“උභො ඛඤ්ජා” (දෙදෙනාම කොරුය) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මසුරු කෝසිය සිටාණන් අරබයා වදාළ සේක. රජගහ නුවරට නුදුරින් ‘සක්ඛර’ නම් නියම් ගමක් විය. එහි අසූ කෝටියක් ධනය ඇති කෝසිය නම් මසුරු සිටුවරයෙක් වාසය කළේය. ඔහු තණ අගකින් ගත හැකි තෙල් බිඳක්වත් අනුන්ට නොදෙයි; තමා ද පරිභෝග නොකරයි. මෙසේ ඔහුගේ ඒ මහා ධනස්කන්ධය දූදරුවන්ට හෝ මහණ බමුණන්ට හෝ ප්‍රයෝජනයක් නොවී, රකුසන් විසින් අරක් ගන්නා ලද පොකුණක් මෙන් කිසිවෙකුට පරිභෝගයට ගත නොහැකිව පවතී.
බුදුරජාණන් වහන්සේ එක් දිනක් අලුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැඟිට, සියලු ලෝක ධාතුවෙහි ධර්මාවබෝධ කළ හැකි බන්ධූන් දෙස බලන සේක්, පන්සාළිස් යොදුනක් දුර වාසය කරන භාර්යාව සහිත ඒ සිටුවරයාගේ සෝවාන් ඵලය ලැබීමට ඇති පින් මහිමය දුටු සේක. මීට පෙර දිනක ඒ සිටුවරයා රජු හමුවීමට රාජ මාළිගයට ගොස් රාජ සේවය කොට ආපසු එන අතරතුර, බඩගින්නෙන් පෙළුණු එක් ජනපදවාසී මිනිසෙක් කොමු පෙළ (පුරවපු පිටි ගුලි/කැවුම් විශේෂයක්) පිරවූ තැටි කැවුම් කනු දැක, ඒ කෙරෙහි ආශාවක් උපදවාගෙන තමාගේ නිවසට ගොස් මෙසේ සිතීය. “ඉදින් මා තැටි කැවුම් කනු කැමැති වෙමියි කීවේ නම් බොහෝ දෙනා මා සමඟ කනු කැමැත්තෝ වන්නාහ. එසේ වූ කල මගේ බොහෝ සහල්, ගිතෙල්, පැණි ආදිය වියදම් වීමට යන්නේය. එම නිසා කිසිවෙකුටත් නොකියන්නෙමි”යි ආශාව ඉවසාගෙන සිටියේය. මෙසේ කල් ගත වෙද්දී ඔහු පඬුවන් පැහැ ඇත්තේ, නහර වැල් ඉලිප්පුනු සිරුරු ඇත්තේ විය. තවදුරටත් ආශාව ඉවසා සිටීමට නොහැකි වූ තැන ගේ තුළට පිවිස ඇඳ බදාගෙන නිදා ගත්තේය. මෙසේ වුවද ධන හානි බියෙන් කිසිවෙකුටත් නොකීවේය.
ඉක්බිති ඔහුගේ බිරිඳ ඔහු වෙත පැමිණ පිට පිරිමැද, “ස්වාමීනි, ඔබට කිම්ද? යම් අපහසුවක්දැ?” යි විමසුවාය. “මට කිසි අපහසුවක් නැත”. “එසේ නම් රජතුමා ඔබ සමඟ උරණ වීද?”. “රජතුමා මා සමඟ උරණ වී නැත”. “එසේ නම් ඔබගේ දූ පුතුන් විසින් හෝ දැසි දස් කම්කරුවන් විසින් හෝ කිසියම් නොමනා දෙයක් කරන ලද්දේද?”. “එවැන්නක් ද නැත”. “කිසියම් දෙයක් පිළිබඳ ඔබට ආශාවක් ඇත්තේ ද?”. මෙසේ ඇසූ කල්හි ද ධන හානි බියෙන් කිසිවක් නොකියා නිහඬව නිදා ගත්තේය. එවිට ඔහුගේ භාර්යාව, “හිමියනි, කියනු මැනවි. ඔබට කිසියම් ආශාවක් ඇත්තේ ද?” යි ඇසුවාය. ඒ වචනය ඇසූ සිටුවරයා වචන ගිලින්නාක් මෙන්, “මට එක් ආශාවක් ඇත්තේය” යි කීවේය. “හිමියනි, කිනම් ආශාවක් ද?”. “තැටි කැවුම් කනු කැමැත්තෙමි”. “එසේ නම් කුමක් නිසා නොකීවේ ද? කිම, ඔබ දිළින්දෙක් ද? දැන් සියලු සක්ඛර ගම්වාසීන්ට ප්‍රමාණවත් වන පරිදි තැටි කැවුම් පිස දෙමි”. “ඔවුන්ට දීමෙන් ඇති ඵලය කුමක් ද? ඔවුහු තමන්ගේ කටයුතු කරගෙන කන්නාහ”. “එසේ නම් එක් වීථියක වසන ජනයාට ප්‍රමාණවත් වන පරිදි පිසමි”. “මම ඔබගේ ධනවත් බව දනිමි”. “එසේ නම් මේ නිවසේ වසන සැමට ප්‍රමාණවත් වන සේ පිසමි”. “නුඹේ සිතේ මහත් බව මම දනිමි”. “එසේ නම් ඔබගේ අඹුදරුවන් සඳහා පමණක් පිසමි”. “ඔවුන්ගෙන් ඇති ඵලය කුමක් ද?”. “එසේ නම් ඔබටත් මටත් ප්‍රමාණවත් වන සේ පිසමි”. “නුඹෙන් මට ඇති ඵලය කිම?”