චෛත්‍ය තුන් වර්ගය

star_outline

ඉහත දැක්වූයේ කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාව ය. එහි දැක්වෙන පරිදි ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යි චෛත්‍ය තුන් වර්ගයක් ඇත්තේය. මේ චෛත්‍ය තුන් වර්ගය නියම කර ඇත්තේ බුදු රදුන් නැති කල්හි උන්වහන්සේට කරන වැඳුම් පිදුම් ඒ චෛත්‍යයන්ට හෝ චෛත්‍ය ස්ථානයන්හි හෝ කිරීම පිණිස ය. චෛත්‍ය යනු සංස්කෘත වචනයකි. පාළි වචනය චේතිය යනුයි. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතූන් උන්වහන්සේගේ ශාරීරික කොටස්ම වන බැවින් ඒවා ද තථාගතයන් වහන්සේට මෙන්ම වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසු ය. ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරන ස්ථූපද එසේම වැඳුම් පිදුම් කිරීමට සුදුසු බැවින් ශාරීරික චෛත්‍ය නම් වේ. බුදුන්වහන්සේ විසින් පරිභෝග කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේද පාරිභෝගික චෛත්‍යය ය. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවන්ගෙන් හා බීජයන්ගෙන් ද ඇති වූ බෝධි වෘක්ෂයෝ ද පාරිභෝගික චෛත්‍යයෝ ය. ඒ පරම්පරාවට අයත් සකළ බෝධි වෘක්ෂයෝම ද පාරිභෝගික චෛත්‍ය වශයෙන් සළකනු ලැබෙත්. තථාගතයන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර චීවරාදී වස්තූන් ද පූජනීයෝ ය. ඒවා තැන්පත් කොට කරන ලද චෛත්‍යයෝ ද පාරිභෝගික චෛත්‍යයෝය. ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාසත්කාර කිරීම පිණිස පිළියෙළ කැරුණු ප්‍රතිමා හා ස්ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය. “බුද්ධ පටිමා උද්දිස්සක චේතියං” යනුවෙන් ඛුද්දක පාඨ අටුවාවෙහි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍ය බව දක්වා තිබේ. පුලිනුප්පාදකත්ථෙරාපදාන, පුලිනථුපියත්ථෙරාපදාන යනාදිය අනුව බලන කල්හි ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුන්වහන්සේ උදෙසා කරන ස්ථූපයත් උද්දේශික චෛත්‍ය වශයෙන් පිළිගත යුතුය. ශාරීරික පාරිභෝගික වස්තුන් පිහිටුවා කරන ස්ථූපයෝ ඒ වස්තූන්ගේ පූජනීය භාවය නිසා චෛත්‍යය වෙති. ඒ වස්තූන් නැතිව කරන බුදුපිළිම හා ස්ථූප මේ බුදුන්වහන්සේ ගේ ප්‍රතිමාවය, මේ බුදුන්වහන්සේ උදෙසා කළ ස්ථූපය කියා මහජනයා කරන ගෞරවාදරය නිසා චෛත්‍ය වේ. “උද්දේසිකං අවත්ථුකං මමායනමත්තමේව හොති” යන දේශනා පාඨයෙන් දැක්වෙන්නේ ඒ අදහසය. ඇතැම්හු ඒ පාඨය වරදවා තේරුම් කරමින් “උද්දේශික චෛත්‍යය කියා වස්තුවක් නැත. එබැවින් බුදුපිළිමය උද්දේශික චෛත්‍යය නො වේය” යි ජනයා මුළා කෙරෙති. චෛත්‍යයක් වන්නට වස්තුවක් තිබිය යුතුමය. වස්තුවක් නැතහොත් චෛත්‍යයක් ද නැත. වස්තුවක් නැතිව චෛත්‍යයක් කීම තේරුමක් නැති පිස්සු කථාවෙකි. “උද්දේසිකං අවත්ථුකං” යන පාඨයෙන් දැක්වෙන්නේ උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බවය. කියන ලද චෛත්‍ය තුන් වර්ගය බුවරුන් පිළිබඳ චෛත්‍යයෝය. ධර්ම චෛත්‍යය කියා තවත් චෛත්‍යයක්ද ඇත්තේ ය. දහම් පොත්පත් තැන්පත් කොට කරන ස්ථූපය ධර්ම චෛත්‍යය ය. දහම් පොත්මද ධර්ම චෛත්‍ය වශයෙන් සළකනු ලැබේ. මෙකල බෞද්ධයන් චෛත්‍ය යන නම ව්‍යවහාර කරන්නේ ස්ථූපවලට පමණෙකි.