මෙසේ බුදුරජාණන් වහන්සේ පිය මහරජතුමාව මාර්ග ඵල තුනෙහි පිහිටුවා, මහා සංඝ පිරිස පිරිවරාගෙන කිඹුල්වත් නුවරින් පිටත්ව රජගහ නුවරට වැඩම කොට සීත වනයෙහි වැඩවසන සේක. එකල අනාථ පිණ්ඩික නම් ගෘහපති තෙමේ බඩු ගැල් පන්සියයක් රැගෙන රජගහ නුවර තමන්ගේ මිත්‍ර වූ සිටුතුමාගේ නිවසට පැමිණියේය. එහිදී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව අසා, ඉතා අළුයම දෙවියන්ගේ ආනුභාවයෙන් විවෘත වූ දොරටුවෙන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. එහිදී බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා, දෙවැනි දින බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට දන් දී, සැවැත් නුවරට වඩිනා ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රතිඥාවක් ගෙන, බුදුන් වැඳ අවසර ගෙන තමන්ගේ නුවරට යන්නා වූ මාර්ගයෙහි පන්සාළිස් යොදුනක් දුර ප්‍රමාණයේ පන්සාළිස් ලක්ෂයක් ධන වියදම් කොට විහාර පන්සාළිස් කරවීය.
ඉක්බිති සැවැත් නුවරට ගොස් බුදුරජාණන් වහන්සේගේ වාසය පිණිස මහා විහාරයක් කරවා ගන්නා ආකාරයෙන් නුවර හැම තැනම බිම් සොයා බලමින් ඇවිදින්නාහු, ජේත නම් රාජකුමාරයාගේ උයන ඉතා රම්‍ය යැයි දැක, ඔවුන් වෙත ගොස් කෝටි දහඅටක් රන් කහවනු දී, ඒ උයනෙහි බිම රන් කහවනුවලින් වසා, ඒ මිල දී බිම ගෙන, අනන්ත අපරිමාණ බුදුවරුන්ගේ ශාසනස්ථාන වූ ‘අවිජහිත’ භූමියෙහි බුදුරජාණන් වහන්සේට විසිතුරු වූ ගන්ධ කුටියක් හා සංඝාරාම, රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන ආදී සියලු විහාර කර්මාන්ත ආදිය සඳහා තවත් කෝටි දහඅටක් රන් කහවනු වියදම් කොට විහාරය ඉදි කළහ.
අනේපිඬු සිටුතුමා ජේතවන උයන රන් කහවනුවලින් වසා මිලදී ගැනීම
එකල ජේත නම් රාජකුමාරයෝ ද සිටුතුමා කරන්නා වූ උදාරතර ඒ විහාර කර්මාන්තය දැක පැහැදී, “සිටුවරයෙකුගේ සම්පත් රජෙකුට වඩා වැඩි ද?” කියා සිතා, “ඔහු දුන් මිල ඔහුගේ විහාරයටම පරිත්‍යාග කරමි” යි සිතා, ඒ විහාරයෙහි වාසල් දොරටු සතරෙහි එක්සිය විසි රියන් දිග පළල ඇති සත් මහල් ප්‍රාසාද සතරක් කරවා, බිමට ගත් කෝටි දහඅටක් රන් කහවනු එම වාසල් කර්මාන්තයටම පරිත්‍යාග කළහ. මෙසේ සියලු විහාර කර්මාන්තය නිම වූ කල්හි අනේපිඬු මහා සිටාණෝ බුදුරජාණන් වහන්සේට වැඩම කරවන ලෙස ආරාධනා කර යැවූහ.
එකල්හි බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂු සංඝයා පිරිවරා යොදුනෙන් යොදුන සිටුතුමා විසින් කරවූ විහාරයන්හි සැතපී සැතපී, පන්සාළිස් දවසකින් සිටුතුමා විසින් පෙරමගට එවන ලද මහා පෙරහැරින් පූජා විඳ විඳ, අපරිමේය වූ බුද්ධ ශ්‍රීයෙන් යුක්තව දෙව්රම් වෙහෙරට පිවිසි සේක. ඉක්බිත්තෙන් අනේපිඬු මහා සිටාණෝ බුදුරජාණන් වහන්සේ දැක වැඳ, “ස්වාමීනි, මේ විහාරය කෙසේ පූජා කරම්දැයි” විචාළහ. ස්වාමිදරුවෝ, “මහා සිටුවරය, මේ විහාරය මෙතැනට පැමිණි සහ නොපැමිණි සෑම භික්ෂූන් උදෙසා සාංඝික කොට පූජා කරව” යි වදාළ සේක.
