මිලින්දපඤ්හයෙහි මුල මිලිඳුරජුගේ හා නාගසෙනතෙරුන්ගේ ද පූර්වජන්ම ප්‍රවෘත්තිය හා මිලිඳුරජතුමා පණ්ඩිත ය යි ප්‍රසිද්ධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා එළඹ ප්‍රශ්න විචාරා ඔවුන් පැරද වූ පරිදිත්, රහතුන් වහන්සේ දෙව්ලොවට වැඩ මිනිස් ලොව ඉපද මිලිඳුරජු දමනය කර සසුන්වැඩ වඩන මෙන් මහාසෙන දිව්‍යපුත්‍රයන්ට ආරාධනා කළ පරිදි හා එය පිළිගත් ඒ දෙව්පුතු මිනිස්ලොව ඉපද නාගසෙන නම් ව එකලට පැවැති ශාස්ත්‍රයන් ඉගෙණ එහි හරයක් නො දැක බුද්ධධර්මයෙහි පැහැද පහණ ව සිවුපිළිසිඹියා පත් රහත් වූ පරිදිත්, පසු ව මිලිඳුරජු හමු ව ඔහු පහදවාගත් අයුරුත් ප්‍රකාශිත ය. ඊලඟට මිලිඳුරජුගේ ප්‍රශ්නරාශියක් හා නාගසෙනතෙරුන් වහන්සේ ඊට දුන් පිළිතුරුත් එයි. අවසානයෙහි යොගාවචරයෙකුට අවශ්‍ය කරුණු රාශියක් ඇතුළත් ය. ඒ කරුණු අසා පැහැදුනු මිලිඳුරජතුමා සිය නමින් මහාවිහාරයක් කරවා නාගසෙන තෙරුන් වහන්සේට පුදා, පසු ව සිය වැඩිමහලු පුත් කුමරුන්ට රාජ්‍යය භාර කර පැවිදි වූ රහත් වූ බවත් දැක් වූ කථාවෙන් පොත අවසන් වෙයි.
සාධකපාඨ
ත්‍රිපිටකයෙහි නොයෙක් තැනින් උපුටා ගත් ගද්‍යපද්‍යසාධක පාඨ රාශියක් මිලින්දපඤ්හයෙහි ඇතුළත් වෙයි. මිලින්දපඤ්හය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ රෛස් ඩේවිඩ්ස් පඬිතුමා තමාගේ පොතේ සංඥාපනයෙහි ඒ සියල්ල සැකෙවින් දක්වා එයින් සමහරක් පෙණෙන මුල්තැන් ද සඳහන් කරයි. මුල්තැන් සොයා ගත නො හැකි වූ පාඨයන්හි දී ඒ බව ද දක්වයි. එතුමා විසින් සොයා ගත නො හැකි ය යි දැක්වූ පාඨයන්ගෙන් සමහරක් තිබෙන මුල්තැන් සොයා ගැනීම එතරම් අපහසු නො වේ. එහෙත් සමහර පාඨ තිබෙන මුල් තැන් සොයා ගැණීම ඉතාමත් අපහසු ය. සිංහල, සියම්, බුරුම අකුරුවලින් මුද්‍රිත බොහෝ ත්‍රිපිටකග්‍රන්ථයන්හි ක්‍රමානුකූල සූචි පත්‍ර, අනුක්‍රමණිකා ආදිය නොමැති වීමත්, ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රිත පොත්හි තිබෙන ඒ සූචිපත්‍ර ආදියෙහි අසම්පූර්ණත්වයක් ඒ අපහසු බවට ප්‍රධාන හෙතුව ය යි කිය හැකි ය. මිලින්දපඤ්හයෙහි බුදුරජානන් වහන්සේ විසින් හා ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ද දෙසූ සේ දැක්වූ සමහර පාඨ ක්‍රමානුකූල පරීක්ෂනයක් කළත් වර්තමාන ත්‍රිපිටක පාළියෙන් සොයා ගත නො හැකි ය යනු සමහරුන්ගේ අදහසකි. ඒ අදහස සත්‍ය වුවොත් මිලින්ද පඤ්හයෙහි සංස්කෘත මූලකත්වය තහවුරු වෙයි.
ඌනතා
වර්තමාන මිලින්දපඤ්හය අසම්පූර්ණ ය යනු එහි ම අවසානයෙහි දැක්වේ. සම්පූර්ණ මිලින්දපඤ්හයෙහි ප්‍රශ්න තුන්සිය හතරක් ඇතුළත් විය යුතු නමුත් එයින් දෙසාළිසක් ම මේ පාළිමිලින්දපඤ්හයෙහි නැති බව සඳහන් වෙයි. ඒ ඌනත්වය කෙසේ වූයේ දැ යි නිශ්චය වශයෙන් නො කිය හැකි ය. බොහෝ සංස්කෘත ප්‍රාකෘත බෞද්ධ ග්‍රන්ථ විනාශ වී ගිය බව අපි දනිමු. මිලින්ද ප්‍රශ්නය ද එසේ විනාශයට ලං ව පැවැති අවස්ථාවක ඉතිරි ව තුබුනු කොටස පාළියට නැඟීමෙන් මේ මිලින්දපඤ්හය සකස් කළ බව සලකතොත් ඒ ඌනත්වයට හෙතුව කුමක් දැ යි සිතා ගත හැකි ය.