යටැ කී පළමු පුරුෂයා දෙව්දතු කරා ගොස් “ස්වාමීනී, ඒ භාග්‍යවතුන් වහන්සේ මහානුභාව ඇත්තේ ය. මහර්ද්ධිමත්හ. නැසිය නො හැකියැ” යි කී ය. එවිට “මම් ම ශ්‍රමණ ගෞතමයන් නසන්නෙමි” යි හෙතෙම ඉටා ගත්තේ ය. එසේ සිතා දිනෙක ගිජුකුළු පව්වේ පාමුල භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන අතර ඒ කන්ද නැග යන්ත්‍රයක් මගින් මහත් ගලක් භාග්‍යවතුන් වහන්සේ දෙසට පෙරළා හැරියේ ය. මතු වූ අන් විශාල ගල් දෙකක රැඳී ඒ ගල යෑ නො හී නැවැතිණ. එහෙත් ඒ ගල් එකට එක වැදීමේ දී පතුරක් කැඩී ගොස් භාග්‍යවතුන් වහන්සේ ගේ පිටි පතුලේ අගැ හැපී එ තන් හි ලේ පිරුයේ ය. බුදුරජාණන් වහන්සේ උඩ බලා දෙව්දත් හට “අභාග්‍ය පුරුෂය, තෝ දුෂ්ට සිතින් තථාගතයන්ගේ ඇඟේ ලේ සැලීමෙන් බොහෝ පව් කෙළෙහි” යැ යි වදාළ සේක. ඉක්බිති භික්ෂූනට ආමන්ත්‍රණය කොට මෙසේ දෙව්දත්හු ලෝහිතුප්පාදය කිරීමෙන් පළමු වන ආනන්තර්ය පාප කර්මය කැරැ ගත් බව වදාළ සේක. මේ කාරණය මුල් ව භික්ෂූන් අතර බොහෝ කථා ඇති විය. ඒ තන්හි දී භාග්‍යවතුන් වහන්සේ අවස්ථානුරූප වූ ධර්මදේශනයෙන් භික්ෂූනට අවවාද කළ සේක.