ශ්‍රී දේහය ජරපත් වී දෙවි මිනිසුන්ට අප්‍රිය වන්නට කලින් පරමායුෂයෙන් පසෙන් කොටසක් ශේෂව තිබියදී පිරිනිවීම ලොවුතුරා බුදුවරයන්ගේ ස්වභාවයකි. ජන්මයෙන් අසූවැන්න වූ සම්බුද්ධත්වයට පැමිණීමෙන් පන්සාලිස් වැන්න වූ වසරෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහි වූ බේලුව නම් ගමෙහි අන්තිම වරට වස් එළඹුණ සේක. එහිදී උන්වහන්සේට ඉතා බලවත් මාරාන්තික රෝගයක් හට ගත්තේය. බලවත් දුඃඛ වේදනාවද ඇති විය. උන්වහන්සේ ඒ වේදනාවන්ට අනුකූලව කෙඳිරීමක් ඒ මේ අත පෙරළීමක් නො කොට සිහිනුවණින් සියළු වේදනා ඉවසූ සේක. ආබාධය පිරිනිවීමට තරම් බලවත් වුවද “තමන් වහන්සේගේ උපස්ථායකයනට නො දන්වා භික්ෂු සංඝයාට නො දන්වා පිරිනිවීම නුසුදුසුය.” යි සිතා වදාරා ආබාධය වීර්යයෙන් යටපත් කොට ජීවිතය පවත්වා ගැනීමට සිතා ගත්හ. ඉක්බිති උන්වහන්සේ බුදු වන දිනයෙහි මහ බෝ මැඩදී විදර්ශනා කළ අයුරු රූපසත්තක අරූපසත්තක ක්‍රමයෙන් විස්තර වශයෙන් නාම රූපයන් විදර්ශනා කොට ඒ විදර්ශනාවේ බලයෙන් ශාරීරික වේදනා දුරු කොට ඉදිරියට දස මසක් ගතවන තුරු ඒ වේදනාවන් නැවත ඇති නො වන පරිදි සමාපත්තියට සමවන් සේක. එයින් රෝගය සුවවිය.
සුවය ලැබීමෙන් පසු තථාගතයන් වහන්සේ විහාරයෙන් නික්ම විහාච්ඡායාවෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! දැන් නුඹ වහන්සේට සනීප පෙනේ. නුඹ වහන්සේගේ රෝගය නිසා මාගේ ශරීරය ද තද වී බර වී ගියේය. මට දිශා පවා තේරුම් ගත නො හැකි වී ගියේය. සතිපට්ඨානාදී ධර්ම නොවැටහී ගියේය. ස්වාමීනි! මට සැනසිල්ලට කරුණක් තිබුණේ පිරිනිවීමේ ලකුණක් වශයෙන් නුඹවහන්සේ වීසින් භික්ෂු සංඝයා අරභයා යම් කිසිවක් නො වදාළ බව පමණෙකැ” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! භික්ෂු සංඝයා හට මාගෙන් බලාපොරොත්තු වන්නට දෙයක් නැත. ආනන්දය! ගුරුමුෂ්ටිය වශයෙන් කිසිවක් ඉතිරි නො කොට සියල්ලන් සම්පූර්ණ කොට ම මා විසින් ධර්මය දේශනා කර ඇත්තේය. මාගේ ගුරුමුෂ්ටිය දීමක් නැත. ආනන්දය! භික්ෂු සංඝයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇති වන්නේ මේ සංඝයා සැම කල්හි මා විසින්ම පරිහරණය කළ යුතුය යන අදහස ඇතහොත් ය. එබඳු අදහසක් තථාගතයන්ට නැතය” යි වදාල සේක. ඉක්බිති “ආනන්දය, දැනට මම දිරූ සිරුරු ඇති මහල්ලෙක් වෙමි. අසූ අවුරුදු වියට පැමිණ සිටිමි. ආනන්දය! යම් විටෙක තථාගත තෙමේ නිවන අරමුණු කොට ඇති චිත්ත සමාධියෙන් වාසය කෙරේද එසමයෙහි තථාගතයන්ගේ කයට පහසු වන්නේය. ආනන්දය! එ බැවින් තෙපිද තමාට තමාම පිහිට කොට වෙසෙව්” යයි ද අනුශාසනා කළ සේක.
