‘නයිදං විසමසීලෙන’ (මේ ගැලපීම විෂම හැසිරීමකින් නොවේ) යන මේ දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි සැඩපරුෂ (නොහික්මුණු) භික්ෂූන් දෙනමක් අරභයා දේශනා කළ සේක. එකල ජේතවනාරාමයෙහි එක් චණ්ඩ වූ, පරුෂ වූ, සාහසික භික්ෂුවක් විය. ජනපදයෙහි (පිටිසර) ද එබඳුම භික්ෂුවක් විය. දිනක් ඒ ජනපදවාසී භික්ෂුව කිසියම් කාර්යයක් සඳහා ජේතවනයට පැමිණියේය. සාමණේරයන් වහන්සේලා ද තරුණ භික්ෂූහු ද ඔහුගේ චණ්ඩ බව දනිති. “මේ චණ්ඩයන් දෙදෙනාගේ කලහයක් දකින්නට ලැබෙතැයි” යන කුතුහලයෙන් ඔවුහු ඒ භික්ෂුව ජේතවනවාසී භික්ෂුවගේ පිරිවෙණට යැවූහ. ඒ චණ්ඩ භික්ෂූහු දෙනම එකිනෙකා දුටු විගසම ප්‍රියයන් සේ එකතු වූහ; සමගි වූහ; අත් පා පිට පිරිමැදීම් ආදිය කළහ. දම්සභාවේ භික්ෂූහු කථාවක් ඉපිදවූහ: “ඇවැත්නි, අනුන් කෙරෙහි චණ්ඩ වූ, පරුෂ වූ, සාහසික වූ චණ්ඩ භික්ෂූහු දෙනම එකිනෙකා හා සමගිව, සතුටින්, ප්‍රිය ඇසුරින් යුක්ත වූහ” යනුවෙනි. ශාස්තෘන් වහන්සේ එහි වැඩම කොට, “මහණෙනි, මා එන්නට පෙර කවර කථාවකින් යුක්තව සිටියහුදැ”යි විමසා, “මේ කථාවෙනැ”යි කියූ කල්හි, “මහණෙනි, මොවුන් දැන් පමණක් නොව පෙරත් අන්‍යයන්ට චණ්ඩව පරුෂව සාහසිකව සිටිය ද, ඔවුනොවුන් හමුවූ විට සමගිව සතුටු වෙමින් ප්‍රිය ඇසුර ඇත්තෝ වූහ” යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ රජ කරන කල්හි බෝධිසත්වයන් වහන්සේ ඔහුට සියලු කටයුතු සාදා දෙන, අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා වූහ. ඒ රජතෙම ස්වභාවයෙන්ම ධනයට මදක් ලෝභී වූවෙකි. රජුට ‘මහාසෝණ’ නම් වූ වංචනික (චණ්ඩ) අශ්වයෙක් විය. ඉක්බිති උතුරු දේශයෙන් අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් ගෙන ආහ. අශ්වයන් ගෙන ආ බව රජුට දැන්වූහ. මීට පෙර කාලයේදී නම් බෝධිසත්වයන් වහන්සේ අශ්වයන් අගය නියම කොට, මිල අඩු නොකරම ලබා දුන් සේක. රජතුමා (මිල අඩු නොවන නිසා) එයින් තමාට පාඩු සිදුවෙතැයි සිතා වෙනත් ඇමතියෙකු කැඳවා, “දරුව, අශ්වයන්ගේ වටිනාකම නියම කරව; අගය නියම කිරීමේදී පළමුව මහාසෝණ අශ්වයා ඒ අශ්වයන් අතරට යවා, උන් ලවා අශ්වයන් හපා කවා තුවාල කරවා, දුර්වල අවස්ථාවේ මිල අඩු කරවා අශ්වයන්ගේ අගය නියම කරව”යි කීවේය. හෙතෙම “යහපතැ”යි පිළිගෙන එසේ කළේය.
