විවරණ ගැනීම

star_outline

සකල ලෝකයාට ශාන්තිය උදා කළ ඒ දීපංකර නම් බුදුන්ට පසුව අසංඛ්‍යයක් කල්ප ශුන්‍යව තිබූ කල්හි ‘සාර මණ්ඩ’ නම් කල්පයක් වූයේය. ඒ කල්පයෙහි ‘කොණ්ඩඤ්ඤ’ නම් බුදු කෙනෙක් ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසත් ‘විජිත’ නම් සක්විති රජෙක්ව කෝටි ලක්ෂයක් රහතන් සමග බුදු පාමොක් මහ සඟනට මහදන් දී, ඒ බුදුන් කෙරෙන් විවරණ ලැබ, සක්විති රාජ්‍යය බුදුන්ට පුදා පැවිදිව, පිටකත්‍රය දරා, පඤ්ච අභිඥා හා අෂ්ට සමාපත්ති ලබා, නොපිරිහුණු ධ්‍යානයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපන් සේක.

ඒ කොණ්ඩඤ්ඤ නම් සර්වඥයන් වහන්සේට පසුව කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍යව තිබී හටගත් එකම කල්පයෙහි මංගලය, සුමනය, රේවතය, සෝභිතය කියා සතර බුදු කෙනෙකුන් වහන්සේ ලොව පහළ වූ සේක. එයින් ‘මංගල’ නම් බුදුන් සමයෙහි අප මහ බෝසත් තෙමේ ‘සුරුචි’ නම් බ්‍රාහ්මණව ඉපිද බුදුන් නිමන්ත්‍රණය කොට, සත් දවසක් කෝටි ලක්ෂයක් භික්ෂූන් වහන්සේ හා සමග බුදුන්ට ‘ගවපාන’ නම් මහත් දානයක් දී ඒ බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ මංගල නම් සර්වඥයන් වහන්සේට පසුව එම කල්පයෙහිම දෙවෙනි අතුරු කප ‘සුමන’ නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ මහත් ඍද්ධි ආනුභාව ඇති ‘අතුල’ නම් නා රජෙක්ව ඉපිද, ‘බුදුන් ලොව පහළ වූ සේකැ’යි අසා ඤාති සමූහයා පිරිවරා නාග භවනයෙන් නික්ම, කෝටි ලක්ෂයක් භික්ෂූන් පිරිවර කොට ඇති සර්වඥයන් වහන්සේට දිව්‍ය තූර්යයෙන් උපහාර කොට මහදන් දී ඒ බුදුන් කෙරෙනුදු විවරණ ලැබූ සේක.

සුමන නම් සර්වඥයන් වහන්සේට පසුව එම කල්පයෙහි තුන්වන අතුරු කප ‘රේවත’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ අනන්ත ගුණ ඇති ‘අතිදේව’ නම් බ්‍රාහ්මණයෙක්ව ඉපිද බුදුන් කෙරෙන් බණ අසා සරණයෙහි පිහිටා දොහොත් මුදුන් දී සිට තමා පොරවා සිටි උතුරු සළුවෙන් පූජා කොට ඒ සර්වඥයන් වහන්සේගෙන් ද විවරණ ශ්‍රී ලැබූ සේක.

ඒ රේවත නම් සර්වඥයන් වහන්සේට පසුව එම කල්පයෙහි සතරවෙනි අතුරු කප මාරයාට බිය ඇති කළ ‘සෝභිත’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ විය. ඒ සමයෙහි අප මහ බෝසතාණෝ ‘අජිත’ නම් බ්‍රාහ්මණව බුදුන් කෙරෙන් බණ අසා සරණයෙහි පිහිටා බුදු පාමොක් මහ සඟනට මහදන් දී ඒ සර්වඥයන් වහන්සේගෙන් විවරණ ලැබූ සේක.

ඒ සෝභිත නම් සර්වඥයන් වහන්සේගෙන් පසුව කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍යව තිබී හට ගන්නා ලද එකම කල්පයෙහි අනෝමදස්සිය, පදුමය, නාරදය කියා තුන් බුදු කෙනෙක් ලෝකයෙහි පහළ වූවාහුය. එයින් ප්‍රථම කොට ලොව පහළ වූ ‘අනෝමදස්සි’ නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි අප මහ බෝසත් මහානුභාව ඇති මහත් ඍද්ධි ඇති යක්ෂ සේනාධිපතියෙක්ව ඉපිද, “බුදුන් උපන් සේකැ”යි යන්න අසා බුදුන් කරා එළඹ බුදු පාමොක් මහ සඟනට මහදන් දී ඒ බුදුන් කෙරෙනුදු විවරණ ලත් සේක.

ඒ අනෝමදස්සි නම් සර්වඥයන් වහන්සේට පසුව ‘පදුම’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එසමයෙහි අප මහ බෝසතාණෝ සිංහ රාජයෙක්ව ඉපිද නිරෝධ සමාපත්තියට සමවැදුණු බුදුන් දැක, පහන් වූ සිත් ඇතිව වැඳ පැදකුණු කොට, ප්‍රීති සොම්නස් උපදවා තුන් වරක් සිංහ නාද කොට බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, සත් දවසක් මුළුල්ලෙහි එම ප්‍රීතිය නොබිඳ, ප්‍රීති සැපයෙන්ම ගොදුරු පිණිස නොගොස් බුදුන්ට දිවි පුදනුවෝ එහිම සිටියෝය.

