දළඳා පැමිණීමේ කාලය

දැන් දළඳා පැමිණීමේ කාලයයි

ඒ මහාසේන රජු පරලොව ගිය පසු ඔහුගේ පුත්‍ර වූ කිත්තිස්සිරිමේඝ නම් රජ අනුරාධපුරයෙහි රාජ්‍යය කරවිය. එකල අප බුදුන්ගේ වම්දළදාව ලක්දිවට පැමිණියාය. මේ එහි පිළිවෙළ කථාවයි:-

අප බුදුන් පිරිනිවි කල්හි ඛෙම නමැති මහරහත් නමක් දර සෑයෙන් වම් දළදාව ගෙන කලිඟුරට දන්තපුර නුවර බ්‍රහ්මදත්ත රජුට දුණි. ඒ බ්‍රහ්මදත්ත රජ ඒ දළදාව අතිවිචිත්‍ර වූ දාගෙයක තබා රෑදාවල්හි නොයෙක් පූජා සත්කාරයන්ගෙන් පිදී. ආයු කෙළවරදී හෙතෙම දෙව්ලොව උපණි. ඔහුගේ ඇවෑමෙන් ඔහු පුත් කාසිරජ ඒ ධාතුව පුදා ආයු කෙළවර දිවංගත විය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් සුනන්‍ද රජ මනාසේ එය පිදී. හෙතෙමේද මරණින් මත්තෙහි දෙව්ලොව ගියේය. ඉන්පසුත් බොහෝකලක් ඒ ධාතුව රජුන්ගේ සංග්‍රහ ලබමින් ඒ දන්ත පුරයෙහි තිබුණි. ලක්දිව මහාසේන රජු රාජ්‍යය කරන කල්හි ගුහසීව නම් රජෙක් දන්තපුරයෙහි රාජ්‍යය කරවිය. ඒ රජවරු දෙදෙන ඔවුනොවුන් නුදුටු මිත්‍රයෝ වූහ. ඒ ගුහසීව රජ නිගණ්ඨයන්ට උපස්ථාන කෙළේය. ඔවුන්ගේ ලබ්ධිය ගත් බැවින් හෙතෙම ශාසනයට ගෞරව නොකෙළේය. එනුවර වැසියෝ පෙර යහමග පිළිපන් බැවින් නිතරම නොයෙක් පූජා විධියෙන් ධාතූන් වහන්සේ පිදූහ. ඔවුන් මෙසේ පිළිපදින කල්හි එක් දිනක් රජතෙම සීමැදුරු කවුළුව විවෘතකොට මහාපූජා විධානයක් දැක “මේ මිනිස්සු කිනම් උත්සවයක් කෙරෙත්දැ”යි අමතියෙකුගෙන් විචාළේය. බුද්ධමාමක වූ ඒ ඇමතියා බුදුන්ගේ අප්‍රමේය ගුණයන් කියා “මහරජ, පෙර රජවරු මෙසේ පිළිපැද දෙව්ලොව ගියාහ”යි කීය. රජතෙම ඔහුගේ කීම අසා මිසදිටුව අතහැර රත්නත්‍රයෙහි පැහැදුණි. පැහැද ඒ සියලු නිවටුන් සියරටින් පිටුවහල් කෙළේය. එකල නිවටහු පැළලුප් නුවර වසන මුළු දඹදිවට අධිපති වූ පණ්ඩු රජු කරා එළඹ “මහරජ, ගුහසීව නමැති ප්‍රාදේශික රජ ඔබ ගරු කරන ශිව-බ්‍රහ්මාදි දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට වඳීය”යි කේලාම් කීහ. නිවටුන්ගේ කීම ඇසූ ඒ රජ කිපියේ චිත්‍රයාන නැමැති අන් ප්‍රාදේශික රජකු අමතා “කලිඟු රටට ගොස් ගුහසීව රජුද ඔහු පුදන මිනී ඇටයද ගෙනෙවයි”යි අණ කළේය. චිත්‍රයාන තෙමේ සිවුරඟ සෙනග සන්නද්ධකොට ගෙන කලිඟු රටට ගොස් ගුහසීව රජුට ඒ කාරණය කියා ඒ රජු ද ඔහු පිදූ දන්තධාතුව ද ගෙනවුත් පණ්ඩු රජුට දැක්විය. පණ්ඩු රජ “අඟුරු රැසක දමා ඒ ධාතුව දවව්” යයි නිගණ්ඨයන්ට කීය. ඒ නිවටහු තුටුපහටුව එසේ කළහ. එකෙණෙහි රථ රෝදයක් පමණ වූ මහපියුමක් දළදාව පිළිගති. ඒ ආශ්වර්‍යය දැක මිනිස්සු සිය ගණන් සාධුකාර දී නොයෙක් සත්කාරයෙන් පුදා ස්තූති කළහ. ඉක්බිති රජතුමා කිණිහිරයක ධාතුව තබා කුළුගෙඩියකින් තැළවිය. දළදා තොමෝ කිණිහිරයෙහි බාගයක් ගිලී බාගයක් පෙනෙමින් කඳු මුදුනකින් අඩක් නැගුණු සඳ මෙන් පෙනුණි. රජ ඒ ආශ්වර්‍යය දැක විස්මිත සිතැත්තේ විය. එකල ඊර්‍ෂ්‍යාවෙන් මැඩුණු එක් නිගණ්ඨයෙක් පඬු රජුට මෙසේ කීය. “මහරජ, මෙය විෂ්ණුගේ ශරීරයේ කොටසක් බැවින් මෙසේ මහානුභාව ඇත්තේය. එසේ නොවේනම් මෙවැනි ආනුභාවයක් කෙසේ ඇතිවන්නේදැ”යි. “එසේ නම් විෂ්ණුගේ ආනුභාවයෙන් මෙය කිණිහිරයෙන් මුදා ගනිව්” යයි රජ නිවටුන්ට කීය. ඔවුහු එය වෙත ගොස් නොයෙක් ලෙසින් උත්සාහ කරන්නාහුද එය කිණිහිරයෙන් ගලවා ගන්ට අසමර්‍ථ වූහ. එකල ඒ රජ නිවටුන් පිළිකුල් කරමින් එය නික්මවන පිළිවෙළක් සොයන්නේ “යමෙක් මෙය පිටතට ගන්ට සමර්‍ථ නම් හෙතෙම මහත් ධනයක් ලබන්නේය”යි නුවර බෙර හැසිරවිය. එකල සුභද්‍ර නමැති බුද්ධමාමක වූ සිටුපුත් මාලාකාරයෙක් නොයෙක් සත්‍ය ක්‍රියායෙන් පසු නොයෙක් ප්‍රාතිහාර්‍ය දක්වමින් ධාතුව පිටතට ගත්තේය. එකල නිගණ්ඨයෝ එය ඔහුගේ විද්‍යාබලයකැ”යි රජුට කීහ. රජතෙම මොවුන් විශ්වාස කරන විධියක් කරවයි සුභද්‍රට කීය. සුභද්‍රතෙමේ නොයෙක් ආශ්වර්‍යයන් පෙන්වා මහජනයාට විශ්වාස කරවිය. නිගණ්ඨයෝ ඒවා ඔහුගේ වඤ්චාවල් යයි මෝඩ රජුට අවබෝධ කරවා ඉතා පිළිකුල් කටයුතු දියඅඟලක එය දැමූහ. එකෙණෙහි ඒ දියඅඟල නන්‍දා පොකුණ මෙන් නොයෙක් මලින් ගැවසුණු උතුම් සුවඳ ඇත්තක් විය. එකල සත්පුරුෂයෝ නොයෙක් සියගණන් දහස්ගණන් සාධුකාරයන් පැවැත්වූහ. නොයෙක් ආශ්වර්‍යද පහළවූහ. නොසිතිය හැකි ඒ පුදුම දැක ඇමතිවරු රජු කරා ගොස් නොයෙක් කරුණු කියා ඔහුට අවබෝධයක් ඇති කළහ. කරුණු සහිත වූ ඔවුන්ගේ කීම අසා රජතෙමේ සැක දුරුකොට ධාතුව කෙරෙහි පැහැද “දැන් ධාතූන්වහන්සේ දිය අඟලෙන් ගෙනව්; මමත් පුදන්නෙමි”යි කීය. එකල රජතුමා නොයෙක් ප්‍රාතිහාර්‍ය දැකීමෙන් වැඩිදුරත් ධාතුව කෙරෙහි පැහැද ඉතා විසිතුරු මන්දිරයක එය තැන්පත්කොට නොයෙක් පූජා විධියෙන්ද තමාගේ රාජ්‍යශ්‍රීයෙන් ද පිදී.