එකෙණෙහි අනේපිඬු මහා සිටාණෝ රන් කෙණ්ඩියෙන් පැන් ගෙන,
“ඉදං ජෙතවන විහාරං ආගතා නාගතස්ස චාතුද්දිසස්ස බුද්ධ පමුඛස්ස සංඝස්ස දම්මි”
යන මේ වාක්‍යය කියා, “සතර දිගින් වඩිනා බුදු පාමොක් මහ සඟනට දුනිමි” යි කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙහි පැන් වත් කළහ.
අනේපිඬු සිටුතුමා විසින් ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කිරීම
මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර පිළිගෙන එහි බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ, “සීතං උණ්හං පටිහන්ති” යනාදීන් ආවාස දානයෙහි අනුසස් ඒ සුදත්ත නම් ගෘහපතියා ඇතුළු වූ පිරිසට දේශනා කොට, බොහෝ සතුන් සසරින් මුදා වදාළ සේක. විහාර පූජාව කළ දෙවෙනි දින පටන් අනේපිඬු මහා සිටාණෝ දවසින් දවස පූජා කරන්නාහු, කෝටි දහඅටක් ධන දාන පූජාව පිණිස වියදම් කොට නව මසකින් විහාර පූජාව අවසන් කළහ. මෙසේ බිම ගත් මිල ය, විහාර කර්මාන්තය කරවූ මිල ය, දාන පූජාවට කළ මිල යැයි කෝටි පනස් හතරක් ධනය බුදුරජාණන් වහන්සේ උදෙසා එක ජේතවනාරාමයට වියදම් කළහ.
මේ විහාර භූමිය නම් සෙසු සර්වඥයන් වහන්සේලා හැර මහා විපස්සී නම් බුදුරජාණන් වහන්සේට පුනබ්බසුමිත්ත නම් සිටුවරයෙකු විසින් ද, සිඛී නම් බුදුරජාණන් වහන්සේට සිරිවඩ්ඪක නම් සිටුවරයෙකු විසින් ද, වෙස්සභූ නම් බුදුරජාණන් වහන්සේට ස්වස්තික නම් සිටුවරයෙකු විසින් ද, කකුසඳ නම් බුදුරජාණන් වහන්සේට අජිත නම් සිටුවරයෙකු විසින් ද, කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේට උග්ග නම් සිටුවරයෙකු විසින් ද, කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේට මංගල නම් සිටුවරයෙකු විසින් ද, මෙයට වඩා සිය වර දහස් වර උදාර ලෙස විහාර කර්මාන්ත කොට පූජා කළා වූ, අනන්ත අපරිමාණ වූ සර්වඥවරයන් විසින් අත් නොහැර ආවා වූ පුණ්‍ය ස්ථානයක් වන්නේය. තවද තුන් ලොවට මුදුන් පත් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු වූ තැන් පටන් පිරිනිවන් පෑම දක්වා යම් යම් ස්ථානයක වාසය කළ සේක් ද, ඒ සියල්ල මතු පහළ වන්නා වූ පන්සිය පණස් ජාතක ධර්මයන්ගෙන් විස්තරව දැනගත යුතුයි. මෙතෙකින් මේ බුද්ධ වංශයෙහි ජාතකාර්ථ කථා නයින් සංක්ෂේපයෙන් ගෙනහැර දක්වන ලද දුරේනිදාන, අවිදුරේනිදාන කථා සහිත වූ ජේතවනාරාම පූජා කථාව දක්වා ප්‍රකාශිත වූ සන්තිකේ නිදාන කථාව නිමි.
තවද අප භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඉතිරි ජීවිතය පසු කළ පරිදි පූජාවලිය, ශ්‍රී සද්ධර්මාවාද සංග්‍රහය ආදී ධර්ම ප්‍රකරණයන්හි විස්තරව ආයේ වී නමුදු, ඒ සියල්ල මෙයට අන්තර්ගත කිරීමෙන් ග්‍රන්ථ බාහුල්‍ය වන බැවින් මෙතැන් සිට ඉතා සංක්ෂේපයෙන් දක්වනු ලැබේ.
