“සච්චං කිරෙවමාහංසූ” යන මේ ජාතකය භාග්‍යවතුන් වහන්සේ වේළුවනයෙහි වැඩවසන සමයෙහි, දේවදත්ත තෙරුන් විසින් බුදුරදුන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් අරබයා දේශනා කරන ලදී. භික්ෂූන් වහන්සේලා දම් සභාවෙහි රැස්ව, “ඇවැත්නි, දේවදත්ත තෙරුන් බුදුගුණ නොදනී. උන්වහන්සේ උත්සාහ කරන්නේ බුදුරදුන් නැසීමටමයි” යනුවෙන් දේවදත්තයන්ගේ අගුණ කියමින් සිටියහ. එකල්හි ශාස්තෲන් වහන්සේ එහි වැඩම කොට, “මහණෙනි, දැන් කවර කථාවකින් යුතුව හුන්නාහුදැ?” යි විමසා, “මේ නම් කථාවෙනි” යි පිළිතුරු දුන් කල්හි, “මහණෙනි, දේවදත්තයන් මා ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ දැන් පමණක් නොවෙයි. පෙරත් උත්සාහ කළේමය” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි, ඒ රජුට ‘දුෂ්ඨ කුමාර’ නම් පුතෙක් විය. හෙතෙම රළුය, පරුෂය, පහර ලත් විෂ සර්පයෙකු බඳුය. බැණ නොවැදී හෝ පහර නොදී කිසිවෙකු සමඟ කථා නොකරයි. ඔහු ඇතුළත ජනයාටත් පිටත ජනයාටත් ඇසට වැටුණු රොඩ්ඩක් මෙන් ද, තමා කෑමට පැමිණි යක්ෂයෙකු මෙන් ද අප්‍රසන්න විය, බිය ජනක විය. දිනක් ඔහු දිය කෙළි කිරීමට කැමතිව මහත් පිරිවරින් ගංතෙරට ගියේය. එකෙණෙහිම මහත් වැසි වලාකුළක් නැඟිණි. දිශාවන් අන්ධකාර විය. හෙතෙම දාසයන්ට හා සේවකයන්ට, “එම්බා සේවකයිනි, මා ගඟ මැදට ගෙන ගොස් නහවා රැගෙන එවු” යයි කීවේය. ඒ සේවකයෝ කුමරා එහි ගෙන ගොස්, “රජු අපට කුමක් කරනු ඇත්ද? මේ පවිටු පුරුෂයා මෙහිදීම මරා දමමු” යයි මන්ත්‍රණය කොට, “කාලකණ්ණිය, මෙතැනින් පලයන්” යයි කියා දියෙහි ගිල්වා, නැවත ගොඩට අවුත් ගං ඉවුරෙහි සිටියහ. “කුමාරයා කොහිදැ?” යි විමසූ කල්හි, “අපි කුමාරයා නොදකිමු. වැසි වලාකුළු නැඟෙනු දැක දියෙහි ගිලී පෙරටුව ගියා විය හැකිය” යයි කීහ. ඇමතියෝ රජු වෙත ගියහ. රජු “මගේ පුත්‍රයා කොහිදැ?” යි විචාළේය. “දේවයන් වහන්ස, නොදනිමු. වැසි වලාකුළු නැඟුණු කල්හි පෙරටුව ගියා විය හැකියයි සිතා අපි ආවෙමු” යයි පැවසූහ. රජු නුවර දොරටු හරවා, “ගංතෙරට ගොස් සොයව්” යයි අණ කොට තැන තැන සොයවූ නමුත් කිසිවෙක් කුමරාව නොදැක්කාහ.