එකල ඛීරධාර නම් රජෙක් සිවුරඟ සෙනග පිරිවරා යුද පිණිස අවුත් පාටලීපුත්‍ර නුවර වට කෙළේය. පණ්ඩු රජ එසේම සෙනග පිරිවරාගෙන ගොස් ඛීරධාර රජු නසා ලැබූ ජය ඇත්තේ විය. පණ්ඩු රජ ගුහසීව රජුට නොයෙක් සම්පතින් සංග්‍රහකොට දළදාව බාර දී පිටත් කෙළේය. පසුකලක තමාගේ දුවගේ හිමියාට රාජ්‍යය පාවාදී පරලොව ගියේය. ගුහසීව තෙමේ දළදාව දන්තපුරයට ගෙන ගොස් බොහෝකලක් පිදී. හෙතෙම උදේනි රජුගේ පුත්‍ර වූද තමාගේ බෑනා වූද දන්ත කුමාරයාට හේමාජාලා[1] නමැති තමාගේ දුව පාවා දුණි. ඛීරධාර රජුගේ බෑනාවරු වූ රජකුමරහු බලයෙන් යුක්ත වූවාහු සේනා රැස්කොට දළදාව ගැනීම සඳහා දන්තපුරයට ආහ. එයසා ගුහසීව රජ දන්ත කුමරු අමතා “දරුව, මාගේ ජීවිතය ඇතිකල්හි දළදාව අනිකකුට නොදෙන්නෙමි. ඉදින් මම ඒ රජකුමරුන් පරදවන්ට නොහැකි වන්නෙම් නම් තෝ දළදාව ගෙන බමුණු වෙසින් ලක්දිවට යව. ලක්දිව මහාසේන රජ මාගේ ප්‍රිය මිත්‍රයෙකැ”යි කීය. එසේ කියා යුද පිණිස සැරසී සේනාව සමග නික්ම ගොස් ඒ රජකුමරුන් හා යුද්ධ කරන්නේ මරණයට පත්විය. දන්ත කුමරා ඒ ශෝකජනක පුවත අසා වහ වහා දළදාව ගෙන බමුණු වෙසින් දකුණු දෙසට ගොස් පිරී තිබුණු මහානදිය දේවතානුභාවයෙන් එතරකොට වැලි ගොඩක් යට දළදාව තැබීය. එසේ තබා නැවත නුවරට ගොස් වෙස් මාරු කළ තමාගේ බිරියද රැගෙන වහා එහි ගොස් භාර්‍යාව සමග ධාතුව තැබූ තැනට නුදුරු තැනක එක් වනලැහැබක සැඟවී සිටියේය. එකල ෂඩභිඥා ඇති එක්තෙර නමක් අහසින් යන්නේ බැබළෙන වැලිගොඩ දැක එහි බස දළදාව වැන්දේය. ඒ අඹු සැමිදෙදෙන තෙරුන් දැක වැඳ සියලු ප්‍රවෘත්ති කීහ. තෙරනම “ඉදින් තොපට යන මගදී උවදුරක් ඇතිවුවහොත් මා සිහි කරව්” යයි කියා ඔවුන්ට යොග්‍ය ධර්‍මයක් දෙසා පිටත්ව ගියේය. එකල පණ්ඩුහාර නැමැති නාරජ නාග භවනයෙන් නික්ම ඇවිදින්නේ එහි තිබුණු රත්නමය දා කරඬුව ගිල තමාගේ දරණින් මහමෙර මුල වටකොට ගෙන වැදහොත්තේය. පසුදා අඹු සැමි දෙදෙන යනු කැමැත්තාහු ධාතුව තැබූ තැන වැලිගොඩට ගොස් දළදාව නොදැක කඳුලු වගුරුවා හඬමින් මහතෙරුන් සිහිපත් කළහ. ඉක්බිති තෙරනම ඔවුන්ගේ සිතුවිල්ල දැන දා කරඬුව ගිල මේරු පාදයෙහි හොත් නා රජු දිවැසින් දැක මහ ගුරුළු වෙසක් මවාගෙන මහමූද දෙබෑ කරමින් එහි ගියේය. එකල ඉතා බිය වූ නාරජ නාගවේශය අත්හැර තරුණයකුගේ වෙසින් තෙරුන් වෙත පැමිණ “ස්වාමීනි, මේ ධාතුවගේ ආනුභාවයෙන් නාගාත්මයෙන් මිදී සුගතියට යන්නෙමියි සිතා මෙය ගත්තෙමි”යි කීය. තෙරනම “මහරජ, මේ ධාතුව සත්‍යාවබෝධයට යෝග්‍ය වූ මිනිසුන්ට සුදුසු බැවින් ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එබැවින් වහා මට දෙව”යි නාරජුට කීය. නාරද තෙරුන්ට එය දුණි. තෙරනම එය ගෙනවුත් අඹුසැමි යුවලට දී හැරී ගියේය.