මේ කපට ලක්ෂයක් වන කපින් මත්තෙහි ලොව පහළ වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි එක් උපාසිකාවක් ඒ බුදුන් ප්‍රමුඛ මහ සඟනට මහ දන් පවත්වා, ඒ බුදුන් පාමුලෙහි වැඳ වැටී, “මතු නුඹ වහන්සේ වැනි බුදු කෙනෙකු හට අග්‍ර උපස්ථායිකාව වෙම්වා” යි ප්‍රාර්ථනා කොට, එතැන් පටන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දෙව් මිනිස් සැප අනුභව කොට අවුත්, අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙන්ඩක මහා සිටුතුමාගේ පුත් ධනඤ්ජය සිටුතුමා නිසා සුමනා දේවීන් කුස පිළිසිඳ දස එකඩ මස් ඇවෑමෙන් මව් කුසින් බිහි වූ කල “විශාඛාවෝ ය” යි නම් තැබූහ.
ඒ සිටු කුමාරිකාව සත් හැවිරිදි කල එම නුවරට බුදුන් වැඩි පුවත අසා, බුදුන් දකිනු පිණිස පන්සියයක් කුමාරිකාවන් හා පෙර මගට ගොස් බුදුන් දැක වැඳ බණ අසා සහපිරිවරින් සෝවාන් ඵලයෙහි පිහිටා, එයින් මෑත භාගයෙහි සැවැත් නුවර මිගාර සිටුතුමාගේ පුත් පූර්ණ වර්ධන කුමාරයන් හා විවාහ මඟුල් බන්ධනයෙන් බැඳී, තමන් සතු මේඝලතා පලඳනාව විකුණා මුදල් කොට, එයින් කෝටි විසි හතක් ධන සම්පත් වියදම් කොට සැවැත් නුවරට නැගෙනහිර දික් භාගයෙහි දහසක් ගබඩාවලින් යුක්තව රන් තොරන් පලඳවා කරවන ලද ‘පූර්වාරාම’ නම් වූ මහා විහාරය, අසූ මහා ශ්‍රාවකයන් ඇතුළු වූ සතළිස් දහස් පන්සිය අසූ එක් නමක් පමණ බුදු පාමොක් මහ සඟනට, බුදුන් අත පැන් වත්කොට පූජා කළාහුය.
විශාඛා මහා උපාසිකාව විසින් පූර්වාරාම විහාරය පූජා කිරීම
මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය හා පූර්වාරාමය පිළිගෙන, සියලු දිව්‍ය බ්‍රහ්මාදීන් හා අඟු මගධ දෙරට වාසී වූ ද, කාසී කොසොල් දෙරට වාසී වූ ද මිනිසුන්ට මෙලොව පරලොව වැඩ දක්වා අනුශාසනා කරමින් වැඩවසන සමයෙහි, දඹදිව මිනිසුන් අතුරෙන් නොයෙක් සිය ගණන් පවිටු මිනිසුන් එකතු කොට ගෙන “අපි බුදුවරු ය” යි කිය කියා නොයෙක් විරූප දෘෂ්ටි ගෙන ලාභ සත්කාර පිණිස ලොව මුළා කරමින් ඇවිදිනා වූ පූර්ණ කාශ්‍යප ය, මක්ඛලී ගෝසාල ය, අජිත කේශකම්බල ය, කකුද කාත්‍යායන ය, සංජය බෙල්ලට්ඨි පුත්‍ර ය, නිගණ්ඨ නාථ පුත්‍ර යැයි කියා පන්සියයක් පිරිස් ඇති මිථ්‍යා දෘෂ්ටිකයෝ සදෙනෙක් විසුවාහුය.
ඔවුන් සදෙනා මැඩ පැවැත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ බුදු වූ සත්වෙනි අවුරුද්දෙහි ඇසළ මස මැදි පොහොය ලත් උතුරුසල නැකතින්, අනන්ත අපරිමාණ වූ බුදුරජාණන් වහන්සේලාගේ වංශානුගත චාරිත්‍ර වූ පරිද්දෙන් පූජාවලියෙහි ආ ලෙස ‘යමා මහ පෙළහර’ දක්වා, ඒ ප්‍රාතිහාර්යය දැකීම පිණිස සතිස් යොදුනෙක පැතිර සිටි ශ්‍රමණ බ්‍රාහ්මණාදී මහ පිරිස් බල බලා සිටියදී තුන් පියවරින් තව්තිසා භවනයට වැඩ, ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් එළඹ, එහි රැස්වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ වූ දස දහසක් සක්වළ සියලු බ්‍රහ්මයන්ට “කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා” යනාදී සප්ත ප්‍රකරණයකින් යුක්ත වූ විජම් පිටකය දිග හැර, මනුෂ්‍ය ගණනයෙන් තුන් මාසයක් මුළුල්ලෙහි අභිධර්ම දේශනාව කොට, මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොට ඇති අසූ කෙළ දහසක් පමණ දිව්‍ය බ්‍රහ්මයන් නිවන් දැක්වූ සේක.
