“දළ්හං දළ්හස්ස ඛිපති” (තද තැනැත්තාට තද බවම එල්ල කරයි) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, (කොසොල්) රජතුමාට දුන් අවවාදයක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව ‘තේසකුණ ජාතකයෙහි’ (ජාතක අංක 521) මතු සඳහන් වන්නේය. එක් දිනක කොසොල් රජතුමා අගතියට ගිය, විනිශ්චය කිරීමට අපහසු නඩුවක් විනිශ්චය කොට, උදෑසන ආහාර අනුභව කර, තෙත් අත් ඇතිවම, අලංකාර රථයකට නැගී බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. එහි ගොස් පිපුණු නෙළුම් මල් වැනි ශ්‍රී ඇති බුදු පාමුල වැටී, ශාස්තෘන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ රජු අමතා, “මහරජතුමනි! නුඹ කුමක් නිසා මහ දවල් ආවෙහිද?” යි විමසූ සේක. “ස්වාමීනි! අද එක් අගතිගාමී වූ, විසඳීමට අපහසු නඩුවක් විනිශ්චය කිරීමට ගොස් (වෙනත් දෙයකට) වේලාවක් නොලැබී, දැන් එය නිමවා, ආහාර අනුභව කොට තෙත් අත් ඇතිවම ඔබවහන්සේට උපස්ථාන කිරීමට ආවෙමි” යි රජු කීවේය. බුදුරජාණන් වහන්සේ, “මහරජතුමනි! දැහැමින් සෙමෙන් නඩු විසඳීම නම් මහා කුසලයකි. එය ස්වර්ගයට යන මාර්ගයකි. නුඹ වැනි රජ කෙනෙක් මා වැනි සර්වඥවරයෙකු වෙතින් අවවාද ලබමින් දැහැමින් සෙමෙන් නඩු විසඳීම පුදුමයක් නොවේ. පුදුමය නම් පෙර රජවරු සර්වඥවරයන් වහන්සේලා නොමැති කාලවලත්, නුවණැති පණ්ඩිතයන්ගේ උපදෙස් අසා, දැහැමින් නඩු විසඳමින්, සතර අගතියෙන් (ඡන්ද, දෝස, භය, මෝහ) තොරව, දස රාජ ධර්මය (දාන, සීල, පරිත්‍යාග ආදී) කෝප නොකරමින් (අඩුවක් නොකරමින්) දැහැමින් රජකම් කර, (මරණින් මතු) දෙව්ලොව ගියාහු ය” යි වදාරා, රජුගේ ඉල්ලීම පරිදි ඒ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍යය කරන සමයෙහි, බෝසතාණන් වහන්සේ ඔහුගේ අගබිසවගේ කුස පිළිසිඳ ගෙන, ආරක්ෂිත ගැබ් පෙරහර ඇතිව යහතින් මව්කුසින් බිහිවූහ. නම් තබන දිනයේ ඔහුට “බ්‍රහ්මදත්ත කුමාරයා” යයි නම් කළහ. හෙතෙම පිළිවෙලින් වැඩී, සොළොස් හැවිරිදි වියට පත්වූ විට තක්සලා නුවරට ගොස් සියලු ශිල්පයන් නිමවා, පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් සෙමෙන් රජ කළේය. ඡන්දාදී අගතියට නොගොස් විනිශ්චය ලබා දුන්නේය. ඔහු මෙසේ දැහැමින් රජ කරද්දී ඇමතිවරුද දැහැමින්ම නඩු විසඳූහ. නඩු විනිශ්චය ධර්මානුකූලව සිදුවන විට, බොරු නඩුකාරයන් ඇති නොවූහ. ඔවුන්ගේ නැතිකමින් නඩු විනිශ්චය සඳහා රජ මිදුලෙහි වූ ඝෝෂාවන් නැවතුණි. ඇමැතිවරු දවස පුරා අධිකරණ ශාලාවෙහි හිඳ විනිශ්චය සඳහා කිසිවෙකු එනු නොදැක, නැගිට යති. අධිකරණ ශාලා අත්හැර දැමිය යුතු තත්ත්වයට පත්විය.