අඹු සැමියෝ දළදාවගේ ආනුභාවයෙන් දෙවියන් විසින් රක්නා ලද්දාහු තාම්‍රලිප්ති තොටට පැමිණියාහ. බමුණු වෙස්ගත් ඒ රජ කුමර කුමරියෝ වෙළඳුන් හා නැවක නැග මූද තරණය කළහ. නාගයෝ නාග භවනයෙන් නික්ම මහත් ධාතු පූජාවක් කරමින් සත්දිනක් මූද මැද නැව නිශ්චල කළහ. නැවියෝ මරණ භයින් බියපත් වූහ. එකල අඹු සැමියෝ තෙරුන් සිහිපත් කළහ. එකෙණෙහි තෙරනම එකරුණ දැන ගුරුළු වෙස් ගෙන නාගයන් එළවා දැම්මේය. තෙරුන්ගේ සෘද්ධියෙන් නැව එකෙණෙහිම ලක්දිව වරායකට පැමිණියාය. එකල ලක්දිව මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජුගේ නවවෙනි රාජ්‍යය වර්‍ෂය විය. ඔවුන් පැමිණි දින සවස ඒ දෙමහල්ලෝ දේවාලයක විසූහ. බමුණු වෙස් දැරූ ඔවුන් දුටු රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා ඔවුන්ට මනා සේ සත්කාරකොට පසුදා ඔවුන්ට අනුරාධපුරයට යන මග පෙන්විය. ඔවුහු ක්‍රමයෙන් ගොස් අනුරාධපුරය අසල ගමකට පැමිණියහ. එහිදී මහාසේන රජුගේ මරණය අසා බලවත් ශෝකයෙන් කඳුලු වැගිරවූහ. නැවත මහසෙන් රජු පුත් කිත්තිස්සිරිමේඝ රජු රත්නත්‍රයමාමක බව අසා ශෝකය දුරු කළහ. ඔවුහු අනුරාධපුරයේ වයඹ දෙසැ පිහිටි මේඝගිරි මහා විහාරයෙහි රාජවල්ලභ වූ එක් මහතෙර නමක් වෙත ගොස් තෙරුන්ට ධාතුව පිළිබඳ ප්‍රවෘත්ති කීහ. එයැසූ මහතෙර තුටුපහටු වූයේ තමා වසන කුටියෙහි දළදාව තබා ඔවුන්ට සංග්‍රහකොට දළදා පැමිණි පුවත රජුට දැන්වීම සඳහා එක් භික්‍ෂු නමක් යැවී. එදවස්හි රජතෙම නාටිකාවන් පිරිවරාගෙන උයනට ගොස් වසන්ත ක්‍රීඩා සුව අනුභව කරන්නේ ඒ භික්‍ෂු නම කී දළදා පුවත අසා චක්‍රරත්නය ලැබූවකු මෙන් උසස් ප්‍රීතියට පත්විය.

“බමුණුවෙස් දරන අඹුසැමි දෙදෙනෙක් සර්‍වඥ දන්ත ධාතුව රැගෙන නොබෝකලකින් මෙහි එන්නාහ” යන නෛමිත්තකයන්ගේ කීම රජ කලින්ම අසා තිබුණි. එබැවින් මේ හස්න අසා රජතෙමේ උයනින් නික්ම මේඝගිරි විහාරයට ගොස් දළදාවගේ

නොයෙක් ප්‍රාතිහාර්‍යයන් දැක අධික ප්‍රීති ඇත්තේ නොයෙක් පූජා විධියෙන් සත්කාරකොට එසවූ සේසතක් ඇති සුදු අසුන් යෙදූ උතුම් රථයක දළදාව තබා මුළු නුවර කළඹවමින් තුති ගී කියවමින් අනුරාධපුරයට ගෙනාවේය. ගෙනවුත් නොයෙක් රත්න වර්‍ග එබ්බූ ධාතු මන්‍දිරයෙක්හි සිංහාසනයක තබා නිතර නොයෙක් පූජා විධියෙන් උපස්ථාන කෙළේය. ඒ අඹුසැමි දෙදෙනට මහත් සත්කාරකොට යොග්‍ය තනතුරු ද දුණි. ඒ රජ දළදාව පුදා මහ පින් රැසක් ලබාගෙන මරණින් මතු දෙව්ලොව උපණි. මෙසේ ඒ දළදාව ලක්දිව රජුන්ගේ දරුමුණුබුරු පරම්පරා විසින් පුදනු ලබන්නී ද්වීපවාසීන්ගේ උත්තම පූජා විශේෂයන්ට භාජන විය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු අටසිය සතළිසකට පසු බුදුන්ගේ වම් දළදාව ලක්දිව පිහිටියේ යයි දතයුතු.