. “එසේ නම් ඔබට පමණක් පිසමි”. “මේ නිවසේ පිසින විට බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. නොබිඳුණු සහල් ඉවත් කර කැඩුණු සහල් (සුන් සහල්) පමණක් ගෙන, ලිප් සහ භාජන ද රැගෙන, ස්වල්ප වශයෙන් කිරි, ගිතෙල්, මී පැණි ආදිය ද ගෙන සත් මහල් ප්‍රාසාදයෙහි උඩුමහල් තලයට නැඟ පිසව. මම එහි සිට තනිවම තැටි කැවුම් කන්නෙමි”. ඇය ද “යහපතැ”යි පිළිවදන් දී ගත යුතු දේ ගෙන්වාගෙන, ප්‍රාසාදයට නැඟ දාසියන් පිටත් කර යවා සිටුවරයා කැඳවූවාය. ඔහු ද මුල පටන් දොරවල් වසමින්, සියලු දොරවල්වලට අගුළු දමා, සත් වැනි මහලට නැඟ එහි දොර ද වසා වාඩි විය. ඔහුගේ බිරිඳ ද ලිපෙහි ගිනි මොළවා බඳුන තබා කැවුම් පිසීමට ආරම්භ කළාය.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ අලුයම් වේලෙහි මහා මුගලන් තෙරුන් ඇමතූ සේක. “මොග්ගල්ලාන, රජගහ නුවරට නුදුරු සක්ඛර නම් නියම් ගමෙහි කෝසිය නම් මසුරු සිටුවරයා ‘තැටි කැවුම් කමි’ යි අන් අය දකී යැයි යන බියෙන් සත්මහල් ප්‍රාසාදයෙහි තැටි කැවුම් පිසවයි. ඔබ එහි ගොස් ඒ සිටුවරයා දමනය කොට, මානය බිඳ, අඹු සැමි දෙදෙනාමත්, කැවුම් ද, කිරි, ගිතෙල්, මීපැණි ආදියත් ඔවුන් ලවා ගෙන්වා ගෙන තමාගේ ඍද්ධි බලයෙන් ජේතවනයට ම රැගෙන එන්න. මම ද අද පන්සියයක් භික්ෂූන් සමඟ විහාරයෙහි රැඳෙන්නෙමි. අද තැටි කැවුම්වලින් ම දාන කෘත්‍යය සිදු කරන්නෙමි”යි වදාළ සේක. තෙරුන් වහන්සේ ද “ස්වාමීනි, යහපතැ”යි බුදුරජුන්ගේ වචනය පිළිගෙන, එකෙණෙහි ම ඍද්ධියෙන් ඒ නියම් ගමට වැඩමවා එම ප්‍රාසාදයෙහි කවුළු දොරටුව ඉදිරිපිට, මනාව හැඳ පොරවා, අහසෙහි ම මිණි රුවක් මෙන් පෙනී සිටි සේක.
තෙරුන් දුටු වහාම මහා සිටුගේ හදවත සැලී ගියේය. සිටුවරයා, “මම මෙවැනි අයට ම බියෙන් මෙතැනට පැමිණියෙමි. මොහු ද අවුත් කවුළු දොරෙහි ම සිටියේය”යි වෙන කළ යුතු දෙයක් නොමැතිව ගින්නෙහි දැමූ ලුණු කැට සේ කෝපයෙන් පුපුරමින් මෙසේ කීය. “ශ්‍රමණය, අහසෙහි සිට කුමක් ලබන්නෙහි ද? පියවර නොපිහිටන අහසෙහි පියවර දක්වා සක්මන් කළේ වී නමුත් කිසිවක් නොලබන්නෙහිය”. තෙරණුවෝ ද එම ස්ථානයෙහි ම ඔබමොබ සක්මන් කළහ. එවිට සිටුවරයා, “සක්මන් කිරීමෙන් කුමක් ලබන්නෙහි ද? අහසෙහි පළඟින් වාඩි වුවද නොලබන්නේමය”යි කීවේය. තෙරණුවෝ පළක් බැඳ අහසෙහි වැඩ සිටි සේක. එවිට සිටුවරයා, “වාඩි වී සිටීමෙන් කුමක් ලබන්නෙහි ද? අවුත් ජනේලයේ එළිපත්ත මත සිටිය ද නොලබන්නේයැ”යි කීවේය. ඉක්බිති තෙරණුවෝ එළිපත්ත මත වැඩ සිටියහ. එවිට සිටුවරයා, “එළිපත්ත මත සිට කුමක් ලබන්නෙහි ද? දුම පිට කරමින් සිටියේ වුවද, නොලබන්නේ මය”යි කීවේය. තෙරණුවෝ දුම් පිට කළහ. මුළු ප්‍රාසාදය දුමින් පිරී ගියේය. සිටුවරයාගේ ඇස් ඉඳිකටුවකින් විදින්නාක් මෙන් විය. ගෙය දැවෙතැයි යන බියෙන්, “ගිනි ඇවිලුවත් නොලබන්නෙහිය”යි නොකියා මෙසේ සිතීය. “මේ ශ්‍රමණයා හොඳටම ලැගගෙන සිටී. තැටි කැවුම් නොලැබ නොයන්නේය. එම නිසා මොහුට එක් කැවුමක් දෙවන්නෙමි”යි සිතා බිරිඳ අමතා, “සොඳුර, එක් කුඩා කැවුමක් පිස ශ්‍රමණයාට දී ඔහු පිටත් කර හරිනු” යැයි කීවේය. බිරිඳ ද පිටි ස්වල්පයක් තැටියට දැම්මාය. ඒ සමඟම එය මහා කැවුමක් වී මුළු තැටිය ම පිරී පිපී ගියේය.
සිටුවරයා ඒ දැක, “තී වැඩිපුර පිටි ගත්තා විය යුතුය”යි සිතා, තමාම හැඳි මිටෙන් පිටි ස්වල්පයක් ගෙන තැටියට දැම්මේය. එවිට එය පෙර කැවුමටත් වඩා විශාල වූයේය. මෙසේ පිසින පිසින කැවුම පෙරට වඩා විශාලම වෙයි. එවිට සිටුවරයා කළකිරී භාර්යාව අමතා, “සොඳුර, මේ කැවුම්වලින් එකක් මොහුට දෙව”යි කීවේය. ඇය කැවුම් වට්ටියෙන් එක කැවුමක් ගනිත් ම සියලු ම කැවුම් එකට ඇලී තිබුණි. ඇය සිටුවරයාට, “හිමියනි, සියලු ම කැවුම් එකටම ඇලී තිබේ. වෙන් කළ නොහැක්කෙමි”යි කීවාය. “මම කරන්නෙමි”යි කියා සිටුවරයා උත්සාහ කළ ද නොහැකි විය. දෙදෙනා ම දෙකෙළවරින් අල්ලා අදිමින් උත්සාහ කළ ද වෙන් කිරීමට නොහැකි වූවාහුය. මෙසේ දෙදෙනා කැවුම් වෙන් කිරීමට උත්සාහ කරද්දී සිරුරෙන් දහදිය පිටවිය. කැවුම් ආසාව ද නැති වී ගියේය. ඉක්බිති බිරිඳට, “සොඳුර, මට කැවුමෙන් වැඩක් නැත. වට්ටිය සමඟ ම භික්ෂුවට දෙව”යි කීවේය. ඇය ද වට්ටිය රැගෙන තෙරුන් වෙත පැමිණියාය. තෙරණුවෝ ඒ සියලු කැවුම් භාරගෙන දෙදෙනාට ම දම් දෙසූ සේක; තෙරුවන් ගුණ වදාළ සේක. “දන් දීමෙහි විපාක ඇත, පූජාවෙහි විපාක ඇත” ආදී වශයෙන් දානයෙහි ආනිශංස අහසෙහි සඳ මඬල මෙන් පැහැදිලි කර දුන් සේක.
සිටුවරයා සහ බිරිඳ විසින් කැවුම් පෙට්ටිය මුගලන් තෙරුන්ට පූජා කිරීම
එය අසා පහන් සිත් ඇති සිටුවරයා, “ස්වාමීනි, ඇතුළට වැඩමවා මේ අසුනෙහි වැඩ හිඳ කැවුම් වැළඳුව මැනවැ”යි ඉල්ලා සිටියේය. තෙරණුවෝ, “මහා සිටුවරය, බුදුරජාණන් වහන්සේ ‘කැවුම් වළඳමි’යි පන්සියයක් භික්ෂූන් සමඟ විහාරයෙහි ම වැඩ සිටිති. ඔබගේ කැමැත්ත තිබේ නම් සිටු බිරිඳ ලවා කැවුම් ද කිරි ආදිය ද ගෙන්වාගන්න. අපි බුදුරජුන් වෙත යමු”යි වදාළ සේක. “ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ දැන් කොහි වැඩ වෙසෙත් ද?”. “සිටුවරය, මෙතැන් සිට පන්සාළිස් යොදුනක් දුරින් පිහිටි දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටිති”. “ස්වාමීනි, කාලය ඉක්මවා නොගොස් මෙපමණ දුරක් කෙසේ යන්නෙමු ද?”. “මහා සිටුවරය, ඔබගේ කැමැත්ත තිබේ නම් මම ඔබ හැම දෙනා මගේ ඍද්ධි බලයෙන් ගෙන යන්නෙමි. තොපගේ ප්‍රාසාදයෙහි පඩිපෙළේ ඉහළ කොටස තිබූ ස්ථානයෙහි ම වන්නේය. පඩිපෙළේ පහළ කෙළවර දෙව්රම් වෙහෙර දොරටුවෙහි වන්නේය. ප්‍රාසාදයේ උඩුමහලේ සිට පහත මාලයට බසින කාල ප්‍රමාණයෙන් තොපව දෙව්රම් වෙහෙරට පමුණුවන්නෙමි”. හෙතෙම “ස්වාමීනි, මැනවැ”යි පිළිගත්තේය. තෙරණුවෝ පඩිපෙළේ ඉහළ කෙළවර එහි ම තිබිය දී, පඩිපෙළ පාමුල දෙව්රම් වෙහෙර දොරටුවෙහි වේවා යි අධිෂ්ඨාන කළහ. ඒ එසේ ම විය.
මෙසේ තෙරණුවෝ සිටුවරයා ද සිටු බිරිඳ ද උඩු මහළෙහි සිට යට මහළට බසින කාලයට වඩා ඉක්මනින් ජේතවන විහාරයට පැමිණවූහ. ඒ දෙදෙනා ම බුදුරජුන් වෙත එළැඹ දානයට කාලය බව දැන්වූහ. බුදුරජාණන් වහන්සේ දන්හලට වැඩමවා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි මහා භික්ෂු සංඝයා සමඟ වැඩ සිටියහ. මහා සිටුවරයා බුදුරජුන් ප්‍රමුඛ මහා සංඝයාට පැන් පිළිගැන්වීය. සිටු බිරිඳ බුදුරජුන්ගේ පාත්‍රයට කැවුම් පිළිගැන්වූවාය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට යැපීමට ප්‍රමාණවත් වන පරිදි කැවුම් පිළිගත්හ. පන්සියයක් භික්ෂූහු ද එසේ ම තම තමන්ට ප්‍රමාණවත් සේ පිළිගත්හ. සිටුවරයා කිරි, ගිතෙල්, මී පැණි, හකුරු ආදිය පිළිගන්වමින් ගියේය. බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් සමඟ දාන කිස නිම කළහ. මහා සිටුවරයා ද බිරිඳ සමඟ කැමති තාක් කැවුම් අනුභව කළේය. එහෙත් කැවුම්වල අවසානයක් නොපෙනුණි. විහාරයේ සියලු භික්ෂූන්ට ද, යාචකාදීන්ට ද දුන් කල්හි ද අවසානයක් නොපෙනුණි. “ස්වාමීනි, කැවුම් අවසන් නොවේ” යැයි බුදුරජුන්ට සැළකළහ. “එසේ නම් ජේතවන විහාර දොරටුව අබියස දමනු” යැයි වදාළහ. ඉක්බිති ඔවුහු දොරටුව අබියස බෑවුම් ස්ථානයෙහි ඒවා දැමූහ. අද ද ඒ ස්ථානය ‘කපල්ලපූව පබ්භාර’ (තැටි කැවුම් බෑවුම) නමින් හඳුන්වනු ලැබේ. මහා සිටුවරයා බිරිඳ සමඟ බුදුන් වෙත එළැඹ එකත්පසෙක සිටියේය. බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනාව කළහ. අනුමෝදනා අවසානයේ දෙදෙනා ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. අනතුරුව බුදුන් වැඳ දොරටුව අසල දී පඩිපෙළට නැඟ තමාගේ ප්‍රාසාදයට ම පැමිණියහ. එතැන් පටන් මහා සිටුවරයා අසූ කෝටියක් ධනය බුදු සසුනෙහි ම වියදම් කළේය.
පසු දින බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩමවා ජේතවනයට පැමිණ භික්ෂූන්ට ඔවදන් දී ගන්ධ කුටියට පිවිස විවේකීව වැඩ සිටියහ. සවස් කාලයෙහි දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු, “ඇවැත්නි, බලනු මැනවි. මහා මුගලන් තෙරණුවන්ගේ ඍද්ධි ආනුභාවය! සැදැහැයට හෝ භෝගවලට හානි නොකොට, මසුරු සිටාණන් සුළු වේලාවකින් දමනය කොට හික්මවා, තැටි කැවුම් ඔහු ලවා ම ගෙන්වා, ජේතවනයට ගෙනැවිත්, බුදුරජුන් ඉදිරියේ සෝවාන් ඵලයෙහි පිහිටවූහ. අනේ! මුගලන් තෙරුන්ගේ මහානුභාවය”යි තෙරුන්ගේ ගුණ කථා කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමවා, “මහණෙනි, දැන් කවර කථාවකින් යුතුව සිටියහුදැ?”යි විචාරා, “මෙම කථාවෙන් යුතුව සිටියෙමු”යි කී කල්හි, “මහණෙනි, කුලයන් පහදවන්නා වූ භික්ෂුව විසින් කුලයා වෙහෙසට පත් නොකොට, පීඩා නොකොට, මලකින් රොන් ගන්නා වූ බඹරෙකු මෙන් කුලයන් වෙත එළැඹ බුදු ගුණ අවබෝධ කරවිය යුතුය”යි වදාරා තෙරණුවන් පසසමින් මෙම ගාථාව වදාළ සේක:
“යථාපි භමරො පුප්ඵං වණ්ණගන්‍ධං අහෙඨයං,
පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ”
“යම් සේ බඹරෙක් මලෙහි පැහැයට හා සුවඳට හානි නොකර, මල් පැණි පමණක් ගෙන ඉගිල යයි ද, එමෙන් මුනිවරයා (භික්ෂුව) ගමෙහි හැසිරෙන්නේය.”
