මිලිඳුරජතුමා මනස්කල්පිත පුද්ගලයෙකු නො වන බව යට දැක්වීමු. මිලින්දපඤ්හයෙහි සඳහන් පරිදි ඒ රජතුමා ‘අලසන්දා’ නම් දිවයිනෙහි කලසී නම් ග්‍රාමයෙහි උපන්නෙකි. සාගලපුරය රාජධානිය කොට ගෙණ විශාල ප්‍රදෙශයක් පාලනය කළ යොන් රජෙකි.
‘අලසන්දා’ යනු ඇලැක්සැණ්ඩර් නම් ග්‍රීක් රජුට අයත් ව පැවැති ඇලැක්සැණ්ඩ්රියා නම් ප්‍රදෙශයට යෙදූ මාගධිකනාමය යි. ඒ අලසන්දාව දිවයිනකැ යි මෙහි දැක්වේ. කාබුල්නදියෙහි අතුගංගා වූ චේනාබ්, රාවී යන නදී දෙක අතර පිහිටි හෙයින් ඒ නමින් ප්‍රසිද්ධ වූ බව සිතා ගත හැකි ය. ශාකලද්වීප යනු ද මීට ම අනික් නමකි. අලසන්දාදිවයින සාගලපුරයේ සිට යොදුන් දෙසියයකින් ඈත පිහිටි බව මේ පොතෙහි සඳහන් වේ.
කලසීග්‍රාමය ගැණ අනික් තැනක සඳහන් නො වේ. දැනට ඉන්දියාවෙන් සොයා ගෙණ තිබෙන නානාවිධ පැරණි ග්‍රීක් කාසි අතර ‘කරිසි’ යන නගර නාමයක් සඳහන් එකක් ද තිබේ. ඒ කාසිය වාත්තු කරවන ලද්දේ ක්‍රිස්තූත්පත්තියට අවුරුදු 180 කට පෙර ඉයුක්‍රටිඩෙස් (Eukratides) නම් රජෙකු විසිනි. මේ කාසියෙහි සඳහන් කරිසිනගරය හා මිලින්ද පඤ්හයෙහි සඳහන් කලසීග්‍රාමයත් එකක් ම විය හැක්කැ යි යුරෝපීය පඬිවරු සලකති.
සාගලපුරය බෞද්ධසාහිත්‍යයෙහි සුප්‍රසිද්ධ ය. පුරාතනයෙහි දඹදිව ධනවත් පවුල්වල තරුණයන්ට රූපසම්පන්න භාර්යාවන් සැපයුවේ මදුරට සාගලපුරය ය යනු කුසජාතක, මහාකස්සපචරිත ආදියෙන් ඔප්පු වෙයි. සාගලපුරය හා කාශ්මීරදෙශයත් අතර දුරප්‍රමාණය දොළොස් යොදුනකැ යි මිලින්දපඤ්හයෙහි දැක්වේ. වර්තමාන පංජාබ්දෙශයෙහි සියල්කොට්නගරය පුරාණ සාගලනගරය ලෙස සැලකේ. ‘සියල්’ යන්න ‘සාගල’ යන්නෙන් ආවකි. මේ ‘කොට්’ යන්න හා සිංහල ‘කොටු’ යන්න ද සමාන ප්‍රභව ඇති එකාර්ථවත් ශබ්ද ය.
මිලිඳුරජතුමා යෝනයෙකු බව මෙහි සඳහන් වෙයි. ‘යොන’ යනු ද ‘යවන’ යනු ද සමානාර්ථ ය. ඒ නම් දෙක ම ව්‍යවහාර වූයේ ඉන්දියාවෙන් බටහිරදිග පිහිටි රටවල වැසියන් උදෙසා ය. විශෙෂයෙන් ග්‍රීක් ජාතිකයෝ ඒ නාමයෙන් දඹදිව වැසියන් අතර ප්‍රසිද්ධ වූහ. එහෙයින් මිලිඳුරජතුමා ග්‍රීක්ජාතිකයෙකු විය යුතු ය.
