ශීතෝෂ්ණ දෙකින් වන පීඩා ද, සාගින්න පිපාසය ලෙස ආදියෙන් වන දුක් ද, මනුෂ්‍ය තිරශ්චීනාදීන් නිසා වන්නා වූ පීඩා ද, ඔවුන් විසින් කරන පීඩා ද, ඉවසීම “ක්ෂාන්ති” නමි.
ඉවසීම නොයෙක් හේතුන් නිසා කරති. ඇතැම්හු අනුවණකම නිසා ඉවසති. ඇතැම්හු දුබල කම නිසා ඉවසති. ඇතැම්හු රාගය නිසා ඉවසති. ඇතැම්හු කුහක කමට ඉවසති. ඇතැම්හු මිල මුදල් ආදිය ලැබීමේ ආශාවෙන් ඉවසති. ඒ ඉවසීම් මේ පාරමිතා කථාවෙහි අදහස් නො කරනු ලැබේ. පාරමිතා කථාවෙහි අදහස් කරන්නේ බෝධිත්‍රය අතුරෙන් යමකට පැමිණීමේ උපාය වශයෙන් කරන ඉවසීම ය. බෝධිත්‍රයෙන් එකකට පැමිණීමේ උපාය වශයෙන් කරන්නා වූ ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය. මහා බෝධි පාරමිතාව දැක්වීම් වශයෙන් චරියා පිටක අටුවාවෙහි -
“කරුණුපාය කොසල්ල පරිග්ගහිතං සත්ත සංඛාරා’පරාධ සහනං අදොසප්පධානො තදාකාරප්පවත්තො චිත්තුප්පාදො ඛන්තිපාරමිතා”යි කීහ.
කරුණාවෙන් හා උපා දන්නා නුවණින් පරිගෘහිත වූ සත්ත්ව සංස්කාරයන්ගේ අපරාධ ඉවසීම හෙවත් ඒ ආකාරයෙන් පවත්නා වූ අද්වේෂය ප්‍රධාන සිත, ක්ෂාන්ති පාරමිතාව ය යනු එහි තේරුම යි.
ඉවසීම බුද්ධාදීන් විසින් පසස්නා ලද උසස් ගුණයෙකි. පැමිණි දුක් කරදරවලින් මිදීමට උත්සාහ නො කොට ඉවසමිය කියා ඒවා නිකම් ම විඳ දරා ගෙන සිටීමත් ගුණයක් නො වේ. දුක් කරදර වලින් මිදීමට උත්සාහ කළ යුතු ය. ගුණයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ දුක් කරදර නිසා විපර්යාසයට නො පැමිණීම ය. ඇතැම්හු යම් යම් දුක් කරදර ඇතිවීම නිසා කළයුත්ත නො කර හරිති. නො කළ යුතු දේ කරති. එය දුක් කරදර නිසා විපර්යාසයට පැමිණීම ය. පාරමිතාවක් වශයෙන් හා ගුණයක් වශයෙන් ගණන් ගන්නා ඉවසීම නම්, දුක් කරදර නිසා තමා කරන යහපත් කටයුතු අත නො හැරීම හා කෝපවීම් - පලි ගැනීම් ආදී පව් කම් නො කිරීම ය.
“කථඤ්ච භික්ඛවෙ : භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු ඛමො හොති, සීතස්ස උණ්හස්ස ජිගච්ඡාය. පිපාසාය ඩංසමකසවාතාත - පසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසන ජාතිකො හොති: එවං ඛො භික්ඛවෙ! භික්ඛු ඛන්තා හොති.”
තථාගතයන් වහන්සේ විසින් මේ දේශනාවෙන් ඉවසන තැනැත්තා දක්වා තිබේ. යමෙක් ශීතය හා උෂ්ණය ද, සාගින්න ද, පිපාසාව ද, මැසිමදුරුවන්ගේ පීඩා ද, අව් සුළං ද, සර්පයන් ගේ දෂ්ට කිරීම් ද, නො මනා කථා ද, ශරීරයේ හටගන්නා වේදනා ද, ඉවසා නම් ඒ තැනැත්තා ඉවසන තැනැත්තා යයි කියා ඒ දේශනාවෙන් දැක්වේ.
ධර්මය උගෙනීම්, බණ කීම්, බණ ඇසීම්, වත් පිළිවෙත් කිරීම්, භාවනා කිරීම් ආදී සම්බෝධිය පිණිස කළයුතු වැඩ කිරීමේදී ශිතය හෝ උෂ්ණය ඇති වුවහොත් ඇතැම්හු ඒ ශීතෝෂ්ණයන් නිසා කරමින් සිටි කටයුත්ත නවත්වති. ශිතෝෂ්ණයන් දුරු කිරීමට උවමනා දෑ සෙවීම් වශයෙන් සමහර විට පව් කම් කෙරෙති. ඒ ශීතෝෂ්ණයන් නො ඉවසීම ය. “ලෝමසනාග” තෙරුන් වහන්සේ මෙන් ශීතල හා උෂ්ණය තිබියදී තමා කරන දෙය නො නවත්වා කර ගෙන යාම ශීතෝෂ්ණ ඉවසීම ය.