බෝසතාණන් වහන්සේ මෙසේ සිතූ සේක: “මා දැහැමින් රජ කරන විට විනිශ්චය සඳහා එන්නෝ නැත. නඩු හබ ඝෝෂා නැවතුණි. අධිකරණ ශාලා අත්හැර දැමිය යුතු තත්ත්වයට පත්විය. දැන් මා විසින් මගේ දෝෂයක් ඇද්දැයි විමසීම වටී. ‘මේ මාගේ දෝෂය යැයි’ අසා, එය අත්හැර දමා ගුණධර්මවලම පිහිටන්නෙමි.” එතැන් පටන් “මගේ කිසියම් දෝෂයක් කියන්නෙකු ඇද්දැයි” පරීක්ෂා කරමින්, ඇතුළත සේවය කරන්නන් අතරෙහි කිසි දෝෂ දකින්නෙකු නොදැක, තමන්ගේ ගුණ කථාවම අසා, “මොවුන් මට බියෙන් දෝෂ නොකියා ගුණම කියති” යි සිතා පිටත සේවකයන් පරීක්ෂා කළහ. එහිද කිසිවෙකු නොදැක නගරය ඇතුළත පරීක්ෂා කළහ. නුවරින් පිට දොරටු සතරෙහි ගම් පරීක්ෂා කළහ. එහිද කිසිම දෝෂ කියන්නෙකු නොදැක තමන්ගේ ගුණ කථාවම අසා, “ජනපදය පරීක්ෂා කරන්නෙමි” යි ඇමතියන්ට රාජ්‍යය පවරා, රථයට නැගී රියදුරා පමණක් ගෙන වෙස් වලාගෙන නගරයෙන් නික්ම ජනපදය පරීක්ෂා කරමින් දේශ සීමාව දක්වාම ගියහ. එහිද කිසි දෝෂ දකින්නෙකු නොදැක තමන්ගේ ගුණ කථනයන්ම අසා, දේශ සීමාවේ සිට මහ මග ඔස්සේ නගරය බලා ආපසු හැරී ආහ.
ඒ කාලයේ වනාහි මල්ලික නම් කොසොල් රජතුමා ද, දැහැමින් රාජ්‍යය කරන්නේ තමාගේ දෝෂ සොයන්නෙක් වී, ඇතුළත සේවකයන් අතුරෙහි දෝෂ කියන්නෙකු නොදැක, තමන්ගේ ගුණ කථාවම අසා, ජනපදය පරීක්ෂා කරමින් ඒ ප්‍රදේශයට ආවේය. ඒ දෙදෙනාම, රථය මාරු කළ නොහැකි එක් පහත් බිමක ගැල් මාර්ගයෙහි මුහුණට මුහුණ හමුවූහ. ඉක්බිති මල්ලික රජුගේ රියදුරා බරණැස් රජුගේ රියදුරාට, “නුඹේ රථය ඉවත් කරගන්න” යැයි කීවේය. හෙතෙම ද, “එම්බා රථාචාර්ය! නුඹේ රථය ඉවත් කර ගනු. මේ රථයෙහි බරණැස් රාජ්‍යයෙහි ස්වාමියා වූ බ්‍රහ්මදත්ත මහරජතුමා වැඩ සිටියි” යැයි කීවේය. අනිත් රියදුරාද ඔහුට, “එම්බා රථාචාර්ය! මේ රථයෙහි කොසොල් රාජ්‍යයෙහි ස්වාමියා වූ මල්ලික මහරජතුමා සිටින්නේය. නුඹේ රථය ඉවත් කරගෙන අපගේ රජතුමාගේ රථයට ඉඩ දෙව” යැයි කීවේය. බරණැස් රජුගේ රියදුරා, “මොහුද රජ කෙනෙකි. කුමක් කළ යුතුද?” යි සිතා, “මෙයට