අශ්ව වෙළෙන්දෝ නොසතුටු වී ඔහු විසින් කළ ක්‍රියාව බෝධිසත්වයන් වහන්සේට දැන්වූහ. බෝධිසත්වයන් වහන්සේ “කිම, ඔබගේ නගරයෙහි (කුලෙහි) දඟකාර අශ්වයෙකු නැද්දැ”යි විචාළේය. “ඇත ස්වාමීනි, ‘සුහනු’ නම් දඟකාර, චණ්ඩ, පරුෂ අශ්වයෙක් ඇතැ”යි කීහ. “එසේ නම් නැවත එන විට ඒ අශ්වයා රැගෙන එන්නැ”යි කීය. ඔවුහු “යහපතැ”යි පොරොන්දු වී නැවත එන ගමනේදී ඒ දඟකාර අශ්වයා ගෙන්වාගෙන ආහ. රජතුමා අශ්ව වෙළෙන්දන් ආ බව අසා සීහපඤ්ජරය (කවුළුව) විවෘත කොට අශ්වයන් බලා මහාසෝණ අශ්වයා මුදා හැරියේය. අශ්ව වෙළෙන්දෝ ද මහාසෝණ අශ්වයා එනු දැක සුහනු අශ්වයා මුදා හැරියහ. ඔවුහු ඔවුනොවුන් වෙත පැමිණ ශරීර ලෙවකමින් සතුටු වෙමින් සිටියහ. රජතුමා බෝධිසත්වයන්ගෙන් විමසීය: “මිත්‍රය, මේ දඟකාර අශ්වයන් දෙදෙනා අන් අයට චණ්ඩය, පරුෂය, සාහසිකය; අන් අශ්වයන් සපා කා රෝගී කරවති; නමුත් දැන් ඔවුනොවුන්ගේ ශරීර ලෙවකමින් සතුටු වෙමින් සිටිති. මේ කුමක්ද?” බෝධිසත්වයන් වහන්සේ, “මහරජ, මොවුහු ඔවුනොවුන්ට විෂම සීල (ගතිගුණ) ඇත්තෝ නොවෙති; මොවුහු සමාන සීල ඇත්තෝය; සමාන ධාතු ඇත්තෝය”යි පවසා මේ ගාථා දෙක කීහ.
සොන සහ සුභ යන අශ්වයන් දෙදෙනා රජු ඉදිරියේ මිතුරන් ලෙස හැසිරීම
“සුහනු අශ්වයා සෝණ අශ්වයා සමඟ එක්වෙයි. මෙය විෂම ගති ඇත්තෙකු හා එක්වීමක් නොවේ. සෝණගේ හැසිරීම යම්බඳු ද සුහනු ද එබඳුමය. හෙතෙම සෝණට සමාන ගති ඇත්තේය.
පනින සුළු වූ, දළදඬු වූ, නිතර බැඳුම් ලණු කන සුළු අශ්වයා හා (එබඳුම අශ්වයෙක්) එක්වෙයි. පාපී තැනැත්තා පාපී තැනැත්තා හා සැසඳෙයි. අසත්පුරුෂයා අසත්පුරුෂයා හා සැසඳෙයි.”
යනුවෙන් මේ ගාථා දෙක වදාළ සේක.
සුහනු නම් අශ්වයා සෝණ නම් අශ්වයා සමඟ ප්‍රේම කරයි. එය තමාගේ නොගැලපෙන (විෂම) ස්වභාවය නිසා සිදුවන්නක් නොවේ. සෝණ අශ්වයාගේ හැසිරීම යම්සේ ද සුහනු අශ්වයාගේ හැසිරීම ද එසේමය. අශ්වයන් වෙත පනින ස්වභාව ඇති, කායික අසංවර බවෙන් යුක්ත, නිතර තමා බැඳ තබන ලණුව කන ගතියෙන් යුක්ත පව්කාර ගති ඇති තැනැත්තා සමඟ දුශ්ශීලයා සමාන වන්නේය. එසේම අසත්පුරුෂයා වැරදි හැසිරීමෙන් යුක්ත පුද්ගලයා සමඟ සමාන වන්නේය.
