“උදෙතයං චක්ඛුමා” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි, සසුන ගැන කලකිරුණු එක්තරා භික්ෂුවක් අරබයා වදාළ සේක. භික්ෂූන් විසින් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන එනු ලැබූ කල්හි, “මහණ, ඔබ කලකිරී සිටින්නේ යනු සැබෑදැ?” යි බුදුන් වහන්සේ විමසූහ. “එසේය ස්වාමීනි” යි පිළිතුරු දුන් විට, “කුමක් දැකීමෙන්ද?” යි ඇසූ සේක. එවිට ඔහු “අලංකාර කොට සරසන ලද සිරුරක් ඇති ස්ත්‍රියක දැකීමෙනැ”යි පැවසුවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ, “මහණ, ස්ත්‍රිය නම් ඔබ වැන්නෙකුගේ සිත කුමක් නිසා නොකළඹන්නේද? පෙර කල නුවණැත්තෝ පවා ස්ත්‍රීන්ගේ කටහඬ අසා, සත්සියයක් අවුරුදු පුරුදු කළ ධ්‍යාන පිරිහී, ක්ලේශයන්ට වසඟ වූහ. පිරිසිදු සත්ත්වයෝ ද කිලිටි වෙති. උතුම් කීර්ති ඇත්තෝ ද අපකීර්තියට පත්වෙති. එසේ හෙයින් අපිරිසිදු චරිත ඇති අය ගැන කියනුම කවරේද?” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි, බෝධිසත්ත්වයෝ මොණර යෝනියෙහි පිළිසිඳ ගත්හ. බිත්තර අවස්ථාවේදීම කිණිහිරි මල් කැකුළක පැහැය ගත් බිත්තර කටුව බිඳගෙන පිටතට පැමිණි ඒ මොණරා, රන්වන් පැහැයෙන් යුක්ත විය. දැකුම්කලු වූ හෙතෙම පියාපත් අතර රතුවන් ඉරිවලින් බබලන සුළු විය. හෙතෙම තම ජීවිතය ආරක්ෂා කර ගනු පිණිස පර්වත වැටි තුනක් ඉක්මවා ගොස්, හතරවන පර්වත වැටියෙහි පිහිටි දණ්ඩක හිරඤ්ඤ නම් පර්වත තලයෙහි වාසය කළේය. ඒ මොණරා උදෑසන අරුණැල්ල සමඟ පර්වතය මුදුනේ හිඳ, හිරු උදාව දෙස බලා තමාගේ ගොදුරු බිමෙහි ආරක්ෂාව පිණිස බ්‍රහ්ම මන්ත්‍රය බඳිමින් “උදෙතයං” ආදී ගාථාව කීවේය.
“ඇස් ඇති, එකම රජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙමේ නැගෙයි. එහෙයින් රන්වන් වූ, පොළොව බබුළුවන ඔබව වඳිමි. ඔබ විසින් අද රක්නා ලද අපි මේ දවස සුවසේ වසමු.”
එහි, උදෙති යනු පෙරදිග අහසින් උදා වෙයි. චක්ඛුමා යනු සියලු සක්වල වාසීන්ගේ අඳුර දුරු කොට ඇස් ලැබීම (පෙනීම) සිදු කරන නිසා සූර්යයා විසින් ඔවුන්ට දෙන ලද යම් ඇසක් ඇද්ද, ඒ ඇස කරණකොට ඇස් ඇත්තා වූ ය. ඒකරාජා යනු සියලුම සක්වල එළිය කරන්නන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන බැවින් ඒකරාජ නම් වේ. හරිස්ස වණ්ණො යනු රන්වන් පැහැ ඇත්තේ හෙවත් ස්වර්ණ වර්ණය යනු අර්ථයි. පොළොව බබුළුවයි යන අර්ථයෙන් පඨවිප්පභාසො වේ. තං තං නමස්සාමි යනු ඒ නිසා එබඳු වූ ඒ පින්වතුන් වහන්සේට නමස්කාර කරන්නෙමි; වඳින්නෙමි. තයාජ්ජ ගුත්තා විහරෙමු දිවසං යනු ඔබ විසින් අද ආරක්ෂා කරන ලද්දාහු වී, මේ දවස සිව් ඉරියව්වෙන් යුතුව සැපසේ වසන්නෙමු යනුයි.