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහිඳ අභිධර්මය දේශනා කිරීම
මෙසේ අප බුදුහු ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහිඳ සවෙනි වස් කාලයෙහි වස් වසා, මහා පවාරණයට සත් දවසක් ඉතිරිව තිබියදී යට කී යමා මහ පෙළහර දක්නට රැස්ව සිටි මහ පිරිස බලා සිටියදීම, පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් නැගිට මිනිස් ලොවට වඩිනු කැමතිව දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාට ඒ බව වදාළ කල්හි, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ සිතනුයේ, “දැන් මාගේ පුරයෙන් මනුෂ්‍ය ලෝකයට වඩිනා සර්වඥයන් වහන්සේගේ ගමන දිව්‍යානුභාවයෙන් මහත් පූජා පෙළහරින් වැඩුව මනාමය. එහෙයින් සත්ත්වයන් සිත් සේ දෙව්ලොව බඹලොව නිවන්පුර වැදීමට උතුම් සද්ධර්මානුශාසනා නැමැති සෝපානය (ඉණිමග) සැදූ මාගේ බුදුරජාණන් වහන්සේට මම ද මේ දෙව්ලොව සිට වඩනා පරිද්දෙන් දිව්‍ය සෝපානයක් සාදමි” යි සිතා මහමෙර මුදුනේ පටන් සංකස්ස පුර දොරටුව දක්වා විසිතුරු මාණික්‍යමය වූ සෝපානයක් හා එහි දෙපස ස්වර්ණමය වූ සෝපාන දෙකක් මැවූයේය.
එවේලෙහි මාගේ ස්වාමිදරු වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බණ අස අසා සිටි සියලු දිව්‍ය බ්‍රහ්ම සේනාවට පින් දී, ඉන්ද්‍රචාපයක් (දේදුන්නක්) සේ සියලු මනුෂ්‍යයන්ට දෘශ්‍යමාන වූ සෝපාන තුන අතරෙන් දෙපසෙහි වූ සෝපාන දෙක දිව්‍ය බ්‍රහ්මයන්ට හැර, මධ්‍යයෙහි වූ මාණික්‍යමය සෝපානයෙන් දස දහසක් සක්වළ සියලු දිව්‍ය බ්‍රහ්මයන් විසින් කරන ලද පූජාවන් විඳ, සංකස්ස පුර දොරටුව අසල සැම බුදුවරුන් විසින් අත් නොහරින ලද ස්ථාන වූ ගල්තලා මස්තකයට බැස, එහි සතිස් යොදුනෙක රැස්ව සිටියා වූ මනුෂ්‍ය පිරිස හා දිව්‍ය බ්‍රහ්ම පිරිසට බණ වදාරා, බුදුන් ඇසූ ප්‍රශ්නයක් විසඳූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සියලු ඥානවතුන් කෙරෙහි අග තැන්පත් කොට වදාළ සේක.
සංකස්ස පුරයට දෙව්ලොව සිට මිණි මුවා ඉණිමගින් වැඩම කිරීම
මෙසේ සත්ත්වයා කෙරෙහි අනුකම්පා ඇති බුදුරජාණන් වහන්සේ ඉතා ඉක්මන් වූ චාරිකා වශයෙන් දෙව්ලොව ද බඹ ලොව ද හැසිරෙමින් මහා කාශ්‍යප, අංගුලිමාල, ආලවක, මහා කප්පින, ධනිය ස්ථවිර ආදීන් නිසා ඇසිල්ලකින් තුන් ගවු, එකසිය විසි ගවු, සාරසිය ගවු, දෙදාස් අටසියයක් ගවු වඩමින් ඒ උත්තමයන් නිවන් දැක්වූවා පමණක් නොව, බුදුව වැඩ උන් පන්සාළිස් අවුරුද්දෙන් පළමු වන අවුරුද්ද බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි ද, දෙවන තුන්වන සතරවන අවුරුදු පිළිවෙළින්ම රජගහ නුවර වේළුවනාරාමයෙහි ද, පස්වන අවුරුද්ද විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි ද, සවන අවුරුද්ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ද, සත්වන අවුරුද්ද පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි ද, අටවන අවුරුද්ද සුංසුමාරගිරි නම් නගරයෙහි ද, නවවන අවුරුද්ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ද, දසවන අවුරුද්ද පාරිලෙය්‍ය නම් වනයෙහි සල් රුක මුල ද, එකොළොස් වන අවුරුද්ද වේරංජා නුවර නලේරු නම් කොසඹ ගස මුල ශාලාවෙක ද, තෙළෙස්වන අවුරුද්ද චාලිය නම් පර්වතයෙහි ද, තුදුස්වන අවුරුද්ද දෙව්රම් වෙහෙර ද, පසළොස්වන අවුරුද්ද නිග්‍රෝධාරාමයෙහි ද, සොළොස්වන අවුරුද්ද අලව් නුවර ද, සතළොස් වන අවුරුද්ද වේළුවනාරාමයෙහි ද, පිට පිට දහනව අවුරුද්දක් නැවත දෙව්රම් වෙහෙර ද, එසේම පිළිවෙළින් සාවුරුද්දක් පූර්වාරාමයෙහි ද වස් වසා වදාළ සේක.
