“ලාපූනි සීදන්තී” (ලබු ගිලෙයි) යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි, සොළොස් මහා සිහිනයන් අරබයා වදාළ සේක. එක් දිනක් කොසොල් මහරජතුමා රාත්‍රියේ නිදිගත වූයේ, පැසුළු යාමයෙහි (අලුයම් කාලයේ) මහා සිහින සොළොසක් දැක බියෙන් තැති ගත්තේය. පිබිදී, “මේ සිහිනයන් දුටු බැවින් මට කුමක් වන්නේදැ”යි මරණ බියෙන් ත්‍රස්තව, යහනේ හිඳගෙනම රාත්‍රිය පහන් කළේය.
ඉක්බිති රාත්‍රිය ඉක්ම ගිය කල්හි පුරෝහිත බමුණෝ රජු වෙත පැමිණ, “මහරජ, සැප සේ සැතපුණෙහිදැ”යි විචාළහ. “ගුරුතුමනි, මට සැපයක් නම් කොයින්ද? අද මම අලුයම් කාලයෙහි මහා සිහින සොළොසක් දුටුවෙමි. එසේ දැක බියට පත්වීමි”යි රජු කීය. “මහරජ, ඒවා පවසනු මැනවි. අසා දැනගන්නෙමු”යි බමුණන් කී කල්හි, රජු දුටු සිහින පවසා, “මේ සිහින දුටු බැවින් මට කුමක් වන්නේදැ”යි විචාළේය. බමුණෝ අත් විධුනා (කම්පා කර), “මහරජ, සිහින නම් ඉතා නපුරුය”යි කීහ. “එහි විපාකය කුමක් වන්නේද?” “රජයට අනතුරක්, ජීවිතයට අනතුරක් හෝ ධනයට අනතුරක් යන මේ තුන් අනතුරෙන් එක්තරා අනතුරක් වන්නේය.” “එයට පිළියම් ඇත්තේ ද? නැත්තේ ද?” “මේ සිහින ඉතාමත් දරුණු බැවින් පිළියම් රහිතය. එහෙත් අපි ඒ සිහිනයන් පිළියම් සහිත බවට පත් කිරීමට නොහැක්කේ නම්, අප උගත් ශිල්පයෙන් කවර ප්‍රයෝජනයක්ද?” “ගුරුතුමනි, කුමක් කොට පිළියම් කරන්නහුද?” “මහරජ, අපි ‘සබ්බ චතුක්ක’ යාගය (සියල්ල හතර බැගින් ගෙන කරන යාගය) කරන්නෙමු.” රජතුමා බියෙන් තැති ගත්තේ, “එසේ නම් ගුරුතුමනි, මගේ ජීවිතය ඔබතුමන්ගේ අතෙහිය. මට වහා යහපත කරනු මැනවැ”යි කීවේය. බමුණෝ, “අපි බොහෝ ධනය ලබන්නෙමු. බොහෝ කන බොන දෑ ලබාගන්නෙමු”යි තුටු පහටු ව, “මහරජ, සැක නොසිතනු මැනවි”යි රජු සනසා, රජ මැදුරෙන් නික්ම නගරයෙන් පිටත යාග වළක් සාරවා, බොහෝ සිව්පා සතුන් කණු ළඟට ගෙන්වා, පක්ෂි සමූහයා එක්රැස් කොට, “මේ මේ දේ ලැබිය යුතුයැ”යි නැවත නැවතත් කියමින් ඔබමොබ ඇවිදිති.
එකල්හි මල්ලිකා දේවිය මේ කරුණ දැන රජු වෙත එළැඹ, “මහරජතුමනි, බමුණෝ පුන පුනා ඔබමොබ ඇවිදින්නේ කුමක් නිසාදැ”යි ඇසුවාය. “සොඳුර, ධනයෙන් හා සැපයෙන් මත් වූ ඔබ, අපගේ කණ මුල සර්පයකු හැසිරෙන බව නොදන්නීය.” “මහරජතුමනි, ඒ කුමක්ද?” “මා විසින් මෙබඳු වූ නපුරු සිහින දකින ලදී. බමුණෝ ඒවා අසා, ‘තුන් ආකාර අනතුරුවලින් එකක් පෙනේ’ යයි කියා, ඒවායේ දොස් දුරු කිරීම සඳහා යාගයක් කරමු යි පවසා නැවත නැවත සූදානම් වෙති.” “මහරජතුමනි, දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර බ්‍රාහ්මණයාණන්ගෙන් සිහින ප්‍රතිකර්ම පිළිබඳ විමසන ලද්දේද?” “සොඳුර, දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර බ්‍රාහ්මණ තෙමේ කවරෙක්ද?” “දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ, සියල්ල දන්නා වූ, පිරිසිදු වූ, කෙලෙස් රහිත වූ මහා බ්‍රාහ්මණයාණන් වහන්සේ නොදන්නෙහිද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිනවල විපාක දන්නා සේක. මහරජතුමනි, එහි ගොස් එතුමන්ගෙන් විචාරන්න.” “සොඳුර, යහපති”යි කී රජතුමා විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය.
කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවී තම බිය ප්‍රකාශ කිරීම.
බුදුරජාණන් වහන්සේ මිහිරි හඬ නිකුත් කොට, “මහරජ, ඉතා උදෑසනම කුමක් නිසා පැමිණියෙහිදැ”යි වදාළ සේක. “ස්වාමීනි, මම අලුයම් වේලෙහි මහා සිහින සොළොසක් දැක බිය වූයේ, බමුණන්ට දැන්වීමි. බමුණෝ, ‘මහරජ, මේ සිහින ඉතා නපුරුය. මෙහි උවදුරු නැති කිරීම සඳහා සබ්බ චතුක්ක යාගය කරන්නෙමු’යි යාගයට සැරසෙති. බොහෝ සත්ත්වයෝ මරණ බියෙන් තැති ගත්තාහ. ඔබ වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වන සේක. අතීත, අනාගත, වර්තමානයෙහි ඔබ වහන්සේගේ ඤාණයට හමු නොවන කිසිම දතයුතු දෙයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්ස, මට මේ සිහිනවල විපාක වදාරනු මැනවි.” “මහරජ, එසේය. දෙවියන් සහිත ලෝකයේ මා හැර මේ සිහිනවල අර්ථය හෝ විපාක දැනීමට අන් සමතෙක් නැත්තේය. මම ඔබට කියා දෙන්නෙමි. දැන් ඔබ දුටු ආකාරයෙන්ම සිහින කියන්න.” “ස්වාමීනි, යහපති”යි කී රජතුමා දුටු ආකාරයෙන්ම සිහින පැවසුවේය.
