භාග්‍යවතුන් වහන්සේ මල්ල රට මල්ල රජුන් ගේ අනුපිය නම් නිගමය සමීපයෙහි වූ අඹ වනයට වැඩ එහි වසන සමයෙක භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමරුන් සදෙනාද උපාලි නම් කපුවා ද එහි අවුත් පැවිදි වූහ. ඔවුන්ගෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුණ්ණමත්තානිපුත්ත තෙරුන්ගෙන් බණ අසා සෝවාන් වූ සේක. භගු, කිම්බිල යන දෙනම පසු කාලයෙහි විදසුන් වඩා රහත් වූහ. දේවදත්ත තෙරණුවෝ ධ්‍යාන වඩා ලෞකික සෘද්‍ධිය ලැබූහ.
පසු කලෙක කොසඹෑ නුවර වසන සමයෙහි ශ්‍රාවක සංඝයා සහිත වූ තථාගතයන් වහන්සේට මහත් ලාභසත්කාර ඇති විය. මහජනයා වස්ත්‍ර බෙහෙත් ආදිය ගෙන විහාරයට ගොස් ශාස්තෘන්වහන්සේ කොහි ද? ශාරිපුත්‍රයන් වහන්සේ කොහි ද? මහාමෞද්ගල්‍යානයන් වහන්සේ කොහි ද? යන ආදීන් භාග්‍යවතුන් වහන්සේත් අසූ මහ සව්වන් වහන්සේත් වසන තැන් සොය සොයා යයි. දෙව්දත් තෙරුන් අසා බලන කිසිවෙක් නැති. දෙව්දත් තෙරණුවෝ සිතන්නෝ “මමත් මොවුන් සමග ම පැවිදි වූයෙකිමි. මොහුත් රාජවංශයෙන් නික්ම පැවිදි වූවෝ ය. මමත් එසේ ම ය. ලාභ සත්කාර ගෙන එන මිනිස්සු මොවුන් ම සොයති. මගේ නම කියන කෙනෙක් නැත. කවුරුන් හා එක්ව කවුරුන් පහදවා ගෙන මම ලාභ සත්කාර නිපදවා ගන්නෙම් දැ?”යි සිතී ය. “මේ බිම්සර රජ බුදුරජාණන් වහන්සේ දුටු මුල් වතාවේ දී ම සෝවාන් වූවෙකි. එ බැවින් මොහු හා එකතු විය නො හැකි. කොසොල් රජු හා ද එක් වීම හැකි නො වේ. මේ බිම්සර රජු පුත් අජාතශත්‍රැ කුමාරයා නම් කිසිවකු ගේ ගුණ දොස් නො දනී. මොහු හා එක් වන්නෙම්” යැයි දෙව්දත් තෙරණුවෝ ඉටා ගත්හ. ඉක්බිති කොසඹෑ නුවරින් රජගහ පුර ගොස් සෘද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙකින් අජාසත්[1] කුමරුන් තමන් කෙරේ පහදවා ගත්හ.
දෙව්දත් කෙරේ පැහැදුණු අජාතශත්‍රැ කුමාර තෙම මහත් ධන වියදමින් ගයා ශීර්ෂයෙහි ආරාමයක් කරවා දුන්නේ ය. එහි ලාභ සත්කාර උපදවාගෙන වසන හෙතෙම දිනක් ජේතවනාරාමයට අවුත් භාග්‍යවතුන් වහන්සේ රජු සහිත පිරිසට බණ වදාරන වේලෙහි එහි පැමිණ වැඳැ භික්ෂු සංඝයා පාලනය කිරීම තමාට පවරන ලෙස අයැද සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ අකැප ජීවිකාවෙන් දිවි පවත්වන ඔහුට එහි නින්දිත බව දක්වා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. එයින් නො සතුටු වූ දෙව්දත් තෙර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පළමු වන නො සතුට ඇති කැර ගත්තේ ය.
-
මෙ සමයෙහි අජාසත් කුමරු සොළසැවිරිදි වයස් ඇත්තේ යුව රජකම ලැබ සිටියේ ය. ↑