පදුම නම් සර්වඥයන් වහන්සේ සත් දවස ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සේක් සිංහ රාජයාගේ අදහස් බලා “අනාගතයෙහි බුදුවෙති”යි විවරණ දී වදාළ සේක.

Story Illustration පදුම බුදුන් හමුවේ සිංහ රාජයෙක්ව ඉපිද විවරණ ලැබීම

ඒ පදුම නම් සර්වඥයන් වහන්සේට පසුව එම කල්පයෙහි තුන්වන අතුරු කප චතුර් වෛශාරද්‍යයෙන් (සිව් බිය නැතිකම) විශාරද ‘නාරද’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසත් ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පඤ්ච අභිඥා අෂ්ට සමාපත්තියෙහි වශීප්‍රාප්තව බුදු පාමොක් මහ සඟනට මහදන් දී ලෝහිත චන්දනයෙන් (රත් සඳුන්) පූජා කළේය. නාරද නම් සර්වඥයන් වහන්සේ ද බෝධිසත්ත්වයන්ට “මතු බුදු වෙති”යි විවරණ දී වදාළ සේක.

ඒ නාරද නම් සර්වඥයන් වහන්සේට පසුව මේ මහා භද්‍ර කල්පයට ලක්ෂයක් වන කල්පයෙහි ‘පදුමුත්තර’ නම් සර්වඥයන් වහන්සේ එකලාවම පහළ වූ සේක. එසමයෙහි අප මහ බෝසතාණෝ ‘ජටිල’ නම් මහර්ෂීව බුදුන් ප්‍රමුඛ කොට ඇති භික්ෂු සංඝයාට දන් දී ඒ බුදුන් කෙරෙනුදු “මතු බුදු වෙති”යි විවරණ ලත් සේක.

ඒ පදුමුත්තර නම් බුදුන් උපන් කල්පයෙහි ඉතිරි වූ දහනවයක් පමණ අතුරු කප්වල උපන් බුදු කෙනෙක් නැත. ඒ කපෙහි පටන් තිස් දහසක් කප් බුද්ධ ශුන්‍යව තිබූ කල මේ කපට හැත්තෑ දහසක් වන කල්පයෙහි සුමේධය, සුජාතය කියා බුදුවරයෝ දෙදෙනෙක් ලොව පහළ වූ සේක. එයින් ‘සුමේධ’ නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි අප මහ බෝසත් ‘උත්තර’ නම් මානවකයෙක්ව ඉපිද, නිදන් කොට තබන ලද අසූ කෙළක් පමණ ධන වියදම් කොට බුදු පාමොක් මහ සඟනට මහදන් දී බණ අසා සරණයෙහි පිහිටා ගිහි ගෙයින් නික්ම පැවිදිව ඒ බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ සුමේධ නම් සර්වඥයන් වහන්සේට පසුව එම කල්පයෙහි දෙවන අතුරු කප ලොව පහළ වූ ‘සුජාත’ නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි අප මහසත් චක්‍රවර්ති රජෙක්ව ඉපිද බුදුන් කරා එළඹ බණ අසා, බුදු පාමොක් මහ සඟනට සප්ත විධ රත්නය හා සතර මහත් දිවයින් රාජ්‍යය පුදා මහණව ඒ බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ සුජාත නම් සර්වඥයන් වහන්සේට පසුව මේ කල්පයට අටළොස් දහස් (18,000) කල්පයකින් මත්තෙහි පහළ වූ එක් කපෙක පියදස්සිය, අත්ථදස්සිය, ධම්මදස්සිය’යි තුන් බුදු කෙනෙකුන් ක්‍රමයෙන් ලොව පහළ වූ සේක. එයින් ‘පියදස්සි’ නම් බුදුන් සමයෙහි අප මහ බෝසතාණෝ ‘කාශ්‍යප’ නම් මානවකයෙක්ව ඉපිද ත්‍රිවේදයෙහි පරතෙර දැක බුදුන්ගෙන් බණ අසා කෝටි ලක්ෂයක් ධන වියදම් කොට සංඝාරාමයක් කරවා පිළිගන්වා ශරණ ශීලාදියෙහි පිහිටා ඒ බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ පියදස්සී නම් සර්වඥයන් වහන්සේට පසුව එම කප ‘අත්ථදස්සි’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ ඍද්ධි ඇති ‘සුසීම’ නම් තාපසයෙක්ව ඉපිද දිව්‍ය ලෝකයෙන් මන්දාරක නම් පුෂ්ප චක්‍රයක් (මල් කුඩයක්) ගෙන බුදුන්ට පුදා ඒ බුදුන්ගෙන් විවරණ ලත් සේක.