ධම්ම පදයෙහි මෙම ගාථාව වදාරා තවදුරටත් තෙරුන්ගේ ගුණ පවසමින්, “මහණෙනි, මුගලන් තෙරුන් විසින් මසුරු සිටු දමනය කරනු ලැබුවේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු දමනය කොට කම් ඵල දැනවූයේය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි ඉල්ලීස නම් සිටුවරයෙක් විය. අසූ කෝටියක් ධනයට හිමි වූ ඔහු පුරුෂ දෝෂයන්ගෙන් යුක්ත වූයේය; කොර ය, අත් වක් ය, ඇස් මඬල සමව නොපිහිටියේ ය (වපර ය). ශ්‍රද්ධාව නැත්තේය, අප්‍රසන්න ය, මසුරු ය. අනෙකෙකුට කිසිවක් නොදෙයි, තමා ද පරිභෝග නොකරයි. ඔහුගේ ගෘහය රකුසන් අරක් ගත් පොකුණක් මෙන් විය. ඔහුගේ මව්පියෝ වනාහි පරම්පරා හතක් පුරා දායකයෝ වූහ; මහා දන් පවත්වන්නෝ වූහ. හෙතෙම සිටු තනතුර ලැබූ විගස කුල සිරිත් වනසා, දන්සල් ගිනි තබා, යාචකයන්ට පහර දී එළවා දමා ධනය ම රැස් කළේය.
දිනක් ඔහු රාජ්‍ය සේවයට ගොස් තමාගේ නිවසට එන අතරතුර, මග හෙහෙසට පත් එක් ජනපදවාසී මිනිසෙක් සුරා සැළියක් ගෙන පුටුවක වාඩි වී, සුරා පිරවූ කුසලානක් කුණු මස් (කරවල/ලුණුමස්) කටගැස්මක් සමඟ බොනු දැක, තමා ද සුරා බොනු කැමැත්තේ වී මෙසේ සිතීය. “ඉදින් මම සුරා බොන්නේ නම් බොහෝ දෙනා බොනු කැමැත්තෝ වන්නාහුය. එවිට මගේ ධනය ක්ෂය වීමට යන්නේය”. හෙතෙම ආශාව ඉවසමින් සිටිය ද, කල් ගත වෙත්ම ඉවසීමට නොහැකිව පෙළන ලද පුළුන් රොදක් මෙන් පඬුවන් සිරුර ඇත්තේ, නහර ඉලිප්පුනු ශරීර ඇත්තෙක් වූයේය. එක් දවසක් ඔහු යහන් ගැබට පිවිස ඇඳ බදාගෙන වැතිර සිටියේය. ඔහුගේ බිරිඳ ළඟට අවුත් පිට පිරිමැද, “ස්වාමීනි, ඔබට කිම්ද? අපහසුවක්දැ?” යි විමසුවාය. (සියල්ල පෙර කියන ලද ආකාරයෙන් ම දත යුතුයි). “එසේ වී නම් ඔබට පමණක් ප්‍රමාණවත් වන සේ සුරා සාදන්නෙමි”යි කී කල්හි, “ගෙය තුළ සුරාව පිළියෙල කරන විට බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. මස්සක් (කුඩා කාසියක්) පමණ මුදල් දී සුරා සැලකින් සුරා බඳුනක් ගෙන්වා ගෙන, එය සේවකයෙකු ලවා ගන්වාගෙන, නගරයෙන් පිටවී ගං ඉවුරට ගොස් මහ මඟ අසල එක් ලැහැබකට රිංගා, සේවකයා ඈතින් හිඳුවා බොන්නෙමි” යැයි සිතා, ඒ පරිදි ම ගොස් සුරා බඳුන පුරවාගෙන බොන්නට පටන් ගත්තේය.
