මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසෙන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍රහ කොට මිලින්ද පඤ්හ කරණ ලද පාලිග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය. මේ ග්‍රන්ථයට අයත් වන්නේ පාලිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි. මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය. එය මෙයින් අපෙක්ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍රකට වන මිලිඳුරජතුමාගේ ප්‍රශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසෙන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජනශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙක ම අතිශයාශ්චර්‍ය්‍යාවහ ය. තර්කයෙහි අතිශය දක්ෂ වූ නාගසෙන තෙරුන් වහන්සේ පරවාදමථනය සඳහා තර්කශාස්ත්‍රයට වඩා අලංකාර ශාස්ත්‍රය ම යෙදූහ. බොහෝ විට ස්වකීයමතයන් ස්ඵුට කිරීමට උන්වහන්සේ උපමාවන්ගේ හා නිදර්ශනයන්ගේ ද පිහිට සෙවූහ. තැනට නිසි උපමානිදර්ශනයන් දැක්වීමෙහි උන්වහන්සේ තුළ වූ ශක්තිය අද්විතීය ය. සිවුපිළිසිඹියා පත් රහත් කෙනෙකුන් තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නො පිහිටන ධර්මප්‍රතිහානයන් මිලින්දපඤ්හයෙහි බොහෝ තැනින් ප්‍රකට වේ.