අරුණෝදයෙන් පසු අනඳ හිමියෝ කුසිනාරා නුවරට පිවිස එහි සන්ථාගාරයෙහි රැස්ව හුන් මල්ල රජුන්ට තථාගත පරිනිර්වාණය දැන්වූහ. එපවත් අසා මල්ල රජුහුද ඔවුන්ගේ භාර්යාවෝද දූ දරුවෝද “ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවි සේකැ” යි අනේකාරයෙන් හැඬූහ.
ඉක්බිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල් ද අනේක තූර්යභාණ්ඩයන් හා බොහෝ වස්ත්‍රයන් ද ගෙන්වා ගෙන උපවත්තන නම් සල් උයනට ගොස් නැටුමෙන් හා ගැයුමෙන් ද ගීතයෙන් ද සුවඳින් හා මලින්ද තථාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් වියන් බඳිමින් රැස්වීම් හල් පිළියෙල කරමින් ඒ දිනය ඉක්ම වූහ. දෙවන තුන්වන සතරවන පස්වන සවන දින ද එසේම නෘත්‍ය ගීතාදියෙන් ශ්‍රී දේහය පුදමින් ඉක්මවූහ. සත්වන දිනයේදී ඔවූහු නෘත්‍ය ගීත වාදිත මාලාගන්ධයෙන් පූජා සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් ශ්‍රී දේහය නගරයට බැහැරින් දකුණු දිගට ගෙන ගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ. ඉක්බිති ජවසම්පන්න මල්ලයන් අට දෙනෙක් නා පිරිසිදු වී අළුත් පිළි හැඳ තථාගත ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළහ. ඔවුනට තථාගත දේහය එසවිය නොහැකි විය. එකල්හි මල්ලයෝ තථාගත දේහය නො එසවිය හැකි වීමේ හේතුව අනුරුදු හිමියන්ගෙන් විචාළෝය. “වාසිට්ඨයෙනි; ඔබෙ අදහස අනෙකෙක; දෙවියන්ගෙ අදහස අනෙකෙකැ” යි උන්වහන්සේ කීහ. දෙවියන්ගේ අදහස කුමක්දැයි විචාළ කල්හි “වාසිට්ඨයෙනි, තථාගත දේහය පූජා සත්කාර කෙරෙමින් උතුරු දිගට ගෙන ගොස් උත්තද්වාරයෙන් නගරයට ඇතුළු කොට නගරය මැදින් ගෙන ගොස් නැගෙනහිර දොරටුවෙන් නික්ම නගරයෙන් නැගෙනහිරට ගෙන ගොස් මකුටබන්ධන නම් වූ මල්ලයන්ගේ චෛත්‍යස්ථානයෙහි තථාගත දේහය ආදාහනය කිරීම දෙවියන්ගේ අදහස” යි තෙරණුවෝ කීහ.
මල්ලයෝ දෙවියන්ගේ අදහසට අනුව ආදාහනය කිරීමට සූදානම් වූහ. එසමයෙහි කුසිනාර නුවර දණ පමණට මදාරා මල් අතුරන ලද්දේ විය. දෙවියන්ගේ අදහස පරිදි තථාගත දේහය නෘත්‍ය ගීතාදියන් පූජා පවත්වමින් උත්තරද්වාරයෙන් නගරයට ඇතුළු කොට නගරය මැදින් ගෙන ගොස් ප්‍රාචීනද්වාරයෙන් නික්ම මල්ලයන්ගේ මකුටබන්ධන නම් ශාලාවෙහි තැබූහ.