“උසභා රුක්ඛා ගාවියො - ගාවා ච අස්සො කංසො,
සිගාලී ච කුම්භො - පොක්ඛරණී ච අපාක චන්දනං”
“ලාපූනි සීදන්ති - සිලා ප්ලවන්ති,
මණ්ඩූකියො කණ්හසප්පෙ ගිලන්ති,
කාකං සුවණ්ණා පරිවාරයන්ති - තසා වකා එළකානං
භයාහී”ති.
- (පිරිස මැදට පැමිණ යුද නොකොට ගිය) වෘෂභයෝ ය,
- (මල් ඵල ගත් කුඩා) වෘක්ෂයෝ ය,
- (එදවස උපන් වස්සන්ගෙන් කිරි බොන) දෙනුන් ය,
- (වියෙහි යොදන නහඹු) ගවයෝ ය,
- (දෙපස මුඛ ඇති) අශ්වයා ය,
- (පෙර සිවලකුට මෙහි මුත්‍රා කරවයි පෑ සිය දහසක් අගනා) රන් තැලිය ය,
- (අඹරන රැහැන කා දමන) සිවලිය ය,
- (හිස් කළ අතුරෙහි තිබූ දිය පිරුණු) කළය ය,
- (ගැඹුරු තැන බොර වී ඉවුරේ දිය පිරිසිදු වූ) පොකුණ ය,
- (එක්ම සැලෙහි නිසි සේ) නොපැසුණු බත ය,
- (කුණු මෝරුවලට විකුණන සිය දහසක් අගනා) සත් සඳුන් හරය ය,
- හිස් ලබු කබල් දියෙහි ගිලෙයි,
- ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති,
- මැඬි පැටව් කෘෂ්ණ සර්පයන් ගිලිති,
- ස්වර්ණ හංසයෝ කවුඩුවකු පිරිවරති,
- ව්‍යාඝ්‍රයෝ එළුවන්ට බියෙන් තැති ගනිති.
මෙසේ විපර්යාසයක් පවතී. වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමක් නැත.
මේ සිහින මාතෘකා තබා (සංක්ෂිප්තව දක්වා) විස්තර කළ සේක.
(1) “ස්වාමීනි, මම පළමුව එක් සිහිනයක් මෙසේ දුටුවෙමි. අඳුන්වන් කළු ගොන්නු සිව් දෙනෙක් ‘යුද්ධ කරමු’යි සතර
දිශාවෙන් රාජාංගණයට පැමිණියහ. ‘ගොන් යුද්ධය බලමු’යි මහජනයා රැස්වූ කල්හි, යුද්ධ කරන ආකාරය දක්වා, නාද කොට,
ගර්ජනා කොට, යුද්ධ නොකොටම පැන ගියහ. මම මේ පළමු වැනි සිහිනය දුටුවෙමි. මේ සිහිනයේ විපාක කවරේද?”
“මහරජ,
මේ සිහිනයේ විපාක ඔබගේ කාලයේ හෝ මගේ කාලයේ නොවන්නේය. අනාගතයෙහි ධාර්මික නොවන, දිළිඳු රජුන්ගේ කාලයෙහි හා
අධර්මිෂ්ඨ මිනිසුන්ගේ කාලයෙහි, ලෝකය වෙනස් වන කල්හි, කුසල් යටපත් ව අකුසල් මතු ව ලෝකය පිරිහෙන කල්හි වර්ෂාව නිසි
ලෙස නොවසියි. වැසි වලාකුළු සිඳී යයි. ගොම්මන මැළවෙයි. ආහාර හිඟයක් වෙයි. වැසි වසින්නාක් මෙන් සතර දිශාවෙන්
වලාකුළු නැඟී, ස්ත්‍රීන් විසින් වේලීමට අවුවෙහි දැමූ වී ආදිය ‘තෙමේය’ යන බියෙන් ගෙය තුළට ගන්නා කල්හි ද,
පුරුෂයන් උදලු හා කූඩ අතැති ව නියර බැඳීමට නික්මුණු කල්හි ද, වසින ආකාරය දක්වා ගර්ජනා කොට විදුලිය පතුරුවා, ඒ
ගොනුන් යුද්ධ නොකොට ගියාක් මෙන් වැසි නොවැසම පලා යයි. මේ එහි විපාකයයි. ඔබට මේ නිසා කිසි අනතුරක් නැත. මේ සිහිනය
අනාගත කාලය සඳහා දුටු සිහිනයකි. බමුණෝ තමන්ගේ දිවි පැවැත්ම (ලාභය) සඳහා එසේ කීහ.”
මෙසේ බුදුරජාණන් වහන්සේ
සිහිනයෙහි විපාක වදාරා, “මහරජ, දෙවැනි සිහිනය කියව”යි වදාළ සේක.
(2) “ස්වාමීනි, මම දෙවැනි සිහිනය මෙසේ දුටුවෙමි. කුඩා ගස් ද පැළ ගස් ද පොළොව පලාගෙන වියතක් පමණ හෝ රියනක් පමණ පැන
නැඟී මල් පිපී, ඵල දරයි. මේ දෙවැනි සිහිනය දුටුවෙමි. මෙහි විපාක කවරේද?”
“මහරජ, මේ සිහිනයේ විපාක ලොව
පිරිහෙන කල්හි මිනිසුන්ගේ ආයු ප්‍රමාණය අඩු වන කල්හි වන්නේය. අනාගතයෙහි සත්ත්වයෝ තියුණු රාගය ඇත්තෝ වන්නාහුය.
නිසි වයසට නොපැමිණි කුමරියෝ පුරුෂයන් හා එක්ව, ඔසප් වී ගැබිණියෝ ද වී දූපුතුන් ලබා වැඩෙන්නාහ. කුඩා ගස්වල මල්
පිපෙන්නාක් මෙන් ඔවුන්ගේ ඔසප් වීම ද, ඵල මෙන් දූ දරුවෝ ද වන්නෝය. මේ හේතු කොට ගෙන ඔබට බියක් නැත. මහරජ, තුන්
වැනි සිහිනය කියන්න.”
(3) “ස්වාමීනි, දෙනුන් විසින් එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි බොනු මම දුටුවෙමි. මේ මගේ තුන්වැනි සිහිනයයි. මෙහි
විපාක කුමක්ද?”
