වන්දනීය වස්තු

ජන සංග්‍රහය පිණිස තථාගතයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වැඩම කළ කල්හි සැවැත් නුවර වාසීහු සුවඳ මල් ආදී පූජා වස්තූන් ගෙන දෙව්රම් වෙහෙරට පැමිණ සර්වඥයන් වහන්සේ නොදැක, ඒ වස්තූන් පුදන්නට කෙනෙකු හෝ තැනක් නැතිව බුදුන්වහන්සේ වැඩවසන ගඳකිළිය දොරකඩ බිම හෙළා යන්නට වූහ. එයින් ඔවුනට සතුටක් ලබන්නට නො හැකි විය. අනේපිඬු මහසිටාණෝ ඒ බව දැක ලෝකනාථයන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනි! සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වඩනා කල්හි මේ විහාරය හිස් වන්නේය. සුවඳ මල් ආදිය ගෙන පිදීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට ඒවා පිදීමට තැනක් නැත්තේ ය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකොට මෙහි පූජනීය ස්ථානයක් කළ හැකිද නො හැකිද කියා උන්වහන්සේගෙන් දැනගනු මැනව” යි සැල කළහ. සිටුතුමාගේ ඉල්ලීම පරිදි අනඳ මහ තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවක් බලා මහා කාරුණිකයන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! චෛත්‍ය කොතෙක් වන්නේදැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමිනි, ඒවා කවරහුද” යි පිළිවිසු කල්හි “ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යන මේවාය” යි වදාළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්‍ය කළ හැකිදැ” යි පිළිවිසූහ. එකල්හි තථාගතයන් වහන්සේ-

“ආනන්ද, සාරීරිකං සක්කා. තඤ්හි බුද්ධානං පරිනිබ්බුතකාලෙ හොති. උද්දේසිකං අවත්ථුකං මමායනමත්තමෙව හොති. බුද්ධෙහි පන පරිභුත්තො මහාබොධි බුද්ධෙසු ධරන්තෙසු පරිනිබ්බුතෙසු’ පි චෙතියමෙව.”

යනුවෙන් “ආනන්දය! ශාරීරික චෛත්‍ය නො කළ හැකිය. එය බුදුවරුන් පිරිනිවි පසු ඇතිවේය. උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැත. එය සිතින් ආදරය කිරීම් මාත්‍රය ම ය. බුදුවරුන් පරිභෝග කළ බෝධිය බුදුවරයන් ජීවමාන කල්හි ද චෛත්‍යය මැ” යි වදාළ සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහ්ස්න්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ බැහැර වැඩම කළ කල්හි මේ දෙව්රම් වෙහෙර පිළිසරණ නැතියක් වන්නේය. මිනිසුන්ට පූජනීය ස්ථානයක් මෙහි නැත. එබැවින් මහාබෝධියෙන් බීජයක් ගෙන්වා ජේතවන ද්වාරයෙහි රෝපණය කරවන්නෙමි” යි සැල කළහ. “යහපති ආනන්ද! එසේ කළ කල්හි මා මෙහි නිරතුරු වාසය කරන්නාක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

තෙරුන් වහන්සේ කොසොල් රජුටත් අනේපිඬු සිටුටත් විශාඛා උපාසිකාවටත් දන්වා ජේතවන ද්වාරයෙහි වළක් කණවා මහා බෝධියෙන් ඵලයක් ගෙනෙනා ලෙස මුගලන් මහ තෙරුන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ යහපතැයි ගිවිස අහසින් මහ බෝ මැඩට ගොස් නටුවෙන් ගිලිහී වැටෙන බෝ ගෙඩිය බිමට එන්නට මත්තෙන් සිවුරට ගෙන දෙවුරම් වෙහෙරට ගෙනැවිත් ආනන්ද ස්ථවිරයන්ට දුන්හ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “අද බෝධිය රෝපණය කරමු” යි කොසොල් රජුට දැන්වූහ. රජතුමා සවස් කාලයෙහි මහ පිරිවරින් සියළු උපකරණද ගෙන්වා ගෙන පැමිණියේය. අනේ පිඬු සිටුතුමා හා විශාඛාවන් ද අන් බොහෝ සැදැහැවත්හු ද පැමිණියහ. තෙරුන් වහන්සේ බෝධි රෝපණ ස්ථානයෙහි රන්කටාරමක් තබවා එහි පතුල සිදුරු කරවා එහි සුවඳ කලල් පුරවා “මෙය රෝපණය කරනු මැනව” යි කියා බෝ ඵලය රජුට දුන්හ. හෙතෙමේ “මේ රජය සෑමකල්හි අප අත තිබෙන්නේ නැත. මා රෝපණය කලහොත් රජය හිමි කරගත් අනිකකු විසින් අනාගතයේ මේ පූජනීය වස්තුව විනාශ කරන්නටත් බැරි නතය” යි සිතා බෝ ඵලය අනේ පිඬුසිටු තුමා අත තැබීය. සිටුතුමා එය රන් කටාරමෙහි රෝපණය කළේය. එකෙණෙහි බොහෝ ජනයා බලා සිටියදීම එයින් මහත් වූ අංකුරයක් පැන නැගී පස් රියනක් උස් කඳ ඇති සතර දිගට හා උඩට පනස් රියන් අතු ඇති මහා බෝ රුකක් විය. ඒ ප්‍රාතිහාර්යය දැක පැහැදුනා වූ රජ තෙමේ රන් රිදී කල අටසියයක සුවඳ පැන් පුරවා මල් පොකුරු තබා බෝධිය වටා තැබවීය. සත් රුවන් වේදිකාවක් කරවීය. රන් මිශ්‍ර වැලි බෝධිය වටා විසිර වීය. ප්‍රාකාරයක් කරවා සත් රුවන් දොරටු හල් කරවීය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි! නුඹ වහන්සේ මහා බෝධි මූලයේ සමවන් සමාපත්තින්ට මා රෝපණය කළ බෝ රුක මුලද වැඩ හිඳ මහජනයාට යහපත පිණිස සමවැදුන මැනවැ” යි ආරාධනා කළහ. “ආනන්දය! මා මහබෝමැඩ සමවන් සමවත් වලට සමවැද හිඳීම දැරිය හැකි අන් බිමක් නැතැය” යි බුදුන්වහන්සේ වදාළ සේක. “එසේ නම් ස්වාමිනි! මහජනයාට හිත පිණිස මේ බිමට දැරිය හැකි පමණ සමවත්වලට සමවදිමින් මේ බෝධිය පරිභෝග කරන සේක්වා” යි ආරාධනා කළහ. බුදුන්වහන්සේ එක් රැයක් සමාපත්තිවලට සමවදිමින් එහි වැඩසිට බෝධිමූලය පරිභෝග කළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රෝපණය කරවූ බැවින් ඒ බෝධිය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. උන්වහන්සේ කෝශල රාජාදීන්ට දන්වා මහත් වූ බෝධි පූජාවක් ද කරවූහ. ඒ බෝධි පූජා නිමිත්ත කොට තථාගතයන් වහන්සේ කාලිංග බෝධි ජාතකය වදාළ සේක.

අනු මාතෘකා