ඉක්බිති මල්ලයෝ ආනන්ද තෙරුන් වහන්සේගේ උපදෙස් අනුව තථාගතයන් වහන්සේ විසින් කලින් වදාළ පරිදි තථාගත ශරීරය නව වස්ත්‍රයෙන් හා පුළුනින් පන්සිය වර බැගින් වෙලා රන්මුවා තෙල් දෙනක බහා, රන්දෙනකින් ම වසා සුවඳ දරින් කළ චිතකයෙහි තැන්පත් කළහ. ඉක්බිති ප්‍රධාන මල්ලයෝ සතර දෙනෙකු ඉස් සෝදා නා පිරිසිදු වී නව වස්ත්‍ර හැඳ තථාගතයන් වහන්සේගේ චිතකය ගිනි දැල්වීමට තැත් කළහ. ඔවුනට එය නො කළ හැකි විය. ඔවුනට නො හැකි වන කල්හි අට දෙනෙක් ද සොළොස් දෙනෙක්ද දෙතිස්දෙනෙක්ද එකතුව ගිනිහුළු ගෙන තල්පත්වලින් පවන් සලමින් ද භස්ත්‍රාවලින් පිඹිමින්ද නොයෙක් සැටියෙන් ගිනිදැල්වීමට උත්සාහ කළහ. එහෙත් චිතකය ගිනි නො ගත්තේ ය. එකල්හි මල්ලයෝ අනුරුදු මහ තෙරුන් වෙත එළඹ “චිතකය ගිනි නො ගැනීමේ කරුණ කිමෙක්දැ” යි විචාළෝය. තෙරුන් වහන්සේ “වාසිට්ඨයෙනි! දෙවියන්ගෙ අදහස අනෙකෙකැ” යි කීහ. දෙවියන්ගේ අදහස කවරේදැයි විචාළ කල්හි “මහකසුප් තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ හා පාවා නුවර සිට තථාගත දේහය වඳිනු පිණිස මඟ එන්නාහ. උන්වහන්සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳින තුරු සෑයට ගිනිගන්නට නොදීම දෙවියන්ගේ අදහසය” යි අනරුදු තෙරණුවෝ කීහ. “දෙවියන්ගේ අදහස එසේම වේවා” යි මල්ලයෝ කීහ. එපුවත සැලවූ කල්හි ඇතැම්හු “මෙතරම් ආනුභාව සම්පන්න භික්ෂුවක් ඇති කල්හි තථාගත පරිනිර්වාණයෙන් ඇති පාඩුව කිමදැ” යි කියමින් සුවඳ මල් ආදිය ගෙන මහකසුප් තෙරුන් වහන්සේ දක්නට පෙරමඟට ගියහ. ඇතැම්හු මඟ සැරසූහ. මහකසුප් තෙරුන් වහන්සේ පැමිණ සිවුරු ඒකාංශ කොට පොරවා ඇදිලි බැඳ තෙවිටක් චිතකය ප්‍රදක්ෂිනා කොට තථාගතයන් වහන්සේගේ පා වැන්දාහ. උන්වහන්සේ හා පැමිණි පන්සියයක් භික්ෂුහු ද එසේම තථාගතයන් වහන්සේගේ පා වැන්දෝය.
ඉක්බිති මහකසුප් තෙරුන් වහන්සේ චිතකයෙහි තථාගතයන් වහන්සේගේ පා ඇති පස සළකා ගෙන, එහි සිට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදී ඉන් නැගිට “පන්සියයක් පුළුන් පොටවල් හා වස්ත්‍රද රන් දෙන හා දර සෑයද දෙබෑ වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය මාගේ හිස මත පිහිටාවා” යි අධිෂ්ඨාන කළ සේක. එකෙණෙහි පුළුන් පොට හා වස්ත්‍රද රන් දෙන හා චිතකය දෙබෑ වී වළාකුලකින් පුන්සඳ නිකමෙන්නාක් මෙන් තථාගත ශ්‍රී පාද යුග්මය චිතකයෙන් නික්මිණ. තෙරුන් වහන්සේ ස්වර්ණ වර්ණ වූ තථාගත පාද යුග්මය දෝතින් අල්වා තමන් වහන්සේගේ හිස මත තබා ගත්හ. ඒ ආශ්චර්යය දැක මහ ජනයා මහා නාදයක් පවත්වා තථාගත පාදයට නමස්කාර කළහ. ඉක්බිති පාද යුග්මය පෙරතිබූ පරිදි රන්දෙනෙහි පිහිටියේය. චිතකය කිසි වෙනසක් නොවී තිබූ පරිදිම විය. තථාගත පාද යුග්මය චිතකයට ඇතුළු වත්ම පිරිනිවන් පෑ අවස්ථාවෙහි මෙන්ම හැඬූහ. ඉක්බිති දේවානුභාවයෙන් චිතකය සැමතැනින්ම එකවර ගිනි ගත්තේය. චිතකය ගිනිගත් කල්හි තථාගත දෙහයේ සිවි සම් මස් නහර ආදි සියල්ල අළු හෝ අඟුරු බවට නො පැමිණ කපුරු මෙන් සම්පූර්ණයෙන් දැවී ගියේය. මුතු රැසක් මෙන් ධාතූන් වහන්සේ ශේෂ වූහ. තථාගත ශරීරය වෙලා තිබූ සළුවලින් සියල්ලට යටින් හා උඩින් තිබූ සළු දෙක ඉතිරි වී අන් සියල්ල පුළුන් පටද සමඟ දැවී ගියේය. ඉක්බිති චිතකයේ ගිනි නිවනු පිණිස අහසින් ජල ධාරා ගැලිණ. සෑය අවට සල් රුක්වලින් ද ජල ධාරා විහිදිණ. පොළොවෙන්ද ජල ධාරා විහිදිණ. මල්ල රජුද රන් රිදී කළවලින් සුවඳ පැන් ගෙනැවිත් ඉස්සෝය. සෑය නිවිණ.