ඉතිරි තුන් අවුරුද්දෙහි නිශ්චිත වාසස්ථානයක් නොමැතිව ඒ ඒ තැන්වල වැඩ උන් පන්සාළිස් අවුරුද්ද ඇතුළත දවස එකෙක, දෙකෙක, දසයෙක, සියයෙක, දහසෙක, ලක්ෂයෙක, කෝටියක යන ආදී වශයෙන් නොයෙක් දේශනාවෙන් සසරින් ගොඩනැගූ සත්ත්වයන් හැර, සුමන මාලාකාර ආදී සූවිසි සමාගමයෙහි සූවිසි තැනක වැඩහිඳ සූවිසි වාරයක වදාළා වූ සූවිසි ධර්ම දේශනාවකින් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් සකෘදාගාමී කොට, සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් අනාගාමී කොට, සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් රහත් කොට අමා මහ නිවන් දක්වා වදාළ සේක.
මෙසේ ලෝ වැඩ කළා වූ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට දස මාසයක් කල් ඉතිරිව තිබියදී, යට කියන ලද නිශ්චිත වාසයක් නොමැතිව වැඩ සිටි අන්තිම තුන් අවුරුද්ද අතුරෙන් කෙළවර පන්සාළිස් වන වස විශාලා මහනුවර සමීපයෙහි වූ බෙලුවගම වස් වසා වැඩ වාසය කරන ලදී. එහි දී උපන් රෝගාබාධය සමාපත්ති බලයෙන් නවත්වා වස් අවසානයෙහි භික්ෂු සංඝයා පිරිවරා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩ, එහි දී අග්‍ර ශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට පිරිනිවන් පෑමට අවසර දී, ඒ දෙදෙනා වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ වූ ධර්ම දේශනා කොට, එයින් නික්ම භික්ෂු සංඝයා පිරිවරා නැවත විශාලා මහනුවරටම වැඩ, චාපාල චෛත්‍යය නම් විහාරයෙහි දී ආයු සංස්කාරය අත්හැරි ක්ෂණයෙහිම මහා පෘථිවිය කම්පා විය.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් සමීපයට පැමිණ එකත්පස්ව හිඳ, “ස්වාමීනි, දැන් මේ භයානක වූ පෘථිවි කම්පාව වීමට කාරණා කවරේද? ඒ මට වදාළ මැනවැ” යි ආරාධනා කළ කල්හි, බුදුරජාණන් වහන්සේ, “ආනන්දය, ධාතු ක්ෂෝභයෙන් ද, පින්වතුන්ගේ සෘද්ධ්‍යානුභාවයෙන් ද, මහ බෝසතාණන්ගේ මව් කුස ඉපදීමෙහි ද, එයින් නික්මීමෙහි ද, බුදුවීමෙහි ද, මංගල ධර්ම දේශනාවෙහි ද, සර්වඥවරයන්ගේ ආයු සංස්කාරය හැරීමෙහි ද, සර්වඥවරයන්ගේ පිරිනිවන් පෑමෙහි දැ” යි යන මේ අට කාරණයෙන් පෘථිවිය කම්පා වන්නේ යැයි වදාළ සේක. එපමණින් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “බුදුරජාණන් වහන්සේගේ ආයු සංස්කාර හැරීම යැයි” මහත් ඛේදයට පැමිණ, “ස්වාමීනි, ලෝකානුකම්පාවෙන් ආයුෂ් කල්පය මුළුල්ලෙහි වැඩ සිට වදාළ මැනවැ” යි ආරාධනා කළ සේක.