ඔහුගේ පියා වනාහි දානාදී පින් කළ බැවින් දෙව්ලොව ශක්‍රයා වී උපන්නේය. ඔහු ඒ මොහොතේ “මගේ දන් වැට පවතින්නේ ද, නොපවතින්නේ දැ” යි සලකා බලන්නේ, එය නොපවතින බවත්, ඔහුගේ පුත්‍රයා කුල සිරිත් නසා, දන්හල් ගිනි තබා, යාචකයන් එළවා දමා, මසුරු බවෙහි පිහිටා, “අනිකෙකුට දිය යුතු වන්නේය” යන බියෙන් ලැහැබකට රිංගා තනිවම සුරා බොන බවත් දැක, “මම ගොස්, ඔහු බිය ගන්වා දමනය කොට, කම් ඵල සබඳතා අවබෝධ කරවා, දන් දීමට සලස්වා දෙව්ලොව ඉපදීමට සුදුස්සෙකු කරමි”යි සිතා මනුෂ්‍ය ලෝකයට බැස්සේය. ඔහු ඉල්ලීස සිටු හා කිසිම වෙනසක් නැති, කොර වූ, වක් වූ අත් ඇති, වපර ඇස් ඇති ශරීරයක් මවාගෙන බරණැස් නුවරට පිවිස රජ මාලිගාවේ දොරටුවෙහි සිට තමා පැමිණි බව දැන්වීය. “ඇතුළු වන්න” යැයි කී කල්හි, ඇතුළට ගොස් රජු වැඳ සිටියේය. රජතුමා, “මහා සිටුතුමනි, කුමක් නිසා අවේලාවෙහි පැමිණියේදැ?”යි ඇසුවේය. “දේවයිනි, මම පැමිණියෙමි. මගේ ගෘහයෙහි අසූ කෝටියක් පමණ ධනය ඇත්තේය. ඔබතුමා ඒ ධනය ගෙන්වා තමාගේ භාණ්ඩාගාරය පුරවනු මැනවි”. “මහා සිටුවරය, මට එයින් වැඩක් නැත. ඔබගේ ධනයට වඩා මගේ ගෘහයෙහි බොහෝ ධනය ඇත්තේය”. “දේවයිනි, ඔබතුමාට මේ ධනයෙන් වැඩක් නැති නම්, මම මගේ කැමැත්ත පරිදි ඒ ධනය ගෙන දන් දෙමි”. “මහසිටුවරය, දන් දෙන්න”. හෙතෙම “දේවයිනි, යහපතැ”යි රජුන් වැඳ පිටත්ව ඉල්ලීස සිටුහුගේ නිවසට ගියේය. සියලු සේවක ජනයෝ ඔහු පිරිවරා ගත්හ. කිසිවෙකුට මේ ඉල්ලීස සිටු නොවේ යැයි හඳුනා ගැනීමට නොහැකි විය.
ඔහු නිවසට ඇතුළු වී එළිපත්ත ඇතුළත සිට දොරටුපාලයා කැඳවා, “මා හා සමාන රූප ඇති වෙනත් අයෙකු පැමිණ ‘මේ මගේ ගෙය යැ’යි කියා ඇතුළු වීමට ආවොත්, ඔහුට පිටට ගසා එළවා දමවු” යි කියා, ප්‍රාසාදයට නැඟ වටිනා ආසනයක හිඳ, බිරිඳ කැඳවා සිනාසී, “සොඳුර, දන් දෙමු” යි කීවේය. ඔහුගේ ඒ වචනය අසා සිටු බිරිඳ ද, දූ පුතුන් ද, දැසි දස් කම්කරුවෝ ද, “මෙතෙක් කල් දන් දීමට සිතක් පවා පහළ නොවුණු සිටුතුමාට, අද නම් සුරා බී මෘදු සිත් ඇති වී දන් දෙනු කැමැත්තක් පහළ වී ඇතැ”යි කීවාහුය. ඉක්බිති සිටු බිරිඳ, “ස්වාමීනි, කැමැති පරිදි දන් දෙනු මැනවි” යි ඔහුට කීවාය. “එසේ නම් බෙර වාදකයෙකු ගෙන්වා, ‘රන්, රිදී, මුතු, මැණික් ආදිය අවශ්‍ය අය ඉල්ලීස සිටුහුගේ නිවසට පැමිණෙත්වා’ යි මුළු නගරයෙහි බෙර හසුරුවනු”. ඇය එසේ කළාය. මහජනයා මලු, පැසි ආදිය ගෙන දොරටුවෙහි රැස් වූහ. ශක්‍රයා සත් රුවන් පිරවූ ගබඩා විවෘත කරවා, “මේවා ඔබලාට දෙමි. කැමති තාක් රැගෙන යනු” යි කීවේය. මහජනයා ගබඩාවලින් ධනය එළියට ගෙන මිදුලෙහි ගොඩ ගසා, ගෙන ආ භාජන පුරවා ගෙන ගියහ.
