“අට්ඨඛුරං ඛරාදියෙ” (කුර අටක් ඇති ඛරාදිය) යන මේ ගාථා පදය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි එක්තරා දුර්වච (කීකරු නොවන) භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. ඒ භික්ෂුව වනාහි දුර්වචය, අවවාද නොපිළිගනී. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුගෙන්, “මහණ, ඔබ දුර්වච බවත් අවවාද නොපිළිගන්නා බවත් සැබෑ ද?” යි විචාළ සේක. “එසේය ස්වාමීනි, සැබෑවකැ” යි හෙතෙම පිළිතුරු දුන්නේය. එවිට ශාස්තෲන් වහන්සේ, “පෙරත් ඔබ දුර්වච භාවය නිසා නුවණැත්තන්ගේ අවවාද නොගෙන මළ පුඬුවට අසුවී ජීවිතක්‍ෂයට පත්වූයේ යැ” යි වදාරා අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කල්හි බෝධිසත්වයෝ මුව වංශයෙහි උපත ලබා මුව රංචුවක් පිරිවරාගෙන වනාන්තරයෙහි වාසය කළහ. එකල්හි ඔහුගේ නැගණිය වූ මුවදෙන තම පුතු (බෝසතුන් වෙත) ගෙන්වා, “සොහොයුර, මේ ඔබගේ බෑණා ය. මොහුට මුව මායම් උගන්වනු මැනවැ” යි පවරා සිටියාය. බෝධිසත්වයෝ ද ඒ බෑණාට “අසවල් වේලාවට පැමිණ ඉගෙන ගන්නැ” යි කීහ. නමුත් හෙතෙම කී වේලාවට නොපැමිණෙයි. මෙලෙසින් එක් දිනක් නොව දින සතක් ම, අවවාද දෙන වේලාවන් හතක් ඉක්මවා ගිය හෙතෙම, මුව මායම් නොඉගෙනම හැසිරෙන්නේ මළ පුඬුවක බැඳුණේය. ඔහුගේ මව සොහොයුරා වෙත පැමිණ, “සොහොයුර, බෑණාට මුව මායම් ඉගැන්වූයේ දැ?” යි විමසුවාය. එවිට බෝධිසත්වයෝ, “අවවාද නොපිළිගන්නා ඔහු ගැන නොසිතන්න. ඔබගේ පුතා විසින් මුව මායම් උගත්තේ නැතැ” යි පවසා, දැනුත් ඔහුට අවවාද නොකරනු කැමැති වූවාහු මේ ගාථාව වදාළහ.
මුව දෙන විසින් තම පුත්‍රයා වූ මුව පොව්වා ශිල්ප ඉගෙනීම පිණිස බෝධිසත්වයන්ට භාර දුන්
අයුරු.
“ඛරාදිය නැගණියනි, එක් පාදයකට දෙක බැගින් කුර අටක් ඇති, වඩ වඩාත් ඇද වී ගිය අං ඇති, අවවාද ලැබිය යුතු කාල හතක් ඉක්මවා ගිය ඒ මුවාට අවවාද කිරීමට මම උත්සාහ නොකරමි.”
එහි “අට්ඨඛුරං” යනු එක් පාදයක කුර දෙක බැගින් කුර අටක් ඇති බවයි. “ඛරාදියෙ” යනු ඇයගේ නමින් ඇමතීමයි. “මිගං” යනු මුවා සඳහා යෙදෙන පොදු වචනයකි. “වඞ්කාතිවඞ්කිනං” යනු මුල ඇද වූ, අග අතිශයින් ඇද වූ හෙවත් ‘වංකාතිවංක’ නම් වූ එවැනි අං ඔහුට ඇති බැවින් ‘වංකාතිවංකී’ නම් වේ; ඒ මුවාට ය. “සත්තහි කාලාතික්කන්තං” යනු අවවාද දිය යුතු කාල හතක් ඉක්මවා ගිය යන්නයි. “න නං ඔවදිතුස්සහෙ” යනු මෙබඳු වූ දුර්වච මුවාට අවවාද කිරීමට මම උත්සාහ නොකරමි, මොහුට අවවාද කිරීම පිණිස මට සිතක්වත් නූපදී යැයි දක්වයි. ඉක්බිති වැද්දා මළ පුඬුවෙහි බැඳුණු ඒ දුර්වච මුවා මරා මස් රැගෙන ගියේය.
ශාස්තෲන් වහන්සේ, “මහණ, ඔබ දැන් පමණක් නොව පෙරත් දුර්වචව සිටියේය” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. “එකල්හි බෑණා වූ මුවා නම් මේ දුර්වච භික්ෂුව ය. නැගණිය වූ මුවදෙන උප්පලවණ්ණා තෙරණිය ය. අවවාද දුන් මුවා නම් මම ම වෙමි”යි වදාළ සේක.
පස්වැනි වූ ඛරාදිය ජාතක වර්ණනාව නිමි.