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථාවෙන් හිරුට වැඳ, දෙවන ගාථාවෙන් අතීතයේ පිරිනිවන් පෑ බුදුවරයන් වහන්සේලාට මෙන්ම බුදුගුණයන්ට ද නමස්කාර කරයි.
“සියලු ධර්මයන් සිය නැණින් දැනගත්තා වූ යම් (ක්ෂීණාශ්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මගේ නමස්කාරය වේවා! ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා. බුදුවරයනට මාගේ නමස්කාරය වේවා! බෝධි ඥානයට ද මාගේ නමස්කාරය වේවා! අරහත් ඵල විමුක්තියෙන් මිදුණු අයට ද මාගේ නමස්කාරය වේවා! විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා! ඒ මයුරයා මේ පිරිත කොට ගොදුරු සෙවීම පිණිස හැසිරෙයි.”
හිමාලයේ පර්වත මුදුනක සිටින ස්වර්ණ මයුර රාජයා හිරු නමස්කාර කරන අයුරු.
එහි යෙ බ්‍රාහ්මණා යනු යමෙක් බැහැර කරන ලද පව් ඇත්තාහු ද, පිරිසිදු වූ බමුණෝ වූවාහු ද වෙති. වෙදගූ යනු වේදයන්ගේ පරතෙරට ගියාහු යන අර්ථයෙන් ද, වේදයන් (නුවණ) කරණකොට ගියාහුය යන අර්ථයෙන් ද ‘වෙදගූ’ නම් වේ. මෙහි වනාහි සංඛත අසංඛත ධර්ම දැනගෙන ප්‍රකට කොට ගියාහුය යන අර්ථයෙන් වෙදගූ නමි. එබැවින්ම සබ්බ ධම්මෙ යනුවෙන් කීය. සියලු ස්කන්ධ, ආයතන, ධාතු යන ධර්මයන් ස්වලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් තමන්ගේ නුවණින් දැන, ප්‍රකට කොට ගියාහු ය. ත්‍රිවිධ මාරයන්ගේ (මච්චුමාර, කිලෙසමාර, අභිසංඛාර මාර) මුදුන මැඩ, දසදහසක් ලෝකධාතූන් මහත් සේ නාද කරවා බෝමැඩදී සම්බුද්ධත්වයට පැමිණ උන්වහන්සේලා සංසාරය ඉක්මවා ගියහ. තෙ මෙ නමො යනු උන්වහන්සේලා මාගේ මේ නමස්කාරය පිළිගනිත්වා යනුයි! තෙ ච මං පාලයන්තු යනු මෙසේ මා විසින් නමස්කාර කරන ලද්දේ, ඒ භාග්‍යවතුන් වහන්සේලා මාව පාලනය කෙරෙත්වා! ආරක්ෂා කරත්වා! රකිත්වා! නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමො විමුත්තියා යනු මේ මාගේ නමස්කාරය අතීතයේ පිරිනිවි බුදුවරයන් වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේම සිව් මගෙහි ද සිව් ඵලයෙහි ද නුවණ නමැති බෝධිය පිණිස වේවා! එසේම රහත්ඵල විමුක්තියෙන් මිදුනා වූ උන්වහන්සේලාට වේවා! උන්වහන්සේලාගේ තදංග විමුක්ති, විෂ්කම්භන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිප්පස්සද්ධි විමුක්ති, නිස්සරණ විමුක්ති යනුවෙන් යම් පස් ආකාර විමුක්තියක් වේ ද, උන්වහන්සේලාගේ ඒ විමුක්තියට ද මගේ මේ නමස්කාරය වේවා! ඉමං සො පරිත්තං කත්වා මොරො චරති එසනා යනු මේ පද දෙක වනාහි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව වදාළ සේක. එහි අර්ථය නම්, “මහණෙනි! ඒ මොණරා මේ පිරිත හෙවත් මේ ආරක්ෂාව කරගෙන තමන්ගේ ගොදුරුබිමෙහි මල් ගෙඩි ආදිය පිණිස නොයෙක් ආකාර සෙවීම් සඳහා හැසිරෙයි”.
