චෛත්‍ය වන්දනාව

චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සිහි කොට බුදුගුණ සිහි කොට බුදුනට වැඳීමක් පිදීමක් වශයෙන් ඒ තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක් ක්‍රමයකි. එසේ වඳින්නහුට බුදුරදුන්ට වත් කිරීමේ සිතින්ම මලසුන් පිරිසිදු කිරීම්, මළු හැමදීම්, කසළ ඉවත් කිරීම්, තණ ආදිය ඉවත් කිරීම්, චෛත්‍ය පවිත්‍ර කිරීම්, බෝ රුක්වලට පැන් වක් කිරීම් ආදී වත් කළ හැකිය. එසේ කරන්නහුට ඇති වන කුසල් කෙළින්ම බුදුරදුන් අරමුණු කොට ඇති වන ඒවා බැවින් වඩා උසස් වේ.

මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යයෙක, බුදුරදුන් පරිභෝග කළ වස්තුවෙක, බුදුරදුන්ගේ පිළිරුවකැයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත් ක්‍රමය ය. එසේ වැඳුම් පිදුම් කරන්නවුන්ට ඇතිවන කුශලය චෛත්‍යයන් අරමුණු කොට ඇති වන්නක් බැවින් පළමු ක්‍රමයෙන් ඇතිවන කුශල් තරම් උසස් නැත. එහෙත් ඒවා සුළු කොට නො සිතිය යුතුය. ඒවාත් ත්‍රිවිධ සම්පත්තිය සලසා දෙන කුසල්ය.

“යෙහි කෙචි ආනන්ද, චෙතිය චාරිකං ආහිණ්ඩන්තා පසන්න්චිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපප්ජ්ජිස්සන්ති.”

යනුවෙන් “ආනන්දය, චෛත්‍ය වන්දනාවෙහි අවිදින්නා වූ යමක් පහන් සිතින් කලුරිය කෙරෙත් ද ඔවූහු මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදනාහ” යි මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇත්තේය. චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදු කර ගැනීමට නම් වන්දනා කිරීම් මාත්‍රයෙන් නො නැවතී මලසුන් පිරිසිදු කිරීම් ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම් ආදියත් කළ යුතුය.

“අසුක විහාරෙ චෙතියං වන්දිස්සාමිති නික්ඛමිත්වා පසන්නචිත්තා අන්තරා කාලං කරොන්තා පි අනන්තරායෙන සග්ගෙ පතිට්ඨහිස්සන්ති”

යනුවෙන් අසවල් විහාරයේ චෛත්‍ය වඳින්නෙමැ යි නික්ම ගොස් පහන් සිතින් අතරමග කලුරිය කරන්නෝ ද වැරදීමක් නැතිව ස්වර්ගයෙහි උපදනාහ යි මහාපරිනිබ්බාන සුත්තට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය.