72. ඊට අනතුරුව උත්තිය රජුගේ බාලසොහොයුරු වූ සත්පුරුෂ සේවනය ඇති මහාසීව තෙමේ දසවසක් රාජ්‍යය කෙළේය. මහාසීවගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු සූරතිස්ස තෙමේ පණස් හැවිරිදි කල්හි කරන ලද අභිෂේක ඇත්තේ දසවසක් රාජ්‍යය කෙළේය. (73.) රත්නත්‍රය මාමක වූ සූරතිස්ස රජ සැටවයස් ඇත්තේ දසඅවුරුද්දක් රාජ්‍යය කෙළේය. දෙමළ නාවිකයකුගේ පුත්‍ර වූ සේනය ගුත්තිකය යන දෙදෙන මහත් බල ඇත්තාහු සූරතිස්ස රජු නසා දෙවිසිවසක් ධර්‍මයෙන් රාජ්‍යය කළහ. ඉක්බිති අභය-දේවානම්පියතිස්ස-උත්තිය-මහාසීව-මත්තාභය-මහානාග-සූරතිස්ස-කනක යන අටදෙනට නවවෙනි වූ අසේල නමැති මුටසීව රජුගේ පුත්‍රයා ඒ දෙමළුන් දෙදෙන නසා දසවසක් රාජ්‍යය කරවිය.
74. එළාර නමැති රජ අසේල රජු මරා සූසාළිස් වසක් රාජ්‍යය කෙළේය.
දැන් දකුණු දළදාව හා ලලාට ධාතුව ආ සැටි කියයුතු.
ධාතු බෙදන කල වනාහි බුදුන්ගේ ලලාට ධාතුව කුසිනාරාවැසි මල්ලයන්ගේ කොටසෙහි විය. මහාකාශ්‍යප ස්ථවිරතුමා “බුදුරද වැඩ සිටියදීම ලලාට ධාතුව තාම්‍රපර්ණි ද්වීපයෙහි පිහිටිය යුතු යයි අනුදත් සේක; එබැවින් එය මට දුන මැනවැ”යි මල්ල රජුන්ට කියා ඉල්ලා ගත්තේය. එය රැගෙන තමාගේ ශිෂ්‍ය වූ නන්‍ද තෙරුන්ට පාවාදී “කාකවණ්ණතිස්ස නම් රජ මේ ලලාට ධාතුව තාම්‍රපර්ණි ද්වීපයෙහි සේරුවිල කෙළවරෙහි වරාහ නමැති ගල් පොකුණ මත්තෙහි පිහිටුවා චෛත්‍යයක් සහිත සංඝාරාමයක් කරවන්නේය”යි ධාතු වංශය කියා “ඔබ මේ ධාතුව වේසාලියෙහි මහාවනයේ කූටාගාර ශාලාවෙහි බුදුන් වැඩවිසූ ගඳකිළියෙහි තබා පූජාකොට ජීවිතාවසානයෙහි තමාගේ ශිෂ්‍යයකුට ධාතුවංශය කිය යුතුය”යි වදාරා පිරිනිවියේය. නන්‍ද මහාස්ථවිරතුමා ඒ කී සේ පිළිපැද්දේය. එතුමාගේ ශිෂ්‍ය වූ චන්‍ද්‍රගුත්ත තෙර නමද එසේ පිළිපදිමින් සැවත් නුවර ජේතවනයෙහි බුදුන් විසූ ගඳකිළියෙහි තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය භද්දසේන තෙර එසේ පිළිපදිමින් බරණැස ඉසිපතනයෙහි තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය වූ ජයසේන තෙරනම රජගහවෙහි වේළුවනයේ ගඳකිළියෙහි තබා පුදා පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය මහාසංඝරක්‍ඛිත තෙර එසේ පිළිපදිමින් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ගඳකිළියේ තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය මහාදේවතෙර ඒ ධාතුව ගෙන අහසට නැග මහානාග නම් උපරජු ලක්දිව රුහුණු දනව්වේ මාගම සේසත් නැංවූ කල්හි හත්ථෝදනව්වෙහි (?) කුක්කුට පබ්බත කන්‍දරයෙහි මහසල් ගස මුලට අහසින් බැස්සේය. එකල්හි මහාකාළ නමැති උපාසකයෙක් අඹදරුවන් සහිතව ඒ තෙරුන්ද ධාතූන් වහන්සේද මනාසේ පරිහරණයකොට දිගුකලක් විසී. පෝය දිනයන්හි ඒ ධාතුවෙන් සවණක් රැස් විහිදුණාහ. ඒ පෙදෙස බුදුන් ජීවත්වන පෙදෙස මෙන් විය.
මේ මහානාග රජ කවරෙක්ද යත්? දෙවනපෑතිස් රජුගේ දෙවෙනි සොහොයුරු යුවරජ මහානාග නමැත්තේ විය. හෙතෙම සොහොයුරාගේ භාර්‍යා වූ දේවියට බිය වූයේ තමාගේ දේවියද බලවාහනයන් ද රැගෙන රුහුණට ගියේය. ඔහුගේ මෙහෙසිය අතරමග ලංකා විහාරයේදී[1] පුතකු වැදී. සොහොයුරාගේ ද විහාරයේද නම් ගෙන ඔහුට ලංකාතිස්ස යයි නම් කෙළේය. යුවරජ එතැනින් ගොස් මාගම වසන්නේ රුහුණු පෙදෙසේ රාජ්‍යය කෙළේය. ඉක්බිති එක්දිනක් රජතුමා මහාකාළ උපාසකයාගෙන් ධාතුප්‍රවෘත්තිය අසා ඔහු මාගර් දේශකයා කරගෙන සිවුරඟ සෙනග සමග මහාදේව තෙරුන් වෙත ගොස් වැඳ මෙසේ කීය: “ස්වාමීනි, ඔබ සමීපයෙහි අපගේ බුදුරදුන්ගේ ලලාට ධාතුව ඇතැයි ඇසීමි; එය ගෙනයන්ට ආවෙමි”යි. තෙරනම යහපතැයි කියා රජුට ධාතූන් වහන්සේ පෙන්වීය. රජ ධාතුප්‍රාතිහාර්‍යය දැක තුටුපහටු වූයේ එය ඉල්විය. තෙරනම “මහරජ බුදුරද ජීවමාන කල්හි කාවන්තිස්ස නම් රජෙක් මේ දිවයිනේ මහවැලි ගඟේ දකුණු ඉවුරේ සේරු නමැති විල කෙළවර වරාහසොණ්ඩිය මත්තෙහි මේ ධාතුව පිහිටුවා මහාසෑයක් කරවන්නේ යයි ප්‍රකාශකොට එතැන්හි සමවතට සමවැදුණේය. එබැවින් මෙය ගත මැනවැ”යි කියා ධාතුව දුණි. පිරිවර සහිත රජ මහාසත්කාරයෙන් ධාතුනම මාගමට ගෙන ගොස් රාජ භවනයෙන් නුදුරු තැන දාගෙයක් කරවා එහි දාකරඬුව තබා නිරන්තරයෙන් සත්කාර කරමින් දිගුකලක් විසී. පසුකලක රජතුමා තමාගේ පුත්‍ර වූ ලංකාතිස්ස කුමරුට “දරුව, මා පිදූ ධාතූන් වහන්සේ පුදව”යි කියා ධාතුවංශය ද කියාදී ස්වර්‍ගපරායණ විය. ඒ රජු ඇවෑමෙන් ලංකාතිස්ස රජ ද මහාසත්කාර කරමින් රාජ්‍යය කරවිය. අන්තිම කාලයේ දී පෙර කී ලෙස තමාගේ පුත්‍ර වූ ගෝඨාභය කුමරුට ධාතුව පාවාදී දිවංගත විය. ඔහු ඇවෑමෙන් ගෝඨාභය තෙමේ රාජ්‍යය කරවන්නේ එසේම පිළිපැද්දේය. අන්තිම කාලයේදී සියපුත් කාවන්තිස්ස කුමරුට ධාතුවංශය කියා “මගේ ඇවෑමෙන් මේ ධාතුව එකී තැන පිහිටුවව”යි අනුශාසනාකොට දෙව්ලොව ගියේය.
ඔහු ඇවෑමෙන් කාවන්තිස්ස කුමරා රාජ්‍යය කරවිය. ඔහු කවුඩන්ගේ බස දන්නා බැවින් මෙනම් ඇත්තේ විය. කැළණියේ රජුගේ දූ වූ විහාරදේවිය ඔහුගේ අගමෙහෙසි විය. ඒ දේවිය ගාමිණීඅභය, තිස්ස යන පුතුන් දෙදෙනෙකු වැදී. කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමදේවිය කැළණියේ සිවමහරජුගේ බෑනා වූ අභයරාජ කුමාරයාගේ අගමෙහෙසි විය. ඒ අභයරජ කුමරා ගිරිනුවර රාජ්‍යය කරවන කල්හි කාවන්තිස්ස රජ තමාගේ පුත් ගැමුණු කුමරු කැඳවා “පුත්‍රය, තෝ ගිරිනුවරට වසව”යි කියා ඇමතියෙකු ඔහුගේ පිය තනතුරෙහි තබා ගිරිනුවරට යැවී. පසුකලක ගැමුණු කුමරු හා කුලය පිළිබඳ ක්‍ෂත්‍රිය විවාදයක් නිසා ඒ අභයරජ තමාගේ දේවිය හා බලවාහන ගෙන සේරු නුවරට ගියේය. සිව නමැති සේරු නුවර රජ අභය රජුගේ මිතුරෙක් විය. සේරු රජ විල්කෙළවර රම්‍යභූමි භාගයක නුවරක් මවා අභය රජුට දුණි. අභය රජ ඒ නුවරට දේවියගේ නම අනුව සෝමනුවර යයි නම් තැබී. සමෘද්ධ වූ ඒ නගරයෙහි අභය රජ රාජ්‍යය කෙළේය.
පසුකලක සෝමදේවිය රජු අමතා “දේවයෙනි, අපේ නුවර චෛත්‍යයක් හා විහාරයක් නැත. එබැවින් චෛත්‍යයක් හා විහාරයක් කරවීම වටී” යයි කීය. රජතෙම යහපතැයි කියා විහාරයට සුදුසු බිමක් සොයන්නේ නුවරට ඉතා දුර නොවූත් ඉතා ළං නොවූත් සල් වනයක් දුටුවේය. ඒ වෙනෙහි මහාඅරිට්ඨ තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්‍ද නම් තෙර නමක් සැටනමක් භික්‍ෂූන් සමග වාසය කරයි. රජතෙම ඒ තෙරුන්ට පැහැදී සල් වනයෙහි විහාරයක්ද දාගැබක්ද සාදවා “ස්වාමීනි, ධාතු කොහෙන් ලබාගන්නෙම්දැ”යි තෙරුන්ගෙන් විචාළේය. එකල තෙරනම තමා විසින් පුදන ලද බුදුන්ගේ දකුණු දළදාව රජුට දුණි. රජ තුටුපහටු වූයේ යහපත් නැකතකින් එය දාගැබෙහි පිහිටුවා අතිමනෝහර වූ දිය බුබුළක් හා කෛලාශ කූටය වැනි වූ චෛත්‍යයක් සෑදවිය. රජතෙම දේවිය සමග ධාතූන් වහන්සේට මහත් සත්කාර කරමින් මිහිඳු තෙරුන් ප්‍රමුඛ සංඝයාට මහදන් දෙමින් රාජ්‍යය කරවිය.
75. රම්‍ය වූ සමෘද්ධ වූ සෝම නම් නගරයෙහි ගිරිරාජවංශ ඇති රජ ද අරිට්ඨවංශ ඇති මිහිඳු තෙර ද දකුණු දළදාව පිහිටෙව්වාහ.
මෙසේ දකුණු දළදා පිහිටි කාලය නිමියේයි.
ඉන්පසු විහාර දේවියගේ සොහොයුරු වූ චූලපිණ්ඩපාතික තිස්සතෙර එක් දිනක් කාවන්තිස්ස රජුගේ ආයුෂ ප්‍රමාණය බලන්නේ ඉතිරිව තිබෙන්නේ ටික කොටසක් බව දැක පසුදා රජු වෙත ගොස් මෙසේ කී: “මහරජ, බුදුන් ජීවමාන කල්හිම දැන් මේ ඔබ පුදන ලලාට ධාතුව අරබයා “අනාගතයෙහි මහවැලි ගඟේ දකුණු පැත්තෙහි සේරු නම් විලේ කෙළවර වරාහ නම් ගල් පොකුණ මත්තෙහි කාකවණ්ණතිස්ස නම් රජෙක් මෙය පිහිටුවන්නේය”යි වදාළ සේක. ඒ නිසා බුදුරද (මෙහි පැමිණිවිට) ඒ ස්ථානයෙහි සමවතට සමවැදුණි. මේ ගැන ඔබ කල්පනා කළ යුතුය”යි. රජ තමාගේ පියා මරණ මඤ්චකයේදී කී වචන සිහිපත් කරන්නේද ධාතුවට ආලය ඇති බැවින් එය නිදන් කරන්ට නොසිතුවේය. දැන් තෙරුන්ගේ කීම අසා පියා කී දෙයද සිහිකරමින් “යහපත, ස්වාමීනි”යි උත්තර දුණි. ඒ රජ සේරු නුවර සිවරජය, සෝණ නුවර මහානාග රජය, සෝමනුවර ගිරිඅබා රජය යන තුන් රජුන්ට ප්‍රධාන වූයේ ඒ රජුන් හා එක්ව වෙසක් පසළොස්වක්දා විසා නැකතින් ධාතු පිහිටුවීම සඳහා මුල් ගල් තැබීය. දාගැබ නිමිකල්හි රජතෙම තෙරවරුන් අමතා “ස්වාමීනි, ධාතූන් නිදන් කරන ගර්‍භය නිමියේය; හෙට රෙහෙණ නැකතින් ධාතු නිදන් කරන්නෙමි. ඔබවහන්සේ කේශධාතු ගැන සෙවිය යුතුය”යි තිස්ස තෙරුන්ට එය භාර කළේය. තෙරනම තමාගේ ශිෂ්‍ය වූ සීව තෙරුන්ට “ඇවැත්නි, භූමින්‍ධර නාග භවනයෙහි ජයසෙන නම් නා රජෙක් වසයි. හෙතෙම තපුස්ස-භල්ලික නම් වෙළඳ දෙබෑයන් පිදූ කේශධාතු පුදයි හෙට ඒ ධාතු ගෙනවුත් රජුට දුන මැනවැයි”යි කීය. පසුදා සීවතෙර භූමින්‍ධර නාග භවනයට ගොස් ජයසේන නා රජු සමීපයෙන් කේශධාතු ගෙනාවේය. චූලපිණ්ඩපාතිකතිස්ස තෙරය, මහාසාගල තෙරය, මහින්‍ද තෙරය යන තුන්නම හා නොයෙක් සියගණන් භික්‍ෂු පිරිසද කාවන්තිස්ස රජු ප්‍රමුඛ රජවරු සතර දෙනද මහවැලි ගඟෙන් දකුණු පැත්තේ සේරු නමැති විල් කෙළවරෙහි වරාහ නමැති ගල්පොකුණ මත්තෙහි බුදුන්ගේ ලලාට ධාතුව පිහිටෙව්වාහුය. එසේ පිහිටුවා රජතෙමේ දිය බුබුළක් හා කෛලාශ කූටය වැනි වූ මහාසෑයක් කරවිය. එහි සියලු වැඩ නිමවා නොයෙක් සත්කාර සම්මානයෙන් නිතර පිදී.
79. උතුම් රුහුණු දනව්වෙහි අභිෂේකයට පැමිණ කඩුවන්ගේ භාෂාව දන්නා තිස්ස රජ තෙමේ බුදුන් කෙරෙහි පැහැදුනේ බුදුරදුන්ගේ උතුම් ලලාට ධාතුව පිහිටෙව්වේය. කාවන්තිස්ස රජ සූ සැට අවුරුද්දක් නොයෙක් පින් රැස්කොට ස්වර්‍ගපරායණ විය.
ලලාට ධාතුව පිහිටීමේ කාලය නිමියේයි.
කාවන්තිස්ස රජු ඇවෑමෙන් ඔහුගේ බාලපුත් තිස්ස කුමරා දිගා වැවෙන් අවුත් පියාගේ ශරීර කෘත්‍ය කරවා මවද කුණ්ඩල ඇතාද[2] ගෙන සොහොයුරාට බියෙන් දිගා වැවට ගියේය. රජුගේ දෙටු පුත් ගාමිණීඅභය කුමරා සොළොස් හැවිරිදි කල්හි පියරජු විසින් සිරකරනු ලැබීමට බියෙන් මලය දේශයට (-කඳුරටට) පලා ගියේය. එකල කඳු රටින් අවුත් මාගමදී අභිෂේක ලද්දේය. කුණ්ඩල ඇතා අරබයා ඒ දෙටු-කණිටු සොහොයුරන්ගේ විවාදයක් ඇතිවී චුල්ල ගණ පිටියේදී යුද්ධයක් පැවති කල්හි තිස්ස කුමරා දිනුවේය. දෙවෙනිවර ගැමුණු කුමරා හැටදහසක් භට සෙනග ගෙන යුද්ධකොට දිනී. තෙරවරු සොහොයුරන් දෙදෙන සමගි කරවා සමා කරවූහ. දුට්ඨගාමිණී අභයරජ ජයකොන්තයෙහි ධාතු නිදන්කොට බලවාහන රැගෙන තිස්සමහාරාමයට ගොස් සංඝයාට වැඳ “ස්වාමීනි, ශාසනය බැබළවීම සඳහා ගඟෙන් එතෙර යන්නෙමි. අපට පින් කෙත් වීම පිණිස අප හා යාමට භික්‍ෂූන් දුන මැනවැ”යි කීය. සංඝතෙමේ පන්සියයක් භික්‍ෂූන් දුණි. රජතෙම සංඝයා ගෙන කුණ්ඩල ඇතු පිට නැගී දශමහා යෝධයන් හා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන යුද පිණිස නික්ම මහියංගණයට ගොස් එහි දෙමළුන් හා යුද කරන්නේ එහි කඤ්චුක ථූපයක් (වැස්මක් මෙන් උඩින් බැඳී සෑයක්) කරවිය.
බුදුරද බුද්ධත්‍වයෙන් නවවෙනි මාසයේදී මේ දිවයිනට පැමිණ ගංඉවුරෙහි වූ මහානාග වන උයනෙහි දැන් මහියංගණ චෛත්‍යය පිහිටි තැන අහසෙහි වැඩ සිට යකුන් දමනය කොට වැඩියේය. බුදුන් පිරිනිවි කල්හි සැරියුත් මහතෙරුන්ගේ අතවැසි සරභූ නම් එක් තෙරනමක් ග්‍රීවාධාතුව රැගෙන භික්‍ෂු සංඝයා සමග අවුත් මෙතැන්හි පිහිටුවා දොළොස් රියනක් උසැති චෛත්‍යයක් කරවා ගියේය. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු චූලාභය රජ ඒ චෛත්‍යය තිස්රියනක් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවිය.
මහියංගණ චෛත්‍යය පිහිටුවීමේ කාලය නිමි.
රජතෙම ඒ මහියංගණයෙහි ඡත්තදෙමළා අල්වා සාරමසකින් අම්බදෙමළා ද, සාරමසකින් කච්ඡකදෙමළාද සාරමසකින් විජිතපුරයෙහි යටත්කොට අන්‍ය දෙමළුන් ද ක්‍රමයෙන් අල්වා අනුරාධපුරයට ගොස් කසාගල කඳවුර බැඳ එහි වැවක් කණවා මුල් පොසොන් මාසයේදී දියකෙළි කෙළියේය. එහි පජ්ජෝත නම් නුවරක් කරවී. අනුරාධපුරයෙහි එළාර රජු යෝධයන් සමග නසා නුවරට ඇතුල් විය. මෙසේ දුටුගැමුණු අභයරජ දෙමළ රජුන් දෙතිස් දෙනෙකුන් මරා මුළු ලක්දිව එකම ඡත්‍රයක් එසවිය. ඡත්‍රමංගලය පැවැත්වූ සතිය ඉකුත් වූ පසු රජ චෛත්‍යය සහිත මිරිසවැටි විහාරය කරවිය. එය අවුරුදු තුනකින් නිමියේය. නිමිකල්හි මහත් විහාර පූජාවක් කෙළේය.
මිරිසවැටියේ කථාවයි.
ඉන්පසු පරීක්‍ෂා කරන රජතෙම රජගෙයි කරඬුවක තිබුණු රන් තහඩුවක ලිපියක් දැක එය කියෙව්වේය. “අනාගතයෙහි එක්සිය සතළිසක් අවුරුදු ඉක්මගිය පසු කාවන්තිස්ස රජුගේ පුත්‍ර වූ දුට්ඨගාමිණීඅභය නමැත්තා මේ මේ දේ කරවන්නේය”යි (එහි ලියා තිබුණි) එකල රජ “දීර්ඝ දර්ශී වූ මහින්‍ද ආර්‍යයන් වහන්සේ විසින් මම දක්නා ලද්දෙමි”යි තුටුපහටු විය. එකල දිව්‍යවිමානයක සටහන බලමින් එක එක පැත්තෙන්ද උසින්ද සියක් රියන් ඇති, නවමහලක් හා දහසක් කාමර ඇති, සිංහපඤ්ජරාදි නොයෙක් විසිතුරු ඇති, ලෝහප්‍රාසාදය කරවා දක්‍ෂිණොදකය හෙළා භික්‍ෂු සංඝයාට දුන්නේ යයි මහාවංශාදියෙහි කියන ලදී. ලෝහප්‍රාසාදය වනාහි දේවානම්පියතිස්ස රජු විසින්ම කරවන ලදී. “එසේද වුවත් මේ කාලයේදී එය නොපැවැති බැවින් අනාගතයේදී යයි කියන ලදැයි ගණ්ඨිපද තුනෙහිම දක්වන ලදී.
ලෝහප්‍රාසාද කථාවයි
ඉක්බිති එක්දිනක් රජ මහබෝ වැඳ නුවරට යන්නේ මහාසෑය දැන් පිහිටි තැන සීයා වන රජු විසින් තමාගේ සයවෙනි රාජ්‍ය වර්‍ෂයේදී සිටුවන ලද ගල් කණුව දැක මිහිඳු තෙරුන් (රන්පටෙහි) කියා තිබුණු කාරණයද සිහිපත් කරමින් වෙසක් පුණු පොහෝදා විසා නැකතකින් මහාසෑය කරවීම සඳහා බිම සකස් කරවන්ට පටන් ගත්තේය. එසේකොට ඇසළපුණු පොහෝදා උතුරුසළ නැකතින් සෑයට මගුල්ගල් තැබී. රජ ධාතු ගර්‍භයෙහි කළයුතු වැඩ නිමවා සංඝයා වැඳ “ස්වාමීනි, ධාතුගර්‍භයේ වැඩ නිමියේය; හෙට ඇසළපුණු පොහෝදා ධාතු නිදන් කිරීම සිදුවන්නේය. ධාතු ලැබෙන සැටි දත මැනවැ”යි කීය. මෙසේ ධාතු ගෙන ඒම සංඝයාට බාරකොට නුවරට ආවේය. සංඝතෙමේ සොළොස් හැවිරිදි සෝණුත්තර හෙරණ තැනට මෙසේ කීය: “ඇවැත්නි, හෙට ධාතු නිදහනය වන්නේය. බුදුරද පිරිනිවන් මඤ්චකයෙහි වැදහෙව සක්දෙව් රජු අමතා මාගේ ද්‍රෝණ අටක් පමණ වූ ධාතූන්ගෙන් කෝළිය රජුන් විසින් පුදනු ලබන එක් ද්‍රෝණයක් අනාගතයෙහි ලක්දිව මහාසෑයේ පිහිටන්නේ යයි වදාළේය. ඉක්බිති බුදුන් පිරිනිවි කල්හි කෝළිය රජුන් රාම ග්‍රාමයෙහි කරවූ චෛත්‍යය ගංවතුරෙන් බිඳී ගිය විට දාකරඬුව මූදට පිවිසියේය. එය මහාකාළ නාරජතෙම මඤ්ජෙරික නාගභවනයට ගෙන ගොස් අද දක්වා පූජා පවත්වයි. එබැවින් තෝ මඤ්ජෙරික නාගභවනට ගොස් ඒ පුවත නාරජුට කියා ධාතූන් ගෙන එව”යි. සෝණුත්තර සාමණේරනම යහපතැයි කියා පිළිගෙන පසුදා තූර්‍ය නාදයෙන් රජු පිටත් වූ බව දැන අභිඥාපාදක-චතුර්‍ථ ධ්‍යානයට සමවැදී මඤ්ජෙරික නාගභවනයේ මහාකාළ නාරජු ඉදිරියෙහි පෙනී සිටියේය. හෙතෙම ඒ නාරජු දුන් ධාතු ගෙනැවිත් මෙහි රජුට දුණි. රජතෙමේ නානාවිධ සත්කාර-සම්මානයෙන් ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකතින් ධාතු නිධානය කෙළේය. නිධානය කොට එය මත්තෙහි එක්සියවිසි රියන් උසැති සුවර්‍ණමාලී නමැති මහාසෑය කරවිය. ඒ රජ නොයෙක් පින් රැස් කරමින් සූවිසි වසක් රාජ්‍යය කොට තමාගේ ශරීරය සංඝයාට පාවාදී තමා කළ පින් සිහිකරමින් මිය ගොස් තුසිත භවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඉපද දිව අබරණින් සැරසුනේ මහාජනයා බලා සිටියදීම තෙවරක් මහාසෑය පැදකුණුකොට භික්‍ෂු සංඝයා වැඳ තුසිත භවනයට ගියේය.
කාවන්තිස්ස රජ වනාහි මෙත්තෙය්‍ය බුදුන්ගේ පියා වන්නේය. විහාරදේවිය මව වන්නීය. මේ දුටුගැමුණු රජ ප්‍රථම ශ්‍රාවකයා වන්නේය. ඔහු සොහොයුරු සද්ධාතිස්ස රජ දෙවෙනි ශ්‍රාවකයා වන්නේය. රජුගේ නැන්දා වූ අනුලා දේවිය (බෝසතුන්ගේ) අගමෙහෙසි වන්නීය. රජුගේ පුත්‍ර වූ සාලිකුමරා (බෝසතුන්ගේ) පුත්‍රයා වන්නේය. භාණ්ඩාගාරික වූ සංඝාමාත්‍ය තෙමේ අග්‍ර උපස්ථායකයා වන්නේය. තිස්ස ඇමතියාගේ දුව අග්‍රොපස්ථායිකා වන්නීය. මෙසේ ඒ සියලුදෙන පෙරකළ ප්‍රාර්‍ථනා ඇත්තෝය. මෙතේ බෝසත්තෙමේ මහුත්ත නමැති බුදුන් හමුවේදී ලත් විවරණ ඇත්තේ කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා දැන් තුසිත පුරයෙහි උපන්නේ අනාගතයෙහි බුදුවන්නේය.
77. දුටුගැමුණු රජතෙමේ එක්සියවිසි රියන් උසැති රුවන්වැලි සෑය බන්දවා නිරන්තරයෙන් පිදී. (78.) මුළු ලක්දිව එකම උතුම් සෑය අභය නමැති උතුම් රජ පිහිටුවා උතුම් පින් රැස් කෙළේය. අවුරුදු විසිහතරක් උතුම් රාජ්‍යය කොට ඒ රජ උතුම් දෙව්ලොවට ගියේය.
රුවන්වැලි මහාසෑය පිහිටෙව් කාලය නිමි
රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල නොනිමි කල්හිම දුටුගැමුණු රජ පරලොව ගියේය. ඉක්බිති ඔහුගේ බාලසොහොයුරු සද්ධාතිස්ස රජ රාජ්‍යයට පත්විය. හෙතෙමේ මහාසෑයේ කොත් පැලඳවීමද බදාම ගෑමද කරවා අටළොස් වසක් රාජ්‍යය කරවිය. සද්ධාතිස්ස රජුට ලඤ්ජතිස්සය, ථූලත්‍ථනය, ඛල්ලාටනාගය, වට්ටගාමිණී යයි පුත්‍රයෝ සිවුදෙනෙකි. සැදැහැතිස් රජු ඇවෑමෙන් ලඤ්ජතිස්සට බාල වූ ථූලත්‍ථන තෙමේ එක්මසක් හා දසදිනක් රාජ්‍යය කෙළේය. ඔහු නසා ලඤ්ජතිස්ස තෙමේ නව අවුරුද්දක් හා අටමසක් රාජ්‍යය කෙළේය, ඔහු මළකල්හි බාලසොහොයුරු ඛල්ලාටනාග තෙමේ හය අවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ සෙන්පතියා ඔහු නසා නුවර අල්වා ගත්තේය. රජුගේ බාලසොහොයුරු වට්ටගාමිණී තෙමේ ඒ පවිටු සෙනෙවියා නසා පස්මසක් රාජ්‍යය කෙළේය. පුලහත්‍ථ නමැති දෙමළතෙමේ රාජ්‍යය පැහැරගෙන තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේය. බාහිය දෙමළතෙමේ පුලහත්‍ථ මරා දෑවුරුද්දක් රජය කෙළේය. චනයමාරක දෙමළතෙමේ ඔහු මරා සත්හවුරුද්දක් රජය කෙළේය. දාඨිය දෙමළතෙමේ ඔහු මරා සත්දෙහවුරුද්දක් රජය කෙළේය. එකල වට්ටගාමිණී රජ තුදුස් හවුරුදු සත්මසක් මලය දේශයෙහි හෙවත් කඳුරටෙහි සැඟවී සිට අනුරාපුරයට ගොස් දාඨිය රජු මරා නැවත රාජ්‍යය අත්පත් කොටගෙන අභයගිරි විහාරය කරවිය.
79. “අනුරාධපුරයෙහි වළගම්බා රජු රාජ්‍යය කරවන කල්හි (ඒ කාලය දක්වා) මහත් ප්‍රඥා ඇති භික්‍ෂූහු ත්‍රිපිටක පාළියද ඒකේ අටුවාද (80.) මුඛ පාඨයෙන් හෙවත් කටපාඩමින් ගෙනාවාහුය. එකල රැස්වූ භික්‍ෂූහු සත්ත්‍වයන්ගේ පිරිහීම දැක (81) ධර්‍මයාගේ චිරස්ථිතිය සඳහා පොත්වල ලියෙව්වාහුය. (82) මෙසේ වළගම්බා රජ මුලදී පස්මසක්ද නැවත දොළොස් හවුරුද්දක්ද රාජ්‍යය කෙළේයයි සාර සංග්‍රහයෙහි මේ සඳහා කියන ලදී.
පොත්වල ලියූ කාලය නිමියේයි
ඒ වළගම්බා රජු පරලොව ගිය පසු ඛල්ලාටනාග රජුගේ පුත්‍ර මහාචූළික තෙමේ තුදුස් වර්‍ෂයක් දැහැමින් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් වළගම්බා රජුගේ පුත්‍ර වූ චෝරනාග තෙමේ දොළොස් හවුරුද්දක් රාජ්‍යය කරවිය. හෙතෙම තමාගේ දේවිය වූ අනුලාව දුන් විෂ අනුභවකොට මළේය. එකල මහාචූළික රජුගේ පුත්‍ර වූ තිස්සතෙමේ තුන් වර්‍ෂයක් රජය කරවිය. සිව නමැති දොරටුපල්ලා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් තිස්ස රජු නසා ඒ දොරටුපාලයාට රාජ්‍යය දුණි. හෙතෙම එක් අවුරුදු දෙමසක් රජය කරවිය. එකල රාජවල්ලභ වූ නගර ශිල්පී වූ වට්ටක නම් දෙමළෙක් විය. ඔහු කෙරෙහි ඇලුණු සිතැති අනුලා තොමෝ විෂ දීමෙන් සීව රජු මරා වට්ටකයාට රාජ්‍යය දුණි, හෙතෙම එක් වර්‍ෂයක් හා දෙමසක් රජය කරවිය. එකල දර වෙළඳාමෙහි නියුක්ත තිස්ස නමැත්තා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ වට්ටකයා විෂයෙන් මරා දාරුභතිකතිස්සට රාජ්‍යය දුණි. හෙතෙම එක්හවුරුදු එක්මසක් රජය කරවිය. එකල නිළීය නමැති පුරෝහිත බමුණා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් දාරුභතිකතිස්සයා මරා නිළීය බමුණාට රාජ්‍යය දුණි. හෙතෙම හයමසක් රජය කරවිය. එකල භටයන් දෙතිස් දෙනෙකුන් කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් නිළීය බමුණා මරා තොමෝම සාරමසක් රජය කරවිය. එකල බුද්ධ පරිනිර්‍වාණයෙන් අවුරුදු පන්සියයක් ගතවිය. මහාචූළික රජුගේ දෙවෙනි පුත් කූටකණ්ණතිස්ස[3] තෙමේ අනුලාවට භයින් පලාගොස් පැවිදි වී සිට බලසම්පන්න වී අනුලාව නසා දෙවිසි හවුරුද්දක් රජය කරවීය.
ඒ රජුගේ මවද පැවිදි වී සිටියාය. රජතෙම මවට විසීම පිණිස දන්තගෙහ නමැති භික්‍ෂුණී ආශ්‍රමයක් කරවිය. කූටකණ්ණතිස්ස රජු අනුරපුරයෙහි රාජ්‍යය කරවන කාලයේදී දඹදිව සාගල නුවර මිලින්‍ද නම් රජද නාගසේන මහතෙරද යන දෙදෙන පණ්ඩිත වූවාහු ප්‍රශ්න ඇසීමෙන් හා විසඳීමෙන් බුද්ධ ශාසනයාගේ ඉතා ගැඹුරු බව ප්‍රකාශ කරමින් හමුවූහ. එහෙයින් මිලින්‍ද ප්‍රශ්නයෙහි “මා පිරිනිවීමෙන් පන්සියයක් අවුරුදු ගත වූ පසු මේ දෙදෙන උපදිති”යි කියන ලදී. කූටකණ්ණතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ දෙටුපුත් අභයතෙමේ[4] විසිඅට වසක් රජය කරවීය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු මහානාග කුමරා[5] දොළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. මහානාග රජු ඇවෑමෙන් ඔහු පුත් ආමණ්ඩගාමිණී රජ නවහවුරුදු අටමසක් රජය කෙළේය. ඔහුගේ බාලසොහොයුරු කණිරජාණුතිස්ස තෙමේ ඔහු මරා තුන්හවුරුද්දක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ආමණ්ඩගාමිණීගේ පුත්‍ර වූ චූලාභය තෙමේ එක්හවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරිය වූ සීවලී දේවිය සාරමසක් රාජ්‍යය කරවිය. (ඉන්පසු) ලම්බකර්ණයෝ තුන් වර්‍ෂයක් රාජ්‍යය කළහ. ගාමිණීඅභයගේ[6] බෑනා වූ ඉළනාගතෙමේ සය අවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් චන්‍දමුඛසීව අට වර්‍ෂයක් හා සත්මසක් රජය කරවිය. ඔහුගේ බාලසොහොයුරු යසලාලකතිස්ස තෙමේ[7] ඔහු නසා සත් වර්‍ෂයක් හා අටමසක් රජය කරවිය. දත්ත නම් දොරටුපාලයාගේ පුත්‍ර වූ සුභ නමැත්තා යසලාලකතිස්ස රජු මරා හය වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඉක්බිති ලම්බකර්‍ණවංශික වසභතෙමේ සුභ රජු මරා රාජ්‍යය ගත්තේය. ඒ රජ අභිෂේක සතියෙහි ජයපානය බී තමාගේ ආයුෂ ප්‍රමාණය දැනගනු කැමතිව හෝරාපාඨකයකු සමග රහසේ ඉඳගෙන “මාගේ ආයුෂ ප්‍රමාණය දැනගනු කැමැත්තෙමි. එය මට කියව”යි කීය. හඳහන් බලන්නා එය ප්‍රතික්‍ෂෙප කෙළේය. රජු විසින් නැවත නැවත විචාරන ලද්දේ ඒ රජුගේ ආයුෂ ප්‍රමාණය ජ්‍යෙතිශ්ශාස්ත්‍රානුසාරයෙන් රහසේම කියා දුණි. “මහරජ, ඔබට අවුරුදු දොළසක් ආයුෂ ඉතිරිව ඇතැ”යි ඔහු කී විට රජ ආයුෂ වැඩීමට කළයුතු දේ ඇද්දැයි විචාළේය. “ස්වාමීන් වහන්සේලා දනිති”යි ඔහු කීය. රජතෙම රහස රැකීම පිණිස ඔහුට කහවණු දහසක් දී සංඝයා රැස්කරවා එළඹ වැඳ “ස්වාමිවරුනි, ආයුෂ වැඩිවෙන කරුණු ඇත්දැ”යි විචාළේය. (82.) සංඝතෙමේ අන්තරාය වළක්වන කරුණු ඇතැයි කීය. “මහරජ, පෙරහන්කඩ දීමද ලැගුම්ගෙවල් දීමද (83.) ගිලන්බත් දීමද කළ මැනවි. එසේම දිරාගිය ගෙවල් ප්‍රතිසංස්කරණය කළ යුතුය. (84) පන්සිල් සමාදන්ව එය මනාසේ රකිනු මැනවි. පෝය දිනයන්හි අටසිල් රැකීමද කළ යුතුය.” රජතෙම යහපතැයි කියා එකී සියල්ලද අන්‍ය පින්කම්ද කෙළේය. (85.) ඒ රජ අනුරාපුරයෙහි සූසාළිස් අවුරුද්දක් රාජ්‍යය කරවිය. වෙසක් පූජා සතළිස් සතරක්ද කරවීය.
ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් වංකනාසිකතිස්සතෙමේ තුන් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් ගජබාහුකගාමිණීතෙමේ විසි වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සෙන්පති මහල්ලකනාගතෙමේ හය වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් භාතිකතිස්සතෙමේ සූවිසි වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු කණිට්ඨතිස්සතෙමේ අටළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් චූලනාගතෙමේ[8] දෙවර්‍ෂයක් රජය කෙළේය. ඔහුගේ බාලසොහොයුරු කුඩ්ඩනාගතෙමේ[9] ඔහු නසා එක් වර්‍ෂයක් රජය කෙළේය. ඔහුගේ දේවියගේ සොහොයුරු වූද සෙන්පති වූද සිරිනාගතෙමේ ඔහු පලවාහැර ලැබූ ජය ඇත්තේ දහනව වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් වොහාරතිස්ස තෙමේ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ සොහොයුරු අභයනාගතෙමේ ඔහු පලවාහැර අට වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සොහොයුරාගේ පුත් සිරිනාගතෙමේ දෙවර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් විජය කුමාරයා එක් වර්‍ෂයක් රජය කරවිය.
සංඝතිස්ස, සිරිසංඝබෝධි, ගෝඨාභය යන ලම්බකර්‍ණයෝ තිදෙනෙක් වූහ. සිරිනාගගේ සෙන්පතියා හා ඇමතියෝ විජය කුමරු මරා සංඝතිස්ස කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. හෙතෙම වර්‍ෂ සතරක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් සිරිසඟබෝ කුමරා දෙවර්‍ෂයක් රජය කරවිය. ඒ රජු රාජ්‍යය කරවන කල්හි උපසේනාචාර්‍යයන් විසින් සද්ධම්මපජ්ජොතිකා නමැති මහානිද්දේස අටුවාව විරචිතයි.[10] එකල්හි අනුරුද්ධදේව නම් රජ (බුරුමරට) පුණ්ණගාම නුවර රාජ්‍යය කරවිය. ඒ රජුගේ ආරාධනාවෙන් ජෝතිපාල නමැති මහතෙර ආනන්‍ද නමැති තමාගේ ශිෂ්‍යයාද තවත් ශිෂ්‍ය නමක්ද ලක්දිවට යවා විනයගැටපදය ඉගෙන ගන්ට සලස්වා ලක්දිවින් පුණ්ණගාමනගර නම් වූ අරිමද්දනයට ගෙන්වා ගත්තේය. ඒ රජු ඇවෑමෙන් ගෝඨාභයතෙමේ තෙළෙස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් ජෙට්ඨතිස්ස රජ දශ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු මහාසේන රජ සත්විසි අවුරුද්දක් රාජ්‍යය කරවිය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු අටසියතිසක්ද මාස හතරක් හා දසදිනක් ඉක්මි කල්හි මහාසේන රජ ලක්දිව අනුරාධපුරයෙහි රාජ්‍යය කොට පරලොව ගියේය.
ලක්දිව රාජපරම්පරාවේ වර්‍ෂ සංඛ්‍යා එක්කිරීම මෙසේ දතයුතු: විජයරජ තිස්අට වර්‍ෂයකි; එක් වර්‍ෂයක් රාජ ශුන්‍ය විය. පණ්ඩුවාසදේවට වර්‍ෂ තිහකි; පණ්ඩුකාභය සැත්තෑවකි; මුටසීව හැටවසකි; දේවානම්පියතිස්ස හතළිහකි. උත්තිය දසවසකි; සේන-ගුත්තික දෙදෙන දෙවිසි වර්‍ෂයකි; අසේල දශවර්‍ෂයකි; එළාර සතළිසකි; දුටුගැමුණු විසිහතරකි; සද්ධාතිස්ස අටළොසකි; ථුල්ලත්‍ථන මාසයක් හා දසදිනකි; ලංජතිස්ස අටවසක් හා නවමසකි; ඛල්ලාටනාග සය වර්‍ෂයකි; වට්ටගාමිණී පස්මසකි; පුලහත්‍ථ තුන් වර්‍ෂයකි. බාහිය දෙවර්‍ෂයකි. වනයමාරක සත් වර්‍ෂයකි; පිලියමාරක සත්මසකි; දාඨිය දෙවර්‍ෂයකි; නැවත වට්ටගාමිණී දොළොස් වර්‍ෂයකි; මහාචූළික තුදුස් වර්‍ෂයකි; චෝරනාග දොළසකි; තිස්ස තුනකි; සීවදෝවාරික වර්‍ෂයක් හා දෙමසකි; වට්ටක දෙමසක් හා එක් වර්‍ෂයකි; දාරුභතිකතිස්ස එක් වර්‍ෂයක් හා එක්මසකි; නිළීය හයමසකි; අනුලා සාරමසකි; කණිට්ඨතිස්ස දෙවිසි වර්‍ෂයකි; භාතිකාභය විසිඅට වර්‍ෂයකි; මහානාග දොළොස් වර්‍ෂයකි; ආමණ්ඩගාමිණී නව වර්‍ෂයක් හා අටමසකි; කණිරාජාණුතිස්ස තුන් වර්‍ෂයකි; චූලාභය එක් වර්‍ෂයකි; සීවලීදේවිය සාරමසකි; ලම්බකර්‍ණයෝ තුන් වර්‍ෂයකි; ඉළනාග සය වර්‍ෂයකි; චන්‍දමුඛසීව අට අවුරුදු අටමසකි; යසලාලකතිස්ස සත් වර්‍ෂයක් හා අටමසකි. සුභ සය වර්‍ෂයකි; වසභ සූසාළිස් වර්‍ෂයකි; වංකනාසිකතිස්ස තුන් වර්‍ෂයකි; ගජබාහුකගාමිණී විසි වර්‍ෂයකි; මහල්ලකනාග සය වර්‍ෂයකි; භාතිකතිස්ස සූවිසි අවුරුද්දකි; කණිට්ඨතිස්ස අවුරුදු අටළොසකි; චූළනාග දෙවර්‍ෂයකි; කුඩ්ඩනාග එක අවුරුද්දකි; සිරිනාග දහනවයකි; වෝහාරතිස්ස දෙවිස්සකි; අභයනාග අටකි; සිරිනාග දෙකකි; විජයකුමාර එකකි; සංඝතිස්ස හතරකි; සිරිසඟබෝ දෙකකි; ගෝඨාභය තෙළෙසකි; ජෙට්ඨතිස්ස දශයකි; මහාසේන සත් විස්සකි. මෙසේ විජය රජු පටන් මහාසේන රජු දක්වා මේ රජුන් රාජ්‍යය කරවන කල්හි අවුරුදු අටසිය තිස් තුනක්ද තුන්මසක් හා දසදිනක් ද ඉක්මියාහු යයි දතයුතු.
මෙසේ ලක්දිව රජුන්ගේ මහාවංශ කථාවෙහි ශාසනය පැතුරුණු සැටි නිමියේයි
-
මහාවංශාදී අපේ ඓතිහාසික හැම වාර්‍තාවලම තිබෙන්නේ යටාල වෙහෙරේදී පුතකු ලැබූ බවයි. මේ යන මග ලංකා විහාරයක් අදත් තිබෙන බැවින් මේ පොතේ කීමද හැරදැමිය හැකි නොවේ. ↑
-
අපේ පොත්වල “කණ්ඩුල” යයි තිබෙන නමුත් මේ පොතේ හැමතැනම “කුණ්ඩල” යයි යොදා තිබෙන බැවින් එසේ තිබෙන්ට හැරියෙමි. ↑
-
සියම්පොතේ කණ්ණතිස්ස යන්න පමණක් පෙනේ. ↑
-
භාතිකාභය රජයි. ↑
-
...................... ↑
-
...................... ↑
-
සියම්පොතේ “ලංකාතිස්ස” යයි පෙනේ. ↑
-
සියම්පොතේ උජුනාග ↑
-
සියම්පොතේ: කුණ්ඩලනාග ↑
-
මෙය වරදවා ගැනීමකි. මින්පසු කියවෙන අනුරුද්ධ රජ සිටියේ මෙරට මහාවිජයබාහු කාලයේදීය. ↑