ස්වාමිදරුවාණන් නසන්නට දෙව්දතු ගේ උත්සාහය

star_outline

බිම්සර රජු ගේ මරණය වූයේ භාග්‍යවතුන් වහන්සේට වයස දෙ සැත්තෑයෙහි දී ය. භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍ර උපාසක වූ බිම්සර රජ මරවා සිය මනෝරථය සිදු කර ගත් දෙව්දත් තෙම “දැන් බුදුන් මරා බුද්‍ධ රාජ්‍යය ගන්නෙමි” යි සිතී ය. සිතා රජු වෙත ගොස් සිය අදහස දැන්වී ය. රජ ද එයට කැමැතිව දෙව්දත් තෙරුන් කියන්නක් කරන්නට මිනිස්නට අණ කෙළේ ය.

ඉක්බිති දෙව්දත් තෙම මිනිසකු කැඳවා “අසුවල් තැන ශ්‍රමණ ගෞතමයෝ වසති. ඔවුන් මරා මේ මාර්ගයෙන් එව”යි කියා දුනුවායකු යැවී ය. තවත් පුරුෂයකු ඒ මාර්ගයේ නවත්වා “යමෙක් තනි ව මෙ මගින් ඒ නම් ඔහු මරා මෙ මගින් එවු යැ” යි යට කී පුරුෂයා එන මඟ දෙදෙනෙකුන් නැවැත්වී ය. ඔවුන් දෙදෙනා මැරීමට ඒ මඟ අන් තැනෙක සතර දෙනෙකුන් ද, ඔවුනට පාරක් පෙන්වා ඒ මාර්ගයෙහි එන සතර දෙනා මරන්නට අට දෙනෙකුන් ද ඔවුන් එන මාර්ගය නියම කොට එහි ඔවුන් මැරීමට සොළොස් දෙනකුන් ද නැවැත්වී ය. මෙසේ බුදුරජාණන් වහන්සේ නැසීමට ගිය පුරුෂයාත් අණකළ තැනැත්තාත් දැන ගත නො හැකි වනු පිණිස මේ උපාය දෙව්දත් යෙදී ය.

භාග්‍යවතුන් වහන්සේ නැසීමට අණ ලත් පුරුෂ තෙම දුනු ආදියෙන් සැරසී නික්මුණේ, උන් වහන්සේ දැක තැති ගැනීම් සහිත වැ බිය වැ සැක ඇති වැ තද වූ ශරීරය ඇති වැ නොදුරු තැනෙක සිටියේ ය. සාමිදරුවන් වහන්සේ ඔහු දැක කථා කොට “භවත මෙහි එන්න. බිය නො ගන්නැ” යි වදාළ සේක. හෙ තෙම ඒ අසා ආයුධ පැත්තෙක දමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ පසෙක හිඳ තමා කරන්නට ආ අපරාධය දන්වා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ක්ෂමාව ඉල්ලූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට වරද වරද ලෙස පිළිගැනීමේ සුදුසු බව වදාරා දාන කථාදී පිළිවෙළ කථායෙන් බණ දෙසා චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. හෙතෙම බණ අසා සෝවාන් වූයේ ය. ඉන්පසු සාමිදරුවන් වහන්සේ ඔහු යන්නට අදහස් කළ මාර්ගයෙන් යා නොදී අන් මඟකින් යැවූ සේක. ඒ පුරුෂයා ගේ පැමිනීම බලා මඟ රැක උන් දෙදෙන ඔහු නො එනු දැක “මෙ තෙක් පමා මන්දැ”යි සිතා ඔහු හමු වන අටියෙන් මාර්ගයේ ඉදිරියට ගියහ. එ සේ ගිය ඔහු රුකක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වෙත පැමිණ වැඳ පසෙක උන්හ. ඔවුනට ද පළමු පුරුෂයාට මෙන් ම බණ වදාළ සේක. දේශනාවසානයේ දී ඔහු සෝවාන් වූහ. ඔවුන් ද යන්නට සිතූ මඟ හැර අන් මඟකින් යැවූ සේක. ඒ දෙදෙනා එනතුරු මඟ රැක උන් සිවු දෙන ද ඔවුන් පමා වන හෙයින් මාර්ගයේ ඉදිරියට ගියෝ, රුකක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක ගොස් පසෙක හුන්හ. ඔවුනට ද පළමු පුරුෂයනට මෙන් ම බණ වදාළ සේක. ඔහු ද සෝවාන් වූහ. ඔවුන් ද බුදුරජාණන් වහන්සේ අන් මඟෙකින් යැවූ සේක. මේ පරිද්දෙන්ම මග රැක උන් ඉතිරි අට දෙනා ද ඔවුන් මැරීමට බලා උන් සොළොසදැ” යි යන මේ සියල්ල ම තමන් වහන්සේ වෙත එන්නට සලස්වා දහම් දෙසා හික්මවා යැවූ සේක.