ඒ අර්ථදස්සි නම් බුදුරජාණන් වහන්සේට පසුව ‘ධම්මදස්සි’ නම් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ සක්දෙව් රජව ඉපිද දිව්‍ය ගන්ධ පුෂ්පයෙන් හා දිව්‍ය තූර්යය රාවයෙන් පූජා කොට ඒ බුදුන්ගෙනුත් විවරණ ලත් සේක.

ඒ ධම්මදස්සි නම් බුදුරජාණන් වහන්සේට පසුව මේ කල්පයට අනූ හතර (94) වන කප ‘සිද්ධාර්ථ’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ උග්‍ර තේජස් ඇති අභිඥා බල සම්පන්න වූ ‘මංගල’ නම් තාපසයෙක්ව ඉපද හිමවතින් මහා දඹ ඵල ගෙනැවිත් බුදුන්ට පුදා ඒ බුදුන්ගෙන් විවරණ ලත් සේක.

ඒ සිද්ධාර්ථ නම් සර්වඥයන් වහන්සේට පසුව මේ කපට අනූ දෙවන (92) කප ‘තිස්ස’ නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ මහත් භෝග යසස් ඇති ‘සුජාත’ නම් ක්ෂත්‍රිය රජෙක්ව ඉපද ඒ සියලු සම්පත් හැර ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව මහත් ඍද්ධි ඇතිව දිව මදාරා පියුම් ආදිය ගෙන සිව්පිරිස් මැද වඩිනා බුදුන්ට පූජා කොට ඒ තිස්ස නම් සර්වඥයන් වහන්සේගෙන් විවරණ ලැබූ සේක.

ඒ බුදුන්ට පසුව ‘ඵුස්ස’ නම් සර්වඥයන් වහන්සේ එම කල්පයෙහි දෙවන අතුරු කප පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ ‘විජිතාවී’ නම් ක්ෂත්‍රිය රජෙක්ව ඒ බුදුන්ගෙන් බණ අසා රාජ්‍ය සම්පත් හැර මහණව පිටකත්‍රයධාරීව මහජනයාට ධර්ම දේශනා කෙරෙමින් වැඩවසන සේක් ඵුස්ස නම් බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ ඵුස්ස නම් බුදුන්ට පසුව මේ කල්පයට අනූ එක්වෙනි (91) කල්පයෙහි ‘විපස්සී’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එසමයෙහි අප මහ බෝසතාණෝ මහත් ඍද්ධි ඇති ‘අතුල’ නම් නාග රාජයෙක්ව ඉපිද සප්ත රත්න ඛචිත රන් පුටුවකින් බුදුන් පුදා ඒ බුදුන්ගෙනුත් විවරණ ලත් සේක.

ඒ විපස්සී නම් සර්වඥයන් වහන්සේට පසුව මේ කල්පයට තිස් එක්වන (31) කප ‘සිඛී’ නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ ‘අරින්දම’ නම් රජෙක්ව ඉපිද බුදුන් ප්‍රමුඛ කොට ඇති මහ සංඝයාට සිවුරු සහිත වූ මහදන් පවත්වා සප්ත රත්නයෙන් සැරසූ හස්ති රත්නයක් පුදා, ඇතු උසට කප්පිය භාණ්ඩයන් දන් දී ඒ බුදුන් කෙරෙනුදු විවරණ ලත් සේක.

ඒ සිඛී නම් සර්වඥයන් වහන්සේට පසුව ‘වෙස්සභූ’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එකල අප මහ බෝසතාණෝ ‘සුදර්ශන’ නම් රජෙක්ව ඉපද බුදු පාමොක් මහ සඟනට චීවර සහිත මහදන් දී ඒ බුදුන් සමීපයෙහි පැවිදිව ඒ වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේගෙන් ද විවරණ ලැබූ සේක.

ඒ වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට පසුව මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියා බුදුවරයෝ තුන් නමක් පහළ වූ සේක. එයින් ‘කකුසඳ’ නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි අප මහ බෝසතාණෝ ‘ක්ෂේම’ නම් රජෙක්ව ඉපද බුදු පාමොක් මහ සඟනට මහදන් දී බණ අසා පැවිදිව ඒ බුදුන්ගෙන් ද විවරණ ලත් සේක.

ඒ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට පසුව ලොව පහළ වූ ‘කෝණාගමන’ නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි අප මහ බෝසතාණෝ ‘පර්වත’ නම් රජෙක්ව ඉපිද අමාත්‍ය ගණයා පිරිවරා බුදුන් සමීපයට ගොස් දම් දෙසුන් අසා බුදු පාමොක් මහා සංඝයා නිමන්ත්‍රණය කොට මහදන් පවත්වා පත්තුණ්ණ, චීන, පණ්ඩර, කොසෙය්‍ය, කම්බල, දුකුල සහ ස්වර්ණ මණ්ඩප දන් දී බුදුන් සමීපයෙහි පැවිදිව ඒ බුදුන් කෙරෙනුදු විවරණ ලත් සේක.

ඒ කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේට පසුව ‘කාශ්‍යප’ නම් සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. එසමයෙහි අප මහ බෝසතාණෝ ‘ජෝතිපාල’ නම් මානවකව ත්‍රිවේදයෙහි පරතෙර දැක ‘ඝටීකාර’ නම් කුම්භකාර පුත්‍රයෙකුට මිත්‍රව ඔහු හා සමග බුදුන් කරා එළඹ බණ අසා පැවිදිව නොපසුබස්නා වීර්යය ඇතිව පිටකත්‍රය ඉගෙන වත් පිළිවෙතින් බුදු සසුන් හොබවා ඒ බුදුන් කෙරෙනුත් විවරණ ලත් සේක.

මෙසේ දීපංකරාදී සූවිසි බුදුන්ගේ සමීපයෙහි ලද විවරණ ඇති බෝසතුන් විසින්:

“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං;

පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා;

අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති.

යන මේ අෂ්ට ධර්මයෙන් (කරුණු අටෙන්) සමන්විතව දීපංකර පාද මූලයෙහි ‘කෘතාභිනීහාර’ (ප්‍රාර්ථනාව පිහිටුවා ගැනීම) ඇති මහ බෝසතාණෝ එතැන් පටන් වෙස්සන්තරාත්ම භාවය දක්වා අවීචි මහා නරකයෙහි ද, සා පිපාසයෙන් පීඩිත වන නිජ්ඣාමතණ්හික නම් ප්‍රේත යෝනියෙහි ද, කාලකඤ්ජක නම් අසුර යෝනියෙහි ද, තිරිසන් යෝනි වල උපන් කාලවල වටු කුරුල්ලන්ට වඩා කුඩා සතෙක්ව ද නූපන් සේක.

තවද මනුෂ්‍යව උපන්නේ ද ජාතියෙන් අන්ධ නුවූ සේක. ජාතියෙන් බිහිරි නුවූ සේක. ජාතියෙන් ගොළු නුවූ සේක. ස්ත්‍රීව නොවූපන් සේක. උභතෝ ඛ්‍යජනකව, පණ්ඩකව, නපුංසකව නොවූපන් සේක. පඤ්චානන්තරික අකුශල කර්මයක් නොකළ සේක. නියත මිථ්‍යාදෘෂ්ටි නුවූ සේක. මාර දිව්‍ය රාජව නොවූපන් සේක. අසංඥ තලයෙහි නොවූපන් සේක. සුද්ධාවාසයෙහි නොවූපන් සේක. මේ ආදී අභව්‍ය ස්ථානයකට නොපැමිණ බෝධිසත්ත්ව චරිතය නොහැර අකීර්ති බ්‍රාහ්මණ කාලයෙහි, ශංඛ බ්‍රාහ්මණ කාලයෙහි, ධනඤ්ජය රජ කාලයෙහි, මහා සුදර්ශන රජ කාලයෙහි, මහා ගෝවින්ද කාලයෙහි, නිමි මහ රජ කාලයෙහි, විසය්හ සිටු කාලයෙහි, සිව්මහ රජ කාලයෙහි, වෙස්සන්තර කාලයෙහි යයි යන මේ ආදී නොයෙක් ජාති කෝටි ලක්ෂයෙහි දාන පාරමිතාව පිරූ පරිදි ප්‍රමාණයක් නැත්තේමය.

එසේම ශීලව නාගරාජ කාලයෙහි, චම්පෙය්‍ය නාගරාජ කාලයෙහි, භූරිදත්ත නාගරාජ කාලයෙහි, ඡද්දන්ත නාගරාජ කාලයෙහි, අලීන සත්තු කුමාර කාලයෙහි යන මේ ආදී තන්හි ශීල පාරමිතාව පිරූ පරිදි ප්‍රමාණයක් නැත්තේමය.

එසේම සෝම කුමාර කාලයෙහි, හස්තිපාල කුමාර කාලයෙහි, අයෝඝර පණ්ඩිත කාලයෙහි යයි මේ ආදී තන්හි මහා රාජ්‍ය ධුර හැර නෛෂ්ක්‍රම්‍ය පාරමිත පිරූ පරිදි පමණ නැත්තේමය.

එසේම විධුර පණ්ඩිත කාලයෙහි, මහා ගෝවින්ද කාලයෙහි, කුද්දාල පණ්ඩිත කාලයෙහි, බෝධි පරිබ්‍රාජක කාලයෙහි, මහෞෂධ පණ්ඩිත කාලයෙහි යයි මේ ආදී තන්හි ප්‍රඥා පාරමිතාව පිරූ පරිදි ප්‍රමාණයක් නැත්තේය.

මෙසේ දක්වන ලද ක්‍රමයෙන් බෝධි සම්භාර ධර්මයන් පුරමින් අවුත් වෙස්සන්තරාත්ම භාවයෙහි සිට සිත් පිත් නැති මහා පෘථිවිය සත් වරක් කම්පා කරවා මහදන් දී ආයුෂයාගේ කෙළවර එයින් චුතව තුසිත භවනයෙහි උපන් සේක. තුසිත පුරයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ දිව සැප වළඳමින් සිටියදීම ‘බුද්ධ හළාහල’ නම් වූ කෝලාහලයක් ලෝකයෙහි පහළ විය.