“මෙහි විපාක ද අනාගතයෙහිම මිනිසුන් අතර කුල දෙටුවන් පිදීමේ සිරිත අභාවයට ගිය කල්හි
වන්නේය. අනාගතයෙහි සත්ත්වයෝ මව්පියන් කෙරෙහි හෝ නැන්දම්මා මාමණ්ඩියන් කෙරෙහි හෝ ලජ්ජා බිය නොදක්වා, තමන්ම ගේ දොර
කටයුතු සංවිධානය කරන්නාහුය. ඔවුහු මහල්ලන්ට ආහාර පාන, වස්ත්‍ර පමණකුදු දෙනු කැමැත්තෝ නම් දෙති; නොදෙනු කැමැත්තෝ
නොදෙති. මහල්ලෝ අසරණව, ස්වාධීනව විසිය නොහැකිව, දරුවන් සතුටු කොට (යටත්ව) ජීවත් වෙති. ඒ එදවස උපන් වසු
පැටවුන්ගෙන් කිරි බොන දෙනුන් මෙනි. මහරජ, මේ හේතුකොට ඔබට බයක් නැත. සතර වැනි සිහිනය කියන්න.”
(4) “ස්වාමීනි, ගැල ඉසිලීමට සමත් උස මහතින් යුත් ගොනුන් විය ගසෙහි නොයොදා, තරුණ වූ නුපුහුණු ගොනුන් ගැල්හි යොදනු
දුටුවෙමි. උන් ගැල ඉසිලීමට නොහැකි ව වියගස අතහැර සිටියහ. ගැල් ගමන් නොකළේය. මේ මගේ සිව් වැනි සිහිනයයි. මේ
සිහිනයෙහි විපාක කුමක්ද?”
“මේ සිහිනයේ විපාක ද අනාගතයෙහි නොදැහැමි රජුන්ගේ කාලයෙහි ම වන්නේය. අනාගත
කාලයෙහි නොදැහැමි දිළිඳු රජවරු නුවණැති, පරම්පරා වශයෙන් කටයුතු දන්නා, යුක්තිය පසිඳලීමෙහි සමත් මහා ඇමතිවරුන්ට
තනතුරු නොදෙති. දම් සභාවෙහි ද විනිසුරු මඬුල්ලෙහි ද නැණවත්, ව්‍යවහාරයෙහි දක්ෂ වැඩිහිටි ඇමතිවරුන් නොපිහිටුවති.
මීට හාත්පසින් විරුද්ධ වූ නව යෞවනයන්ට පදවි දෙති. එවැනි අයම විනිසුරු මඬුල්ලෙහි පිහිටුවති. ඔවුහු රජයේ කාර්යයන්
මෙන්ම යුතු අයුතු ද නොදන්නාහු, එම පදවි දැරීමට හෝ රාජ්‍ය කාර්යය ඉටුකිරීමට හෝ නොහැකි වෙති. ඔවුහු අසමත්ව ධුරය
අතහැර දමති. වැඩිහිටි නුවණැති ඇමතිවරු තනතුරු නොලබන්නාහු, කටයුතු පසිඳලීමට සමත් වුව ද ‘මොවුන්ගෙන් අපට කවර
ඵලක්ද? අපි බාහිර වූවෝ වෙමු. අභ්‍යන්තරයේ සිටින තරුණ දරුවෝ ඒ දැනගනිත්වා’යි සිතා පැමිණි කාර්යය නොකරති. මේ
ආකාරයෙන් ඒ රජුන්ට පිරිහීමක්ම වන්නේය. පදවිය ඉසිලීමට අසමතුන් තනතුරුවල යෙදවීම, නුපුහුණු තරුණ ගොනුන් ගැලෙහි
යෙදවීම මෙනි. ධුරය දැරිය හැකි ශක්තිමත් ගොනුන් ගැලෙහි නොයෙදූ කාලය මෙන් වන්නේය. මේ නිසා ද ඔබට බියක් නොවන්නේය.
පස් වැනි සිහිනය කියන්න.”
(5) “ස්වාමීනි, මම දෙපසින්ම මුව ඇති අශ්වයකු දුටුවෙමි. ඌට දෙපසින්ම ගව ආහාර (තණ ආදිය) දෙති. ඌ මුඛ දෙකෙන්ම කයි.
මේ මගේ පස් වැනි සිහිනයයි. මෙහි විපාක කවරේද?”
“මෙහි විපාක ද අනාගතයෙහි නොදැහැමි රජුන්ගේ කාලයෙහිම
වන්නේය. එකල නොදැහැමි අඳබාල රජවරු, ධර්මය නොසලකන චපල මිනිසුන් විනිසුරුවන් ලෙස පත් කරති. පින් පව් නොසලකන, නුවණ
නැති ඔවුහු විනිසුරු මඬුල්ලෙහි හිඳ තීරණ දෙන්නාහු, පැමිණිලි හා විත්ති යන දෙපසින්ම අල්ලස් ගෙන කති. දෙපසින්ම තණ
කන අශ්වයා මෙනි. මේ හේතු කොටගෙන ඔබට බියක් නැත. සවැනි සිහිනය කියන්න.”
(6) “ස්වාමීනි, මහජනතාව එක්ව ලක්ෂයක් අගනා රන් තැලියක් පිරිමැද ‘මෙහි මුත්‍රා කරව’යි කියා එක් මහලු හිවලකුට
දුන්හ. එහි මුත්‍රා කරන මහලු හිවලා ද දුටුවෙමි. මේ මගේ සවැනි සිහිනයයි. මෙහි විපාක කවරේද?”
“මෙහි විපාක ද
අනාගත කාලයෙහිම වන්නේය. අනාගතයෙහි අසමජාති රජවරු කුලවතුන්ගේ පුතුන් කෙරෙහි සැක උපදවා තනතුරු නොදෙන්නාහ.
කුලහීනයන් උසස් කරන්නාහ. එම නිසා මහා කුලවත්හු දුගී වෙති. ලාමක කුල ඇත්තෝ අධිපති වෙති. එවිට ඒ කුලවත්හු දිවි
රැකගැනීමට නොහැකිව, ‘මොවුන් නිසා ජීවත් වෙමු’යි සිතා කුලහීනයන්ට තම දියණියන් පාවා දෙන්නාහ. මෙසේ ඒ කුලකතුන්
කුලහීනයන් සමඟ විවාහ වීම, මහලු සිවලා රන් තලියෙහි මුත්‍රා කිරීමට සමාන වන්නේය. මෙයින් ද ඔබට බියක් නොවේ. සත්
වැනි සිහිනය කියන්න.”
