“අලීනචිත්තං නිස්සාය” (අලීනචිත්ත කුමරු නිසා...) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් වීර්යය අත්හළ භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව එකොළොස්වන නිපාතයෙහි සංවර ජාතකයෙහි (ජාතක අංක 462) මතු සඳහන් වන්නේය. ඒ භික්‍ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ, “මහණ, ඔබ වීර්ය අත්හළ බව සත්‍යයක් දැයි?” විමසූ කල්හි, “එසේය, භාග්‍යවතුන් වහන්ස” යි හෙතෙම පිළිතුරු දුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ, “මහණ! නුඹ පෙර ආත්මයක වීර්යය අත නොහැර, මස් වැදැල්ලක් හා සමාන ලාබාල කුමාරයෙකුට දොළොස් යොදුනක් වූ බරණැස් නුවර රාජ්‍යය ලබා දුන්නා නේද? දැන් මෙබඳු වූ සම්බුදු සසුනෙහි පැවිදිව වීර්යය අත්හළේ කුමක් නිසාදැයි?” වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරද්දී එනුවරට නුදුරින් වඩු ගම්මානයක් විය. එහි වඩු කාර්මිකයෝ පන්සියයක් වාසය කළහ. ඔවුහු නැවෙන් ජල පහර දිගේ ඉහළට (උඩුගං බලා) ගොස් වනාන්තරයේදී ගෙවල් තැනීමට ගන්නා දැව කපා සකස් කොට, එහිම තනි මහල්, දෙමහල් ආදී විවිධ වර්ගයේ නිවාස කොටස් නිර්මාණය කරති. කණුවේ සිට සියලු දැවවල සලකුණු තබා, ගං ඉවුරට ගෙන ගොස් නැවට පටවා, දියපහර ඔස්සේ (යටිගං බලා) නගරයට පැමිණෙති. යමෙක් යම් ආකාරයේ නිවසක් කැමති වෙත්ද, ඔවුන්ට ඒ ආකාරයේ ගෙවල් තනා දී කහවණු ගෙන නැවතත් වනාන්තරයට ගොස් දැව ගෙන එති. මෙසේ ඔවුන් ජීවිකාව ගෙන යද්දී, එක් කලෙක කඳවුරු බැඳ දැව කැබලි කරන්නවුන්ට නුදුරෙහි එක් ඇතෙක් දිරාගිය කිහිරි උලක් පෑගුවේය. ඒ උල ඇතාගේ පතුල පසාරු කරගෙන ගියේය. බලවත් වේදනා ඇතිවිය. කකුල ඉදිමී සැරව හටගත්තේය. වේදනාවෙන් පීඩිත ඇතා වඩුවන් දැව කපන හඬ අසා, “මේ වඩුවන් නිසා මගේ කකුල සුවකරවා ගත හැකිය” යි සිතමින්, පාද තුනෙන් ඇවිද ඔවුන් සමීපයට ගොස් නුදුරෙහි බිම ඇලවුණේය. වඩුවෝ ඉදිමුණු කකුල දැක ළඟට ගොස් පරීක්ෂා කර, පතුලෙහි උලක් ඇනී ඇති බව දැක, සියුම් ආයුධයකින් උල වටේ මස් පාදා, ලණුවක් බැඳ අදිමින් උල ඉවත් කළහ. ඉන්පසු සැරව මිරිකා හැර, උණුදියෙන් සෝදා, සුදුසු බෙහෙත් ගල්වා නොබෝ දිනකින් තුවාලය සුව කළහ.
තුවාලය සුව වූ පසු ඇතා මෙසේ සිතුවේය: “මා ජීවිතය ලැබුවේ මේ වඩුවන් නිසාය. දැන් මා විසින් ඔවුන්ට උපකාර කිරීම වටී.” එතැන් පටන් ඇතා වඩුවන් සමග ගස් ඇදගෙන යයි; ගස් සසින අයට කඳන් පෙරළා දෙයි; වෑ පොරෝ ආදිය ළංකර දෙයි; සොඬවැලේ ඔතාගෙන මිනුම් කඹයේ (කලු නූලේ) කෙළවර අල්ලාගෙන සිටියි. වඩුවෝද කෑම ගන්නා අවස්ථාවේදී එකිනෙකා බත් පිඩ බැගින් දී බත් පිඩු පන්සියයක් ඔහුට දෙති. මේ ඇතාට, හැම ආකාරයෙන්ම සුදු වූ, ආජානීය කුලයේ උසස් ඇත් පැටවෙක් පුතු වශයෙන් සිටියේය. පසුව ඇතාට මෙසේ සිතුණි: “මම දැන් මහලුය. එනිසා මේ වඩුවන්ගේ කටයුතු කිරීමට මාගේ පුතා පවරා දී යන්නට වටී.” හෙතෙම වඩුවන්ට නොදන්වාම වනයට ගොස් ඇත් පැටවා කැඳවා ගෙනවිත්, “මේ ඇත් පැටවා මගේ පුතාය. ඔබ විසින් මගේ ජීවිතය රැකදෙන ලදි. එබැවින් මම නුඹලාට වෙදකම් කුලිය වශයෙන් මොහුව පවරා දෙමි. මේ ඇත් පැටවා මෙතැන් පටන් ඔබගේ වැඩකටයුතු කර දෙනු ඇත,” යි කීවේය. ඉන්පසු, “පුත, මෙතැන් පටන් මා විසින් කළ යුතු වැඩ කොටස නුඹ විසින් කළ යුතුය” යි ඇත් පැටවාට අවවාද දී වඩුවන්ට පවරා දී තමා නැවත වනයට පිවිසියේය.