ත්‍රිවිධ කෝලාහල

ලෝකයෙහි වනාහී ‘කල්ප කෝලාහලය’, ‘බුද්ධ කෝලාහලය’, ‘චක්‍රවර්ති කෝලාහලය’ යයි කියා කෝලාහල තුනක් වන්නේය.

ඒ ත්‍රිවිධ කෝලාහලයන් අතුරෙන් ‘කල්ප කෝලාහලය’ නම්, ‘මෙයින් අවුරුදු ලක්ෂයක් ඉකුත් වූ කල කල්ප විනාශය වන්නේය’යි ලෝකබ්‍යුහ නම් කාමාවචර දේවතා කෙනෙක් හිසකේ මුදා විසුරුවන ලදුව, හඬන මුහුණු ඇතිව, දෑතින් කඳුළු පිස, රත් පැහැති වස්ත්‍ර හැඳ පෙරව, ඉතා විරූප වූ අවමගුල් වෙසක් දරා මනුෂ්‍ය පථයෙහි (මිනිසුන් අතර) ඇවිදිනාහු, “නිදුකාණෙනි, නිදුකාණෙනි, මෙයින් අවුරුදු ලක්ෂයක් ඉක්ම ගිය කල කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. සමුද්‍රය වියලෙන්නේය. මේ මහා පෘථිවිය හා මහමේරු පර්වතය දැවෙන්නේය; බඹලොව දක්වා ලොව නසන්නේය. එහෙයින් නිදුක් වූ සත්ත්වයෙනි, මෛත්‍රී භාවනා කරව. පින්වත්නි, කරුණා, මුදිතා, උපේක්ෂා භාවනා කරව. මවුන්ට උපස්ථාන කරව. පියන්ට උපස්ථාන කරව. කුලදෙටුවන්ට උපස්ථාන කරව”යි මෙසේ කියා ඇවිදිති. මේ ‘කල්ප කෝලාහල’ නම් වේ.

“අවුරුදු දහසක් ඉක්ම ගිය කල සර්වඥ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි උපදින සේකැ”යි ලෝකපාල දෙවියෝ, “නිදුකාණෙනි, මෙයින් අවුරුදු දහසක් ඉක්ම ගිය කල ලොවුතුරා බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි උපදින සේකැ”යි හඬගා කියමින් ඇවිදිති. මේ ‘බුද්ධ කෝලාහල’ නම් වේ.

“අවුරුදු සියයක් ඉක්ම ගිය කල චක්‍රවර්ති රජ්ජුරු කෙනෙක් උපදිනාහුය”යි පෙර සේම දේවතාවෝ උද්ඝෝෂණය කොට ඇවිදිති. මේ ‘චක්‍රවර්තී කෝලාහල’ නම් වේ.

මේ ත්‍රිවිධ කෝලාහල වනාහි ලෝකයෙහි මහත් වෙත්. මේ ත්‍රිවිධ කෝලාහලයන් අතුරෙන් බුද්ධ කෝලාහල ශබ්දය අසා සකල දස දහසක් සක්වළෙහි දෙවියෝ එක තැනකට රැස්ව “අසවල් නම් සත්ත්වයෙක් බුදුවන්නේය”යි දැන ඔහු කරා එළඹ යාච්ඤා කරන්නාහුය.

එසමයෙහි සියලුම දෙවියෝ, එනම් එකී එකී සක්වළක චාතුර්මහාරාජික, ශක්‍ර, සුයාම, සන්තුසිත, සුරනිර්මිත, වසවර්ති මහා බ්‍රහ්මයන් හා සමඟ සියළු දෙවියෝ මේ එකම සක්වළට රැස්ව තුසිත භවනයෙහි වසන බෝසතුන් කරා එළඹ මෙසේ දැන්වූහ.

“නිදුකාණන් වහන්ස, දානාදී වූ දස පෙරුම් පුරන්නා වූ නුඹ වහන්සේ විසින් ශක්‍ර සම්පත් හෝ මාර සම්පත් හෝ බ්‍රහ්ම සම්පත් හෝ චක්‍රවර්ති සම්පත් හෝ ප්‍රාර්ථනා කරමින් පිරූ සේක් නොවෙයි. ලෝක සත්ත්වයන් සසර දුකින් මුදනු පිණිස සර්වඥතා ඥානය ප්‍රාර්ථනා කරමින්ම දස පාරමී ධර්මයන් පුරන ලද්දේය”යි දැන්වූ කල්හි, “නුඹ වහන්සේට ඒ පාරමී ධර්මයෝ සම්පූර්ණ වූහ. එහෙයින් නිදුකාණන් වහන්ස, බුදුවීමට කල් වන්නේය. නිදුකාණන් වහන්ස, බුදුවීමට සමය වන්නේය”යි කියා යාච්ඤා කළාහුය.

Story Illustration තුසිත දෙව්ලොවදී දෙවියන් විසින් බුදු වීමට ආරාධනා කිරීම
පස්මහ බැලුම් (පංච මහා විලෝකනය)

ඉන්පසු මහා බෝසතාණෝ දෙවියන්ට එම අවස්ථාවේදීම පොරොන්දු නොදී, කාලය, දීපය, දේශය, කුලය සහ මවගේ ආයුෂ ප්‍රමාණය යන ‘පංච මහා විලෝකන’ නම් වූ කරුණු පස විමසා බැලූ සේක.