එවේලෙහි බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ආනන්දය, දැන් ඊට කල් නොවේ යැ” යි ප්‍රතික්ෂේප කොට, එයින් නික්ම මහාවන කූටාගාර ශාලාවට වැඩ, විශාලා මහනුවර වසන සියලු භික්ෂූන් එහි රැස් කරවා, පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ, “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි” යනාදියෙන්, “මහණෙනි, සියලු සංස්කාරයෝම නස්නා ස්වභාවය ඇත්තාහ. එහෙයින් තෙපි අප්‍රමාද වව්. මෙයින් තුන් මසක් ගිය කල තථාගත පරිනිර්වාණය වන්නේය” යි වදාළ සේක. එකල්හි එහි රැස් වූ පෘථග්ජන භික්ෂූහු හඬන්නට වූහ. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ධර්ම සංවේගයට පැමිණියාහුය.
එදින සවස බුදුරජාණන් වහන්සේ එයින් නික්ම ඒ නුවර වාසල් දොරටුවට පැමිණ, එහි වැඩ සිට ‘නාගාපලෝකන’ (ඇතුන් බලන්නාක් වැනි බැල්මෙන්) වශයෙන් නුවර දෙස බලා ගන්ධමාලයට වැඩ, එහි දී බොහෝ භික්ෂූන්ට සද්ධර්මානුශාසනා කොට, එයින් නික්ම හස්ති ග්‍රාමය, අම්බ ග්‍රාමය, ජම්බු ග්‍රාමය යන ග්‍රාමයන් පිළිවෙළින් පසු කොට, නැවත භෝග ග්‍රාමය යම් තැනෙක්හි ද එතැන්හි ආනන්ද චෛත්‍යයෙහි කැමති කාලයක් වාසය කොට, එයින් නික්ම පාවා නුවරට වැඩ, එහි දී චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් බුදු පාමොක් මහ සඟනට දෙන ලද අන්තිම දානය වළඳා, ධ්‍යාන බලයෙන් නවතාගෙන සිටි ආබාධය නැවත හටගත් හෙයින් සපිරිවරින් කුසිනාරා නුවරට වඩනා සේක්, අතරමග දී ඉදිරියට පැමිණි ආලාර කාලාමයන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයාට බණ වදාරා, සරණ සීලයෙහි පිහිටුවා, ඔහු විසින් පුදන ලද රන්වන් වූ වස්ත්‍ර යුගලය පිළිගෙන හැඳ පෙරවා, කුක්කුට නදිය කරා පැමිණ ඒ ගඟින් ජල ස්නානය කොට පැන් වළඳා, එම ගඟ තීරයෙහි අඹ උයනට වැඩ එහි මඳක් සැතපී හුන් සේක.
එකල්හි බුදුන්ගේ ශ්‍රී පාද සමීපයෙහි හුන් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාරණ සේක්, “ආනන්දය, තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයක් වළඳා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් ද, මේ පිණ්ඩපාත දෙකම සම සම වූ ඵල විපාක ඇත්තාහ. සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත් ඵල මහානිසංස වන්නාහුය” යි ධර්ම දේශනා කොට, එයින් නැගිට පාවා නුවර පටන් කුසිනාරා නුවර දක්වා තුන් ගවු පමණ මාර්ගයෙහි සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාව දක්වනු පිණිස විසිපස් තැනක වැඩහිඳ, සෘද්ධියෙන් නොවැඩ මහත් උත්සාහයෙන් ශ්‍රී පාදයෙන්ම වැඩ, හිරඤ්ඤවතී නම් ගඟින් එතෙරව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනට සන්ධ්‍යා කාලයෙහි ප්‍රවිෂ්ටව, එහි යුග්ම (නිවුන්) සල් වෘක්ෂයන් අතුරෙහි උතුරට හිස දමා පනවන ලද සයන මංචකයෙහි නැවත නැගී නොසිටින සංඥාවෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපුණු සේක.