තථාගත පරිනිර්වාණයට සමීපව ඇති මේ කාලයේදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ද පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ ධාතූන් පිහිටුවා චෛත්‍යක් කරවා රජගහ නුවරින් බික්සඟන හා නික්ම ගොස් ගංගා නදී තීරයට පැමිණ එහිදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් කොට එයින් නික්ම විසාලා මහ නුවරට වැඩවදාරා පසුදින ආනන්ද ස්ථවිරයන් හා චාපාලචේතිය නම් විහාරයට පැමිණ එහි වැඩහිඳ විසල් පුරය හා ඒ සමීපයේ පිහිටි විහාරවල රමණීය බව වදාරා “යමකු විසින් සතර සෘධිපාදයන් මනා කොට වඩනා ලද නම් ඔහුට කල්පයක් වුවද ජීවත් විය හැකිය. ආනනදය! තථාගතයන් විසින් සතර සෘධිපාදයෝ මනා කොට වඩනා ලදහ. ආනන්දය! තථාගතයන්ට කැමති නම් කල්පයම වුවද එයට වැඩි කලක් වුවද ජීවත් විය හැකිය.” යි වදාළ සේක. ඒ අවස්ථාවේදී මාර බාධාව නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේට බුදුන්වහන්සේගේ අදහස තේරුම් ගත නොහැකි විය. එ බැවින් උන්වහන්සේ ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩ සිටිනා ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා නොකළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ සමීපයෙන් ඉවත් වූ පසු මාරයා පැමිණ පිරිනිවන් පානා ලෙස ඇරයුම් කළේය. එකල්හිම තථාගතයන් වහන්සේ-
“අප්පොස්සුක්කො ත්වං පාපිම! හොහි, න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති”
“පාපී මාරය! නුඹ වෙහෙස නොවන්න. වැඩිකල් නොගොස් මෙයින් තෙමසකට පසු තථාගතයන් වහ්න්සේගේ පිරිනිවීම වන්නේය.” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ තෙමසකින් ඔබ ජීවත්වීමේ අදහස හළ සේක. එකෙණෙහි මහ පොළොව කම්පිත විය. හාත්පස අහසෙහි අකුණු පුපුරන්නට විය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ භූමිකම්පාවට හා හෙන පිපිරීමට හේතු විචාළහ. තථාගතයන් වහන්සේ එයට හේතු වදාළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ-
“තිට්ඨතු භන්තෙ භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං, බහුජන හිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සානං.”
යනුවෙන් ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩසිටින ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කොට ආනන්ද ස්ථවිරයන් වහන්සේට ශෝකය සංසිඳවා ගැනීමට කරුණුද වදාරා තථාගතයන් වහන්සේ තෙමසකින් පිරිනිවන් පානා බව වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා සර්වඥ ශාසනයාගේ චිරස්ථිය පිණිස තමන් වහන්සේ විසින් විශේෂයෙන් දැන දේශනය කළ සතිපට්ඨාන සතරය, සම්‍යක් ප්‍රධාන සතරය, සෘධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බෝධ්‍යංග සතය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයය යන මේ ධර්ම මනාව උගෙන පුරුදු කළ යුතු බව වදාරා ධර්මානුශාසනා කොට තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව ද වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලි පුරයෙහි පිඬු පිණිස හැසිර පස්වරු කාලයේ වේසාලියෙන් නික්ම වේසාලි පුරය දෙස හැරී බලා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මේ මගේ අන්තිමවරට වේසාලි නගරය දැකීම යැයි වදාළ සේක. විසල් පුර වැසි ලිච්ඡවීහු එහි නාගාපලොකිත චේතිය නමින් චෛත්‍යයක් කරවා වැඳුම් පිදුම් කළහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහා සංඝයාද කැටුව භණ්ඩග්‍රාමයට වැඩ එහි වෙසෙමින් ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව බොහෝ දම් දෙසමින් වාසය කොට එයින් නික්ම හස්තිග්‍රාම ආමග්‍රාම ජම්බුග්‍රාම යන ගම්වලටද වැඩම කර ඒවා පසු කොට භෝග නගරයට පැමිණ ආනන්ද චෛත්‍ය නම් වෙහෙරෙහි වෙසෙමින් භික්ෂූන් අමතා “චත්තාරො මෙ භික්ඛවෙ! මහාපෙදෙසෙ දෙසිස්සාමි” යනාදීන් සතර මහා අපදේශයන් වදාළ සේක. සතර මහා අපදේශ නම් නියම බුද්ධ ධර්මය කුමක්ද යන බව තේරුම් ගැනීමට උපකාර වන උපදේශ සතරෙකි. තථාගතයන් වහන්සේ ආනන්ද චෛත්‍ය නම් විහාරයෙහි හිඳ ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව ම බෙහෙවින් දම් දෙසමින් වැඩ සිට මහාසංඝයා හා පාවානුවර කර්මාරපුත්‍ර චුන්දගේ අඹ උයනට වැඩම කළ සේක. ඒ බව ඇසූ චුන්ද තථාගතයන් වහන්සේ වෙත එළඹ දහම් අසා පසු දින සිය නිවසෙහි දන් පිළි ගන්නා ලෙස ආරාධනය කළේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත් සේක. චුන්ද තථාගතයන් වහන්සේ විසින් තමාගේ ආරාධනාව ඉවසා වදාළ බව දැන පසුදින සිය නිවසෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් හා සූකර මද්දවය ද පිළියෙල කොට මහා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තථාගතයන් වහන්සේගේ නියමය පරිදි සූකර මද්දවය සහිත දානය තථාගතයන් වහන්සේටත් ඉතිරි ඛාද්‍ය භෝජනයන් භික්ෂු සංඝයාටත් පිළිගැවීය. වළඳා අවසානයෙහි කර්මාරපුත්‍ර චුන්ද හට දහම් දෙසා තථාගතයන් වහන්සේ ඉන් නික්මුණු සේක. එය තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා දිනයය. තථාගතයන් වහන්සේ බේළුව ගමෙහි වස් එළඹ විසූ කාලයේ උන්වහන්සෙට ඇතිවූ ලෝහිත පක්ඛන්දිකා නම් වූ දරුණු අතීසාර රෝගය සමවත් බලයෙන් යටපත් කළ කාලය ඒ දිනට අවසන් විය. එ බැවින් ඒ රෝගය එදින නැවත මතු විය. කර්මාරපුත්‍ර චුන්ද විසින් පිළියෙල කර පිළිගැන්වූ සිනිඳු ඕජාවත් ආහාරය වළඳා සිටි නිසා තථාගතයන් වහන්සේට තරමක පහසුවක් ඇති විය. උන්වහන්සේ පිරිනිවීමට බලාපොරොත්තු වන කුසිනාරා නුවර බලා ගමන ආරම්භ කළ සේක. රෝග බලය නිසා දශබලධාරීන් වහන්සේ ගේ දේහබලය සීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. එ බැවින් උන්වහන්සේට කුසිනාරා නුවරට වඩනා අතර මඟ පස් විසි තැනක වැඩ සිට විඩා සන්සිඳුවා ගැනීමට සිදු විය. උන්වහන්සේ පා ගමනින් ම තුන් ගව් මග ගෙවා සන්ධ්‍යා කාලයේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් වූ සල් උයනට වැඩවදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය! ක්ලාන්ත වෙමි. සැත්පීම සඳහා යමක ශාලා වෘක්ෂයන් අතර උතුරු දෙසට හිස සිටින පරිදි ඇඳක් පිළියෙල කරව.” යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ එසේ කළහ. භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරී එහි සිංහ ශෙයාවෙන් සයනය කළ සේක. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව කලින් ප්‍රසිද්ධියට පැමිණ තිබූ බැවින් බොහෝ භික්ෂුහු එහි පැමිණ සිටියහ. දස දහසක් සක්වළවලින් බොහෝ දිව්‍ය බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේ දක්නට පැමිණියෝය. එදින සල් වනයෙහි සැම ගසකම මල් පිපී තිබිණ. තථාගතයන් වහන්සේගේ ශරීරය මත සල් මල් පතනය වන්නට විය. දිව්‍ය බ්‍රහ්මයෝද මල් හා සුවඳ සුනු හෙලමින් ද දිව්‍ය සංගීත පවත්වමින්ද දිව්‍ය තූර්යයන් වාදනය කරමින්ද මහත් ඌ පූජාවක් පැවැත් වූහ. දස දහසක් සක්වලින් පැමිණි ගණනින් ප්‍රමාණ කළ නොහෙන සක්වළ පුරා පැතිර සිටි දිව්‍ය බ්‍රහ්ම සමූහයා විසින් පවත්වන මහා පූජාව බලා තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා මෙබඳු