එහිදී කාල විලෝකනය නම්: අවුරුදු ලක්ෂයකට වඩා ආයුෂ ඇති කාලය බුදුවීමට සුදුසු කාලය නොවේ. එම කාලයෙහි මනුෂ්‍යයන්ට ජරාවක් හෝ මරණයක් නොපෙනේ. සර්වඥයන් වහන්සේගේ දේශනාව වනාහි අනිත්‍යය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් තොර නොවෙයි. දීර්ඝායුෂ ඇති කාලයෙහි මනුෂ්‍යයන්ට අනිත්‍ය ස්වභාවය ආදිය නොපෙනෙන්නේය. අනිත්‍ය ආදිය ප්‍රකාශ කොට වදාරන්නා වූ ධර්මය ඇසීමට ද ඔවුහු නොසිතති; අකමැති වෙති. එබඳු කල්හි මාර්ග ඵල අවබෝධය නොවන්නේය. මාර්ග ඵල අවබෝධයක් නැති කල්හි බුදුරදුන්ගේ අවවාද හා අනුශාසනාවලින් සත්ත්වයන් නිවනට පැමිණෙන්නේ නැත. එවන් කල්හි ශාසනය විමුක්තිය පිණිස නොපවතී. මේ කරුණ නිසා අවුරුදු ලක්ෂයකින් වැඩුණා වූ ආයුෂ ඇති කාලය බුදුවීමට සුදුසු කල් නොවන්නේය.

එසේම අවුරුදු සියයකින් අඩු වූ ආයුෂ ඇති කාලය ද බුදුවීමට සුදුසු කල් නොවන්නේය. ඒ මන්ද යත්; එම කාලයෙහි සත්ත්වයෝ බලවත් වූ ක්ලේශයන්ගෙන් යුක්ත වන්නාහ. එබඳු සත්ත්වයන්ට දෙන ලද අවවාදය සිතෙහි නොපිහිටයි. දණ්ඩකින් දියෙහි ඇඳි ඉරක් මෙන් එය වහා මැකී යන්නේය. ඒ කරුණ නිසා අවුරුදු සියයකින් අඩු වූ ආයුෂ ඇති කාලය බුදුවරයන්ට උපත ලැබීමට සුදුසු කල් නොවන්නේය. අවුරුදු ලක්ෂයේ පටන් අවුරුදු සියය දක්වා ඇති කාල පරාසය බුදුවීමට සුදුසු කාලය වන්නේය. මේ කාලය අවුරුදු සියයක් ආයුෂ ඇති කාලය බැවින්, “මේ බුදුවීමට කාලයයි” මහා බෝසතාණෝ කාල විලෝකනය කළාහුය.

ඉන්පසු දීප විලෝකනය කරන්නා වූ මහා බෝසතාණෝ, පිරිවර සහිත වූ සතර මහාද්වීප දෙස බලා, ඉතිරි තුන් දිවයිනෙහි බුදුවරයෝ නූපදින බවත්, “ජම්බුද්වීපයෙහිම උපදින්නාහ” යි දැක ද්වීප විලෝකනය කළ සේක.

ජම්බුද්වීපය නම් ඉතා විශාල වූ, දස දහසක් පමණ යොදුන් ප්‍රමාණ ඇත්තේය. “එහි කවර ප්‍රදේශයක සර්වඥවරයෝ උපදිනා සේක් දෝ?” හෝයි බලන සේක්, මධ්‍ය දේශය දුටු සේක. මධ්‍ය දේශය නම් කෙසේද යත්; බෝධි මණ්ඩලයට නැගෙනහිර දිශා භාගයෙහි ‘කජංගලා’ නම් නියම්ගමය; අග්නිදිග ‘සලලවති’ නම් ගඟය; දකුණු දිග ‘ස්වේත කර්ණිකා’ නම් නියම්ගමය; බටහිර දිග ‘ථුන’ නම් බමුණු ගමය; උතුරු දිග ‘උසීරජ’ නම් පර්වතය ය. යන මොවුන්ගේ මැද වූ දේශය ‘මධ්‍ය දේශය’ නම් වේ.

මෙසේ දක්වන ලද මධ්‍ය දේශය දිගින් තුන්සියයක් යොදුනකි. පළලින් දෙසිය පනස් යොදුනකි. වට ප්‍රමාණයෙන් නවසියයක් යොදුනකි. මෙයින් පිටත පිහිටි ප්‍රදේශයෝ ‘ප්‍රත්‍යන්ත දේශයෝ’ නම් වෙති. මධ්‍ය දේශයෙහි වනාහි බුද්ධ, පසේබුදු, ආර්ය ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක, චක්‍රවර්ති රජ දරුවන් සහ අනෙකුත් මහානුභාව සම්පන්න ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාර කුල ඇත්තෝ උපදින්නාහ. “මේ මධ්‍ය මණ්ඩලයෙහි ‘කපිලවස්තු’ නම් නුවරක් වන්නේය. එහි මා විසින් ඉපදිය යුතුය” යි තීරණයට පැමිණිය සේක.