(7) “ස්වාමීනි, පුරුෂයෙක් රැහැනක් අඹර අඹරා පාමුල තබයි. ඔහු හිඳ සිටි පුටුව යට ලැග සිටි බඩසයින් පෙළුණු සිවලියක්,
ඒ පුරුෂයාට නොදැනෙන්නට එය කා දමයි. මම මෙසේ දුටුවෙමි. මේ සත් වැනි සිහිනයයි. මෙහි විපාක කවරේද?”
“මෙහි
විපාක ද අනාගතයෙහි වන්නේය. අනාගතයෙහි ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහි (පරපුරුෂයන් කෙරෙහි) තදින් ඇලුනෝ, සුරාවෙහි
ඇලුනෝ, අලංකාරයට ඇලුනෝ, වීථි සංචාරයෙහි ඇලුනෝ සහ ආමිසයෙහි ඇලුනෝ වන්නෝය. දුස්සීල වූ, පහත් හැසිරීම් ඇත්තෝ වෙති.
ඒ ස්ත්‍රීහු ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ගොවිතැන් කිරීම්, ගවයන් රැකීම් ආදී කටයුතුවලින් දුක සේ ඉතා අමාරුවෙන්
රැස් කරන ලද ධනය, තම සොර සැමියන් සමඟ සුරා බොමින්, මල් ගඳ විලවුන් දරමින් නාස්ති කරති. සිය නිවසෙහි ඉතා අවශ්‍ය
කටයුතු පවා නොසොයා, ගෙයි තාප්පයට ඉහළින් හෝ සිදුරුවලින් ජාරයන් (සොර සැමියන්) දෙස බලමින්, හෙට දිනයෙහි වැපිරිය
යුතුව තිබුණු ධාන්‍ය හෝ කොටා කැඳ, බත්, කැවිලි පිස කමින් සිය හිමියා සතු දේ විනාශ කරති. පුටුව යට සිටි සිවලිය,
අඹර අඹරා පාමුල දැමූ රැහැන කන්නාක් මෙනි. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. අට වැනි සිහිනය කියන්න.”
(8) “ස්වාමීනි, රජ මිදුලෙහි හිස් භාජන බොහෝ ගණනක් මැද තැබූ ජලය පිරි මහා සැළියක් දුටුවෙමි. සතර වර්ණයටම අයත්
මිනිස්සු සතර දිශාවෙන් හා සතර අනුදිශාවෙන් කළවලින් දිය ගෙනැවිත් පිරුණු භාජනය ම පුරවති. එසේ පුරවනු ලබන ජලය
උතුරා ගලා යයි. එහෙත් ඔවුහු නැවත නැවතත් එයටම ජලය වත්කරති. හිස් භාජන දෙස බලන්නෙක් ද නැත. මේ මාගේ අට වැනි
සිහිනයයි. මෙහි විපාක කවරේද?”
“මේ සිහිනයෙහි විපාක ද අනාගතයෙහිම වන්නේය. අනාගතයෙහි මේ ලෝකය පිරිහෙන්නේය.
රාජ්‍යය සාර රහිත වන්නේය. රජවරු නිර්ධන දිළින්දෝ වන්නාහ. යමෙක් පොහොසත් වෙත් ද, ඔහුගේ භාණ්ඩාගාරයේ කහවණු ලක්ෂයක්
පමණ වේ. මෙසේ ධනහීන වූ රජවරු සියලු ජනපදවාසීන් ලවා තම තමන්ගේ (රජුගේ) කාර්යයන්ම කරවති. මෙයින් පීඩාවට පත්
මිනිස්සු සිය රැකියා කටයුතු අතහැර රජු සඳහාම:
- යල මහ වපුරමින්,
- ධාන්‍ය රකිමින්,
- අස්වැන්න කපමින්,
- මඩිමින්,
- තැන්පත් කරමින්,
- උක් වතු වවමින්,
- යන්ත්‍ර මඟින් මඩිමින්,
- පැණි ආදිය පිසමින්,
- මල් උයන් හා පලතුරු උයන් සදමින් වෙහෙසෙති.
එහි හටගත් අස්වැන්න ගෙනැවිත් රජුගේ ගබඩා ආදියම පුරවන්නාහ. තම තමන්ගේ නිවෙස්වල ඇති හිස් අටුකොටු දෙස බලන්නේවත් නැත. හිස් භාජන නොබලා පිරුණු සැළියම පුරවන්නාක් මෙන් වන්නේය. මෙයින් ඔබට බියක් නැත. නව වැනි සිහිනය කියන්න.”
(9) “ස්වාමීනි, පස් පියුමින් ගැවසුණු, හාත්පසින්ම තොටුපළවල් ඇති ගැඹුරු පොකුණක් දුටුවෙමි. දෙපා සිව්පා සත්තු
වටෙන්ම පොකුණට බැස පැන් බොති. ඒ පොකුණෙහි මැද ගැඹුරු තැන ජලය බොර වී ඇත. දෙපා සිව්පා සතුන් බැස පා තැබූ ඉවුරු
පෙදෙසෙහි ජලය ඉතා පැහැදිලිය, නිශ්චලය, ඉතා පිරිසිදුය. මම මෙසේ දුටුවෙමි. මේ මගේ නව වැනි සිහිනයයි. මෙහි විපාක
කවරේද?”
“මෙහි විපාක ද අනාගතයෙහිම වන්නේය. අනාගතයෙහි රජවරු අධාර්මික වන්නාහුය. ඡන්දය ආදියෙන් අගතියට ගොස්
රාජ්‍යය කරන්නාහුය. දැහැමින් විනිශ්චයක් නොදෙන්නාහ. අල්ලසට ගිජු වූවෝ වන්නාහ. ධනයෙහි ලොබ බැඳගන්නාහ. රට වැසියන්
කෙරෙහි ඔවුන්ගේ ඉවසීමක්, මෛත්‍රියක් හෝ අනුකම්පාවක් නම් නැත්තේය. ඉතා සැර පරුෂ වන්නාහ. උක් යන්ත්‍රයක මිරිකෙන
උක් පුරුකක් මෙන් රට වැසියන් පෙළ පෙළා නොයෙක් විධියෙන් අයබදු පනවා ධනය ගන්නාහුය. රට වැසියෝ බදු බරින් පීඩිත ව, ඒ
ගෙවාගත නොහැකිව ගම් නියම්ගම් අතහැර දේශසීමා ප්‍රදේශවලට (පිටිසරට) ගොස් වාසය කරන්නාහ. එවිට මධ්‍යම ජනපදය හිස්
වන්නේය. පිටිසර පෙදෙස් ඝන ජනාවාස වේ. යම් සේ පොකුණු මැද ජලය කැළඹී අවට ජලය ප්‍රසන්න වූයේ ද, මෙය එබඳුය. මේ
හේතුකොට ඔබට බයක් නැත. දස වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, එකම බත් හැලියක පිසෙමින් තිබූ බත, නොපිසෙන බවක් මම දුටිමි. එය හරියට ‘නොපිසෙන්නේය’ යි කියා වෙන් කර තැබුවාක් මෙන් තුන් ආකාරයකින් පිසෙමින් තිබුණි. එක පැත්තක් දියර ගතියෙන් යුක්ත වී ඉතා තෙත් වී තිබුණි. එක පැත්තක් සහල් ගතියෙන් යුක්ත විය (නොපැසී තිබුණි). අනික් පැත්ත මනාව පිසී තිබුණි. මෙය මාගේ දහවැනි සිහිනය යි. මෙහි විපාක කවරේ ද?”
“මෙහි විපාක ද අනාගතයෙහි ම වන්නේය. අනාගතයෙහි රජවරු අධර්මිෂ්ඨ වන්නාහ. රජුන් අධර්මිෂ්ඨ වූ කල්හි රාජකීය නිලධාරීහු ද, බමුණු ගෘහපතීහු ද, නියම්ගම් දනව් වැසියෝ ද, මහණ බමුණන් ඇතුළු සියලු මනුෂ්‍යයෝ ද අධර්මිෂ්ඨ වන්නාහ. ඉන්පසු ඔවුන්ට අරක් ගත් දෙවියෝ ද, බලි පූජා පිළිගන්නා දෙවියෝ ද, රුක් දෙවියෝ ද, ආකාශස්ථ දෙවියෝ ද යන මේ ආදී දෙවියෝ ද අධර්මිෂ්ඨ වන්නාහ.
අධර්මිෂ්ඨ රජුන්ගේ රාජ්‍යයෙහි සුළං විෂම වී, රළු වී හමන්නේය. එම සුළං ආකාශස්ථ විමාන කම්පා කරවන්නේය. ඒවා කම්පා වූ කල්හි දෙවියෝ කිපී වැසි නො වස්වන්නාහ. වැසි වැස්ස ද මුළු රටට එකවර නො වසින්නේය. වසිනා වැස්ස ද හැම තැනම කෘෂිකර්මයට හෝ වප් මඟුලට හෝ උපකාරී වන පරිදි නො වසින්නේය.
මුළු රටෙහි පමනක් නොව, එක ප්‍රදේශයක ද, එක ගමක ද, එක පොකුණක ද, එක විලක ද එකවර වැසි නො වසින්නේය. විලෙහි ඉහළ කොටසට වසින කල්හි පහළ කොටසට නො වසින්නේය. පහළ කොටසට වසින කල්හි ඉහළ කොටසට නො වසින්නේය. එක් කොටසක සශ්‍යය (ගොයම) අධික වර්ෂාවෙන් විනාශ වන්නේය. එක් කොටසක වර්ෂාව නැතිකමින් වියළී යන්නේය. සම ව වැසි වට කොටස මනාව පැසෙන්නේය. මෙසේ එකම රජුගේ රාජ්‍යය තුළ භෝග අස්වැන්න, එකම හැලියක බත මෙන් ත්‍රිවිධාකාර වන්නේය. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. එකොළොස් වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, ලක්ෂයක් වටිනා සඳුන් අරටුවක් කුණු වූ මෝරු සඳහා විකුණනු මම දුටිමි. මෙය මාගේ එකොළොස් වැනි සිහිනය යි. මෙහි විපාක කවරේ ද?”
“මෙහි විපාක ද අනාගතයෙහි මාගේ ශාසනය පිරිහී යන කල්හි වන්නේය. අනාගතයෙහි සිව්පසයෙහි ලොල් වූ, ලජ්ජා නැති භික්‍ෂූහු බොහෝ වන්නාහ. ඔවුහු, මා විසින් සිව්පස ලෝලත්වය මර්දනය කර දේශනා කරන ලද ධර්මය, චීවරාදී සිව්පසය ලැබීම උදෙසා අනුන්ට දේශනා කරන්නාහ. සිව්පසයෙහි මුසපත් වූ ඔවුහු, සසරින් නික්මීමේ පක්‍ෂයෙහි පිහිටා, නිර්වාණය අරමුණු කරගෙන දහම් දෙසීමට නො හැකි වන්නාහ. හුදෙක් ‘මොවුන් අපගේ පද ව්‍යඤ්ජන සම්පත්තිය ද මිහිරි කටහඬ ද අසා, වටිනා චීවරාදිය දෙන්නාහ’ යි සිතා දහම් දෙසන්නාහ.
තවත් සමහරු වීථි මධ්‍යයේ ද, සිව්මන්සල ද, රජ දොරටු ආශ්‍රිත ව ද හිඳ කහවණු, අඩ කහවණු, පාද, මාසක ආදී මුදල් උදෙසා දේශනා කරන්නාහ. මෙසේ මා විසින් නිර්වාණය වටිනාකම කොට දෙසන ලද ධර්මය සිව්පසය පිණිස ද, කහවණු අඩ කහවණු ආදිය පිණිස ද විකුණා දහම් දෙසන්නෝ, ලක්‍ෂයක් වටිනා සඳුන් අරටුව කුණු මෝරු සඳහා විකුණන්නන් මෙන් වන්නාහ. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. දොළොස් වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, හිස් ලබු කබල් දියෙහි ගිලෙනු මම දුටිමි. මෙහි විපාකය කිමෙක් ද?”
“මෙහි විපාකය ද අනාගතයෙහි අධර්මිෂ්ඨ රජුන්ගේ කාලයෙහි ලෝකය විපරීත වන විට ම වන්නේය. එකල රජවරු කුලවත් කුල පුත්‍රයන්ට තනතුරු නො දෙන්නාහ. කුල හීනයන්ට ම දෙන්නාහ. ඔවුහු ප්‍රධානියෝ වන්නාහ. කුලවත්හු දිළිඳු වන්නාහ.