බැක්ට්‍රියාවේ සිටි ග්‍රීක්රජුන්ගේ නම් අතර ‘මිනැණ්ඩර්’ යන නමක් ද දක්නා ලැබේ. මේ රජුගේ නාමය දරණ කාසි වර්ග දෙවිස්සක් බස්නාහිරින් කාබුල්නුවර ද නැගෙනහිරින් මථුරාව ද උතුරෙන් කාශ්මීරය ද තෙක් වූ ඉතා විශාල ප්‍රදෙශයක තැනින් තැන තිබී දැනට සොයා ගෙණ තිබේ. ඒ කාසිවල එක් පැත්තක යම්කිසි රූපසටහනක් ද ග්‍රීක්භාෂා වාක්‍යයන් ද අනික් පැත්තෙහි ඛරොස්ති අක්ෂරවලින් වූ-
- ‘මහාරාජස ත්‍රතාරස මෙනන්ද්‍රස” (ආරක්ෂක වූ මෙනන්ද්‍ර මහරජුගේ)
- “මහාරාජස ධාර්මිකස මෙනන්ද්‍රස” (ධාර්මික වූ මෙනන්ද්‍ර මහරජුගේ)
යනාදි දෙශභාෂාමය පාඨයක් ද පෙණේ. මේ කාසිවල පෙණෙන ‘මෙනැන්ඩ්‍රෞ ‘මෙනන්ද්‍ර’ යන නාමයන් සංස්කෘත භාෂානුරූප සේ සකස් කිරීමෙන් ‘මිලින්ද’ යන නම නිපදවා තිබෙන බව යුරෝපයේ පඬිවරු කියති.
එක් කාසියක පමණක් පෙණෙන චක්‍රලක්ෂණය ධර්මාශොකරජ තුමාගේ ද ලකුණක් වූ ධර්මචක්‍රලක්ෂණය විය හැකි ය යි ද, බෞද්ධ ය යි නිශ්චය කර කිය හැකි අනික් ලකුණක් ඒ කාසිවල නැතැයි ද ‘ධාර්මික’ යන විශෙෂණය අබෞද්ධ නරෙන්ද්‍රයන්ට පවා යෙදිය හැක්කැයි ද කියමින් රෛස් ඩේවිඩ්ස් පඬිතුමා මිලිඳුරජතුමාගේ බෞද්ධත්වය ගැණ සැක කරයි. එහෙත් බැක්ට්‍රියාවේ ජනයා මෙන් ම රජවරුන් ද බෞද්ධයන් වූ බව ඒ මහතා ම අනික් තැනක දී කියයි.
මිලිඳුරජතුමා බුද්ධශාසනයෙහි පැවිදි ව රහත් වූ බව මිලින්දප්‍රශ්නයෙහි සඳහන් වේ. මිලිඳුරජතුමා කලුරිය කළ පසු එතුමාගේ ශරීරය ආදාහන කළ බවත් එතුමාගේ ශරීරධාතු ලබා ගැණීම සඳහා බොහෝ නගරයන් තරඟ කළ බවත්, ශරීරධාතු බෙදා ගැණීමකට ඒ නගරයන් එකඟවීමෙන් ආරාවුල අවසන් වූ බවත්, ධාතු ලබා ගත් නගරයන් ස්තූප තැනවූ බවත් ප්ලුටාර්ච් (Plutarch) නම් ග්‍රන්ථකර්තෘවරයාගේ ග්‍රන්ථයෙක්හි සඳහන් වේ. මේ කථාව ද මිලින්දප්‍රශ්නයෙහි දැක්වූ ප්‍රවෘත්තිය සත්‍යයක් ලෙස තීරණය කිරීමට සාක්ෂ්‍යයකි.