1. අපණ්ණක ජාතකය

star_outline

ශාක්‍ය වංශයට තිලකයක් බඳු වූ, අනුන්ගේ දුකේදී දුකට පත්වන්නා වූ, කරුණාවට නිධානයක් වූ, අසරණයන්ට පිහිට වූ, සියලු යහපත සලසන, තුන් ලොවට ගුරුවූ, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ මහා භද්‍ර කල්පයට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරකට පෙර, ‘සාරමණ්ඩ’ නම් කල්පයෙහි තණ්හංකර, මේධංකර, සරණංකර යන බුදුරජාණන් වහන්සේලා තුන්නමක් පහළ වූවාට පසුව උපන්, තුන් ලොවටම ක්ෂේමය (සැනසීම) ඇති කළා වූ, මෝහය නමැති අන්ධකාරයට සූර්යයා බඳු වූ, මුළු මහත් සත්ව වර්ගයාට ශාන්තිය උදා කළා වූ, පින්වතුන්ට යහපතම කළා වූ, මාර සේනාවට භය උපදවන්නා වූ ‘දීපංකර’ නම් සර්වඥයන් වහන්සේ බුදුබව ලබා, සියලු සත්ත්වයන්ට අමා මහ නිවන් දක්වමින් ‘සුදසුන්’ (සුදර්ශන) මහා විහාරයෙහි වැඩ වසන සමයෙහි, ‘රඹගම්’ නුවර වැසි මනුෂ්‍යයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වීමට ආරාධනා කොට, බුදුරජාණන් වහන්සේ වඩිනා මාර්ගය සරසන්නට වූහ.

ඒ සමයෙහි අප මහා බෝධිසත්වයන් වහන්සේ ‘සුමේධ’ නම් තාපසව වාසය කරන්නේ, පාර සකස් කරමින් සිටින මිනිසුන් දැක, “මේ මාර්ගය කුමක් සඳහා සරසන්නේද?” යි විමසා, ඒ පුවත දැන, “එසේ නම් මටද සරසන පිණිස භූමි ප්‍රදේශයක් දෙන්න” යයි ඉල්ලා සිටියහ. එවිට මනුෂ්‍යයෝ, මොහු ඍද්ධි ඇත්තෙකැයි සිතා, මඩ වගුරක් සහිත කැඩී ගිය මාර්ග කොටසක් ලබා දුන්හ. ඒ භූමි ප්‍රදේශය සකස් කොට නිම කිරීමටත් පෙර, සාර ලක්ෂයක් (හාර ලක්ෂයක්) මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ දීපංකර නම් සර්වඥයන් වහන්සේ එතැනට වැඩි සේක.

ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ දැක, සුමේධ තාපසයෝ මඩ සහිත ස්ථානයෙහි තමා පොරවා සිටි අඳුන් දිවි සම එළා, බුදු බව පතා ඒ මත වැතිරුණහ. සර්වඥයන් වහන්සේ ඒ තාපසයන්ගේ හිස දෙස සිට, “මේ මහා පුරුෂයා කුමක් සිතා වැතිරුණේ දෝ?” යි දිවැසින් බලා, ඔහු සිතූ සිතුවිලි දැක, “මහණෙනි, මේ පුරුෂයාණෝ මෙතැන් සිට කල්ප අසංඛෙය්‍ය හතරකුත් ලක්ෂයක් මත්තෙහි ‘ගෞතම’ නම් බුදු වන්නාහ” යි නියත විවරණ පාදා වදාළ සේක.

ඒ සුමේධ තාපසයෝද, බුදුරජාණන් වහන්සේගෙන් එක් ගාථා මාත්‍රයක් ඇසූ පමණින් නිවන් දැකීමට තරම් පින් මහිමයක් (හේතු සම්පත්) තිබියදීත්, ඒ අවස්ථාව අතහැර සංසාරයට පිවිස, එතැන් පටන් දස පාරමිතාය, දස උප පාරමිතාය, දස පරමාර්ථ පාරමිතාය යන සමතිස් පෙරුම් දම්ද, අඟ පසඟ දන් දීමය, ජීවිතය දන් දීමය යනාදී පඤ්ච මහා පරිත්‍යාගයන්ද සම්පූර්ණ කළහ.

ඉන්පසුව පහළ වූ කොණ්ඩඤ්ඤ ආදී වූ තෙවිසි (23) බුදුරජාණන් වහන්සේලා අතින් ලබන ලද විවරණ ශ්‍රී ද ඇතිව, වෙස්සන්තර ආත්ම භාවයෙහි සිට සත් වරක් මහ පොළොව කම්පා කරවා මහ දන් දී, එයින් චුතව තුසිත දෙව්ලොව උපත ලබා, බොහෝ කාලයක් එහි වැස, දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් පස් මහ බැලුම් බලා, ඇසළ පුර පසළොස්වක ලත් උතුරුසල නැකතින් මව් කුස පිළිසිඳ ගෙන, දස මාසයක් ඉක්ම ගිය තැන මව් කුසින් බිහිව, එකුන් තිස් (29) අවුරුද්දක් ගිහිගෙයි රජකම් කොට, පෙර නිමිති තුනක් දැක සසර ගැන කලකිරී, සතර වැනිව දුටු පැවිදි රුව දැක පැවිදි වීමට ආශාව ඇතිව, එදින රාත්‍රියෙහි කන්ථක නම් අශ්වයා පිට නැගී දස දහසක් සක්වළ දෙවි බඹුන් පිරිවරා, අනෝමා නම් ගං තෙර දී කෙස් වැටි කපා අහසට දමා, මහා බ්‍රහ්මයා විසින් දෙන ලද අට පිරිකර දරා පැවිදි වූහ. ඉන්පසු සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට, අජපාල නුග රුක මුලදී සුජාතාවන් දුන් කිරිපිඬු දානය වළඳා, සල් වනයෙහි දවල් කාලය ගත කොට, සවස් වේලෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වඩිමින් සිටියදී අතරමගදී සොත්ථිය නම් බමුණකු දුන් කුස තණ මිටි අටක් ගෙන, ඇසතු බෝ මුලෙහි ඒවා අතුරා, ඉන් පැන නැගුණා වූ දහහතර රියන් වජ්‍රාසනය මත වැඩ හිඳ, මාර පරාජය කොට, අළුයම් වේලෙහි සියලු කෙලෙසුන් නසා බුදු වී, සත් සතියක් බෝධි මූලයෙහි දවස් යවා, අටවන සතියෙහිදී මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බරණැස් නුවර ඉසිපතන නම් විහාරයේදී පස්වග මහණුන් ප්‍රධාන කොට ඇති බොහෝ දිව්‍ය බ්‍රහ්මයන්ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා බොහෝ සත්ත්වයන්ට අමා මහ නිවන් මග පෙන්වූ සේක.