ඒ කුමාරයා ද වලාකුළින් අඳුරු වූ, වැසි වසිනා ඒ රැයෙහි ගඟේ ගසාගෙන යද්දී එක් ලී කොටයක් දැක, ඊට නැඟ මරණ බියෙන් තැතිගෙන හඬමින් යයි. එකල බරණැස් නුවර විසූ එක් සිටුවරයෙක් ගං ඉවුරෙහි කෝටි හතළිහක ධනය නිදන් කොට තබා, ධන ආශාව නිසා එහිම සර්පයෙක් වී උපන්නේය. තවත් සිටුවරයෙක් එම ප්‍රදේශයේම කෝටි තිහක් නිදන් කොට තබා ධන ආශාවෙන් එහිම මීයෙක් වී උපන්නේය. ගංවතුර ගලාවිත් ඔවුන් වසන තැනට ද ඇතුළු විය. ඔවුහු ජලය පැමිණි මගින්ම පිටවී, දිය පහර කපාගෙන ගොස් ඒ රජකුමරා සිටි ලී කොටයට ළඟා වී, එකෙක් එක් කෙළවරකට ද අනෙකා අනිත් කෙළවරට ද නැඟ ලී කොටය මත ලැගුම් ගත්හ. එම ගං ඉවුරෙහිම ඉඹුල් ගසක් විය. එහි එක් ගිරා පෝතකයෙක් වාසය කළේය. දිය පහරින් මුල් සේදී යාම නිසා එම ගස ද ගඟට ඇද වැටිණි. ගිරා පෝතකයා ද වැසි වසින කල්හි ඉගිලී යාමට නොහැකිව, පියාඹා ගොස් එම ලී කඳෙහිම එක් පසෙක සැඟවුණේය. මෙසේ මේ සතර දෙනා එකට පාවෙමින් ගියහ.
ඒ කාලයේ බෝධිසත්වයන් වහන්සේ කාසි රට උසස් බමුණු කුලයක ඉපිද, වැඩිවිය පැමිණි පසු තවුස් පැවිද්දෙන් පැවිදිව, ගඟේ එක් වක්කලමක පන්සලක් කොට වසන සේක. උන්වහන්සේ මැදියම් රැයෙහි සක්මන් කරන්නේ, ඒ රාජ කුමාරයාගේ බලවත් විලාප හඬ අසා මෙසේ සිතූහ: “මා වැනි මෛත්‍රී සහගත අනුකම්පාවෙන් යුත් තාපසයෙකු බලා සිටියදී මේ පුරුෂයාට මියැදෙන්නට හැරීම යුතු නැත. දියෙන් ගොඩට ගෙන ඔහුට ජීවිත දානය දෙන්නෙමි.” හෙතෙම ඔහුට “බිය නොවන්න, බිය නොවන්න” යයි අස්වසා, දිය පාර කපාගෙන ගොස් ඒ දර කඳ එක් කොණකින් අල්ලාගෙන, ඇත් බල ඇති කාය ශක්තියෙන් යුක්තව එක්වරම එය ඇදගෙන අවුත් ගං තෙරට පැමිණ, කුමාරයා ඔසවා ඉවුරෙහි තැබුවේය. ඉන්පසු ඒ සර්පයා ආදීන් ද දැක, ඔවුන් ද ඔසවාගෙන අසපුවට පමුණුවා ගිනි දල්වා, “මොවුන් වඩා දුර්වලය” යි සිතා පළමුව සර්පයා ආදීන්ගේ සිරුරු ගින්නෙන් තවා, පසුව රජ කුමරාගේ සිරුර තැවූහ. ඔහු ද නිරෝගී කොට ආහාර දීමේදී ද පළමුව සර්පයා ආදීන්ටම දී පසුව ඔහුට පලාවැල පිරිනැමූහ. රජකුමරා, “මේ කපටි තවුසා රාජ කුමාරයකු වන මා ගණන් නොගෙන තිරිසනුන්ට ගරු සත්කාර කරන්නේය” යයි බෝසතුන් කෙරෙහි වෛර බැඳගත්තේය.
මහබෝසතාණන් වහන්සේ කුමාරයා, සර්පයා, මීයා සහ ගිරවා ගංවතුරෙන් බේරා ගැනීම.