මෙසේ දවල් කාලයේ හැසිර, හවස් කාලයෙහි පර්වතය මත හිඳ, බැස යන හිරු දෙස බලමින් බුදුගුණ සිහි කොට, වසන තැන ආරක්ෂා රැකවරණය පිණිස නැවත බ්‍රහ්ම මන්ත්‍රය කියමින් අපෙතයං යන ගාථාව කීවේය.
“ඇස් ඇත්තා වූ, එකම රජා වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ හිරු අවරට යෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ ඔබට නමස්කාර කරමි. ඔබ විසින් ආරක්ෂා කරන ලද අපි රාත්‍රියෙහි වාසය කරමු.”
“සියලු ධර්මයන් සිය නැණින් දැනගන්නා වූ යම් (ක්ෂීණාශ්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා! ඒ උතුමෝ මා පාලනය කරත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා! බෝධි ඥානයට ද මාගේ නමස්කාරය වේවා! අර්හත් ඵල විමුක්තියෙන් විමුක්ත වූ අයට මාගේ නමස්කාරය වේවා! විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා! ඒ මයුරයා මේ පිරිත කොට (කියා) වාසය කළේ ය.”
එහි, අපෙති යනු නොපෙනී යයි; අස්තයට යයි. ඉමං සො පරිත්තං කත්වා මොරො වාසමකප්පයි යනු මෙය ද බුදු වී වදාළ සේක. එහි අර්ථය නම්, “මහණෙනි! ඒ මොණරා මේ පිරිත හෙවත් මේ ආරක්ෂාව කොට තමාගේ වාසස්ථානයේ වාසය කළේය”. මොණරාට රාත්‍රියෙහි හෝ දවාලෙහි හෝ මේ පිරිතේ ආනුභාවයෙන් භයක් හෝ ලොමුදැහැ ගැන්මක් හෝ නොවීය.
ඉක්බිති බරණැසට නුදුරෙහි වැදි ගමක වාසය කළ එක් වැද්දෙක් හිමාල වන ප්‍රදේශයේ හැසිරෙමින්, ඒ දණ්ඩක හිරඤ්ඤ පර්වතය මතුයෙහි සිටින්නා වූ බෝසතාණන් දැක, ගෙදර අවුත් ඒ බව තම පුතාට දැන්වීය. ඉක්බිති දිනක් ඛේමා නම් බරණැස් රජුගේ දේවිය සිහිනෙන් රන්වන් මොණරෙකු ධර්ම දේශනා කරනු දැක, පිබිදුණු පසු රජතුමාට “දේවයන් වහන්ස, මම රන්වන් මොණරෙකුගේ ධර්ම දේශනාවක් අසනු කැමැත්තෙමි” යි දැන්වූවාය. රජතුමා ඒ ගැන ඇමතිවරුන්ගෙන් විචාළේය. ඇමතිවරු ඒ පිළිබඳව බමුණන් දනිතියි කීහ. බමුණෝ රන්වන් මොණරුන් සිටින බව කී නමුත්, කොහි සිටිත්දැයි විමසූ විට “වැද්දෝ දනිත්” යයි කීවාහුය. රජතුමා වැද්දන් රැස් කරවා විචාළේය. එහිදී ඒ ගැන දන්නා වැදිපුත්‍රයා, “එසේය මහරජතුමනි, දණ්ඩක හිරඤ්ඤ නම් පර්වතයක් ඇත. එහි රන්වන් පැහැති මොණරෙක් වාසය කරයි” යැයි කීවේය. “එසේ නම් ඒ මොණරා නොමරා බැඳගෙන ගෙනව” යි රජු අණ කළේය. වැදිපුත්‍රයා එහි ගොස් ඒ මොණරාගේ ගොදුරු බිමෙහි මලපුඩුව එළුවේය. නමුත් මොණරා විසින් පාගන ලද තැන මලපුඩුව ක්‍රියාත්මක නොවී වැසී නොයයි. වැදි පුත්‍රයාට ඌ අල්ලා ගැනීමට නොහැකි ව, සත් අවුරුද්දක් හැසිර එහිම කලුරිය කළේය. ඛේමා දේවිය ද තම ප්‍රාර්ථනාව ඉටු නොවීම නිසා කලුරිය කළාය.
