ලංකාශාසන කථාව

අජාසත් රජුගේ අටවෙනි වර්‍ෂයේදී බුදුරද පිරිනිවියේය. ඒ පිරිනිවි වර්‍ෂයේදීම සිංහබාහු රජුගේ පුත්‍ර වූ විජය කුමරා මේ ද්වීපයට අවුත් මෙහි මෙහි මුල් රජ වූයේ මෙය මිනිස් වාසයක් කෙළේය. ඒ විජය රජ තිස්අටවසක් මෙහි රාජ්‍යයකොට පරලොව ගියේය. ඊට අනතුරුව එක් වර්‍ෂයක් රාජ ශුන්‍ය විය. විජය රජුගේ මරණයෙන් තෙවෙනි වර්‍ෂයේදී ඒ රජුගේ මුණුබුරු වූ පණ්ඩුවාසුදේව කුමරා රාජ්‍යයට පැමිණියේය. හෙතෙම අවුරුදු තිහක් රාජ්‍යයකොට පරලොව ගියේය. ඒ වර්‍ෂයේදීම ඔහු පුත් අභය කුමරා රාජ්‍යය කෙළේය. අභය රජුගේ විසිවෙනි වර්‍ෂයේදී ඔහුගේ මුණුබුරු පණ්ඩුකාභය නම් දාමරිකයා රාජ්‍යය ගත්තේය. රාජ්‍යය ගෙන සතළොස් හවුරුද්දක් අභිෂේක නොකොට සිටියේය. අභිෂේකයෙන් පසු සැත්තෑ වසක් රාජ්‍යය කොට පරලොව ගියේය. ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත් මුටසීව රාජ්‍යයට පැමිණියේය. හෙතෙම සැටවසක් රාජ්‍යය කොට පරලොව ගියේය. මෙසේ තිස්අටක්ද එකක්ද තිසක්ද විස්සක්ද සතළොසක්ද සැත්තෑවක්ද සැටක්දැයි මේ සියල්ල එක්කොට දෙසියතිස්හය වර්‍ෂ කෙනෙක් වෙති. යම් වර්‍ෂයකදී මුටසීව රජ පරලොව ගියේද ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරා උඳුවප් මාසයේදී ප්‍රථමාභිෂේකය ලැබුවේය. හෙතෙම අශෝක රජ ඕහට වල්විදුනාවක් (=චාමරයක්) ද නළල් පටක්ද ඡත්‍රයක් ද කඩුවක්ද පාවහන් දෙකක්ද අභිෂේකෝපරණයන්ද දහම් පඬුරක් වශයෙන් රත්නත්‍රය සරණ යාමද දන්වා එවීය. ක්‍ෂත්‍රිය කන්‍යාවක්ද එවන ලදී. සියලු ඇමතියෝ ඒ අභිෂේකෝප කරණගෙන වෙසක් පුර පසළොස්වක්දා දෙවෙනි අභිෂේකය කළහ. (58-59) ස්වාමිභක්තිය ඇති ඒ ඇමතියෝ ධර්‍මාශෝක රජුගේ කීම අසා කලින් අභිෂේකයට පැමිණෙව් ලංකාවාසීන්ගේ හිත සුවයෙහි ඇලුණු ලංකේන්‍ද්‍රයා උඳුවප් මස පුරපෑළවියදා නැවත අභිෂේක කළහ.