ඉන් දින කීපයකට පසු ඒ සියල්ලන්ම ශක්ති සම්පන්න වූ කල්හි ද, ගඟෙහි සැඩ පහර බැසගිය කල්හි ද, සර්පයා තාපසයන් වැඳ මෙසේ කීය: “ස්වාමීනි, ඔබතුමා මට මහත් උපකාර කළේය. මම දුගියෙක් නොවෙමි. අසවල් ස්ථානයේ කහවණු කෝටි හතළිහක් නිදන් කොට තබා ඇත. ඔබතුමාට ධනයෙන් ප්‍රයෝජනයක් වූ කල්හි ඒ සියලු ධනය ඔබතුමාට දිය හැකිය. ඒ ස්ථානයට පැමිණ ‘දීඝ’ යයි මා අමතනු මැනවි,” යි කියා පිටත්ව ගියේය. මීයා ද එසේම තාපසයාට ආරාධනා කොට, “අසවල් තැන සිට ‘උන්දූර’ යයි මා අමතන්න” යයි කියා ගියේය. ගිරවා ද තාපසයා වැඳ, “ස්වාමීනි, මට ධනයක් නැත. නමුත් ඔබට රත් ඇල් හාල් අවශ්‍ය වූ විටක, අසවල් නම් මගේ වාසස්ථානයට අවුත් ‘සුව’ යයි අමතනු මැනවි. එවිට මම නෑයන්ට කියා කරත්ත ගණනාවක් වුවද පුරවා රත් ඇල් හාල් ගෙන්වා දීමට පොහොසත් වෙමි” යයි කියා ගියේය. නමුත් අනික් මිත්‍ර ද්‍රෝහී පුරුෂයා, “කිසිවක් නොකියා යාම යුතු නැත. මොහු තමා මගේ සමීපයට ආ කල්හි මරා දමන්නෙමි” යයි සිතා, “ස්වාමීනි, මා රාජ්‍යයෙහි පිහිටි කල්හි පැමිණෙනු මැනවි. මම ඔබට සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමි” යයි කියා ගියේය. ඔහු ගොස් නොබෝ දිනකින්ම රාජ්‍යත්වයට පත් විය.
බෝසතාණන් වහන්සේ “මොවුන්ව විමසා බලන්නෙමි” යි සිතා, පළමුව සර්පයාගේ වාසස්ථානයට ගොස් නුදුරෙහි සිට “දීඝ” යයි අඬගැසූහ. ඌ එක වචනයෙන්ම පිටතට අවුත් බෝධිසත්වයන් වැඳ, “ස්වාමීනි, මේ ස්ථානයේ රන් කහවණු කෝටි හතළිහක් ඇත. ඒ සියල්ල පිටතට ගෙන ලබාගනු මැනවැ” යි කීවේය. බෝසතාණන් වහන්සේ, “එසේ වේවා, කටයුත්තක් පැමිණි විට දන්වන්නෙමි” යයි ඔහු පිටත් කර යවා මීයා සමීපයට ගොස් ශබ්ද කළහ. ඔහු ද එසේම පිළිපැද්දේය. බෝසතාණන් වහන්සේ ඔහු ද පිටත් කර යවා ගිරවා සමීපයට ගොස් “සුව” යයි අඬගැසූහ. ඔහු ද එක වචනයෙන්ම ගස මුදුනෙන් බැස බෝසතාණන් වැඳ, “කිම ස්වාමීනි, මගේ නෑයන් වෙත ගොස් හිමාල වනයෙන් ඔබ වහන්සේට ස්වයංජාත ඇල් වී ගෙනෙන්නම් දැ?” යි විචාළේය. බෝසතාණන් වහන්සේ “අවශ්‍ය වූ විටක දන්වන්නෙමි” යයි ඔහු ද පිටත් කර යවා, “දැන් රජතුමා පරීක්‍ෂා කරන්නෙමි” යයි සිතා ගොස් රජ උයනෙහි රැය පහන් කොට, පසුදා උදෑසනම