කුසිනාරා නුවර උපවර්තන සල් උයනෙහි පිරිනිවන් මංචකයෙහි වැඩ සිටීම
එකල්හි දස දහසක් සක්වළ සියලු දිව්‍ය බ්‍රහ්ම සමූහයෝ නොයෙක් දිව්‍යමය වූ සුගන්ධ කුසුම් ආදිය ගෙන අහස් කුස පිරී සිට බුදුන්ගේ ශ්‍රී ශරීරයෙහි සුගන්ධ කුසුම් ආදිය වගුරුවාලීමෙන් බුද්ධ පූජා කළහ. මෙසේ අනන්ත වූ පූජා විඳ විඳ යමක සාලයන් අතුරෙහි වැදහොත් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල දැක වදාරා, ආනන්ද ස්ථවිරයන් කැඳවා, “ආනන්දය, මෙසේ ආමිස පූජා පැවැත්වූ පමණකින්ම තථාගත වූ බුදුන් පිදූයේ නොවෙයි. යම්කිසි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසකාදී කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී වාසය කරද්ද, එසේ වූ තැනැත්තා උතුම් පූජාවෙන් මා පිදූයේ නම් වෙයි. ආනන්දය, මෙසේ උතුම් පූජාවෙන් පුදන්නාහු මාගේ ශාසන නමැති අහස් මුදුනෙහි බබළන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් මෙන් දෘශ්‍යමාන වන්නාහ” යි ප්‍රශංසා කොට දක්වා වදාළ සේක.
එසමයෙහි බුදුන් දකිනු පිණිස එහි රැස් වූ දේව සමූහයාගේ අදහස් දුටු බුදුරජාණන් වහන්සේ, මහත් ශරීරයකින් යුක්තව පාංශුකූල චීවරයක් දරා තමන් වහන්සේ ඉදිරියෙහි පවන් සලසලා සිටි උපවාන ස්ථවිරයන් වහන්සේ එතනින් ඉවත් කරවූ සේක. ඒ දැක අනඳ මහ තෙරුන් වහන්සේ, “මේ උපවාන ස්ථවිර තෙම ප්‍රථම බෝධියෙහි පටන් උපස්ථායකව ස්වාමිදරුවන් වහන්සේගේ සමීපයෙහිම හැසුරුණු කෙනෙකි. දැන් කුමක් පිණිස තමන් වහන්සේගේ අභිමුඛයෙන් දුරු කළ සේක් ද?” යි විචාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ආනන්දය, අද රාත්‍රියගේ පශ්චිම යාමයෙහි මාගේ පිරිනිවන් පෑම වන නිසා, තථාගත වූ මා දක්නා පිණිස දස දහසක් සක්වළින් මේ සක්වළට රැස් වූ දේවතාවෝ ඉතා බොහෝය. මේ සල් වනයට හාත්පසින් දොළොස් යොදුන් පමණ තැනින් මහේශාක්‍ය දේවතාවන් විසින් ස්පර්ශ නුවූ ලොම් අගක් අණින පමණ තැන සියුම් වෙස් ගෙන සැට සැත්තෑ ගණන් මහේශාක්‍ය දේවතාවෝ පිරී සිටිනාහ. මා අභිමුඛයෙහි සිටි උපවාන ස්ථවිරතෙමේ ක්ෂීණාශ්‍රවයෙක් වූ හෙයින් ද, පෙර කාශ්‍යප බුදුන්ගේ ධාතු චෛත්‍යය රක්ෂාවෙහි නියුක්ත මහානුභාව සම්පන්න දේවතාවෙක් වූ හෙයින් ද, පෘථග්ජනයන්ගේ ශරීර විනිවිද දක්නා මුන්ගේ ශරීරය විනිවිද මා සිත් සේ දකින්ට නුපුළුවන් දේව සමූහයාට කරුණාවෙන් උපවාන ස්ථවිරයන් මා අභිමුඛයෙන් ඉවත් කෙළෙමි. මාගේ පුත්‍රයාගේ අන් කිසි දෝෂයක් නැතැ” යි වදාළ සේක.
ඉක්බිත්තෙන් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අසන සේක්, “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, සර්වඥයන්ගේ පිරිනිවීමෙන් පසු ඒ තථාගත ශරීරයෙහි අපි කෙසේ පිළිපදිමෝදැයි” යි ඇසූ සේක. එවේලෙහි බුදුරජාණන් වහන්සේ, “ආනන්දය, චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ ශරීරයෙහි පිළිපදිනා පරිද්දෙන් තථාගත ශරීරයෙහි පිළිපැද්ද යුතුය” යි කියා චෛත්‍යය කළ යුතු වූ බුදු, පසේ බුදු, මහ රහත් ආදී උත්තම පුද්ගලයන්ගේ ධාතු තබා චෛත්‍යය කරන ආකාරය ද, ඒ ඒ චෛත්‍යයන්ට මල් පහන් ආදියෙන් පූජා පවත්වන අයට ලැබෙන ආනිසංසයන් ද විස්තර කොට වදාළ සේක.