එතැන් පටන් හික්මවිය යුතු ජනයන් (වෛනේය ජනයන්) සංසාර සාගරයෙන් ගොඩනගා වාසය කරන සේක්, ඒ ඒ මනුෂ්‍යයන් හා ඒ ඒ භික්ෂු භික්ෂුණීන්ගේද, නොයෙක් ආපත්තිවලටද, නොයෙක් උදාහරණවලටද, නොයෙක් කථාන්තරවලටද, මෙකී දේවල් ගැන ඇති සැක දුරු කරනු පිණිස දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ට පින් පිණිස වදාරණ ලද පන්සිය පණස් ජාතක ධර්ම දේශනාව සිංහල බසින් දක්වන්නට වුව මැනවැයි කියා ‘පරාක්‍රම’ නම් ඇමති සත්පුරුෂයාගේ ආරාධනාවෙන්ද, ‘වීරසිංහ ප්‍රතිරාජ’ නම් උතුම් අමාත්‍යවරයාගේ උත්සාහයෙන්ද, අටුවාචාරීන් වහන්සේලා ලියා තැබූ ජාතක කථා ස්වභාවය නොවෙනස්ව, සිංහල බසින් ලියන ලද මේ ජාතක කථාව සත්පුරුෂ වූ මනුෂ්‍යයන් විසින් කන් යොමා සිත එකඟ කරගෙන ඇසිය යුතුය.

ඒ කෙසේද යත්?

වර්තමාන කථාව

භාග්‍යවත් වූ, තුන් ලොවට ගුරු වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි, දිව්‍ය විහරණ, බ්‍රහ්ම විහරණ, ආර්ය විහරණ යන ඉරියව් පැවැත්වීම් අතුරෙන් එක්තරා විහරණයකින් කල් ගෙවන සේක්, අනේපිඬු මහා සිටුතුමාගේ යහළුවන් වූ පන්සියයක් තීර්ථක ශ්‍රාවකයන් (මිසදිටු ගුරුවරුන් අදහන්නන්) අරමුණු කරගෙන මේ ‘අපණ්ණක ජාතක’ ධර්ම දේශනාව වදාළ සේක.

එක් දිනක් අනේපිඬු මහා සිටුතුමා තමන්ගේ යහළුවන් වූ පන්සියයක් තීර්ථක ශ්‍රාවකයන් කැඳවාගෙන, බොහෝ සුවඳ, දුම්, මල්, පහන් හා ගිතෙල්, මී පැණි, උක් සකුරු හා සිවුරු පිළි ආදිය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට, මල් සුවඳ ආදියෙන් පූජා කොට, ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා, “න පච්ඡතො න පුරතො” (ඉතා පස්සෙන් නොව, ඉතා ඉදිරියෙන් නොව) යනාදී වූ සවැදෑරුම් වූ දෝෂයන්ගෙන් මිදී එකත්පස්ව (පසෙකින්) වාඩි වූහ. ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝද බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට, බුදුන්ගේ පුන් සඳ මඬලක් බඳු වූ සශ්‍රීක මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යඤ්ජන, බ්‍යාමප්‍රභාව සහ කේතුමාලාලංකාරයෙන් බබළන්නා වූ බුද්ධ ශරීරයෙන්, යුගල යුගල වශයෙන් කරකැවී නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මිය බල බලා අනේපිඬු මහ සිටාණන් සමීපයෙහි වාඩි වූහ.

එකල්හි ඔවුන්ට බුදුරජාණන් වහන්සේ, රතු ගල් තලාවක හිඳ සිංහනාද කරන්නා වූ බිය නැති කේසර සිංහ රාජයෙක් මෙන්ද, වැසි කාලයෙහි මහා වර්ෂාවක් වසින කලක් මෙන්ද, ආකාශ ගංගාවක් (ස්වර්ගයේ ගංගාවක්) පහතට බසින කලක් මෙන්ද, රුවන් දාමයක් ගොතන්නාක් මෙන්ද, අෂ්ටාංගයෙන් (අංග අටකින්) සමන්විත වූ, කනට මිහිරි වූ, සිතට ප්‍රිය වූ, බ්‍රහ්ම ස්වරයෙන් නා නා නය (විවිධ ක්‍රම) නිපුණ වූ, විචිත්‍ර වූ, මධුර වූ ධර්ම දේශනාව කොට වදාළ සේක.