එක්තරා ජනපද වැසි මිනිසෙක් ඉල්ලීස සිටාණන්ගේ ගොනුන් ඔහුගේ ම රථයෙහි යොදා, සත් රුවනින් පුරවාගෙන, නුවරින් නික්ම මහමඟට පිවිස, ඔහු සිටි ලැහැබ අසලින් රථය පදවමින්, “ස්වාමීනි, ඉල්ලීස සිටුතුමනි, අවුරුදු සියයක් ජීවත් වනු මැනවි! ඔබ නිසා දැන් මට දිවි ඇති තෙක් වැඩක් පළක් නොකර ජීවත් වීමට මඟක් පෑදුණේය. මේ ඔබේ ම රථයයි, ඔබේ ම ගොනුන් ය, ඔබේ ම ගෙයි සත්රුවන් ය. මේවා මගේ මව විසින් හෝ පියා විසින් දෙන ලද දේවල් නොවේ; ඔබ නිසා ම ලබන ලද්දේ වෙමි”යි සිටුතුමාගේ ගුණ කියමින් ගියේය. හෙතෙම ඒ ශබ්දය අසා බියෙන් තැතිගෙන, “මොහු මගේ නම ගෙන මේ මේ දේ කියයි. රජතුමා විසින් මගේ ධනය ලෝකයාට බෙදා දෙන ලද්දේ ද?” යි සිතා, ලැහැබින් නික්මී ගොනුන් ද රථය ද හඳුනා ගෙන, “එම්බා සේවකය! මේ මගේ ගොනුන් ය, මේ මගේ රථය යැ”යි කියා ගොස් ගොනුන්ගේ නාසි ලණුවෙන් අල්ලා ගත්තේය. රථයේ සිටි මිනිසා රථයෙන් බැස, “එම්බා දුෂ්ට සේවකය, ඉල්ලීස මහා සිටුතුමා මුළු නගරයට ම දන් දෙයි. එසේ තිබියදී තෝ කවරෙක්දැ?”යි අසා, පැන ගොස් කරට පහර දී රථය රැගෙන ගියේය. හෙතෙම නැවත වෙවුලමින් නැඟිට, පස් පිස දමා වේගයෙන් ගොස් රථය අල්ලා ගත්තේය. රථයේ සිටි මිනිසා බැස ඔහුගේ කෙස්වලින් අල්ලා ගෙන, නමා, වැලමිටි පහරින් ඇන තලා, බෙල්ලෙන් අල්ලා ගෙන ආ මඟට විසි කර දමා ගියේය. එපමණකින් ඔහුගේ සුරා මදය සිඳී ගියේය. ඔහු වෙවුලමින් වේගයෙන් නිවසේ දොරටුව ළඟට ගොස්, තම ධනය රැගෙන යන්නවුන් දැක, “එම්බල, මේ කුමක් ද? රජු මගේ ධනය කොල්ල කාවන්නේදැ”යි කියා, ගොස් ඒ ඒ අය අල්ලා ගැනීමට තැත් කළේය. ඒ මිනිසුන් ඔහුට පහර දී පා මුලෙහි ම ඇද දැමූහ. හෙතෙම වේදනාවෙන් පීඩිත ව ගෙට පිවිසීමට පටන් ගත්තේය. දොරටු පාලයෝ, “එම්බල දුෂ්ටයා, කොහි ඇතුළු වන්නෙහිදැ?”යි අසා උණ පතුරුවලින් තලා, බෙල්ලෙන් අල්ලා එළියට දැමූහ.
සිටුවරයා, “මට දැන් රජු හැර වෙන පිළිසරණක් නැතැ”යි සිතා රජු වෙත ගොස්, “දේවයිනි, මගේ ගෙය ඔබතුමා කොල්ල කෑවෙහි ද?” යි ඇසීය. “සිටුවරය, මම කොල්ල කෑවේ නැත. ඔබ ම මා වෙත අවුත් ‘ඉදින් ඔබ නොගන්නා නම් මම ධනය දන් දෙමි’ යි කියා නගරයෙහි බෙර හසුරුවා දන් දුන්නේ නොවේ ද?”. “දේවයිනි, මම ඔබ වෙත නොපැමිණියෙමි. ඔබතුමා මගේ මසුරු බව නොදන්නහු ද? මම තණ අගකින් තෙල් බිංදුවක් තරම් දෙයක්වත් කිසිවෙකුට නොදෙමි. යමෙක් දන් දෙයි ද, ඔහු මෙතැනට කැඳවා විමසනු මැනවි”. රජතුමා ශක්‍රයා කැඳවීය. දෙදෙනාගේ වෙනස රජු නොදනී; ඇමතියෝ ද නොදකිති. මසුරු සිටු, “දේවයිනි, මේ කුමක් ද? මේ සිටුවරයා නොව, මම ය සිටුවරයා” යි කීය. “අපි නොහඳුනමු. කිසියම් හඳුනන කෙනෙක් ඔබට ඇත්තේ ද?”. “ස්වාමීනි, මගේ භාර්යාව සිටින්නීය”. එවිට රජු භාර්යාව කැඳවා, “තීගේ ස්වාමියා කවරෙක්දැ?”යි ඇසීය. ඕ තොමෝ “මේ මගේ හිමියායැ”යි ශක්‍රයාගේ සමීපයෙහි ම සිට ගත්තාය. දූ දරුවන් ද දැසි දස් කම්කරු ආදීන් ද එතැනට කැඳවා ඔවුන්ගෙන් ද විචාළේය. ඒ සියල්ලෝ ම ශක්‍රයාගේ සමීපයෙහි ම සිට ගත්හ.
නැවත සිටුවරයා මෙසේ සිතීය. “මගේ හිසෙහි පිළිකාවක් (ඉන්නෙක්) ඇත. එය කෙස්වලින් වැසී තිබේ. එය දන්නේ කපුවා පමණය. ඔහු කැඳවන්නෙමි” යි සිතා, “දේවයිනි, කපුවා මා හඳුනයි. ඔහු කැඳවනු මැනවැ”යි කීය. ඒ කාලයෙහි බෝසත්හු ඔහුගේ කපුවා විය. රජු ඔහු කැඳවා, “ඉල්ලීස සිටුවරයා හඳුනන්නෙහිදැ?”යි විචාළේය. “දේවයිනි, හිස පරීක්ෂා කර බලා හඳුනා ගනිමි”. “එසේ නම් දෙදෙනාගේ ම හිස් බලව”. ඒ මොහොතේ ශක්‍රයා තමාගේ හිසෙහි ද පිළිකාවක් මැවීය. බෝසත්හු දෙදෙනාගේ ම හිස් බලා පිළිකා ඇති බව දැක, “මහරජ, දෙදෙනාගේ ම හිසෙහි පිළිකා ඇත. එම නිසා එක් අයෙකුගේවත් ඉල්ලීස බව ස්ථිරව හඳුනා ගැනීමට නොහැක්කෙමි” යි කියා මේ ගාථාව කීවේය:
“උභො ඛඤ්ජා උභො කුණි උභො විසමචක්‍ඛුලා,
උභින්නං පිළකා ජාතා නාහං පස්සාමි ඉල්ලිසන්ති”
“දෙදෙනා ම කොරු ය. දෙදෙනා ම අත් වක් ය. දෙදෙනා ම වපර ය. දෙදෙනාගේ ම හිසෙහි පිළිකා උපන්නාහ. මම ඉල්ලීස කවරෙක් දැයි හඳුනා නොගනිමි.”