එක් උපායක් ඇත. වයස විචාරා වයසින් බාලයාගේ රථය ඉවත් කරවා වැඩිමහලු කෙනාට ඉඩ ලබා දෙන්නෙමි” යි තීරණය කළේය. ඔහු ඒ රථාචාර්යයාගෙන් කොසොල් රජුගේ වයස විචාරා බලන විට දෙදෙනාම සම වයස් බව දැනගත්තේය. රාජ්‍යයේ ප්‍රමාණය, බලය, ධනවත්කම, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශ යන සියල්ල විචාරන විට, දෙදෙනාම යොදුන් තුන්සියයක් පමණ රාජ්‍යවල හිමිකරුවන් බවත්, සමාන බලය, ධනය, කීර්තිය, ජාතිය, ගෝත්‍රය ඇති බවත් දැනගත්තේය. එවිට, “සිල්වත්කමින් වැඩි තැනැත්තාට ඉඩ දෙන්නෙමි” යි සිතා, “එම්බා රථාචාර්ය! තොපගේ රජතුමාගේ සිල්වත්කම කෙබඳුද?” යි විචාළේය. හෙතෙම “අපගේ රජතුමාගේ සිල්වත්කම මෙබඳුය” යි කියමින්, තමන්ගේ රජතුමාගේ දෝෂයන්ම ගුණ වශයෙන් ප්‍රකාශ කරමින්,
(පාලි ගාථාවේ අර්ථය):
“මල්ලික රජ තෙමේ දැඩි අයට තදින් පහර දෙයි (දැඩි දේ දැඩි දෙයින්ම මැඩපවත්වයි). මෘදු අය මෘදු භාවයෙන් දිනා ගනී. සත්පුරුෂයා සාධු ගුණයෙන්ද, අසත්පුරුෂයා අසත්පුරුෂ කමින්ද පරදවයි. මේ රජ මෙබඳු ගතිගුණ ඇත්තේය. රථාචාර්ය, ඒ නිසා මාර්ගයෙන් ඉවත්ව ඉඩ දෙන්න.”
යනුවෙන් පළමු ගාථාව කීවේය.
එහි අර්ථය මෙසේය:
දළ්හං දළ්හස්ස ඛිපති: යමෙක් දැඩි වෙයිද, බලවත් වෙයිද, ඔහු දැඩි ප්‍රහාරයෙන් හෝ තද වචනයෙන් හෝ පැරදවිය යුතුය. ඔහුට දැඩි පහරදීමක් හෝ තද වචනයක් හෝ එල්ල කරයි. මෙසේ දැඩි වී ඔහු පරදවන්නේ යයි දක්වයි.
බල්ලිකො: යනු ඒ රජුගේ නමයි.
මුදුනා මුදුං: මෘදු පුද්ගලයා හමුවේ තමාත් මෘදු වී, මෘදු උපායෙන් ඔහු දිනා ගනී.
සාධුම්පි සාධුනා ජෙති: යම් සත්පුරුෂයෝ වෙත්ද, ඔවුන් හමුවේ තමාත් යහපත් වී යහපත් උපායෙන්ම ඔවුන් දිනා ගනී.
අසාධුම්පි අසාධුනා: යමෙක් අයහපත් ද, ඔවුන් හමුවේ තමාත් අයහපත් වී (දරුණු වී) දරුණු උපායෙන්ම ඔවුන් පරදවයි.
එතාදිසො අයං රාජා: මේ අපගේ කොසොල් රජතුමාගේ සීලය හා හැසිරීම මෙබඳුය.
මග්ගා උය්යාහි සාරථී: එබැවින් තමාගේ රථය පාරෙන් ඉවත් කර ඉඩ දී, අතුරු මගකින් යන්න. අපගේ රජතුමාට මාර්ගය දෙන්නැයි කියයි.