ඒ තීර්ථක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා පහන් වූ සිත් ඇතිව නැගී සිට, දසබලධාරී වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට, තීර්ථක ලබ්ධිය (මිසදිටු අදහස්) අතහැර බුදුන් සරණ ගියහ. ඔවුහු එතැන් පටන් සෑම කල්හිම අනේපිඬු මහ සිටාණන් සමඟ සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රකිති. පෙහෙවස් වසති.

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්ථක ශ්‍රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි, බුදුන්ගේ සරණ හැර දමා නැවත අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගෙන, තමන්ගේ පැරණි ඇදහීම්වලම පිහිටියාහ. බුදුරජාණන් වහන්සේත් සත් අට මසක් කල් ගත කොට නැවත ජේතවනයට වැඩි සේක. අනේපිඬු මහ සිටාණෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස්, සුවඳ මල් ආදියෙන් පූජා කොට, බුදුන්ට නමස්කාර කොට එකත්පස්ව හුන්නාහ. ඒ තීර්ථක ශ්‍රාවකයෝත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහ. එකල්හි ඔවුන් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩි කල්හි, තමන් ගත් සරණ අතහැර නැවත අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගෙන මුල් ලබ්ධියෙහිම පිහිටි බව අනේපිඬු මහ සිටාණෝ බුදුන්ට දැන්වූහ.

එකල්හි සර්වඥයන් වහන්සේ ප්‍රමාණ කළ නොහැකි තරම් දීර්ඝ කාලයක සිට අතරක් නැතිව පවත්වන ලද වචනයේ සුචරිතානුභාවයෙන්, දිව්‍ය සුවඳින් සුවඳ කැවූ, නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් විවෘත කරන කලක් පරිද්දෙන් මුඛ පද්මය විවෘත කොට මධුර ස්වර විහිදුවමින්, “සැබෑද? උපාසකවරුනි, තොපි තෙරුවන් සරණ හැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගියහුද?” යි විචාරා වදාළ සේක.

එකල්හි තමන් කළ ක්‍රියාව වසන් කරන්නට නොහැකි වූ ඔවුන් විසින්, “සැබව, ස්වාමීනි” යි කී කල්හි, බුදුහු උපාසකවරුන්ට ආමන්ත්‍රණය කොට, “එම්බා උපාසකවරුනි, යටින් අවීචි මහා නිරයත්, ඉහළින් භවාග්‍රයත් (ලොව ඉහළම තලය) කෙළවර කොට ඇති, හරහට අනන්ත අප්‍රමාණ සක්වළෙහි සීල, සමාධි, ප්‍රඥාදී වූ ගුණයෙන් බුදුන් හා සමාන කෙනෙක් නැත. බුදුන්ට වඩා උතුම් කෙනෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා, උපාසිකා කෙනෙක් වේවා නරකාදී වූ සතර අපායෙහි උපදින්නෝ නොවෙති. ඔවුහු අපාය උප්පත්තියෙන් මිදී දිව්‍ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කරති. එසේ හෙයින් තොපි හැමදෙනා මෙබඳු සරණ හැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ යන්නවුන් විසින් කරන ලද්දේ බලවත් නපුරකි” යි වදාළ සේක.

තවද, “උපාසකවරුනි, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය යන කමටහන් (භාවනා) නම් සෝවාන් මාර්ගය හා සෝවාන් ඵලය දෙන්නේය. සකෘදාගාමී මාර්ගය හා සකෘදාගාමී ඵලය දෙන්නේය. අනාගාමී මාර්ගය හා අනාගාමී ඵලය දෙන්නේය. අරහත් මාර්ගය හා අරහත් ඵලය දෙන්නේය” යි මේ ආදී වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට, “මෙබඳු රත්නත්‍රය සරණ බිඳ දැමූ තොප විසින් නොකළ යුතු දෙයක් කරන ලද්දේය” යි වදාළ සේක.

මෙසේ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් උපාසකවරුන්ට අවවාද කොට, “උපාසකවරුනි, පෙරත් මනුෂ්‍යයෝ පිහිටක් නැති දෙය (අසරණය) පිහිට යැයි (සරණ යැයි) සිතා වැරදි මතයක් ගෙන (විරුද්ධ ග්‍රහණයක් ගෙන), අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සැබෑ පිහිටම පිහිට යැයි ඒකාන්ත කොට නිවැරදි මතයක් (අවිරුද්ධ ග්‍රහණයක්) ගත්තා වූ මනුෂ්‍යයෝ ඒ කාන්තාරයෙහිම සුවසේ පැමිණියෝ නොවෙද?” යි වදාරා, නිහඬව වැඩ සිටි සේක.

එකල්හි අනේපිඬු මහ සිටාණෝ හුනස්නෙන් නැගී සිට, බුදුන් වැඳ ස්තුති කොට දොහොත් මුදුනේ තබා, “ස්වාමීනි, දැනට මේ උපාසකවරුන්ගේ උතුම් වූ රත්නත්‍රය සරණ හැර වැරදි මතයක් ගැනීම අපට ප්‍රකාශය. නමුත් අතීතයෙහි යක්ෂයන් විසින් අරක් ගන්නා ලද කාන්තාර මාර්ගයෙහි වැරදි මත ගත්තවුන්ගේ (විරුද්ධග්‍රාහීන්ගේ) විනාශය හා නිවැරදි මත ගත්තා වූ (අවිරුද්ධ ග්‍රාහිත) මනුෂ්‍යයන් යහපතට (ස්වාර්ථයට) පැමිණි බව අපට සැඟවී ඇත්තේය. නුඹ වහන්සේටම එය ප්‍රකාශය. ස්වාමීනි, ආයාචනා කරමු. පින්වත් වූ සර්වඥයන් වහන්ස, ආකාශයෙහි පුන් සඳ මඬල නගා පාන්නාක් මෙන් මේ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැ” යි ආරාධනා කළාහුය.