දළදා පැමිණි කාලය නිමියේයි.

ඉන්පසුකලක බුද්ධදත්තාචාර්‍යතුමාද බුද්ධඝොෂාචාර්‍යතුමාද දඹදිව ප්‍රකට වූහ. එයින් බුද්ධදත්තාචාර්‍යතුමා ලක්දිවට ගොස් ජිනාලංකාරය, දන්ත ධාතුවංසය, බෝධිවංසය යන ග්‍රන්ථ තුන සම්පාදනය කොට හැරී ආවේය.[2] එතුමා දඹදිවට අවුත් අභිධම්මාවතාරය ද උත්තරවිනිච්ඡය සහිත විනයවිනිච්ඡය මධුරත්‍ථවිලාසිනී නමැති බුද්ධවංස අටුවාව ද කෙළේය. බුද්ධඝොෂාචාර්‍යතුමා බුද්ධධර්‍මය සිහළ බසින් ලියා තිබුණා වූද රහතුන් විසින් පොත්වල ලියනු ලැබුවා වූද බුද්ධ වචනය හෙල බසින් මගධ භාෂාවට පෙරළා ලියෙව්වේය යන්න පරම්පරාගත බුද්ධඝෝෂ චරිත කථාවෙහි ප්‍රකටයි. ජිනාලංකාර වර්‍ණනාවෙහි වනාහි: (86.) අවුරුදු එක්දහස් සත්සියයක් ගතවූ කල්හි ලක්දිව රුහුණු දනව්වේ පිරිසිදු වංශයක උපන් පතළ කීර්ති ඇති (87.) භික්‍ෂු සමූහයාට ඉගැන්වීම කරගන්නා වූ බුද්ධරක්‍ඛිත නැමැති ඒ තෙරනම (88) ඉතා තියුණු වූ නුවණ නමැති කඩුවෙන් මාරසේනාව ජයගත් බුදුරදුන් ජිනාලංකාර නමැති අලංකාරයෙන් සැරසුවේය”යි කියන ලදී.

බුදුන් පිරිනිවීමෙන් අවුරුදු එක්දහස් සත්සියසත්සාළිස්වෙනි වර්‍ෂයේදී ශකරාජ වර්‍ෂයෙන් පන්සිය සැටපහක් වූ කුඤ්ජර වර්‍ෂයේදී සිරිතිභුවනාදිච්ච නැමැති ධාර්මික රජුගේ අගමෙහෙසි වූ දක්ඛිණ දේවියගේ පුත්‍ර වූ පුණ්ණගාම නමැති අරිමද්දන පුරයට අධිපති වූ සිංඝවිජය රජු විසින් බෝධිවංසටීකාව ලියවන ලදී. එහෙයින් කියන ලදී. (89.) මනාසේ පුදනු ලබන බුදුරදුන්ගේ පිරිනිවීමෙන් එක්දහස් සත්සිය සත්සාළිසක් ගත වූ කල්හි (90.) මේ රටෙහි රටවාසීන් පිළිගත් ශකරාජ වර්‍ෂයෙන් පන්සිය හැටපස් වසක් ඉක්මි කල්හි” යයි[3]

  1. අපේ පොත්වල හේමමාලායි පෙනේ.

  2. මෙකීම බුද්ධඝොසුප්පත්තිය අනුව ගොස් කී අසත්‍ය කථාවකි. බුද්ධඝොසුප්පත්තියේ වැරදි ඇති බව මේ කර්‍තෘවරයා විසින්ම පසුව දක්වා තිබේ.

  3. මේ වර්‍ෂ සංඛ්‍යා පෙන්වීමෙන් අදහස් කරන්නේ ජිනාලංකාර-බෝධිවංස දෙක බුද්ධත්තාචාර්‍ය්‍යන් නොලීබවයි.