එතැන් පටන් ඇත් පැටවා වඩුවන් කියන දෙය අසා කීකරුව සියලු කටයුතු කරයි. ඒ වඩුවෝද ඇතාව බත් පිඩු පන්සියයකින් පෝෂණය කරති. ඇත් පැටවා වැඩ කොටස නිමවා ගඟට බැස දියකෙළි කොට එයි. වඩුවන්ගේ දරුවෝද ඌ සොඬ ආදියෙන් අල්ලාගෙන ජලයෙහිද ගොඩබිමද ඌ සමග සෙල්ලම් කරති. ආජානීය ඇත්තුද, අශ්වයෝද, මනුෂ්‍යයෝද ජලයෙහි මල මුත්‍රා නොකරති. එනිසා ඒ ඇතාද ජලයෙහි මල මුත්‍රා නොකොට ජලයෙන් පිටත ගං ඉවුරෙහිම කරයි. ඉක්බිති එක් දිනක ගඟ ඉහළ ප්‍රදේශයට වැස්සක් වැස්සේය. අඩක් වියළි ඇත් වසුරු පිඩක් වැසි ජලයෙන් ගඟට පාවී විත් බරණැස් නගරය අසල තොටුපළේ එක් ලැහැබක රැඳුණේය. එකල්හි රජතුමාගේ ඇත්ගොව්වෝ ඇතුන් නාවන්නෙමුයි ඇතුන් පන්සියයක් එහි රැගෙන ගියහ. ආජානීය ඇත් වසුරේ සුවඳ දැනී එක් ඇතෙකුවත් ගඟට බැසීමට උත්සාහ නොකළේය. සියල්ලෝම වලිගය ඔසවාගෙන පලායාමට පටන් ගත්හ. ඇත්ගොව්වෝ හස්ති ශිල්ප දන්නා ආචාර්යවරුන්ට (ඇදුරන්ට) මේ බව දැනුම් දුන්හ. ඔවුහු ජලයෙහි යම් අනතුරක් තිබිය යුතුයයි සිතා ජලය පිරිසිදු කරවා, ගඟ අයිනේ ලැහැබක රැඳී තිබූ ඒ ආජානීය ඇත් වසුරු දැක, “මේ ඊට හේතුව යයි” දැන ගත්හ. ඉන්පසු කළයක් ගෙන්වාගෙන එහි ජලය පුරවා, ඇත් වසුරු එහි දියකර ඇතුන්ගේ ශරීරවල ඉස්සවූහ. ඔවුන්ගේ සිරුරු සුවඳවත් විය. එවිට ඇත්තු ගඟට බැස නාන්නට පටන් ගත්හ.