ඉක්බිත්තෙන් බුදුහු, “සිටාණෙනි, මා විසින් අප්‍රමාණ වූ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝකවාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය අවබෝධ (ප්‍රතිවේධ) කරන ලද්දේය. සිංහ තෙලෙන් රන් තලියක් පුරවන්නාක් මෙන් සිත සකස් කොට කන් යොමා අසව” යි සිටාණන්ට සිහිය උපදවා, ඝන මේඝයක් පලා පුන් සඳ මඬලක් පිටතට ගෙන පාන්නාක් මෙන් භවාන්තරයෙන් (අතීත ආත්ම භාවයෙන්) සැඟවුණා වූ කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.

අතීත කථාව

යටගිය දවස කාසි රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාව සතුටු කරමින් (ජනරංජනය කොට) රාජ්‍යය කරන්නාහුය. ඒ කාලයෙහි පුරන ලද බෝධි සම්භාර ඇති අප මහා බෝසතාණෝ සාත්තුනායක (වෙළඳ නායක) කුලයක පිළිසිඳගෙන, ක්‍රමයෙන් වැඩිවිය පැමිණ, පන්සියයක් කරත්තවලින් වෙළඳාම් කොට ඇවිදින්නාහ. ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යති. කලෙක බස්නාහිරින් නැගෙනහිරට යති. එකල බරණැස් නුවර තවත් සාත්තුනායක පුත්‍රයෙක් විය. හෙතෙම නුවණ නැත්තෙකි (අඥානය), දක්ෂ නොවූවෙකි (අව්‍යක්තය), උපායෙහි දක්ෂ නොවෙයි.

ඒ කාලයෙහි බෝධිසත්වයෝ බරණැස් නුවරින් ඉතා වටිනා බඩු ගෙන පන්සියයක් ගැල් (කරත්ත) ගමනට සූදානම් කරවා සිටවූහ. ඒ නුවණ නැති සාත්තුනායක පුත්‍රයාද එසේම පන්සියයක් ගැල්වල බඩු පුරා ගමනට සූදානම් කරවා සිටවූයේය. බෝධිසත්වයෝ, “ඉදින් මේ නුවණ නැති සාත්තුනායක පුත්‍රයා මා සමඟ යේ නම්, ගැල් දහසක් එක මග යන්නට පටන් ගත් විට පාර ප්‍රමාණවත් නොවන්නේය. මනුෂ්‍යයන්ට දර හා ජලයද, ගවයන්ට තණකොළද සොයා ගැනීම අපහසු වනු ඇත. එබැවින් මොහුවත්, මමවත් පළමුව යාම කළ යුතුය” යි සිතා, බෝධිසත්වයෝ ඒ අඥාන වූ සාත්තුනායකයා කැඳවා මේ බව කියා, “අප දෙදෙනා එක්ව යන්නට නොහැකිය. කුමක්ද කරන්නේ? ඔබ ඉදිරියෙන් යන්නෙහිද? නැත්නම් පසුව යන්නෙහිද?” යි විමසූහ.

එවෙලෙහි හෙතෙම මෙසේ සිතුවේය: “තමා ඉදිරියෙන් යන කල්හි බොහෝ වාසි (අනුසස්) වන්නේය. ගැල් රෝදවලින් නොකැඩුණු මාර්ගයෙන් සෙමින් ගැල් ඇදගෙන යා හැකිය. ගවයන්ට වෙනත් ගවයන් නොකෑ තණකොළ කන්නට ලැබේ. මනුෂ්‍යයන්ට වෙනත් කිසිවකු විසින් නොකැඩූ පලා කොළ ලැබෙන්නේය. පිරිසිදු වූ ජලය ලැබෙන්නේය. කැමති පරිදි මිල නියම කරගෙන බඩු විකුණමි” යි සිතා, හෙතෙම “යහළුව, මම පළමුව යමි” යි කීවේය.

මහ බෝධිසත්වයෝත් පසුව යාමෙහි බොහෝ වාසි දැක මෙසේ සිතූහ: “ඉදිරියෙහි යන්නා වූ සත්ත්වයෝ මාර්ගයේ විෂම තැන් සම කරති. මම ඔවුන් ගිය මගින් යෙමි. කලින් ගිය ගවයන් මෝරා ගිය තද තණකොළ කති. මාගේ ගවයන්ට නැවත අලුතින් හටගත් මිහිරි වූ ලා තණකොළ කන්නට ලැබේ. කලින් පලා කොළ කඩා ගත් තැනින් අලුතින් වැඩුණු දළු පලා මනුෂ්‍යයන්ට මිහිරි ය. පළමුව ජලය නැති තැන වළවල් හාරා ජලය උපදවති. මොවුන් විසින් හාරන ලද වළවල්වලින් අපි ජලය බොමු. පළමුව මිල නියම කරන ලද්දේ නම්, එය හරියට මනුෂ්‍යයන්ගේ දිවි ගැලවුවාක් මෙනි (මිල ගණන් ගැන තර්ක කර කර ඉන්නට ඕනෑ නැත). මම පස්සෙන් ගොස් මොවුන් විසින් නියම කළ මිලටම බඩු විකුණමි” යි ඒ මහා බෝසතාණෝ මෙතෙක් වාසි දැක, “යහළුව, ඔබ පළමුව යව” යි කීවාහුය.