පූජාවක් පැවැත්වීම තථාගතයන් වහන්සේ ට උත්තම පූජාවක් කිරීම නොවන බවත් දර්මයට අනුව පිළිපැදීමම තථාගතයන් වහන්සේට කරන උත්තම පූජාව බවත් වදාළ සේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ “භාග්‍යවතුන් වහන්ස! පෙර ඒ ඒ පළාත්වල වස් වැස නිම වූ මන වඩන්නා වූ බොහෝ භික්ෂුහු තථාගත දර්ශනය සඳහා පැමිණෙන්නාහ. එයින් අපි ඒ මනෝභාවනීය භික්ෂූන් දකින්නටද ඇසුරු කරන්නටද ලැබුයෙමු. නුඹ වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන් දක්නට නො ලබන්නෙමුය” යි තථාගතයන් වහන්සේට සැලකළහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට දර්ශනීය මනෝ භාවනීය අන් දෙයක් දැක්වීම සඳහා මෙසේ වදාළ සේක.
“චත්තාරිමානි ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?
ඉධ තථාගතො ජාතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති
ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද!
සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉද තථාගතො අන්පාදිසෙසාය නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉමානි ඛො ආනන්ද! චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං”
තථාගතයන් වහන්සේ උපන් තැනය, සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණි තැනය, දම්සක් පැවැත් වූ තැනය, පිරිනිවන් පා වදාළ තැනය යන මේ ස්ථාන සතර දර්ශනීය සංවේජනීය ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය. ශ්‍රද්ධාවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ ස්ථානයන් දක්නට යන බවත් ඉක්බිති යම් කෙනෙකුන් චෛත්‍යදර්ශනය සඳහා ගොස් පහන් සිතින් කාලක්‍රියා කළාහු නම් ඔවුන් ස්වර්ගයෙහි උපදනා බවත් වදාළසේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයෝ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය ගැන පිළිපදිනා ආකාරය විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! තෙපි තථාගත ශරීර පූජාව ගැන ව්‍යවෘත නො වවු. තෙපි අර්හත්වයට පැමිණීම සඳහා වීර්ය කරව්. ආනන්දය! තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද ඇතහ. ඔවූහු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහ” යි වදාළ සේක. තථාගත ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය විචාර කල්හි සක්විති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපදිනා ආකාරයෙන් පිළිපැදිය යුතු බව හා එහි ක්‍රමයත්, සිවු මන්සන්දියක් සමීපයෙහි තථාගතයන් වහන්සේ උදෙසා ස්ථූපයක් කළ යුතු බවත්, යම් කෙනෙක් එහි සුවඳ හෝ මල් හෝ සුවඳ සුණු හෝ පුදත් නම් එයට වඳිත් නම් සිත හෝ පහදා ගනිත් නම් ඔවුනට එය දීර්ඝ කාලයක් සැප පිණිස වන බවත් වදාළ සේක. ඉක්බිති මෙසේ වදාළ සේක.
“චත්තාරො මෙ ආනන්ද ථූපරහා, කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාඅම්බුද්ධො ථූපරහො. පච්චෙක සම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො. රාජා චක්කවත්ති ථූපාරහොති.”
“ආනන්දය මේ පුද්ගලයෝ සතර දෙන ස්ථූප තැනීමට සුදුස්සෝය. කවර සතර දෙනෙක් ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. ප්‍රත්‍යක සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. බුද්ධශ්‍රාවක තෙමේ ස්ථූප තැනීමට සුදුසු ය. සක්විති රජ ස්ථූප තැනීමට සුදුසු ය.” යනු එහි තේරුමයි. උත්තම පුද්ගලයන් උදෙසා ස්ථූප කළ යුත්තේ ඒවා කෙරෙහි සිත පහදාගෙන ඒවාට වැඳුම් පිදුම් කොට බොහෝ ජනයාට ස්වර්ග සම්පත්තිය ලැබිය හැකි හෙයිනි.