ඉක්බිති බරණැස් රජුගේ රියදුරා, “එම්බා! නුඹ මේ විස්තර කළේ නුඹේ රජතුමාගේ ගුණ ද?” යි ඇසීය. “එසේය” යි කී කල්හි, “ඉදින් මේවා ගුණ නම්, අගුණ කෙබඳු වේ දැයි?” ඇසීය. එවිට කොසොල් රියදුරා, “ඒවා වනාහි අගුණම වෙත්වා! එසේ නම් නුඹගේ රජතුමාගේ ගුණ කෙබඳුද?” යි පෙරළා ඇසීය. “එසේ නම් අසව” යි කියා,
(පාලි ගාථාවේ අර්ථය):
“ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් (මෛත්‍රියෙන්) දිනා ගනී.
අසත්පුරුෂයා (නපුරු මිනිසා) සත්පුරුෂ කමින් (යහපත්කමින්) දිනා ගනී.
තද මසුරා දානයෙන් (දීමෙන්) දිනා ගනී.
බොරු කියන්නා සත්‍ය වචනයෙන් දිනා ගනී.
රථාචාර්ය, මේ රජු ඒ ආකාරය. එනිසා මග ඉඩ දෙන්න.”
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
එහි අර්ථය මෙසේය:
එතාදිසො: ඒ ‘අක්කොධෙන ජිනෙ කොධං’ ආදී වශයෙන් කියන ලද ගුණයන්ගෙන් යුක්තය. මේ රජතෙමේ කිපුණු පුද්ගලයා හමුවේ තමන් ක්‍රෝධ නොකරන්නෙකු වී, අක්‍රෝධයෙන් ඔහු දිනයි.
අසාධුං: අසත්පුරුෂයා හමුවේ තමන් සත්පුරුෂයෙක් වී, යහපත්කමින් ඔහු දිනයි.
කදරියං: තද මසුරාට තමා ත්‍යාගවන්තයෙකු වී, දානයෙන් දිනයි.
අලිකවාදිනං: බොරු කියන්නාට තමන් සත්‍යවාදී වී, සත්‍යයෙන් දිනයි.
මග්ගා උය්යාහි සාරථී: යහළු රථාචාර්ය! මාර්ගයෙන් ඉවත් වන්න. මෙබඳු සිල්වත් ගුණ යහපත් පැවතුම්වලින් යුක්ත වූ අපගේ රජතුමාට මාර්ගය ඉඩ දෙන්න. අපගේ රජතුමා මාර්ගයට වඩාත් සුදුස්සාය.
මෙසේ කී කල්හි මල්ලික රජතුමා ද, රථාචාරියා ද යන දෙදෙනාම රථයෙන් බැස, අසුන් ලිහා, රථය අයින් කර, බරණැස් රජතුමාට මාර්ගය ඉඩ දුන්හ. බරණැස් රජතුමා මල්ලික රජුට, “රජෙකු විසින් නම් මේ මේ දේ කළ යුතුය” යි අවවාද දී, බරණැසට ගොස් දානාදී පින්කම් කොට ජීවිත අවසානයේ දෙව්ලොව උපන්නේය. මල්ලික රජු ද ඔහුගේ අවවාද පිළිගෙන, ජනපදය පරීක්ෂා කරමින් තමන්ගේ දෝෂ කියන අය නොදැකම, සිය නුවරට ගොස් දානාදී පින්කම් කොට ජීවිත අවසානයේ දෙව්ලොවම උපන්නේය.
මල්ලිකා රජතුමා බරණැස් රජුගේ ගුණ අසා තම රථය මගින් ඉවත් කරන අයුරු.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට අවවාද දීම පිණිස මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල මල්ලික රජුගේ රථාචාරියා වූයේ (දැන්) මුගලන් තෙරුන්ය. රජතුමා වූයේ ආනන්ද තෙරුන්ය. බරණැස් රජුගේ රථාචාරියා වූයේ සැරියුත් මහා තෙරුන්ය. බරණැස් රජතුමා වනාහි මම ම වූයෙමි.”
පළමු රාජෝවාද ජාතක වර්ණනාව නිමාවිය.