ඉන්පසු ඉපදිය යුතු කුලය ගැන කුල විලෝකනය කරන්නා වූ මහා බෝසතාණෝ, “සර්වඥවරයෝ නම් වෙළඳ කුලයෙහිත්, ගොවි කුලයෙහිත් නූපදින්නාහ. ලෝක ප්‍රසිද්ධ වූ, පූජ්‍ය වූ ක්ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ උපදින්නාහ. දැනට ක්ෂත්‍රිය කුලය ලොව සම්මතව පවතී. එබැවින් එහි උපදිමි. සුද්ධෝදන මහරජාණෝ මට පියා වන්නාහ” යි කුලය බැලූ සේක.

ඉන්පසු මාතෘ විලෝකනය කරන්නා වූ මහා බෝසතාණෝ, “බුද්ධ මාතාවෝ නම් පුරුෂ ලෝලත්වයක් නැත්තාහ. සුරාධූර්ත (බීමත්කමට ලොල්) නොවන්නාහ. කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතාවන් ඇත්තාහ. නොකඩ වූ පන්සිල් ඇත්තාහ. සුදොවුන් මහ රජුගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය වනාහි එබඳු ගුණ ධර්මයක් ඇත්තීය. එහෙයින් මහාමායා දේවිය මට මව වන්නීය. ඒ දේවියට තව ඇත්තේ දස මසක් සහ අධික වූ සත් දවසක ආයුෂයක් බව දැන, “නිදුකාණෙනි, බුදුවීමට මේ සුදුසු කල් වන්නේය. තෙපි හැමදෙන යව” යි දෙවියන්ට ප්‍රතිඥා දී දෙවියන් පිටත් කර හැරිය සේක.

මවුකුස පිළිසිඳ ගැනීම

තුසිත දිව්‍ය ලෝකයෙහි දෙවියන් විසින් පිරිවරා ගන්නා ලදුව, නන්දන වනයට පිවිස එහි ඇවිදිමින් සිටියදීම, එයින් චුතව (මියගොස්) මහාමායා දේවියගේ කුසෙහි ප්‍රතිසන්ධිය ගත් සේක. එහි විස්තරය මෙසේ දත යුතුය.

එසමයෙහි වනාහි කපිලවස්තු පුරයෙහි උතුරුසල නැකත ලැබූ ඇසළ මස මැදි පොහොය දින ‘ඇසළ කෙළි’ නම් මහත් වූ උත්සව ක්‍රීඩාවක් විය. එකල මහා ජනයෝ හිස් සෝදා නා, හැඳ පැළඳ නැකැත් කෙළි පවත්වති. මහාමායා දේවිය ද නැකැත් කෙළි සිරි විඳිමින් සිට, සත්වන දවසෙහි උදෑසන සුවඳ පැනින් හිස් සෝදා නා, සාර ලක්ෂයක් වස්තු වියදම් කොට මහ දන් දී, සර්වාලංකාරයෙන් සැරසී, උතුම් භෝජනය අනුභව කොට, උපෝසථ සීලය (සිල්) සමාදන් වී, අලංකාර කොට පිළියෙළ කරන ලද ශ්‍රී යහන් ගබඩාවට පිවිස නින්දට ගිය තැනැත්තී මේ ස්වප්නය දුටුවාය. එය කෙසේද යත්:

“සතර වරම් මහරජ දරුවෝ බිසව නිදා සිටි යහන සමඟම ඔසවාගෙන හිමාලයට ගොස්, හැට යොදුන් හිරියල් ගල්තලාවෙහි මහා සල් ගසක් මුල තබා එකත්පසෙක සිටියාහුය.

ඉන්පසු ඒ වරම් රජ දරුවන්ගේ අග මෙහෙසියෝ පැමිණ, දේවිය අනෝතත්ත විලට ගෙන ගොස් මිනිස් ගඳ ඉවත් කරනු පිණිස නාවා, දිව්‍ය වස්ත්‍ර අන්දවා, දිව්‍ය ගන්ධ විලවුන් ගල්වා, දිව්‍ය මල් පළඳවා, එයට නුදුරු තැන රිදී පර්වතයක් ඇත, එහි පිහිටි රන් විමනක් ඇත, එහි බටහිර දිගට හිස දමා සැතපෙන ලෙසට දිව්‍ය යහනක් පනවා මහාමායා දේවිය එහි සැතැප්පවූහ.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයෝ උතුම් ශ්වේත හස්ති (සුදු ඇත්) විලාසයක් මවාගෙන, එයට නුදුරු තැන එක් ස්වර්ණ පර්වතයක් ඇත, එහි ඇවිද එයින් බැස රිදී පර්වතයට නැගී, උතුරු දෙසින් අවුත්, රිදී දමක පැහැය වැනි සොඬින් ශ්වේත පද්මයක් (සුදු නෙළුමක්) ගෙන, කුඤ්චනාද කොට, රන් විමනට ඇතුළු වී, බිසව නිදා සිටි යහන වටා තුන් වරක් ප්‍රදක්ෂිණා කොට, දකුණු පසින් බිසවගේ කුසට ඇතුළු වූවාක් මෙන් විය.”