රජතුමා “මොණරා නිසා මගේ දේවිය කලුරිය කළාය” යි කිපී, “හිමවත් පෙදෙසේ දණ්ඩක හිරඤ්ඤ නම් පර්වතයක් ඇත. එහි රන්වන් පැහැති මොණරෙක් වාසය කරයි. යමෙක් ඒ මොණරාගේ මස් අනුභව කරත් නම්, ඔවුහු ජරා මරණ නැත්තෝ (අජරාමර) වන්නෝ ය” යි රන්පතක ලියවා, එය පෙට්ටියක බහා තැබීය. ඒ රජ මළ පසු අනෙක් රජ කෙනෙක් රජ වී රන්පත කියවා, “අජරාමර වන්නෙමි” යි සිතා වෙනත් වැදි පුත්‍රයෙකු ඒ සඳහා යැවීය. ඔහු ද ගොස් බෝසත් මොණරා අල්ලා ගැනීමට නොහැකි වී එහිම මළේය. මේ ආකාරයෙන් රජ පරපුරු හයක් ගත විය. අනතුරුව හත්වෙනි වරට පත් වූ රජතුමා ද එක් වැදිපුත්‍රයෙකු එහි යැව්වේය. ඒ වැදිපුත්‍රයා ගොස් බෝසත් මොණරා විසින් පය තබන ස්ථානයෙහි පවා මලපුඩුව ක්‍රියාත්මක නොවන බවත්, තමා පිරිත් කියා ගොදුරු බිමට යන බවත් දැන ගත්තේය. හෙතෙම පසල් ගමකට අවුත් එක් සෙබඩක අල්ලාගෙන, යම් සේ අත්පොළසන් හඬට නටයි ද, අසුරු සන් (ඇඟිලි පුරුක් ගසන) හඬින් හඬලයි ද, මෙසේ පුහුණු කරවා ගත්තේය. ඒ සෙබඩ රැගෙන හිමවතට ගොස් මොණරා විසින් ආරක්ෂක පිරිත කීමට පළමුව, උදෙන්ම මලපුඩුව ඊට අදාළ ලී දඬු සිටුවා, උගුල අටවා සෙබඩ හැඬලවීය. මොණරා විසභාග වූ ස්ත්‍රී හඬ අසා කෙළෙස් වසඟයට පත්වී, පිරිත් කීමට නොහැකි වී ගොස් උගුලෙහි බැඳුණේය. ඉක්බිති වැද්දා මොණරා අල්ලාගෙන ගොස් බරණැස් රජුට දුන්නේය.