ඉක්බිත්තෙන් ප්‍රථම යාමයෙහි එහි පැමිණි සැටදහසක් පමණ මල්ල රජ දරුවන්ට අනිත්‍යතා ප්‍රතිසංයුක්තව ධර්ම දේශනා කොට අවසර දී යවා, නැවත බුදුන් දැකීමට පැමිණි සුභද්ද නම් පරිබ්‍රාජකයා හට ධර්ම දේශනා කොට පැවිදි උපසම්පදා කරවූ සේක. පශ්චිම ශ්‍රාවක වූ හෙතෙම එම සල් උයනෙහි එක් පර්ශ්වයක සක්මන් කරමින් විදර්ශනා වඩා, එකෙණෙහි සිව් පිළිසිඹියා හා සමඟ රහත් ඵලයට පැමිණ බුදුන් වැඳ වැඩහුන් සේක.
එදිනම මධ්‍යම යාමය ඉක්මවා පශ්චිම යාමය පැමිණි කල්හි භික්ෂු සංඝයාට අවවාද කරන සේක්, “ආනන්දය, අභිසම්බෝධියෙහි පටන් පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් අවුරුද්දක් ඇතුළත මා විසින් දෙසන ලද අසූසාරදහස් ධර්මස්කන්ධය තොපට අනුශාසනා පිණිස සිටිනාහුය. මම එකලාව පිරිනිවන් පාමි. මා පිරිනිවී කල්හි ඒ අසූසාර දහසක් ධර්මස්කන්ධයෝ තොපට අනුශාසනා කරන්නාහුය” යි මෙසේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාරණයෙන් දක්වා වදාළ සේක.
ඉක්බිත්තෙන් සර්ව ලෝක පූජ්‍ය පූජනීය වූ මාගේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අඬගා වදාරා, “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යනු බුදුව වැඩ සිටි පන්සාළිස් අවුරුද්ද මුළුල්ලෙහි වදාළ සියලු බුද්ධාවවාදයන් මේ එකම අප්‍රමාද පදයෙහි ඇතුළත් කොට, මේ අන්තිම බුද්ධ වචනයෙන් මුළු ලෝ වැසියන්ට අවවාද කොට, නිහඬ වීමෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යන රූප ධ්‍යාන සමාපත්ති සතරට පිළිවෙළින් සමවැදී, එයින් නැගිට ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන සමාපත්ති සතරට සමවැදුණු සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සංහිඳුනු බව දුටු ආනන්ද ස්ථවිරයන් වහන්සේ ශෛක්ෂ (රහත් නොවූ) හෙයින් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගෙන්, “බුදුන් පිරිනිවී සේක් දැ?” යි ඇසූ සේක. එකල අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, “ඇවැත් වූ ආනන්ද ස්ථවිරය, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් නොවෙයි. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සම වන් සේකැ” යි දැන්වූ සේක. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ බුදුන් සේම ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය දක්වා සමවැද ගිය හෙයින්, දැන් නිරෝධ සමාපත්තිය තුළ චිත්තය පවතිමින් සිටි කල්හි කාල ක්‍රියා කිරීමක් නැතැයි දැනගත් හෙයින් ද මෙසේ වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිලෝම වශයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පටන් ප්‍රථම ධ්‍යානය දක්වා සමවැද, නැවත අනුලෝම වශයෙන් ප්‍රථම ධ්‍යානයෙහි පටන් චතුර්ථ ධ්‍යානය දක්වා සමවැද, නිවන්පුර වඩනා වූ සද්ධර්ම චක්‍රවර්තී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූවිසි කෙළ ලක්ෂයක් පමණ සමවත් වැදීමෙන් සියලු සමාපත්ති සැප අනුභව කොට පැමිණ, චතුර්ථ ධ්‍යානයෙන් නැගී ධ්‍යාන සමනන්තරව ධ්‍යානාංගයන් ප්‍රත්‍යක්ෂ කොට, ඊට අනතුරුව භවාංගයට පැමිණ දුක්ඛ සත්‍ය ගත අව්‍යාකෘත චිත්තයෙන් එදින අරුණට පළමුව බලවත් පච්චූස (අලුයම්) කාලයෙහි පිරිනිවන් පා වදාළ සේක.
බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ මොහොත
මෙතෙකින් මේ බුද්ධ වංශයෙහි හෙවත් බුදුන්ගේ ජීවිත කථාවෙහි පූර්වාරාම පූජා කථාවෙහි පටන් පිරිනිවන් පෑම දක්වා සඳහන් වූ සන්තිකේ නිදානයෙහි දෙවෙනි භාගය නිමි.