එකල්හි නුවණ නැති සාත්තුනායක “යහපත යහළුව” යි කියා ගැල් සූදානම් කරගෙන නික්ම, ක්‍රමයෙන් මිනිස් වාසය ඉක්මවා කාන්තාරයට ඇතුළු වන තැනට (කාන්තාර මුඛයට) පැමිණියේය. හෙතෙම පළමුව සෑම කරත්තයකම විශාල කළ ගෙඩි තබ්බවා, ජලය පුරවාගෙන සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ඇරඹුවේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මැදට පැමිණි කල්හි, එහි අරක් ගත් යක්ෂයෙක්, “මේ මනුෂ්‍යයන් ගෙන යන ජලය ඉවත් කරවා, මොවුන් දුර්වල කොට සියල්ලන්ම කමි” යි සිතා, මුළු ශරීරයෙන්ම සුදු පාට වූ (ධවල වූ) ගවයන් දෙදෙනෙකු යොදන ලද සිත්කලු වූ කරත්තයක් (යානාවක්) මවාගෙන, දුනු, ඊතල හා පළිහ ආයුධ අතින් ගත්, අමනුෂ්‍යයන් දස දොළොස් දෙනෙකු පිරිවරාගෙන, ඇඹුල හා මානෙල් මල් පැළඳ, තෙත් හිසකේ හා තෙත් ඇඳුම් ඇතිව, ප්‍රධාන පුරුෂයකු මෙන් ඒ රථයේ හිඳ, මඩ තැවරී ගියා වූ රථයකින් යුක්තව පෙරමගට (ඉදිරියට) ගියේය.

ඔහුගේ පිරිවර අමනුෂ්‍යයෝද රථයේ ඉදිරියෙන් හා පස්සෙන් යමින්, තෙත් හිසකේ හා තෙත් ඇඳුම් ඇතිව, ඇඹුල හා මානෙල් මල් පැළඳ, රත් නෙළුම් හා සුදු නෙළුම් මිටි අතින් ගෙන, නෙළුම් අල හා නෙළුම් දැලි කමින්, ජල බිංදු හා මඩ බිංදු වගුරුවමින් නික්මුණාහ. යක්ෂයා ඉදිරියෙන් එන්නා වූ සාත්තුනායකයා දැක, තමාගේ යානාව පාරෙන් ඉවතට ගෙන, “කොහි යන්නේද?” යනාදී වශයෙන් ඔහු හා සමග සුවදුක් කථා කළේය.

සාත්තුනායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසු ගැල්වලට යන්නට මග ඉඩ හැර, එකත්පස්ව සිටියේය. එවිට ඒ යක්ෂයා මෙසේ කීය: “අපි නම් බරණැස් නුවර සිට ආවෙමු. ඔබලා හැමදෙනා ඇඹුල හා මානෙල් මල් පැළඳ, රත් නෙළුම් හා සුදු නෙළුම් අතින් ගෙන, නෙළුම් අල හා නෙළුම් දැලි කමින්, මුළු ශරීරයෙහි මඩ තවරාගෙන, පිනි බිංදු වගුරුවා වගුරුවා කොහි සිට එන්නහුද? තොපි එන මග වැසි වසිනවද? ඇඹුල හා මානෙල් මල් ආදියෙන් ගැවසී ගත් විල් තිබේදැ” යි විමසුවේය.

යක්ෂයා ඔහුගේ බස් අසා, “යහළුව, ඔබ මොනවා කියනවාද? අර පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය (වනාන්තර මායිමය). එතැන පටන් සියලු වනය ජලයෙන් පිරී ඇත්තේය. නිතර වැසි වසින්නේය. කඳු අතරින් ජලය ගලා බසින්නේය. ඒ ඒ තැන නෙළුම් මලින් ගැවසී ගත් විල් හා පොකුණු ඇත්තේය” යි කියා, පිළිවෙළින් යන්නා වූ ගැල්වල මනුෂ්‍යයන් අතින්, “මේ ගැල් අරගෙන කොහි යවුදැ” යි විමසුවේය. එකල්හි ඒ මනුෂ්‍යයෝ “අසවල් ජනපදයට යමු” යි කීහ. “මේ මේ ගැලෙහි මොන බඩුදැ” යි විමසුවේය. “අසවල් බඩුය” යි කීහ. “පස්සෙන් එන්නා වූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල්වල කුමන බඩුදැ” යි විමසුවේය. “වතුර පිරවූ ගැල්ය” යි කීහ. “මුල සිට මෙතන දක්වා වතුර ගෙන ආ ඔබ කළ දෙය ඉතා යහපත්ය. නමුත් මෙතැන් පටන් ඔබ ගෙන යන වතුරෙන් ප්‍රයෝජනයක් නැත. ඉදිරියෙහි බොහෝ වතුර ඇත. වතුර කළ ගෙඩි බිඳ වතුර අහක දමා සැපසේ යන්න” යි කීවේය.

