වැඳි යුතු පිළිවෙල

ලොවුතුරා බුදුන්වහන්සේට සැමදෙනා විසින් ම වැඳිය යුතු ය. වයසින් කොතෙක් වැඩිවුව ද ගිහියා විසින් බාල පැවිද්දාට වැඳි යුතුය. පැවිද්දන් විසින් ගිහි මා පියනට නො වැඳිය යුතු ය. ගිහි මා පියන් විසින් පැවිදි දරුවන්ට වැඳිය යුතුය. වයසින් වැඩි වුව ද සාමණේරයන් විසින් වයසින් අඩු උපසම්පදා උපසම්පන්නයන්ට වැඳිය යුතුය. උපසම්පන්නයන් විසින් උපසම්පදාවේ වයස අනුව වැඳීම කළ යුතුය. වයසින් අඩු වුව ද කලින් උපසම්පදාව ලැබූ භික්ෂුවට පසුව උපසම්පදාව ලත් භික්ෂුව විසින් වැඳිය යුතුය. බාලයා රහත් වුව ද වැඩිමහළු පෘථග්ජන භික්ෂුවට වැඳිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය.

එක් සමයෙක් හි තථාගතයන් වහස්න්සේ මහ සඟන පිරිවරා විසාලා මහනුවර සිට සැවැත් නුවර බලා වැඩම කළ සේක. එසමයෙහි ෂට් වර්ගික භික්ෂුන්ගේ අතවැසි භික්ෂුහු පළමුවෙන් විහාරයට වැද මේවා අපගේ උපාධ්‍යයයන්ටය, මේවා අපගේ ආචාර්යයන්ටය, මේවා අපට ය කියා සඟසතු සෙනසුන් වෙන් කර ගත් හ. නිදන අසුන් වෙන් කර ගත්හ. එකල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ බුදුපාමොක් මහසඟන පසුපසින් වැඩම කොට ආවාසයක් නො ලැබ සැතපීමට අසුනක් නොලැබ ගසක් මුල වැඩ හුන් සේක. තථාගතයන් වහන්සේ රාත්‍රියේ අවසාන භාගයේ නැගිට කැස්සාහ. සැරියුත් මහ තෙරණුවෝද කැස්සාහ. තථාගතයන් වහන්සේ “මෙහි කවරෙක්දැ”යි වදාළ සේක. “ස්වාමිනී, මම ශාරිපුත්‍රයෙමි” යි සැරියුත් හිමියෝ කීහ. “තෙපි මෙහි කුමට සිටින්නහුදැ” යි වදාළ කල්හි සැරුයුත් හිමියෝ කරුණ තථාගතයන් වහන්සේට සැලකළහ.

තථාගතයන් වහන්සේ ඒ කරුණෙන් භික්ෂු සංඝයා රැස් කරවා “මහණෙනි, සවග මහණුන්ගේ ගෝලයෝ බුදුපාමොක් මහසඟනට ඉදිරියෙන් ගොස් ආවාස වෙන් කර ගනිත් ය, සයනාසන වෙන් කර ගනිත්ය යන මේ කරුණ සැබෑදැ” යි අසා “සැබෑය” යි භික්ෂූන් පිළිතුරු දුන් කල්හි, ඒ කරුණ ගැන ගර්හා කොට දැහැමි කථාවක් කොට මෙසේ වදාළ සේක.

“මහණෙනි, ප්‍රධානාසනය, පළමුවෙන් දෙන පැන්, පළමුවෙන් දෙන භෝජනය පිළිගැනීමට කවරෙක් සුදුසු වේද?”

එකල්හි බොහෝ භික්ෂුහු කැත්කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, බමුණු කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, ගෘහපති කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, සෞත්‍රාන්ත්‍රික භික්ෂුව සුදුසු ය, විනයධර භික්ෂුව සුදුසු ය, ධර්මකථික භික්ෂුව සුදුසු ය, ධ්‍යානලාභී භික්ෂුව සුදුසු ය යනාදීන් තම තමන් ගේ අදහස් පැවසූහ. එකල්හි තථාගතයන් වහන්සේ තිත්තිර ජාතකය වදාරා එයින් වැඩිමහල්ලන්ට ගරු බුහුමන් කළ යුතු බව දන්වා භික්ෂූන් අමතා,

“අනුජානාමි භික්ඛවෙ! යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමිචිකම්මං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං”

යනුවෙන් “මහණෙනි! වැඳීම, දුටුවිට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, පවන් සැලීම ආදී වත් කිරීම, අග්‍රාසනය, අග්‍රෝදකය, අග්‍ර පිණ්ඩය යන මේවා වැඩිමහළු පිළිවෙලින් පිළිගැනීමට අනු දනිමි” යි වදාළ සේක.

භික්ෂූන් වහන්සේ විසින් නො වැඳිය යුතු පුද්ගලයෝ

“දස ඉමෙ භික්ඛවෙ! අවන්දියා, පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො බුඩ්ඪතරො අධම්මවාදි අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පරිවාසිකො අවන්දියො, මූලායපටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො, අබ්භානාරහො අවන්දියො, ඉමෙ ඛො භික්ඛවෙ! දස අවන්දියො.”

(චූලවග්ගපාලි සේනාසන්ක්ඛන්ධක)

තේරුම :

“මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙනා නො වැඳිය යුත්තෝය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූවහිට නො වැඳිය යුතුය. අනුසම්පන්නයන්ට නො වැඳිය යුතුය. නානා සංවාසක අධර්මවාදී වැඩිමහළු භික්ෂුවට නො වැඳිය යුතුය. ස්ත්‍රියට නො වැඳිය යුතුය. පණ්ඩකයාට නො වැඳිය යුතුය. පිරිවෙස් පුරන භික්ෂුවට නො වැඳිය යුතුය, මූලාය පටිකස්සනයට සුදුස්සාට නො වැඳිය යුතුය. මානතට සුදුස්සාට නො වැඳිය යුතුය, මානත පුරන තැනැත්තාට නො වැඳිය යුතුය, අබ්භාන කර්මයට සුදුසුව සිටින තැනැත්තාට නො වැඳිය යුතුය, මහණෙනි මේ දස දෙනා නො වැඳිය යුත්තෝ ය.”

නො වැඳිය යුත්තනට වඳින්නාවූ භික්ෂුවට දුකුළා ඇවැත් වේ. මෙහි දැක්වෙන පාරිවාසික, මූලායපටිකස්සනාරහ, මානත්තාරහ, මානත්තචාරික, අබ්භානාරහ පුද්ගලයෝ කවරහුද යන වග විනය නො දත අයට තේරුම් ගත නො හැකිය. ග්‍රන්ථය මහත් වන බැවින් ද පොදු ජනයාට එයින් වන විශේෂ ප්‍රයෝජනයක් නැති නිසාද ඒ පුද්ගලයන් ගැන විස්තර නො කරනු ලැබේ.

“තයො මෙ භික්ඛවෙ! පුග්ගලා වන්දියා: පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානා සංවාසකො බුඩ්ඪතරො ධම්මවාදි වන්දියො, සදෙවකො භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො.”

(චුල්ලවග්ග සොනාසනක්ඛන්ධක)

තේරුම :

“මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන වැඳිය යුත්තෝ ය. පසුව උපසපන් භික්ෂුව විසින් පෙර උපසපන් භික්ෂුවට වැඳිය යුතුය. නානා සංවාසක ධර්මවාදි වැඩිමහළු භික්ෂුවට වැඳිය යුතුය. මහණෙනි දෙවියන් මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහයෙන් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සෑම දෙනා විසින් වැඳිය යුතු වන්නාහ.”