හස්ති ආචාර්යවරු රජුට ඒ පුවත දන්වා, “දේවයන් වහන්ස, ඒ ආජානීය ඇතා සොයාගෙන ඒම සුදුසු ය” යි පැවසූහ. රජතුමා නැව් එකට ඈඳා බැඳ, ගඟට බැස උඩුගං බලා යන පහුරු මගින් වඩුවන් සිටින ස්ථානයට පැමිණියේය. ඇත් පැටවා ගඟෙහි ජල ක්‍රීඩා කරද්දී බෙර හඬ අසා, ගොඩට විත් වඩුවන් ළඟට ගොස් සිටියේය. වඩුවෝ රජු වෙත පෙරගමන් කොට, “දේවයන් වහන්ස! දැව අවශ්‍ය වීද? කුමක් සඳහා වැඩියේද? කවරෙකු හෝ එවා ඒවා ගෙන්වා ගන්නට තිබුණා නේදැයි?” ඇසූහ. “දරුවනි, මම දැව බලාපොරොත්තුවෙන් ආවේ නැත. මේ ඇතා ලබාගැනීම සඳහා ආවෙමි,” යි රජු කීවේය. “එසේනම් රැගෙන යනු මැන දේවයන් වහන්ස!” යි වඩුවෝ කීහ. නමුත් ඇත් පැටවා යන්නට කැමති නොවීය. “දරුවනි, ඇතා මා ලවා කුමක් කරවීමට බලාපොරොත්තු වෙයිද?” යි රජු ඇසීය. “දේවයන් වහන්ස! වඩුවන්ට තමාව පෝෂණය කළාට හිලව් වශයෙන් මුදල් ගෙවන ලෙස හෙතෙම ඉල්ලා සිටියි.” රජතුමා, “දරුවනි, යහපතැයි” කියා ඇතාගේ පා සතර, සොඬවැල, වලිගය යන තැන්වල ලක්‍ෂය බැගින් කහවණු තැබ්බවීය. ඇතා එපමණකින් නොගොස්, සියලු වඩුවන්ට ඇඳුම් යුගල බැගින් ද, වඩුවන්ගේ බිරින්ඳන්ට අඳින වස්ත්‍ර ද ලබා දී, තමන් සමග සෙල්ලම් කළ දරුවන්ට ද සුදුසු පරිදි තෑගි බෝග ලබා දුන් කල්හි, වඩුවන් නවත්වා කාන්තාවන් ද දරුවන් ද දෙස ආපසු හැරී බලා රජු සමග ගියේය.
රජතුමා ඒ ඇතා රැගෙන නගරයට ගොස්, නගරය හා ඇත්හල ද සරසා, ඇතා නගරයේ ප්‍රදර්ශනය කරවා ඇත්හලට යැවීය. එහිදී සියලු අලංකාරයෙන් සරසා අභිෂේක කරවා, මංගල හස්තියා බවට පත් කොට, තම සහායක තනතුරේ තබා, ඇතාට රජකමෙන් අඩක් දී තමන්ට සමාන සැලකිලි දැක්වීය. ඇතා පැමිණි දින සිට මුළු දඹදිවම රාජ්‍යය රජතුමාගේ අතට පත්වූවාක් මෙන් විය. මෙසේ කල් යද්දී බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඇගේ ගැබ මෝරන කාලයේදී රජතුමා කලුරිය කළේය. ඉදින් රජු මළ බව ඇතා දැනගත්තේ නම්, ශෝකයෙන් එහිදීම ඇතාගේ ළය පැලෙන්නේය. ඒ නිසා ඇතාට රජු මළ බව නොදන්වාම උපස්ථාන කළහ. රජු මළ බව අසා, ‘රාජ්‍යය හිස්ය’ යි සිතා, අසල්වැසි කොසොල් රජ මහත් යුද සේනාවක් සමග අවුත් නගරය වට කළේය. නුවර වැසියෝ දොරටු වසා කොසොල් රජුට හසුනක් යැවූහ: “අපගේ රජතුමාගේ අගබිසව පිරිපුන් ගැබ් ඇත්තිය. මෙයින් සත්වන දිනයෙහි ඇය පුතෙකු බිහි කරන්නී යයි නිමිති කියන්නන් ප්‍රකාශ කර ඇත. ඉදින් ඇය පුතෙකු බිහි කළහොත්, අපි සත්වන දවසෙහි යුද්ධයට එන්නෙමු; රාජ්‍යය පවරා නොදෙමු. එතෙක් කල් ඉවසනු මැනවි.” රජතුමා “යහපතැයි” කියා එය පිළිගත්තේය.