මෙසේ කියා, “ඔබලා යන්න. අපට පමා වෙයි” යි කියා, ටික දුරක් ගොස් නොපෙනී ගොස් තමාගේ යක්ෂ පුරයටම ගියේය. ඒ අඥාන වූ සාත්තුනායකයාද තමාගේ නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් පිළිගෙන, කළ ගෙඩි බිඳුවා වතුර උගුරක්වත් ඉතිරි නොකර සියලු වතුර අහක දමවා, ගැල් පමණක් පදවාගෙන නික්මුණේය. ඉදිරියේ ස්වල්ප මාත්‍ර වූ ජලයක්වත් නොවීය. මනුෂ්‍යයෝ ජලය නොලැබ හෙම්බත් වී, සවස් වනතුරු ගොස්, ගැල් වටේට සිටුවා (ගැල් වලල්ලක් ලෙස), ගවයන් ගැල් රෝදවල බැඳ සිටවූහ. ගවයන්ට බොන්නටවත්, මිනිසුන්ට බත් උයන්නටවත් වතුරක් නැති විය. වතුර නොලැබ මිරිකී ගියා වූ මනුෂ්‍යයෝ ඒ ඒ තැන වැතිර නිදන්නට පටන් ගත්හ. රාත්‍රී කාලයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් ගවයන් හා මනුෂ්‍යයන් මරා මස් අනුභව කොට ඇට පමණක් ඉතිරි කර ගියහ. මෙසේ ඒ නුවණ නැති සාත්තුනායකයා නිසා සියලු සත්ත්වයෝ විනාශයට පත්වූහ. අත් ඇට ආදිය ඒ ඒ අත විසිරී ගියේය. පන්සියයක් ගැල් බඩු පිරූ ලෙසම තිබුණේය.

මහා බෝධිසත්වයෝද නුවණ නැති සාත්තුනායකයන් ගොස් මසක් හෝ එකහමාරක් පමණ ඉක්ම ගිය පසු, පන්සියයක් ගැල්වල බඩු පටවාගෙන නුවරින් නික්ම, ක්‍රමයෙන් වතුර නැති අමනුෂ්‍යයන් වසන කාන්තාරයට ඇතුළු වන තැනට පැමිණියෝය. මෙසේ පැමිණියා වූ මහ බෝධිසත්වයෝ එතැනදී මහ කළ ගෙඩිවල වතුර පුරවා බොහෝ වතුර ගෙන, තමන් හා එක්ව යන මිනිසුන් කැඳවා කඳවුරු බැඳගෙන, සිටි තැන බෙර පියවි කරවා (බෙර ගස්වා) මනුෂ්‍යයන් රැස් කොට මෙසේ කීහ: “මාගෙන් නොවිමසා වතුර පතක් (කෝප්පයක්) තරම්වත් ප්‍රයෝජනයට නොගන්න. මේ කාන්තාර මග විෂ ගස් ඇත්තේය. එබැවින් පෙර නොකෑ විරූ පලා කොළයක්, මලක්, ගෙඩියක් මාගෙන් නොවිමසා නොකන්න” යි මෙසේ මනුෂ්‍යයන්ට අවවාද කොට බඩු පටවන ලද පන්සියයක් ගැල් හා සමග අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද වතුර නැති (නිරුදක) කාන්තාරයට පැමිණියෝය.

ඒ මහා බෝසතාණන් කාන්තාර මැදට පැමිණි කල්හි, ඒ යක්ෂයා පළමු පරිද්දෙන්ම බෝධිසත්වයන් එන පෙරමග තමා පෙනී සිටියේය. බෝධිසත්වයෝ ඔහු දැකලම (දුටු වහාම) හඳුනා ගත්හ. “මේ කාන්තාරයෙහි වතුර නැති හෙයින් ‘නිරුදක කාන්තාරය’ යයි මේ කාන්තාරයට නමක් ඇත්තේය. මොහු බිය නැත්තෙකි. රත් වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවත් (හෙවණැල්ලත්) නොපෙනෙන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් පළමුව ගිය නුවණ නැති සාත්තුනායකයා ඔහුගේ පිරිසත් සමග, ගැල්වල පිරූ වතුර අහක දම්මවා, ක්ලාන්ත කරවා කන ලද්දේ වන්නේය. නමුත් මාගේ නුවණ ඇති බව හා උපායෙහි දක්ෂ බව මොහු නොදනිති යි සිතමි” යි සිතා, ඉක්බිත්තෙන් ඔහුට මෙසේ කීහ. “ඔබලා හැමදෙන යන්න. අපි වෙළඳුන් බැවින් වෙනත් වතුරක් නොදැක ළඟ ඇති වතුර අහක නොදමමු. වතුර දුටු තැනකදී වතුර අහක දමා ගැල් සැහැල්ලු කරගෙන යන්නෙමු” යි කීහ.

Story Illustration [බෝධිසත්ව වෙළඳ නායකයා කාන්තාරයේදී වෙස්වලාගත් යක්ෂයා හමුවන අවස්ථාව]

යක්ෂයා ටික දුරක් ගොස් නොපෙනී ගොස් තමාගේ යක්ෂ පුරයටම ගියේය. යක්ෂයා ගිය කල්හි මනුෂ්‍යයෝ බෝධිසත්වයන්ට මෙසේ කීහ: “ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ ‘මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය, එතැන් පටන් නිතර වැසි වසින්නේය’ යි කීහ. මානෙල් මල් පැළඳ, රත් නෙළුම් සුදු නෙළුම් මිටි ගෙන, නෙළුම් අල හා නෙළුම් දැලි කමින්, තෙත් ඇඳුම් හැඳ, තෙත් වූ හිසකේ ඇතිව ආවාහුය. එසේ හෙයින් අපි සියල්ලෝ ගෙන යන වතුර අහක දමා, ගැල් සැහැල්ලු කරගෙන ඉක්මනින් යමු” යි කීහ.