පිඬුසිඟා යන ආකාරයෙන් නගරයට පිවිසියේය. ඒ මොහොතේ ඒ මිත්‍රද්‍රෝහී රජු සරසන ලද මංගල ඇතු පිට නැඟී මහත් පිරිවරින් නගරය පැදකුණු කරයි. හෙතෙම බෝධිසත්වයන් දුර තියාම දැක, “මේ කපටි තවුසා මගේ සමීපයෙහි බත් කමින් වසනු කැමැතිව පැමිණියේය. පිරිස් මැද ඔහු විසින් මට කළ උපකාරය ප්‍රකාශ කිරීමට පෙර, එකෙණෙහිම මොහුගේ හිස සිඳ දමන්නෙමි” යයි සිතා රාජ පුරුෂයන් දෙස බැලුවේය. “දේවයන් වහන්ස, කුමක් කරමුදැ?” යි විමසූ කල්හි, “මේ කපටි තාපසයා මගෙන් යමක් ඉල්ලා ගැනීමට පැමිණියා යයි මට සිතේ. මේ කාලකණ්ණි තවුසාට මා දෙස බැලීමටවත් ඉඩ නොදී, මොහු අල්ලාගෙන, දෑත් පිටුපසට කර බැඳ, හතර මං සන්ධියක් ගානේ කස පහර දෙමින් නගරයෙන් පිටතට ගෙන ගොස්, වධක ස්ථානයේදී මොහුගේ හිස සිඳ, සිරුර උල තබව්” යයි අණ කළේය. ඔවුහු “යහපතැ” යි පිළිගෙන ගොස්, අපරාධයක් නැති මහා සත්වයන් බැඳ, හතර මංසන්ධියක් පාසා කස පහර දෙමින් වධක ස්ථානයට ගෙන යාමට පටන් ගත්තාහුය. බෝසතාණන් වහන්සේ පහර කෑ තැන්වලදී “අනේ අම්මේ, තාත්තේ” යයි නොහඬා, කිසිදු විපිළිසර බවක් නැතිව මේ ගාථාව ප්‍රකාශ කළහ.
“ගඟ දියෙහි පාවෙන දරදඬු ගොඩ ගැනීම උතුම් වේ. එහෙත් (කළගුණ නොදන්නා) ඇතැම් පුරුෂයන් ගොඩ ගැනීම උතුම් නොවේ යයි මේ ලොව ඇතැම් පණ්ඩිතයෝ සැබෑවක්ම කීවාහුය.”
එහි අර්ථය මෙසේය: “සච්චං කිරෙවමාහංසූ” යනු, ඔවුහු මෙසේ සත්‍යයක්ම කියති. “නරා එකච්චියා ඉධ” යනු, මේ ලෝකයෙහි වෙසෙන ඇතැම් පණ්ඩිත පුරුෂයෝය. “කට්ඨං නිප්ලවිතං සෙය්‍යො” යනු, ගඟෙහි ගසාගෙන යන වියළි දර කැබැල්ලක් ගොඩට ගෙන ගොඩබිම තැබීම උසස්ය, වඩාත් යහපත්ය. මෙසේ කියන්නා වූ ඒ පුරුෂයෝ සත්‍යයක්ම කියති. ඊට හේතු කිම? එසේ ගොඩගත් දර, කැඳ බත් ආදිය පිසීම සඳහා ද, සීතලෙන් පීඩිත වූවන්ට ගිනි තැපීම සඳහා ද, අනෙක් සමහරුන්ට උවදුරු නැති කර ගැනීම සඳහා ද උපකාර වේ. “න ත්වෙවෙකච්චියො නරො” යනු, මිත්‍රද්‍රෝහී වූ, කළගුණ නොදත්, පාපී පුරුෂයෙකු සැඩ පහරින් ගසාගෙන යන කල්හි අතින් අල්ලා ගොඩට ගැනීම උතුම් නොවේ යන්නයි. ඒ එසේමය. මම මේ පාපී පුරුෂයා ගොඩට ගෙන මේ මහා දුක ළඟා කර ගතිමි. මෙසේ කස පහර කෑ සෑම තැනකදීම උන්වහන්සේ මේ ගාථාව පැවසූහ.
