දිනක් දෙව්දත් තෙර අජාතශත්‍රැ කුමරු වෙත එළැඹ ඔහු අමතා, “කුමාරය, පෙර මිනිස්සු දීර්ඝායුෂ ඇත්තෝ ය. දැන් අය වනාහි අල්පායුෂ්කහ. කුමාර වැ ම හිඳ, රජකම් කරන්නට නො ලැබ, ඔබ ගේ මරණය වන්නටත් පිළිවන. එබැවින් ඔබ පියා මරා රජවන්න, මම බුදුන් නසා බුදුවන්නෙමි” යි කීය. දෙව්දතු ගේ වචනය පිළිගත් කුමර දිනක් දහවල් කිරිච්චියක් ඉනේ සඟවා ගෙන පිය රජු මරන අදහසින් ගියේ, තැති ගැනුම් සහිත ව සැක ඇති ව හදිසියෙන් අන්තඃපුරයට වැදිණ. අන්තඃපුර ඇමැතියෝ බියෙන් තැති ගැනුම් සහිත ව එන ඔහු දැක සැකකොට අල්ලා පරීක්ෂා කළහ. එ විට ඔහු ඉනේ සඟවා ගෙන තුබුණු කිරිච්චිය දැක. “කුමක් කරනු කැමැත්තෙහි දැ” යි විචාළහ. “පියා නසනු කැමැත්තෙමි යැ”යි හෙතෙම කීය. “කාගේ අනුබලයෙන් දැ”යි ඇසූ කලැ “දෙව්දත් තෙරුන් කී බැවින් යැ”යි කීයෙන් “කුමාරයා ද දෙව්දත් තෙර ද තදනුවර සියලු භික්ෂූන් ද මැරිය යුතු යැ” යි සමහර මහාමාත්‍යයෝ කීහ. සමහර ඇමැතියෝ “දෙව්දත් අජාසත් යන දෙදෙනා පමණක් මැරිය යුතු යැ” යි කීහ. සමහරු “ඒ කිසිවක් නො කොට රජුට කාරණය දන්වා රජු කියන දැයක් කළ යුතු යැ”යි කීහු. සියල්ලෝ එයට ඒකමතික ව කුමරු ගෙන රජු කරා එළැඹ කාරණය දැන්වූහ. “කුමට මා මරන්නට සිතුවෙහි දැ?” යි රජ තෙම කුමරහු විචාළේ ය. “රජකම ලබා ගන්නට යැ” යි කුමරු කීය. “ පුත, රජකම ඕනෑ නම් මෙන්න රාජ්‍යය! බාර ගනුව”යි කියා බිම්සර රජ තම පුතු සිඹ සනසා ඔහුට රාජ්‍යය පැවරී ය.
අජාසත් තෙම දෙව්දත් තෙරට තමා රාජ්‍ය ලත් බව කී ය. දෙව්දත් ඒ අසා නො සතුටු ව “කිහිප දිනෙකින් තොප පියා තොපගේ රාජ්‍යය පැහැර ගනිතැ” යි අජාසත් කුමරු කළඹා, රජහු මරා ලීමෙහි ඔහු මෙහෙයී ය. “ආයුධයෙන් සිය පියා මැරිය නොහැකි යැ” යි අජාසත් කී විට “ආහාර නොදී මරව”යි දෙව්දත් කී ය.
අජාතශත්‍රැ රජ තෙම පිය රජාණන් සිරගෙයි ලා මෑණියන් මිස අන් කිසිවකුට එහි යෑ නොදී රකවල් ලැවූයේ ය. එදා පටන් ඒ බිසෝ රජ දක්නට යන්න බත් පුරා ලූ රන් තැටියක් හිණ ගන්නා ගෙන ගොස් දෙයි. රජ්ජුරුවෝ ඒ භෝජනයෙන් ජීවත් වෙති. අජාසත් රජ එපවත් අසා මෑණියනට කිසිවක් හිණින් ගෙන යෑමට ඉඩ නො දෙවු යැ”යි රකවලෙහි හුන් පුරුෂයනට අණ කෙළේ ය.
එ තැන් පටන් බිසෝ බඳුනෙකින් ආහාර ගෙන යෑ නො හැක්කෙන් බොජුන් ටිකක් මුහුලස තුළ ලා ගෙන ගොස් රජ්ජුරුවනට දෙති. අජාසත් රජ එ පවත් අසා මවට මුහුලස බැඳ ගෙන යෑමට අවසර නැති කෙළේ ය.
ඉන් පසු බිසෝ රන් මිරිවැඩියෙහි අග්‍ර භෝජන සකස් කොට පියනින් වසා එ පය ලා ගොස් රජ්ජුරුවන් කවා එන්නී ය. අජාසත් එ පවත් ද අසා මිරිවැඩි ලා එහි යෑමට මෑණියනට ඉඩ නො තැබුයේ ය. එයින් පසු ඒ දේවි අන් උපායක් නො දැක සුවඳ පැනින් නා සිරුරැ චතුමධුර ගල්වා උතුරු සළුවක් පොරොවා රජ්ජුරුවන් දකින්නට යන්නී ය. රජ්ජුරුවෝ ද ඇඟ ලෙවැ ජීවත් වෙති. අජාසත් ඒ දැන ගෙන මෑණියනට රජ්ජුරුවන් දක්නට යෑම මුළුමනින් ම තහනම් කෙළේ ය.
බිසෝ සිර ගෙය දොර වෙත ගොස් යන්නට අවසර නො ලැබ රජ්ජුරුවනට ඒ පවත් කියා අඬා වැලැප පෙරළා ආවා ය.