බෝධිසත්වයෝ ඒ මිනිසුන් කී බස් අසා ගැල් නවතා, මනුෂ්‍යයන් රැස් කොට, “ඔබලා විසින් මේ කාන්තාර මාර්ගයේ විලක්වත් පොකුණක්වත් ඇතැයි කිසිවෙකුගෙන් අසා තිබේදැ” යි විමසූහ. “ස්වාමීනි, අසා නැත. මෙය වතුර නැති (නිරුදක) කාන්තාරය යැයි ප්‍රකටය” යි ඒ මනුෂ්‍යයෝ කීහ. එකල්හි බෝධිසත්වයෝ කියන්නාහු, “අප දුටු මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් ‘මේ නිල් වූ වල් රොදින් එහාට වැසි වසින්නේ ය’ යි කීහ. වැසි සුළඟ නම් කොපමණ දුරකට හමන්නේදැ” යි විමසූහ. “ස්වාමීනි, යොදුනක් පමණ දුරට හමන්නේ වේදැ” යි (අවම වශයෙන් යොදුනක් දුරට හමන බව) කීහ. “කුමක්ද? ඔබලා හැමදෙනා අතුරෙන් එක් කෙනෙකුටවත් ඇඟට වැසි සුළඟක් වැදුණේදැ” යි විමසූහ. “නැත, ස්වාමීනි” යි කීහ. “මේඝ ශීර්ෂ (වැසි වලාකුළු මුදුන්) නම් කොපමණ දුරකදී පෙනේදැ” යි විමසූහ. “යොදුනක් පමණ තැන සිට පෙනෙන්නේ වේද ස්වාමීනි” යි කීහ. “ඔබ සියල්ලන්ගෙන් කිසිවෙකු විසිනුත් එක් වැසි වලාකුළක්වත් දකින ලද්දේදැ” යි විමසූහ. “නැත ස්වාමීනි” යි කීහ. “විදුලිය නම් කෙතෙක් තැන සිට පෙනේදැ” යි විමසූහ. “සතර පස් යොදුනක් දුර සිට පෙනෙන්නේ වේද ස්වාමීනි” යි කීහ. “ඔබ හැමදෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දකින ලද්දේදැ” යි විමසූහ. “නැත ස්වාමීනි, විදුලි එළියක් නොදුටුවෙමු” යි කීහ. “මේඝ ධ්වනිය (ගිගුරුම් හඬ) නම් කෙතෙක් තැන සිට ඇසේදැ” යි විමසූහ. “එක් යොදුනකින් ඔබ්බෙහි පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමීනි” කීහ. “කුමක්ද? ඔබ හැමදෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් හෝ වැසි ගර්ජනාවක් කරනු ඇසුවෝ ඇද්දැ” යි විමසූහ. “නැත ස්වාමීනි, අකුණු ගසන හඬක් නොඇසුවෙමු” යි කීහ.

එකල්හි මහ බෝසතාණෝ කියන්නාහු, “එම්බා පින්වතුනි, මොහු මනුෂ්‍යයෝ නොවෙති, යක්ෂයෝය. මොහු අප සියල්ලන් ගෙන යන වතුර අහක දම්මවා, දුර්වල කොට කන්නෙමුයි ආවා වූ යක්ෂ කෙනෙක් වෙති. ඉදිරියෙහි ගිය නුවණ නැති සාත්තුනායක පුත්‍රයා උපාය දැනීමෙහි දක්ෂ නැත. ඒකාන්තයෙන් ඒ තැනැත්තා මොවුන් විසින් වතුර අහක දම්මවා, විඩාවට පත් කරවා (මිරිකා), දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරූ ලෙසම තිබෙන්නේය. අපි ඒ බඩු පිරූ ගැල් දකිමු. එසේ හෙයින් වතුර උගුරක්වත් අහක නොදමා වහා වහා ගැල් පදවන්න” යි කියා ගැල් පදවාගෙන නික්මුණාහ.

මහා බෝධිසත්වයෝ යමින් සිට, බඩු පිරූ ලෙසම තිබූ ගැල් දැක, පන්සියයක් ගැල් හා ගවයන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබෙනු දැක, ගැල් මුදවා, ගැල් වටේට තබා (ගැල් වලල්ලෙන්) කඳවුරු බඳවා, වේලාසනින්ම මනුෂ්‍යයන්ට හා ගවයන්ටද බත් හා තණ කවා, මනුෂ්‍යයන් මැද ගවයන් රැස් කොට වැතිරවූහ. තමන් ශක්ති සම්පන්න ප්‍රධාන පුරුෂයන් (මුරකරුවන්) ගෙන, කඩු අතින් ගෙන තුන් යම් රාත්‍රියෙහි රැකවල් ගෙන සිටි ලෙසම අරුණ නැගුණේය. දෙවැනි දවස් උදෑසනම සියලු කටයුතු සපයාගෙන, ගවයන්ට තණ ආදිය කවාගෙන, දුර්වල ගැල් (මාළුගැල්) අතහැර සවිමත් ගැල් (තර ගැල්) ගෙන, අඩු වටිනාකම් ඇති බඩු ඉවත් කරවා, බොහෝ වටිනාකම් ඇති බඩු පටවාගෙන, මහ බෝසතාණෝ තමන් වෙළඳාම් කරන්නට යන්නට සිතූ තැනටම ගොස්, දෙගුණ තෙගුණ මිලයෙන් බඩු විකුණා, සියලු පිරිස රැගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය.

