‘සචෙ මුඤ්චෙ’ යන පදයෙන් ඇරඹෙන මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයේ දෙවියන්ට කරන භාරහාර හා බිලි පූජාවක් අරබයා දේශනා කරන ලද්දකි. එකල මිනිස්සු වෙළඳාමේ යන විට සතුන් මරා දෙවියන්ට බිලි පූජා පවත්වා, ‘අපට කිසිදු අනතුරක් නොවී බලාපොරොත්තු ඉටු වී ආපසු පැමිණි පසු නැවතත් ඔබට බිලි පූජාවක් කරන්නෙමු’යි භාර වෙති. පසුව කිසිදු අනතුරක් නොවී අර්ථ සිද්ධිය ලබා ආපසු පැමිණි ඔවුහු, ‘මේ දේ සිදු වූයේ දෙවියන්ගේ ආනුභාවයෙනැ’යි සිතා, බොහෝ සතුන් මරා එම භාරයෙන් නිදහස් වීම පිණිස බිලි පූජා පවත්වති. භික්ෂූන් වහන්සේලා එය දැක, ‘ස්වාමීනි, මෙයින් යම් යහපතක් සිදුවේදැ’යි බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
පෙර කසීරට එක් කුඩා ගමක සිටි ගෘහපතියෙක්, ගම්දොර තිබූ නුග රුකක වසන දෙවියන්ට බිලි පූජාවක් පවත්වන බවට පොරොන්දු වී, අනතුරකින් තොරව ආපසු පැමිණ බොහෝ සතුන් මරා ‘භාරයෙන් නිදහස් වන්නෙමි’යි සිතා රුක් මුලට ගියේය. එවිට රුක් දෙවියා ගස් දෙබලෙහි සිට මේ ගාථාව පැවසීය.
රුක් දෙවියා ගස් දෙබලක සිට ධර්මය දේශනා කිරීම.
“ඉදින් ඔබ මිදෙනු කැමැත්තේ නම් පරලොවින් ද මිදෙන්නේය. (සතුන් මරමින්) මිදෙන්නට යන්නා එයින්ම බැඳෙයි. නුවණැත්තෝ එසේ නොමිදෙති. බාලයාගේ මිදීම (සතුන් මරා බලි දීම) බන්ධනයකි.”
එහි ‘සචෙ මුඤ්චෙ පෙච්ච මුඤ්චෙ’ යන්නෙන් අදහස් වන්නේ පින්වත් පුරුෂය, ඉදින් ඔබ දුකෙන් මිදෙනු කැමැත්තේ නම් පරලොවින් (සසරින්) මිදෙන්නේය යනුයි. පරලොවදී නොබැඳෙන ලෙස මිදෙන්න. ‘මුඤ්චමානො හි බජ්ඣති’ යනු, ඔබ මෙසේ සතුන් මරමින් භාරයෙන් මිදෙන්නට කැමති නම්, එසේ මිදෙන්නට යාමෙන් ඔබ පව්කම්වලින් බැඳෙයි යන්නයි. එනිසා ‘නහෙවං ධීරා මුච්චන්ති’ යනු නුවණැත්තෝ මෙවැනි පොරොන්දු මගින් නොමිදෙති. කවර හෙයින්ද යත්? ‘මුත්ති බාලස්ස බන්‍ධනන්ති’ හෙවත් මෙසේ සතුන් මරා භාරහාරවලින් මිදීම බාලයන්ගේ (මෝඩයන්ගේ) බැඳීමක්ම වන බැවිනි. රුක් දෙවියා මෙසේ ධර්මය දේශනා කළේය. එතැන් පටන් මිනිස්සු මෙබඳු ප්‍රාණඝාත කර්මයන්ගෙන් වැළකී ධර්මයෙහි හැසිර (මරණින් මතු) දෙව්ලොව පිරවූහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාප්ත කළ සේක. ‘එසමයෙහි රුක් දෙවියා වූයේ මම වෙමි’යි වදාළ සේක.
නව වැනි වූ ආයාචිතභත්ත ජාතක වර්ණනාවයි.