ලෝමසනාග තෙරුන් වහන්සේ සෑගිරියේ පියංගු ගුහාවෙහි වාසය කරන සේක්, හිම වැටෙන තද ශීත කාලයේ දී ලෝකාන්තරික නරකය මෙනෙහි කොට තමන් වහන්සේගේ භාවනාව නො නවත්වා ම කරමින් එළිමහනෙහි විසූහ. උන්වහන්සේ තද උෂ්ණ කාලයේදී ද අවීචි මහා නරකය මෙනෙහි කොට ඩහදිය වගුරුවමින් එළිමහනෙහි ම කර්මස්ථානය මෙනෙහි කරමින් විසූහ.
සෑහෙන පමණට ආහාර පාන නො ලැබ දුබලව වෙසෙන මට සිල් නො රැකිය හැකි ය, වත පිළිවෙත නො කළ හැකි ය, භාවනා නො කළ හැකිය, කියා ඒවා හැර දැමීමත්, ආහාර පාන සපයනු පිණිස ගිහියකු නම් වැරදි වෙළඳාම් ආදිය කිරීමත්, පැවිද්දකු නම් කුල දූෂණාදියෙන් ප්‍රත්‍ය සැපයීමත්, සාගින්න හා පිපාසාව නො ඉවසීම ය. සාගින්නෙන් පිපාසාවෙන් වන පීඩා ගණන් නො ගෙන තමා කරගෙන යන ශීලපූරණාදි කටයුතු නො පිරිහෙළා කරගෙන යාමත්, සාගින්න පිපාසාව සන්සිඳවා ගැනීමට පව් කම් නො කිරීමත්, සා ගින්න හා පිපාසය ඉවසීම ය.
මැසි මදුරු ආදි සතුන් ගෙන් පීඩා ඇති වූ කල්හි ඒ නිසා පිළිවෙත් පිරීම නැවැත්වීම හා සතුන් විනාශ කිරීම ආදි පව්කම් කිරීමත් සතුන් ගෙන් වන පීඩා නො ඉවසීම ය. පොළඟා සැපීමත් ගණන් නො ගෙන රාත්‍රිය මුළුල්ලෙහි ම ආර්යවංශ ධර්මය ශ්‍රවණය කළ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙන් සතුන් ගෙන් පීඩා ඇති වූ කල්හි ද තමා කරන ක්‍රියාව නො නවත්වා කර ගෙන යෑමත්, ඒ නිසා පව් කම් නො කිරීමත් මැසි මදුරු ආදි සතුන් ගෙන් වන පීඩා ඉවසීම ය.
ගවරවාලඅංගණ නම් ස්ථානයෙහි වස් වැසූ භික්ෂූන් වහන්සේලා තිස් නමක් දෙසතියකට වරක් බැගින් මහා ආර්යවංශ ධර්මය දේශනය කළහ. එක් දවසක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ එහි ගොස් දහම් දෙසන තැන පිටිපස මුවාවක හිඳ බණ අසන්නට පටන් ගත්හ. මඳ වේලාවකින් පොළඟකු තෙරුන් වහන්සේගේ පය සැපීය. තෙරුන් වහන්සේට බලවත් වේදනා ඇති වූ නමුත් ඒ බව කියා එයට ප්‍රතිකාර කර වන්නට ගිය හොත් තමන් වහන්සේ ගේ හා තවත් බොහෝ දෙනකුන්ගේත් ධර්ම ශ්‍රවණයට එය අන්තරායයක් වන බැවින් කිසිවකුට නො කියා සර්පයා අල්වා පසුම්බියක ලා බැඳ තබා ආදරයෙන් දහම් අසමින් උන්හ.
අරුනෝද්ගමනයේ තෙරුන් වහන්සේගේ ඵලත්‍රයට පැමිණීමත්, සැපූ මුඛයෙන් විෂ පෘථිවියට බැස යාමත් ධර්ම දේශකයන් වහන්සේ බණ හමාර කිරීමත් එකවර සිදු විය. ඉක්බිති තෙරුන් වහන්සේ එහි උන් භික්ෂූන් වහන්සේලා කැඳවා “එක් සොරකු අල්ලා ගතිමි” යි කියා පසුම්බිය මුදා සර්පයා දැක්වූහ. භික්ෂූන් වහන්සේලා සර්පයා දැක ‘මූ දෂ්ට කෙළේ කොයි වේලේ දැ’යි ඇසූහ. “ඇවැත්නි, ඊයේ සවස් කාලයේ දී ය”යි තෙරුන් වහන්සේ කීහ. කාහටවත් නො දන්වා මේ තරම් බැරෑරුම් දෙයක් නුඹ වහන්සේ කෙළේ මන්දැ’යි භික්ෂූහූ ඇසූහ. තෙරුන් වහන්සේ “ඇවැත්නි, මෙය කීවේ නම් මා ලැබූ අනුසස් මට නො ලැබෙන්නේ ය”යි කීහ. මේ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ වැනි උදාර අදහස් ඇත්තෝ ඉවසන්නෝ ය.
