මිහිඳු තෙරුන් අපවත් වීම

61. ධර්‍මාශෝක රජුගේ අටළොස්වෙනි රාජ්‍ය වර්‍ෂයේදී මහාබෝධිය මහාමේඝ වනයෙහි පිහිටියේය. එයින් දොළොස්වෙනි වර්‍ෂයේදී රජුගේ අගමෙහෙසි වූ අසන්ධිමිත්‍රාව පරලොව ගියාය. එයින් සිවුවෙනි වර්‍ෂයේදී රජතෙම තිස්සා[1] නමැති දේවියක් අගමෙහෙසි තනතුරෙහි තැබී. එයින් තෙවෙනි වර්‍ෂයේදී අඥාන වූ, රූපයෙන් මත්වූ ඒ දේවිය “මේ රජ මටත් වඩා මහාබෝධියට මමත්‍වය කෙරේය”යි ක්‍රෝධව සගතව මඩු කටු යෙදීමෙන් මහාබෝධිය නැසී. එයින් සිවුවෙනිදා රජතෙම දුකට පත් වූයෙන් නොසතුටු සිතැත්තේ රෝගයකින් පෙළී පරලොව ගියේය. (65) ධර්‍මාශෝක රජ සත්තිස් වසක් රාජ්‍යය කෙළේය. හෙතෙමේ ද මාරමුඛයට පත්විය. ඒ අසත්පුරුෂයා වළක්වන්නේ කවරෙක්ද?

බුද්ධ පරිනිවාර්‍ණයෙන් අවුරුදු දෙසිය පණස් පසක් ඉක්මි කල්හි ධර්‍මාශෝක රජ දිවංගත විය. (66) “දේවානම්පියතිස්ස රජ නොයෙක් පින් රැස්කොට මරණයට පැමිණියේය. (67) ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු වූ, මුටසීව රජුගේම පුත්‍ර වූ උත්තිය රජ රාජ්‍යය කෙළේය. (68) ඒ උත්තිය රජුගේ අටවෙනි රාජ්‍ය වර්‍ෂයේදී මිහිඳු මහතෙර සැටවස් ඇත්තේ වස්කාලය තුළ සෑගිරියෙහි විසී (69) ලංකාද්වීපයට දියුණුවක් කළ ඒ මහතෙර උඳුවප් මස පුර අටවක්දා පිරිනිවියේය. බුදුන් පිරිනිවීමෙන් දෙසිය අසූහතරවෙනි වර්‍ෂයේදී මිහිඳු මහතෙර පිරිනිවියේය.

70. ඒ උත්තිය රජුගේ නවවෙනි වර්‍ෂයේදී ලෝකයට ප්‍රදීපයක් වැනි වූ ඒ සංඝමිත්තා තොමෝ පණස්නව වසක් හත්‍ථාළ්හක ආශ්‍රමයෙහි වාසයකොට පිරිනිවියාය. (71.) ඒ උත්තිය රජ දශ වර්‍ෂයක් රාජ්‍යයකොට රෝගයකින් පෙළුණේ පරලොව ගියේය.

මිහිඳු තෙරුන් පිරිනිවි කාලයයි.

  1. අත්පොත්වල “තිෂ්‍යරක්ෂිතා” යයි පෙනේ