රජු ඉදිරියෙහි ද, රජ දොරටුවෙහි ද, ඇමතියන් ඉදිරියෙහි ද, විනිශ්චය සභාවෙහි ද, හිස් ලබු කබල් වැනි වූ කුල හීනයන්ගේ කථාව ම, (දියෙහි ගිලී පතුලේ සිටින්නාක් මෙන්) නොසෙල්වී, මැනවින් පිහිටා සිටින්නේය. සංඝ සන්නිපාතවල දී ද, සංඝ කර්ම ගණ කර්ම කරන තැන්වල ද, පා සිවුරු පිරිකර ආදිය බෙදන විනිශ්චය ස්ථානවල ද දුස්සීල පාපී පුද්ගලයන්ගේ කථාව ම පිළිගැනීමට ලක් වන්නේය. ලජ්ජා ඇති භික්‍ෂූන්ගේ වචනය නො පිළිගැනෙන්නේය. මෙසේ හැම අයුරින් ම හිස් ලබු කබල් ගිලී යන කාලයක් මෙන් වන්නේය. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. තෙළෙස් වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, ඉතා මහත් වූ ගෙවල් (මාළිගා) ප්‍රමාණයේ ඝන කළුගල්, නැවක් මෙන් ජලයෙහි පාවෙනු මම දුටිමි. මෙහි විපාක කෙසේ ද?”
“මෙහි විපාක ද එවැනි ම කාලයක (අධර්මිෂ්ඨ රජුන්ගේ කාලයේ) වන්නේය. එකල අධර්මිෂ්ඨ රජවරු කුලහීනයන්ට තනතුරු දෙන්නාහ. ඔවුහු ප්‍රධානියෝ වන්නාහ. කුලවත්හු දිළිඳු වන්නාහ. කිසිවෙක් ඒ කුලවතුන්ට ගරු නො කරන්නාහ. අර කුලහීනයන්ට ම ගරු බුහුමන් කරන්නාහ. රජු ඉදිරියෙහි හෝ ඇමැතියන් ඉදිරියෙහි හෝ විනිශ්චය ශාලාවේ දී, විනිශ්චයෙහි දක්‍ෂ වූ ඝන කළුගල් වැනි කුලපුත්‍රයන්ගේ කථාව (ගල් දියෙහි ගිලෙන්නාක් මෙන්) නො පිළිගැනෙන්නේය. ඔවුන් කථා කරන විට ‘මොවුන් මේ කුමක් කියන්නේ ද?’ යි අන් අය පරිහාස කරන්නාහ.
භික්‍ෂු සංඝයා රැස්වන තැන්වල දී ද ඉහත කී ස්ථානවල දී ද සිල්වත් භික්‍ෂූන් ගරු කළ යුත්තන් ලෙස නො සලකන්නාහ. ඔවුන්ගේ කථාව අනුන්ගේ සිත් තුළ බැස නො ගන්නේය. මෙය කළු ගල් පාවෙන කාලයක් මෙන් වෙයි. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. දහහතර වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, කුඩා මී මල් ප්‍රමාණයේ මැඩි දෙනුන් (ගෙම්බන්), ඉතා විශාල වූ නාගයන් වේගයෙන් ලුහුබැඳ ගොස්, නෙළුම් දඬු කඩන්නාක් මෙන් කඩ කඩා, මස් කා ගිල දමනු මම දුටිමි. මෙහි විපාක කවරේ ද?”
“මෙහි විපාක ද අනාගතයෙහි ලෝකය පිරිහෙන කල්හි ම වන්නේය. එකල්හි මිනිස්සු තීව්‍ර වූ රාග ඇති ව, කෙළෙස්වලට වසඟ වී, තරුණ භාර්යාවන්ගේ වසඟයෙහි පවතින්නාහ. ගෙදර දාස කම්කරුවෝ ද, ගව මහීෂ ආදී සතුන් ද, රන් රිදී ආදී ධනය ද යන සියල්ල ඒ භාර්යාවන්ට ම අයත් වන්නේය.
‘අසවල් රන් රිදී ආදිය හෝ රෙදිපිළි ආදිය හෝ කොහි ද?’ යි ඇසූ විට, ‘ඒවා ඇති තැනක තිබුණාවේ, උඹට මේවා සොයන්නට ඇති කාර්යය කුමක් ද? උඹ මගේ ගෙදර ඇති නැති දේ දැන ගැනීමට කැමති වූවා ද?’ යි කියා නොයෙක් අයුරින් පරිභව කොට, කටුක වචන නමැති ආයුධවලින් කොටා, දාස සේවකයන්ට මෙන් තම ස්වාමි පුරුෂයන් තම යටතට ගෙන තම ආධිපත්‍යය පවත්වන්නාහ. මෙසේ මී මල් ප්‍රමාණයේ මැඩි දෙනුන් විසින් ආශීවිෂ (විෂ සහිත) නාගයන් ගිල දමන කාලයක් මෙන් වන්නේය. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. පසළොස් වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, අසද්ධර්ම (අගුණ) දහයකින් යුත්, ගම ගොදුරු කරගත් කපුටෙක්, රන්වන් පැහැති වූ හෙයින් ‘සුවර්ණ’ යයි නම් ලත් රන් හංසයන් විසින් පිරිවරාගෙන සිටිනු මම දුටිමි. මෙහි විපාක කෙසේ ද?”
“මෙහි විපාක ද අනාගතයෙහි දුබල රජුන්ගේ කාලයෙහි ම වන්නේය. අනාගතයෙහි රජවරු හස්ති ශිල්පාදියෙහි අදක්‍ෂ වූ, යුද්ධයන්හි විශාරද නො වූ අය වන්නාහ. ඔවුහු තම රාජ්‍යයට විපතක් වේ යයි සැකයෙන්, තමා හා සමාන ජාති ඇති කුලපුත්‍රයන්ට තනතුරු නො දී, තම පා දෝවනය කරන්නන්, නාවන්නන්, කරණවෑමියන් ආදීන්ට තනතුරු දෙන්නාහ. ජාති ගෝත්‍ර සම්පන්න කුලපුත්‍රයෝ රාජ කුලයෙහි පිහිටක් නො ලැබ, ජීවත් වීමට නො හැකි ව, ධනවත් බලවත් වූ ජාති ගෝත්‍ර හීන කුලහීනයන්ට උපස්ථාන කරමින් හැසිරෙන්නාහ. මෙය රන් හංසයන් විසින් කපුටා පිරිවරා ගත් කාලය මෙන් වන්නේය. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. සොළොස් වැනි සිහිනය කියන්න.”
