ය, ගෙඩි රතු ය, එදා සියලු නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණ. මහකසුප් තෙරණුවෝ දුරදීම බුදුරදුන් දැක “මුන්වහන්සේ මාගේ ශාස්තෲවරයාණෝය, මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය”යි දුටු තැන සිට නැමි නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක් හිඳ වැඳ “සත්ථා මෙ භන්තේ භගවා, සාවකෝ හමස්මි, සත්ථා මෙ භන්තෙ භගවා, සාකො හමස්මි” යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමිය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකවෙමි”යි කීය.
එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයකු නො දැනම දනිමියි කියා නම් නො දැකම දකිමි යි කියා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය, කාශ්‍යපය, මම වනාහි මේ චතුස්සත්‍ය ධර්මය දැන ගෙනම දනිමි යි කියමි, දැකම දකිමි යි කියමි”යි වදාරා “තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං” යනාදීන් අවවාද තුනක් දී වදාළ සේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනීම ම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.
මහාකාරුණිකවූ බුදුරජාණන් වහන්සේ, අවවාද තුනෙන් මහාකසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නමැති උත්තම තත්ත්වය ප්‍රදානය කොට තෙරුන් වහන්සේ ද සමඟ බහුපුත්‍රිකන්‍යග්‍රෝධ වෘක්ෂමූලයෙන් බැහැරව මඟට පිළිපන් සේක. බුදුන් වහන්සේ මඳ දුරක් ගමන් කොට මඟින් ඉවත්ව, එක්තරා ගසක් මුල වැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූ සේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක, තමන් වහන්සේගේ පටරෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුළහ.
ශාස්තෲන් වහන්සේ සඟළ සිවුර මත වැඩ සිටිසේක. ඉක්බිති උන්වහන්සේ එය පිරිමදිමින් “කාශ්‍යපය, නුඹේ මේ පට දෙපට සිවුර මෘදුය”යි වදාළ සේක. එකල්හි තෙරණුවෝ “ශාස්තෲන් වහන්සේ මගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ, උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝ ය”යි සිතා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ මේ පට පිළියෙන් කළ සඟළ සිවුර පිළිගන්නා සේක්වා”යි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යපය, පරිභෝගයෙන් දිරා ඇති මේ පාංසුකූල චීවරය නුඹට දැරිය හැකිදැ”යි වදාළ සේක. “එසේය හිමියනි, ලැබෙතොත් ඒ පාංසුකූල චීවරය පරිභෝග කරමි”යි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “මා විසින් මේ පාංසුකූලය ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝගකර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නො කළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරීමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින්ම යැ”යි වදාරා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙරවූ සිවුර බුදුන් වහන්සේ පෙරවූ සේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළහ. එකෙණෙහි මහ පොළොව කම්පිත විය.
තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘථග්ජන භාවයෙන් සිට අටවන දිනයේ සව් කෙලෙසුන් නසා, අර්හත් ඵලයට පැමිණ වදාළ සේක. පසු කාලයේදී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගුණ වදාරා “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං මහාකස්සපො” යනුවෙන් උන්වහන්සේ බුදු සස්නෙහි ධූතවාදීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.
(මේ මහාකාශ්‍යප චරිතය මනෝරථපූරණී, සංයුත්ත නිකායට්ඨකථා, අපදානට්ඨකථා යන ග්‍රන්ථයන් හි දක්නා ලැබේ.)
මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුර්ගතියකට පැමිණෙන්නට සිදු නොවී දෙව් මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබීමට හා අප බුදුරදුන්ගේ සසුනෙහි අර්හත්ඵලයට පැමිණ ධුතවාදීන්ගෙන් අගතැන් ලැබීමටත් මූල හේතුව වූයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහං ගුණය ය. මෙසේ ලොව්තුරා බුදුරදුන්ගේ අරහං ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනීම වැඳීම උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරීම මල් පහන් ආහාර සුවඳදුම් වස්ත්‍රාදිය පිදීම යනාදියෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිතකථා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඒවා ඒ ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.