එහි නයිදං විසමසීලෙන, සොණෙන සුහනූ සහ යනු, මේ සුහනු නම් වූ දඟකාර අශ්වයා සෝණ සමඟ යම් ප්‍රේමයක් කරයි ද, මෙය තමාගේ විෂම සීලයක් (ගතිගුණයක්) නිසා නොව, තමාගේ සමාන සීලය නිසාම සිදුකරයි. මේ දෙදෙනාම තමන්ගේ අනාචාර බවෙන් ද දුශ්ශීල බවෙන් ද සමාන සීල ඇත්තෝය; සමාන ධාතු ඇත්තෝය. සුහනූපි තාදිසොයෙව, යො සොණස්ස සගොචරො යනු සෝණ යම්බඳු ද, සුහනු ද එබඳුමය. සෝණ යමක් අරමුණු (ගෝචර) කරයි ද, හෙතෙම ද එයම අරමුණු කරයි. සෝණ අන් අශ්වයන් අරමුණු කොට (පැන) සපා කමින් හැසිරෙන්නේ යම්සේ ද, සුහනු ද එසේමය. මෙයින් ඔවුන්ගේ සමාන අරමුණු ඇති බව දක්වයි.
ඔවුන්ගේ ආචාරය හා ගෝචරය (හැසිරීම හා අරමුණු) එකක් කොට දැක්වීමට ‘පක්ඛන්දිනා’ යනාදිය කියන ලදී. එහි පක්ඛන්දිනා යනු අශ්වයන් මතුපිටට පනින ස්වභාවයෙන් හා පනින අරමුණෙන් යුක්ත බවයි. පගබ්භෙන යනු කායික අසංවරය ආදියෙන් යුක්ත වූ දුශ්ශීල බවෙන් යුක්ත බවයි. නිච්චං සන්දානඛාදිනා යනු හැම කල්හි තමන් බැඳි හම් පටිය (යොත) කඩා කන ස්වභාවයෙන් හා එබඳු කඩා කන අරමුණෙන් යුක්ත බවයි. සමෙති පාපං පාපෙන යනු මොවුන් දෙදෙනා අතරින් එකෙකුගේ එක්තරා පාපයක් සමඟ අනෙකාගේ පාපය (දුශ්ශීලබව) ගැලපෙයි. අසතා අසං යනු මොවුන් දෙදෙනා අතරින් එකෙකුගේ එක්තරා අසත්පුරුෂ (අනාචාර) ක්‍රියාවක් සමඟ අනෙකාගේ අසත්පුරුෂ ක්‍රියාව (අසාධු කර්මය) ගැලපෙයි; අසුචි ආදිය සමඟ අසුචි ආදිය එකට සැසඳෙන්නාක් මෙනි; සමාන වන්නාක් මෙනි; වෙනසක් නැත්තේම ය.
මෙසේ ද කියා බෝධිසත්වයන් වහන්සේ, “මහරජතුමනි, රජෙකු නම් අතිශය ලෝභියෙකු නොවිය යුතුය. අනුන් සතු දේ විනාශ කිරීම සුදුසු නොවේ” යැයි රජුට අවවාද දී, අශ්වයන් අගය කරවා නියම මුදල් ලබා දෙන්වූහ. අශ්ව වෙළෙන්දෝ ද නියම පරිදි මුදල් ලබා සතුටු වී පිටත්ව ගියහ. රජතුමා ද බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා කම් වූ පරිද්දෙන් (මිය ගොස්) පරලොව ගියේය.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය ගැලපූ සේක. “එකල්හි අශ්වයන් දෙදෙනා වූයේ මේ දුෂ්ට භික්ෂූහු දෙදෙනාය. රජතුමා වූයේ ආනන්ද තෙරුන්ය. නුවණැති ඇමතියා වූයේ මම ම වෙමි”යි වදාළ සේක.
අටවැනි වූ සුහනු ජාතක වර්ණනාවයි.