තෘතීය සංගීති කාලය

කාළාසෝක රජ සංගීති කාලයෙන් අටළොස්වෙනි වර්‍ෂයෙහි දිවංගත විය. ඔහුගේ පුත් භද්දසේනය, කෝරණ්ඩ වණ්ණය, මඞ්කරය, සභඤ්ජහය, ජාලිකය, සඤ්ජයය, උභයය, කෝරව්‍යය, නන්‍දිවඩ්ඪනය, පඤ්චමතය යන සොහොයුරෝ දශදෙන දෙවිසි අවුරුද්දක් රාජ්‍යය කළහ. උග්ගසේනන්‍දය, කනකනන්‍දය, චණ්ඩකනන්‍දය, භූතපාලනන්‍දය, රඨපාලනන්‍දය, විසාණකනන්‍දය, දසසිද්ධකනන්‍දය, කේවට්ටනන්‍දය, ධනනන්‍දය යන පෙර සොරුන්ව විසූ නන්‍දයෝ නව දෙනෙක් පාටලී පුත්‍රයෙහි දෙවිසි අවුරුද්දක් රාජ්‍යය කරවූහ. ඉක්බිති චාණක්‍ය බ්‍රාහ්මණයා නවවෙනි ධනනන්‍ද රජු මරා මෞර්‍ය වංශයෙහි උපන් චන්‍ද්‍රගුප්ත කුමරා මුළු දඹදිව රාජ්‍යයෙහි අභිෂේක කරවිය. ඒ රජ පාටලීපුත්‍ර නමැති පුෂ්පපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවිය. ඔහුගේ පුත් බින්‍දුසාර රජ අටවිසිවසක් රාජ්‍යය කරවිය. බින්‍දුසාර රජුගේ පුත්‍රයෝ එක්සිය එක් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් මෞර්‍ය වංශික සුර්‍ධමා දේවියගේ පුත්‍ර වූ අශෝක කුමාර තෙමේ තමා හා එක්කුස උපන් තිස්ස කුමරු හැර ඉතිරි අනූනවයක් කුමරුන් මරා තිස්හත්වසක් රාජ්‍යය කෙළේය. හෙතෙම සතර අවුරුද්දක් අභිෂේක නොලැබම රාජ්‍යය කොට ඒ සතර අවුරුද්ද ඇවෑමෙන්, බුදුන් පිරිනිවීමෙන් දෙසියදහඅටවෙනි වර්‍ෂයේදී මුළු දඹදිව ඒකරාජ්‍යාභිෂේකයට පත්විය. අභිෂේකයෙන් සිවුවෙනි වර්‍ෂයේදී නිග්‍රොධතෙරනම පිරිවර සහිත රජු බුද්ධ සාසනයෙහි නොසෙල්වෙන සේ පැහැදුනෙකු කරවිය.

එකල රජුගේ බාලසොහොයුරු තිස්ස උපරජ ද සංඝමිත්තා කුමරියගේ ස්වාමි පුරුෂයා වූ අග්ගිබ්‍රහ්ම නමැති රජ කුමරාද පැවිදි වූහ. ඒ වර්‍ෂයේ චන්‍ද්‍රග්‍රහණය පැවති දිනයේදී රජතෙම දඹදිව අසූහාරදහසක් නුවරවල අසූහාරදහසක් විහාරයන් කරවිය. ඉක්බිති විහාර පූජාවේ සත්වෙනි දිනදී ශාසනදායාදබව පතමින් තමාගේ පුත්‍ර වූ පිරුණු විසිවයස් ඇති මිහිඳු කුමරුද අටළොස්වියැති සංඝමිත්තා නමැති දුවණිය ද පැවිදි කරවිය. බුද්ධ පරිනිර්‍වාණයෙන් දෙසියසූවිසිවෙනි වර්‍ෂයේදී දඹදිව අසූහාරදහසක් චෛත්‍යයන් පිහිටුවීම ද ධාතු පැතිරවීම ද කෙළේය.

එකල මොග්ගලීපුත්තතිස්ස තෙර වස් එක්සැටක් ඇත්තේ විය. රජුගේ අභිෂේකයෙන් අටවෙනි වර්‍ෂයේදී “මෙතැන් පටන් මා රාජ්‍යය කරන කල්හි භික්‍ෂූන්ට ප්‍රත්‍යය දුලර්‍භ නොවෙත්වා”යි සිතා ශාසනික කටයුතු සඳහා දිනකට පන්ලක්‍ෂයක් පරිත්‍යාග කෙළේය. මෙසේ එකල බුදු සස්නෙහි මහත් ලාභ සත්කාර උපණි. තීර්ථකයෝ ලාභය පතමින් තුමූම සස්නෙහි පැවිදිව ස්වකීය දෘෂ්ටීන් ප්‍රකාශ කරති; පෝය කිරීම් ආදියෙහි පෙනී සිටිති. භික්‍ෂූහු ඔවුන් සමග පෝය නොකරති. ඒ නිසා සත් හවුරුද්දක් අශෝකාරාමයෙහි පෝය කිරීම නැවතුණි. එකල මොග්ගලීපුත්තතිස්ස තෙර දහසක් පමණ රහත් තෙරුන්ට ප්‍රමුඛ වූයේ, ධර්‍මාශෝක රජු විසින් උපස්තම්හිත වූයේ සියලු ශාසනමලය ශුද්ධකොට පැළලුප් නුවර අශෝකාරාමයේදී දුරුතු මාසයේදී ධර්‍මවිනය සංග්‍රහය කෙළේය. ඒ වර්‍ෂය වනාහි බුදුන් පිරිනිවීමෙන් දෙසියසූතිස් වෙනි අවුරුද්ද විය. ඒ සංගීතිය නව මසකින් නිමියේය; එහෙයින් දෙවෙනි වර්‍ෂයේ වප්පුර පසළොස් වක්දා මහාපවාරණ දිනයේදී නිමාවට ගියේය. එකල රජුගේ සතළොස්වෙනි අභිෂේක වර්‍ෂය විය. මොග්ගලීපුත්තතිස්ස තෙර දෙසැත්තෑවස් ඇත්තේ විය. (57.) මේ සංගීතිය දහසක් භික්‍ෂූන් විසින් කරන ලද බැවින් සාහස්සිකා යයි ද පෙර සංගීති දෙක ගණන් ගෙන තෙවෙනි සංගීතිය යයි ද කියනු ලැබේ.

තෘතීය සංගීති කාලය නිමියේයි