එකල සක්දෙව්රජ මිහිඳු තෙරුන් කරා එළඹ “ස්වාමීනි, මුටසීව රජ මළේය. දැන් දේවානම්පියතිස්ස රජ රාජ්‍යය කරයි. අනාගතයෙහි මහින්‍ද නම් භික්‍ෂු නමක් තාමුපර්ණි ද්වීපය මිසදිටුවෙන් මුදවන්නේ යයි බුදුරදුන් විසින් කියන ලදී. එබැවින් දැන් ඒ දිවයිනට යාමට සුදුසු කාලයයි. මම ඔබට උපකාර වන්නෙමි”යි කීය. පියරජුගේ අභිෂේකයෙන් නවවෙනි වර්‍ෂයේදී මහින්‍ද ස්ථවිරතුමා ත්‍රිපිටකධර ගණනායකයෙක් විය. එකල පොසොන් පසළොස්වක්දා තාමුපර්ණි ද්වීපයෙහි ජෙඨමූල නම් නැකත් කෙළියක් විය. අභිෂේකයෙන් එක්මසක් ගත වූ දේවානම්පියතිස්ස තෙමේ සතළිස් දහසක් පිරිවර ඇතිව නුවරින් නික්ම දඩයම් කරනු කැමතිව මිශ්‍රක පර්‍වතයට ගියේය. එකල මිහිඳු තෙර (උපසම්පදාවෙන්) දොළොස්වස් ඇත්තේ විය. එතුමා උපාධ්‍යාය තෙරුන්ගේ ද සංඝයාගේ ද අණින් ශක්‍රයා විසින් ආරාධිත වූයේ ඉත්ථිය-උත්තිය-භද්දසාල-සම්බල යන තෙරුන් සමග වේදිස පර්‍වතයෙන් අහසට නැග අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටි මිශ්‍රක පර්‍වතයෙහි බැස්සේය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු දෙසීයකට පසු ධර්‍මාශෝක රජුගේ අභිෂේකයෙන් අටළොස්වෙනි වර්ෂයෙහි දොළොස්වස් ඇති මිහිඳු තෙර ලක්දිවට ආවේ යයි දතයුතු.

එදවස්හි අභිෂේකයෙන් එක්මස් ඇති දේවානම්පියතිස්ස තෙමේ බුදුසසුනේ පුවත් සිහිකරමින් මිශ්‍ර පර්‍වතයට ගියේය. තෙරුන් කී (60) “මහරජ, අපි ධර්‍ම රාජයන්ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු” යන්න අසා “ආර්‍ය්‍යයන් වහන්සේ ආවාහු” යයි සිතී. එදවස්හිම තෙරණුවෝ ඒ රජුට චුල්ලහත්‍ථිපදොපම සූත්‍රය දෙසි. දේශනාවසානයෙහි සමචිත්තපරියාය සූත්‍රය දෙසී. එය අවසන්හි අසංඛ්‍යයක් දෙවිවරුන්ට ධර්‍මාමෘතය පානය කරවා චේතියගිරි (=මිහින්තල)යෙහි විසී.

තෙරුන් දිවයිනට ආකාලය නිමි.

දෙවෙනිදා රජුගේ අණින් තෙරවරුන්ට බිම ආසන පැණවූහ (එය දුටු නෛමිත්තිකයෝ) “මොවුන් විසින් පොළොව ගන්නා ලදී. මොවුහු මේ දිවයිනට ස්වාමීහු වන්නාහ”යි කීහ. එදවස්හි තෙරනම ධර්‍මරත්න වර්‍ෂාව වස්වමින් දෙදහස් පන්සියයක් ප්‍රාණීන්ට ධර්‍මාමෘතය පොවා මේඝවන උයනෙහි විසී. පොසොන්මස අවපක්‍ෂයේ දෙවෙනිදා මහාමේඝවනය පිළිගත්තේය. දියබින්දු බිම වැටීම සමග පොළොව කම්පා විය. මහතෙර මේඝවන උයනෙහි සවිසි දිනක් වැස මුල් ඇසළ මස පුරතෙළෙස්වක්දා රජගෙයි දන් වළඳා රජුට අප්‍රමාද සූත්‍රය දෙසා සෑගිරියට ගියේය. ඇසළපුණු පොහෝදා අරිට්ඨ ඇමති ආදි පස්පණස් දෙනෙකුන්ද ඇමතිගේ දෙටු සොහොයුරු දෙදෙනාදැයි සත්පණස් දෙනෙකුන්[1] පැවිදි කරවිය. ඔවුහු උපසම්පදා මාලකයේදී රහත්බවට පැමිණියහ. එකල මහමිහිඳු තෙර දෙසැටක් රහතුන්ට ප්‍රමුඛ වූයේ සෑගිරියෙහි පළමු වස විසී.