දීඝ භාණක අභය තෙරුන් වහන්සේ වැන්නෝ නො මනා වචන ඉවසන්නෝ ය. ඒ තෙරුන් වහන්සේ මහා ආර්යවංශ ප්‍රතිපදාව දේශනය කළහ. බොහෝ මාගම් වැස්සෝ බණ ඇසීමට එති. තෙරුන් වහන්සේට මහා සත්කාරයක් උපන. එක්තරා තෙර කෙනෙකුට එය ඉවසිය නො හැකි වී; ‘මේ දීඝභාණක ආර්යවංශ ධර්මය දෙසමි’ යි කියමින් මුළු රැය ම කෝලාහල කෙළේ ය, යනාදීන් අභය තෙරුන් වහන්සේට බණින්නට විය. ඒ දෙදෙනා වහන්සේ තම තමන්ගේ වාසස්ථාන කරා ගවුවක් පමණ තැන් එක මඟ යන්නාහු මඟ දිගට ම ද අභය තෙරුන් වහන්සේට බැන්නේ ය.
දෙදෙනා වහන්සේලා ගේ විහාරවලට යන මං බෙදෙන තැන දී අභය තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේට වැඳ, ‘ස්වාමීනී, මේ නුඹ වහන්සේ ගේ මඟ ය’යි කීහ. බණින ස්ථවිරයෝ නො ඇසුණාක් මෙන් ගියහ. අභය තෙරුන් වහන්සේ විහාරයට ගිය කල්හි අත වැස්සෝ, ‘ස්වාමීනි, ගවුවක් දිගට ම බණින කල්හි නුඹ වහන්සේ ගේ සිතට කිසිවක් නොවී දැ’යි ඇසූහ. ‘ඇවැත්නි, ඉවසීම ම මගේ වැඩේ ය. නො ඉවසීම නො වේ ය. ඒ බැනුම නිසා එක් පියවරකදීවත් මාගේ සිත කමටහනින් බැහැර නො ගියේය, යි කීහ.
යම්කිසි ශාරීරිකාබාධයක් ඇති වූ කල්හි එය නිසා සම්බෝධිය පිණිස කරන කටයුතු හැර නො දැමීම හා ආබාධය සුව කර ගැනීම පිණිස ප්‍රාණඝාතාදිය නො කිරීමත් ශාරීරික වේදනා ඉවසීම ය. පෙර සිතුල්පව්වෙහි විසූ එක්තරා යෝගාවචර තෙරුන් වහන්සේ කෙනකු ගේ කුසයෙහි බලවත් වාතාබාධයක් ඇති විය. සමහර විට එබඳු ආබාධ යෝගාවචරයනට යෝග කර්මය නිසා ම ද ඇති වේ. වේදනාව ඉවසා ගතනොහී තෙරුන් වහන්සේ ඒ මේ අත පෙරළෙන්නට වූහ. එය දුටු පිණ්ඩපාතික තෙරුන් වහන්සේ කෙනෙක් “ඇවැත්නි, පැවිද්දෝ ඉවසන ස්වභාව ඇතියෝය’ යි කීහ. තෙරුන් වහන්සේ “එසේය, ස්වාමීනි” යි කියා නො සෙල්වී තමන් වහන්සේ කමටහන ම මෙනෙහි කරන්නට පටන් ගත්හ. වාතය වඩ වඩා කුපිත වීමෙන් නාභිය පටන් ලය දක්වා තෙරුන් වහන්සේගේ කුසය පැලිණ. තෙරුන් වහන්සේ වේදනාව යටපත් කොට විදර්ශනා වඩා ඒ මොහොතෙහි ම අනාගාමී වී අපවත් වූහ.
තමාටත්, තමාගේ ධනයටත් අඹු දරුවන්ටත් නෑ මිතුරන්ටත්, අනුන් කරන අලාභ හානි අපරාධ ඉවසීම ක්ෂාන්ති පාරමිතාවෙහි උසස් කොටස ය. ඒවා නො ඉවසා කිපී පලි ගන්නට යාමෙන් දෙපක්ෂය ම විනාශයට පැමිණෙති. මරණින් මතු ද අපා ගත වෙති.