රජතුමා මොණරාගේ රූප සම්පත්තිය දැක සතුටු සිත් ඇත්තේ අසුනක් පැනවීය. බෝසත් මොණරා පනවන ලද අසුනෙහි හිඳගෙන, “මහරජ! කුමක් නිසා මා අල්ලා ගත්තෙහිදැ?” යි විචාළේය. “යමෙක් ඔබේ මස් කන්නාහු නම් ඔවුහු අජරාමර වෙති. ඒ නිසා මම ඔබේ මස් කා අජරාමර වනු කැමැත්තෙන් ඔබව ගෙන්වා ගත්තෙමි” යි රජු කීවේය. “මහරජ! මගේ මස් කන්නෝ අජරාමර වෙත්වා! එහෙත් මම මරණයට පත් නොවන්නෙම් ද?” “එසේය, මැරෙන්නෙහිය.” “මා මැරෙන කල, මගේ මස් ම අනුභව කොට ඔවුන් නොමැරෙන්නේ කෙසේද?” “ඔබ රන්වන් පැහැයෙන් යුක්තයි. ඒ නිසා ඔබේ මස් කන අය අජරාමර වන්නාහු යැයි කියා ඇත.” “මහරජතුමනි! මම රන්වන් වූයේ නිකම්ම නොවේ. පෙර මම මේ නගරයෙහිම සක්විති රජ වී, තමාත් පන්සිල් රකිමින් සියලු සක්වල වාසීන් ලවා ද පන්සිල් රැක්කවූයෙමි. ඒ මම කලුරිය කොට තව්තිසා භවනෙහි උපන් අතර, එහි ආයු ඇති තෙක් සිට එයින් චුත වූයේ වෙනත් අකුශලයක විපාක වශයෙන් මොණර ආත්මයෙහි උපන්නෙමි. එහෙත් පෙර රැකි සිල් බලයෙන් රන්වන් ව උපන්නෙමි.” “ඔබ සක්විති රජ වී සිල් රැක ඒ බලයෙන් රන්වන් වූ බව මා විසින් කෙසේ විශ්වාස කළ යුතු ද? එයට කිසියම් සාක්ෂියක් ඇත්ද?” “ඇත මහරජ!” “ඒ කුමක්ද?” “මහරජ, මම සක්විති රජ කල රත්නයෙන් කළ රථයක නැඟී හිඳ අහසෙහි සැරිසැරුවෙමි. ඒ රථය ඔබගේ මගුල් පොකුණේ දිය යට ගිල්වා ඇත. මඟුල් පොකුණෙන් එය ගොඩට ගෙන්වා ගන්න. එය මගේ සාක්ෂිය වන්නේය.”
රජතුමා “යහපතැ” යි පිළිගෙන පොකුණේ ජලය ඉවත් කරවා, රථය ගොඩට ගෙන්වාගෙන බෝසතාණන් වහන්සේගේ බස විශ්වාස කළේය. බෝසතාණෝ, “මහරජ! අමා මහ නිවන හැර සෙසු සියලු සංස්කාර ධර්මයෝ හටගෙන නැතිවන්නාහුය; අනිත්‍යයහ; ක්ෂය වන විනාශ වන ස්වභාව ඇත්තාහුය” යි කියා රජුට දහම් දෙසා රජතුමා පන්සිල්හි පිහිටවූහ. රජතුමා පැහැදී බෝසතාණන් වහන්සේට රාජ්‍යයෙන් පූජා කොට මහත් සත්කාර කළේය. මොණරා රාජ්‍යය නැවත රජතුමාටම පවරා, කීප දිනක් එහි වාසය කොට, “මහරජතුමනි, නොපමා වන්න” යැයි අවවාද කොට අහසට පැන නැඟී දණ්ඩක හිරඤ්ඤ පර්වතයටම ගියේය. රජතුමා ද බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියේ, දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර ඒ කලකිරුණු භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. “එකල රජව උපන්නේ ආනන්ද තෙරය. රන්වන් මොණරා වී උපන්නේ බුදු වූ මම ම වෙමි” යි වදාළ සේක.
මොර ජාතක වර්ණනාව නව වැන්නයි.