මහමෙව්නා උයන පිළිගන්නා දවසේදී අනුලා දේවිය පැවිදිවෙනු කැමතිව රජුට දැනුම් දුණි. රජතෙමේ “ස්වාමීනි, අනුලාව පැවිදි වෙනු කැමතිය. ඇය පැවිදි කළ මැනවැ”යි තෙරුන්ට කීය. තෙරනම “මහරජ, මාගේ සොහොයුරියක් වූ සංඝමිත්තා නම් ස්ථවිරියක් ඇත. මේ ද්වීපයෙහි පෙර තුන් බුදුවරුන්ගේ බෝධි පිහිටියහ; අපේ බුදුන්ගේ බෝධියත් පිහිටිය යුතුය. එබැවින් සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාවක්ද රැගෙන එන සේ (ධර්‍මාශෝක රජුට) හසුන් යවනු මැනවැ”යි කීය. රජතෙම “යහපත, ස්වාමීනි”යි තෙරුන්ගේ කීම පිළිගෙන ඒ වස්කාලය තුළදීම තමාගේ බෑනා වූ අරිට්ඨ ඇමතියා මහාබෝධි ශාඛාව හා සංඝමිත්තා තෙරණිය ගෙන ඒම සඳහා යැවී. අරිට්ඨ ඇමතියා පාටලී පුත්‍රයාට ගොස් අශෝක රජුට ද සංඝමිත්තා ස්ථවිරියට ද මේ කරුණ දැන්වී. රජතෙම ආර්‍ය සංඝයා සමග මහබෝ මැඩට ගියේය. වප් පසළොස්වක්දා රජතෙමේ “ඉදින් මහාබෝධිය ලක්දිව පිහිටිය යුතු නම්, මමත් සස්නෙහි අචලශ්‍රද්ධා ඇත්තෙක් නම්, බෝධි ශාඛාව මේ රන් කටාරමෙහි පිහිටිය යුතුය”යි සත්‍යක්‍රියා කෙළේය. සත්‍යක්‍රියාව සමගම බෝඅත්ත සවස් කාලයෙහි රන් කටාරමෙහි පිහිටියේය. එකෙණෙහිම එය හිමවලා ගැබකට පිවිසී සත්දිනක් සිටියේය. සත්වෙනිදා හිමවලා ඉවත් වූ පසු මහාබෝධිය සම්පූර්‍ණ වූ කඳ-අතු-කොළ ඇතිව ගෙඩි පසක්ද ඇතිව රන් කටාරමෙහි දෘශ්‍යමානවිය අශෝක ධර්‍මරාජ තෙමේ බෝධිය දැක හටගත් ප්‍රීති ඇත්තේ මුළු දඹදිව රාජ්‍යයෙන් අභිෂේක කොට සත්දිනක් ඒ ස්ථානයෙහිම නැවතී සිටියේය. ඉක්බිති හිමවලාවේ සිටි සත්දිනය හා අභිෂේක සත්දිනය ඉක්මවා කළුවර පොහෝදා එක්දවසකින්ම පාටලි පුත්‍රයාට ගොස් ඉල්පුර පෑළවියදා මහාබෝධිය පැදුම්දෙස මහසල්ගසමුල තැබීය. රන්කටාරමෙහි පිහිටි දින පටන් සතළොස්වෙනිදා බෝධියෙහි අලුත් දලු හටගත්හ. ඒවා දැක රජතුමා නැවත දඹදිව රාජ්‍යයෙන් පිදී. ඒ කාර්තික උත්සවය පුරපස දෙවෙනිදා සිට දෙවෙනි ඉල් මාසයේ පසළොස්වක දක්වා පැවැත්තේය.

මහාබෝධි ගමනාරම්භ කාලයයි

අනු මාතෘකා
  1. මහාවංශයෙහි කියවෙන්නේ පණස්පස් දෙනෙකි.