“ස්වාමීනි, පෙර දී දිවියෝ (ව්‍යාඝ්‍රයෝ) එළුවන් ව කා දමති. එහෙත් මම, එළුවන් විසින් දිවියන් ලුහුබැඳ ගොස් ‘මුරු මුරු’ හඬ නඟා කනු දුටිමි. එවිට ඒ බියට පත් අනෙක් දිවියෝ, එළුවන් දුර දී ම දැක, තැති ගෙන, එළුවන්ට බියෙන් පලා ගොස් කැලෑ රොදවලට රිංගා සැඟවුණහ. මෙසේ මම දුටිමි. මෙහි විපාක කවරේ ද?”
“මෙහි විපාක ද අනාගතයෙහි අධර්මිෂ්ඨ රජුන්ගේ කාලයෙහි ම වන්නේය. එකල කුලහීනයෝ රජුට හිතවත් ව ප්‍රධානියෝ වන්නාහ. කුලවත්හු අප්‍රකට ව, දිළිඳු වන්නාහ. ඒ රාජ වල්ලභයෝ රජුට කේළාම් කියා, විනිශ්චය සභා ආදියෙහි බලවත් වී, කුලවතුන්ගේ පරම්පරාගත කෙත්වතු ආදිය ‘මේවා අප සතු ය’ යි නඩු දමා, ‘මේවා තොපට නොව අපට අයිතිය’ යි කියමින් විනිශ්චය සභාවල දී විවාද කොට, වේවැල් ආදියෙන් පහර දී, බෙල්ලෙන් අල්ලා ඇද දමා, ‘තොපි තොපේ තරම නො දනිව් ද? අප සමඟ විවාද කරව් ද? දැන් තොප ගැන රජුට කියා අත් පා කැපීම් ආදිය කරවන්නෙමු’ යි තර්ජනය කරන්නාහ.
ඔවුහු ඔවුන්ට බියෙන් තම සතු වස්තුව, ‘මේවා ඔබලා ම ගන්න’ යි පවරා දී, තම ගෙවලට ගොස් බියෙන් සැඟවී නිදන්නාහ. පාපී භික්‍ෂූහු ද සිල්වත් භික්‍ෂූන් ව කැමති පරිදි වෙහෙසට පත් කරන්නාහ. ඒ සිල්වත් භික්‍ෂූහු පිහිටක් නො ලැබ කැලයට වැදී වන ලැහැබවල සැඟවෙන්නාහ. මෙසේ හීන ජාතිකයින්ගෙන් සහ පාපී භික්‍ෂූන්ගෙන් පීඩාවට පත් වූ ජාතිමත් කුලපුත්‍රයන් ද සිල්වත් භික්‍ෂූන් ද, එළුවන්ට බියෙන් දිවියන් පලා යන කාලය මෙන් වන්නේය. මේ හේතුවෙන් ද ඔබට බියක් නැත. මේ සිහිනය ද අනාගතය අරභයා ම දක්නා ලද්දකි. බමුණෝ වනාහි ධර්මය හෝ සුධර්මතාව නිසා ඔබට ඇති ස්නේහයෙන් කීවාහු නො වෙති. ‘බොහෝ ධනය ලබන්නෙමු’ යි ආමිෂය බලාපොරොත්තුවෙන් ජීවත් වීම පිණිස ම කීවාහු ය.”
ශාස්තෘන් වහන්සේ මෙසේ සොළොස් මහා සිහිනයන්ගේ විපාක කියා දී, “මහරජ, දැන් ඔබ පමණක් නො වෙයි මේ සිහින දුටුවේ. පෙර රජවරු ද මේවා දැක ඇත්තාහ. බමුණෝ ද ඔවුන්ට මේ අයුරින් ම මේ සිහින ගෙන යාග මතුයෙහි ම තැබූහ (යාග කිරීමට උපදෙස් දුන්හ). ඉන්පසු නුවණැත්තන් දුන් උපදෙස් අනුව ගොස් බෝසතුන්ගෙන් විමසූහ. පුරාණ පණ්ඩිතයන් ද ඔවුන්ට මේ සිහින විස්තර කරමින් මේ ආකාරයෙන් ම පැහැදිලි කළහ” යි වදාරා, කොසොල් රජු විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ උසස් බමුණු කුලයෙහි ඉපිද, වැඩිවිය පත් ව ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව, අභිඤ්ඤා හා සමාපත්ති උපදවා හිමාලය ප්‍රදේශයෙහි ධ්‍යාන ක්‍රීඩාවෙන් කල් ගෙවති. එකල බරණැස් රජතුමා මේ ආකාරයෙන් ම මේ සිහින දැක බමුණන්ගෙන් විචාළේය. බමුණෝ පෙර පරිදි ම යාග කිරීමට පටන් ගත්හ.
ඔවුන් අතරින් පුරෝහිත බමුණුගේ අතවැසි මානවකයා පණ්ඩිත ය, ව්‍යක්ත ය. ඔහු තම ආචාර්යවරයාට මෙසේ කීය. “ආචාර්යයෙනි, ඔබතුමන් විසින් අපට වේද තුන ම උගන්වන ලද්දේ ය. ඒ වේදයන්හි එකකු මරා තවෙකකුට ශාන්ති කර්ම කිරීමක් නම් නැත්තේ නො වේ ද?”
“දරුව, මේ උපායෙන් අපට බොහෝ ධනය ලැබෙන්නේය. ඔබ රජුගේ ධනය රකින්නට හදනවා වගෙයි.”
එවිට මානවකයා “එසේ නම් ආචාර්යයෙනි, ඔබ ඔබගේ කාර්යය කරගන්න. මම ඔබ ළඟ සිට කුමක් කරන්න ද?” යි කියා ඇවිද යන්නේ රජුගේ උයනට ගියේය.
එදින ම බෝසතාණෝ ද ඒ කාරණය දැන, “අද මා මිනිස් වාසයට ගිය කල්හි මහජනයා බන්ධනයෙන් මිදීම වන්නේය” යි සිතා, අහසින් ගොස් උයනට බැස රන් පිළිමයක් මෙන් මඟුල් සල් ගල් තලාවෙහි වැඩ සිටියහ. මානවකයා බෝසතුන් වෙත ගොස් වැඳ එකත්පසෙක හිඳ පිළිසඳර කථා කළේය. බෝසතාණෝ ද ඔහු සමග මිහිරි පිළිසඳර කථා කොට, “කුමක් ද මානවකය, රජතුමා දැහැමින් රාජ්‍යය කරවයි ද?” යි විචාළහ.