දේවිය සත්වෙනි දවසේ පුතෙකු බිහි කළාය. ඔහුට නම් තබන දවසේ, ‘මහජනයාගේ පසුබට වූ සිත උත්සාහවත් කරමින් උපන් නිසා’, ඔහුට ‘අලීනචිත්ත’ (පසුබට නොවන සිතක් ඇති) කුමාරයා යයි නම් තැබූහ. කුමාරයා උපන් දවසේ සිට නගර වැසියෝ කොසොල් රජු සමග යුද්ධ කළහ. එහෙත් නායකයකු නැති බැවින්, මහත් බල සේනාවක් යුද්ධ කළත් ඔවුහු ක්‍රමයෙන් පසුබසිති. ඇමතිවරු ඒ බව බිසවට දන්වා, “බිසවුන් වහන්ස! අපි මෙසේ පසුබසිද්දී සේනාව පරාජය වීමට ඉඩ ඇත. අපගේ මහරජතුමා කලුරිය කළ බවත්, පුත් කුමරු උපන් බවත්, කොසොල් රජු පැමිණ යුද්ධ කරන බවත් රජතුමාගේ සහායක මංගල ඇත් රජ නොදනියි. අපි එය ඇතාට දන්වමුදැයි?” විමසූහ. බිසවුන් වහන්සේ “යහපතැයි” පිළිගෙන, පුත් කුමරු සරසා, සිහින් වස්ත්‍රයකින් ඔතා, ප්‍රාසාදයෙන් බැස ඇමති පිරිස සමග ඇත්හලට ගියාය. එහිදී බෝසත් කුමරු ඇතාගේ පාමුල හොවා, “ස්වාමීනි! නුඹේ සහායක මහරජ කලුරිය කළේය. ශෝකයෙන් නුඹේ ළය පැලී යාවියයි බියෙන් අපි ඒ බව නොදැන්නුවෙමු. මේ සිටින්නේ නුඹේ මිතුරු රජුගේ පුත් රුවනයි. කොසොල් රජ අවුත් නගරය වටකරගෙන නුඹේ පුතා සමග යුද කරයි. අපගේ හමුදාව පරාජය වෙමින් පවතී. නුඹේ පුතා මරතත් නුඹම මැරුව මැනවි. නැතහොත් ඔහුට රාජ්‍යය ගෙන දුන මැනවැයි,” කීවාය.
එවිට ඇතා බෝසතාණන් වහන්සේ සොඬවැලින් පිරිමැද, ඔසවා කුම්භස්ථලයෙහි තබාගෙන හඬා වැළපී, බෝසතුන් බස්සවා දේවියගේ අතෙහි තැබීය. ඉන්පසු, “කොසොල් රජු අල්ලා ගන්නෙමි” යි සිතා ඇත්හලෙන් නික්මුණේය. ඉක්බිති ඇමතිවරු ඇතාට යුද ඇඳුම් අන්දවා සරසා, නගර දොරටු හැර, ඇතා පිරිවරාගෙන නික්මුණාහ. ඇතා නගරයෙන් නික්මී කුංචනාද කොට මහජනයා තැතිගන්වා පලවා හැර, බලකොටු බිඳ, කොසොල් රජුගේ කොණ්ඩයෙන් අල්ලාගෙන විත් බෝසත් කුමරුගේ පාමුල හෙළුවේය. මරන්නට සූදානම් වූ කල්හි බෝසත් කුමරුවා එය වැළැක්වීය. එවිට ඇතා කොසොල් රජුට, “මෙතැන් පටන් අප්‍රමාද වන්න. කුමාරයා ලාබාල යයි සිතා ආක්‍රමණය නොකරන්න” යි අවවාද කොට ඔහු නිදහස් කර යැවීය. එතැන් පටන් මුළු දඹදිව රාජ්‍යය බෝධිසත්වයන් වහන්සේගේ අතට පත්වූවාක් මෙන් විය. වෙනත් සතුරු රජ කෙනෙක් නැගී සිටීමට සමත් නොවීය. බෝසතාණන් වහන්සේ සත් හැවිරිදි වියේදී රාජාභිෂේකය ලබා, ‘අලීන චිත්ත’ නමින් රජවී, දැහැමින් රජ කර මරණින් පසු දෙව්ලොව ගිය සේක.
ඇත් රජු විසින් සතුරු බලකොටුව බිඳ, සතුරු රජුව ජීවග්‍රහයෙන් අල්ලාගත් මොහොත.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා, ලොව්තුරා බුදුබවට පැමිණ පහත ගාථා දෙක වදාළ සේක:
“අලීනචිත්ත කුමරු නිසා, බල සේනාව මහත් සතුටට පත්විය. ඔවුහු තමන්ගේ සේනාව ගැන අතෘප්තිමත් වූ (හෝ අන් රාජ්‍යයක් ගැන ලෝභ වූ) කොසොල් රජු පණපිටින් අල්ලා ගත්හ.”
“එලෙසින්ම කල්‍යාණ මිත්‍ර ඇසුර නමැති නිශ්‍රය සම්පත්තිය ඇති, ආරබ්ධ වීර්යය ඇති භික්‍ෂුව, නිවන් අවබෝධය පිණිස කුසල ධර්මයන් වඩමින්, අනුපිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීමට (රහත් භාවයට) පැමිණෙන්නේය.”
යනුවෙන් මේ ගාථා දෙක වදාළ සේක.