සමෝධානය

ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ කථාව ගෙනහැර දක්වා වදාරා, “මහ සිටාණෙනි, මෙසේ පෙර වැරදි මත (විරුද්ධ ග්‍රාහය) ගත්තෝ මහා විනාශයට පැමිණියෝය. නිවැරදි මත (අවිරුද්ධ ග්‍රාහය) ගත්තා වූ නුවණැත්තෝ අමනුෂ්‍යයන්ගෙන් බේරී, සැපසේ කැමති තැනට ගොස්, බලාපොරොත්තු වූ අර්ථය (අභිමතාර්ථය) සිද්ධ කරගෙන, පෙරළා තමන් වසන තැනට සැපසේ පැමිණියෝ නොවෙද?” යි පූර්වාපර සන්ධි (පෙර හා පසු සම්බන්ධය) ගැළපීම් වශයෙන් අතීත කථාවත් වර්තමාන කථාවත් වදාරා, අවසානයෙහි ‘අපණ්ණක ජාතකය’ ධර්ම දේශනාව කොට වදාරන සේක්:

“අපණ්ණකං ඨානමෙකෙ - දුතියං ආහු තක්කිකා

එතදඤ්ඤාය මෙධාවී - තං ගණ්හෙ යදපණ්ණකන්ති”

යන මේ ගාථාව වදාළ සේක.

මෙහි ‘අපණ්ණක පටිපදාව’ (නිවැරදි ප්‍රතිපදාව) නම් රත්නත්‍රය සරණ යාම, පඤ්ච ශීලය හා දස ශීලය ආරක්ෂා කිරීමය, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය යන සියලුම සිල් පිරිසිදුව, සිල් නොකෙළසා (නොකිලිටු කොට) රැකීමය, ඇස ආදී පඤ්චේන්ද්‍රියයන් වසඟ කොට වසන බවය, ආහාරයෙහි පමණ දන්නා බවය, නිදි වැර්ජිත කිරීම (අවදිව සිටීම) ය, පඤ්ච විධ ධ්‍යානය ඉපදවීමය, විදර්ශනා භාවනා කිරීමය, පංච අභිඥා හා අෂ්ට සමාපත්ති ඉපදවීමය, සෝවාන් ආදී වූ සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීමය යන මේ සියල්ල ‘අපණ්ණක පටිපදා’ නම් වෙයි. නිර්වාණගාමී වූ (නිවන් මගට යොමු වූ) ප්‍රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරුද්ධ (පටහැනි නොවන) ප්‍රතිපත්තිය නම් වෙයි.

මෙහි ‘දුතියක පටිපදා’ (දෙවැනි හෙවත් වැරදි ප්‍රතිපදාව) නම් අන්‍ය ලබ්ධි (මිසදිටු අදහස්) ගැනීමය, දස අකුසල ධර්මයෙහි හැසිරීමය, නුසුදුසු වූ කාය වාග් සමාචාරයෙහි යෙදීමය යන මේ සියල්ල වන්නේය. මේ විරුද්ධ (වැරදි) ප්‍රතිපදාව සතර අපායෙහි හා පස් වැදෑරුම් නීච කුලයෙහි උපදවා මහත් දුක් දෙන්නේය. තවද මේ අවිරුද්ධ වූ ඒකාන්ත කාරණ වූ මේ අපණ්ණක (නිවැරදි) ප්‍රතිපත්තියෙහිම පිහිටා, සර්වඥවරයෝ දැඩි වීර්යයෙන් පාරමිතාවන් පුරා බෝධි මූලය සමීපයෙහි හිඳ සම්මා සම්බෝධි ඥානය අවබෝධ (සමධිගමය) කරන්නාහුය. පසේ බුදුවරයෝ පසේබුදු නුවණ (ප්‍රත්‍යේක බෝධි ඥානය) අවබෝධ කරති. බුද්ධ පුත්‍ර වූ ශ්‍රාවකයෝ ශ්‍රාවක පාරමිතා ඥානය අවබෝධ (ප්‍රතිවේධ) කරති.

මෙසේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඒ උපාසකවරුන්ට ත්‍රිවිධ කුසල සම්පත්තීන් හා දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් දක්වා, කෙළවර “මේ ‘අපණ්ණක පටිපදාව’ අරහත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදා දෙන්නේය” යි කියා, අනේපිඬු මහ සිටාණන් ප්‍රධාන කොට ඇති පන්සියයක් උපාසකවරුන්ට මේ අපණ්ණක ධර්ම දේශනාව දක්වා, අවසානයෙහි චතුරාර්ය සත්‍යය සොළොස් (16) ආකාරයකින් ප්‍රකාශ කොට වදාළ සේක.

මේ චතුස්සත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර, ඒ සියලු පන්සියයක් උපාසකවරු එක් දහස් පන්සියයක් (යෙළ දහසක්) කෙලෙසුන් නසා, දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ (අලංකාර වූ) සෝවාන් ඵලයෙහි පිහිටියාහ. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා මේ අපණ්ණක ජාතකය නිමවා වදාළ සේක.

“එසමයෙහි අඥාන වූ සාත්තුනායක පුත්‍රයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. ඔහුගේ පිරිස නම් දේවදත්ත පිරිස වන්නේය. එසමයෙහි නුවණැති සාත්තුනායකයාගේ පිරිස නම් දැන් බුදු පිරිස වන්නාහ. එසමයෙහි නුවණැති සාත්තුනායක පුත්‍රයා නම් දැන් තිලෝගුරු සම්මා සම්බුදුරජ වූ මම ම වෙමි” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.