“ස්වාමීනි, රජතුමා නම් දැහැමි ය. එහෙත් බමුණෝ ඔහු නො මඟ යවති. රජතුමා සිහින දහසයක් දැක බමුණන්ට කීවේය. බමුණෝ යාග කරමු යි සූදානම් වූහ. ස්වාමීනි, මේ සිහිනවල ඵලවිපාක මෙය යි කියා රජුට කරුණු පහදා දී ඔබතුමන් විසින් මහජනයා බියෙන් මුදවා ලීම වටින්නේ නැද් ද?”
“මානවකය, අපි රජු නො දනිමු. රජු ද අප නො දනී. ඉදින් ඔහු මෙහි අවුත් විචාරන්නේ නම්, අපි කියන්නෙමු.”
මානවකයා “ස්වාමීනි, මම රජු කැඳවාගෙන එන්නෙමි. ඔබ වහන්සේ මා එන තුරු මොහොතක් මෙහි වැඩ සිටිනු මැනවැ” යි බෝසතුන්ගෙන් පොරොන්දු ගෙන, රජු වෙත ගොස් “මහරජ, එක්තරා අහසින් යන තාපසයෙක් ඔබගේ උයනට බැස, ඔබ දුටු සිහිනවල විපාක කියන්නෙමි යි ඔබ ව කැඳවයි” යැයි කීවේය.
මංගල ශිලා ඵලකය මත වැඩ සිටින බෝධිසත්වයන් වහන්සේ සහ රජතුමා
රජතුමා ඔහුගේ වචනය අසා එකෙණෙහි ම මහත් පිරිවර සමග උයනට ගොස්, තාපසයාණන් වැඳ එකත්පසෙක හිඳගෙන මෙසේ ඇසී ය.
“ස්වාමීනි, මා දුටු සිහිනවල විපාක ඔබතුමන් දන්නා බව සැබෑ ද?”
“එසේය මහරජ.”
“එසේ නම් වදාරනු මැනවි.”
“මහරජ, කියන්නෙමි. පළමුව ඔබ දුටු ආකාරයෙන් ම ඒ සිහින මට ඇසෙන්නට කියන්න.”
“එසේය ස්වාමීනි” යි රජතුමා -
“යුද්ධ නො කොට ගිය ගවයෝ, මල්ඵල හටගත් කුඩා ගස්, වස්සන්ගෙන් කිරි බොන දෙන්නු, ගැලෙහි යෙදූ නහඹු ගවයෝ, දෙපස මුව ඇති අශ්වයා, මහලු හිවල් දෙනක් මුත්‍ර කරන රන් තලිය, රැහැන කා දමන හිවල් දෙන, හිස් කළ ගෙඩි පිරිවරා ගත් පිරුණු කළය, ගැඹුරු තැන දිය බොර වූ පොකුණ, නො පැසුණු බත සහ රත් හඳුන්;”
“හර (අරටු) නැති ලබු කැබලි දියෙහි ගිලෙයි; කළු ගල් දියෙහි පාවෙයි; මැඩි දෙනුන් නාගයන් ගිලිති; කවුඩුවන් විසින් පිරිවරා ගත් සුවර්ණ හංසයෙක් සහ එළුවන්ට බියෙන් දුවන ව්‍යාඝ්‍රයෝ ය.”
මෙසේ වදාරා, කොසොල් රජුට ප්‍රකාශ කළ ආකාරයෙන් ම ඒ සිහින විස්තර කළහ.
බෝසතාණෝ ද දැන් ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයෙන් ම, ඒ සිහිනවල විපාක විස්තර වශයෙන් ප්‍රකාශ කොට, අවසානයෙහි තමන් විසින් ම මෙය ද පැවසූහ.
“මේ සිදුවීම් විපරීතභාවය නිසා පවතී. එහෙත් එය මේ යුගයෙහි සිදු නොවන්නකි.”
එහි අර්ථය මෙසේ ය: “මහරජ, මේ ඔබ දුටු සිහිනවල විපාක ය. ඒ විපාක නැති කිරීම සඳහා යම් යාග කර්මයක් කරනු ලබයි ද, එය විපරියාසො වත්තති හෙවත් විපරීත ව (පෙරළියක් ව) පවතී. වැරදි ලෙස පවතී. කුමක් නිසා ද? මේ සිහිනවල ඵල විපාක ලැබෙන්නේ ලෝකය පිරිහෙන කාලයෙහි ය. එනම් අයුක්තිය යුක්තිය ලෙස ගන්නා කාලයෙහි, යුක්තිය අයුක්තිය ලෙස අත්හරින කාලයෙහි, අසත්‍යය සත්‍යය ලෙස ගන්නා කාලයෙහි, සත්‍යය අසත්‍යය ලෙස බැහැර කරන කාලයෙහි, අලජ්ජීන් බලවත් වන, ලජ්ජා ඇත්තන් පිරිහෙන කාලයෙහි ය.
නයිධ මත්ථී යනු: දැන් මේ ඔබේ කාලයේ හෝ මගේ කාලයේ හෝ මේ පවතින පුරුෂ යුගයෙහි ඒ සිහිනවල විපාක සිදු නො වේ. එනිසා ඒවා නැති කිරීමට කරන යාග කර්මය විපරීත දෙයකි. එයින් වැඩක් නැත. මේ හේතුවෙන් ඔබට බියක් හෝ තැති ගැන්මක් ඇති කරගත යුතු නැත.”
මෙසේ මහාපුරුෂයාණෝ රජු සනසා, බන්ධනගත වූ මහාජනයා මුදා හැර, නැවත අහසෙහි සිට රජුට අවවාද කොට, පන්සිල්හි පිහිටුවා “මහරජ, මෙතැන් පටන් බමුණන් හා එක් වී සත්ව ඝාතන යාග නො කරන්න” යි දහම් දෙසා අහසින් ම තමන් වසන තැනට ගියහ.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, “සිහින හේතුවෙන් ඔබට බියක් නැත. මේ යාගය නවත්වන්න” යි වදාරා, යාගය නවත්වා මහාජනයාට අභය දානය දී, පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාප්ත කළ සේක. “එකල රජතුමා වූයේ ආනන්ද තෙරණුවෝ ය. මානවකයා වූයේ සාරිපුත්ත තෙරණුවෝ ය. තාපසයාණෝ නම් මම ම වීමි.”
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සංගීතිකාරක තෙරවරු ‘උසභා’ යනාදී පද තුන (ගාථා කොටස්) අටුවාවට නංවා, ‘ලාබූනි’ යනාදී පද හතර එක් ගාථාවක් වශයෙන් සකසා ඒකක නිපාත පාළියට ඇතුළත් කළහ.
සත්වන මහාසුපින ජාතක වර්ණනාව යි.