“කොධං වධිත්වාන කදාචි සොචති
මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති,
සබ්බේසං වුත්තං ඵරුසං ඛමෙථ
එතං ඛන්තිං උත්තම මාහු සන්‍තෝ”
තේරුම:
ක්‍රෝධය නසා කිසි කලෙක ශෝක නො කෙරේ. මක්ඛ නම් වූ කළගුණ අමතක කරන ස්වභාවය දුරු කිරීම සෘෂීහු වර්ණනා කෙරෙති. සම - උසස් - පහත් සැම දෙනා ම කියන පරොස් බස් ඉවසව්. ඒ ක්ෂාන්තිය උතුමැ’යි සත්පුරුෂයෝ කියති.
“භයා හ සෙට්ඨස්ස වචො කමෙථ
සාරම්භ හෙතු පන සාදියස්ස.
යො විධ හීනස්ස වචො ඛමෙථ
එතං ඛන්තිං උත්තම මාහු සන්‍තෝ”
තේරුම:
බිය නිසා ශ්‍රේෂ්ඨයා ගේ වචනය ඉවසන්නේ ය. එකට එක කිරීම නිසා සමානයාගේ වචනය ඉවසන්නේ ය. මේ ලෝකයෙහි යමෙක් හීනයා ගේ වචනය ඉවසා ද එය උතුම් ඉවසීමය යි සත්පුරුෂයෝ කීහ.
“අක්කොසං වධ බන්ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති
ඛන්තිබලං බලාණිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”
තේරුම:
යමෙක් බැණුම් හා වධබන්ධන, කෝප නො වී ඉවසා ද, ක්ෂාන්ති බලය ඇති බල ඇණියක් ඇති ඒ තැනැත්තා මම පව් දුරු කළ කෙනෙකැ’යි කියමි.
“සදත්ථපරමා අත්ථා කන්ත්‍යා භියෙය්‍යා න විජ්ජති.
යො භවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති,
තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො”
තේරුම:
අර්ථයන්ගෙන් ආත්මාර්ථය ප්‍රධානය, අර්ථයන් අතුරෙන් ක්ෂාන්තියට උතුම් අර්ථයක් නැත. යමෙක් බලවත්ව සිට දුර්වලයා ගේ අපරාධ ඉවසා ද, එය උත්තම ක්ෂාන්තිය ය. දුර්වලයා නිතර ම ඉවසයි.
“තස්සේ ච තෙන පාපියෝ යො කුද්ධං පටිකුජ්ඣති,
කුද්ධං අප්පටි කුජ්ඣන්තො සංගාමාං ජෙති දුජ්ජයං”
තේරුම:
යමෙක් කිපුණු තැනැත්තාට කිපේ ද, එයින් ඔහුට ම පාපයක් වේ. කිපුණහුට නො කිපෙන තැනැත්තේ දිනීමට දුෂ්කර යුද්ධයෙන් දිනයි.
බුදුරජාණන් වහන්සේගේ අතීත චරිත මෙනෙහි කිරීමෙන් ද ක්ෂාන්තිය ඇති කර ගත හැකි ය.