ධනපාල සමාගමය

star_outline

ඒ කාලයෙහි රජගහ පුරැ නාලාගිරි (ධනපාල) නම් ඇතෙක් චණ්ඩ වූයේ මිනිසුන් මරයි. දෙව්දත් තෙම ඇත් හලට ගොස් ඇත් ගොව්වන් ගේ සිත් ගෙන භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට වැඩි විට ඌ ලිහා උන් වහන්සේ ඉදිරියට යවන ලෙස නියෝග කෙළේ ය. ඔහු ද එය පිළිගත්හ.

දිනෙක බුදුරජාණන් වහන්සේ උදේ වරුවෙහි භික්ෂූන් හා පිඬු පිණිස රජගහපුර පිවිස ඒ වීථියෙන් වඩනාසේක. ඇත්ගොව්වෝ උන් වහන්සේ දැක නාලාගිරි ඇතු ලිහා ඉදිරියට යැවූහ. ඈත වඩනා සාමිදරුවන් දුටු ඇත් තෙම සොඬය ඔසොවා කෝපයෙන් උන් වහන්සේ දෙසට දිව්වේ ය. භික්ෂූහු ඒ දැක ඉවත් ව වඩනා ලෙස තුන් වරක් ම බුදුරජාණන් වහන්සේට දැන්වූහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ බුදුවරයකු ගේ දිවි නැසීම අනිකකු විසින් නොකළ හැකි බව පවසා, “මහණෙනි, එවු බිය නො වවු” යැ යි වදාරා භික්ෂූන් හා ඉදිරියට ම වැඩි සේක. මිනිස්සු කුපිත ව දුවන ඇතු දැක කලබල වී ප්‍රාසාදවලට නැග “අහෝ විශිෂ්ට රූපශ්‍රීයෙන් යුත් මේ මහා ශ්‍රමණයන් වහන්සේට ඇතු පීඩා කරතැ”යි කියමින් බියෙන් ද, බුද්‍ධ භක්තිකයෝ වනාහි “පින්වත්නි, හස්ති නාගයකුත් මනුෂ්‍ය නාගයකුත් අතර බොහෝ කලෙකින් යුද්‍ධයක් වන සැටි!” යැයි කියමින් භාග්‍යවතුන් වහන්සේ ඇතු මැඩ පවත්වන සැටිය දක්නට ද මහත් නො ඉවසිල්ලෙන් බලා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ද ඇතු කෙරෙහි මෛත්‍රිය පැතිරැවූ සේක. උන්වහන්සේ ගේ මෛත්‍රි බලයෙන් වශීකෘත වූ ඇත් තෙම සොඬය අකුලා ගෙන වෙත පැමිණ ඉදිරියෙන් සිටියේ ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඇතු ගේ කුම්භස්තලයෙහි අත තබා,

“මා කුංජර නාගමාසදො

දුක්ඛං හි කුංජර නාගමාසදො

න භි නාගහනස්ස කුංජර

සුගති හොති ඉතොපරං යතො

මා ච මදො මා ච පමා දො

න හී පමත්තා සුගතිං වජන්ති

තෙන ත්වඤ්ඤෙව තථා කරිස්සසි

යෙන ත්වං සුගතිං ගමිස්සසි”යි[1] වදාළ සේක.

එ කෙණෙහි ඇත් තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ පාමුල වැටී දූවිලි සොඬින් ගෙන තම හිස් මුදුනෙහි විසුරුවා ගෙන උන් වහන්සේ පෙනෙන තෙක් මානයේ පසු පස්සෙන් ගොස් ආපසු හැරී ඇත් හලට ම ගියේ ය. නාලාගිරි හස්ති තෙම ඒ තන් පටන් හික්මුණේ ම විය. මේ දෙව්දතු භාග්‍යවතුන් වහන්සේ මරන්නට කැරැ වූ උපායෙකැ යි නුවරු දැනගන්හ.

ඔහු “මේ තරම් මහර්ද්ධිමත් මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් නසන්නට තැත් කරන මේ දේවදත්ත ස්ථවිර කොතරම් පාපයෙක් ද! කාලකණ්ණියෙක් දැ!”යි කියමින් දෙව්දත් තෙරුනට බැණ වදින්නට වූහ.

ඇමැතියෝ ගොස් අජාතශත්‍රැ රජුට දෙව්දතු ගේ දෝෂ දක්වා කරුණු කියා ලජ්ජාවට පත් කළහ. රජ තමා කළ මෝඩකම් සලකා ලජ්ජාවට පැමිණ දෙව්දතු කෙරේ කළකිරී ඔහුට ඒ තාක් තමාගෙන් දින පතා දෙන බත් වසුන් කත් පන්සීය ද නැවැත්තුයේ ය. එ තැන් පටන් දෙව්දත් ලාභයෙන් යශසින් පිරිහී ගියේ ය. එ හෙයින් හේ සිය පිරිස හා කුලයන් කරා ගොස් ඉල්වා ලත් ප්‍රත්‍යයයෙන් යැපුණේ ය. නො බෝ දිනකින් ඔහු ගේ ශ්‍රාවක පිරිස ද ඔහු හැර ගියහ. පිඬු සිඟීමට නුවරවන් කලැ මිනිස්සු ඔහු දැක, “තවත් මෙ පුර ඉඳ බත් කවුදැ?”යි කියා ගල් ගසා පාත්‍රය බිඳ නුවරින් පලවාපූහ.

  1. මෙහි තේරුම :- හස්තිය, බුද්‍ධ නැමැති ඇත් රජහු පෙළන්නාට මතු යම් හෙයකින් සුගතියෙක් නො වන්නේ ද එ හෙයින් වධක සිතින් බුද්‍ධ නාගයා කරා නො එළඹෙව. බුද්‍ධ නැමැති හස්ති රාජයා වෙත එ සේ වධක චිත්තයෙන් පැමිණීම මතු දුක් විපාක ලැබීමට හේතු වේ. මත් නො වව. පමා නො වව. පමා වූවෝ සුගතියට නො යෙත්. එ බැවින් සුගතියට යෑ හැකි සෙයක් තෝ ම කරව.”