“තථාගතස්ස සාවකො ථූපාරහො" යනුවෙන් විශේෂයක් නො කොට බුද්ධශ්‍රාවකයා ස්ථූප කිරීමට සුදුසු යයි වදාරා ඇතත් එයින් අදහස් කරන්නේ සව් කෙලෙසුන් නසා රහත් වූ බුද්ධශ්‍රාවකයා ය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවල ස්ථූප තැනීමට නියම කර ඇත්තේ රහතුන් වෙනුවෙන්ම ය. උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනම වෙනුවෙන් ස්ථූප තැනීමට නියෝග කළහ. මහාප්‍රජාපති ගෝතමි මෙහෙණිය වෙනුවෙන් ස්ථූපයක් තැනවීමට නියම කළහ. පෘතග්ජන ශ්‍රාවකයකු වෙනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ස්ථූප තැනීමට නියම කළ තැනක් දක්නට නැත. ගිහියකු වන චක්‍රවර්තී රජ ස්ථූප තැනීමට සුදුසු වන බව අනුදත් තථාගතයන් වහන්සේ සිල්වත් පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීමට නො අනුදත්තේ කිනම් කරුණකින්ද යන මේ ප්‍රශ්නය නඟා අටුවාවෙහි මෙසේ එයට පිළිතුරු දී තිබේ. සීලවන්ත පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම තථාගතයන් වහන්සේ අනුමත කළහොත් ලක් පොළොව ස්ථූපවලින් පිරෙන්නේය. එසේ වූ කල්හි ඒවායේ අගය නැතීවන්නේය. සක්විති රජවරු ලෝකයෙහි ඇතිවන්නේ කලාතුරකිනි. එබැවින් චක්‍රවර්තී රජුගේ ස්ථූපය ආශ්චර්ය දෙයක් වන්නේ ය. එයට මහජනයා ගරු කරන්නේ ය. ඒ නිසා තථාගතයන් වහන්සේ සිල්වත් වූ ද පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම නො අනුදත් සේක. මෙසේ කියා අවසානයෙහි පිරිනිවන් පෑ භික්ෂුවට මෙන්ම සිල්වත් පෘතග්ජන භික්ෂුවටද සත්කාර කිරීම සුදුසු බව දක්වා තිබේ.
ස්ථූපාර්හ පුද්ගලයන් පිළිබඳව වූ ඒ දේශනාව ඇසීමෙන් පසු තථාගත පරිනිර්වාණය ගැන බලවත් ශෝකයක් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇති විය. එය දැරිය නො හැක්කෙන් උන්වහන්සේ විහාරයට පිවිස අගුළු කණුවට හේත්තු වී හඬන්නට වන්හ. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ගෙන්වා ධර්ම කථාවෙන් ශෝකය සංසිඳවා භික්ෂූන් අමතා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ බොහෝ ගුණ වදාළ සේක. ඉක්බිති ආනන්ද ස්ථ්විරයන් වහන්සේ විසින් මේ කුඩා නගරයෙහි පිරිනිවීම නො කරන ලෙස ඇයැද සිටි කල්හි කුසිනාරාව කුඩා නගරයක් නො වන බව හා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයද දැක්වීම් වස් මහා සුදර්ශන සූත්‍රය සැතපී සිටිමින්ම දේශනය කළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ එදින රාත්‍රියේ පශ්චිම යාමයේ තථාගත පරිනිර්වාණය සිදුවන බව කුසිනාරා නුවර මල්ල රජුන්ට දන්වන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළහ. උන්වහන්සේ එසේ කළහ. මල්ලයෝ මහත් වූ ශෝකයෙන් හඬමින් පවුල් පිටින්ම රාත්‍රියේම අවුත් තථාගතයන් වහන්සේට වැන්දෝය. එනුවර වෙසෙන සුභද්‍ර නම් පරිව්‍රාජකයාටද තථාගත පරිනිර්වාණය සැළවී වහා අවුත් තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා කමටහන් වඩා තථාගතයන් වහන්සේ පිනිවීමට කලින්ම සවුකෙලෙසුන් නසා රහත් බවට පැමිණියේය. හෙතෙමේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා විය.