(ගාථා අර්ථය): අලීන චිත්ත කුමාරයා නිසා අතිශය සතුටට පත් මහත් වූ සේනාව, ස්වකීය රාජ්‍යයෙන් සතුටු නොවූ (අන් රාජ්‍ය ලෝභයෙන් පැමිණි) කොසොල් රජු පණපිටින් අල්ලා ගත්තේද, එසේම නිශ්‍රය සම්පන්න වූ, නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්‍ෂික කුසල ධර්මයන් වඩන්නා වූ, වීර්ය ඇති මහණ තෙම පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීමට (රහත් බවට) පැමිණේ.
- අලීනචිත්තං නිස්සාය: අලීන චිත්ත රාජ කුමාරයා නිසා ය.
- පහට්ඨා මහතී චමූ: ‘අපට උරුම රාජ්‍යය හමුවුනේය’ යයි සේනාව තුටු පහටු වී සිටීමයි.
- කොසලං සෙනා සන්තුට්ඨං: තම රාජ්‍යයෙන් සෑහීමට පත් නොවී අනුන්ගේ රාජ්‍යයට ආසාවෙන් පැමිණි කොසොල් රජු ය.
- ජීවග්ගාහං අගාහයී: ඒ සේනාව ඇතු ලවා රජතුමාව නොමරා පණපිටින් අල්ලා ගැනීමයි.
- එවං නිස්සයසම්පන්නො: යම්සේ ඒ සේනාවට ඇතුගේ පිහිට ලැබුණේද, එසේ පිහිට සම්පත් ඇති වෙනත් කුලපුත්‍රයෙක් කළණ මිතුරු බුදුවරයෙකුගේ හෝ බුදු සව්වෙකුගේ හෝ ඇසුර ලබා ගැනීමයි.
- භික්ඛු: පිරිසිදු බවට මෙය පරියාය වචනයකි.
- ආරද්ධවීරියො: ඔසවා තබන ලද වීර්ය ඇති, සිවු දෝෂයෙන් දුරු වූ වීර්යයෙන් යුක්ත වූ තැනැත්තායි.
- භාවයං කුසලං ධම්මං: නිර්දෝෂී වූ (කාමාශාවන් පිළිබඳ නොවූ) සත්තිස් බෝධිපාක්‍ෂික කුසල ධර්මයන් වඩන්නායි.
- යොගක්ඛෙමස්ස පත්තියා: කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සිව් යෝගයෙන් ක්‍ෂේම වූ (නිදහස් වූ) නිවනට පැමිණීම පිණිස ඒ ධර්මය වැඩීමයි.
- පාපුණෙ අනුපුබ්බෙන සබ්බසංයොජනක්ඛයං: මෙසේ විදර්ශනාවේ පටන් මේ කුසල් දහම් වඩන, ඒ කළණ මිතුරන්ගේ ඇසුර ලබන භික්‍ෂුව, පිළිවෙළින් විදසුන් නුවණ ද පහත මාර්ග ඵලයන්ට ද (සෝවාන් ආදී) පැමිණ, අවසානයේ දස සංයෝජන ධර්මයන් ක්‍ෂය කිරීමෙන් සියලු සංයෝජන ක්‍ෂය කිරීම් සංඛ්‍යාත රහත් ඵලයට පැමිණෙයි. යම්සේ නිවනට පැමිණීමෙන් සංයෝජන ගෙවී යයි ද, ඒ නිසා එයට ‘සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම’ යයි කියනු ලැබේ. මෙසේ පිළිවෙළින් නිර්වාණ සංඛ්‍යාත සියලු සංයෝජන ක්‍ෂය කිරීමට පැමිණෙන්නේය යන අර්ථයි.
මෙසේ බුදුරජාණන් වහන්සේ අමා මහ නිවන් කුළුගන්වමින් මේ ධර්ම දේශනාව පවත්වා, වැඩිදුරටත් චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාව අවසානයේ වීර්ය අත්හළ භික්‍ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. “එකල මව් බිසව මහාමායා දේවියයි. පියා සුද්ධෝදන මහරජතුමාය. රාජ්‍යය ලබා දුන් ඇතා මේ වීර්ය හළ භික්‍ෂුවයි. ඇතාගේ පියා සැරියුත් මහ තෙරය. අසල්වැසි කොසොල් රජ මුගලන් තෙරණුවෝය. අලීන චිත්ත කුමාරයා වනාහි ලොව්තුරා බුදු වූ මම ම වූයෙමි” යි වදාළ සේක.
අලීන චිත්ත ජාතක වර්ණනාව නිමාවිය.