පෙර මේ ලක්දිව භික්ෂූන් සැටනමක් එක්වී නාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීම සඳහා ගොස් චෛත්‍යය වැඳ පුදා එහිම රාත්‍රිය ගෙවා පසු දින උදෑසන පාත්‍ර ගෙන පිඬු පිණිස ගමට පිවිසියාහු ය. එක් ගෙයකිනුදු කිසි අහරක් නො ලබා උන්වහන්සේලා හිස් පාත්‍රවලින් යුතුව ම ගම් දොරට පැමිණියහ. එගම කහවනු සැටක් ණය වී එය වෙනුවට ගෙයක මෙහෙවර කරන “නාගා” නම් ස්ත්‍රියක් විසුවා ය. ඕ කළයක් ගෙන දිය පිණිස යන්නී ඒ භික්ෂූන් දැක උන්වහන්සේලා වෙත ගොස් වැඳ “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා පිණ්ඩපාතය ලද්දාහුදැ”යි විචාළා ය. භික්ෂූහු “උපාසිකාවෙනි, තව ම පෙරවරු කාලය ඇත්තේය”යි කීහ. ඕ භික්ෂූන් වහන්සේලා අහරක් ලබා නැති බව තේරුම් ගෙන මහත් සංවේගයට පැමිණ “කෙසේ හෝ මුන් වහන්සේලාට දන් සැපයිය යුතුය, මුන්වහන්සේලා සුන්බත් වන්නට ඉඩ නොදිය යුතුය, දන් දීමට කිසි වස්තුවක් මට නැත, මම ණය ගෙවා ගත නො හැකිව වැඩ කරමින් සිටින දුගියෙක්මි. මා දැන් වැඩ කරන්නේ දවල් කාලයේ පමණය. මට රාත්‍රියේ ද වැඩ කළ හැකි ය, රාත්‍රියේ වැඩ කරදීම සඳහා මුදලක් ණයට ගෙන මුන්වහන්සේලාට දන් සපයමි”යි සිතා කළය භික්ෂූන් ඉදිරියේ තබා “ස්වාමීනි, මේ කළය මෙහි තබා යෙමි. නුඹවහන්සේලා කරුණාකර මා එනතුරු මෙහි මොහොතක් වැඩසිටිත්වා”යි කියා වහා තමා වැඩ කරන ගෙටම ගොස් ගෘහස්වාමියාගෙන් තවත් කහවණු සැටක් ණයට ඉල්ලී ය.
එකල්හි ගෙහිමියා “තී තවම පරණ ණයෙන් නොමිදී කුමට තවත් ණය ඉල්ලන්නීදැ”යි කීය. එකල්හි ඕ “හිමියෙනි, ධනය ගැන බිය නොවනු මැනව, මම දැන් ගන්නා මුදල වෙනුවට රාත්‍රිය වැඩ කරමි”යි කීවාය. ගෙහිමියා “එසේ නම් යහපතැ”යි ඇයට කහවණු සැටක් දිණ. ඕ තොමෝ මුදල් ගෙන වහා ගමෙහි ඇවිද එක ගෙයකට එක කහවණුව බැගින් දී දන් පිළියෙල කරවා පාත්‍රවලට බෙදා භික්ෂූන් වහන්සේලාට පිළිගන්වා වැඳ තමා දානය පිළියෙල කළ සැටි ද භික්ෂූන්ට කියා, කළය ගෙන ගියාය. ඇගේ කථාව ඇසූ භික්ෂූහු විශ්මයට පැමිණ එහි ම දන් නො වළඳා තම තමන්ගේ පාත්‍ර ගෙන මහානාම නම් විල සමීපයේ මිදෙල්ල වනයට ගියහ. එහිදී සංඝස්ථවිරයන් වහන්සේ සෙසු භික්ෂූන් අමතා කියන සේක් “ඇවැත්නි මේ දානය දුන් දුගී කත අපේ මව හෝ නො වන්නීය, සොහොයුරියක් ද නො වන්නීය, නෑ තැනැත්තියක් ද නො වන්නීය, අතිශයින් දිළිදු වූ ඇය තමාගේ ශරීරය විකුණා මේ දානය අපට පිළියෙළ කර දුන්නේ “සිල්වත් වූ ගුණවත් වූ මුන්වහන්සේලාට දීමෙන් අනන්ත ඵල ලැබෙන්නේය”යි සලකා ගෙන ය. මෙබඳු දානය අප විසින් සරාගීව සිට වැළදීම නුසුදුසු ය. ඇගේ දානය මහත්ඵල වන පරිදිම අප විසින් ඒ දානය වැළඳිය යුතුය. ඒ නිසා අපි මේ දානය කෙසේ හෝ සව් කෙලෙසුන් නසා රහත්වම වළඳමුය”යි කීහ. ඉක්බිති භික්ෂූහු “රහත් නොවී මේ දානය නො වළඳමු”යි වනයෙහි තැන තැන හිඳ මහත්වූ උත්සාහයෙන් වෙනදාට වඩා අතිරේක උත්සාහයකින් භාවනාවට පටන් ගෙන එදින පෙරවරුකාලයේදී ම සැමදෙනා වහන්සේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. එය දැන වනදෙවියෝ සාධුකාර දුන්හ. උන්වහන්සේලා දෙවියන්ගේ සාධුකාර මධ්‍යයේම පවිත්‍ර වූ සන්තාන ඇතිව නාගාට දානය මහත්ඵල වන පරිදි ආහාර වැළඳූහ. මේ පුවත දැන ගන්නට ලැබී රජුගේ ශ්වේතච්ඡත්‍රයෙහි අධිගෘහිත දෙවියා ද සාධුකාර දිණ. රජු ඔහුගෙන් අසා නාගා ගැන පැහැදී ණය හිමියාත් සමඟ ඇය ගෙන්වා ණයෙන් මුදවා ඒ දිවයින ඇයට ම දී තවත් සම්පත් ද දිණ. ඉක්බිති ඕ තවත් බොහෝ පින්කම් කොට ජීවිතාවසානයේ දෙව්ලොව උපන්නා ය. (මේ රසවාහිනියේ එන කථාවෙකි.)
(මේ කථාවේ සැටියට රාජායතන චෛත්‍යයට නුදුරින් මහානාම නම් විලක් හා මිදෙල්ල වනයක් ද තිබිය යුතු ය. දැනට නාගදීපය වශයෙන් සලකන දිවයින බුදුරදුන් වැඩ වදාළ රාජායතන චෛත්‍ය පිහිටි නාගදීපය ද නැතහොත් නියම නාගදීපය අන් තැනක් ද යනු විමසිය යුතු ය.)