එය ඇසූ එහි සිටි නුවණැති පුරුෂයෝ, “පින්වත් පැවිදිතුමනි, ඔබ විසින් අපගේ රජතුමාට කිසියම් උපකාරයක් කර තිබේද?” යි විමසූහ. බෝසතාණන් වහන්සේ ඒ සියලු පුවත් පැවසුහ. “මම මොහු සැඩ පහරින් ගොඩට ගත්තෙමි. මේ සියලු දුක් මම ම ළඟා කර ගතිමි. ‘පැරණි පඬිවරුන්ගේ වචනය මා විසින් පිළි නොපදින ලද්දේය’ යි සිහිපත් කරමින් මම මෙසේ කියමි” යි කීහ. මෙය ඇසූ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ආදීහු ද නගරවාසීහු ද, “මේ මිත්‍රද්‍රෝහී රජ, මෙසේ ගුණවත් වූ, තමාට ජීවිත දානය දුන් තවුසාගේ අල්ප මාත්‍ර වූ ගුණයක් හෝ නොදනී. ඔහු නිසා අපට කවර නම් යහපතක් වේද? මොහු අල්ලා ගනිවු” යයි කිපී, හාත්පසින් නැඟී සිට, ඊතල, හෙල්ල, ගල්, මුගුරු ආදියෙන් පහර දී ඇත් කඳ මත සිටියදීම රජු ඝාතනය කළහ. පසුව පාදවලින් අල්ලා ඇද දමා, දිය අගලකට විසි කොට, බෝසතුන් අභිෂේක කරවා රාජ්‍යයෙහි පිහිටවූහ.
දැහැමින් රාජ්‍යය කරන බෝසතාණන් වහන්සේ, නැවත එක් දිනක් සර්පයා ආදීන් හමුවීමට කැමතිව මහත් පිරිවරින් සර්පයා වසන තැනට ගොස් “දීඝ” යයි අඬගැසූහ. සර්පයා අවුත් වැඳ, “ස්වාමීනි, මේ ඔබගේ ධනයයි, එය ගනු මැනවි” යි කීවේය. රජතුමා කහවණු කෝටි හතළිහක ධනය ඇමතියන්ට භාර දී, මීයා සිටි තැනට ගොස් “උන්දූර” යයි අඬගැසූහ. ඔහු ද අවුත් වැඳ කෝටි තිහක ධනය පාවා දුන්නේය. රජතුමා එය ද ඇමතියන්ට භාර දී ගිරවා හුන් තැනට ගොස් “සුව” යයි අඬගැසූහ. ඔහු ද අවුත් පා වැඳ, “කිම ස්වාමීනි, ඇල් සහල් ගෙන එම් දැ?” යි ඇසීය. රජතුමා, “ඇල් හාලින් ප්‍රයෝජනයක් ඇති කල්හි ගෙන ආ හැකිය. අප සමඟ යමු” යයි කියා, කෝටි හැත්තෑවක් වූ ධනය සමඟ ඔවුන් තිදෙනා ද කැඳවාගෙන නගරයට ගොස්, උතුම් වූ ප්‍රාසාදයෙහි උඩුමහලට නැඟ ඒ සියලු ධනය තැන්පත් කරවීය. ඉන්පසු සර්පයාට විසීම සඳහා රන් නළයක් ද, මීයාට පළිඟු ගුහාවක් ද, ගිරවාට රන් කූඩුවක් ද තැනවීය. සර්පයාට සහ ගිරවාට ආහාර පිණිස දිනපතා රන් තැටියක මී පැණි හා විළඳ ද, මීයාට සුවඳ ඇල් සහල් ද ලබා දුන්නේය. දානාදී පින්කම් ද සිදු කළේය. මෙසේ ඒ සතර දෙනාම දිවි ඇති තාක් සමගියෙන් හා සතුටින් වාසය කොට, ජීවිත කාලය අවසානයේ කම් වූ පරිදි මිය ගියහ.
බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, දේවදත්ත තෙරුන් මා ඝාතනය සඳහා උත්සාහ කළේ දැන් පමණක් නොවේ, පෙර ද උත්සාහ කළේය” යි වදාරා, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාප්ත කළ සේක. “එකල පවිටු රජ වූයේ දේවදත්තය. සර්පයා වූයේ සැරියුත් තෙරුන්ය. මීයා වූයේ මුගලන් තෙරුන්ය. ගිරවා වූයේ ආනන්ද තෙරුන්ය. පසුව රාජ්‍යයට පත් වූ දැහැමි රජු නම් මම ම වෙමි.”
තුන්වන සච්චංකිර ජාතක වර්ණනාව යි.