එහි උභො යනු ‘දෙදෙනා ම’ යන්නයි. ඛඤ්ජා යනු ‘කොර වූ පා ඇත්තෝ’ ය. කුණී යනු ‘වක් වූ අත් ඇත්තෝ’ ය. විසමචක්ඛුකා යනු ‘සමව නොපිහිටි ඇස් ඇත්තෝ’ හෙවත් ‘වපර ඇස් ඇත්තෝ’ ය. පිළකා යනු දෙදෙනාගේ ම හිසෙහි එකම ප්‍රදේශයක එකම ආකාර වූ පිළිකා හට ගැනීමයි. නාහං පස්සාමි යනු ‘මොවුන් අතුරෙන් මොහු ඉල්ලීස යැයි මම නොදකිමි; එක් අයෙකුගේවත් ඉල්ලීස බව නිශ්චිතව නොදනිමි’ යි කීමයි.
බෝසතාණන් වහන්සේගේ වචනය අසා සිටුවරයා කම්පා වෙමින්, ධන ශෝකයෙන් සිහිය එළවා ගැනීමට නොහැකිව එහි ම ඇද වැටුණේය. ඒ අවස්ථාවෙහි ශක්‍රයා, “මහරජ, මම ඉල්ලීස නොවෙමි; මම ශක්‍රයා වෙමි”යි පවසා මහත් ශක්‍ර ලීලාවෙන් අහසෙහි පෙනී සිටියේය. ඉල්ලීසගේ මුහුණ පිනි දියෙන් තෙමූහ. ඔහු නැඟිට සක් දෙවිඳුන් වැඳ සිටියේය. ඉක්බිති ශක්‍රයා ඔහුට මෙසේ කීවේය. “ඉල්ලීසය, මේ ධනය මා සතුය; ඔබ සතු නොවේ. මම ඔබගේ පියා වෙමි. ඔබ මගේ පුත්‍රයා ය. මම දානාදී පින් කොට ශක්‍ර බවට පැමිණියෙමි. ඔබ මගේ කුල සිරිත් සිඳ දමා, දන් නොදෙන ස්වභාව ඇත්තෙක් ව, මසුරු බවෙහි පිහිටා, දන්හල් දවා, යාචකයන් එළවා දමා ධනය ම ගොඩ ගැසූෙහිය. ඒ ධනය ඔබ ද පරිභෝග නොකරන්නෙහිය; අනුන්ට ද නොදෙන්නෙහිය. රකුසන් අරක් ගත්තාක් මෙන් පවතී. ඉදින් ඔබ මගේ දාන ශාලා යථා තත්ත්වයට පමුණුවා දන් දෙන්නෙහි නම් ඒ මැනවි. ඉදින් නොදෙන්නෙහි නම්, ඒ සියලු ධනය අතුරුදන් කොට මේ වජ්‍රායුධයෙන් නුඹේ හිස සිඳ මරණයට පත් කරන්නෙමි”. ඉල්ලීස සිටු මරණ බියෙන් ත්‍රස්තව, “මෙතැන් පටන් දන් දෙමි”යි ප්‍රතිඥා දුන්නේය. ශක්‍රයා ඔහුගෙන් ප්‍රතිඥා ගෙන අහසෙහි සිට ම දම් දෙසා, ඔහු ශීලයෙහි පිහිටුවා ස්වකීය දිව්‍ය ලෝකයට ම ගියේය. ඉල්ලීස සිටු ද දානාදී පින්කම් කොට මරණින් මතු ස්වර්ගස්ථ විය.
බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, මුගලන් තෙරුන් විසින් මසුරු සිටාණන් දමනය කරනු ලැබුවේ දැන් පමණක් නොවේ, පෙර ද මොහු මුගලන් විසින් ම දමනය කරන ලද්දේය”යි වදාරා, මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිම කළ සේක. “එකල්හි ඉල්ලීස සිටු වූයේ මේ මසුරු කෝසිය සිටුවරයා ය. සක් දෙව් රජ වූයේ මහා මුගලන් තෙරුන් ය. රජතුමා වූයේ ආනන්ද තෙරුන් ය. කපුවා නම් ලොව්තුරා බුදු වූ මම ම වෙමි.”
අටවැනි වූ ඉල්ලීස ජාතක වර්ණනාවයි.