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා වදාරන සේක් “ආනන්දය! මාගේ ඇවෑමෙන් දැන් අපට ශාස්තෘවරයෙකු නැතය යන අදහස තොපට ඇතිවිය හැකිය. ආනන්දය! තොපට ශාස්තෘවරයෙකු නැත්තේ නොවේ. ආනන්දය! මා විසින් යම් ධර්මයක් දෙසන ලදද, යම් විනයක් පනවන ලද ද, ඒ ධර්මය විනය දෙක මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා ය” යි වදාළ සේක. අනතුරුව තථාගත පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ඔවුනොවුන්ට කතාකළ යුතු ආකාරය වදාරා කැමති නම් සංඝයා හට ක්ෂුද්‍රානුක්ෂුද්‍රක ශික්ෂා පදයක් බැහැර කරවන්නට ද අවසර දී භික්ෂූන්ට නිතර කරදර කරන චණ්ඩ ඵරුෂ ඡන්න භික්ෂුව හික්මවනු පිණිස බ්‍රහ්මදණ්ඩය දීමට නියම කර වදාළ සේක. ඒ දඬුවම නිසා ඡන්න භික්ෂුවට රහත් විය හැකිවිය. ඉක්බිති මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද සකල ධර්ම සමූහය පිඬු කොට “භන්දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො, වයදම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ” යන අන්තිම බුද්ධ වචනය වදාළ සේක. “මහණෙනි දැන් තොපට අන්තිම වරට කියමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තෝය. තෙපි අමතක නොකොට අතපසු නොකර පැවිදි කිස සම්පාදනය කරව්” යි යනු එහි තේරුමයි.
මෙසේ තථාගතයන් වහන්සේ භික්ෂූන්ට අන්තිම අවවාදය කොට ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉන් නැගිට ද්විතීය ධ්‍යානයට සමවන් සේක. මෙසේ නේවසංඥා නාසංඥායතන ධ්‍යානය දක්වා පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැද නිරෝධ සමාපත්තියට සමවන් සේක. එකල්හි ආනන්ද තෙරණුවෝ “ස්වාමිනි!, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණු සේකැ” යි අනුරුදු තෙරණුවන්ට කීහ. “නැත ආනන්දය! භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවන් සේකැ” යි අනුරුදු තෙරණුවෝ කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී ප්‍රතිලෝම ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැදී නැවත අනුලෝම ක්‍රමයෙන් චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සම වැදී චතුර්ථධ්‍යානයෙන් නැඟී පිරිනිවන් පා වදාළ සේක. එකෙණෙහි මහා භූමිකම්පාවක්විය. අහසෙහි විදුලිය නගින්නටත් අකුණු පුපුරන්නටත් විය. එකෙණෙහිම සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව කීය.
සබ්බේව නික්ඛිපිස්සන්ති භූතාලොකෙ සමුස්සයං,
යථා එතදිසො සත්ථා ලොකෙ අප්පටි පුග්ගලො,
තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො.
සක්දෙව් රජ මේ ගාථාව කීය
අනිච්චා වත සංඛාරා - උප්පාද වයදම්මිනො,
උප්පජ්ජිත්වා නිරිජ්ඣන්ති - තෙසං වූපසමො සුඛො
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මේ ගාථාව කීහ.
නාහු අස්සාස පස්සාසො ඨිත චිත්තස්ස තාදිනො,
අනෙජො සන්ති මාරබ්භ යං කාලමකරී මුනී.
අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයි.
පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහු.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ මේ ගය කීහ.
තදාසි යං හිංසනකං තදාසි ලෝමහංසනං,
සබ්බාකාර වරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.
තථාගත පරිනිර්වාණය සැලවූ වහාම නො රහත් බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සේකැ යි හඬන්නට වැළපෙන්නට වූහ. වීතරාගිහු සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකමින් ඉවසූහ. මහරහත් අනුරුදු හිමියෝ ලෝකස්වභාවය සිහිකර දී හඬන වැළපෙන භික්ෂූන් සැනසූහ. අනුරුදු තෙරුන් වහන්සේ දැහැමි කතාවෙන් රාත්‍රියේ ඉතිරි කොටස ගත කළහ.