එකෙණෙහි මහ බෝසතුන්ගේ ප්‍රතිසන්ධි ග්‍රහණය සිදුවිය.

Story Illustration මහාමායා දේවිය දුටු ස්වප්නය: සුදු ඇතෙක් නෙළුම් මලක් රැගෙන පැමිණීම.

මේ ස්වප්නය දැක පිබිදුණා වූ දේවිය, ඒ සිහිනය රජුට දැන්වූ කල්හි, සුදොවුන් මහරජාණෝ වේදයෙහි දක්ෂ වූ හැටහතරක් පමණ උතුම් බමුණන් ගෙන්වා, මහා වටිනාකම් ඇති ආසන පනවා, බමුණන් එහි හිඳුවා, ගිතෙල්, මී පැණි, හකුරු ආදියෙන් සකස් කළ කිරි පැණි (පායාස) පිරවූ රන් රිදී තලි හැට හතරක් ද, එසේම රන් රිදී තලි හැට හතරකින් වසා, ඉතා වටිනා වස්ත්‍ර හා කපිල වර්ණ එළදෙනුන් ද බමුණන්ට දන් දී ඔවුන් සතුටු කරවා, බිසව දුටු ස්වප්නය කියා, “එහි ඵල විපාක කිමෙක් දැ?” යි විචාලාහුය.

බ්‍රාහ්මණයෝ කියන්නාහු, “මහරජතුමනි, ඔබගේ දේවියගේ කුස දරු ගැබක් පිහිටියේය. ඒ වනාහි පිරිමි දරුවෙකි; පින්වත් පුත් රුවනකි. හෙතෙම ගිහි ගෙයි විසුවහොත් සක්විති රජ වෙයි. ගිහි ගෙන් නික්ම පැවිදි වුවහොත් ලොව්තුරා බුදු වෙති” යි කීවාහුය.

මෙසේ බෝධිසත්ත්වයන් මව් කුස පිළිසිඳ ගැනීමත් සමඟම දස දහසක් සක්වළ සියලු පහන්වල ද, සියලු දිව්‍ය විමානවල ද, සියලු තාරකාවන්ගේ ද, සියලු චන්ද්‍ර සූර්යයන්ගේ ද, ශක්‍රාදී සියලු දෙවියන්ගේ ද, මහා බ්‍රහ්මාදී සියලු බ්‍රහ්මයන්ගේ ද යම් ආලෝකයක් ඇද්ද, ආනුභාවයක් ඇද්ද, ඒ සියල්ල හිරු දුටු කණාමැදිරි එළියක් මෙන් යටපත් කරමින් අප්‍රමාණ වූ ආලෝකයක් පහළ විය.

එකල්හි උපතින් අන්ධ වූවෝ ඇස් ලැබුවාහුය. උපතින් බිහිරි වූවෝ මිහිරි ගීතිකා ශබ්ද ඇසුවාහුය. උපතින් ගොළු වූවෝ සැපසේ කථා කළාහුය. උපතින් කොර වූවෝ කෙළින් වී ගමන් ගියාහුය. බන්ධනාගාරගත සියලු සත්ත්වයෝ එයින් මිදුණාහුය. සියලු නරකවල (නිරයන්හි) ගිනි නිවී ගියේය. ප්‍රේතයන්ගේ සා පිපාසා සංසිඳුණේය. තිරිසනුන්ගේ බිය නැති විය. සියලු සත්ත්වයන්ගේ රෝග සුව විය. මේ ආදී දෙතිස් මහා පූර්ව නිමිති පහළ වීමෙන් දස දහසක් සක්වළ උතුම් වූ ශ්‍රී සෞන්දර්යයෙන් අග්‍රප්‍රාප්ත විය.

මෙසේ පිළිසිඳ ගන්නා ලද බෝධිසත්ත්වයන්ට ද, බෝධිසත්ත්ව මාතාවන්ට ද වන්නා වූ උපද්‍රව වළක්වනු පිණිස සතර වරම් රජ දරුවෝ කඩු ගත් අත් ඇතිව රැකවල් ගත්තාහුය. එතැන් පටන් බෝධිසත්ත්ව මාතාවෝ පිරවූ තෙල් පාත්‍රයක් පරිස්සම් කරන්නාක් මෙන් දස මාසයක් මුළුල්ලෙහි බෝධිසත්ත්ව කුමාරයන් කුසින් පරිහරණය කොට, සම්පූර්ණ වූ ගර්භ ඇතිව දේවදහ නුවරට යනු කැමතිව සුදොවුන් මහරජාණන්ට ඒ පුවත දැන්වූ කල්හි, ඒ ඇසූ සුදොවුන් මහරජාණෝ “යහපතැ” යි සතුටු වී, කපිලවස්තු පුරයේ පටන් දේවදහ නුවර දක්වා මාර්ගය සමතලා කරවා, පුන් කළස්, ධජ, පතාක ආදියෙන් අලංකාර කොට සරසා, දේවිය රන් සිවී ගෙයක හිඳුවා, අමාත්‍යයන් දහසක් හා සමඟ මහත් පිරිවරින් දේවදහ නුවරට පිටත් කළාහුය.